Sri Padaya ශ්‍රී පාදය

සිරිපා වන්දනා ඇරඹෙයි පෝදා



පුරාතනයේ පටන් සමන්තකූටය ජගත් ආකර්ෂණයට ලක්වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි සිඛරය මත පිහිටුවා තිබීම නිසාය. උඳුවප් මස පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙයි. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය ශ්‍රී පාද වන්දනා සමයයි. මෙම වන්දනා සමය ආරම්භ වන්නේ චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීම තුළිනි. 

ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා ගමන් යාමයි. අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණ එකල පාගමනින්ම වන්දනා ගමන්යාමට මෙරට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. ශී‍්‍ර පාද වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි විය. සමන් දෙවියන්ට භාරහාර වී ශී‍්‍ර පාද වන්දනා ගමන ආරම්භ කරන ජනතාව ඇතැම් විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී ශී‍්‍ර පාද වන්දනාවේ යෙදුණාහ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානයයි. එම දුෂ්කරතාව නිසාම ශ්‍රී පාද වන්දනා ගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයාද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති. එහි දී ඔවුහු ගමන් විඩාව සංසිඳුවා ගැනීම පිණිස කවි ගායනා කළහ. 

කවි පමණක් නොව සිරිපා වන්දනාවටම ආවේණික වූ සැහැලි ස්වරූපයේ කියමන් රාශියක්ද පවතියි. මේවා ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද “වාගාලාප” ලෙස නම් කළ හැකිය. වන්දනා නඩය කොටස් දෙකක් වශයෙන් බෙදී මෙම වාගාලාප ගැයීම සිදු කෙරේ. මෙහි මුල් පේළිය වන්දනා පිරිසේ නායකයා හෝ ඒ පිළිබඳ දක්ෂතා ඇති වෙනත් කෙනෙකු හෝ හඬ නඟා කියයි. ඒ අනුව සෙස්සෝ සාමූහිකව අනෙක් පේළිය හඬ නඟා කියති. 

එවැනි වාගාලාප කොටසක් මෙසේ පෙන්වාදිය හැකිය.
අපේ බුදුන් – අපි වඳින්ඩ

පෙරළි පෙරළි – අපි වඳින්ඩ
එරන් පතුල – අපි වඳින්ඩ
මැණික් පතුල – අපි වඳින්ඩ

වම් සිරිපා – අපි වඳින්ඩ
දෙදණ නමා – අපි වඳින්ඩ
දඬු කෝඩුට – කරුණාවයි
සමන් දෙවිඳු – කරුණාවයි


මෙම වාගාලාප වන්දනා කරුවන්ගේ මුවින් නික්මෙන්නේ සමන්ගිර නැග යන කලය. සිරිපා වැඳගෙන පහළ බසින සැදැහැවත්හු

 ඉහළ නගින්නන් හමුවන කල මෙසේ කියති.
අපේ බුදුන් – අපි වැන්දා
ළල තබා – අපි වැන්දා
වඳින්ඩ යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි


එවිට සමනොල නගින පිරිස මෙසේ කියති.

වැඳල බහින මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
කරුණාවයි – කරුණාවයි

සමනල ගිර නැගීමේදීත් බැසීමේ දීත් වන්දනාකරුවන් මෙම වාගාලාප කියනුයේ වෙහෙස නිදිමත ආදිය දුරුකර ගැනීමටත් ආගමික සද්ධාව දියුණුකර ගැනීමටත් ය. සිරිපා වන්දාවේ දී තුන් සරණය නමැති ජන කාව්‍යයේ එන කවි ගායනා කිරීමද සම්ප්‍රදායික සිරිතකි.

තවද සිරිපා වන්දනාව හා ආවේණික වු විශේෂ වචන මාලාවක්ද තිබේ. මේ වචන මාලාව සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක වත් භාවිත වන බවක් දැකිය නොහැකිය. මෙම වචන මාලාව අතුරින් හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ ඉර සේවය යන නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන් හිදී ආශිර්වාද කරගන්නේ කරුණාවයි කියමිනි. ජීවිතයේ ප්‍රථම වතාවට සිරිපා වන්දනාවේ යන තරුණයා “කෝඩුකාරයා” නමිනුත් ප්‍රථමවරට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා “දඬුකෝඩු” නමිනුත් කුඩා දරුවකු හෝ දැරියක කිරිකෝඩු නමිනුත් හැඳින්වේ. තද අඳුර සහිතව වළාකුළු පැතිරයාම සිරිපා වන්දනාවේ දී’කෝඩේ” නමිනුත් වැසි වසින බව හැඟවීම “ගඟුල බානවා” නමිනුත් ව්‍යවහාර වේ. 

සිරිපා වන්දනාවේ දී භාවිතා වන “පරඬැල් පෑගෙනවා” යනුවෙන් අදහස් කරනුරයේ “කටු ඇනෙනවා” යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා ගන්නේ “සංහිඳේ” යනුවෙන් පැවසීමෙනි. “ඉඩදෙන්න” යනු එහි අර්ථයයි. සිරිපා වන්දනාකරුවා, ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය, “සැහැල්ලුව, නම් වේ. සමනොල කන්දේ ඉහළ කොටසේ තද සීතලක් පවතියි. එම තද සීතල සහිත ප්‍රදේශයෙහි ගමන් කිරීම “හිමේ නගිනවා” යනුවෙන් හැඳින්වේ. වන්දනා කරුවන් සිරිපතුල වැඳීමට පෙර පිරිසුදු වීම ‘පේවීම” නම් වේ. දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකිය . සිරිපා වන්දනා කරන පිරිස “නඩය” නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා “නඩේ ගුරා” වන්දනාවට පමණක් ආවේණික මෙම වචන මාලාව සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම්කර ගැනීමයි. 

සිරිපා වන්දනාවේදී ගෙත්තම් කිරීම නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉදිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම බව මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන්දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදු කෙරෙයි. 

සිරිපා මාර්ගය හා සබැඳි බොහෝ ස්ථාන නාම සිංහල ජන වහරට එක්වී ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණිහෙළ, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැළ කණුව මෙන්ම හැටන් මාර්ගයේ තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම භගවා ලෙණ ඒ අතර කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජන ශ්‍රැති බිහිවී ඇත. රත්නපුර පාරේ ඇහැල කණුව අසලින් ඉහළට නගින්නට එදා තිබුණේ ඉතාමත් අවදානම් සහගත යකඩ ඉනිමගක්ය. සිරිපතුල හැටන් පාරෙන් බහින්නට පටන්ගත් කල මහගිරිදඹ හමුවන්නට පෙර භගවා ලෙන හමු වෙයි. එහෙත් බොහෝ වන්දනාකරුවන්ට භගවා ලෙන දැකීමට අවස්ථාව නොලැබෙයි. භගවා ලෙන වන්දනාකරුවන් නගින පඩි මගට මඳක් එපිටින් පිහිටා තිබීම එයට හේතුවයි. සිරිපා කරුණා කරන වන්දනා කරුවන් මහගිරිදඹ පසු කළ සැණින් මලුවට යාමට කඩිනම් වන නිසාද භගවා ලෙන අතපසු වෙයි. භගවා ලෙන වනාහි බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ දිවා ගුහාව යයිද විශ්වාසයක් ඇතැමුන් තුළ පවතියි. මහගිරිදඹ තද බෑවුම් සහිත දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්වද පිහිටා ඇත. ඉන්දියාවේ සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනශ්‍රැතියේ සඳහන්ය. “ධර්මරාජ ගල’ යනු එම කොටසයි.

සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිනණුයේ පාත මලුවටයි. එම ප්‍රදේශය වන්දනා කරුවන් බෙහෙවින්ම ගැවසෙන විශ්‍රාම ශාලා සහිත ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ සිට වන්දනා කරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ඉර සේවයයි. උදෑසන සූර්යයා උදාවී ගෙන ඒම සිරිපා අඩවියේදී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මලුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. 

සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සාම්ප්‍රදායිකව පැවැත්වෙන පුද සිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන් හිදී සිදුවන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින සැදැහැවතුන් සියලු දෙනාම මලුවෙන් ඉවත්කර පිවිසෙන දොරටු වැසීමයි. ඉන් අනතුරුව මලුවේ කාර්ය මණ්ඩලය විසින් නානා විධ සුවඳ වර්ග මුසු කළ පැන් කළ හතකින් ශී‍්‍ර පාද පද්මය දෝවනය කරනු ලැබීම සිදු වේ. ඉක්බිතිව සුමන සමන් දේවාලයද එලෙසින්ම පවිත්‍ර කෙරේ. මුලු සිරිපා මලුවම සුවඳ පැනින් සෝදා සඳුන්කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරණි සිරිතකි. 

මෙම පවිත්‍ර කිරීම්වලින් පසුව සාම්ප්‍රදායිකව සකස් කළ බුද්ධ පූජාව ගෞරවාන්විත පුද පෙරහරක් මගින් මලුව වටා තෙවරක් වැඩම කරවා ගෙන විත් ශී‍්‍ර පාද වහන්සේ අබියස තැන්පත් කෙරේ. දේව පූජාවද එබඳුම පූජා පෙරහරක් මගින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවත්නට වන්දනාව සඳහා දොරටු විවර වනුයේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍රවිධි පැවැත්වීමෙන් පසුවයි. ශී‍්‍ර පාදස්ථානයෙහි ආගමික තේවාව භාරව සිටින භික්ෂූන් වහන්සේ දෛනිකව උදේ සවස ශී‍්‍ර පාද වහන්සේ අබියස සහ සමන් දේවාලය තුළ සෙත් පිරිත් දේශනා කරති. කපුරාළවරුන් ගේ යාතිකාවන්ද සිරිත් පරිදි පැවැත්වේ. 

ඌරුගමුවේ අස්සජි හිමි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි. 

