කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

 උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි. එය ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වාම පවතියි. චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් පවත්වා සිරිපා වන්දනා සමය ආරම්භ කරන අතර පැල්මඩුල්ලේ ගල්පොත්තාවල පන්සල, රත්නපුර මහසමන් දේවාලය සහ සිරිපා කන්ද යන ස්ථානවල අනුපිළිවෙළින් සිදුකරන වතාවත් ඒ අතර ප්‍රමුඛත්වය ගනියි.


ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍යය රාජයානන් වහන්සේ

භාරහාර

සිරිපා වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් දුරාතීතයේ පටන්ම හිමිව පැවතිණ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතර වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය ශ්‍රී පාදස්ථානය වීම එයට ප්‍රධාන හේතුවයි. පුරාතනයේ ඇතැමුන් මෙම වන්දනා ගමනට සහභාගි වූයේ තම ඉඩකඩම් පවා ඤාතීන්ට පවරා දීමෙන් පසුවයි. ගමනාරම්භයට පෙර තෙරුවන් නමදින වන්දනාකරුවන් ඊළඟට සිදු කරනුයේ සමන් දෙවියන්ට භාරහාර වීමයි. පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී සිරිපා තරණය කරන අතර ගමන් මාර්ගයේ දී ඇතිවන ගමන් විඩාව සංසිඳුවා ගන්නේ කවි හා වාගාලාප ගායනා කරමිනි. මෙහිදී ‘තුන්සරණය’ නමැති ජන කාව්‍යයේ එන කවි මෙන්ම ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද වාගාලාප බොහෝ සෙයින් ගායනා කෙරෙයි.

වදන් මාලාවක්

සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවකවත් භාවිත වන බවක් දැකිය නොහැකි සිරිපා වන්දනාව හා ආවේණික වූ විශේෂ වචන මාලාවක් ද පවතියි.

හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ ‘ඉර සේවය’ නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී ආශිර්වාද කර ගන්නේ “කරුණාවයි” කියමිනි. එය වෙනත් අවස්ථාවක ‘ආයුබෝවන්’ යැයි කීම හා සමාන ය. ජීවිතයේ පළමුවරට සිරිපා වන්දනාවේ යන තරුණයා ‘කෝඩුකාරයා’ ලෙසත් වැඩිහිටියා ‘දඬු කෝඩු’ ලෙසත් කුඩා දරුවකු හෝ දැරියක ‘කිරිකෝඩු’ ලෙසත් හැඳින්වේ.

සිරිපා අඩවියේ තද අඳුර සහිතව වලාකුළු පැතිරයාම ‘කෝඩේ’ නමිනුත්, වැසි වසින බව හැඟවීම ‘ගඟුල බානවා’ නමිනුත්, භාවිතයට එක් වී තිබේ.

සිරිපා තරණයේ දී ‘පරඬැල් පෑගෙනවා’ යනුවෙන් කීමෙන් අදහස් කරනුයේ ‘කටු ඇනෙනවා’ යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා සිටින්නේ ‘සංහිඳේ’ යනුවෙන් පැවසීමෙනි. ‘ඉඩ දෙන්න’ යනු එහි අරුතයි. සිරිපා වන්දනාකරුවා ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය හඳුන්වන්නේ ‘සැහැල්ලුව‘ නමිනි. එය උරහිස දෙපසට වැටෙන සේ කරේ දමාගෙන යා හැකි වන පරිදි මැසූ ලොකු උරයකි.

සමනොළ කන්දේ ඉහළ කොටසේ පවත්නේ තද සීතලකි. එම ප්‍රදේශයෙහි ගමන් කිරීම හඳුන්වන්නේ ‘හිමේ නඟිනවා’ යනුවෙනි. සිරිපතුල වැඳීමට පෙර වන්දනාකරුවන් පිරිසුදුවීම ‘පේවීම’ නම් වේ. දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකි ය.

සිරිපා වන්දනා කරන පිරිස ‘නඩය’’ නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා ‘නඩේ ගුරා’ නම් වෙයි. සිරිපා වන්දනාවේ දී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම් කර ගැනීමයි. එනම් වචනය සංවර කර ගැනීමයි. කට පරෙස්සම් කර නොගැනීම සිරිපා කරුණාවට බාධාවකි. සිරිපා වන්දනාව හා පමණක් ආවේණික වූ මෙම වචන මාලාව හඳුන්වාදිය හැක්කේ හුදෙක් ගැමි පාරිභාෂික වචන කෝෂයක් ලෙසයි.

ජනශ්‍රැති බොහොමයක්

සිරිපා වන්දනාවේ දී ‘ගෙත්තම් කිරීම’ නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉඳිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදුකරයි.

සිරිපා ගමන් මාර්ගය හා සබැඳි බොහෝ ස්ථාන නාම සිංහල ජන වහරට එක් වී ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණි හෙල, ධර්මරාජගල, හැරමිටිපාන , ඇහැළ කණුව මෙන්ම හැටන් මාර්ගයේ මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම, භගවාලෙන ඒ අතර ස්ථාන කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජනශ්‍රැති ද බිහි වී තිබේ.

හැටන් පාරේ පැමිණීමේ දී හමුවන ‘භගවා ලෙන’ දැකීමට බොහෝ වන්දනාකරුවන්ට අවස්ථාව නොලැබෙයි. එය වන්දනාකරුවන් නඟින පඩි මගට මදක් එපිටින් පිහිටා තිබීම එයට එක් හේතුවකි.

භගවා ලෙන මහගිරිදඹෙන් පසුව පිහිටා තිබීමත්, වන්දනාකරුවන් මහගිරිදඹ පසුකළ සැණින් මළුවට යාමට ඉක්මන්වීමත් එයට තවත් හේතුවකි. මෙම භගවා ලෙන වනාහි බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ ‘දිවා ගුහාව‘ යයි ද ඇතැමුන් තුළ විශ්වාසයක් පවතියි. මහගිරිදඹ තද බෑවුම් සහිත, දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්ව ද පිහිටා ඇත.

දඹදිව සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනශ්‍රැතියේ සඳහන් ය. ‘ධර්මරාජගල’ යනු එම කොටසයි. මෙම ධර්මරාජගල නඟින විට එහි ගල්පඩි ගණන් කිරීම සිරිතකි. හත්දින්නත් තරු ගණන් කළ නොහැකි මෙන් මෙම ධර්මරාජගලේ ගල් පඩි ද ගණන් කළ නොහැකි බව ජනමතයකි.

මෙහි සමහර තැනක ගල් පඩි එකක් ද දෙකක් ද කියා තීරණය කිරීමට නොහැකිවීමත්, සමහර තැනක ගල් පඩි තිබේ දැයි, නිශ්චය කර ගත නොහැකි වීමත් එයට හේතුව‘ වන්නට ඇත.

ඉර සේවය

ලිහිණි හෙල යනු අතීතයේ කඳු කඩා වැටීමෙන් සෑදුණු භයානක ගල් බෑවුමකි. සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිණෙනුයේ පාත මළුවටයි. එම ප්‍රදේශය වන්දනාකරුවන් බෙහෙවින් ම ගැවසෙන විශ්‍රාමශාලා සහිත ප්‍රදේශය යි. මෙහි සිට වන්දනාකරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ‘ඉර සේවය’ යි. උදෑසන පෙරදිගින් සූර්යයා උදා වී ගෙන ඒම සිරිපා අඩවියේ දී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මළුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. දොළොස් මහේ පහන ද ශ්‍රී පාදස්ථානයට පමණක් ආවේණික වූවකි.


ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍යය රාජයානන් වහන්සේ


පුද සිරිත්

සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සාම්ප්‍රදායිකව පැවැත්වෙන පුද සිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන්හි දී සිදුකරන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින සැදැහැවතුන් සියලු දෙනාම මළුවෙන් ඉවත් කර පිවිසෙන දොරටු වැසීමයි. ඉන් පසුව මළුවේ කාර්ය මණ්ඩලය විසින් නා නා විධ සුවඳ වර්ග මුසු කළ පැන් කළ හතකින් ශ්‍රී පාද පද්මය දෝවනය කරනු ලැබීම සිදු වේ. ඉක්බිතිව සුමන සමන් දේවාලය ද එලෙසින් ම පවිත්‍ර කෙරේ. මුළු සිරිපා මළුව ම සුවඳ පැනින් සෝදා සඳුන් කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරැණි සිරිතකි.

මෙම පවිත්‍ර කිරීම්වලින් පසුව සිදුවන්නේ සාම්ප්‍රදායික ව සකස් කළ බුද්ධ පූජාව ගෞරවාන්විත පුද පෙරහරක් මඟින් මළුව වටා තෙවරක් වැඩම කරවා ගෙනවිත් ශ්‍රී පාද වහන්සේ අබියස තැන්පත් කිරීමයි. පසුව දේව පූජාව ද එබඳුම පූජා පෙරහරක් මඟින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවතුන්ට වන්දනාව සඳහා දොරටු විවර වනුයේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍රවිධි පැවැත්වීමෙන් පසුවයි.

ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමි සැළලිහිණි සංදේශයේ දී තත් සංදේශය ගෙන යන සැළලිහිණියාට සමනොළ ගල බලන ලෙස සඳහන් කළේ මෙසේ ය.

සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

මිතුරුතුමනි, එකල්හි දෙවඟනන් හා එක්ව සමන් දිව්‍ය රාජයා විසින් කාන්තියෙන් තෙත් වූ මදාරා පරසතු මල් සමූහයන් පූජා කොට වඳිනු ලබන්නා වූ බුදුරදුන්ගේ සිරිපා පද්මය පිහිටි සමනොළ පර්වතය පෙරදිගින් පෙනෙයි.


ඌරුගමුවේ අස්සජී හිමි

ගෞතම සම්බුදු සිරිපා නමදිමු Gautama Sambudu Siripa Namadimu

උඳුවප් පුර පසළොස්වක පොහොය වරුණ

 


ක්‍රිස්තු පූර්ව 236 වැනි වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කරවීමත්, ශ්‍රී ලංකා ධරණී තලයෙහි භික්ෂූණී ශාසනය ආරම්භ වීමත් ලංකා ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිද්ධීන් වේ.

මහ වංශයේ 18 සහ 19 වන පරිච්ඡේදයන්හි බෝධි ආගමනය පිළිබඳ විස්තර ඇතුළත් ය. ඒ අනුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා පවරන ලද්දේ තමන්ගේ බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා වෙතත්ය. අරිට්ඨ අමාත්‍යතුමා මහින්ද මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස මහරජතුමාගේත් හසුන්පත රැගෙන වප් මස දෙවැනි දිනයේ දී දඹකොළපටුනෙන් පිටත්ව එක්දිනක් තුළ පැළලුප් නුවරට පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහවංශය සඳහන් කරයි.

