අගසව් ගුණ නැණ හැඳින දිවිමග සපල කර ගනිමු (නවම් පොහොය)

“මහණෙනි, පංච වර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්ද වග්ගිය භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලුදෙනා ම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අගසව් තනතුරු පතා ම පින් කළහ.”
බෞද්ධ සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසකගෙන් සමන්විත ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහි මෙම සිව් පිරිසෙහි ම විශේෂ කුසලතා සැලකිල්ලට ගනිමින් ඔවුනට යෝග්‍ය තනතුරු ප්‍රදානය කළ හ. මෙම තනතුරු අතර වඩාත් විශිෂ්ට වනුයේ අගසව් තනතුරු දෙක ය. බුදු සසුනෙහි එම උත්තරීතර තනතුරු ලැබීමට භාග්‍ය සම්පන්න වූයේ සැරියුත් මුගලන් යන මහ රහතන් වහන්සේ දෙනම ය.
රජගහ නුවර දඹදිව ඉතා ප්‍රසිද්ධ නගරයකි. ඒ සමීපයෙහි උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර බමුණු කුලයක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුත්‍රයා උපතිස්ස යන නමින් ප්‍රකට විය. කෝලිත නම් බමුණු ගම ද උපතිස්ස ගම සමීපයෙහි වූ තවත් ගම්මානයකි. එහි මහාසාර බමුණු කුලයෙහි මොග්ගල්ලාන බැමිණියගේ පුත්‍රයා ප්‍රකට වූයේ කෝලිත යන නමිනි.
මෙම උපතිස්ස - කෝලිත දෙදෙනා ඉතා කුඩා කල පටන්ම කල්‍යාණ මිත්‍රත්වයක් ඇතිව ජීවත් වූහ. ක්‍රමයෙන් තරුණ වියට පත් ඔවුහු තවත් මිතුරන් පිරිසක් ද සමග රජගහනුවර වාර්ෂිකව පත්වන මහා සැණකෙළියකට සහභාගි වූහ. ඔවුන් සැණකෙළිය නරඹනුයේ අපමණ විනෝදාස්වාදයකින් යුක්තව යි. එහෙත් උපතිස්ස කෝලිත දෙදෙනා මෙමගින් සෙසු තරුණ තරුණියන් ලබන විනෝදය නො ලැබූ හ. එපමණක් නොව ජීවිතය ගැන කලකිරීමක් ද ඇති කර ගත් හ.
මෙලොව උපන් සත්ත්ව වර්ගයා මොහොතින් මොහොත මරණය කරා ළඟා වන කල්හි මෙබඳු නැටුම්, ගැයුම්, වැයුම් දෙස බලා විනෝදවීමෙන් ඇති ඵලය කුමක්දැයි, දෙදෙනාම නිතර කතාබහ කළහ. එයම ඔවුන් සංසාරයේ විමුක්තිය සොයමින් සත්‍ය ගවේෂණය සඳහා යොමු කරවීමට හේතුවක් විය.
මෙහි දී පළමුවෙන් ම මුණ ගැසුණේ ‘සංජය’ නමැති පිරිවැජියා ය. ඔහු සතුව සැබෑ විමුක්ති මාර්ගය නො මැති බව වැඩිකල් නො ගොස් ඔවුහු තේරුම් ගත් හ. එ තැනින් නික්මුණු ඔවුන් නැවත සත්‍ය සෙවීමට පිටත්වූයේ මෙවැනි එකඟතාවයක් ඇතිකර ගනිමිනි.
“යමෙකු කිසියම් තැනක දී කවර හෝ ලෙසකින් විමුක්තිය පිළිබඳ මඟ දැනගතහොත් කල්වේලා නො ගෙන ඒ බව අනෙකාට ද දැන්විය යුතු ය.” මෙසේ සත්‍යය සොයමින් යන අතර දිනක් උපතිස්ස පිරිවැජියාට රජගහනුවර දී අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැසුණි. සන්සුන් ඉඳුරන් ඇතිව වැඩමවන උන්වහන්සේ දුටු උපතිස්ස පිරිවැජියා, ‘ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ඉන්ද්‍රියන් ඉතා ප්‍රසන්න ය. කිසියම් විමුක්ති මාර්ගයට පිළිපන් බවක් දිස් වේ. ඔබ වහන්සේ ගේ ගුරුවරයා කවරෙක් ද? ඔබ කවර නම් කෙනෙකුගේ ධර්මයක් ගරු කරන්නෙහි ද?’
“ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටිති. මම උන්වහන්සේ උදෙසා ගිහි ගෙය හැරදමා පැවිදි වුනෙමි. උන්වහන්සේ මාගේ ශාස්තෘවරයාණන් වහන්සේ වෙති.”
“ස්වාමීනි, එම ශාස්තෘන් වහන්සේ දේශනා කරන ධර්මය කුමක්ද?”
