නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යස්සමූලෙ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං
සකල ජනමන සනසන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස්
පාරමි දම්පුරා දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවණ යට
වජ්‍රාසනාරූඪව සියලු කෙලෙසුන් සුන්කොට සිව්සත්දම් තම නැණින්ම ප්‍රත්‍යක්ෂකොට ඒ
උතුම් ලොවුතුරා බුද්ධත්වයට පැමිණ වදාළ සේක.
උතුම් බුද්ධත්වය ලබාගැන්වීමට අතිශයින්ම මහෝපකාරීවු වෘක්ෂ රාජයාණන් වහන්සේටද බෝධිය
යන නාමයෙන් ගෞරව සම්මාන වන්දනා මාන පූජා සත්කාර කරන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ජනතාවට
ලැබෙන සෙත් ශාන්තිය අපමණය.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් විහිදෙන බුදුගුණ මහිමය නිසා අප මහ බෝසතාණන් වහන්සේ
මනුලොව ඉපදීම එක්වන්ව උපන් කාල පරිච්ඡේදය අනුව 2600 වසරකට වැඩි දීර්ඝ කාල පරාසයක්
තුළ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාව පරපුරෙන් පරපුරට තම තමන්ගේ අභිමතාර්ථයන් යතා
පරිදි ඉෂ්ට සිද්ධකරගත් අතර මතුවටද එසේම වන්නේය.
බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, ජේතවනාරාමය ඉදිරිපස ආනන්ද බෝධින් වහන්සේද,
අනුරාධපුර වැඩ සිටින දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේද යන තුන් බෝධීන් වහන්සේ දිවමන්
බුදුරජාණන් වහන්සේ සේම අපමණ දෙවි මිනිසුන්ගේ නෙත් සිත් සනසන සේක.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි අරිට්ඨ අමාත්‍යවරයා ප්‍රධාන
රාජදූත පිරිස රජුගේ හසුන් පත් රැගෙන දඹකොළ පටුනට ගොස් නැව් නැගී පාඨලී පුත්‍ර නගරයට
සැපත්ව දම්සෝ නරනිඳු බැහැදැක සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙන්ම දක්ෂිණ ශාඛා බෝධින්
වහන්සේද ශී‍්‍ර ලංකාදීපයට වැඩම වන අපේක්ෂාව දේවානම්පියතිස්ස රජතුමාට හා මිහිඳු මහ
රහතන් වහන්සේට මෙන්ම අනුලාදේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන්ට ඇතිවග දක්වා සිටියහ.
ධර්මාශෝක රජතුමාද මෙවන් උතුම් එහෙත් බැරෑරුම් කාර්යේදි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්
වහන්සේගේ උපදෙස් අපේක්ෂා කළහ. තෙරුන්වහන්සේද බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහක්
පැවැති වග රජතුමාට මතක් කර දුන් සේක.
01. අශෝක මහ රජතුමා මහාබෝධි ශාඛාව ගන්නට බෝමැඩ ළඟට යන අතර මහාබෝධියෙන් දක්ෂිණ ශාඛාව
තෙමේම සිදී රන් තටාකයෙහි පිහිටේවා.!
02.එම බෝධින් වහන්සේ පිහිටන කල ජය ශ්‍රී මහා බෝධිය හිම වලා ගැබකින් වැසේවා!
03.සත්වැනි දින හිම වලාගැබ පහවී රන්කටාරමේ පිහිටන අවස්ථාවේ පත්‍රවලින් හා ඵලවලින්
සවණක් රැස් විහිදේවා!
04.ථූපාරාමයේ දකුණු අකුධාතුව නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය කෙරේවා!
05. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතු මහාසෑයේ නිදන් කරන විට යමක මහා ප්‍රාතිහාර්ය
සිදුකෙරේවා!
දහම්සෝ රජතුමාද මෙම අධිෂ්ඨාන පස අසා අතිශය සොම්නස්ව පාඨලීපුත්‍ර නගරයේ පටන් ජය
ශ්‍රී මහ බෝධිය දක්වා මාර්ගය සරසවා අනිකුදු කුදුමහත් කටයුතු සූදානම් කරවූහ.
ප්‍රථමයෙන් නවරියන් වට ප්‍රමාණ පස්රියන් උස අටඟුල් ඝන රන් කටාරමක් නිර්මාණය කරවා
රජතුමා සිව්රඟ සෙනඟ පිරිවරා ආර්ය මහා සංඝරත්නය පෙරටු කරගෙන මහාබෝධිය සමීපයට සැපත්
වූහ. තවද සපරිවාර රජ මැති ඇමතිවරුන් සමඟ නොයෙක් මල් ජාති අතුරා පුද පූජා පවත්වා
මහාබෝධිය වන්දනාමාන සිදුකළහ. එකෙනෙහිම මහා බෝධියේ කඳ හා දක්ෂිණ ශාඛාවද හැර සෙසු
සියල්ල වළාගැබින් වැසී ගියේය.මේ ප්‍රාතිහාර්ය දුටු රජතුමා පස්වනක් පී‍්‍රතියෙන්
පිනාගොස් මහා සංඝරත්නයට එය ප්‍රකාශ කොට එකල දඹදිවම බෝධින් වහන්සේට පූජා කළහ.
යළිදු රජතුමා රන් පුටුවක නැගී රන් නූලක් ගෙන දක්ෂිණ ශාඛා කඳ වටේ ඔතා මහා බෝධිය
තෙමේම වෙන්වී රන් කටාරමේ පිහිටියේය.
පාලි මහා බෝධිවංශයේ විස්තරාර්ථයට අනුව චිර අධිෂ්ඨානයෙන් හා ශ්‍රද්ධා භක්තියෙන්
සපිරි ධර්මාශෝක රජතුමා මුල රේඛාවට මත්තේ තුනඟුලක් පමණ ඉරි තුනක් ඇන්දාහ. එකෙනෙහිම
මහ මුල් දහයක් පැන නැංගේය. රජතුමාණෝ රන්පුටුව මත සිට මෙම ප්‍රාතිහාර්ය දැක පස්වනක්
පී‍්‍රතියෙන් පිනා සාදු නාද පැවැත්වූහ. දහස් ගණන් මුල්වලින්ද පංච ශාඛාවන්ගෙන්ද
සමලංකෘතවූ දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේගේ ශාඛා අතර ඵල පත්‍රවලින් සවණක් රැස්
විහිදෙන්නට විය.
ධර්මාශෝක රජතුමා අනෝතත්ත විලෙන් ජලය ගෙන්වා බෝධින් වහන්සේ අභිෂේක කරවා අසහාය බෝධි
පූජාවක් සිදුකළ අතර ප්‍රාදේශීය රජමැති ඇමැතිවරු හා ජනතාවද උපරිමයෙන් එයට සහභාගිවූහ.
තවද මෙම රන් තටාකය තුළ තිරස්ව පිහිටවූ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවීම සඳහා
බුද්ධගයාවෙන් පැළලුප් නුවරටද එනුවරින් නැවත වින්ධ්‍යාවනය මැදින් තාම්‍රලිප්ති
තොටුපොළ දක්වා ඉතා විචිත්‍රාකායෙන් සරසවා රාජකීය පෙරහරකින් වැඩමවා ගෙන අවුත්
වේලාන්තයෙහි අනර්ඝ විචිත්‍ර මණ්ඩපයක වඩා හිඳුවා යළි පූජා පවත්වා මෙරටට වැඩමවීමට
සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කරවූහ.
එසමයෙහි දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම වීමේදී පිරිවර වශයෙන් භික්ෂුණීන්
එකොළොසක් සමඟ සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ සඳහා විශේෂ නැවක්ද සොළොස් කුලයක අට
දෙනා බැගින් සියගණන් පිරවර සඳහා වෙනත් නැවක්ද, ලංකාවෙන් ගිය අරිට්ඨ ඇමැතිතුමන්
ප්‍රධාන පිරිසට වෙනම නැවක්ද සකසා යොදවා රජතුමා දියට බැස දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ
හිසමතින් නැවෙහි රන් පුටුව මත වඩා හිඳවූහ.
උඳුවප් මස පුර පෑළවිය දිනයෙහි මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේ තාම්‍රලිප්ති තොටුපොළින්
ලක්දිවට වැඩමවන මොහොතේ රජතුමාට ඇතිවූ පි‍්‍රයවිප්පයෝග දුක්වේදනාව වචනවලින් කඳුළු
සැලීමෙන් ප්‍රකාශ කරන්නට වීම සත්‍ය වශයෙන්ම ස්වභාවික වන්නේය.
දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩමවන නෞකාව ගමන් කරන විට දර්ශන පථයට ඉක්මවා යත්ම
රශ්මිමාලා විහිදෙන බෝධින් වහන්සේ අපට නොපෙනී යන්නේ යැයි නැවත නැවත කියමින් වඳිමින්
කඳුළු සලමින් වැළපෙමින් අශෝක රජතුමාණෝ යළි පාඨලී පුත්‍ර නගරය කරා සපරිවාරව
පිටත්වූහ.
මෙසේ නොයෙක් ප්‍රාතිහාර්ය පාමින් බුදුරැස් විහිදුවමින් මහ සාගරයේ ජල තරංග මධ්‍යයේ
නෞකා ගමන් කරන්නේ නාග භවනෙහි නාගයෝ අවුත් වටකොට දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ නෞකාවෙන්
ඇරගෙන නාග ලොවට වැඩමවාගෙන රුවන් මණ්ඩපයක වඩා හිඳුවා සතියක් පුරා පුජා විධි පවත්වා
යළි නෞකාවේම වඩා හිඳවූහ.
මෙසමයෙහි දෙවන පෑතිස් රජතුමාද සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි උඳුවප් මස
පුර පැළවිය දිනයෙහි පටන්කොට නුවර උතුරු දොරටුවෙහි සිට දඹුලුතොට දක්වා සරසවා සිව් රඟ
සේනා සමඟ සිට ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිගෙන වඩා හිඳුවීමේ අපේක්ෂාවෙන් සොම්නස්ව
සිටියහ. මෙසේ සමුද්‍රාසන්න විසිතුරු මණ්ඩපයක මත වඩා හිඳුවා අනේක විධ පූජා පවත්වා
යළි සරසන ලද මණ්ඩපයක් මත වඩා හිඳුවා අනර්ඝ වූ විසිතුරු වූ රජ මහ පෙරහරකින්
අනුරාධපුරයට වැඩම වූහ. සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි දක්ෂිණ ශාඛා බෝධින්
වහන්සේ සහිත පෙරහර අනුරාධපුර නුවරට අතුරු දොරින් පිවිස මඟුල් මහා වීථීයෙන් ගෙන
දකුණු දොරින් පිටත්කොට මහමෙව්නා උයනෙහි පෙර කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන්
වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ
සිටි අති පූජනීය භූමියෙහි පිහිටවූහ.
මෙසේ මහා ප්‍රාතිහාර්ය පාමින් වැඩ සිටිය බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵලරුහ බෝධින්
වහන්සේ මෙන්ම දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේලාද දේවානම්පියතිස්ස රජතුමා දක්ෂිණ ශාඛා
බෝධින් වහන්සේ ප්‍රථමයෙන් වැඩමවූ දඹකොළ පටුනේ පටන් ඒ ඒ සිද්ධස්ථානවල රෝපණය කරවා එම
සියලුම බෝධින් වහන්සේලාටම පුද පූජා පැවැත්වූහ.
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
බුදුසරණ පත්‍රයේ උපුටා ගැනීමකි.
No comments:
Post a Comment