ලංකාගමනය

මිහිඳු මහරහතන් වහන්සේ්ගෙන් බණ අසා පළමුව මාර්ග ඵලාවබෝධය ලබන ලද්දේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පක්ෂයයි. ඔවුහු සසුන්හි පැවිදි වන්නට අවශ්‍ය බව දෙවනපෑතිස් නිරිඳුන්ගේ මාර්ගයෙන් අනුබුදු මිහිඳු මාහිමියන්ට දැන්වූහ. එහෙත් කාන්තාවන් පැවිදි කරන්නට තමන් වහන්සේට නොහැකි බවත් ඒ සඳහා සිය නැඟණිය වන සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා මෙහි ගෙන්වා ගන්නා ලෙසත් වදාළහ. එය ඇසූ දෙවනපෑතිස් නිරිඳුන් විසින් ඒ සඳහා දඹදිව පැළලුප් නුවර අශෝක චක්‍රවර්තීන් වෙත අරිට්ඨ කුමරුන් ප්‍රධාන දූත පිරිසක් යැවීමට තෝරා ගන්නා ලදී. ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නොමැති හෙයින් එය කළ නොහැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එසේම පෙර තුන් බුදුවරයන් වහන්සේගේ බෝධි ශාඛාවලින් හිස් නොවූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධිරාජයාගේ ශාඛාවක් ද එවනු මැනවි. මේ සන්දේශය රැගත් රාජකීය දූත පිරිස වප් පුණු පොහෝදා ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව පැළලුප් නුවර බලා පිටත් වූහ. ටික දිනකින් එහි ගිය ලාංකීය රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජයා වෙත සන්දේශය පිළිගන්වා සංඝමිත්තා මහරහත් මෙහෙණිය ද හමුව සිය සොහොයුරු මිහිඳු මා හිමියන්ගේ පණිවුඩය සැල කළහ. එහෙත් සිය පුතාත් මුණුපුරාත් වෙනුවට සංඝමිත්තා උත්තමාව නිසා සැනසී සිටිය ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට මුලදී එතරම් කැමැත්තක් නොදැක්වීය. පසුව එතුමාට සඝමිත් මාතාව කරුණු විස්තර කර දුන්නේ මෙසේ ය.

පියාණෙනි, මගේ සහෝදරයන් වහන්සේගේ වචනයට. මා ගරු කළ යුතුයි. අනුලාව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් මහණ වන්නට මා ගැන බලාපොරොත්තුවෙන් සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකාවාසීනට සිදුවනු ඇත. යනුවෙන් ඇය පැවසුවා ය. එය ඇසූ දම්සෝ නිරිඳුන් ‘දියණියෙනි, එසේ නම් වඩිනු මැනවි. මාගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට සේවය පිණිසම වේවා, එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමඟම බෝධිරාජයාගේ ශාඛාවක් ද ගෙන යනු පිණිස මම කටයුතු පිළියෙල කොට දෙන්නෙමි’ ය කීය.

මෙසේ කී ධර්මාශෝක අධිරාජයා සංඝමිත්තා මහරහත් උත්තමාවන් භික්ෂුණී සංඝයා සමඟ පිරිවර සහිතව ලංකාවට එවීමට සූදානම් කරවීය. ධර්මාශෝක අධිරාජයා රජ මාලිගාවෙහි මහා සංඝයා විෂයෙහි දන් පිරිනමා අවසන මහා බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු දැයි මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන්ගෙන් විමසීය. එය ඇසූ මොග්ගලීපුත්තතිස්ස මාහිමියෝ බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු යැයි වදාරමින් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පස රජතුමාට දේශනා කළහ.

ලංකාවෙහි රෝපණය කිරීම පිණිස බෝධිය ගැනීමට අශෝක චක්‍රවර්තීන් එළඹුණු කල්හි බෝධි ශාඛාව අයත්නයෙන්ම ගැලවී රන් කටාරමෙහි පිහිටවා, බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිමවලා ගැබක් අතරට වැද සිටීවා, සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කෙණෙහි පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේවා, දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ලද ථූපාරාම චෛත්‍යයෙහි දකුණු අකු ධාතුව පිහිටන කල්හි යමාමහ ප්‍රාතිහාර්යය කෙරේවා, ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතුන් රුවන්වැලි සෑයෙහි පිහිටන කල්හි බුද්ධවේශය ගෙන අහසට පැන නැඟී යමාමහ පෙළහර කෙරේවා.

යන මේ අධිෂ්ඨාන පස පිරිනිවන් ඇඳේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ ලංකාව වෙත යොමු කළහ. යනුවෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජතුමාට සිහිපත් කරවූහ. ඒ ඇසූ රජතුමා අතිශයින් සතුටුව පැළලුප් නුවර පටන් බෝධීන් වහන්සේ දක්වා සත්යොදුනක් මඟ සැරසවීය. රන් කටාරමක් ඒ සඳහා පිළියෙළ විය. රජතුමා සිවුරඟ සෙනග පිරිවරා ගෙන මහ පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගියේ ය.



අශෝක රජුගේ සත්‍ය ක්‍රියාව

අශෝක රජතුමා දක්ෂිණ ශාඛාව පිහිටි ස්ථානයට ළං වූයේ උස් වූ පීඨයකට (අටල්ලකට) නැඟීමෙනි. ඒ සමඟම රන් කටාරම පීඨයකට නංවන ලද්දේ ඒ ස්ථානයට සමීප කර ගනිමිනි. ඉක්බිති රජතුමා රන් පින්සලයෙන් රන් සිරියල් ගෙන, බෝධි ශාඛාවේ ආරම්භය වටා රේඛාවක් ඇඳ ඉදින් මේ මහා බෝධීන් ලංකාද්වීපයට ම යා යුතු වේද? ඉදින් මටද සර්වඥ ශාසනයෙහි සැක රහිත වෙමි ද, මේ බෝධි ශාඛාව තමා ම සිඳී මේ රන් බඳුනෙහි පිහිටුවා යි සත්‍ය ක්‍රියා කළේ ය. එවිට ඒ මහා බෝධි ශාඛාව තොමෝ ම සිඳී සුවඳ කළලින් පිරුණා වූ කටාරම මතුයෙහි පිහිටියා ය. එවිට මහපොළොව කම්පා විය. නා නා ප්‍රකාර ප්‍රාතිහාර්යය පහළ විය. මහරජතුමා ඇතුළු පිරිස පී‍්‍රති ඝෝෂා කළහ. මහා සංඝයා වහන්සේ සාධු නාද කළහ. මිනිස්, දෙව් බඹුන්ගේ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව් තලයම ඒකාලෝක විය.

අශෝක රජතුමා ගංගා නම් නදියෙහි සරසන ලද නැවකට බෝධීන් වහන්සේ නංවා එකළොස් නමක් මෙහෙණින් වහන්සේ ඇතුළු සංඝමිත්තා ස්ථවිරයන් වහන්සේ මහාරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස නැව් නංවා නුවරින් නික්ම සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාමලිත්ති නම් තොටට පැමිණියේ ය. ඒ අතරමඟ දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් බෝධි රාජයා පූජාවට පාත්‍ර කළහ.

අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පිදීය. උඳුවප් මස ශුක්ල පක්ෂයෙහි පෑළවිය දිනයෙහි බෝධි රාජයා ඔසවාගෙන ගී‍්‍රවය දක්වා ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. සංඝමිත්තාවන් ඇතුළු මෙහෙණින් වහන්සේ මහාරිෂ්ඨ කුමරුන් ඇතුළු පිරිසක් නැවට නංවා මෙසේ ප්‍රකාශ කළේ ය. මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධි රාජයා පිදුයෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේම කෙරේවා යනුවෙනි.

මහා පෙරහරින් නැව් නැංවූ මේ රාජකීය පිරිස නොයෙක් පූජා ලබමින් උඳුවප් පුර පසළොස්වක පොහෝදා ලක්දිව දඹකොළපටුනට පැමිණියහ. රජතුමා ගී‍්‍රවය තෙක් ජලයට බැස සොළොස් කුල ජනයන් සමඟ බෝධි ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුණී සංඝයාත් රාජකීය පෙරහරින් අනුරාධපුර මහමෙවුනා උයන වෙත කැඳවාගෙන ගියේ ය.

එහිදී ජාතික මහෝත්සවයක් ලෙස බෝධීන් වහන්සේ මහමෙව්නා උයනෙහි සකස් කළ උස් භූමියක රෝපණය කළ බව මහවංශය සහ බෝධිවංශයෙහි දැක්වෙයි. දෙවනපෑතිස් රජුගෙන් ආරම්භ වුණු බෝධි පූජා උත්සවය දුටුගැමුණු, භාතිය, ධාතුසේන, අඹහෙරණ, සලමෙවන්, දෙටුතිස් ආදී රජවරුන් විසින් සිදු කළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

භික්ෂුණී ශාසනය ආරම්භ වීම

සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට වැඩමවීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය ඇතුළු පිරිවර භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලබා ශ්‍රී ලංකා ද්වීපය තුළ භික්ෂුණී සමාජය ආරම්භ වීම ද අදවන් උඳුවප් පොහොය හා සම්බන්ධ වූ ඉතා වැදගත් ඓතිහාසික ශාසනික සිදුවීමකි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

Bakkula Maha Rahathan Wahanse Wandana Gatha බක්‌කුල මහරහතන් වහන්සේ වන්...

ඉල් පුර පසළොස්වකපොහොය වර්ණනාව

 


ඉල් මස පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන පොහොය වශයෙන් සැලකිය හැකි ය. එයට අමතරව ශාසනික වූත්, ඓතිහාසික වූත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් මුල් කර ගත් පොහොය දිනයක් වශයෙන් ද හැඳින්විය හැකි ය.

එනම්, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගමන් ආරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය ආදී සිදුවීම් රාශියක් මූලික වූහ.

මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම

තව්තිසා දෙව්ලොව වස් විසීමට වැඩ සිටි අප සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ වප් පුර පසළොස්වක පොහොය දින සංකස්ස නුවරට වැඩම කළහ. එහිදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේගේ අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ප්‍රසාදයට පත් වූ මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පමණ පිරිවර ජනයා සමඟ ගෞතම බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. තවද චීවර මාසය අවසානයේ දී වස්සග්ගයෙහි තමන් වහන්සේට ලැබුණූ වස්ත්‍ර දෙකෙන් එක වස්ත්‍රයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියෙහි වියනක් කොට, බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තිබූහ.

මේ මහා දර්ශනීය පූජාව සර්වඥතා ඥානයෙන් දැක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් බුදුවන්නෙහි යැයි නියත විවරණ ලබා දුන්හ.

තවදුරටත් ආර්ය මහා සංඝ රත්නය ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගලයෙකින් බුදුරදුන් පිදු මේ භික්ෂුව දෙස බලවු. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුණා මෛත්‍රෙය බුදුන්ගේ පියා වෙයි. ඒ පරෙවි බමුණුහු භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි. නා රුකෙක් ඒ මෛත්‍රෙය බුදුහුගේ බෝ රදුන් වෙයි.” යනුවෙන් වදාළහ.

ඒ අවස්ථාවේ දී පාරමිතාවන් පුරණය කරන ලද මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දොහොත් මුදුන් දී වන්දනා කළහ. ආර්ය මහා සංඝරත්නය සාධු නාද පැවැත්වූහ. පී‍්‍රතියෙන් උද්දාමයට පත් දෙවියෝ දිව මලින් පිදූහ. මේ පිළිබඳ තොරතුරු චක්කවත්තී සීහනාද සූත්‍රය පූජාවලිය, සද්ධර්මරත්නාවලිය ආදී ග්‍රන්ථවල ද ඇතුළත් වී තිබේ.

ධර්ම දූත සේවය ආරම්භ වීම

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවේ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤ්ජනං කෙවල පරිපුණ්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ” යනුවෙන්

“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද, හිත පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මඟින් නොයන්න. මහණෙනි, මුල මැද අවසැන යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසන්න. පිරිසුදු වූ බ්‍රහ්මචර්යාව ම ප්‍රකාශ කරන්න.” මේ ආකාරයෙන් බුද්ධ ශාසනයේ පස් නමකින් ආරම්භ වූ භික්ෂු සමාජයේ සැට නමක් පමණ වූ රහතන් වහන්සේ වෙත බුද්ධ අවවාද දෙමින් ප්‍රථම ධර්මදූත සේවය ආරම්භ කළහ.

බරණැස ඉතිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස්කාලය අවසන් වීමෙන් පසුව ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ධර්ම චාරිකාවෙහි පිටත් කොට උන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරනු ලැබුවේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනක දී ය. එහිදී උරුවෙල් දනව්වෙහි උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නමින් හැඳින්වුණූ අතිශය මාන්නාධික වූ ජටිල තාපසයන් තිදෙනෙක් නේරන්ජනා නදී තීරය අසබඩ ආරාමයක් කර ගෙන විසූහ. උරුවෙල කාශ්‍යප තාපසයාට පන්සියයක් පිරිස සිටිති. නදී කාශ්‍යප තාපසයා හට තුන්සියයක් පිරිස සිටිති. ගයා කාශ්‍යප තාපසයා හට දෙසියයක් පිරිස සිටිති.

උරුවෙල කාශ්‍යපගේ ආරාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි රැයක් නවාතැන් ගැනීමට ඉල්ලා සිටිය ද උරුවෙල කාශ්‍යප එයට අකැමැති වී විවිධ හේතු දක්වමින් ප්‍රමාණවත් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල්ගෙය පමණක් බවත් එහි දරුණු නාගයකු සිටින බවත්, ප්‍රකාශ කළේය. එම ස්ථානයේ නවාතැන් ගැනීමට තමාගේ බාධාවක් නොමැති බව උරුවෙල කාශ්‍යප තවදුරටත් ප්‍රකාශ කළේ ය. ගිනිහල් ගෙට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තණ ඇතිරියක වැඩහුන් සේක.

නාගරාජයා බුදුරදුන් වෙත විෂ දුම් පිට කළේ ය. ක්‍රෝධයෙන් වෙළී දිලිසුණු නාග රාජයාට බුදුරදුන්ගේ ඍද්ධිමය බල නිසා මුළු ගිනිහල්ගෙය ම ගින්නෙන් වැසී ගියාක් මෙන් පෙනෙන්නට විය. පසුදා පහන් වූ පසු නාගරාජයා තමන් වහන්සේගේ පාත්‍රයෙහි දමා උරුවෙල් කාශ්‍යපට පෙන්වූහ. එවිට ‘මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් දමනයෙහි දක්ෂ ය. එහෙත් ඔබවහන්සේ මා රහත් බවට පත්ව නැතැයි ප්‍රකාශ කළහ.

තුන්බෑ ජටිලයන් තමන් රහත් බවට පත්ව ඇතැයි මානයෙන් මුළාවී සිටියහ. බුදුරජාණන් වහන්සේ ජටිලයන්ගේ මානය දුරු කිරීමට ප්‍රාතිහාර්ය පා වදාළහ. ඉක්බිතිව ඔවුන් තිදෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බණ අසා පැවිදි වූහ. අනතුරුව දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේ ද පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ ගයා පෙදෙසට වැඩම කළහ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආදිත්‍ය පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූයේ ද අද වන් ඉල්පුර පසළොස්වක පොහොය දිනක දී ය.

අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ පිරිනිවීම

සැරියුත් හිමියන්ගේ ආයු කාලය අවසන් වී ඇති බවට උන්වහන්සේ දිවැසින් දැක ගැනීමත් සමඟ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලූහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස” මම දැන් ජරා ජීර්ණ වෙමි. මෙහි නැවත පැමිණීමෙක් නැත. මේ අන්තිම ගමනයි. මේ මාගේ අන්තිම වැඳීමයි. මාගේ ආයුෂ ස්වල්ප ය. බර උසුලන්නකු බර බිම තබන්නාක් මෙන් මෙයින් සත් දිනක් ගිය තැන මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරණ සේක්වා. මේ මාගේ පරිනිර්වාණ කාලයයි. මා විසින් ආයු සංස්කාරය හරණ ලදි. යනුවෙන් වදාළහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රයෙනි, තොපට කැමති සේ කරන්න. මින් පසු තොපගේ වැඩිමහලු, බාල සොහොයුරු භික්ෂු සංඝයාට තොප වැනි භික්ෂු නමකගේ දර්ශනය නොලැබෙන්නේ ය. ඔවුන්ට ධර්ම දේශනා කරන්න යැයි වදාළහ.

සැරියුත් හිමියෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ධර්ම දේශනා කොට මෙසේ කීය. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළවුණු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පා හමුවෙහි දී ඔබ වහන්සේගේ දර්ශනය ප්‍රාර්ථනා කළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනා තොමෝ සමෘද්ධ වූයේ. මා විසින් නුඹ වහන්සේ දක්නා ලද්දාහු විය. ඒ මාගේ ප්‍රථම දර්ශනයයි. මේ අන්තිම දර්ශනයයි. නැවත නුඹ වහන්සේ දැක්මක් මාගේ නැතැ’යි දොහොත් මුදුන් තබා වැඳ ගියහ. අනතුරුව බුද්ධ නියමය පරිදි භික්ෂූන් වහන්සේ සැරියුත් හිමියන්ගේ පසුපස ජේතවනාරාමයෙහි දොරටුව දක්වා වැඩම කොට උන්වහන්සේට ගෞරව දැක්වූහ. සැරියුත් හිමියෝ සත් දිනක් පුරා ලෝකාර්ථ චාර්යාවෙහි යෙදෙමින් සත්වෙනි දින ඉල්පුර පසළොස්වක පොහෝ දා පිරිනිවන් පා වදාළහ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

සුමන සමන් දෙවි කරුණ‍ාවෙන් නමදිමු සිරිපාද පියුම්

 


අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව නව මසක් ගත වූ තැන ලක්දිවට වැඩම කළ සේක.

යක්ෂයන් දමනයට මහියංගණයට වැඩි උන්වහන්සේ දහම් දෙසූ අවස්ථාවේ දී සුමන සමන් දෙව්රජු සෝවාන් ඵලයට පත් විය. දෙව් රජු වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටි අවස්ථාවේ දී සියලු සත්ත්වයන්ට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ සම්බුදු සිරස පිරිමැද නීලවර්ණ කේශ ධාතූන් වහන්සේ මිටක් ලබා දුන් සේක.

එය රන් කරඬුවකට පිළිගත් සුමන සමන් දෙවිඳුන් ධාතූන් වහන්සේ තැම්පත් කොට ලොව ඉදි කළ මුල්ම සෑය වූ මහියංගණ සෑ රදුන් වහන්සේ ඉදි කරන ලද බව මහාවංශයේ සඳහන්ව ඇත.

භාග්‍යවතුන් වහන්සේ මෙරටට බුදු සමය හඳුන්වා දීමෙන් පසු ධර්ම විනයත්, සංස්කෘතියත් මෙරට සමාජ භාවිතයට යොදවනු ලබන්නේ සුමන සමන් නමැති ප්‍රාදේශීය පාලකතුමන් විසිනි.

‘සුමන සමන්’ යනු අප රටෙහි ජීවත් වූ වැසියෙකි. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයකු ලෙසින් ද, ප්‍රාදේශීය රාජ්‍ය පාලකයකු ලෙසින් ද ඔහු තමන් වැළඳගත් මේ උතුම් දහම තම රට වැසි ජනතාවට හඳුන්වාදීමට කාරුණික විය.

සමනල අඩවවිය කේන්ද්‍ර කර ගත් මේ මහා රාජධානිය තුළ එම උත්තම දහම පැතිර ගියේ සුමන සමන් දෙව් සංස්කෘතිය ලෙසිනි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සමන්විත මෙම සංස්කෘතිය මඟින් ගෝත්‍රික ජනතාව අතර එතෙක් පැවති මත ගැටුම්, අවි ගැටුම් නිරාකරණය කරමින් සමාජ සාමයක් ගොඩ නඟන්නට සමත් විය.

සාමය ස්ථාපිත වීමත් සමඟම ප්‍රදේශය සමෘද්ධිමත් විය. එයට නායකත්වය ලබා දෙන ලද්දේ සුමන සමන් පාලකයා විසිනි. මේ ධාර්මික පාලනය නිසාම එතුමාගේ අභාවයෙන් පසුව කෘතගුණ දත් ජනතාව එතුමා දේවත්වයෙහිලා සලකන්නට වූහ. ඒ සුමන සමන් දෙවි වන්දනාව සුමන සමන් සංස්කෘතිය බවට පත්විය.