“මම අභිනවයෙන් පැවිද්ද ලැබුවෙමි. එබැවින් මා පැවිද්දට නවකයෙකි. විස්තර වශයෙන් මට තථාගත ධර්මය දේශනා කළ නො හැකි ය. එහෙත් තථාගත ධර්මයේ මූලික කරුණු එක්කොට කෙටියෙන් ධර්මය මෙසේ පහදා දිය හැකි ය.
එසේ පැහැදිලි කළ අස්සජි තෙරණුවෝ.
“යම් ධර්මයක් හේතූන් මුල්කොට පවතී ද, එහි හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළ හ. එහි නැතිවීම ද දේශනා කළහ. උන් වහන්සේ එබඳු වාද ඇති කෙනෙකි.”
මෙසේ කෙටියෙන් දේශනා කළ ධර්මය මැනවින් වටහාගත් උපතිස්ස පිරිවැජියා ගාථා දේශනාවෙහි මුල් පද දෙක ඇසීමෙන් ම සෝවාන් ඵලයට පත් විය. වහා සිය මිතුරු කෝලිත පිරිවැජියා සොයාගොස් තමා අස්සජී තෙරුන් වහන්සේගෙන් අසා දැනගත් නිවන් මග ඔහුට හෙළි කළේ ය. ගාථාවෙහි පද සතර කියා අවසානයේ දී කෝලිත පිරිවැජියා ද සෝවාන් ඵලයට පත් විය.
සැරියුත් මුගලන් දෙනම ම මහරහත්භාවය ලබා ශ්‍රාවක පාරමී ඥානය සම්පූර්ණ කළ පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයට භික්ෂූන් වහන්සේලා 1250 නමක් එක්රැස් කරවා ප්‍රථම සංඝ සන්නිපාතය පැවැත් වූ හ. ඒ නවම් පොහොය දිනෙක ය. එහි දී සැරියුත් මහරහතන් වහන්සේට දකුණත් සව් තනතුරත්, මුගලන් මහරහතන් වහන්සේට වමත් සව් තනතුරත් ලබා දුන් හ.
මෙය දුටු ඇතැම් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා ‘බුදුරදුන් මුහුණ බලා තනතුරු දෙති.’ යි චෝදනා කළහ. මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ.
“මහණෙනි, පංච වර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්‍ර වර්ගික භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලුදෙනා ම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අගසව් තනතුරු පතාම පින් කළහ.” යනුවෙන් අගසව් දෙනම ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දැක් වූ හ. එයින් පසුව භික්ෂූන් වහන්සේලා සැකය දුරු කළ හ. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කිරීමේ දී සැරියුත් තෙරණුවන් ප්‍රඥාවන්තයන් අතර ද මුගලන් තෙරණුවන් සෘර්ධිමතුන් අතර ද අග්‍රස්ථානයට පත් කළ හ.
සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ විශිෂ්ට වූ ගුණ සමුදාය අතර අසීමිත ගුරු ගෞරවය සැම ගේ නිති පැසසුමට ලක් වූවකි. තමන්ට නිවන් මඟ පෙන්වා දුන් අස්සජී තෙරණුවන් සිටි දිශාවට දිනකට තෙවරක් නමස්කාර කළ උන්වහන්සේ එදෙසට හිසලා සැතපුණු බව සාරිපුත්ත අපදානයෙහි දැක්වෙයි. නො මගට යොමුව සිටි බොහෝ දෙනෙක් සුමගට යොමු කළහ. දෙව්දත් තෙරුන් සංඝ භේදය කොට භික්ෂු කණ්ඩායමක් රැගෙන ගයා ශීර්ෂයට ගිය අවස්ථාවේ දී සැරියුත් මුගලන් අගසව් දෙනම ම මුල් වී එම පිරිසට නිවන් මග පහදා දී බුදුරදුන් වෙත නැවත කැඳවාගෙන ඒම උදාහරණයකි. සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවේ දී මිසදිටුගත් සිය මෑණියන් වූ රූපසාරී බැමිණියට නිවන් මග කියා දී සෝවාන් ඵලයෙහි පිහිට වූ හ. උන්වහන්සේගේ පිරිනිවන් පෑම ද එදිනම සිදුවුණි. සැරියුත් තෙරුන් ගේ විශිෂ්ට ගුණ වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ උන් වහන්සේගේ ධාතු නිධන් කොට සෑයක් ද කරවූහ.

