Navam Poya නවම් පෝය

අගසව් තනතුරු පිරිනැමූ නවම් පෝදා

 

ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් වන සිදුවීම් සතරකට මුල් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැකි ය.

බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ.

මහා සංඝ සම්මේලනයක්

බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලලුා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය.

විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කරගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේලා ගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙම භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් පුර පසළොස්වක පොහොය දිනෙක දී ය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 1000 ක භික්ෂු පිරිස ද සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ 250 ක භික්ෂු පිරිස ද යන 1250 ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සඳමඩල සේ එම රහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක.

අගසව් තනතුරු පිරිනැමීම

මෙම ප්‍රථම සංඝ සම්මේලනයේ දී භික්ෂු සමාජයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහි දී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙලින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කෙරිණි. බුදුරදුන් විසින් සිදු කරන ලද මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය. මෙම පදවි ප්‍රදානය පිළිබඳ එකල ද භික්ෂූන් වහන්සේලා අතර වාද විවාද ඇති වූ බැව් පෙනේ. “බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති”යි ඇතැම් භික්ෂූහු චෝදනා කළහ.

මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේලා සිටිය දී මෑතක දී සසුනට ඇතුළත් වූ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම සාධාරණ නො වන බව ද ඇතැම්හු ප්‍රකාශ කළහ.

මෙම තනතුරු ප්‍රදානයෙන් වඩාත්ම කිපුණේ බුදුරදුන් බෝසත් අවධියේ සිට උපකාරවත් වූ ඡන්න හිමියන් ය. තනතුරු ප්‍රදානයේ දී තමන් වහන්සේ අමතක කළ බව පවසමින් බුදු සසුනේ ප්‍රථම අර්බුදකාරි භික්ෂුව ලෙස ඡන්න හිමියන් පෙරට ඒම මේ සමඟම සිදුවු බව පෙනේ.

අර්බුදයට විසඳුමක්

මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා රැස් කරවා

“මහණෙනි.” පස්වග භික්ෂූහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂූහු සහ තුන් බෑ ජටිල භික්ෂූහු යන සියලු දෙනාම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අග සව් තනතුරු පතාම පින් කළහ”. යනුවෙන් අගසව් දෙනමගේ, අතීත ප්‍රවෘත්ති ගෙනහැර දැක්වූ හ.

එයින් පසුව භික්ෂූන් වහන්සේලා සැකය දුරු කළහ. මෙම අගසව් පදවි ප්‍රදානය ප්‍රමුඛව ස්වකීය ශ්‍රාවකයන් වෙත සුදුසු තනතුරු ප්‍රදානය කිරීම තුළින් බුදුුරදුන් අපේක්ෂා කළේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි විශේෂ පුද්ගලයින් සකස් කිරීමයි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

තනතුරු ප්‍රදානයෙන් නොනැවතුණු බුදුරදුන් භික්ෂූ සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදුවූයේත් නවම් පුර පසළොස්වක පොහෝ දිනෙක ය. බුද්ධත්වයෙන් මුල් විසි වසර තුළ භික්ෂූන් වහන්සේලා හික්මවීමට කිසිදු විනය නීතියක් පැනවීමක් සිදු නොවුණි. එම යුගය තුළ භික්ෂු සමාජයට ඇතුළත් වූයේ විනය නීති යටතේ අනුශාසනාවක් ලැබීමට තරම් ඉතා සුලු වරදක් හෝ සිදු නොකළ පිරිසකි.

ස්වකීය භික්ෂු ජීවිතය ගත කිරීමට බුද්ධ දේශිත ධර්මයම ප්‍රධාන කොටගත් භික්ෂූන් වහන්සේලා සීලය යටතේ ඉතා සරල වූත්, ලිහිල් වූත් ජීවන පැවැත්මක් ඇතිව දිවි ගෙවූහ. එබැවින් බුදු රජාණන් වහන්සේ එම මුල් විසි වසර පුරාම භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. නවම් පොහෝ දිනෙක මුල්ම වරට ඇරඹි එම ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව මෙසේ ය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

සියලු පව් දුරලීම, කුසල් ඉපිදවීම හා වැඩීම, තම සිත පිරිසුදු කරගැනීම යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම් තපසයි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තලන පෙලන පැවිද්දා ශ්‍රමණයෙක් නොවේ.

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්ථං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

අනුන්ට උපවාද නොකිරීම ද , හිංසා නොකිරීම ද, ප්‍රාතිමෝක්ෂ සංවරය ද, ආහාරයෙහි පමණ දන්නා බව ද, විවේක සෙනසුන්හි ඇල්ම ද, සමවත් වැඩීමේ යෙදීම ද කළ යුතු ය. යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

අනුවේදනීය සිදුවීමක්

අසූ වැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ සිය අග්‍ර උපස්ථායක ආනන්ද හිමි ද සමඟ රජගහනුවර චාපාල නම් චෛත්‍යය අසලට වැඩම කළහ. එහිදී ආනන්ද හිමි අමතා තමා ආයු සංස්කාරය අත් හළ බවත් ඡන්ද , විරිය, චිත්ත, වීමංසා යන සතර ඍද්ධිපාද ප්‍රගුණ කළ බුදුවරයෙකුට ආයු කල්පයක් වුව ද මෙලොව ජීවත් විය හැකි බවත් පැහැදිලි කළහ. එලෙස තෙවරක් ම පැහැදිලි කළ ද ආයු කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ඇරයුම් කිරීම කෙරෙහි ආනන්ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි විය.

බුදුරදුන් ආයු සංස්කරණය අත්හැරීමේ පුවත ඇසූ සැණින්ම ආනන්ද හිමි චිත්ත වික්ෂිප්ත භාවයට පත්වීම එයට හේතුවයි. එබැවින් බුදුරදුන් මෙයට තෙමසකට පසු පිරිනිවන් පාමි යි, තීරණය කෙළේ ද නවම් පුර පසළොස්වක පොහොය දිනෙක ය. එය බුද්ධ චරිතයේ හමුවන අනුවේදනීය සිදුවීමකි.

ඌරුගමුවේ
අස්සජී හිමි

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පෝ දා

 

හේමන්ත, ගිම්හාන හා වස්සාන යන ඍතු තුන අතුරෙන් සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුව හේමන්ත ඍතුවයි. එහි දෙවැනි මාසය මෙන් ම අධික සීතල මාසය වන්නේ දුරුතු මාසයයි. දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් ද, රාත්‍රී කාලය දැඩි සීතලෙන් ද යුත් දුරුතු මාසය හිතකර නොවූ කාලගුණයකින් යුතු මාසයකි.

දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන්බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහ රජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මිය ගිය ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි ය.


යක්ෂ නාග අසමගිය

බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කරවීමේ පුවත මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි දැක්වෙන්නේ මෙසේ ය.

බොධිතො නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

එදින මහානාග වනෝද්‍යානයෙහි යක්ෂ ගෝත්‍රිකයන් ගේ මහා සමුළුවක් පැවතිණ. ඒ වන විට ලක්දිව ඉතා බලසම්පන්න ව සිටියේ රාවණ සමයේ සිට පැවත ආ යක්ෂ ගෝත්‍රිකයින් ය. ඔවුන්ගේ දරුණූු ක්‍රියාවන් නිසා එම නම භාවිතයට පැමිණි බව පිළිගත හැකි ය.

මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වා දිය හැකි වන්නේ නාග ගෝත්‍රිකයන් ය. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරු කිරීම බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. මේ සඳහා ලක්දිවට වැඩමවන ලෙස බුදුරජාණන් වහන්සේට ඇරයුම් කළේ සුමන සමන් දිව්‍යරාජයා වන බව ද බෞද්ධයෝ විශ්වාස කරති.



මියුගුණ සෑය

දැනට මහියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයෙහි පත්කඩය අතුරා වැඩසිටි බුදුරජාණන් වහන්සේ යක්ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළ හ. එම බණ ඇසු ඉතා විශාල පිරිසක් ධර්මාවබෝධය ලැබූහ. යක්ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක් බවට පත්වීම ද මෙහිදී ඉතා වැදගත් වෙයි.

බණ අසා සෝවාන් බවට පත් වූ සුමන සමන් දිව්‍ය රාජයා විසින් “ස්වාමීනි අපට පූජාර්හ වස්තුවක් දුන මැනවැ”යි, ආයාචනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ ඔහුට කේශ ධාතු මිටක් දී පෙරලා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ. ඉක්බිති සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන්ගේ කේශධාතුන් වහන්සේ ස්වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක් උස සෑයක නිධන් කළේ ය. එම සෑය ඉදිකළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානයේ ම ය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමාන ව සිටියදී ම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍ය රාජයාට හිමි වෙයි.

මෙකී මහියංගණ සෑය හෙවත් මියුගුණ සෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතය වන අතර, ප්‍රථම ථූප මූර්තිය ද වේ. මියුගුණ සෑය එදා පටන් යක්ෂ, නාග දෙපිරිස ගේ ම වන්දනාමානයට ලක් විය.

කඤ්චුක චෛත්‍යය

පසු කාලයක සැරියුත් මහරහතන් වහන්සේ ගේ අතවැසි වූ සරභූ රහතන් වහන්සේ විසින් කුසිනාරා නුවර පිරිනිවී බුදුරදුන් ගේ ශ්‍රී දේශය ආදාහනය කළ චිතකයේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ගෙන නිධන් කොට මියුගුණ සෑය වටකොට දොළොස් රියන් චෛත්‍යයක් ඉදි කරන ලදහ. එය පළමු චෛත්‍යය වට කොට කළ හෙයින්”කඤ්චුක චෛත්‍යය” නම් විය.

පසුකාලීන ව දේවානම්පියතිස්ස රජු ගේ සොහොයුරකු වු උද්ධ චූලාභය රජු මහානුභාව සම්පන්න වූ මෙම මනෝහර මියුගුණ සෑය දැක බෙහෙවින් තුටුපහටු වී දොළොස් රියන් සෑය වසා තිස් රියන් කොට සෑයක් කරවීය. දුටුගැමුණුූ රජු එම තිස් රියන් සෑය වසා අසූ රියන් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඉන් පසු නොයෙක් කාල පරිච්ඡේදවල දී ගරාවැටුණු මෙම චෛත්‍යය ධාතුසේන, සිරිසඟබෝ , අග්බෝ. පරාක්‍රමබාහු ආදි ශ්‍රේෂ්ඨ නරවිරුවන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදහ.මේ වනවිට ලෝකයා ගේ වන්දනාමානයට යෝග්‍ය වන අයුරින් මියුගුණ සෑයෙහි සියලු ප්‍රතිසංස්කරණයන් නිමකොට තිබේ. අද අප දකින මියුගුණ සෑය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරවන ප්‍රබලතම සාධකයක් වනු ඇත.


බිම්බිසාර රජු ගේ ඉල්ලීම

ප්‍රථම ලංකාගමනයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ අධිපති බිම්බිසාර මහ රජු ගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩම කළහ. "කිංසච්චගවේසී ව" සිටි සමයේ බිම්බිසාර මහ රජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. එහිදී බිම්බිසාර මහරජු බුදුරදුන් හමුවීමට පැමිණියේ විසි දහසක් පමණ වූ පිරිසක් ද පිරිවරාගෙන ය. බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ අතර, මෙය බිම්බිසාර මහ රජුගේ ප්‍රාර්ථනා පහම ඉටු වූ අවස්ථාව විය. පසුව බිම්බිසාර මහරජු වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහ සඟනට පූජා කළේ ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සඳහා නියම කළේ ද මෙම දුරුතු මහේ දී ය.

තිරෝකුඩ්ඩ සූත්‍රය

වේළුවනාරාමය පූජා කළ දින රාත්‍රී බිම්බිසාර මහ රජු මහ හඬින් වැලපෙන පේ‍්‍රතයන් රාශියක් දුටුවේ ය. පසුදා මහරජු මේ බව බුදුරදුන්ට දැන්වීය. එසේ වැලපෙන්නේ පින් බලාපොරොත්තුව සිටින මහ රජුගේ ඥාති පේ‍්‍රතයන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉක්බිති ව උන් වහන්සේගේ අවවාද පරිදි බුදුපාමොක් මහ සඟනට දානය පූජා කළ රජු ඥාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කළේ ය. පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කිරීමේ දී බුදුරදුන් දේශනා කළේ “තිරෝකුඩ්ඩ සූත්‍රය”යි.මේ අනුව මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරවීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මහේ දී ය.

සිරිසඟබෝ රජු

මහියංගණ චෛත්‍යය අසල දී සිරිසඟබෝ කුමරු රාජ්‍ය අභිෂේකය ලැබුවේ ද දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. සිරිසඟබෝ රජු ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළේ ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මෙම රජු අත්තනගල්ලේ දී තම හිස දන් දුන් බව කියැවෙයි. බුදු බව පැතූ බෝසත්වරයකු වශයෙන් සිරිසඟබෝ රජු ඉතිහාසගත වී ඇත.


ඌරුගමුවේ
අස්සජී හිමි

සුමන සමන් දෙවියෝ Saman deviyo

 සුමන සමන් දෙවි ඇරයුමෙන් පිහිටුවූ සමනොළ සිරසේ ශ්‍රී පාද පද්මය



මෝහාන්ධකාරය දුරුකළා වූ ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ, සසර ගමනේ පීඩීත සත්ත්වයන් සසරින් එතෙර කරවීම පිණිස ස්වකීය ජීවිතය කැප කළ සේක.

එහි ප්‍රතිඵලය වූයේ මිනිසුන් පමණක් නොව දෙවි බඹුන් පවා සිය ජිවිතයේ විමුක්ති සුවය සාදනය කරගන්නට පෙළෙඹීමයි . ඒ මහාකාරුණිකයාණන් වහන්සේ ගේ පාද ස්පර්ශය ලැබුවා වූ ලක්වාසි අප සැම ද මේ සංසාර විමුක්ති ගමනේ පුණ්‍යවන්තයෝ ය.

මහාකරුණාවෙන් ලෝකය දෙස බලා වදාරමින් දෛනික කටයුතු ආරම්භ කළ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ගත වූ තැන, මහා සංහාරයක් සංසිඳවනු පිණිස ලක්දිව මහියංගනයට වැඩම කළේ ය. ඒ චූලෝදර මහෝදර දෙදෙනා සමඟි කරවීම පිණිස යි .

එකල රත්නපුර දිස්ත්‍රික්කයේ ජන නායකයා ව සිටි සුමන සමන් නම් දැහැමි නායකයකු ද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසන්නට මහියංගනයට පැමිණි සිටි අතර උන්වහන්සේගෙන් කේශ ධාතු මිටක් ඉල්ලා සෑයක් ඉදිකළ බව මහාවංසයේ සඳහන් ව ඇත. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇසූ පළමු අවස්ථාවේ දී ම සුමන උපාසක සෝවාන් ඵලයට පත් වූ බව ද එහි සඳහන් ව ඇති කරුණකි .

ඉන්පසු ව සම්බුද්ධත්වයෙන් අට වන වසර , මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණි පුරවරට වැඩම කළහ. එහිදී කැලණියට පැමිණි සුමන සමන් උපාසක , භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා තම බල ප්‍රදේශය වූ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කඳු මුදුනට වැඩම කර ඉර හඳ පවතින තාක් කාලයක් සැදැහැවතුනට වන්දනා කරන්නට, ශ්‍රී පතුල පිහිටුවීමට ආරාධනා කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩමකොට තමන් වහන්සේගේ වම් ශ්‍රී පතුලේ ලාංඡනය ගල් තලාවක් මත පිහිටවනු ලැබූ සේක.

අද පටන් ඇරඹෙන උතුම් සිරිපා කරුණා සමය සැදැහැවතුන් විසින් සැදැහැ සිතින් සිහිපත් කොට ගෞරවයෙන් පුද පූජා පවත්වා පින් දීම , චිරසම්භාවිත ශ්‍රී ලාංකේ ය චාරිත්‍රයක් වනුයේ එහෙයිනි.

සමනොල කන්දේ පිහිටු වූ ශ්‍රී පාද ලාංඡනය සියැසින් දුටු පළමුවැන්නා සුමන සමන් උපාසකතුමා ය. ඉන්පසු එහි රැස්ව සිටි සෙස්සෝ ද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇසීමට එහි පැමිණ සිටි දෙවිවරු ද , ශ‍‍්‍රී පාද ලාංඡනය දැක බලා වැඳ පුදා ගත්හ.

පසුදින උදය වරුවේ එම පා සටහන් වටා නිල් මැණික් සවි කිරීමට සුමන සමන් ජනනායක තුමා කටයුතු කළේ ය. ඒ සඳහා දක්ෂ ශිල්පීහු කඳු මුදුනට පැමිණි බැව් බෞද්ධ පොත පතෙහි සඳහන් ය. ශී‍්‍ර පතුල වර්ෂාවෙන් සහ අව් රශ්මියෙන් ආරක්ෂා කරගත යුතු බැවින් පාද සලකුණ වැසීයන පරිදි විශාල ගල් පතුරක් තබා වැසූ බව ශ‍ී‍්‍ර පාදය අවට ගම්වල විසූ පැරැන්නන්ගේ ජනකතාවල සඳහන් ය . එම ගල් ලෑල්ල මත අඩි 4 බැගින් පමණ දිගු වූ පා සලකුණු කැටයම් කරන ලද බවත්, එය නෙළුම් මල් සහ දිව්‍යම සංකේතවලින් සරසන ලද බවත් කියනු ලැබේ. ඉන් පසු සියවස් ගණනාවක් යන තුරුම ශ‍ී‍්‍ර පාද කන්ද තරණය කළ සැදැහැවත් බෞද්ධයන් විසින් වන්දනාමාන කරන ලද්දේ එම කැටයම් සහිත ගල්පතුල පිහිටි ස්ථානයි. මැණික්වලින් අලංකාර කරන ලද සැබෑ සිරිපතුල පිහිටියේ අඟල් 10 ක් පමණ ගණකම් වූ ගල් ලෑල්ල යට ආරක්ෂිතව ය.

පැරණි පොත පත සඳහන් කරනුයේ භාග්‍යවතුන් වහන්සේගෙන් තෙවරක් බණ අසන්නට පුණ්‍යවන්ත වුණු එකම පුද්ගලයා වූයේ සුමන සමන් උපාසක පමණක් ම යන්නයි.

ඔහු ගේ අභාවයෙන් පසු සුමන සමන් උපාසක දේවත්වයට පත් වූ බවත් අදටත් ශ්‍රී පතුල වන්දනා කරන්නට යන උදවියට සුමන සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදය හා ආරක්ෂාව ලැබෙන බවත් එදා සිටම අපේ ඇත්තෝ විශ්වාසය තැබුහ.

සමන්තටකූට වර්ණනාවේ දක්වන ආකාරයට “බුදුරදුන් පා දික් කළ කල්හි අපායේ ගිනි නිවීගොස් පත්මාදයෙන් උන්වහන්සේගේ ශ්‍රී පතුල් පිළිගන්නා බව පෙන්වා දී තිබේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්හි පිහිටා ඇති විශේෂ ලක්ෂණ 236 ක් පිළිබඳ තොරතුරු ත්‍රිපිටක සාහිත්‍යයේ ද හමුවෙන අතර සමන්තපාසාදිකාවේ ද එකී තොරතුරු සඳහන් ව ඇත.

එම ලක්ෂණයන්ගෙන් සමන්විත සිරිපතුල වන්දනා කිරීම මහත් ආනිසංස ගෙන දෙන බව බෞද්ධයන්ගේ පරම විශ්වාසයයි.

ශ්‍රී පතුල පිහිටු වීමට භාග්‍යවතුන් වහන්සේ වෙත සුමන සමන් දෙවිඳුන් කළ ආරාධනයේ දී , ගෙවූ ආයූෂ තිබූ සක්දෙවිඳු , සිරිපතුල් වන්දනාවෙන් පසු නැවත සිය පදවියෙහි පිහිටුවීමට හේතූ වු බව සිහිපත් කර තිබේ . එම පිනෙන් තුන් කෝටි හැටලක්ෂයක් අවුරුදු ආයු ලැබීමට හැකි වූ බව එහි සඳහන් ව ඇත .

සමන්ත කූට වර්ණනාවේ දක්වා ඇති පරිදි බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ වෙසක් පුන් පොහෝ දා සවස් කාලයෙ හි සමන්ත කූට පර්වතය මස්තකයෙහි සිරිපා ලකුණ පිහිට වූ බව සඳහන් ය.

වසරේ අවසන් පොහොය දිනය වන අද උඳුවප් පොහොය දිනයේ පටන්, වෙසක් පුන් පොහොය දිනය දක්වාම සිරිපා කරුණා සමය සිදුවේ. පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව හා දේවාභරණ පෙරහරින් වැඩම කරවමින් සිරිපාද මලුවේ සමන් දෙවොලේ තැන්පත් කිරීමෙන් අනතුරු ව සිරිපා කරුණා සමය ආරම්භ වෙයි.

සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයේ සිරි පතුල පිහිට වූ මේ සිද්ධියෙන් වසර හයසීයක් පමණ ගත වූ විට ශ‍ී‍්‍ර පාදස්ථානය පිළිබඳ පුවත ජනකතාවක් පමණක් බවට පත් වී භාග්‍යවතුන් වහන්සේගේ පාද පද්මය පිහිට වූ ස්ථානය පිළිබඳ දැනුම මිනිසුන් කෙරෙන් අතුරුදන් විය. ඒ අතර පණ්ඩුකාභය රජතුමාගේ (ක්‍රි. පූ. 436 - 366) මුනුපුරු වූ දේවානම් පියතිස්ස රජතුමාගේ කාලයේ දී බුදුදහම ලංකාවට ගෙන ආවේ ය. ඉන්පසු ශ‍ී‍්‍ර පාද ස්ථානය සොයාගත් පළමුවැන්නා වළගම්බා රජු (ක‍ි‍්‍ර. පූ. 104 - 76) ලෙස සැලකෙන්නට විය .

එකල කුඩා රාජධානි කීපයක් ලෙස පැවැති ලංකාව පුරා යුද ගිනි ඇවිළ ගිය අතර, ඉන් ගැලවීම සඳහා වළගම්බා රජතුමා කඳු මුදුනකට පැන ගොස් සැඟව ගත්තේ ය. එසේ සිටියදී ඔහුට ශ‍ී‍්‍ර පාදස්ථානය හමු විය. එතැන් පටන් රජ දරුවෝ ද, සාමාන්‍ය ජනයා ද වැල නොකැඩී වන්දනාමාන පිණිස එහි පැමිණියහ.

අතීතයේ මෙම කඳු ශිඛර තරණය ඉතා දුෂ්කර ය. නියමිත පාරක් හෝ පියගැටපෙළක් නැති කන්දේ ඇතැම් තැන්වල බඩගා ගොස් වැඳ පුදා ගැනීමට බැතිමතුනට සිදුවිය.

ශ‍ී‍්‍ර පාද ස්ථානය පිළිබඳ පළමුවන ඓතිහාසික ලිඛිත සිහිපත් කිරීම හමුවන්නේ විජයබාහු (1065 - 1119) රජතුමාගේ රාජ්‍ය සමයෙනි. වන්දනාකරුවන් ශ‍ී‍්‍ර පාද කරුණාවට විඳීන දුක දුටු විජයබාහු රජු ගිලීමලේ නමැති ගම්මානය ශ‍ී‍්‍ර පාදස්ථානයට කැප කර වන්දනාකරුවන්ට පහසුකම් සලසන ලෙස එහි වැසියන්ට අණ කර ඇත. ගිලීමලේ සහ අඹගමුව ගම්මානවල ඇති විජයබාහු රජ සමයට අයත් සෙල්ලිපිවල මෙකී රජ අණ පිළිබඳ පුවත සටහන් ව ඇත. රාජ නියෝගයත් සමඟම ගිලීමලේ ගම වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත් බව ද ජනප්‍රවාදයේ සඳහන් කරුණකි.

එදත් අදත් හෙටත් මේ ඉර හද පවතිනතාක් කාලයක් සැදැහැවතුන් ගේ වන්දනාමානයට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පතුල පිහිටුවීම පිළිබඳ ඉතිහාසයේ ලියැවෙන සාක්ෂි බොහොමයකි.

 වසන්ත ජයසිංහ ආරච්චි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

Unduvap Poya උඳුවප් පෝය

උඳුවප් පෝ දා වැඩම කළ අසිරිමත් බෝ සමිඳු

 



උඳුවප් සීතල සිරිමා බෝ ඉතිහාසය සිහිගන්වයි . ලිඛිත ඉතිහාසයක් සහිතව ලොව ඇති පැරණිම වෘක්ෂය අනුරාධපුර මහ‍මෙවුනා උයනේ පිහිටි අප ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ය.

බුද්ධ වර්ෂ 236 දී මෙරටට වැඩමකර වූ උන්වහන්සේ මෙරට පූජනීයත්වයේ මුදුන් මල්කඩ සේ ම ආගමික,ජාතික,සාමාජීය , දේශපාලන හා සංස්කෘතික ආදී සෑම අංශයකින් ම අති උතුම් පූජනීය වස්තුව වේ.

එසේම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින ලෝක ධාතුවෙහි ඇති ආශ්චර්යමත් ජීවමාන වස්තුවකි.

දේවානම් පියතිස්ස රජ දවසේ සිට අද දක්වා ඒ අනුහස සිරිලක් ධරණීතලය පුරා බලපවත්නේ ය. සිදුහත් මහ බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් පරදා ලොව්තුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීමට සෙවණ ලබාදෙමින් මහෝපකාරී වූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව නේරංජන ගඟ අසබඩ බුද්ධගයා භූමියේ පිහිටියේ ය. මුල දී අස්වත්ථ හෙවත් ඇසතු වූ මෙම වෘක්ෂය බෝසතාණන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් හැඳීන්විය.

ජය ශී‍්‍ර‍ මහා බෝධීන් වහන්සේ සතුව ඇත්තේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් ඤාණය තුළින් පිළිබිඹු කළ අනන්ත බුදුගුණ මහිමයේ ශක්තියයි. සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාරී වූ බෝධීන් වහන්සේ උදෙසා දක්වන පූජෝපහාරයක් (අනිමිසලෝචන පූජාව)ලෙස සත් සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ ඇසිපිය නොහෙළා දින හතක් බලා හිදීමෙන් බුදුන් සතු මහා ශක්තිය උන්වහන්සේගේ නේත්‍රාවන්ගෙන් රන්වන් බෝ කඳට අන්තර් ග්‍රහණය කළ බව අප තේරුම් ගත යුතු සත්‍යයි.

මේ නිසා මුළුමහත් බොදු ජනතාව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජෝපහාර දක්වයි. ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා රෝපණ මංගල්ලය සිදුකළේ බුද්ධ වර්ෂ 236 වැන්නෙහි දෙවන පෑතිස් මහ රජුගේ මූලිකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. මේ වන විට උන්වහන්සේගේ සම්පූර්ණ ආයුෂ අවුරුදු 2530 කි. මහ මෙවුනාවේ රෝපණයකර දැනට වසර 2450කි. එදා මෙදාතුර නොයෙකුත් අව්, වැසි, කුණාටු දුර්භික්ෂ යුද ගැටුම් කලකෝලාහල මැද මහ විහාරීය භික්ෂූන් වහන්සේ සමඟින් රාජ රාජ මහාමාත්‍යාදීන් ද, බොදු ජනතාව ද බෝ සමිඳු නිරුපද්‍රිත ව ආරක්ෂා කරගැනීම කෘතඥතාපූර්වක ව ස්මරණය කළයුතු ය.

බෝධීන් වහන්සේගේ අංකුරයක් වෙන්කර ගැනීම, එය රෝපණය, අෂ්ඨපල බෝධීන් හට ගැනීම හා දෙතිස් ඵළ බෝධීන් හටගැනීම,වැඩම කිරීම ආදි සියලු සිද්ධීන් ඉතා ආශ්චර්යමත්, ඇදහිය නොහැකි තරම් මහා ආනුභාව සම්පන්න සිද්ධීන් ය. ධර්මාශෝක රජු මහ බෝ වෙනුවෙන් පූජා නොකළ දෙයක් නොමැත.සොළොස් මහා ජනපද රාජ්‍යන් සහිත දඹදිව ම එතුමා මහ බෝ සමිඳුන්ට පූජා කළේ ය. අවසානයේ තමා වෙනුවෙන් ඉතිරි ව සිටි දියණිය වන සංඝමිත්තා මෙහෙණිය ද බෝධිය වෙනුවෙන් පුදා, සිරිලකට පිටත් කර හැරියේ ය.බෝධිය ද රජු වෙනුවෙන් අනුහස් පෑවේය.

‘‘ඉක්බිති මහ බෝධි තොමෝ සූර්ය අස්තංගත වන කල්හි රෙහෙන නැකතින් පෘථිවියෙහි පිහිටියා ය. පොළොව ද කම්පිත විය. මුල් කටාරම් මුව විටෙන් නැඟී ඒ රන් බඳුන වෙළාගනිමින් පොළෝ තලයට බැස්සාහ. රැස්ව සිටි සියලු ජනයෝ පිහිටියා වූ මහ බෝධිය හාත්පසින් සුවඳ මල් ආදී වූ පූජා වස්තූන්ගෙන් පිදූහ. මහා මේඝය තෙමේ වැස්සේ ය. හාත්පසින් ම ගැප් හා සිහිල් වළාවෝ මහා ‍බෝධිය වැසූහ.මහ බෝ තොමෝ සත් දිනක් දැකුම් රහිත වුවා ජනයා කෙරෙහි ප්‍රසාද උපදවන්නේ එම හිම ගැබෙහි වැඩ සිටියහ. සත් දවස ඇවෑමෙහි ඒ සියලු මේඝයෝ පහව ගියහ. සවනක් රැස් හා මහ බෝ තොමෝ ද පෙනිණි.(විජේසේකර:සංස්.2015-83) ‘‘ මහා වංසය බෝධි රෝපණ රාජකීය මහා මංගල්ලය දක්වන අවස්ථාවේ උන්වහන්සේගේ අනුහස පෙන්වන්නේ එසේ ය.

විවධ රාජ යුගවල දී විවිධ සංවර්ධනයනට බෝ මලුව ලක්විය.බෝධියේ ශක්තිය තුළින් ධාර්මික ව රට පාලනය කිරීමට අධිෂ්ඨාන කරගත් සියලු රජවරු, ඔවුනට ආ සියලු බලවේග පරාජය කරමින් ජාතිය නඟා සිටු වූහ. ජනී ජනයා ද සිය දුක් ගැහට හා ප්‍රාර්ථනාවන් බෝ සමිඳුන්ට පවසා පිහිට ලැබූහ.

ඊටත් වඩා බෝධීන් වහන්සේ සමඟ ගොඩ නැඟුණු සංස්කෘතිය ජාතියේ පැවැත්ම සහතික කරන බව අප වටහා ගත යුතු වේ. බෝධීන් වහන්සේ වෙනුවෙන් ඉටුකරන දැවැන්ත චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් පවතී.දෛනික චාරිත්‍ර සහ වාර්ෂික මංගල්ලයන් ආදී රාශියක් ඒ අතර වේ. මහ සඟරුවන ඉතිහාසයේ පටන් අදත් එම කාර්යයන් නොපිරිහෙලා ඉටුකරති.

එමෙන්ම බෝධින් වහන්සේගේ නාමයෙන් ගොඩනැඟුණු සමාජ, ආර්ථික, දේශපාලන උරුමයක් ද අපට පවතී. වර්තමාන ලෝකය එම බෝධි සංස්කෘතියෙන් කියාදෙන සොබා දහමෙන් ඈත් වී සිටී.ඒ ආදීනවය මත මුළු ලොව මූණ දෙන ව්‍යසනය තේරුම් ගැනීමට මේ උඳුවප් පුන් පොහෝ දිනය හොඳම අවස්ථාවකි.

වසර දෙදහස් පන්සීයක් ඉක්මවා මේ දේශය සුරැකි මහබෝ රජුන් තවත් වසර දහස් ගණනක් වැජඹේවායි යන්න අපගේ ඒකායන පැතුමයි . ඔබට ඒ උතුම් වූ ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන්ගේ පිහිට ලැබේවා.


අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ ධම්මජෝති නා හිමි

Il Poya ඉල් පෝය