භාග්‍යවතුන් වහන්සේ තෙවැනි වර මේ ලක්දිවට වැඩි මොහොතේ සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාව මත සුමන කූඨයට වැඩම කොට උතුම් සිරිපා සලකුණ නිල් මාණිඛ්‍යයක් මත පිහිට වූ බව මහාවංශයේ සඳහන් ය. භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ සැලකීමට ලක් වූ මේ දෙවිඳාණෝ සතර දිසාවට අධිපති දෙවිවරු අතර එක් දෙවියෙකි.

විෂ්ණු දෙවිඳු දෙවිනුවරට ද, විභීෂණ දෙවිඳු කැලණියට ද, කඳ සුරිඳුන් කතරගමට ද, සුමන සමන් දෙවියන් සබරගමුවට ද අධිපති දෙවිවරු ලෙස සැලකේ. ඒ දෙවිවරු අතර කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව පිරි ප්‍රසන්න ලීලාවෙන් සුමන සමන් දෙවිඳු වැඩ වෙසෙත්.

සුමන සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතා වන අතර, එම ඇතා තම සොඬින් නෙලුම් මලක් දරා සිටියි.

එලෙසම සුමන දෙව් රජුගේ අතේ රැඳී ඇත්තේ සුදු නෙලුමකි. නෙළුම් මල පවිත්‍රතාවයේ සහ සත්‍යාවබෝධයේ සංකේතයයි. බෝසතාණන් වහන්සේගේ උපතේ සිට නෙළුම් මල බොහෝ සේ බුද්ධ ශාසනය වටා බැඳී පවතී.

වසරක් පාසා උදාවෙන සිරිපා වන්දනාව....

සිරිපා වන්දනා වාරයත්, සුමන සමන් දෙවිඳුනුත් අතර ඇත්තේ එකම බැඳීමකි. සිරිපා සමයේ පළමුකොට ම ඓතිහාසික මහා සමන් දේව ප්‍රතිමාව,ධාතු කරඬුව හා හින්දු දේව ප්‍රතිමාව ද පෙරහරකින් මහ මලුවට වැඩමවා එහි තැම්පත් කිරීම සිදු කරයි. එම ඓතිහාසික සඳුන් මුවා මහ සමන් දේව ප්‍රතිමාව දෙවැනි පැරකුම්බා රජුගේ අගමැති දේවපතිරාජ නම් ඇමැතිවරයා විසින් ගම්පොළ දී නිර්මාණය කළ බවට විශ්වාස කළ හැකි තොරතුරු පූජාවලියේ සඳහන් වේ.

උතුම් සිරිපා වන්දනා සමය උඳුවප් පෝ දින ආරම්භ වී වෙසක් පුර පෝ දිනෙන් අවසන් වේ. මෙම කාලය තුළ සිරිපා මලුව තුළ සමන් දේව ප්‍රතිමාව සහ පූජා වස්තු තැම්පත් කර තිබේ. වන්දනා සමය අවසන් වන දින නැවතත් සමන් දේව ප්‍රතිමාව සහ පූජා වස්තු මලුවෙන් පහළට වැඩමවීම සිදුවේ. මෙම දෙවි ප්‍රතිමාව සහ පූජා වස්තු සිරිපා අවාරේ තැම්පත් කර තිබෙන්නේ පැල්මඬුල්ල කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරයේ ය. අද වන විට එම විහාරය ශ්‍රීපාද විහාරය නමින් ව්‍යවහාරයේ පවතී.

කිසියම් වූ ශිෂ්ටාචාරයක්, සභ්‍යත්වයක්, සංස්කෘතියක් ගොඩනැඟෙන්නේ ආශි‍්‍රත සමාජ පරිසරය කේන්ද්‍ර කර ගනිමිනි. සමනල අඩවිය ද, සුමන සමන් දෙවි සංස්කෘතිය හැදී වැඩී පෝෂණය වන්නට කදිම සාර භූමියක් විය.

ලක් දෙරණ සිසිල් දියෙන් තෙත් කරවන, සශ්‍රීක කරවන මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා සතරට ම ජල පෝෂක ප්‍රදේශය වන්නේ සිරිපා අඩවියයි. මෙම ගංගා සතර ආශි‍්‍රතව ජීවත් වූ ජනතාව ද සුමන සමන් දෙව් සංස්කෘතියෙන් පෝෂණය වූවෝ වෙති.

සුමන සමන් දෙවිඳුන් ගැන වංශ කතා, ජන කතා, ඉතිහාසය මෙන් ම මුඛ පරම්පරාවෙන් එන කතා ද බොහෝමයකි. අයහපත කිරීමට යන අයකුට සුමන සමන් දෙව් අඩවියේ යහපතක් නොවන බව විශ්වාසයක් පවතී. ශ්‍රී පාද අඩවිය පිළිබඳ ද එවැනි ජනප්‍රවාද කතා බොහෝ ය.

උඩ මලුවට යන සැදැහැවතුන්ගේ විශ්මයට තුඩු දෙන ඉර සේවය, සමනලගිරි හිස සෙවණැල්ල ආදී සියල්ල ම විශ්මය ජනක ය. සම්බුදු සිරිපා පිහිටි භූමි ප්‍රමාණය වශයෙන් ගත් කල කුඩා ප්‍රදේශයකි. නමුත් කරුණා කිරීමට පැමිණෙන සැදැහැවතුන් කිසිදු පාලනයකින් තොරව වන්දනා කරති. නිතිපතා එන සියලුම පිරිස නොකඩවා මලුව දක්වා ම කරුණා කරති.

කරුණා කිරීමට කොපමණ පිරිසක් පැමිණිය ද ඒ සියලු දෙනාට ම ඉඩකඩ ලැබෙනු ඇත. මෙම පුණ්‍ය භූමිය තුළ කිසිදු හිරවීමකින්, තෙරපීමකින් කිසිවකුට අනතුරක් වූ බවට සඳහනක් නැත. ශ්‍රද්ධාවන්ත සමන් දෙවිඳුගේ කරුණාව එය විය නොහැකි ද?

සමන් සුරිඳු කරුණාවෙන්
සමන් ගිරි හිසේ සුරැදුණු
ගොයුම් පා පියුම් සතුටින්
කරමු වන්දනා...

වප් පුර පසළොස්වක පොහොය වර්ණනාව

 


පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර සිටම සම්මතව පැවැති අතර එකල විසූ ධාර්මික පුද්ගලයෝ සැමදාම මෙලොව කටයුතුවල පමණක් නොව පරලොව යහපත සඳහා ද සතියකට වරක් ආගමික වතාවත්වල යෙදුණහ. දින දර්ශන, ලිත් සුලභ ලෙස නොතිබුණ බැවින් අහසෙහි සඳ දෙස බලා එම සතියෙහි ආගමික දිනය වෙන්කොටගෙන තිබිණි.

ශ්‍රද්ධාවන්ත රජකු වූ බිම්බිසාර මහ රජතුමාගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ

‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ, අට්ඨමියාච පක්ඛස්ස සන්තිපතිතූන්ති

“මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක්හි, අටවක්හි රැස් වන්නට අනුදනිමි’ යි පොහොය දිනයන්හි පන්සල් යාම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයට ය.

බුද්ධ නියමයට අනුව ගිහි පැවිදි උභය පාර්ශ්වයට පොහෝ දිනවල රැස් වුව ද, ධර්ම දේශනා කිරීමක් සිදුවී නැත. එයින් කනස්සල්ලට පත්ව සිටි ගිහි ජනතාව ධර්ම දේශනා නොකිරීම පිළිබඳ දෝෂාරෝපණය කරන්නට වූහ. එම තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ

‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්තිපතිත්වා ධම්මං භාසිතුන්ති”

යනුවෙනි. ඒ අනුව පසළොස්වක පොහොය ධර්ම දේශනා කිරීම ආරම්භ වී ඇත.

කඨින චීවර පූජා කරන මාසයේ ආරම්භක දිනය ද අදට යෙදී ඇත. එනිසා ම මෙම මාසය චීවර මාසය නමින් ද හඳුන්වනු ලබයි. සෑම වසරකට ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං, දිට්ඨෙනවා සුතෙනවා පරිසංකාය වා, සාවො භවිස්සති. අඤ්ඤමඤ්ඤනුලොමතා ආපත්ති චුට්ඨාභතා, විනය පුරෙක්ඛාරතා”

මහණෙනි වස් විසූ භික්ෂූන්ට කරුණු තුනක් මුල්කරගෙන පවාරණය කරන්නට (තමාගේ වරදක් දොසක් පෙන්වා දෙන්නට අවසර දෙමි. එසේ අවසර දීම සංඝයා අතර ඔවුනොවුන් අතර අනුකූල පැවැත්මටත්, ඇවැත්වලින් නැඟී සිටීමටත්, විනයානුකූල පැවැත්මටත් හේතුවේ.

අදට යෙදී තිබෙන වප් පොහොය දිනය තුළ ශාසනික වශයෙන් සුවිශේෂී වූ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇත. මාපලගම සෝමිස්සර නාහිමියන්ගේ පොහොය වර්ණනාව ග්‍රන්ථයේ සඳහන් තොරතුරු අනුව මේ ආකාරයෙන් සඳහන් කළ හැකි ය.

මෙතේ බෝසත්තුමා පැවිදිවීම

දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් පැහැදුණු අප්‍රමාණ ජන සමූහයා බුදුබව පැතූහ. එයිනුදු බොහෝ දෙනෙක් සසුන්හි පැවිදි බව ලැබූහ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය යන මේ මහා සමාගමය මධ්‍යයෙහි සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්න විසර්ජනයට සවන් දී සිටි මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ඉමහත් ප්‍රසාදයට පත්ව පැහැදී පැවිදි වූහ.

මෙයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව්තුරා බුදු බවට පැමිණෙන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි බවට පත්ව වදාළේත් වප් පුන් පොහෝ දිනක ය.

රාජකීය දූත පිරිසක්

මහින්දාගමනයෙන් ලංකාවේ ඇතිවුණු ආගමික ප්‍රබෝධය උදක් පිරිමි පක්ෂයට පමණක් සීමා නොවී ය. කාන්තා පක්ෂය ද පිරිමින්ට නොදෙවෙනි වන සේ ක්‍රියා කොට ඇත. මිහිඳු මාහිමියන්ගෙන් බණ අසා පළමුව මග ඵල ලැබුවේ අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පක්ෂයයි. ශාසනගතව ද පැවිදිකම් ලැබීමට කාන්තා පක්ෂයට අවශ්‍ය විය.