අගසව් පදවි ලද මුගලන් මහරහතන් වහන්සේ ද සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා තම වගකීම් සම්භාරය පිළිබඳ මනා අවබෝධයකින් හා කැපවීමකින් ක්‍රියා කළහ. සෘද්ධි බලය ද ලැබූහ.
නොමගට ගිය දේවදත්ත පාක්ෂික භික්ෂූන් සුමගට ගැනීම, මච්ඡරිය කෝසිය සිටුතුමා මසුරුකමින් මුදවාලීම, නන්දෝපනන්ද නාගරාජයා දමනය කිරීම, මජ්ක්‍ධිම නිකායේ මාරතජ්ජනීය සූත්‍රයෙහි සඳහන් පරිදි මාරයා තම සිරුර තුළ පෙරළි කළ අවස්ථාවේ තමා ද පෙර මාරව උපන් අවස්ථාවක් ගැන සඳහන් කරමින් මාරයාට තර්ජනය කිරීම, බුදුරදුන් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට දෙව්ලොව වැඩම කළ අවස්ථාවේ දී දෙව්ලොව තොරතුරු විස්තර කොට ජනතාවට ධර්ම දේශනා කිරීම, මිනිස් ලොව පමණක් නොව දෙව්ලොව ද නිරයේ ද සැරිසරමින් සත්ත්වයන් තුළ පින් පව් හා ඒවායෙහි විපාක ජනතාවට දේශනා කිරීම, උන්වහන්සේගේ චරිතයේ සුවිශේෂී ය.
මුගලන් තෙරුන් වහන්සේ ස්වකීය සෘර්ධි බලය ද යොදා ගනිමින් ධර්මය දේශනා කිරීම නිසා සැදැහැවත්හු බුදුරදුන් හා භික්ෂූන් විෂයෙහි මහත් සේ පුද පූජා පැවැත්වූ හ. එනිසා, අන්‍ය තීර්ථකයෝ මුගලන් තෙරුන් කෙරෙහි දැඩි වෛරයකින් පසු වූ හ. උන්වහන්සේ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ හ. පළමු හා දෙ වැනි ඝාතන කුමන්ත්‍රණවල දී උන්වහන්සේ සෘර්ධි බලයෙන් සියල්ල මැඩ පැවැත් වූ හ. එහෙත් තෙවැනි වර සොරුන් වැටලූ අවස්ථාවේ දී පෙර සසර මව මැරීමේ පාප කර්මය නො වැළැක්විය හැකි සේ විපාකය කරා එළඹ ඇති බව දැන නිසලව හුන් හ. සොරු තලා පෙලා උන්වහන්සේ මළබව සිතා පිටත්ව ගියහ. සෘර්ධි බලයෙන් ශරීර බල ගෙන බුදුරදුන් වෙත එළඹි උන්වහන්සේ නොයෙක් සෘර්ධි ප්‍රාතිහාර්ය පා වැඳ අවසර ගෙන කාලසිලාවලට වැඩමවා එහි දී පිරිනිවන් පා වදාළහ.
ඌරුගමුවේ අස්සජි හිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනිමකි.