පූජනීය වූ පින්බර බෝධිය (උඳුවප් පොහොය)



නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යස්සමූලෙ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං

සකල ජනමන සනසන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමි දම්පුරා දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවණ යට වජ්‍රාසනාරූඪව සියලු කෙලෙසුන් සුන්කොට සිව්සත්දම් තම නැණින්ම ප්‍රත්‍යක්ෂකොට ඒ උතුම් ලොවුතුරා බුද්ධත්වයට පැමිණ වදාළ සේක.
උතුම් බුද්ධත්වය ලබාගැන්වීමට අතිශයින්ම මහෝපකාරීවු වෘක්ෂ රාජයාණන් වහන්සේටද බෝධිය යන නාමයෙන් ගෞරව සම්මාන වන්දනා මාන පූජා සත්කාර කරන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ජනතාවට ලැබෙන සෙත් ශාන්තිය අපමණය. 

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් විහිදෙන බුදුගුණ මහිමය නිසා අප මහ බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදීම එක්වන්ව උපන් කාල පරිච්ඡේදය අනුව 2600 වසරකට වැඩි දීර්ඝ කාල පරාසයක් තුළ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාව පරපුරෙන් පරපුරට තම තමන්ගේ අභිමතාර්ථයන් යතා පරිදි ඉෂ්ට සිද්ධකරගත් අතර මතුවටද එසේම වන්නේය. 

බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, ජේතවනාරාමය ඉදිරිපස ආනන්ද බෝධින් වහන්සේද, අනුරාධපුර වැඩ සිටින දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේද යන තුන් බෝධීන් වහන්සේ දිවමන් බුදුරජාණන් වහන්සේ සේම අපමණ දෙවි මිනිසුන්ගේ නෙත් සිත් සනසන සේක. 

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි අරිට්ඨ අමාත්‍යවරයා ප්‍රධාන රාජදූත පිරිස රජුගේ හසුන් පත් රැගෙන දඹකොළ පටුනට ගොස් නැව් නැගී පාඨලී පුත්‍ර නගරයට සැපත්ව දම්සෝ නරනිඳු බැහැදැක සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙන්ම දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේද ශී‍්‍ර ලංකාදීපයට වැඩම වන අපේක්ෂාව දේවානම්පියතිස්ස රජතුමාට හා මිහිඳු මහ රහතන් වහන්සේට මෙන්ම අනුලාදේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන්ට ඇතිවග දක්වා සිටියහ.

ධර්මාශෝක රජතුමාද මෙවන් උතුම් එහෙත් බැරෑරුම් කාර්යේදි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් අපේක්ෂා කළහ. තෙරුන්වහන්සේද බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහක් පැවැති වග රජතුමාට මතක් කර දුන් සේක.
01. අශෝක මහ රජතුමා මහාබෝධි ශාඛාව ගන්නට බෝමැඩ ළඟට යන අතර මහාබෝධියෙන් දක්ෂිණ ශාඛාව තෙමේම සිදී රන් තටාකයෙහි පිහිටේවා.!
02.එම බෝධින් වහන්සේ පිහිටන කල ජය ශ්‍රී මහා බෝධිය හිම වලා ගැබකින් වැසේවා!
03.සත්වැනි දින හිම වලාගැබ පහවී රන්කටාරමේ පිහිටන අවස්ථාවේ පත්‍රවලින් හා ඵලවලින් සවණක් රැස් විහිදේවා!
04.ථූපාරාමයේ දකුණු අකුධාතුව නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය කෙරේවා!
05. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතු මහාසෑයේ නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය සිදුකෙරේවා!
දහම්සෝ රජතුමාද මෙම අධිෂ්ඨාන පස අසා අතිශය සොම්නස්ව පාඨලීපුත්‍ර නගරයේ පටන් ජය ශ්‍රී මහ බෝධිය දක්වා මාර්ගය සරසවා අනිකුදු කුදුමහත් කටයුතු සූදානම් කරවූහ. 

ප්‍රථමයෙන් නවරියන් වට ප්‍රමාණ පස්රියන් උස අටඟුල් ඝන රන් කටාරමක් නිර්මාණය කරවා රජතුමා සිව්රඟ සෙනඟ පිරිවරා ආර්ය මහා සංඝරත්නය පෙරටු කරගෙන මහාබෝධිය සමීපයට සැපත් වූහ. තවද සපරිවාර රජ මැති ඇමතිවරුන් සමඟ නොයෙක් මල් ජාති අතුරා පුද පූජා පවත්වා මහාබෝධිය වන්දනාමාන සිදුකළහ. එකෙනෙහිම මහා බෝධියේ කඳ හා දක්ෂිණ ශාඛාවද හැර සෙසු සියල්ල වළාගැබින් වැසී ගියේය.මේ ප්‍රාතිහාර්ය දුටු රජතුමා පස්වනක් පී‍්‍රතියෙන් පිනාගොස් මහා සංඝරත්නයට එය ප්‍රකාශ කොට එකල දඹදිවම බෝධින් වහන්සේට පූජා කළහ.
යළිදු රජතුමා රන් පුටුවක නැගී රන් නූලක් ගෙන දක්ෂිණ ශාඛා කඳ වටේ ඔතා මහා බෝධිය තෙමේම වෙන්වී රන් කටාරමේ පිහිටියේය. 

පාලි මහා බෝධිවංශයේ විස්තරාර්ථයට අනුව චිර අධිෂ්ඨානයෙන් හා ශ්‍රද්ධා භක්තියෙන් සපිරි ධර්මාශෝක රජතුමා මුල රේඛාවට මත්තේ තුනඟුලක් පමණ ඉරි තුනක් ඇන්දාහ. එකෙනෙහිම මහ මුල් දහයක් පැන නැංගේය. රජතුමාණෝ රන්පුටුව මත සිට මෙම ප්‍රාතිහාර්ය දැක පස්වනක් පී‍්‍රතියෙන් පිනා සාදු නාද පැවැත්වූහ. දහස් ගණන් මුල්වලින්ද පංච ශාඛාවන්ගෙන්ද සමලංකෘතවූ දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේගේ ශාඛා අතර ඵල පත්‍රවලින් සවණක් රැස් විහිදෙන්නට විය. 

ධර්මාශෝක රජතුමා අනෝතත්ත විලෙන් ජලය ගෙන්වා බෝධින් වහන්සේ අභිෂේක කරවා අසහාය බෝධි පූජාවක් සිදුකළ අතර ප්‍රාදේශීය රජමැති ඇමැතිවරු හා ජනතාවද උපරිමයෙන් එයට සහභාගිවූහ. තවද මෙම රන් තටාකය තුළ තිරස්ව පිහිටවූ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවීම සඳහා බුද්ධගයාවෙන් පැළලුප් නුවරටද එනුවරින් නැවත වින්ධ්‍යාවනය මැදින් තාම්‍රලිප්ති තොටුපොළ දක්වා ඉතා විචිත්‍රාකායෙන් සරසවා රාජකීය පෙරහරකින් වැඩමවා ගෙන අවුත් වේලාන්තයෙහි අනර්ඝ විචිත්‍ර මණ්ඩපයක වඩා හිඳුවා යළි පූජා පවත්වා මෙරටට වැඩමවීමට සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කරවූහ. 

එසමයෙහි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම වීමේදී පිරිවර වශයෙන් භික්ෂුණීන් එකොළොසක් සමඟ සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ සඳහා විශේෂ නැවක්ද සොළොස් කුලයක අට දෙනා බැගින් සියගණන් පිරවර සඳහා වෙනත් නැවක්ද, ලංකාවෙන් ගිය අරිට්ඨ ඇමැතිතුමන් ප්‍රධාන පිරිසට වෙනම නැවක්ද සකසා යොදවා රජතුමා දියට බැස දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ හිසමතින් නැවෙහි රන් පුටුව මත වඩා හිඳවූහ.

උඳුවප් මස පුර පෑළවිය දිනයෙහි මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේ තාම්‍රලිප්ති තොටුපොළින් ලක්දිවට වැඩමවන මොහොතේ රජතුමාට ඇතිවූ පි‍්‍රයවිප්පයෝග දුක්වේදනාව වචනවලින් කඳුළු සැලීමෙන් ප්‍රකාශ කරන්නට වීම සත්‍ය වශයෙන්ම ස්වභාවික වන්නේය. 

දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවන නෞකාව ගමන් කරන විට දර්ශන පථයට ඉක්මවා යත්ම රශ්මිමාලා විහිදෙන බෝධින් වහන්සේ අපට නොපෙනී යන්නේ යැයි නැවත නැවත කියමින් වඳිමින් කඳුළු සලමින් වැළපෙමින් අශෝක රජතුමාණෝ යළි පාඨලී පුත්‍ර නගරය කරා සපරිවාරව පිටත්වූහ.
මෙසේ නොයෙක් ප්‍රාතිහාර්ය පාමින් බුදුරැස් විහිදුවමින් මහ සාගරයේ ජල තරංග මධ්‍යයේ නෞකා ගමන් කරන්නේ නාග භවනෙහි නාගයෝ අවුත් වටකොට දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ නෞකාවෙන් ඇරගෙන නාග ලොවට වැඩමවාගෙන රුවන් මණ්ඩපයක වඩා හිඳුවා සතියක් පුරා පුජා විධි පවත්වා යළි නෞකාවේම වඩා හිඳවූහ. 

