ධර්මදූත සේවාව ආරම්භ කළ ඉල් පොහොය



බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය. 
 

වස්සාන සෘතුවේ අවසාන පොහොය වූ ඉල් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ සිදුවීම් රාශියක් ම නිසා වැදගත් තැනක් ගනී. ඒ අතුරෙන් ධර්මදූත සේවාව ප්‍රධානය. ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවක් දැක්වූ බුදුරදුහු බෝසත් අවධියේ සිටම ප්‍රධාන වශයෙන් සත්වයාගේ සැපත හා දියුණුව මහත්සේ අගය කොට ක්‍රියා කළහ. බුද්ධත්වයට පත්ව පළමු වස බරණැස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන්වීමත් සමඟම ඒ උසස් කරුණාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව පෙනේ. ප්‍රථමයෙන් පැවිද්ද ලබාගත් පස්වග තවුසන් ද, අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පනස් පස් දෙනා ද වශයෙන් හැට නමක් වූ රහත් භික්ෂු පිරිස අමතා “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” යනුවෙන් “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස සැරිසරමින් ධර්මය දේශනා කරන්න” යයි නියම කළහ.

බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය. සත් සති ගතකොට අවසන් වූ කල්හි බුදුරදුන් සමීපයට පැමිණි මහා බ්‍රහ්මයා ධර්මය දේශනා නොකළොත් ලොව වැනසේවි. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා යි ආරාධනය කළේ ය. එදා ඉසිපතනයේ දී ප්‍රථම වරට දහම් දෙසා වස් වැස නිම කොට අවසානයේ ගම් නියම්ගම් හරහා වැඩම වන්නටයයි සඳහන් කොට ධර්ම දූත සේවාව ආරම්භ කිරීම නිසා අද දක්වා මුළුමහත් සමාජයෙහි සදාචාර සම්පන්නභාවයත් සමෘද්ධිමත්භාවයත් උසස්සේ ගොඩනැගුණි. ආත්මාර්ථ, පරාර්ථ යන උභයාර්ථයේම අභිවෘද්ධිය මේ මගින් සැලසුන බව ප්‍රකට කරුණකි.

තම ශ්‍රාවක පිරිස ධර්ම දූත සේවය සඳහා මෙහෙය වූ බුදුහු රජගහනුවර බලා වැඩමවීම ආරම්භ කළහ. අතරමග උරුවෙල් දනව්වෙහි දී පන්සීයක් පිරිස සහිතව සිටි උරුවෙල කාශ්‍යප නම් ජටිල තාපසයාත්, තුන්සීයක් පිරිස සහිතව සිටි නදී කාශ්‍යප නම් ජටිල තාපසයාත්, දෙසීයක් පිරිස් සහිතව සිටි ගයා කාශ්‍යප නම් ජටිලයාත් පෙළහර දැක්වීමෙන් දමනය කර අනතුරුව ධර්මය දේශනා කොට පහදවා ඒ සියලු දෙන පැවිදි බිමට පත් කළහ. මේ සැම දෙන බුදුරදුන් දේශනාකොට වදාළ ආදිත්‍ය පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූහ. ඉල් පුර පොහොය දිනක වූ මෙය ආශ්චර්ය ජනක සිදුවීමකි.

අනාගතයෙහි බුදු බවට පත්වන මෙත් බෝසතුන් උතුම් වූ විවරණ ලැබීමේ සිදුවීම ද ඉල් පුර පොහොය හා සම්බන්ධව පවතී. තව්තිසා දෙව්ලොව වස් එළැඹ වැඩ විසූ බුදුහු වප් පොහොය දින සංකස්ස නුවරට වැඩම වීමේ අසිරිමත් සිදු වීම දැක ප්‍රසාදයට පත් මෛත්‍රිය බෝධිසත්වයෝ පිරිවර සමඟ පැවිදි බවට පත් වූහ. චීවර මාසය අවසානයේ දී තමන්ට ලැබුණු වස්ත්‍ර දෙකෙන් එකක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි වියනක් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තැබූ කළ මේ මහා දර්ශනීය පූජාව කළ තැනැත්තා කවුරුන්දැයි දිවසින් විමසා බැලූ බුදුහු ආර්ය මෛත්‍රීය භික්ෂු නම සැදැහැයෙන් කළ පූජාවක් බව දැනගෙන සොම්නසට පත්ව දිවැස් යොමුකොට බලා අනාගතයේ උන්වහන්සේ මෛත්‍රිය නමින් බුදුවන බව ප්‍රකාශ කළහ. මෙසේ මෙත් බෝසතුන්ට උතුම් වූ නියත විවරණ දෙන ලද්දේ ඉල් පුර පසළොස්වක් පොහොය දිනයක වීම වැදගත් ය. 

අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ සහෝදර චුන්ද, උපසේන, රේවත යන අයත්, චාලා, උපචාලා සිසූපචාලා යන සහෝදරියනුත් පැහැද සසුන් ගතව රහත් භාවයට පත්ව වැඩ විසූහ. එහෙත් ඒ සැමගේ මෑණියන් වූ රූපසාරී බැමිණිය මේ වන විටත් මිථ්‍යා දෘෂ්ටික කාන්තාවක්ව ජීවත් වූවා ය. එක් දිනක් දිවැස් යොමු කළ සැරියුත් හිමියන්ට තමන්ගේ ආයු කාලය අවසන වී ඇති බව වැටහුණි. එවිට බුදුරදුන් හමුවට වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලූහ. එහිදී “බුදුහු සාරිපුත්තයනි, ඔබ කැමැත්තක් කරන්න, මෙයින් පසු මේ භික්ෂු සංඝයාට ඔබ වැනි උසස් භික්ෂු නමකගේ දර්ශනය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට ධර්ම දේශනා කරන්න.” යැයි ප්‍රකාශ කළහ. බුදුරදුන්ගේ නියමය අනුව උන්වහන්සේ භික්ෂුනට ධර්මය දේශනා කළහ. සැරියුත් හිමියෝ පිරිනිවන් පෑම සඳහා ඉල් පුර පසළොස්වක් පොහෝදා සවස් වේලෙහි නාලක ගමේ තමන් උපන් නිවසට පන්සියයක් සංඝරත්නය සමඟ වැඩම වූහ. රූපසාරී මව සිය පුතණුවන්ට වැඩ සිටීම සඳහා උන්වහන්සේ උපන් කාමරය ම පිළියෙළකොට දුන්නා ය. එදින අපමණ දෙව් බඹුන් සැරියුත් හිමිපාණන්ට වැඳ ගෞරව පූජා පැවැත්වීම දැකීම නිසාත් සැරියුත් මාහිමියන් තුනුරුවන්ගේ අගය ද පෙන්වා දෙමින් පැවැත් වූ ධර්ම දේශනාව ඇසීම නිසාත් ප්‍රසාදයට පත් වූ රූපසාරී මව්තුමිය සෝවාන්භාවයට පත් වූවා ය. මේ සිදුවීමත් සමඟ සදාදර මවුතුමියත් සැරියුත් පුතණුවනුත් මහත්සේ සැනසීමට පත් විය. එදින මෙයින් පසු ඉල් පුන් පොහෝ දිනය අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑමත්, රූපසාරි මව එදිනම මගඵල ලැබීමත් අගනා ශාසනික සිදුවීම්ය. 

සැරියුත් මාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කොට අවසානයේ එම ශාරීරික ධාතු රැගෙන ආ චුන්ද රහතන් වහන්සේ ඒවා බුදුරජාණන් වහන්සේ අතට පත් කොට සියලු තොරතුරු දන්වා සිටියහ.මේ අවස්ථාවෙහි භික්ෂූන් රැස්කළ බුදුහු සැරියුත් හිමියන්ගේ ගුණ ප්‍රකාශ කරමින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අගසව් තනතුර ලබාගත් බවත්, තමාට පමණක් දෙවෙනි වූ මහත් නුවණක් ඇති බවත්, අපිස් සතොස් ගුණයෙන් යුක්ත බවත්, තමා අනුවම සිදු කළ දහම් දෙසුම් ඇත්තෙකු බවත් පෙන්වා දී ගාථා පන්සීයකින් උන්වහන්සේගේ ගුණ වර්ණනා කළහ. එයින් නො නැවතුන බුදුහු ‘පන්සීයක් ජාති පැවිදිව කාම සම්පත්තියෙන් ඉවත් වී, ඉන්ද්‍රියන් මනා කොට හික්මවාගෙන, පහ කරන ලද ආශාවන් ඇති, පිරිනිවන් පා වදාළ සැරියුත් මාහිමියන් වන්දනා කරන්න යැයි පහත සඳහන් ගාථාව දේශනා කළහ. 

යො පබ්බජි ජාති සතානි පංච
පහාය කාමානි මනොරමානි
තං විතරාගං සුසමාහිතිනිද්‍රියං
පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං 

 
බුද්ධ දේශනාවෙහි දැක්වෙන මහා කුසල් අටකි. ඒ අතුරින් කඨින පූජාව විශේෂ පින්කමකි. අටපිරිකර පූජාව, ආවාස ගෙයක් තනවා පූජා කිරීම, බුදුපාමොක් සඟරුවනට දානයක් දීම, ධර්මය ලිවීම හා ලියවීම, කෙත්වතු පිදීම, බුදු පිළිම තැනවීම, වැසිකිළි සාදවා පූජා කිරීම යන අටමහ කුසල් අතර දැක්වෙන මේ හතම කවර කාලයක වුවත් සිදුකළ හැකිය. ඒ පිළිබඳ විස්තර සූත්‍ර පිඨකයේ විවිධ ස්ථානවල පැහැදිලිව දැක්වේ. එහෙත් කඨින පූජාව පිළිබඳ විස්තර හා ආනිසංස දැනගත හැක්කේ විනය පිටකයෙන් පමණි. ඒ අනුව එම කඨින පින්කම කලින් පින්කම් මෙන් නොව වප් අව පෑළවිය දින සිට ඉල් පුර පසළොස්වක් දින දක්වා අතර එක් දිනක පමණක් එක් විහාරස්ථානයක කළ හැකි දුර්ලභ පින්කමකි. එසේම මේ සඳහා ගිහි පැවිදි දෙපක්ෂයම එකට එකතුව සිදු කළ යුතු කුසල ක්‍රියාවකි. යම් විහාරස්ථානයක ඇසළ පුන්පෝදා පොහොය කර්ම සිදු කොට පසු දින වස් එළඹුනු භික්ෂු නමක් වප් පොහොය දා මහා පවාරණය නම් විනය කර්මය සිදු කොට අවසන් වන තෙක් වස ආරක්ෂා කර ගනිමින් වැඩ සිටියහොත් පමණක් කඨිනයක් පූජා කළ හැකිවෙයි. මේ අන්දමට කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි. 

කොළඹ ආනන්ද විද්‍යාලයෙහි විශ්‍රාමික සහකාර විදුහල්පති
රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පති
කොළඹ නවකොරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

No comments:

Post a Comment