අනුලා දේවිය ප්‍රධාන කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා මහරහත් මෙහෙණිය ඇතුළු භික්ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධි ද්‍රැමයේ දක්ෂිණ ශාකාවත් මෙහි වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහ රහත් මාහිමියන්ගේ නියමයෙන් දෙවන පෑතිස් රජතුමාගේ සන්දේශයත්, සතුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිට්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව පැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවනු පිණිස පිටත් කොට යවන ලද්දේත් වප් මහා ශුක්ල පක්ෂයෙහි දෙවැනි දිනයක ය. ලංකාවාසී බෞද්ධ මහ ජනතාවගේ ඓතිහාසික ශ්‍රේෂ්ඨතම පූජනීය මහාර්ඝ වස්තුවක් වූ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන්ගේ දක්ෂිණ ශාඛාවක් වැඩමවීමට රාජකීය දූත පිරිස යැවූ මෙ දවස හෙළ බොදු බැතිමතුන්ගේ හදවත් තුළ සැදැහැති බව වැඩීමට හේතුවන වැදගත් ශාසනික දිනයෙකි.

විනය සංගායනාව

ලංකා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා උදාර සේවයක් සිදු කළ දේවානම් පියතිස්ස රජ තෙමේ මිහිඳු මා හිමියන්ගෙන් ලංකාද්වීපයෙහි ශාසනය පිහිටියේ දැ “යි විචාළේ ය.

“එසේය, මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තවම මුල් බැස නැත.” යනුවෙන් උන්වහන්සේගේ පිළිතුර විය. ශාසනය මුල්බැස ගන්නේ කසේදැයි තවදුරටත් රජු විසින් විචාරණ ලදුව“ යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මවුපියන් හට උපන් දරුවෙක් මෙහිදීම පැවිදිව විනය ඉගෙන ගෙන මේ දිවයිනෙහි දීම විනය උගන්වයි ද එකල්හි බුද්ධ ශාසනය මුල් බැස ගත්තා වන්නේ යැයි මිහිඳු මා හිමියෝ පැහැදිලි කළහ.

ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහාරිට්ඨ හිමියනට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුණේ ය. එබැවින් විනය සංගායනාවක් පැවැත්වීමට නොපමවා ම විධිවිධාන යොදන ලදි. අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ මහාරිට්ඨ සිංහල මහරහතන් වහන්සේ ඇතුළු මහ රහත් මාහිමිවරුන් අට සැට නමක් දහසක් බැගින් භික්ෂු පිරිවර ඇතිව ථූපාරාමයෙහි රැස් වූහ. මහාරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව ථූපාරාම විහාර මධ්‍යයේ දී මහා සංඝයා විසින් පිරිවරන ලදුයේ වප් මස පසළොස්වක් ලත් පෙරවස් පවුරුණු දිනයෙහි විනය පිටකය සංගායනා කළහ.

ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනාව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කරන ලද්දේත් වප් පුන් පොහෝ දිනයක ය.

බෝධි අංකුරය

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ලක්දිව මහා බෝධිය පිහිටවනු පිණිස අශෝක අධිරාජයා බෝධිද්‍රැම රාජයාණන් වෙත ගිය කල්හි ජය ශ්‍රී මහ බෝධියෙහි දක්ෂිණ ශාඛාව අයත්නයෙන් ම සිඳී රත් කටාහයෙහි පිහිටා සිටියේ වප්පුර පසළොස්වක පොහෝ දිනක ය. දඹදිව රාජ්‍යයෙන් තෙවරක් පිදුම් ලද බෝධි ශාඛාව ඉල් මස පෙර පස පළමු පෑළවිය දිනයෙහි අශෝක රජතෙමේ ඔසවාගෙන ගෙල පමණ දියට බැස නැවෙහි පිහිටුවා පිරිවර සහිත වූ සඟමිත් තෙරණිය ද නැවට නංවා අරිට්ඨ ඇමතිහට

‘පුත මම මහා බෝධිය තෙවරක් මුළු දඹදිව රාජ්‍යයෙන් පුදා ගෙල පමණ දියට බැස මාගේ යහළුවාට යැවීම්, එ තෙමේ ද මෙ පරිද්දෙන් ම මහා බෝධිය පුදාවා” යි දන්වා සිටියේ ය.

මේ ආකාරයෙන් බලන විට මහා පවාරණය, දේවාවරෝහණය, සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෛත්‍රී බෝසතුන් සසුන්හි පැවිදි බව ලැබීම, අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිසේ ගමනාරම්භය ආදී අසිරිමත් ආගමික සිදුවීම් රැසක් මෙම වප්පුන් පොහෝ දිනය තුළ සිදුවී ඇති බැවින් එය බෞද්ධයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වශයෙන් සැලකිය හැකි ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

කාන්තාවට අරහත් ධජය හිමි වූ උතුම් බිනර පෝදා

 


මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ සනාතන රැකවරණය ලබමින් උතුම් පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපති උත්තමාවියගේ උතුම් නාමය නිති සිහිවෙන බිනර පුන් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ කාන්තාවනට විමුක්තිය සැලසු උතුම් දිනය යි.

එදින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටි දිනයකි. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍ය‍වතුන් වහන්සේ වෙත පැමිණ වන්දනා කරමින් මින් පෙර ද අවස්ථා දෙකක දී විමසූ අනගාරිකා පැවිදි බව ලබා ගැනීමේ ආයාචනය සිදු කළා ය. තෙවැනි වතාවේදීත් ශාස්තෘන් වහන්සේ වදාළේ,

“ගෞතමියනි, තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ති‍්‍රය විසින් ගිහිගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා! යනුවෙනි.”

දිනක් රෝහිණි නදියේ ජලය මුල් කරගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුද කෝලාහලයකට පිළිපන් මොහොතේ එම කලහය සංසිඳුවන්නට වැඩම කොට වදාළ බුදු සමිඳුන් දෙසු ශි‍්‍ර සද්ධර්මයේ පහස ලද ශාක්‍ය කුමාරවරුන් පන්සිය දෙනා උතුම් අරහත් ධජය දරමින් පැවිදිව සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්විය. එම කුමාරවරුන්ගේ ගිහි කල බිසෝවරු ගිහිගෙයි නො ඇලුණු සිත් ඇතිව පැවිදි බවට ම අසාවෙන් හුදකලා විවේකයෙන් ම සිටි මහා ප්‍රජාපතිය වටා එක්රොක් වූහ.

මේ වන විට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවෙහි ය. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය කෙස් සිඳවා මුඩුකරවාගෙන ශාක්‍ය ස්ති‍්‍රන් සමඟ විශාලා මහ නුවර කූටාගාර ශාලාව බලා පැමිණියහ. ඉදිමී ගිය පාදයන්ගෙන් යුක්තව දුහුවිලි වැකි ගිය සිරුරින් යුක්තව, දුකට පත් වූවා වූ, දොම්නස් වූවා වූ, කදුළු වැකුණු මුහුණින් යුතුව දොරටුවෙන් බැහැරව සිටියා වූ මහා ප්‍රජාපතී ගෞතමිය දුටු ආනන්දයන් වහන්සේ සියලු තතු දැන බුදු සමිඳුන් වෙත වැඩම කොට තමන් වහන්සේ ද තෙ වරක් කාන්තාවන් සඳහා පැවිද්ද ආයාචනා කොට වදාළ නමුත් බුදුරජාණන් වහන්සේ එය බැහැර කළ සේක.

ආනන්දයන් වහන්සේට මෙවැනි සිතක් පහළ විය.

“ භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන් සඳහා පැවිද්ද තෙවරක් ම ප්‍රතික්ෂේප කොට වදාළා. ඒ නිසා මම අන් මඟකින් විමසීම සුදුසු ය” යනුවෙනි.

“ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහිගෙයින් නික්ම පැවිදි ව දිවි දෙවැනි කොට දහමෙහි හැසිරුණහොත් සෝතාපන්නවීම, සකදාගාමීවීම, අනාගාමීවීම, අරහත්වයට පත්වීම සිදු විය නොහැකි දෙයක් ද ?

භබ්බෝ ආනන්ද මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සෝතාපත්තිඵලම්පි සකදාගාමිඵලම්පි අනාගාමිඵලම්පි අරහත්තඵලම්පි සච්ඡිකාතුන්ති.

- ගෝතමී සුත්‍රය

“ආනන්දයෙනි, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද අත්දකින්නට සමර්ථ වන්නී ය.”

“ඉදින් ස්වාමීනී, ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමීඵලය ද, අනාගාමීඵලය ද, අරහත්ඵලය ද ලබන්නට සමර්ථ වන්නී නම්, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වූවා ය. සුළු මව් වූවා ය. අත් පා වැඩුවා ය. පෝෂණය කළා ය. භාග්‍යවතුන් වහන්සේගේ මව් කළුරිය කළ කල්හි කිරි පෙව්වා ය. ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහිගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති” වශයෙන් කරුණු වදාළ සේක.

එසේනම් පින්වත් ආනන්ද, ප්‍රජාපතී ගෞතමිය අෂ්ටගරු ධර්මයන් පිළිගන්නේ නම් එය ම ඇයගේ පැවිද්ද වන්නේ ය. උපසම්පදාව වන්නේ ය!

ඉනික්බිති ආනන්දයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද අෂ්ට ගරු ධර්මයන් මහා ප්‍රජාපතිය හට දන්වා සිටි සේක.

උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳීලි බැඳ වැඳීම්, යහපත්වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මයන් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නො එළඹිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීමත්, අවවාද ලැබීමට එළඹීමත් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසුදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය.

බරපතළ ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂමානත් පිරිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

දෙ වසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාරකොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය

භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නො කළ යුතු ය. පරිභව නො කළ යුතු ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය

ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නො වැසුණේ ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරුකොට, බුහුමන් කොට, පුදා දිවි ඇතිතෙක් නො ඉක්මවිය යුත්තී ය යනුවෙනි.

අලංකාරය කැමති තරුණ දරුවකු හොඳින් දිය නා පිරිසුදු ව සිටින විට සමන් මල් දමක් හෝ මහනෙල් මල් දමක් දෝතින් ම පිළිගෙන හිසේ පැළඳ ගන්නේ යම් සේ ද මහා ප්‍රජාපතී ගෞතමිය ඒ උතුම් අෂ්ට ගරු ධර්මයෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දොහොත් මුදුන් දී පිළිගත්තා ය.