මෙසමයෙහි දෙවන පෑතිස් රජතුමාද සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි උඳුවප් මස පුර පැළවිය දිනයෙහි පටන්කොට නුවර උතුරු දොරටුවෙහි සිට දඹුලුතොට දක්වා සරසවා සිව් රඟ සේනා සමඟ සිට ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිගෙන වඩා හිඳුවීමේ අපේක්ෂාවෙන් සොම්නස්ව සිටියහ. මෙසේ සමුද්‍රාසන්න විසිතුරු මණ්ඩපයක මත වඩා හිඳුවා අනේක විධ පූජා පවත්වා යළි සරසන ලද මණ්ඩපයක් මත වඩා හිඳුවා අනර්ඝ වූ විසිතුරු වූ රජ මහ පෙරහරකින් අනුරාධපුරයට වැඩම වූහ. සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ සහිත පෙරහර අනුරාධපුර නුවරට අතුරු දොරින් පිවිස මඟුල් මහා වීථීයෙන් ගෙන දකුණු දොරින් පිටත්කොට මහමෙව්නා උයනෙහි පෙර කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අති පූජනීය භූමියෙහි පිහිටවූහ. 

මෙසේ මහා ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටිය බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵලරුහ බෝධින් වහන්සේ මෙන්ම දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේලාද දේවානම්පියතිස්ස රජතුමා දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ ප්‍රථමයෙන් වැඩමවූ දඹකොළ පටුනේ පටන් ඒ ඒ සිද්ධස්ථානවල රෝපණය කරවා එම සියලුම බෝධින් වහන්සේලාටම පුද පූජා පැවැත්වූහ. 

 අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි

බුදුසරණ පත්‍රයේ උපුටා ගැනීමකි.

ධර්මදූත සේවාව ආරම්භ කළ ඉල් පොහොය



බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය. 
 

වස්සාන සෘතුවේ අවසාන පොහොය වූ ඉල් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ සිදුවීම් රාශියක් ම නිසා වැදගත් තැනක් ගනී. ඒ අතුරෙන් ධර්මදූත සේවාව ප්‍රධානය. ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවක් දැක්වූ බුදුරදුහු බෝසත් අවධියේ සිටම ප්‍රධාන වශයෙන් සත්වයාගේ සැපත හා දියුණුව මහත්සේ අගය කොට ක්‍රියා කළහ. බුද්ධත්වයට පත්ව පළමු වස බරණැස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන්වීමත් සමඟම ඒ උසස් කරුණාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව පෙනේ. ප්‍රථමයෙන් පැවිද්ද ලබාගත් පස්වග තවුසන් ද, අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පනස් පස් දෙනා ද වශයෙන් හැට නමක් වූ රහත් භික්ෂු පිරිස අමතා “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” යනුවෙන් “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස සැරිසරමින් ධර්මය දේශනා කරන්න” යයි නියම කළහ.

බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය. සත් සති ගතකොට අවසන් වූ කල්හි බුදුරදුන් සමීපයට පැමිණි මහා බ්‍රහ්මයා ධර්මය දේශනා නොකළොත් ලොව වැනසේවි. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා යි ආරාධනය කළේ ය. එදා ඉසිපතනයේ දී ප්‍රථම වරට දහම් දෙසා වස් වැස නිම කොට අවසානයේ ගම් නියම්ගම් හරහා වැඩම වන්නටයයි සඳහන් කොට ධර්ම දූත සේවාව ආරම්භ කිරීම නිසා අද දක්වා මුළුමහත් සමාජයෙහි සදාචාර සම්පන්නභාවයත් සමෘද්ධිමත්භාවයත් උසස්සේ ගොඩනැගුණි. ආත්මාර්ථ, පරාර්ථ යන උභයාර්ථයේම අභිවෘද්ධිය මේ මගින් සැලසුන බව ප්‍රකට කරුණකි.

තම ශ්‍රාවක පිරිස ධර්ම දූත සේවය සඳහා මෙහෙය වූ බුදුහු රජගහනුවර බලා වැඩමවීම ආරම්භ කළහ. අතරමග උරුවෙල් දනව්වෙහි දී පන්සීයක් පිරිස සහිතව සිටි උරුවෙල කාශ්‍යප නම් ජටිල තාපසයාත්, තුන්සීයක් පිරිස සහිතව සිටි නදී කාශ්‍යප නම් ජටිල තාපසයාත්, දෙසීයක් පිරිස් සහිතව සිටි ගයා කාශ්‍යප නම් ජටිලයාත් පෙළහර දැක්වීමෙන් දමනය කර අනතුරුව ධර්මය දේශනා කොට පහදවා ඒ සියලු දෙන පැවිදි බිමට පත් කළහ. මේ සැම දෙන බුදුරදුන් දේශනාකොට වදාළ ආදිත්‍ය පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූහ. ඉල් පුර පොහොය දිනක වූ මෙය ආශ්චර්ය ජනක සිදුවීමකි.

අනාගතයෙහි බුදු බවට පත්වන මෙත් බෝසතුන් උතුම් වූ විවරණ ලැබීමේ සිදුවීම ද ඉල් පුර පොහොය හා සම්බන්ධව පවතී. තව්තිසා දෙව්ලොව වස් එළැඹ වැඩ විසූ බුදුහු වප් පොහොය දින සංකස්ස නුවරට වැඩම වීමේ අසිරිමත් සිදු වීම දැක ප්‍රසාදයට පත් මෛත්‍රිය බෝධිසත්වයෝ පිරිවර සමඟ පැවිදි බවට පත් වූහ. චීවර මාසය අවසානයේ දී තමන්ට ලැබුණු වස්ත්‍ර දෙකෙන් එකක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි වියනක් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තැබූ කළ මේ මහා දර්ශනීය පූජාව කළ තැනැත්තා කවුරුන්දැයි දිවසින් විමසා බැලූ බුදුහු ආර්ය මෛත්‍රීය භික්ෂු නම සැදැහැයෙන් කළ පූජාවක් බව දැනගෙන සොම්නසට පත්ව දිවැස් යොමුකොට බලා අනාගතයේ උන්වහන්සේ මෛත්‍රිය නමින් බුදුවන බව ප්‍රකාශ කළහ. මෙසේ මෙත් බෝසතුන්ට උතුම් වූ නියත විවරණ දෙන ලද්දේ ඉල් පුර පසළොස්වක් පොහොය දිනයක වීම වැදගත් ය. 

අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ සහෝදර චුන්ද, උපසේන, රේවත යන අයත්, චාලා, උපචාලා සිසූපචාලා යන සහෝදරියනුත් පැහැද සසුන් ගතව රහත් භාවයට පත්ව වැඩ විසූහ. එහෙත් ඒ සැමගේ මෑණියන් වූ රූපසාරී බැමිණිය මේ වන විටත් මිථ්‍යා දෘෂ්ටික කාන්තාවක්ව ජීවත් වූවා ය. එක් දිනක් දිවැස් යොමු කළ සැරියුත් හිමියන්ට තමන්ගේ ආයු කාලය අවසන වී ඇති බව වැටහුණි. එවිට බුදුරදුන් හමුවට වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලූහ. එහිදී “බුදුහු සාරිපුත්තයනි, ඔබ කැමැත්තක් කරන්න, මෙයින් පසු මේ භික්ෂු සංඝයාට ඔබ වැනි උසස් භික්ෂු නමකගේ දර්ශනය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට ධර්ම දේශනා කරන්න.” යැයි ප්‍රකාශ කළහ. බුදුරදුන්ගේ නියමය අනුව උන්වහන්සේ භික්ෂුනට ධර්මය දේශනා කළහ. සැරියුත් හිමියෝ පිරිනිවන් පෑම සඳහා ඉල් පුර පසළොස්වක් පොහෝදා සවස් වේලෙහි නාලක ගමේ තමන් උපන් නිවසට පන්සියයක් සංඝරත්නය සමඟ වැඩම වූහ. රූපසාරී මව සිය පුතණුවන්ට වැඩ සිටීම සඳහා උන්වහන්සේ උපන් කාමරය ම පිළියෙළකොට දුන්නා ය. එදින අපමණ දෙව් බඹුන් සැරියුත් හිමිපාණන්ට වැඳ ගෞරව පූජා පැවැත්වීම දැකීම නිසාත් සැරියුත් මාහිමියන් තුනුරුවන්ගේ අගය ද පෙන්වා දෙමින් පැවැත් වූ ධර්ම දේශනාව ඇසීම නිසාත් ප්‍රසාදයට පත් වූ රූපසාරී මව්තුමිය සෝවාන්භාවයට පත් වූවා ය. මේ සිදුවීමත් සමඟ සදාදර මවුතුමියත් සැරියුත් පුතණුවනුත් මහත්සේ සැනසීමට පත් විය. එදින මෙයින් පසු ඉල් පුන් පොහෝ දිනය අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑමත්, රූපසාරි මව එදිනම මගඵල ලැබීමත් අගනා ශාසනික සිදුවීම්ය. 

සැරියුත් මාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කොට අවසානයේ එම ශාරීරික ධාතු රැගෙන ආ චුන්ද රහතන් වහන්සේ ඒවා බුදුරජාණන් වහන්සේ අතට පත් කොට සියලු තොරතුරු දන්වා සිටියහ.මේ අවස්ථාවෙහි භික්ෂූන් රැස්කළ බුදුහු සැරියුත් හිමියන්ගේ ගුණ ප්‍රකාශ කරමින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අගසව් තනතුර ලබාගත් බවත්, තමාට පමණක් දෙවෙනි වූ මහත් නුවණක් ඇති බවත්, අපිස් සතොස් ගුණයෙන් යුක්ත බවත්, තමා අනුවම සිදු කළ දහම් දෙසුම් ඇත්තෙකු බවත් පෙන්වා දී ගාථා පන්සීයකින් උන්වහන්සේගේ ගුණ වර්ණනා කළහ. එයින් නො නැවතුන බුදුහු ‘පන්සීයක් ජාති පැවිදිව කාම සම්පත්තියෙන් ඉවත් වී, ඉන්ද්‍රියන් මනා කොට හික්මවාගෙන, පහ කරන ලද ආශාවන් ඇති, පිරිනිවන් පා වදාළ සැරියුත් මාහිමියන් වන්දනා කරන්න යැයි පහත සඳහන් ගාථාව දේශනා කළහ. 

යො පබ්බජි ජාති සතානි පංච
පහාය කාමානි මනොරමානි
තං විතරාගං සුසමාහිතිනිද්‍රියං
පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං 

 
බුද්ධ දේශනාවෙහි දැක්වෙන මහා කුසල් අටකි. ඒ අතුරින් කඨින පූජාව විශේෂ පින්කමකි. අටපිරිකර පූජාව, ආවාස ගෙයක් තනවා පූජා කිරීම, බුදුපාමොක් සඟරුවනට දානයක් දීම, ධර්මය ලිවීම හා ලියවීම, කෙත්වතු පිදීම, බුදු පිළිම තැනවීම, වැසිකිළි සාදවා පූජා කිරීම යන අටමහ කුසල් අතර දැක්වෙන මේ හතම කවර කාලයක වුවත් සිදුකළ හැකිය. ඒ පිළිබඳ විස්තර සූත්‍ර පිඨකයේ විවිධ ස්ථානවල පැහැදිලිව දැක්වේ. එහෙත් කඨින පූජාව පිළිබඳ විස්තර හා ආනිසංස දැනගත හැක්කේ විනය පිටකයෙන් පමණි. ඒ අනුව එම කඨින පින්කම කලින් පින්කම් මෙන් නොව වප් අව පෑළවිය දින සිට ඉල් පුර පසළොස්වක් දින දක්වා අතර එක් දිනක පමණක් එක් විහාරස්ථානයක කළ හැකි දුර්ලභ පින්කමකි. එසේම මේ සඳහා ගිහි පැවිදි දෙපක්ෂයම එකට එකතුව සිදු කළ යුතු කුසල ක්‍රියාවකි. යම් විහාරස්ථානයක ඇසළ පුන්පෝදා පොහොය කර්ම සිදු කොට පසු දින වස් එළඹුනු භික්ෂු නමක් වප් පොහොය දා මහා පවාරණය නම් විනය කර්මය සිදු කොට අවසන් වන තෙක් වස ආරක්ෂා කර ගනිමින් වැඩ සිටියහොත් පමණක් කඨිනයක් පූජා කළ හැකිවෙයි. මේ අන්දමට කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි. 

කොළඹ ආනන්ද විද්‍යාලයෙහි විශ්‍රාමික සහකාර විදුහල්පති
රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පති
කොළඹ නවකොරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

(වප්පුරපසලොස්වක පොහොය) කඨින පූජෝත්සවය හා සබැඳි සමාජ යථාර්ථය


බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින් සැලකේ.


අකාලික වූ දහමක් ලෙසින් විවරණය කෙරෙන බුදු දහම තුළ පුද්ගලයා හා සමාජය පිළිබඳ ගැටලුව හා එහි යථාර්ථවත් බව විමර්ශනය සිදු කරන අතර මානව සන්තාන ගත සිතුවිලි හා එහි සංයත බව ඇති කරනු වස් නිවැරදි පිළිවෙතක් වෙත පුද්ගලයා යොමු කරවනු ලබයි. පුද්ගල සමූහයකින් සමන්විත සමාජයක පුද්ගල චින්තනය ද විවිධය. ආගම හා බැඳෙන පුද්ගල බද්ධතාව ඒකීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ කිරීම හා යොමු කිරීම පහසු කාර්යයක් නොවේ. 

ආගම තුළින් පුද්ගල සංයත බව ඇති කරනු ලබන අතර පුද්ගල නිෂ්ඨාවක් වෙත යන ගමනට අර්ථාන්විත බවක් ලබාදෙයි. බුදු දහමේ මූලික පරමාර්ථය නිවන වුවද නිවන තෙක් යන ගමනේ දී කායික හා මානසික සුඛ විහරණය හා එහි යථාර්ථවත් බව බුදු දහම විසින් නිරතුරු සනිටුහන් කරනු ලැබේ. මේ නිසා පුද්ගල බද්ධතාව වඩා තහවුරු කරමින් සාමය සමඟිය හා පොදු බව මානව සිතුවිල්ලට හා ක්‍රියාකාරීත්වයකට එක්කොට ආත්මාර්ථිත බවින් පුද්ගලයා නිදහස් කොට පොදු පරමාර්ථයකට යොමුවීම ඔස්සේ මමත්වයෙන් තොර ජීවන ගමනකට යොමුවීමක් ද දක්නට ලැබේ. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ සිත හා සිතිවිලිවලට මූලික තැනක් හිමි වුව ද සිත හා සිතිවිලි දමනයටත් ගතේ සිතේ සංවර බව ද අනෙක් පසින් උපනිශ්‍රය වන බව පැහැදිලිය. මේ නිසා මුල් බුදු සමයට වඩා පසු කාලයේදී ආගම පදනම් කරගත් උත්සව සම්ප්‍රදාය වඩාත් සංවර්ධනයක් වෙත ගමන් කිරීමේ එක් අරමුණක් වන්නේ සමාජය තුළ සදාචාරය මෙන්ම සංවරත්වය ඇති කිරීමය. ජනපි‍්‍රය ආගමක් බවට බුදුසමය පත්වීමට ජනවිඥානයට ගැළපෙන ආකාරයෙන් ධර්ම කරුණු සකස්වීමද එහි ප්‍රායෝගිකත්වයට ජනතාව නැඹුරු කිරීමක් ද විය. ගිහි පැවිදි දෙපාර්ශ්වයේ සංයත බව මතු කෙරෙන ආගමික පදනමක් ඇති උත්සවයක සමාරම්භය වස් සමාදානයෙන් ආරම්භ වේ.


ආගමික උත්සවයක සමාරම්භය
එදා දඹදිව බ්‍රාහ්මණ හා අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන් නියෝජනය කළ පිරිස් විසින් වැසි සමය එළඹෙත්ම එක්තැන්ව ගත කළ දිවිය ආදර්ශයට ගනිමින් හා මහජන මතයට ගරු කරමින් භික්ෂු දිවියට ද එම ගුණාංගය එකතු කරලීමට බුදුරදුන් ගත් තීරණයක් ලෙසින් වස් සමාදානය අර්ථ ගැන්විය හැකිය. “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යන බුදුවදන ප්‍රඥප්තියක් හැටියට ගරු කළ උපසපන් ලාභී භික්ෂුව වැසි සමය උදාවත්ම විසීමට සුදුසු තැනක් සොයා යන අතර දායකකාරකාදින්ගේ සිවුපසය ලබමින් සිය ආධ්‍යාත්මීය පාරිශුද්ධියට මෙන්ම සිය දායකකාරකාදීන්ගේ විමුක්ති මඟ සවිමත් කරලීමට සිය උපදේශනය ලබාදීමට ද කටයුතු කරනු ලබයි. තුන් සිවුරට අමතරව තවත් සිවුරක් තබා ගැනීමට අවසරය දීමක් ලෙසත් වස් විසූ භික්ෂුවට කඨිනයක් ලබා ගැනීම සුදුසු බව බුදුහු අනුදැන වදාළ අතර එම චීවර පූජාව අට මහා කුසලයට ගැනෙණ පින්කම ලෙසින් ද සමාජ ගතවීම හරහා කඨිනයත් කඨින පූජාවත් බෞද්ධ ලෝකයේ මහාපූජෝත්සව ගණයට එකතු වේ. බුද්ධ කාලයෙන් පසු අවධිය ගම්, නියම්ගම් හා ජනපද ඇසුරින් රාජරාජ මහාමාත්‍යයවරුන්ගේ අනුග්‍රහ ලැබූ බෞද්ධ පින්කම් අතර කඨිනය මුල් කරගත් පින්කම වාර්ෂික බෞද්ධ පින්කම අතර ප්‍රධාන පින්කම බවට පත්ව තිබේ. 


