"මේ, රටවැසි ජනතාවගේ සිත්සතන් සාමකාමී වන කාලවකවානුවකි. කරුණාවයි දෙවි කරුණාවයි හඬ සමනොළ ගිරි දෙසින් මතුවේ. සිත් සතන් තුළ කාරුණික සිතිවිලි පහළ වේ. කිසිදු තරාතිරමක්, උසස් පහත් භේදයක් නැත. නෑකම් භාවිතා කරන උතුම් ස්ථානයක් වේ. වඳින්න යන මේ මාමාට..... මේ අයියට, මේ අක්කට, මේ මල්ලිට...... යනුවෙන් ඕනෑම කෙනෙකුට නෑකමින් කරුණාවත් දෙවිකරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ
සංස්කෘතියේ අභිමානය පෙන්වයි"
ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම විටෙක අති දුෂ්කරය. එහෙත් බාල, මහලු වන්දනා කරුවෝ ශ්‍රද්ධාව පෙරදැරි කොටගෙන කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීම ආශ්චර්ය ජනකය. අනුහසින් යුතු මෙම පුදබිමේ සිට ගලායන සිව්මහා ගංගාවෝ ලක් දෙරණ පෝෂණය කරන අයුරු අසිරිමත් ය. මේ නම්, සැනසුම ගෙන දෙන පරිසරයක් හා ජල සම්පත උරුම කරදෙන ඓතිහාසික ස්ථානයක් ද වේ.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුද්ධත්වයට පත්විමෙන් අටවෙනි වස වෙසක් පුර පසළොස්වක පෝ දින රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ මනිඅක්ඛික නා රජුන්ගේ ඇරයුමෙන් කැලණියට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය ද එය වේ. එහි දී සුමන සමන් දිව්‍ය රාජයාගේ ඉල්ලීම පරිදි සමනොළ කඳු මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවීම මෙරට සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි වැදගත් ම සන්ධිස්ථානයකි.
පැරැන්නෝ ශ්‍රී පාදස්ථානය හැඳින්වීමට විවිධ නම් භාවිත කළහ. වර්තමානයේ දි ශ්‍රී පාදය, ශ්‍රී පාද කන්ද, සිරිපාදෙ, සමනොළ කන්ද, සමනලකන්ද, සමන්ගිර, සුමණකූට, සමන්තකූට, ශ්‍රී පාදස්ථානය යන ව්‍යවහාර පවතී. සමන් දෙවියන්ගෙ රට, සමන් දෙවියන්ගෙ අඩවිය යනුවෙන් ද අසන්නට ලැබේ. මින් ශ්‍රීපාදකන්ද, ශ්‍රීපාදය, සිරිපාදෙ වැනි යෙදුම් සම්බුදුරදුන්ගේ ශ්‍රී පාද ලාංඡනය නිසාම භාවිත වන අතර අන් නාමයන් සුමන සමන් දෙවියන් පාදක කොට ඇති වූ බව පෙනේ.
බුදුරජාණන් වහන්සේ වැඩම කරවා සම්බුදු පාද ලාංඡනය පිහිටුවීම හා ඊට සමන් දෙවියන්ගේ ද සම්බන්ධය සත්‍යය නිසා ශ්‍රී පාදස්ථානය වෙත සැදැහැවතුන් පැමිණෙනුයේ කාගේ හෝ ඉල්ලීමක් නිසා නොවේ. මෙවන් ඓතිහාසික කන්දක් තරණය කර වන්දනාවේ යෙදෙන වෙනත් ස්ථානයක් ලොව නොමැත.
පැරැණි සිරිත් අනුව යමින් ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කෙරේ. 2017 – 2018 ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹීම සඳහා පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරස්ථ ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේ සිට ශ්‍රී පාද මළුව දක්වා ශ්‍රී සර්වඥ ධාතු කරඬුව හා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ වැඩමවීමේ පෙරහර දෙසැම්බර් 2 වන දා (සෙනසුරාදා) අලුයම ආරම්භ වීමට නියමිතව තිබිණි. ඒ නිමිත්තෙන් ගල්පොත්තාවල රජ මහා විහාරයේ දී දෙසැම්බර් 01 වන දා සවස 5 ට ගිලන්පස බුද්ධ පූජාව හා දේව පූජාව ද, සවස 6.30 ට දේව පූජාව සිදු කිරීම ද, රාත්‍රී 7 ට පිරිත් දේශනාව ඇරඹීම ද, රාත්‍රී 8.15 ට පුද පූජා වන්දනා සඳහා දේවා ප්‍රතිමා නිරාවරණය කිරීම ද, පසු දා අලුයම දක්වා පුද පූජා වන්දනා සිදු කිරීමට ද නියමිතව තිබිණි. දෙසැම්බර් 2 වන දා අලුයම කරඬුව හා දේව ප්‍රතිමා වහන්සේලා මෙසේ තැන්පත් කිරීම හා පෙරහර පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව තිබිණි. හැටන් පෙරහර, පලාබත්ගල පෙරහර සහ බළංගොඩ පෙරහර පිටත්වීමට නියමිතව තිබිණි.
ගල්පොත්තාවල ශ්‍රී පාද රජ මහා විහාරයේ සමන් දේව මන්දිරයේ කුටියේ තැන්පත් කර තිබෙන ප්‍රතිමා වහන්සේ කරඬුව රථයේ තැන්පත් කර පැල්මඩුල්ල හන්දියට පෙරහර පැමිණේ. එහි දී බළංගොඩ පාර, රත්නපුර පාර ලෙස පෙරහර දෙකක් පැමිණේ. රත්නපුර මාර්ගයේ පෙරහර රත්නපුරදී පළාබත්ගලින් එක් කොටසක් ද අනෙක් කොටස ගිනිගත්හේන හරහා නල්ලතන්නියට ගමන් කරයි. රත්නපුර මාර්ගයෙන් පැමිණෙන පෙරහර බළංගොඩ මාරතැන්න බගවන්තලාව, නෝර්වුඩ්
මස්කෙළිය හරහා හැටන්පාරෙන් පැමිණෙන පෙරහරට එකතු වේ. ඉන්පසු පෙරහර ශ්‍රී පාද මළුව වෙත ගමන් කරනු ලැබේ. ප්‍රදක්ෂිණාව පමණක් වෙනස්වුව ද දේව මන්දිරයේ කුටියේ දී මෙන් ශ්‍රී පාද මළුවේ එම ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරනු ලැබේ.
සැදැහවත්හු බුද්ධාලම්භන පී‍්‍රතියෙන් එම අවස්ථාවන් සඳහා සහභාගි වෙති. ඊට තොරණ, බොදුධජ, බැනර් ආදියෙන් උපහාර පුදන අතර පුද පූජාදියෙන් එම ආගමික කටයුතුවලට සම්බන්ධ වේ.
සිරිපා වන්දනා වාරය එසේ ආරම්භවීමෙන් පසු සෑම බදාදා සහ සෙනසුරාදා දිනයන්හි කෙම්මුර පූජා පැවැත්වේ. එය පෙර සිට පැවත එන සිරිතකි. සධාතුක කරඬුව සහ දේවප්‍රතිමා වහන්සේලා සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා සුවඳ පැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා සමය අරඹයි එය 2018 වෙසක් පෝය දක්වා පැවැත්වේ.
පසළොස්වක පොහොය හයක් මාස පහක් පුරා එම පින්කම පැවැත්වේ. එහිදී නායක කාරකාදීන් ඇතුළු සමස්ත ජනතාවට ම ආශිර්වාද පිණිසත් එම පින්කම සිදුවේ. මේ, රටවැසි ජනතාවගේ සිත්සතන් සාමකාමී වන කාලවකවානුවකි. කරුණාවයි දෙවි කරුණාවයි හඬ සමනොළ ගිරි දෙසින් මතුවේ. සිත් සතන් තුළ කාරුණික සිතිවිලි පහළ වේ. කිසිදු තරාතිරමක්, උසස් පහත් භේදයක් නැත. නෑකම් භාවිතා කරන උතුම් ස්ථානයක් වේ. වඳින්න යන මේ මාමාට..... මේ අයියට, මේ අක්කට, මේ මල්ලිට...... යනුවෙන් ඕනෑම කෙනෙකුට නෑකමින් කරුණාවත් දෙවිකරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වයි.
වන්දනාකරුවන් සඳහා රජය ඉදිරිපත් වී මහජන සුබ සිද්ධියට කටයුතු සිදු කිරීම ද සුවිශේෂී ය. මහජනතාව විශාල පිරිසක් එකතු වන ස්ථානයක් ලෙස රාජ්‍ය පරිපාලන, ආරක්ෂක, ආදී විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය ශ්‍රී පාදස්ථානය වෙත ලැබේ.
බැතිමතුන්ගේ ශ්‍රද්ධා ගෞරවයට හානියක් නොවන ලෙස බැතිමතුන්ගේ ආරක්ෂාව, ජල පහසුකම්, විදුලි ආලෝකය, ගමනා ගමන සෞඛ්‍යාරක්ෂක ආදී විවිධ පහසුකම් රජයෙන් ලබා දී තිබේ.
අපේ රටට සාමය සහජීවනය පිණිස නිතර රත්නත්‍රයේ පිහිට තිබිය යුතු බව පෙනෙන කරුණකි. දෙවියන්ගේ රැකවරණය අවශ්‍ය කාලයකි. සර් ජෝන් කොතලාවල අමාත්‍යතුමා, විමලසුරේන්ද්‍ර බලාගාරය මගින් භාරය ඔප්පු කිරීම සඳහා විදුලිය නොමිලයේ සපයා තිබේ. ශ්‍රී පාදස්ථානය වෙත ජල පහසුකම් සලසන ලද්දේ 1962 දී ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ කාලයේදී ය.
2003 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය යුගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිලක් මාරපන අපේ දායක අමාත්‍යතුමා පළාබත්ගල මාර්ගයේ පියගැටපෙළ සකස් කිරීම අරඹා පියගැටපෙළ දාහතරදාහකට අධික ප්‍රමාණයක් තනවමින් එම මාර්ගය පිළිසකර කරවී ය.
මහගිරිදඹය ආරම්භ වන ස්ථානයේ අහස්ගව්ව අසල සිරිපා වන්දනාවාරයේ දී පැවැත්වෙන බත් දන්සල සෑම වන්දනා වාරයක දී ම පැවැත්වීම ද අදහස වී ඇත. සිරිපා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී පැමිණිය යුතු ය. එමෙන් ම සංගීත භාණ්ඩ ආදිය රැගෙන ඒමෙන් ද වැළකිය යුතු ය.
ගෞරවයෙන් වන්දනාවට, පැමිණෙන සියලුදෙනාට ආශිර්වාදය සැලසේ. පරිසරයට, ගහකොළට, ඇළට දොළට, සතා සිව්පාවාට හානි කිරීමෙන් ද වැළකිය යුතු ය. නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස ද කාරුණිකව සිහිපත් කරමි.
ශ්‍රී පාදස්ථානාධිපති
රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක
ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත
බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි
රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක
ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත
බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි
No comments:
Post a Comment