සත් සතිය


බුදුරජාණන් වහන් සේ බුද්ධත්වයෙන් පසු බුද්ධගයාවේ සති හතක කාළයක් ගතකල ස්ථාන මෙයින් නිරුපණය වේ.


සත් සතිය ගතකළ ස්ථාන වඳින ගාථාව


පඨමං බෝධිපල්ලංකං - දුතියංච අනිම්මිසං

තතියං චංකමණං -සෙට්ඨං - චතුත්ථං රතනාඝරං

පඤ්චමං අජපාලඤ්ච - මුචලින්දේන ඡට්ඨමං


සත්තමං රාජායතනං - වන්දේ තං මුනිසේවිතං















නීලගිරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද අම්පාර නීලගිරි සෑය කැණීම්වලදී හමු වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මෙහිදී ප‍්‍රදර්ශණය කෙරෙයි.

නීලගිරි සෑයෙන් හමු වූ මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ ශෛලමය කරඩුව සහ  සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර තීබූ රන් කරඬුව හා එම චෙත්‍යය කැණීම් කිරිමේදී ලැබුණු පළිඟු කරඬු ‍මෙහිදී ප්‍රදර්ශණය කෙරේ.






නීලගිරි සෑයෙන් හමු වූ  ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ


සාදූ සාදූ සාදූ!!!...........

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය (දුරුතු පොහොය)




"දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ."

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ.

දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක.

ඒ සමඟම දුරුතු පුර පසළොස්වක පොහෝ දා උදාවෙමින් පැවතුණි. මේ කාලයේ මෙම ලංකාද්වීපයේ වාසය කළේ යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයෝ ය. එදින අලුයම ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ මහානාග වනෝද්‍යානයේ යුද්ධ කිරීම පිණිස කඳවුරු බැඳගෙන සිටි විශාල යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් දුටු සේක. ඒ අය කෙරෙහිත්, අනාගත ලංකාවාසීන් කෙරෙහිත් අනුකම්පා සහගත වූ බුදුරජාණන් වහන්සේ ඍද්ධියෙන් මහියංගණයට වැඩම කොට මහියංගණ චෛත්‍යය පිහිටන ස්ථානයේ සම්කඩ අතුරා වැඩහිඳ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා යක්ෂයින් පළවා හැර ලක්දිව සිව් දිගින් පැමිණි සුමන සමන් දෙවියන් ඇතුළු දෙව් පිරිස සරණ සීලයේ පිහිට වූ සේක. එලෙස යක්ෂයින් දමනය කර ගිරිදිවයිනට පළවා හැර, ඒ අවස්ථාවේ දී රැස්වුණා වූ දේව හා නාග පිරිස් තිසරණ ගැන්වීමෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුදුසසුන පිහිටුවීම පිණිස සිදු විය යුතු මූලික කරුණු රාශියක්ම සම්පූර්ණ කළ සේක.
මහියංගන සෑරදුන්

බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ පිරිස අතර සුමන සමන් දෙවියෝ ද වූහ. නිරාමිස සතුටකින් හා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔද වැඩී ගිය සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් සේක. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම උන්වහන්සේ උදෙසා පුද සත්කාර කිරීම පිණිස පූජා වස්තු ලෙස කේශ ධාතුන් වහන්සේ ලබා දීම කිහිප අවස්ථාවක දී ම සිදු වී ඇති අතර, දුරුතු පුර පසළොස්වක පොහෝදා බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ට ලබා දුන්නේ ද එබඳු පූජා වස්තුවකි.