ප්‍රධාන කුසලය
වස් සමය ලෙසින් සැලකෙන තුන්මාසයක් මුළුල්ලේ භික්ෂුවට සිව්පසයෙන් උපස්ථානය කළ දායක කාරකාදීනට උන්වහන්සේ මුල් කරගනිමින් අටමහා කුසල් අතර ප්‍රධාන කුසලය ලෙසින් සැලකෙන කඨින පූජාවක් සිදු කිරීමට ලැබීම මහඟු අවස්ථාවක් ලෙසින් සැලකිය. එය නිවනින් කෙළවර වෙන නිවන තෙක් නොනැසෙන පින්කමක් ලෙස ජන හදවත්වලට එකතුවීම නිසා උපහාරයන් දක්වමින් ගෞරවාන්විතව පූජා කරනු ලබන චීවරයක් බවට කඨින චීවරය පත් කරලනු ලබයි. එය හුදෙක් පින්කමෙන් ඔබ්බට ගිය බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින් සැලකේ. ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් කරලනු ලබන කාලයක් ලෙසට වස් කාලය සැලකෙන අතර කඨින චීවරය විසින් එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කරලනු ලබයි. බොදුනුවන් තුළ වන කඨින චීවරයට ඇති ලැදිකම, භික්ෂුව කඨින චීවරය දැරීම, ඊට කරනු ලබන සිරිත් විරිත් ආදිය භික්ෂුවට සිය දායක පිරිස ළඟාකරවීමක් විය. එමෙන්ම චීවරය සකස් කර ගැනීම හරහා සෑම දෙනාගේ දායකත්වය ආධාරය උපකාරය උස් පහත් භේදයකින් තොරව ලබාදීම ඔස්සේ එම චීවරය දරන භික්ෂුවට ගිහි පාර්ශ්වය සමීප කරනු ලැබීය. මෙම ද්වන්දාත්මක බන්ධනය දෙපාර්ශවයේම ශික්ෂණයට එක් අතකින් හේතු වූවා පමණක් නොව, අනික් අතින් දෙපාර්ශ්වයේම විමුක්ති මඟ සැකසීමක් ද වේ. සාමයට හා සමානාත්මතාවයට එමඟින් ලැබුණු අවකාශ පුළුල් විය. ගමත් එය පිහිටි ප්‍රදේශයත් එකට එක් කළ ප්‍රධාන පින්කම හැටියට කඨින පූජාව වර්තමානය වන විට පන්සල කේන්ද්‍රිතව වර්ධනය වී තිබේ. ගමේ ජීවත් වන ලොකු කුඩා සැවොම එක්ව බෙරහඬ මැද සාදු නාද දෙමින් පෙරහරකින් දායක නිවසක සිට අලුයම කාලයේ හිස මත තබා වැඩමවන කඨිනය ගම්මුන් දරන්නේ ගමට කරනු ලබන ආශිර්වාදයක් ලෙසටය. ගම පුරා හිස මත තබා වැඩමවන චීවරය අර්ථවත් කරන ලද්දේ ආගම හා ජනයා අතර පවතින අවියෝජනීය සබඳතාවයයි. සැවොම එකට එක්ව සාදු නාද දෙන්නේ හද පිරි සතුටිනි. පෙරහරින් විහාරස්ථානය කරා ගෙන එනු ලබන චීවරයක් සැකසීමට සුදුසු රෙදි කඩ (දුස්සය) සෑම දෙනාම මහත් බැතියෙන් සාදු නාද මධ්‍යයේ භික්ෂූන් වහන්සේට පූජා කරනු ලබන්නේ මහත් ශ්‍රද්ධාවෙනි. සෑම දෙනාම සම මෙත් සිතින් එකම තලයක වාඩි වී අපිරිමිත බැති සිතින් භික්ෂුව වෙත පුදන චීවරය සැකසීමට සුදුසු රෙදි කඩින් සකසන චීවරය සිය දෙඅතින් තබාගෙන උපාසක ලීලාවෙන් සඟ සතු කරනු ලබන්නේ වාද භේදාදියෙන් තොර සමානාත්මතාවය මූර්තිමත් කරමිනි. මේ නිසා කඨින චීවර පූජාව මතු පිටින් දැක්වෙන තත්ත්වයට වඩා සමගිය, සමාදානය, සහෝදරත්වය, මිත්‍රත්වය තහවුරු කෙරෙන මානව දයාව වැනි සදාචාරයට පසුබිම සකසන බෞද්ධ පුද පූජාවන් අතර සමාජය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනු ලබන පින්කමක් ලෙසින් ද තවත් පසෙකින් අර්ථ විවරණය කළ හැකිය. 

බ්‍රාහ්මණ හා ශ්‍රමණ සම්ප්‍රදාය තුළ වැස්ස කේන්ද්‍රකොට එක්තැන්ව විසීමේ පිළිවෙත අරුත් ගන්වමින් නව දැක්මක් මත ඇති කෙරෙන වස්වැසීමේ සම්ප්‍රදායත් වස් අවසානයේදී වස් සමාදන් වූ භික්ෂූන් කේන්ද්‍රකොට කරනු ලබන කඨින පූජාව සම්බන්ධිත න්‍යායාත්මක පදනම බුද්ධ දේශනයෙන් ඉදිරිපත් කළ ආකාරය මහාවග්ග පාලියේ වස්සුපනානායිකඛන්ධකයෙන් අනාවරණය වේ. වස් සමාදානයේ සිට කඨින චීවර පූජාව දක්වා වූ න්‍යායාත්මක පදනම හා චාරිත්‍ර හා වාරිත්‍රයන් මෙමඟින් අවධාරණය කෙරේ.
ඒ අනුව බොදුනුවන්ගේ සංසාරික අභිමථාර්ථයන් ඉටු කෙරෙන මහා පිනක් මෙමඟින් අත්පත් කරගන්නවා පමණක් නොව, අනෙක් අතට අව්‍යාජත්වය, සදාචාරය ශක්තිමත් කෙරෙන බැම්මක් ලෙසටත් අභ්‍යාසයක් ලෙසටත් වාර්ෂිකව සිදු කරන කඨින පූජාව හඳුන්වාදිය හැකිවන අතර බෞද්ධ ජනයාගේ එකමුතුකමේ සංකේතාත්මක බව පෙන්වාදිය හැකි අවස්ථාවක් ලෙසටත් බෞද්ධ සමාජයේ යථාර්ථයන් මතුකිරීමක් ද කඨින පූජාව තුළින් ඉටු කෙරෙන බව සඳහන් කිරීම නිවැරදිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හගුරන්කෙත ධීරානන්ද හිමි 

බුදුසරණ අන්තර් ජාල කලාපය


The buddha

The Buddha බුදුරාණන් වහන්සේ

අප දකින රහත් බලය





අප බෞද්ධයන් වශයෙන් නිරන්තරයෙන්ම සාධු කියා මහහඬින් ශබ්ද කරමින් ප්‍රාර්ථනා කරන්නේ රහත් බවට පත් වීමේ වාසනාව අපට උදාවේවා කියන උත්තරීතර පැතුම් යි. මේ තත්ත්වයට ඇත්තෙන්ම පත් වීමෙන් අප අපේක්ෂා කරන්නේ සංසාර ගමනේ කෙළවරක් දැකීමටයි. ඒ මොකද අප නිරන්තරයෙන් ම කාමභෝගී සත්වයන් ලෙස විවිධ ගැටලුවලින් නිරතුරුව ම පෙළෙමින් ඒ ගැටලුවලට මැදි වී සැනසීමක් නැතුව ජීවත් වන සාංසාරික සත්ත්වයන් බවට පත් වී සිටින නිසයි. මේ නිසා මේ රහත් බව යන වචනය ඇසෙන පමණින් අපේ උපාසක උපාසිකාවෝ සාධුකාර දෙන්නට යොමු වෙනවා. එහෙම නම් මේ රහත් බවේ කිසියම් බලගතු ශක්තියක් බලයක් තිබෙන්නට ඕන කරනවා. බුදුරජාණන් වහන්සේ රහත් බවේ ශක්තිය කුමක්ද යන්න පැහැදිලි කර දීම සඳහා ඛීණාසවබලනමින් ම සූත්‍රයක් රැයක් දේශනා කර තිබෙනවා. අංශ්‍රව හෙවත් සත්වයා සසර බැඳ තබන සිත කිලිටි බවට පත් කරන කෙලෙස් සිඳ බිඳ සහමුලින් නැති කිරීම යන අර්ථය මේ බීණාසවයන වචනයෙන් තේරුම් කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ වැනි ඛීණාශ්‍රවයන් වහන්සේ සමඟ සැවැත් නුවර ජේතවනාරාමයේ දී කෙරෙන ධර්ම සාකච්ඡාවක ආකාරයෙන්, සැරියුත් මහ රහතන් වහන්සේ සමඟ මේ සාකච්ඡාව පැවැත් වීමෙන්ම ඛීණාශ්‍රවයන් වහන්සේ නමක් සතු ශක්ති හෙවත් බල පිළිබඳ අපට පැහැදිලි වන්නේ මෙම රහත් බවට කෙතරම් බලගතු උත්තරීතර මානසික තත්ත්වයක් ලැබී තිබෙනවා ද යන්නයි.
 
පළමුවන බලය
එවැනි ඛීණාශ්‍රව බල අටක් මෙහිදී කියැවෙනවා. එහිදී පෙන්වා දී ඇති පළමු වැනි බලය වන්නේ රහතන් වහන්සේ ලෝකයේ පවතින සියලු ම දෑ සංස්කාර ගණයට වැටෙනවා. ඒ සංස්කාර සියල්ල අනිත්‍යයයි. ඉතින් මේ කාරණය බෞද්ධයන් වශයෙන් අප කියනවා. පිළිගන්නවා. සබ්බේ සංඛාරා අනිච්චායනුවෙන් මේ පාඨ ඉදිරිපත් කර අප දේශනාත් පවත්වනවා. ඇත්තෙන්ම අප කිසිවෙක් එය අනිත්‍ය බව මනා නුවණින් හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එහෙත් රහතන් වහන්සේට මෙය බලයක් වන්නේ උන්වහන්සේ විසින් මෙම සංඛාර අනිත්‍යය වශයෙන් මනා නුවණින් දැක තිබීම යනු එය තවත් දකින්නට විමසන්නට දෙයක් නැති ලෙස සහමුලින්ම හරියට ම දැක තිබෙනවා. ඒ නිසා සංස්ඛාර පිළිබඳ උන්වහන්සේගේ ඇලීමක් ඇති වන්නේ නැහැ. දැන් අප එහෙම පිරිසක් නොවෙයි. අපිත් ඛීණාශ්‍රවයන් වහන්සේ සතු ඒ ශක්තිය ඒ ආකාර ම බව වචනයෙන් ප්‍රකාශ කරනවා. එය පිළි ගන්නවා. ඒ වුණත් ඒ අපි සංස්ඛාරයන්ගේ ඇලෙනවා. යම් යම් දේ ගැන ආශාව බැඳීම ඇති කරගන්නවා. එහෙම වුණත් රහතන් වහන්සේ තමන් වහන්සේ තුළින් මේ ආශ්‍රවයන් සපුරා ම ඉවත් ව ඇති බව පසක් කරගෙනයි උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් කරන්නේ. උන්වහන්සේ කෙසේවත් මේ තාවකාලික සංස්ඛාරයන්හි ඇලෙන්නේ නැහැ.
 
දෙවන බලය
දෙවන බලය ලෙස මෙහිදී පෙන්වා දී තිබෙන්නේ මෙම සිත කිළිටි කරන කෙලෙස් හෙවත් කාමයන් ගිනිගෙන දිලිසෙන අඟුරුවළක ආකාරයෙන් උන්වහන්සේ දකිනවා. සත්වයාගේ සිත මේ ආකාරයෙන් මෙම කාමාදි ආශ්‍රවයන් නිසා දැවෙන, රත්වෙන ආකාරය මනානුවණින් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. අඟුරුවළකට මෙම කාමයන් උපමා කොට රහතන් වහන්සේ දකින්නේ අඟුරුවල ඇතුළේ පමණක් නොව එය වටේ හාත්පසින්ම රත්කරවන ස්වරූපයකින් යුක්ත වන නිසායි. මේ ආකාරයෙන් සත්වයාගේ සිත කාමාදී ආශ්‍රයන්ගෙන් දැඩි ලෙස පෙළෙන ආකාරය උන්වහන්සේ මනා නවුණින් දැන ගෙනම එම බලය තමන් සතු බව අත්විඳිනවා.
 
තෙවන බලය
රහත් බවේ තෙවන ශක්තිය ලෙස ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේගේ සිත නිරන්තරයෙන් ම පලසමවත් සුවයට යොමුවන බවයි. එයින් ප්‍රකාශ වන්නේ උන්වහන්සේගේ සිත නිරන්තරයෙන් ම වෙනත් යහපත් අරමුණක නො ගැටී සිටින හැම අවස්ථාවක ම උන්වහන්සේ යොමු වන්නේ තමන් වහන්සේ විසින් උදාකර ගත් මෙම නිවන් සුවය අත් විඳීමටයි. කෙලෙස්වලින් දුරු වූ නිසා සැබවින්ම මනා වූ පැවිදි බවට පත්ව එම පැවිදි සුවය අත්විඳිනා බවක් එයින් කියැවෙනවා. එමෙන් ම කිසිදු ආකාරයකින් කෙලෙස්වලට හටගැනීමක් ඇතිවන කිසිම නිමිත්තක් උන්වහන්සේට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. එයින් තමන් වහන්සේ ම මේ රහත් බවේ සුවය අත්විඳිනවා. නිවන් සුවය කෙබදුදැයි උන්වහන්සේට විස්තර විවරණ සැපයීමක් කාගෙන්වත් අපේක්ෂාවක් නැහැ. එය උන්වහන්සේ තත්ත්වාකාරයෙන්ම අත් විඳිනවා. ආශ්‍රවයන් තමන් කෙරෙන් දුරු වී ඇති ආකාරය උන්වහන්සේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.
 
සිවුවන බලය 
එමෙන් ම රහත් බවේ සිවුවන බලය හෙවත් ශක්තිය වන්නේ උන්වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන මේ සතර සති පට්ඨානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව වඩා ඒ සියල්ල මැනවින් අවබෝධ කොට අවසන් කර ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ වචන මට්ටමෙන් අප මේ අනුපස්සනා හතර ගැන කියනවා. ඒ වගේම ධර්මානුකූලව විස්තර වශයෙන් දැන ගෙන ප්‍රකාශ කරනවා. ධර්ම සාකච්ඡාවක් මාතෘකා වශයෙන් යොදා ගෙන සාකච්ඡා කරනවා. එහෙත් ඒ අප එසේ කරන්නේ මේ සතර සතිපට්ඨාන වැඩීමකින් අවසාන වශයෙන් යථාවබෝධයකින් තොරවයි. එහෙත් රහතන් වහන්සේ ඒ රහත් බවට පත්වීම යන්නෙන් ම අදහස් කරන්නේ උන්වහන්සේ යථාවබෝධ වශයෙන් එම සතර සතිපට්ඨාන මැනවින්ම වැඩීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් ඥානයෙන් යුක්ත වන බවයි. එය සතරවන බලය ලෙසයි සඳහන් වන්නේ.
 
පස්වන බලය
මී ළඟ පස්වැනි බලය හෙවත් ශක්තිය ලෙස පෙන්වා දෙන්නේ රහතන් වහන්සේ ඡන්ද, චිත්ත, වීරිය හා විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වඩා එහි ද සම්පූර්ණත්වයට අඩුවක් නොමැතිව පැමිණ ඇති බවයි. මේ යෝගාවචරයන් හෝ භික්ෂුවක් නිවන් අරමුණුූ කොට සිත සමාධි ගත කිරීමෙන් භාවනාව වැඩීමේ දී මෙම සතර සෘද්ධිපාද සියල්ල සපුරා ගත යුතුව ඇත. මේ අනුව යෝගාවචරයා ඡන්දය හෙවත් ඒ අරමුණ වෙනුවෙන් කැපවීමේ කැමැත්ත අධික කොට ගෙන සිතේ ඒකාග්‍රතාව ඇති කිරීම ප්‍රධාන කොටගෙන සෘද්ධිපාදය මෙන්ම වීර්යය, චිත්ත, විමංසා යන තුනෙන් එකක් මුල්කරගෙන සෘද්ධිපාදයන් වඩන විට එහි විශාරදත්වයට එම යෝගාවචරයා පත් වෙනවා, දැන් මෙයින් අදහස් කරන්නේ මෙම ඉහළ තත්ත්වය ඇති කර ගැනීමද රහත් බවේ තවත් බලයක් ශක්තියක් ලෙසයි.
 
සයවන බලය
මීළඟට රහත් බවේ සයවැනි ශක්තිය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදෙන පරිදි සද්ධා, වීරිය, සති, වීරිය, සමාධි හා පඤ්ඤා යන පහ පඤ්ච ඉන්ද්‍රිය වශයෙන් සැලකෙන අතර නිවන්මග පසක් කර ගනු පිණිස මේ පහ ම අවශ්‍ය කරන ඉන්ද්‍රිය පහක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ. එනම් එම පස් ඉඳුරන් මඟින් නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උදා කරගන්නා බවයි. මේ අනුව මෙම ඉන්ද්‍රිය පහ පිළිබඳ අවශ්‍යතා සියල්ලම අඩුවක් නොමැතිව සපුරා ගෙන ඇති බව රහතන් වහන්සේට සෘජුව ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති බව කියැවෙනවා.
 
සත්වන බලය
රහත් බවේ සත්වැනි ශක්තිය හෙවත් බලය ලෙස බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. චතුරාර්යසත්‍යාවබෝධය පිණිස අවශ්‍ය කරන බෝධ්‍යාංග සතු මෙ ආකාරයෙන්ම සපුරාගෙන ඇති බව. එම හත නම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන මේවා යි. නිවන් අවබෝධ පිණිස මේ හත සම්පූර්ණ කරගෙන තිබිය යුතුව ම පවතිනවා. එම උත්තරීතර රහත් බවට පත් වූ ආර්ය උත්තමයා තමන් සතුව එම ශක්ති හෙවත් බල පහ සම්පූර්ණයි කියා සෑහීමට ද පත්වෙනවා.
 
අටවන බලය
අවසාන හෙවත් අටවැනි බලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ රහත් බවට පත් උත්තමයා තමන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින්ම පසක් කර ගෙන ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මේ අංග අටෙන් සමන්විත ආර්ය මාර්ගය ප්‍රතිවේධ කර ගෙන එහි කිසිදු අඩුවක් නො කොට සපුරා ගත් බවය.
 
උත්තරීතර ශක්තියක් හා බලයක්
මෙතෙක් අප විසින් බුද්ධ දේශනාව අනුව පැහැදිලි කෙරුණු රහත් බවේ මෙම බල ශක්ති අපට සම්පූර්ණ වීම රහත් බව යන්නෙන් අදහස් කෙරෙනවා. එහෙම නම් රහත් බවක් ලබන උත්තමයා මොන විදියෙන් මානසික වශයෙන් උසස් තත්ත්වයකට පත්ව සිටිනවා ද යන්න මෙයින් පැහැදිලි වෙනවා. එයින් පැහැදිලි වෙන තවත් කරුණක් වන්නේ මේ තත්ත්වයට පත් වන්නට ඇති කර ගත යුතු සූදානම කෙතරම් බරපතළ කාර්යයක් වෙනවා ද යන්නයි. තමන් තුළ මේ කියන බල ශක්ති අට සම්පූර්ණ වූ උත්තමයාට පමණක් එම උත්තරීතර තත්ත්වයට පත් වුණා යන්න නිවැරැදිව ප්‍රත්‍යක්ෂ වෙනවා. අප මේ හැම බලයක් ම විස්තර කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන නොව වාච්‍යාර්ථයෙන් ම පමණයි.
 
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

බිනර පොහොය

මෙහෙණ සස්නේ ආරම්භයයි බිනර පොහොයයි

බුදුපියාණෝ විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි පස්වන වස වැඩසිටියහ. මේ අවස්ථාවෙහි මහාප්‍රජාපතී ගෝතමිය රෝහිණී නදිය අසල දී පැවිද්ද ලබාගත් කුමාරවරුන්ගේ භාර්යාවන් පන්සියයක් සමඟ හිස් මුඩුකොට කසාවත් හැඳ බුදුරදුන් වැඩ සිටි කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. පනස් එක් යොදුනක් තරම් වූ දීර්ඝ මාර්ගය ගෙවා අධික වෙහෙසට පත් ඒ සැමදෙනා ඉදිමුන පා ඇතිව, දූවිලි වැකුණු ශරීරයන්ගෙන් යුක්තව පැමිණ සිටීම දුටුවන්ගේ හද කම්පා කරන සුළු විය. මේ අවස්ථාවෙහි එතැනට පැමිණි ආනන්ද හිමියෝ මහාප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන් පැවිද්ද ලබා ගැනීමේ ආශාවෙන් දුර මග ගෙවා කඳුළු සලමින් දුක්බරව පැමිණි පුවත අසා දැනගත්හ. අනතුරුව මේ පිළිබඳව බුදුරදුන්ට දැන් වූ නමුත් මුලදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ආනන්ද හිමි නැවතත් කරුණු දැක්වීය. පෙර බුදුවරුන් මේ ප්‍රශ්නය කවර ආකාරයෙන් විසඳුවේද යි බුදු නුවණින් සලකා බැලූ උන්වහන්සේ ඒ අනුව අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීමට අවසර දුන්හ. 

සාසන ඉතිහාසය විමසිලිමත්ව බලන විට කාන්තාවන්ට ශාසනයට ඇතුළු වීමට ඉඩකඩ මුල දී නොදීමට හේතු කිහිපයක් තිබූ බව පෙනී යයි. එයින් ප්‍රධාන කරුණක් වූයේ සසුන්ගත වූ පසු භාවනාදියෙහි යෙදෙමින් වනගතව හෝ විවේකස්ථානවල හුදෙකලාව වාසය කිරීම තුළින් සුචරිතවත් බව රැක ගැනීමට ඔවුනට අපහසුවීම එක් කරුණකි. එසේම මහාප්‍රජාපතී ගෝතමිය සමඟ පැවිද්ද ඉල්ලා රෝහිණී නදිය අසබඩින් පැමිණි කාන්තාවන් පන්සියය සම්පූර්ණයෙන් ශාසනික ප්‍රතිපදාව අනුව කටයුතු කිරීමේ සැදැහැවත් චේතනාවක් ඔවුන් තුළ නොතිබුණි. මෙයට ටික කලකට පෙර බුදුරදුන් රෝහිණි නදිය අසබඩට පැමිණි වේලෙහි මේ කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයෝ පැවිද්ද ලබාගෙන බුදුරදුන් හා වැඩම කළහ. එසේ ගිය ස්වාමි පුරුෂයන් සිවුරු හරවාගෙන ඒමේ චේතනාවක් පැවිද්ද ලබා ගැනීමට පැමිණි සමහර කාන්තාවන්ට තිබුණ පැවිද්ද ලබා ගැනීමේ අපහසුතාව කාන්තාවන්ට අවබෝධ කර දීමට අවශ්‍ය නිසාත් භික්ෂුණී ශාසනය ඇති කිරීම, පමා කළා විය හැකිය. 

අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් කාන්තාවන්ට මහණ උපසම්පදාව ලබා ගැනීමට අවස්ථාව උදාකළ බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. විමසිලිමත්ව බලන විට මේ අෂ්ට ගරු ධර්ම වශයෙන් දැක්වෙන කරුණු අට බුදුරදුන් විසින් පනවන ලදැයි පිළිගැනීමට සමහර විචාරකයෝ මැළි වෙති. එයට හේතු කීපයකි. බුදුරදුන් විසින් විනය නීති පැනවීම ආරම්භ කරන ලද්දේ බුද්ධත්වයෙන් විසිවන වර්ෂයේ සිට ය. එසේ තිබියදී විනය හා සම්බන්ධ වූ භික්ෂූන් විසින් පොහොය විචාරීම, උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කිරීම, ගරු ඇවතකට පත් භික්ෂුණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරීම යන කරුණු අෂ්ට ගරු ධර්ම අතර සඳහන් වෙතත් විනය ශික්ෂා පනවා නොමැති නිසා ක්‍රියාත්මක කිරීම අපහසු කාර්යයකි. එසේම ගරු ධර්ම අතුරෙන් හය වැන්නෙන් දැක්වෙන්නේ දෙ වසරක් කඩ නොකොට ශිෂ්‍ය මානාවකව කටයුතු කිරීමෙන් අනතුරුව උභතෝ සංඝයා ඉදිරියේ උපසම්පදා කළ යුතු බවයි. මහාප්‍රජාපතී ගෝතමිය සමඟ පැමිණි කාන්තාවන් එදිනම පැවිදිකොට උපසම්පදා කිරීමෙන් බුද්ධ නියමය එදිනම කඩකළ බවක් පෙනේ. භික්ෂුණීයකට බලපාන අන්දමකට භික්ෂු නමක් කවර අන්දමේ වැරැදි ක්‍රියාවක් කළත් ඒ පිළිබඳව කිසියම් චෝදනාවක් කිරීමට භික්ෂුණියකට නොහැකි බව හත්වන ගරු ධර්මයෙන් කියවෙයි. සදාචාර සම්පන්න සමාජයක් තුළ මෙවැනි නීති බුදුරදුන් පනවනු ලබත් දැයි සාධාරණ සැකයක් ඇති වෙයි. මේ අනුව බුදුරදුන් පනවන ලදැයි ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වන අෂ්ට ගරු ධර්ම පිළිබඳව විශේෂයෙන් පරීක්ෂා කළ යුතු බවක් පෙනේ. මහාප්‍රජාපතී ගෝතමියගෙන් ආරම්භ වූ භික්ෂුණී ශාසනය රෝහිණී නදිය ප්‍රදේශයෙන් පැමිණි කාන්තාවන් පන්සියයක් පැවිදි කිරීමත් සමඟ වර්ධනය වන්නට විය. රාජ වංශික කාන්තාවන් එක් පැත්තකින් පැවිද්ද ලැබීමත්, මාර්ගඵල ලැබීමට තරම් පූර්වකෘත පුණ්‍ය මහිමය ඇති බොහෝ කාන්තාවන් පැවිදි වීමත්, දුක් කම්කටොලු ආදියෙන් පීඩාවට පත් අය සසර කළකිරීමට පත්ව පැවිදිවීමත් වැනි කාරණා හේතුකොටගෙන භික්ෂුණී ශාසනය වේගයෙන් වර්ධනය වන්නට වූ බව පෙනේ. එක් පැත්තකින් මහාප්‍රජාපතී, ඛේමා ආදී රාජවංශික කාන්තාවන් ද තවත් පැත්තකින් පුණ්ණා, පටාචාරා, කිසාගෝතමී ආදී සාමාන්‍ය පන්තියේ කාන්තාවන්ද කිසිදු බාධාවකින් තොරව බුදු සසුනට ඇතුළුවීම සුවිශේෂ සිදුවීම් ය. ඉතා ඈත කාලයේ සිට කිසිම ශක්තියක් හෝ බලයක් නැතැයි යන අර්ථය ගෙන දෙන ‘අබලා’ නම ලැබූ කාන්තාවන්ට බුදු සසුනට ඇතුළු වීමට අවස්ථාව ලබාදීම තදබල විස්මිත කරුණකි. එපමණක් නොව කුල භේදයක් නොසලකා සසුන්ගත කිරීම තවත් විප්ලවීය කරුණකි. එයින් නොනැවතුන බුදුහු භික්ෂූන්ට මෙන්ම භික්ෂුණීන්ට ද අග්‍රශ්‍රාවිකා ආදී තනතුරු පිරිනැමීම හේතුකොටගෙන සිදුවූ සමාජ පරිවර්තනය සුළු නොවේ. 

ඇසළ මස අව පෑළවිය දිනයෙහි භික්ෂූන් වස් එළඹීමෙන් පසු බිනර පොහෝදා වන විට දෙමසක් කල් ඉකුත් වී ඇත. පොදුවේ කරුණු සලකන විට ගිහි පැවිදි සෑම දෙනාම වඩාත් පිළිවෙත්හි යෙදීමේ ලක්ෂණ මේ කාලය තුළ ප්‍රකට වෙයි. භික්ෂූන් වහන්සේ කමටහන් හදාරා වඩාත් භාවනාවට යොමුවීම මෙකල පොදු ලක්ෂණයයි. එසේම මේ කාලය තුළ කළ යුතු කාර්යය ගැන බුදුරදුන් දුන් උපදෙස් අපේ ධර්ම ග්‍රන්ථයන්හි මෙසේ දැක්වේ. 

ගිහීනමුප කරොන්තානං
නිච්චමාමිස දානතො
කරොථ ධම්ම දානෙන
තෙසං පච්චුපකාරකං 

 
භික්ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කරන සැදැහැවත් දායකයන් ශ්‍රද්ධාදී ගුණධර්මයන්හි පිහිටුවා ඔවුනට ද මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා අනුශාසනා කළ යුතුය යන්න බුද්ධ නියමයයි. එසේ නම් සසුන්ගත වූ සියලු භික්ෂූන් තමන් පමණක් නිවන් අවබෝධ කරගැනීමේ පරමාර්ථයෙන් මිදී හුදෙකලාව භාවනා කරමින් පසුවීම සමඟ කළ යුතු කාර්ය කීපයකි. තමා උතුම් පිළිවෙත් හි යෙදෙන ගමන් සිව්පසයෙන් උපස්ථාන කරන, ආරාම ආදිය ගොඩනඟමින් අනුග්‍රහ දක්වන, තම හිතවත් සැදැහැති දායක පිරිසට ද ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්හි පිහිටුවා දෙව්මිනිස් නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලබාදීමට භික්ෂූන් විසින් ක්‍රියා කළ යුතු ප්‍රධාන කරුණ වෙයි. බිනර පොහොය වැනි දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ආරාමයන්හි භික්ෂූන් අපමණ වෙහෙසක් ගෙන විවිධ කුසල ක්‍රියාවන් සඳහා තම දායක පිරිස යොදවමින් සිදු කරනුයේ ඉහත සඳහන් බුදුරදුන්ගේ අවවාදය ක්‍රියාත්මක කිරීමයි.

 සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය,
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක,
කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති,
ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
දිවියාගහ යසස්සි නා හිමි

Dalada wandana gatha දළදා වන්දන ගථා


අනඳ හිමියන් රහත් වූ නිකිණි පොහොයේ අගය



සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම සඳහා මහත් සේවයක් සැලසුනු පොහොයක් වශයෙන් නිකිණි පුර පසළොස්වක පොහොය සඳහන් කළ හැකිය. මහාවග්ග පාලියේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි සඳහන් වන අන්දමට භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් බුදුරදුන් විසින් පෙන්නා දී ඇත. එය පෙර වස හා පසු වස යනුවෙන් හැඳින්වේ. ඇසළ පුන් පෝදා භික්ෂූන් පොහොය කොට ඇසළ අව පෑළවිය දිනයේ වස් එළඹිය යුතුය. එය පෙර වස වශයෙන් දැක්වේ. නිකිණි පුන් පොහොය දා පෝය කොට නිකිණි අව පෑළවිය දා වස් එළඹීම පසු වස වශයෙන් සැලකේ. 
 
ඉන්දියාවේ හේමන්ත, ගිම්හාන හා වස්සාන වශයෙන් ඉතා පැහැදිලිව සෘතු තුනක් දක්නට ලැබේ. ඒ අතුරෙන් වස්සාන සෘතුව ආරම්භ වීමත් සමඟ කුඩා පැළෑටි මෙන්ම ගස් වැල් ද දළු දා වැඩීම පටන් ගනී. ඒ කාලයෙහි දේශගුණයේ ඇති අයහපත් තත්ත්වය නිසාත්, ඒකීන්ද්‍රීය ජීවීන් වූ පැළෑටි මැඩගෙන ගමන් කිරීම සතුන් විනාශ කිරීමක් සේ ජෛන ආගමිකයන් ඇතුළු සමහර අය සැලකූ නිසාත්, හැකිතාක් ඇවිදීමෙන් තොරව වාසය කිරීමට බොහෝ අය පුරුදුව සිටියහ. එහෙත් මේ තත්ත්වය නොසලකා බෞද්ධ භික්ෂූන් ක්‍රියා කිරීම නිසා ජෛන ආගමික අනුගාමිකයෝ මහත් සේ චෝදනා කරන්නට වූහ. මේ පිළිබඳව සලකා බැලූ බුදුහු තම ශ්‍රාවකයන් වඩාත් පිළිවෙතට යොමු කිරීම සඳහා වස්සාන සෘතුවේ වස් එළඹීම කළයුතුයයි නියම කළහ.
බුද්ධ නියමය අනුව සෑම උපසම්පදා භික්ෂු නමක් ම ඇසළ අව පෑළවිය දිනයෙහි වස් එළඹිය යුතු ය.

රෝගාබාධයක් හෝ වෙනත් හදිසි අපහසුතාවක් ඇති වූ කල්හි පමණක් නිකිණි පුර පසළොස්වක දින පොහොය සීමාවක දී විනය කර්ම කොට නිකිණි අව පෑළ දිනයෙහි පසු වස් එළඹිය යුතු වෙයි.
එසේ නො එළඹුන හොත් ‘න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්ඛටස්ස’ යනුවෙන් මහා වග්ග පාලියෙහි සඳහන් වන ආකාරයට වස් නො එළඹුන භික්ෂුවට දුකුළා නම් ඇවත සිදුවෙයි.

නිකිණි පෝදා විනය කර්ම කොට වස් එළඹෙන භික්ෂූන්ට තෙමසක් ගතවීමෙන් පසු කඨීන චීවරයක් භාර ගැනීමට විනයෙන් ඉඩක් නැත. නිකිණි මස සිදුවීම් අතර අතිවිශේෂ කාර්යය වශයෙන් සඳහන් කළ හැක්කේ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීමයි. බුද්ධ පරිනිර්වාණයත් සමගම සුභද්‍ර නම් මහලුව පැවිදි වූ භික්ෂු නමක් විසින් අපට විවිධ නීති පනවමින් සිටි මහල්ලා නැතිවුණා දැන් අපට රිසි පරිදි කටයුතු කළ හැකිය’ යි කළ අමනෝඥ කතාවෙන් සංවේගයට පත් මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහා සංඝයා වහන්සේ බුදුරදුන් පන්සාළිස් වසක් දේශනා කොට වදාළ ධර්මය විසිරුණු මල් ගොඩක් සේ පවතින බැවින් එම ධර්මය නිර්මලව ආරක්ෂා කර ගැනීම උදෙසා සංගායනාවක් පැවැත්විය යුතුය’යි තීරණය කළහ. ඒ සඳහා පන්සියයක් රහතන් වහන්සේ සහභාගි කරවීමටත් රජගහනුවර ඒ සැමදෙන වස් විසීමටත් තීරණය කළහ.

ප්‍රත්‍යය අපහසුතා නොවන්නට අනෙකුත් භික්ෂූන් රජගහ නුවරින් පිටත වස් එළඹීමටත් පියවර ගැනීම ඉතා වැදගත්ය. ඇසළ පොහෝ දින පටන් විහාර ආරාම පිළිසකර කරවා නිකිණි අව පෑළවිය දා ප්‍රථම සංගායනාව ආරම්භ කළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම සංඝායනාව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණි ගුහාවෙහි සිදුකළ බව සමහර ග්‍රන්ථවල සඳහන් වෙයි. එය සත්‍යයෙන් තොර ප්‍රකාශයකි.

සීසං වේහාර සෙලස්ස
පස්සේ කාරෙසි මණ්ඩපං
සත්තපණ්ණි ගුහාද්වාරෙ
රම්මං දෙවසභොපමං 

 
යනුවෙන් මහාවංශයෙහි තතිය පරිච්ඡේදයේත්, වෙනත් අටුවා ග්‍රන්ථයන්හිත් ඉතා පැහැදිලිව දක්වන අන්දමට සත්තපර්ණි ගුහාවෙහි නොව එය අභියස ඉතා විසිතුරුව සාදන ලද මණ්ඩපයක මෙම සංගායනාව සිදුකෙරුණි. මහාකාශ්‍යප මාහිමියෝ ප්‍රධානත්වය ඉසිලූ මෙම සංගායනාවෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ අජාසත් රජතුමා විසිනි. රහත් භික්ෂූන් පන්සියයකගෙන් සංගායනාව කිරීමට බලාපොරොත්තුව සිටියත් ඒ සඳහා අත්‍යවශ්‍යයෙන් ම සිටිය යුතු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් ඒ උතුම් තත්ත්වය ලබා නොසිටීම මහත් ගැටලුවක් විය. හේතුව බුදුරදුන් දේශනා කොට වදාළ සියලු ධර්මය දැන මතක තබාගෙන සිටියේ ආනන්ද හිමියන් වීමයි.

දිනක් ගෝපක මොග්ගල්ලාන නමැති බමුණා අනඳ තෙරුන් වෙත පැමිණ ඔබ වහන්සේ බහුශ්‍රැතය යි ප්‍රසිද්ධයි. බුද්ධ දේශනාව කොපමණ දැන සිටි දැයි ප්‍රශ්න කළේ ය. එවිට උන්වහන්සේ දුන් පිළිතුර මෙසේය.

ද්වාසීතිං බුද්ධතො ගණ්හිං
ද්වේ සහස්සානි භික්ඛුනො
චතුරාසීති සහස්සානි
යෝමෙ ධම්මා පවත්තිනො 

 
මෙම ගාථාවේ අදහස නම් ‘ධර්මස්ඛන්ධ දෙ අසූ දහසක් බුදුරදුන් වෙතින් ද තවත් දෙදහසක් සැරියුත් ආදී තෙරවරුන්ගෙන්ද දැන ප්‍රගුණ කොට සිටිමි’ යනුයි. මේ අනුව බුද්ධ දේශිත සූ අසූ දහසක් ධර්මස්ඛන්ධයම ධාරණය කොට ගෙන සිටි ශ්‍රාවකයන් වහන්සේ අනඳ හිමියෝ ය. එක් දිනක් බුදුහු දෙව්රම් වෙහෙර වැඩසිටිය දී භික්ෂූන් අමතා මහණෙනි, මාගේ ශාසනයෙහි බොහෝ ඇසූපිරූ තැන් ඇත්තා වූ ද, ස්මෘතිමත් වූ ද, ඥානගති ඇත්තාවූ ද, ධෘතිමත් වූ ද, උපස්ථායක වූ ද භික්ෂූන් අතුරෙන් මේ ආනන්ද තෙරුන් අග්‍රය’ යි දක්වා තනතුරු පසකින්ම අග්‍රස්ථානයේ තැබූහ. මෙවැනි උසස් විවිධ දක්ෂතාවෙන් යුත් උන්වහන්සේ ගැන අපේ ධර්මග්‍රන්ථ හඳුන්වනුයේ අනන්දො රතනාකරො යනුවෙන් ආනන්ද හිමියන් ධර්මය නමැති රත්නයට ආකාරයක් බවයි.

නිකිණි පුර පසළොස්වක පොහොය වන විට මහා කාශ්‍යප මාහිමියන් ප්‍රථම ධර්ම සංගීතිය සඳහා එක් නමක් අඩු පන්සියයක් මහරහතුන් තෝරාගෙන තිබුණි. ඉතිරි ආසනය සඳහා අනඳ හිමියන් බලාපොරොත්තු වූ නමුත් ඒ දක්වා රහත් බවට පත් නොවීම මහත් ප්‍රශ්නයක් විය. අනඳ මාහිමියන් මේ කරුණ පිළිබඳව ගැඹුරින් වටහාගෙන දැඩි උත්සාහයෙන් භාවනාවෙන් කල්ගත කළ නමුත් පොහොය උදාවී තිබියදීත් අභිලාසය ඉටුකර ගැනීමට අපහසු විය. ඒ නිකිණි පෝදා රාත්‍රියෙහි බොහෝ වේලාවක් සක්මන් භාවනාවේ යෙදී අලුයම වේලෙහි පා සෝදා මද වේලාවක් විවේක ගැනීමට සිතා දෙපා ඔසවා යහන මත කොට්ටයට හිස තබාගන්නට සැරසෙත්ම සියලු කෙලෙසුන් නසා උතුම් රහත් බවට පත්වූහ. සිව් ඉරියව්වෙන් තොරව මෙසේ නිකිණි පුර පසළොස්වක පොහොය දින අනඳ හිමියන් රහත් බවට පත්වීම නිසා ප්‍රථම ධර්ම සංගායනාව ඉතා සාර්ථකව ආරම්භ කිරීමට හැකි විය.

 ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

බුදුසරණ අන්තර්ජාල යෙන් උපුටා ගනීමකි