ඒ සුපින්බර දිනයේ පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපතී ගෞතමිය ශාක්‍ය මුනීන්ද්‍ර වූ බුදු සමිඳුන් විසින් දේශනා කොට වදාළ උතුම් සිරි සදහම් සිත්හි දරාගෙන සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්වී වදාළ සේක. ඒ අනුව යමින් පන්සියයක් වූ ශාක්‍ය දියණියන් මෙන් ම මෙතෙක් පටන් ඒ ඒ ගම් නියම්ගම් රාජධානින්හි වෙසෙන කුල කුමරියන්, කුල ස්ති‍්‍රහු ගෞතම බුදු සසුනේ සුපහන් සිතින් පැවිදිව ඒ අමා නිවන් සුව පසක් කරගත්තාහු ය.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හට අග්‍රස්ථානයන් පිරිනමන මොහොතේ

“ ඒතදග්ගං භික්ඛවේ, මම සාවිකානං භික්ඛුනීනං රත්තඤ්ඤූනං යදිදං මහාපජාපතිගෝතමී ” - ඒ්තදග්ගපාළි

යනුවෙන් පැවිදි වී බොහෝ කල් ගත වූ භික්ෂුණීන් අතර අගතනතුර පිරිනමමින් මහා ප්‍රජාපතී මහරහත් උත්තමාවිය හට ලබාදුන් සේක.

මෙසේ මහා ප්‍රජාපතී ගෞතමිය කාන්තාවන් හට උතුම් අරහත් ධජය දරමින් බුදු සසුනේ සසුන් බඹසර පුරන්නට උපකාර කළ සේක. ඒ උත්තම බුද්ධ මාතාව වූ මහා ප්‍රජාපතී මහරහත් උත්තමාවිය සිහිවන මේ උතුම් බිනර පුන් පොහෝ දවසේ පින්වත් ඔබ සියලු දෙනාට ම ශිී‍්‍ර සද්ධර්මයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා !

සමස්ත මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Poson Poya Day Animation

සිරි මිහිඳු රන් හිරු මඬල පායා ලක් දෙරණ දම් දිවයිනක් වූ දා



අද දවස අනුබුදු මිහිඳු බුදු පුතුන් සිහියට නැගෙන මිස්සක පව්ව පිරිමදිමින් හමන පවනින් සිත් සැනසෙන පොසොන් අමා සංදේශය රැගෙන පුන්සඳ උදාවන පින්බර දවසයි.

අපි අද දෙවනපෑතිස් නිරිඳුන් ඇතුළු ලක්වැසියන්ට අභිමානනීය නවෝදයේ මාවත එකලු කළ, සිරි මිහිඳු රන් හිරුමඬල පායා මෙපින් බිම දිදුලන දහම් විමානයක් බවට පත්කළ පූජනීය ඉතිහාසය පහන් සිතින් සිහිකොට ගුණ නැණ බෙලෙන් ප්‍රබුද්ධ වෙමු.

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මතු පස්වා දහස් කාලයක් සම්බුදු සසුන සුරැකෙන ලොව ඇති එකම තැන මේ කුඩා දිවයින බවත්, දහම් සෝ රජිඳු, සිරි මිහිඳු සමිඳු සහ දෙවනපෑතිස් නිරිඳු එහිලා පුරෝගාමීන් වන බවත් දුටු සේක. ඒ උදෙසා පඤ්චමහා අධිෂ්ඨානයන් හා කුඩා අධිෂ්ඨාන බොහොමයක් පිහිටුවා පිරිනිවන් වඩින මොහොතේ සක්දෙවිඳු අමතා මිහිඳු හිමියන් ලක්දිව වඩින ගමනේ දී එහිලා සහාය වන්න යැයි ද වදාළහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් ගත වූ පසු දඹදිව රජ පැමිණි ධර්මාශෝක රජතුමා මුළු භාරතයම එක්සේසත් කළේ ය. මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ ඇසුර ලබා සම්බුදු සසුනෙහි සිත පහදවා වෙහෙර විහාර අසූහාරදහසක් කර නිති සිව්පසයෙන් මහසඟන පුදා ශ්‍රමණවේශධාරීන් සැටදහසක් නෙරපා ශාසනය ශෝධනය කළේ ය. තුන්වැනි ධර්ම සංගායනාව කරවා සාමන්ත රාජ්‍යයන් ගණනාවකට ධර්මදූත භික්ෂූන් යොමු කරවීය. ශාසනයේ උරුමය ලබනු රිසිව තම පුත් මිහිඳු කුමරුන් හා දියණිය සංඝමිත්තාවන් සසුන්ගත කරවූ දම්සෝ නිරිඳු අපමණ ලෝක ශාසනික මෙහෙවරක් සිදුකොට පසුකලෙක ලක්දිව උපත ලබා පැවිදිව නිවන් දුටුවේ ය.

උපතින් විසි හැවිරිදි වියේ දී මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව තෙරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි උපසම්පදාව ලැබූ සිරි මිහිඳු හිමියෝ උපසම්පදා මාලකයේ දී ම සිව්පිළිසිඹියා ලාභීව රහත් වූහ. ඉන්පසු පුරා වර්ෂ තුනක් මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ සමීපයේ අර්ථකතා සහිත ත්‍රිපිටකය ඉගෙන වාචෝත්ගත කළහ. ඉන්පසු වර්ෂ නවයකට ආසන්න කාලයක් භාරතීය භික්ෂූන්ට ධර්ම විනය උගන්වා වදාළහ.

මහා සංඝරත්නය විසින් උපතින් තිස්දෙහැවිරිදි වියේ පසුවන මිහිඳු මහරහතන් වහන්සේ අමතා “තම්බපණ්ණී දිවයිනට ගොස් ශාසනය පිහිටුවන්න” යැයි ආරාධනා කරන ලදුව ඒ සඳහා මේ කාලය දැයි දිවැසින් බැලූහ. ඒ වන විට තම්බපණ්ණියේ රජ කළ මුටසීව රජතුමා මහලු බවත් මාස කිහිපයක් ඇවෑමෙන් ඔහුගේ පුත් දේවානම්පියතිස්ස කුමරු රජවන බවත් දුටු සේක.

පුරා මාස හයක් තම ඥාතීන්ට අනුග්‍රහ කළ මිහිඳු හිමි තම මව්තුමිය බැලීම සඳහා උජ්ජේනිපුර වේදිස නගරයට වැඩි සේක. වේදිසගිරි මහා විහාරයෙහි මාසයක කාලයක් වැඩ හිඳිමින් මව් දේවියට අනුග්‍රහය කළහ. එකල්හි එහි පැමිණි සක්දෙව් රජතුමා මිහිඳු හිමියන්ගේ පා පියුම් වැඳ

“ස්වාමීනී ලක්දිව රජ කරන දෙවනපෑතිස් නිරිඳු නුඹ වහන්සේගේ පියමහා රජතුමා විසින් යවන ලද මංගල පෙළහර ලැබ දෙවන වතාවටත් රාජාභිෂේකව තුණුරුවන් ගැන අසා සතුටු විය. බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ දී ම

“මාගේ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි මිහිඳු නම් මහතෙර නමක් ලක්දිව මිනිසුන් පහදවා සසුන් පිහිටුවති” යනුවෙන් නුඹ වහන්සේට ම විවරණ දී වදාළහ. එබැවින් නෙපමාව ම ලක්දිව වඩිනු මැනවි. මම සහාය වෙමි” යි කියා ආරාධනා කළහ.

ඒ ආරාධනාව පිළිගත් සිරි මිහිඳු හිමියෝ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහා තෙරුන් වහන්සේ සතර නම ද සංඝමිත්තාවගේ පුත් සුමණ සාමණේරයන් ද භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමා ද කැඳවා වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැඟුණහ.

දෙව් බඹුන්ගේ පුද පෙළහර මැද ස්වර්ණ හංස සමූහයක් සේ ආකාසයෙන් ගමන් කොට අනුරාධපුර නගරයට නැඟෙනහිර මිස්සක පර්වතයෙහි පිළය නම් ගල්කුල මස්තකයට බැස මී අඹ ගසක් මුල අඹතලා නම් සෙල් අත්ල මත පිළිවෙළින් වැඩ හුන් සේක.

එදා සතළිස් දහසක් සේනාව පිරිවරා මිහින්තලාවේ මුව දඩයමට ගිය දෙවනපෑතිස් රජුට මිහිඳු තෙරුන් දැක්වීම පිණිස එක් දේවතාවෙක් රෝහිත නම් මුව වෙසක් මවා ගෙන තණ කන්නා වූ මුවෙකු මෙන් රජුට නුදුරින් පෙනි පෙනී දිව යමින් පර්වතාභිමුකව ගොස් අඹතලාවට වැද අතුරුදන් විය. පිටුපසින් හඹා ගිය රජු පිරිසගෙන් වෙන්ව හුදකලා වී මිහිඳු මහරහතන් වහන්සේගේ අභිමුඛයට ඇවිද ගියේය. බොහෝ දෙනා දුටු කල රජු බිය වේ යැයි සිතූ තෙරුන් වහන්සේ “මේ රජ මා පමණක් ම දකීවා. සෙස්සන් නොදකීවා” යි අදිටන් කළහ. ඉන්පසු කරුණා පුරස්සර මිහිරි හඬින් “තිස්ස මා වෙත පැමිණෙන්න” යනුවෙන් නමින් ම ආමන්ත්‍රණය කළහ.

මේ හෙළදිව මාගේ නමින් ඇමතීමට සමත් කසාවත් දරන්නා වූ මොහු මිනිසෙක් ද නොහොත් දෙවියෙක් දැයි සිතූ රජු ඇමතූ මිහිඳු සමිඳු “මහරජ අපි ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයෝ වෙමු. නුඹට ම අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු.” යි වදාළහ.

එබස් ඇසූ රජතුමාට තම නොදුටු මිතුරු ධර්මාශෝකයන් “මම තෙරුවන් සරණ ගියෙමි. ඔබත් සිත පහදවා තෙරුවන් සරණ යන්න” කියා ලියා එවූ සංදේශය සිහිවී ආර්යයන් වහන්සේලා වැඩියාහු යැයි දුනු දිය අතහැර වැඳ නමස්කාර කොට එකත්පසෙක හිඳ පිළිසඳරෙහි යෙදුනහ. එකෙනෙහි සතළිස් දහසක් පුරුෂයන් රජු පිරිවරා ගත්හ. ඒ මොහොතේ තෙරුන් වහන්සේ තමා හා පැමිණි සෙසු පිරිස ද රජු ඇතුළු පිරිසට දැක්වූහ.

මිහිඳු හිමියෝ රජුගෙන් ප්‍රශ්න කිහිපයක් අසා ඔහු ලබා දුන් පිළිතුරු අනුව බුද්ධිපාටවය පිළිබඳ සෑහීමකට පත්ව රජු ඇතළු පිරිසට චූලහත්ථිපදෝපම සූත්‍රයෙන් බණ වදාරා සියලු දෙනා සරණශීලයෙහි පිහිටවූහ. අනතුරුව

“ස්වාමීනී රජගෙට වැඩිය මැනවැ” යි ආරාධනා කළ රජතුමා අනුරාධ නගරයට ගොස් සියල්ල සංවිධානය කරවීය.

භණ්ඩුකයන් ද මිස්සකපව් අඹතලාවේ දී එදිනම පැවිදි උපසම්පදාව ලබා රහත් විය. එදා රාත්‍රියේ දී මිහිඳු හිමි වදාළ සමචිත්ත පර්යාය සූත්‍රය අසා අසංඛ්‍යෙයක් දෙවියෝ නිවන් දුටහ. පසුදා දෙව්පුරයක් සේ සරසන ලද නුවර බලා අහසින් වැඩි රහතන් වහන්සේලා ගෞරවයෙන් පිළිගත් රජතුමා ආහාර පානයෙන් සංග්‍රහ කළහ. අනතුරුව රජමැදුරේ දී වදාළ දහම් අසා අනුලා දේවිය ඇතුළු පන්සියයක් දෙනා සෝවාන් වූහ. මහින්දාගමනයේ ආරංචිය ලක්දිව පුරා අකුණු එළියක් සේ පැතිර ගියේ ය. ඇසූ ඇසුවෝ මිහිඳු හිමි බලන්නට එක්රොක් වූහ. පැමිණි සියල්ලන්ට ම දහම් දෙසූ තෙරණුවෝ ඔවුනට තිසරණය ද මගඵල නිවන ද ලබා දී සුවපත් කළහ. දේවානම්පියතිස්ස රජු ඇතුළු ලක්වාසීන්ගේ කාය වාග් මනෝ සමාචාරයන් තථාගත ධර්මයට අනුකූලවීමට වැඩි කාලයක් ගත නොවීය. මුලු ලක්දෙරණ ම බුදුසව්වන්ගෙන් පිරී යද්දී අරිට්ඨ ඇමතිතුමා ඇතුළු පිරිස පැවිදිව රහත් විය. අපමණ සතුටට පත් දෙවනපෑතිස් නිරිඳු ලංකා භූමියම සම්බුදු සසුනට පූජා කළහ. සිරි මිහිඳු බුදුපුතුන්ගේ මඟ පෙන්වීමෙන් පඨමක චේතිය හෙවත් ථූපාරාමය ඉදි වී බුදුහිමි වෙනුවට පූජා ලබන චේතිය පහළ විය. සංඝමිත්තාගමනය සමඟ මහාබෝධීන් වහන්සේ ද මෙරටට වැඩම කළහ. අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි ව භික්ෂුණී ශ්‍රාවිකාවන් ද පහළ විය. සිව්වණක් පිරිස සහිත ලක්බුදු සසුන පස්වා දහස් කාලයක් ආයු සිරි ලැබූ සේක.

මිහිඳු හිමියෝ අවුරුදු සතළිසකට ආසන්න කාලයක් මෙරට වැඩහිඳිමින් තථාගත ධර්මයේ ශක්තියෙන් ඔපවත් වූ සිහලයන්ගේ සදාචාරය, සාඩම්බරය, අභිමානය හා සංස්කෘතියෙන් සුරක්ෂිත අනාගතය සමඟින් මෙලොව පරලොව උභයාර්ථයත්, උත්තම නිර්වාණාර්ථයත් සාධනය කොට දී මෙහි ම පිරිනිවන් වැඩියහ. මේ හෙළබිම උපන් අපට සිරි මිහිඳු මුනිවරයන් දැක් වූ සෙනෙහස දෙවැනි වන්නේ බුදුකරුණාවට ම පමණි. එබැවින් ඔබ වහන්සේ අපට අනුබුදුහුම ය. ඔබ වහන්සේ අපට පෑ සෙනෙහසින් දිරි ලැබුවෙමු. අභිමන් ලැබුවෙමු. උතුම් ප්‍රවේණියක්, ඓතිහාසික උරුමයක්, අවිවරණීය රමණීයත්වයක් ලැබුවෙමු. ඔබ වහන්සේට මුළු මානව වංශය ම සදාකාලයට ණයගැති වනු ඇත.


රාජකීය පණ්ඩිත
ආචාර්ය
බලංගොඩ රාධ හිමි

සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය හා සබැඳෙන බක් පුරපසළොස්වක පෝ දා

 


බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි.

සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වර්ෂයේ බක් මස අව පසළොස්වක් පොහෝ දින ලක්දිව සිටි චූලෝදර හා මහෝදර යන නාග ගෝත්‍රික රජුන් දෙදෙනා අතර මිණිපළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය ආරවුලක් සංසිඳුවීමට සෘද්ධියෙන් ලක්දිවට වැඩම කළ සේක.

මෙම නාරජවරුන් ලක්දිව සිටි නාග ගෝත්‍රික රජවරුන් වශයෙන් අනුමාන කෙරෙයි. මහෝදර නාග රාජයා මුහුදේ පන්සිය යොදුනක් විශාල වූ නාග භවනෙහි ආධිපත්‍යය දැරීය. මහෝදර නා රජුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයෙහි විසූ නා රජකුට විවාහ කර දී තිබුණි. මෙම පිරිස ගොඩ විසූ නාගයන් ලෙස හැඳීන්වෙයි. එම නැඟනියගේ පුත්‍රයා චූලෝදර නම් විය. මෙම ගොඩබිම සහ මුහුදේ විසූ නාග කොට්ඨාස දෙක ම අතිශය බලවත් දෙපිරිසක් වූ බව මූලාශ්‍රවල කියැවේ.

මහෝදරගේ පියා වූ නාග රාජයා කළුරිය කරද්දී තමා සතු වූ මැණික් පුටුව හෙවත් මිණිපළඟ දියණියට ලබා දී තිබූ අතර එහි අයිතිය තමා වෙත ලබා ගැනීමට මහෝදර නා රජු චූලෝදර නම් වූ තම බෑණනුවන් සමග යුද්ධයට එළඹියේ ය.

ඇතිවීමට යන උවදුර දුටු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දොරකඩ කිරිපලු රුකට අරක් ගෙන සිටි සමිද්ධි සුමන දිව්‍ය රාජයා සමඟ ලක්දිවට වැඩම කළ සේක.

පෙර භවයේ ලක්දිව නාගදීපයේ ඉපදී එකල කිරිපලු රුකක් මුල වැඩ හිඳ දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කිරීමට කොළ කඩා දුන් පිනෙන් දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකෙහි දෙවියකු වී ඉපදුණු බව මහාවංසයේ කියැවේ. සමිද්ධි සුමන දෙවිඳුන් තම වාසභවනය වූ කිරිපලු රුක උදුරා ඡත්‍රයක් වශයෙන් බුදුහිමියන්ට සෙවණ පිණිස ඔසවාගෙන පැමිණියේ ය.

බුදුරජාණන් වහන්සේ බක් මස අවපසළොස්වක හෙවත් අමාවක පොහෝ දින උදෑසන ලක්දිවට වැඩම කරවා අහසෙහි හිඳ ඝන අන්ධකාරයක් සහ ඉන් පසු ආලෝකයක් මවා නාගයන් දමනය කළහ. දැමුණු නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. එම පිරිසට යුද්ධයේ ආදීනව පෙන්වා දී සසර ආදීනව, අන්‍යයන්ගේ දොස් දැකීමේ ආදීනව විස්තර කර සමඟිබවේ අනුසස් සහ වෛරයෙහි ආදීනව දැක්වෙන කාකෝලුක, ඵන්දන, ලටුකික, වට්ටක යන ජාතක කථාවන්ගෙන් දහම් දෙසූහ.

දම් අසා ප්‍රසාදයට පත් නාග රජවරු තමන් යුද්ධයට එළඹීමේ නිමිත්ත වූ මිණි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ.

අහසින් පොළොවට වැඩ මිණිපළඟෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත නාගයෝ දානය පූජා කළහ. මෙහිදී අසූ කෝටියක් නාග පිරිස් තෙරුවන් සරණ ගිය අතර, මහෝදර නාරජුගේ මාමා වූ කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු තම වාසභවනට වැඩමවන ලෙස බුදුරදුන්ට ආරාධනා කළේ ය.

සමිද්ධි සුමන දෙවි රජුගේ වාසභවනය වූ බුදුරදුන්ට සෙවණ සැලසූ කිරිපලු රුක සහ නා රජවරුන් පිදූ මිණිපළඟ පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කිරීමට නාගයන් වෙත ම පවරා බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරට වැඩම කළහ. මෙම මිණිපළඟ නිධන් කොට නාගදීප චෛත්‍යය බඳවා තිබේ.

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හැරුණු විට තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් බක් පොහෝ දිනය හා සබැඳෙයි. බුදුවීම සඳහා අභිනිෂ්ක්‍රමණය කිරීමට සිදුහත් කුමරුගේ සිත නැඹුරු වූයේ සතර පෙර නිමිති දැකීමෙනි. සතර පෙරනිමිති අතුරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලකු දුටුවේ බක් පොහෝ දිනයක ය. ඉන් පසු මසකට එක බැගින් අනෙක් පෙර නිමිති තුන දැකීමෙන් පසු ඇසළ පොහෝ දින අභිනිෂ්ක්‍රමණය සිදු වූ බව පිළිගැනීමයි. ඒ අනුව අභිනිෂ්ක්‍රමණය පිණිස සිදුහත් කුමරුගේ සිත මුලින් ම නැඹුරු වූයේ බක් පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.

අනෙක් සිදුවීම නම් බුද්ධත්වයෙන් පසු මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ආරම්භ කළ කිඹුල්වතට වැඩමවීමේ ගමන් මගෙහි අර්ධයක් සම්පූර්ණ කරන ලද්දේ බක් පොහෝ දිනයක දී ය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරය දක්වා යාමට මැදින් පෝ දා ආරම්භ කළ සැට යොදුන් මඟෙහි යොදුන් තිහක් සම්පූර්ණ කරන ලද්දේ බක් පුර පසළොස්වක දිනය දී වීම ද විශේෂ සිදුවීමකි.

මෙලෙසින් ඉතා වැදගත් ශාසනික කරුණු කිහිපයක් අනුස්මරණය කරනු ලබන බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බොදු දනන්ගේ හිතසුව පිණිස ධර්මාවබෝධයට හේතුවන දිනයක් බවට පත් කර ගැනීමට සියල්ලෝ ම කටයුතු කරත්වා.

රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි

බුදුරදුන් ඥාතීන් හමුවට ගමන් ඇරඹූ මැදින් පුරපසළොස්වක පෝදා

 


හේමන්ත සෘතුවේ එළඹෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ගේ සුවිශේෂී පුන් පොහෝ දිනයකි.

බුද්ධත්වයෙන් පසු රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර විසූ පිය රජතුමා ඇතුළු ඥාති පිරිස දැකීමට ගමන් ආරම්භ කරන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයකවීම මෙම පොහොයේ විශේෂත්වය යි. මැදින් පොහෝ දා ආරම්භ කළ උපන් ගමට වැඩීම කිරීමේ ගමනට දෙමසක් ගත වූ අතර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවන ලද්දේ වෙසක් පොහෝ දිනයක දී ය.

බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව ඇතුළු වීර්ය වඩා වෙසක් පොහෝ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත් ව ඇසළ පොහෝ දිනයක දම්සක් පවත්වා අනුක්‍රමයෙන් ධර්මදූත පිරිස් බිහි කරමින් ලෝක සත්වයන් වෙත අපමණ කරුණාවෙන් ක්‍රියා කරද්දී බුදුරදුන්ගේ කීර්තිරාවය දඹදිව සතර දිග්භාගයේ ම පැතිරී යන්නට විය. තම පුතු වූ සිදුහත් කුමරුන් සම්බුද්ධත්වයට පත් වී රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිමින් ලෝ සතුන්ට දුකින් මිදෙන මඟ පෙන්වා

දෙන බව ඇසූ සුද්ධෝදන රජතුමාට පුතු දැකීමට වූ ආශාව දිනෙන් දින වැඩි විය.

අවස්ථා නවයක දී පිරිවර දහස බැඟින් යුතු අමාත්‍යවරයෙකු බැඟින් දූත කාර්යයෙහි යොදවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට කැඳවාගෙන එන ලෙස සුද්ධෝදන රජතුමා පිටත් කොට හැරියේ ය. එසේ යැවූ අමාත්‍යවරුන් නව දෙනා සහ නව දහසක පිරිස බුදුන් දැක දහම් අසා රහත්ව පැවිදි විය.

ඉන්පසු සිදුහත් බෝසතාණන් වහන්සේ සමඟ එකම දිනයක උපන් කාළුදායි ඇමතිවරයා කැඳවා දහසක් පිරිවර ලබා දී දූත කාර්යයෙහි යෙද වූ අතර තමාට පැවිදි වීමට අවසර ලබා ගත් කාළුදායි ඇමතියා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දහම් අසා පිරිවර සමඟ රහත් ඵලයට පත් විය. මේ සමඟ අවස්ථා දහයක දී සුද්ධෝදන රජතුමා විසින් එවූ දූත පිරිස දස දහස් දහ දෙනෙක් (10 010) පැවිදි බිමට පත්ව සිටියහ.

පැවිදි වී සතියක් ගෙවුණු පසු කාළුදායි මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පිය රජතුමාගේ අපේක්ෂාව දන්වා කිඹුල්වත්පුරයට වැඩම කිරීමට ආරාධනා කළහ. ඒ වන විට හේමන්ත සෘතුවේ මැදින් පොහෝ දිනය එළඹී තිබුණි. මැදින් පොහොය පරිසරය ප්‍රබෝධමත් වන කාලයකි. තුරුලතා නව දළු ලා වැඩෙන, මල් පිපී විචිත්‍රවත් වන කාලයකි. ගොවීන් කෙත්වතු අස්වද්දා අස්වනු නෙළා ගනිමින් සමෘද්ධිමත්ව සිටින කාලයකි. අධික ශීතලෙන් හෝ රස්නයෙන් තොර සෞම්‍ය දේශගුණයක් පවතින කාලයකි. රජගහනුවර සිට කිඹුල්වත්පුරයට යන මාර්ගය සැට යොදුනකි. යොදුනක් යනු සැතපුම් දහසයක දුර ප්‍රමාණයකි. ගස් වැල් මලින් ඵලින් බර වී සුවඳවත් වී විචිත්‍රවත් වී රට සමෘද්ධිමත් වී ඇති සමයේ මාර්ගයේ සහ පරිසරයේ විචිත්‍රත්වය දක්වමින් කිඹුල්වතට වැඩීමට සුදුසුම කාලය එළඹ ඇතැයි ගාථා හැටකින් කාළුදායි තෙරණුවන් බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියහ.

කාළුදායි තෙරණුවන්ගේ ඇරැයුම පිළිගත් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා එවූ දූත පිරිසෙන් පැවිදි වූ දස දහස් දහ දෙනා ද ඇතුළු විසි දහසක් මහ සඟ රුවන පිරිවරාගෙන මැදින් පුර පසළොස්වක් පොහෝදින සන්ධ්‍යාවේ දී කිඹුල්වත්නුවරට වැඩීම පිණිස රජගහනුවර වේළුවනාරාමයෙන් පිටත් වූහ.

දිනකට එක් යොදුන බැඟින් සැට යොදුන් දුර දින සැටක දී සම්පූර්ණ කළ බුදු පාමොක් මහ සඟන කිඹුල්වත්පුරයට ළඟා වූයේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේ දී ය. මේ කාලයේ බුදුපාමොක් මහ සංඝරත්නයට සුද්ධෝදන රජතුමා විසින් පිණ්ඩපාත දානය සකස් කොට කාළුදායි තෙරුන් අත එවන ලදී.

වෙසක් පොහෝ දා කිඹුල්වත්පුරයට ළඟා වූ බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට යමාමහ පෙළහර පෑ අතර බුදුපාමොක් මහ සඟනට පිය රජතුමා නිග්‍රෝධාරාමය පූජා කළේය. පසු දින පිණ්ඩපාතයේ යෙදෙමින් පිඩුසිඟා යාම බුද්ධ වංශයේ සිරිත බව පිය රජුට පෙන්වා දුනි. නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදි වූයේ ද මෙම කිඹුල්වත්පුර වැඩමවීමේ දී ය.


රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි

සම්බුදු සසුනේ අගසව් තනතුරු පිරිනැමූ වගයි

 


බුද්ධත්වයෙන් පසු දෙවැනි වර්ෂයේ තුන් බෑ ජටිල හිමිවරුන් ඇතුළු දහසක් පිරිවරත්, සැරියුත් මුගලන් තෙරවරුන් ප්‍රමුඛ දෙසිය පනහක් හිමිවරුන් ද යන එක් දහස් දෙසිය පනහක් මහ සඟ රුවන පිරිවරාගෙන රජගහනුවර වේළුවනාරාමයේ දී සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කොට වදාළේ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ ය.

මෙම අවස්ථාවේ පළමුව පැවිදි වූ හිමිවරුන් සිටිද්දී සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම පිළිබඳ ඇතැම් සංඝයා වහන්සේ අතර කතාබහක් ඇති වූ අවස්ථාවේ සැරියුත් මුගලන් දෙනම අනෝමදස්සී බුදු හිමියන්ගේ කාලයේ පටන් ප්‍රාර්ථනා කළ ලෙසට ම ගෞතම බුද්ධ ශාසනයෙහි අග්‍රශ්‍රාවක පත්වීම් ලද බවට බුදු හිමි කරුණු පහදා දීමෙන් එය සමනය කෙරිණි.

මෙම දෙනම වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරුවල පිහිට වූයේ ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවූ දිනයේ දී ය.

සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති ලෙස හා ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබන්නට වූහ.

මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන් අතර අග්‍රස්ථානය ලබන්නට වූහ.

බුද්ධත්වයෙන් ප්‍රථම විසි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේ අණ කිරීම් වශයෙන් විනය නීති පනවා නැත. ඕවාද නම් අවවාද යන අර්ථයයි. ප්‍රාතිමෝක්ෂය නම් භික්ෂූන් වහන්සේගේ විනය නීති මාලාවයි. ප්‍රථම විසි වර්ෂය තුළ මහා සංඝයා වහන්සේ අතර බරපතළ වැරැදි සිදු නොවූ අතර, බොහෝ හිමිවරුන් රහත් ඵලයට පත් වූහ. තමන් වහන්සේට ම හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට තිබේ. මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවකි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වන ගාථා තුනකි. එමගාථා තුනෙන් සමස්ත ත්‍රිපිටක ධර්මය ම සම්පිණ්ඩනය කොට දැක්වෙන්නේ ය.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං
විභඨෙයන්තෝ

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

උතුම් තපස් ගුණය ඉවසීමයි. අනුන් නසන, පෙළන තැනැත්තා මහණෙක් නොවේ.

සියලු පව් නොකිරීමත්, සියලූ කුසල් කිරීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාවයි.

අනුන්ට නින්දා නොකිරීම ද, හිංසා නොකිරීම ද ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි හික්මීම ද, පමණ දැන වැළඳීම ද, ප්‍රාන්ත සේනාසනවල ඇල්ම ද, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන උතුම් මිනිස් දහම් හි යෙදීම ද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි. යනු මෙම ගාථා තුනේ අර්ථයයි.

බුදුරජාණන් වහන්සේ් අවසාන වස් කාලය ගත කිරීමෙන් පසු රජගහනුවරින් නික්ම ආනන්ද තෙරුන් සමග චාපාල චේතිය වෙත වැඩම කොට සතර සෘද්ධිපාද වැඩූ අයකුට කැමැති නම් කල්පායුෂ විඳීය හැකි බව ජීවත් විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මේ අවස්ථාවේ ආනන්ද හිමියන් මාරාවේෂව සිටි හෙයින් බුදුරදුන් වදාළ දේ නොවැටහුණි. එවේලෙහි මාරයා පැමිණ බුදුරදුන්ට පිරිනිවන් පෑමට ආරාධනා කළ අතර, එතැන් සිට තුන් මසකට පසු තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුරජාණන් වහන්සේ මාරයාට වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නිශ්චිත කාලයක දී පිරිනිවන්පාන බවට තහවුරු කොට ආයුෂ අත් හැරීම ආයු සංස්කාරය අත් හැරීම නම් වෙයි.

රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි