අගසව් තනතුරු පිරිනැමූ නවම් පෝදා

 

ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් වන සිදුවීම් සතරකට මුල් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැකි ය.

බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ.

මහා සංඝ සම්මේලනයක්

බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලලුා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය.

විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කරගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේලා ගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙම භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් පුර පසළොස්වක පොහොය දිනෙක දී ය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 1000 ක භික්ෂු පිරිස ද සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ 250 ක භික්ෂු පිරිස ද යන 1250 ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය. තාරකා පිරිවරාගත් පුන්සඳමඩල සේ එම රහතන් වහන්සේලා මැද බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක.

අගසව් තනතුරු පිරිනැමීම

මෙම ප්‍රථම සංඝ සම්මේලනයේ දී භික්ෂු සමාජයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු වුණි. මෙහි දී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙලින් දකුණත් සව්, වමත් සව් වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කෙරිණි. බුදුරදුන් විසින් සිදු කරන ලද මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ විය. මෙම පදවි ප්‍රදානය පිළිබඳ එකල ද භික්ෂූන් වහන්සේලා අතර වාද විවාද ඇති වූ බැව් පෙනේ. “බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති”යි ඇතැම් භික්ෂූහු චෝදනා කළහ.

මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේලා සිටිය දී මෑතක දී සසුනට ඇතුළත් වූ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම සාධාරණ නො වන බව ද ඇතැම්හු ප්‍රකාශ කළහ.

මෙම තනතුරු ප්‍රදානයෙන් වඩාත්ම කිපුණේ බුදුරදුන් බෝසත් අවධියේ සිට උපකාරවත් වූ ඡන්න හිමියන් ය. තනතුරු ප්‍රදානයේ දී තමන් වහන්සේ අමතක කළ බව පවසමින් බුදු සසුනේ ප්‍රථම අර්බුදකාරි භික්ෂුව ලෙස ඡන්න හිමියන් පෙරට ඒම මේ සමඟම සිදුවු බව පෙනේ.

අර්බුදයට විසඳුමක්

මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලා රැස් කරවා

“මහණෙනි.” පස්වග භික්ෂූහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂූහු සහ තුන් බෑ ජටිල භික්ෂූහු යන සියලු දෙනාම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අග සව් තනතුරු පතාම පින් කළහ”. යනුවෙන් අගසව් දෙනමගේ, අතීත ප්‍රවෘත්ති ගෙනහැර දැක්වූ හ.

එයින් පසුව භික්ෂූන් වහන්සේලා සැකය දුරු කළහ. මෙම අගසව් පදවි ප්‍රදානය ප්‍රමුඛව ස්වකීය ශ්‍රාවකයන් වෙත සුදුසු තනතුරු ප්‍රදානය කිරීම තුළින් බුදුුරදුන් අපේක්ෂා කළේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි විශේෂ පුද්ගලයින් සකස් කිරීමයි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

තනතුරු ප්‍රදානයෙන් නොනැවතුණු බුදුරදුන් භික්ෂූ සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදුවූයේත් නවම් පුර පසළොස්වක පොහෝ දිනෙක ය. බුද්ධත්වයෙන් මුල් විසි වසර තුළ භික්ෂූන් වහන්සේලා හික්මවීමට කිසිදු විනය නීතියක් පැනවීමක් සිදු නොවුණි. එම යුගය තුළ භික්ෂු සමාජයට ඇතුළත් වූයේ විනය නීති යටතේ අනුශාසනාවක් ලැබීමට තරම් ඉතා සුලු වරදක් හෝ සිදු නොකළ පිරිසකි.

ස්වකීය භික්ෂු ජීවිතය ගත කිරීමට බුද්ධ දේශිත ධර්මයම ප්‍රධාන කොටගත් භික්ෂූන් වහන්සේලා සීලය යටතේ ඉතා සරල වූත්, ලිහිල් වූත් ජීවන පැවැත්මක් ඇතිව දිවි ගෙවූහ. එබැවින් බුදු රජාණන් වහන්සේ එම මුල් විසි වසර පුරාම භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. නවම් පොහෝ දිනෙක මුල්ම වරට ඇරඹි එම ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව මෙසේ ය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

සියලු පව් දුරලීම, කුසල් ඉපිදවීම හා වැඩීම, තම සිත පිරිසුදු කරගැනීම යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම් තපසයි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තලන පෙලන පැවිද්දා ශ්‍රමණයෙක් නොවේ.

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්ථං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

අනුන්ට උපවාද නොකිරීම ද , හිංසා නොකිරීම ද, ප්‍රාතිමෝක්ෂ සංවරය ද, ආහාරයෙහි පමණ දන්නා බව ද, විවේක සෙනසුන්හි ඇල්ම ද, සමවත් වැඩීමේ යෙදීම ද කළ යුතු ය. යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

අනුවේදනීය සිදුවීමක්

අසූ වැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ සිය අග්‍ර උපස්ථායක ආනන්ද හිමි ද සමඟ රජගහනුවර චාපාල නම් චෛත්‍යය අසලට වැඩම කළහ. එහිදී ආනන්ද හිමි අමතා තමා ආයු සංස්කාරය අත් හළ බවත් ඡන්ද , විරිය, චිත්ත, වීමංසා යන සතර ඍද්ධිපාද ප්‍රගුණ කළ බුදුවරයෙකුට ආයු කල්පයක් වුව ද මෙලොව ජීවත් විය හැකි බවත් පැහැදිලි කළහ. එලෙස තෙවරක් ම පැහැදිලි කළ ද ආයු කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ඇරයුම් කිරීම කෙරෙහි ආනන්ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි විය.

බුදුරදුන් ආයු සංස්කරණය අත්හැරීමේ පුවත ඇසූ සැණින්ම ආනන්ද හිමි චිත්ත වික්ෂිප්ත භාවයට පත්වීම එයට හේතුවයි. එබැවින් බුදුරදුන් මෙයට තෙමසකට පසු පිරිනිවන් පාමි යි, තීරණය කෙළේ ද නවම් පුර පසළොස්වක පොහොය දිනෙක ය. එය බුද්ධ චරිතයේ හමුවන අනුවේදනීය සිදුවීමකි.

ඌරුගමුවේ
අස්සජී හිමි

No comments:

Post a Comment