මහත් ගෞරවයෙන් යුක්තව එම කේශ ධාතුන් වහන්සේ භාරගත් සුමන සමන් දෙවියෝ ඒවා තැන්පත් කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සත් රියන් චෛත්‍යයක් කළෝය. ලක්දිව මුල් වරට ඉදිකරන ලද චෛත්‍යය ලෙස සැලකෙන්නේ මෙම චෛත්‍යය වන අතර දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක දී කරන ලද චෛත්‍යය අද මහියංගණ සෑ රදුන් ලෙස ප්‍රකට වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ දී ම ලක්දිව චෛත්‍යය වන්දනාව ආරම්භ වු බවත්, ඒ අනුව මෙරට බෞද්ධයෝ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් බෞද්ධ ප්‍රතිපත්තිය එකල විසූ ගෝත්‍රික ජනතාව අතර පැතිරෙන්නට වු බවත් ය.

මුල් කාලයේ දී ලක්දිව බුදු සසුනේ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සැලකිය හැකි බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබා ගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි. ඉන් අනතුරුව චූලාභය රජතුමා මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ තිස් රියන් කොට බැඳවීය . තවද ලක්දිව බුදුසසුනේ චිරස්ථිතිය පිණිස සටනට ගිය දුටුගැමුණු රජතුමා තම සටන් ව්‍යාපාරය ආරම්භ කළේ මහියංගණ චෛත්‍යය අසූ රියන් කොට බඳවා බුදුසසුන සුරැකීමට කළ අධිෂ්ඨානයක් සමඟම ය.

දුරුතු පුන් පොහෝදා මෙලෙස ලක්දිව බුදු සසුන ස්ථාපිත කිරීම පිණිස මූලික කටයුතු සැකසීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එදින ඍද්ධි බලයෙන් උරුවෙල් දනව්වට ම වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ දහසක් පමණ වූ පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ සමඟ රජගහනුවරට වැඩම කිරීම් ආරම්භ කළේද එ දිනමය. මේ පිරිස එකල දඹදිව කීර්තිමත් ජටිල පිරිසක් වූ අතර, බුදු සසුනේ පැහැදී, පැවිදි වීමෙන් අනතුරුව එතෙක් කලක් මිනිසුන් අතර පැවති මිථ්‍යා විශ්වාස දුරු කර ඔවුන් බුදු සව්වන් කිරීමේ මූලික අභිපාය අනුව මෙම යාත්‍රාව දුරුතු පුන් පොහෝදා ඇරඹිණි. බිම්බිසාර රජතුමා ඇතුළු විශාල පිරිසක් සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කොට බුදුදහමේ අචල ශ්‍රද්ධාවක් ඇති පිරිසක් බවට පත් වූයේද එදා උන්වහන්සේ ආරම්භ කරන ලද මෙම ධර්ම යාත්‍රාව නිසා ය. තවද මුල්ම ආරාම පූජාව සිදු වූයේ ද මෙම චාරිකාව නිසා ය.

කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු පෙරහර සිදු කරනු ලබන්නේ ද දුරුතු පුර පසළොස්වක පොහෝ දා බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ ස්ථානයකි කැලණිය. එහිදී උන්වහන්සේ කැලණි ගඟෙන් දිය නා පරිභෝග කළ මැණික් පුටුවද කැලණි චෛත්‍යය තුළ නිදන් කර ඇති බවත්, ඒ උතුම් වැඩම වීම සිදුවූයේ වෙසක් පොහෝ දිනක බවත් සඳහන් වී ඇත. කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවස්ථාව සිහිපත් කරමින් කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහර පවත්වනු ලැබේ.

දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ.

අප මෙවර දුරුතු පුරපසළොස්වක පොහෝ දින දාන , ශීල හා භාවනා දී ප්‍රතිපත්ති පූජාවක් සිදු කරමින් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියම අනුගාමිකයන් ලෙස නිවන පසක් කිරීමට පිළිවෙතින් පෙළ ගැසෙමු.


අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයේන් උපුටා ගැනීමකි

2018 සුබ නව වසරක් වේවා!!!... Happy New Year...........


Sri Padaya ශ්‍රී පාද වන්දනාවේ යන ඔබ මේ කරුණු ගැනත් සැලකිලිමත් වන්න

සැදැහැ සිතින් සිරිපා කරුණා කරමු



"මේ, රටවැසි ජනතාවගේ සිත්සතන් සාමකාමී වන කාලවකවානුවකි. කරුණාවයි දෙවි කරුණාවයි හඬ සමනොළ ගිරි දෙසින් මතුවේ. සිත් සතන් තුළ කාරුණික සිතිවිලි පහළ වේ. කිසිදු තරාතිරමක්, උසස් පහත් භේදයක් නැත. නෑකම් භාවිතා කරන උතුම් ස්ථානයක් වේ. වඳින්න යන මේ මාමාට..... මේ අයියට, මේ අක්කට, මේ මල්ලිට...... යනුවෙන් ඕනෑම කෙනෙකුට නෑකමින් කරුණාවත් දෙවිකරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ
සංස්කෘතියේ අභිමානය පෙන්වයි"

ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම විටෙක අති දුෂ්කරය. එහෙත් බාල, මහලු වන්දනා කරුවෝ ශ්‍රද්ධාව පෙරදැරි කොටගෙන කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීම ආශ්චර්ය ජනකය. අනුහසින් යුතු මෙම පුදබිමේ සිට ගලායන සිව්මහා ගංගාවෝ ලක් දෙරණ පෝෂණය කරන අයුරු අසිරිමත් ය. මේ නම්, සැනසුම ගෙන දෙන පරිසරයක් හා ජල සම්පත උරුම කරදෙන ඓතිහාසික ස්ථානයක් ද වේ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුද්ධත්වයට පත්විමෙන් අටවෙනි වස වෙසක් පුර පසළොස්වක පෝ දින රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ මනිඅක්ඛික නා රජුන්ගේ ඇරයුමෙන් කැලණියට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය ද එය වේ. එහි දී සුමන සමන් දිව්‍ය රාජයාගේ ඉල්ලීම පරිදි සමනොළ කඳු මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවීම මෙරට සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි වැදගත් ම සන්ධිස්ථානයකි.

පැරැන්නෝ ශ්‍රී පාදස්ථානය හැඳින්වීමට විවිධ නම් භාවිත කළහ. වර්තමානයේ දි ශ්‍රී පාදය, ශ්‍රී පාද කන්ද, සිරිපාදෙ, සමනොළ කන්ද, සමනලකන්ද, සමන්ගිර, සුමණකූට, සමන්තකූට, ශ්‍රී පාදස්ථානය යන ව්‍යවහාර පවතී. සමන් දෙවියන්ගෙ රට, සමන් දෙවියන්ගෙ අඩවිය යනුවෙන් ද අසන්නට ලැබේ. මින් ශ්‍රීපාදකන්ද, ශ්‍රීපාදය, සිරිපාදෙ වැනි යෙදුම් සම්බුදුරදුන්ගේ ශ්‍රී පාද ලාංඡනය නිසාම භාවිත වන අතර අන් නාමයන් සුමන සමන් දෙවියන් පාදක කොට ඇති වූ බව පෙනේ.

බුදුරජාණන් වහන්සේ වැඩම කරවා සම්බුදු පාද ලාංඡනය පිහිටුවීම හා ඊට සමන් දෙවියන්ගේ ද සම්බන්ධය සත්‍යය නිසා ශ්‍රී පාදස්ථානය වෙත සැදැහැවතුන් පැමිණෙනුයේ කාගේ හෝ ඉල්ලීමක් නිසා නොවේ. මෙවන් ඓතිහාසික කන්දක් තරණය කර වන්දනාවේ යෙදෙන වෙනත් ස්ථානයක් ලොව නොමැත.

පැරැණි සිරිත් අනුව යමින් ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කෙරේ. 2017 – 2018 ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹීම සඳහා පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථ ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේ සිට ශ්‍රී පාද මළුව දක්වා ශ්‍රී සර්වඥ ධාතු කරඬුව හා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ වැඩමවීමේ පෙරහර දෙසැම්බර් 2 වන දා (සෙනසුරාදා) අලුයම ආරම්භ වීමට නියමිතව තිබිණි. ඒ නිමිත්තෙන් ගල්පොත්තාවල රජ මහා විහාරයේ දී දෙසැම්බර් 01 වන දා සවස 5 ට ගිලන්පස බුද්ධ පූජාව හා දේව පූජාව ද, සවස 6.30 ට දේව පූජාව සිදු කිරීම ද, රාත්‍රී 7 ට පිරිත් දේශනාව ඇරඹීම ද, රාත්‍රී 8.15 ට පුද පූජා වන්දනා සඳහා දේවා ප්‍රතිමා නිරාවරණය කිරීම ද, පසු දා අලුයම දක්වා පුද පූජා වන්දනා සිදු කිරීමට ද නියමිතව තිබිණි. දෙසැම්බර් 2 වන දා අලුයම කරඬුව හා දේව ප්‍රතිමා වහන්සේලා මෙසේ තැන්පත් කිරීම හා පෙරහර පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව තිබිණි. හැටන් පෙරහර, පලාබත්ගල පෙරහර සහ බළංගොඩ පෙරහර පිටත්වීමට නියමිතව තිබිණි.



ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරයේ සමන් දේව මන්දිරයේ කුටියේ තැන්පත් කර තිබෙන ප්‍රතිමා වහන්සේ කරඬුව රථයේ තැන්පත් කර පැල්මඩුල්ල හන්දියට පෙරහර පැමිණේ. එහි දී බළංගොඩ පාර, රත්නපුර පාර ලෙස පෙරහර දෙකක් පැමිණේ. රත්නපුර මාර්ගයේ පෙරහර රත්නපුරදී පළාබත්ගලින් එක් කොටසක් ද අනෙක් කොටස ගිනිගත්හේන හරහා නල්ලතන්නියට ගමන් කරයි. රත්නපුර මාර්ගයෙන් පැමිණෙන පෙරහර බළංගොඩ මාරතැන්න බගවන්තලාව, නෝර්වුඩ්
මස්කෙළිය හරහා හැටන්පාරෙන් පැමිණෙන පෙරහරට එකතු වේ. ඉන්පසු පෙරහර ශ්‍රී පාද මළුව වෙත ගමන් කරනු ලැබේ. ප්‍රදක්ෂිණාව පමණක් වෙනස්වුව ද දේව මන්දිරයේ කුටියේ දී මෙන් ශ්‍රී පාද මළුවේ එම ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරනු ලැබේ.

සැදැහවත්හු බුද්ධාලම්භන පී‍්‍රතියෙන් එම අවස්ථාවන් සඳහා සහභාගි වෙති. ඊට තොරණ, බොදුධජ, බැනර් ආදියෙන් උපහාර පුදන අතර පුද පූජාදියෙන් එම ආගමික කටයුතුවලට සම්බන්ධ වේ.

සිරිපා වන්දනා වාරය එසේ ආරම්භවීමෙන් පසු සෑම බදාදා සහ සෙනසුරාදා දිනයන්හි කෙම්මුර පූජා පැවැත්වේ. එය පෙර සිට පැවත එන සිරිතකි. සධාතුක කරඬුව සහ දේවප්‍රතිමා වහන්සේලා සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා සුවඳ පැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා සමය අරඹයි එය 2018 වෙසක් පෝය දක්වා පැවැත්වේ.

පසළොස්වක පොහොය හයක් මාස පහක් පුරා එම පින්කම පැවැත්වේ. එහිදී නායක කාරකාදීන් ඇතුළු සමස්ත ජනතාවට ම ආශිර්වාද පිණිසත් එම පින්කම සිදුවේ. මේ, රටවැසි ජනතාවගේ සිත්සතන් සාමකාමී වන කාලවකවානුවකි. කරුණාවයි දෙවි කරුණාවයි හඬ සමනොළ ගිරි දෙසින් මතුවේ. සිත් සතන් තුළ කාරුණික සිතිවිලි පහළ වේ. කිසිදු තරාතිරමක්, උසස් පහත් භේදයක් නැත. නෑකම් භාවිතා කරන උතුම් ස්ථානයක් වේ. වඳින්න යන මේ මාමාට..... මේ අයියට, මේ අක්කට, මේ මල්ලිට...... යනුවෙන් ඕනෑම කෙනෙකුට නෑකමින් කරුණාවත් දෙවිකරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වයි.

වන්දනාකරුවන් සඳහා රජය ඉදිරිපත් වී මහජන සුබ සිද්ධියට කටයුතු සිදු කිරීම ද සුවිශේෂී ය. මහජනතාව විශාල පිරිසක් එකතු වන ස්ථානයක් ලෙස රාජ්‍ය පරිපාලන, ආරක්ෂක, ආදී විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය ශ්‍රී පාදස්ථානය වෙත ලැබේ.

බැතිමතුන්ගේ ශ්‍රද්ධා ගෞරවයට හානියක් නොවන ලෙස බැතිමතුන්ගේ ආරක්ෂාව, ජල පහසුකම්, විදුලි ආලෝකය, ගමනා ගමන සෞඛ්‍යාරක්ෂක ආදී විවිධ පහසුකම් රජයෙන් ලබා දී තිබේ.

අපේ රටට සාමය සහජීවනය පිණිස නිතර රත්නත්‍රයේ පිහිට තිබිය යුතු බව පෙනෙන කරුණකි. දෙවියන්ගේ රැකවරණය අවශ්‍ය කාලයකි. සර් ජෝන් කොතලාවල අමාත්‍යතුමා, විමලසුරේන්ද්‍ර බලාගාරය මගින් භාරය ඔප්පු කිරීම සඳහා විදුලිය නොමිලයේ සපයා තිබේ. ශ්‍රී පාදස්ථානය වෙත ජල පහසුකම් සලසන ලද්දේ 1962 දී ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ කාලයේදී ය.

2003 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය යුගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිලක් මාරපන අපේ දායක අමාත්‍යතුමා පළාබත්ගල මාර්ගයේ පියගැටපෙළ සකස් කිරීම අරඹා පියගැටපෙළ දාහතරදාහකට අධික ප්‍රමාණයක් තනවමින් එම මාර්ගය පිළිසකර කරවී ය.

මහගිරිදඹය ආරම්භ වන ස්ථානයේ අහස්ගව්ව අසල සිරිපා වන්දනාවාරයේ දී පැවැත්වෙන බත් දන්සල සෑම වන්දනා වාරයක දී ම පැවැත්වීම ද අදහස වී ඇත. සිරිපා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී පැමිණිය යුතු ය. එමෙන් ම සංගීත භාණ්ඩ ආදිය රැගෙන ඒමෙන් ද වැළකිය යුතු ය.

ගෞරවයෙන් වන්දනාවට, පැමිණෙන සියලුදෙනාට ආශිර්වාදය සැලසේ. පරිසරයට, ගහකොළට, ඇළට දොළට, සතා සිව්පාවාට හානි කිරීමෙන් ද වැළකිය යුතු ය. නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස ද කාරුණිකව සිහිපත් කරමි.

ශ්‍රී පාදස්ථානාධිපති 
රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක 
ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත 
බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි