ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා Anagarika Dharmapala thuma


1864 සැප්තැම්බර් 17 දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කල උත්තම චරිතයක් වෙන ධර්මපාල තුමන්.


ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට එතුමා පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද එතුමා වේ. 

එතුමා අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය.

එතුමාගේ පියා එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ,මල්ලිකා ධර්මගුණවර්ධන විය.

එ‍මෙන්ම එතුමා 1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබු අතර පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය..
වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. 




වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය.

ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහාණිය එහි දී එතුමා සියැසින් දුටුවේ ය.සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය. එතුමා ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය.

බ්‍රිතාන්‍ය ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ එතුමා බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී, කල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ. එතුමා ඉන් නිදහස ලැබුවේ 1921 දී ය.




එමෙන්ම එතුමා ගව මස් කෑමට එරෙහිව නැගීසිටි අතර ගම් නියම් ගම් පුරා මිනිසුන් දැනුවත් කරමින් ගියේය.හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව, 1931 ජූලි 13 වන දින, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය. 


සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු
ලැබුවේ,හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.




1933 අප්‍රේල් 29 දී ධම්මපාල හිමියෝ අප‍ගෙන් සමුගත් අතර එතුමා වැනි ශාසනයට සේවය කළ උතුම් මිනිසුන් අප රට නැවත ඉපදේවා !!!.

The Greatest Anagarika Dharmapala was born 7th September 1864 on a day like today...
Anagarika Dharmapala (Sinhalese: අනගාරික ධර්මපාල; 17 September 1864 – 29 April 1933) And his parents was Don Carolis Hewavitharana and Mallika Dharmagunawardhana (the daughter of Andiris Perera Dharmagunawardhana) and he was a Sri Lankan Buddhist revivalist and writer. He was one of the founding contributors of non-violent Sinhalese Buddhist nationalism and Buddhism.
He was also a pioneer in the revival of Buddhism in India after it had been virtually extinct there for several centuries, and he was the first Buddhist in modern times to preach the Dharma in three continents: Asia, North America, and Europe. Along with Henry Steel Olcott and Helena Blavatsky, the creators of the Theosophical Society, he was a major reformer and revivalist of Ceylonese Buddhism and an important figure in its western transmission. 

He also inspired a mass movement of South Indian Dalits including  Tamils to embrace Buddhism, half a century before B. R. Ambedkar.At the latter stages of his life, he entered the order of Buddhist monks as Venerable Sri Devamitta Dharmapala.

This was a time of Buddhist revival. In 1875 in New York, Madame Blavatsky and Colonel Olcott had founded the Theosophical Society.
They were both very sympathetic to what they understood of Buddhism, and in 1880 they arrived in Ceylon, declared themselves to be Buddhists, and publicly took the Refuges and Precepts from a prominent Sinhalese bhikkhu. 

Colonel Olcott kept coming back to Ceylon and devoted himself there to the cause of Buddhist education, eventually setting up more than 300 Buddhist schools, some of which are still in existence. It was in this period that Hewavitarne changed his name to Anagarika Dharmapala.
'Dharmapala' means 'protector of the dharma'. 'Anagarika' means "homeless one". It is a midway status between monk and layperson. 

But for a person to take them for life was highly unusual. Dharmapala was the first anagarika - that is, a celibate, full-time worker for Buddhism - in modern times. It seems that he took a vow of celibacy at the age of eight and remained faithful to it all his life. 

Although he wore a yellow robe, it was not of the traditional bhikkhu pattern, and he did not shave his head. He felt that the observance of all the vinaya rules would get in the way of his work, especially as he flew around the world. Neither the title nor the office became popular, but in this role, he "was the model for lay activism in modernist Buddhism." He is considered a bodhisattva in Sri Lanka.

The young Dharmapala helped Colonel Olcott in his work, particularly by acting as his translator. Dharmapala also became quite close to Madame Blavatsky, who advised him to study Pāli and to work for the good of humanity - which is what he did. It was at this time that he changed his name to Dharmapala (meaning "Guardian of the Dharma").
In 1891 Anagarika Dharmapala was on a pilgrimage to the recently restored Mahabodhi Temple, where Siddhartha Gautama - the Buddha - attained enlightenment at Bodh Gaya, India.
Here he experienced a shock to find the temple in the hands of a Saivite priest, the Buddha image transformed into a Hindu icon and Buddhists barred from worship. As a result, he began an agitation movement.

The Maha Bodhi Society at Colombo was founded in 1891 but its offices were soon moved to Calcutta the following year in 1892. One of its primary aims was the restoration to Buddhist control of the Mahabodhi Temple at Bodhha Gaya, the chief of the four ancient Buddhist holy sites.

To accomplish this, Dharmapala initiated a lawsuit against the Brahmin priests who had held control of the site for centuries.[18][19] After a protracted struggle, this was successful only after Indian independence (1947) and sixteen years after Dharmapala's own death (1933), with the partial restoration of the site to the management of the Maha Bodhi Society in 1949. It was then the temple management of Bodh Gaya was entrusted to a committee comprised in equal numbers of Hindus and Buddhists.

We wish a rebirth of such a great person among us once again...!!!

දේවත්වය ඉක්ම වූ මිනිසා



බුදුන්වහන්සේ ගැන හරිහැටියට නොදත් අය උන්වහන්සේ දේවත්වයෙහිලා සළකති. එබඳු අනවශ්‍ය කීර්ති, ප්‍රශංසා, ගෞරවාචාර උන්වහන්සේ කිසි විටකත් අගය නොකළහ. බලාපෙරොත්තු නුවූහ. මහණෙනි! ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, දරුණු ය. තියුණු ය. අනුත්තරවූ රහත්බව ලබාගැනීම පිණිස අන්තරායකරය’. ‘දාරුණො භික්‍ඛවෙ ලාභ සත්කාර සිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යෝගක්ඛෙමස්ස අධිගමාය’ (සංයුක්ත නිකාය – ලාභ සත්කාර සංයුක්ත) උන්වහන්සේ ලෝකයා තුළ පවත්නා අවිද්‍යාව, නොදැනීම, නූගත්කම, වැරදි දෘෂ්ටි, වැරදි මත, වැරදි ක්‍රියා, පෙන්වාදීම සඳහා ම පහළ වූ උතුමෙකි. එබඳු උතුමෙක් ලෝකයාගෙන් සීමාව ඉක්ම වූ ගෞරවාචාර කිසිසේත් බලාපොරොත්තු නොවෙයි.

දිනක් බුදුන්වහන්සේ උක්කට්ඨා හා සේතව්‍යා යන නගර දෙක අතර පා ගමනින් වඩිද්දී ඒ මගෙහි ම ගමන් ගත් ද්‍රෝණ නම් බමුණෙක් බුදුරදුන්ගේ පා සටහන් දැක, ‘ඒකාන්තයෙන් මේ පා සටහන් මනුෂ්‍යයෙකුගේ නම් නොවේ.’
යයි සිතා, ඉතා ඕනෑකමින් බලා සිටියේ හ. බුදුන්වහන්සේ මාර්ගයෙන් පැත්තකට ගොස් ගසක් මුල වැඩ හුන් ය. බමුණා අතිශය ශාන්ත දාන්ත ඉරියවුවෙන් හෙබී බුදුරදුන් ළඟට ගොස් පහත සඳහන් ප්‍රශ්න ඇසී ය.

බමුණා - ඔබ දෙවියෙක් ද?
බුදුහු - බමුණ, මම දෙවියෙක් නො වෙමි.
බමුණා - ඔබ ගාන්ධර්වයෙක් ද?
බුදුහු - බමුණ මම ගාන්ධර්වයෙක් නො වෙමි.
බමුණා - ඔබ යක්ෂයෙක් ද?
බුදුහු - බමුණ, මම යක්ෂයෙක් නො වෙමි.
බමුණා - ඔබ මනුෂ්‍යයෙක් ද?
බුදුහු - බමුණා මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

බමුණා - මම ඔබෙන් දෙවියෙක්දැයි ඇසූ විට ‘මම දෙවියෙක් නොවෙමි’ යි ඔබ කියයි. ඔබ ගාන්ධර්වයෙක් ද, යක්ෂයෙක් ද? මනුෂ්‍යයෙක්දැයි ඇසූ විට ‘මම ගාන්ධර්වයෙක් හෝ යක්ෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ නොවෙමි’ යි කියයි. එසේනම් ඔබ කවරෙක් ද?

බ්‍රාහ්මණය, මා දෙවියෙක් නම් දෙවියෙකු තුළ පවත්නා කාමාදි ආශ්‍රවයන් මා තුළත් තිබිය යුතු ය. එහෙත් මම කාමාදී ආශ්‍රවයන් සියල්ල සහමුලින් ම ප්‍රහීණ කෙළෙමි. මුලිනුපුටා දැමීමි. ඒ නිසා මම දෙවියෙක් නොවෙමි. බ්‍රාහ්මණය, මා ගාන්ධර්වයෙක් නම් ගාන්ධර්වයෙකු තුළ පවත්නා කාමාදී ආශ්‍රවයන් මා තුළත් තිබිය යුතු ය. එහෙත් මම ඒ සියල්ල ප්‍රහීණ කෙළෙමි. ඒ නිසා මම ගාන්ධර්වයෙක් ද නොවෙමි. බ්‍රාහ්මණය, මා යක්‍ෂයෙක් නම් යක්‍ෂයෙකු තුළ පවත්නා කාමාදී ආශ්‍රවයන් මා තුළත් තිබිය යුතු ය. එහෙත් මම ඒ සියල්ල ප්‍රහීණ කෙළෙමි. ඒ නිසා මම යක්‍ෂයෙක් ද නොවෙමි. බ්‍රාහ්මණය මා ‘සාමාන්‍ය මනුෂ්‍යයෙක්’ නම් සියලු මිනිසුන් තුළ පවත්නා කාමාදී ආශ්‍රවයන් මා තුළත් තිබිය යුතු ය. එහෙත් මම ඒ සියල්ලම ප්‍රහීණ කෙළෙමි. ඒ නිසා මම අනික් මිනිසුන් වැනිමිනිසෙක් ද නොවෙමි. බ්‍රාහ්මණය, උපුලක් හෝ පියුමක් හෝ හෙළපියුමක් හෝ දියෙහි ඉපිද, දියෙහි වැඩී, දියෙන් ඉස්මතු වී දියෙහි නොගෑවී තිබෙනවා වගේ මමත් ලෝකයෙහි මිනිසුන් අතර ඉපිද, ලෝකයෙහි මිනිසුන් අතර වැඩී, ලෝකයාගෙන් මිනිසුන්ගෙන් ඉස්මතු වී, ලෝකයා සමඟ නොගැටී, නොගෑවී, නොබැඳී සිටිමි. ඒ නිසා බමුණ මම මිනිස් දුර්වලකම් සියල්ල නැති කළ උත්තර මනුෂ්‍යයෙක්මි. ‘උත්තරමනුස්සො’ කොටින්ම මම බුදුවරයෙක්මි මා හැඳින්විය යුතු හොඳම නම ‘බුද්ධ’ යනුයි. ‘බුද්ධොති මං බ්‍රාහ්මණ ධාරෙහි’ (අංගුත්තර නිකාය – චතුක්ක නිපාත - ද්‍රෝණලෝක සූත්‍රය)

බුදුන්වහන්සේ හා බමුණකු අතර සිදු වී ඇති මේ සාකච්ඡාවෙන් පෙනී යන්නේ කෙලෙසුන්ගෙන් පිරුණු සාමාන්‍ය මිනිසුන් සඳහා පොදුවේ යෙදෙන ‘මනුෂ්‍ය’ යන මේ වචනය බුදුහාමුදුරුවන් ගැන යෙදිය යුත්තේ සුර, අසුර, නර, නාග ආදී සත්ව ජාතීන් හැඳින්වීමේදී පමණක් බවයි. බුදුන්වහන්සේගේ ජීවිතය පරිච්ඡේද දෙකකින් යුක්තය. සිද්ධාර්ථ කුමාර කාලයේ සිට බුද්ධත්වය ලබන තුරු උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙකි. බෝධිසත්ව වරයෙකි. බුදු බව ලැබූ කෙණෙහි සිට සියලු මිනිසුන් තුළ පවත්නා රාගාදී ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම නැතිකළ බැවින් ‘උත්තරීතර’ මනුෂ්‍යයෙකි. මනුෂ්‍යයන් අතර මෙතෙක් උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ය. උන්වහන්සේ සමකළ හැක්කේ මිනිසෙකුට නොව බුදුවරයෙකුට පමණෙකි. උන්වහන්සේට සමකළ හැකි තවත් මිනිසෙකු නැති නිසා ‘අසම’ යනුවෙන් හැඳින්වෙති. සමකළ හැක්කේ බුදුවරයෙකුට ම නිසා ‘අසමසම’ යනුවෙන් ද හැඳින්වෙති. බුදුහාමුදුරුවෝ පුද්ගලයන් අතර ආශ්චර්යවත් පුද්ගලයෙකි. ‘ආච්ඡරියෝපුග්ගලො’ මනුෂ්‍යයන් අතර ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි. ‘අච්ඡරිය මනුස්සෝ’.
සිදුහත් කුමරා මිනිස් මවුපියන්ට දාව මිනිස් සිරුරක් ඇතිව ඉපිද, බුදුවරයෙකු මෙන් ජීවත්ව සිට, මිනිස් ආයුෂ වළඳා උත්තරීතර මනුෂ්‍යයෙකු වශයෙන් පිරිනිවන් පෑවේ ය. සියලු මිනිසුන් තුළ දක්නට ඇති රාග, ද්වේෂ, ‍ෙමීහ, මද, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී ක්ලේශ ධර්මයෝ උන්වහන්සේ තුළ අවිද්‍යාමාන වූහ. මිනිසුන්ට අයත්, මිනිසුන් තුළ ම දක්නට ලැබෙන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා, සීල සමාධි, ප්‍රඥා ආදී ශ්‍රේෂ්ඨ මිනිස් ගති උන්වහන්සේ තුළ විද්‍යාමාන විය.
බුදුන්වහන්සේ කථා කළේ එකළ ව්‍යවහාරයෙහි ඇති කාටත්, තේරෙන මිනිසුන් කථා කරන භාෂාවෙනි. උන්වහන්සේ වැළඳුවේ මිනිසුන් කනබොන ආහරපාන වර්ගයි. උන්වහන්සේගේ කථාවෙහි මිනිස් ලක්‍ෂණ හොඳින් දිස්වෙන තැන් බොහෝ ය.

“පරි – පක්කො වයො මය්හං - පරිත්තං මම ජීවිතං
පහාය වො ගමිස්සාමි – කතං වො සරණ මත්තනා”

“මම දැන් මහල්ලෙක්මි. මට ජීවත් වීමට ඇත්තේ තව ස්වල්ප වේලාවකි. මම නුඹලා අත්හැර දමා යන්නෙමි. මා විසින් නුඹලාට කළ යුතු උපකාරය පිහිට කරන ලද්දේ ය.”

මහලු පියෙකු තම මරණය මඤ්චකය වටා රැස්ව සිටින දූ දරුවන් අමතා කියන අන්තිම වචනයේ විලාසය මෙහි දක්නට ඇත. බුදුන්වහන්සේ මිනිසෙකු වශයෙන් මිනිසුන් සමඟ කථා කරනු මෙහි ඉතා හොඳින් දිස්වේ.
ආනන්දය, මම දැන් ජරාවට, වැඩි වයසට, මහලු බවට, වයස්ගත බවට, පත්වීමි, මගේ වයස අසූවකි. දිරූ රියක් රෝද බැඳීම් ආදී ප්‍රතිසංස්කරණයෙන් අල්ලා සිටිනවා වගේ මගේ කයද අර්හත් බලවේගයෙන් බඳනා ලදුව අල්ලා සිටී. (අහංඛො පනානන්ද එතරහි ජිණ්ණෙණා වුද්ධො, මහල්ලකො, අද්ධගතො වයො අනුප්පතො, ආසීතිකො මෙ වයො වත්තනි සෙය්‍යථාපි ආනන්ද ජජ්පර සකටං වෙධ මිස්සකෙන යාපෙති. එව මෙව ඛො ආනන්ද වෙධමිස්සකෙන මඤ්ඤෙ තථාගස්ස කායොයාපෙති.) (මහාපරිනිබ්බාන සූත්‍රය)

මේ වචන තුළින් අසූහැවිරිදි වැඩිහිටියෙක් දිස් වෙයි.
චුන්දකර්මාර පුත්‍රයාගේ ආහාර වැළඳීමෙන් පසු බුදුරදුන්නට දරුණු රෝගයක් වැළඳුනේ ය. එවිට බුදුහු ‘ආනන්දය’ හොඳටම වතුර පිපාසයි. ඉක්මනට පැන්ටිකක් ගෙනත් දෙන්න. (ඉංඝ මෙ ත්වං ආනන් ද පානියං ආහර, පිපාසිතොම්හි ආනන්ද පිබිස්සාමි) යයි තෙවරක් ද අනඳ තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. මෙහිදී උන්වහන්සේ භාවිත කළ වචන තුළින් වතුර පිපාසයෙන් පෙලෙන රෝගියෙක් දිස් වෙයි.

බුදුරදුන්ගේ අනූපම රූසපුවෙන් වශී වී ඒ දෙස ම බලා සිටීම සඳහා මහණ වී සිටි වක්කලී තෙරුන් අමතා ‘වක්කලිය මේ කුණු සිරුරෙන් ඔබට ඇති ඵලය කුමක්ද? ‘කිං තෙ වක්කලී ඉමිනා පූතිකායෙන්’ ඇසූහ. මෙයින් උන්වහන්සේගේ සිරුර දෙතිස් කුණුපයෙන් යුත් මිනිස් සිරුරක් බව පැහැදිලි වෙයි. ‘මහණෙනි’, මගේ කීමට එක දෙයක් අත්හරින්න. එය අත් හැරියොත් නුඹලා අනාගාමී වන බවට මම පොරොන්දු වෙමි. මම ඇප වෙමි. ඒ එකම දෙය නම් ලෝබකමයි. ‘එකධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිහොගො අනාගාමිතාය. කතමං එකධම්මං. ලෝහං භික්ඛවෙ එක ධම්මං. (ඉතිවුත්තක – එකක නිපාතය)

‘මම පොරොන්දුවෙමි.මම ඇප වෙමි’ යි යන මේ බුදුවදනෙහි ඇත්තේ සාමාන්‍ය මිනිස් ස්වරූපයයි. මම පොරොන්දු වෙනවා ය. මම ඇප වෙනවාය කියා හැමෝම හැම විටම නොකියති. දැකීමෙන්, කළ පුරුද්දෙන්, අත්හදා බැලීමෙන් ලැබූ බලවත් විශ්වාසය ඇති කෙනෙකු ම කියන කතාවකි මේ.

බුදුහු පිරිනිවන් මඤ්චකයෙහි වැඩ හිඳ භික්‍ෂූන් අමතා, මහණෙනි, මේ සිටින එක භික්‍ෂුවකට හරි මා ගැන ,ධර්මය ගැන, සංඝයා ගැන, මාර්ග ගැන, ප්‍රතිපදා ගැන මොනවිදියේ හෝ සැකයක් තිබේ නම් දැන් මගෙන් අහන්න. අපේ ශාස්තෘවරයා ජීවත්ව සිටියදී මේ ප්‍රශ්න අසන්නට බැරි වුණා ය. මේ සැකය අත්හැර ගන්නට බැරි වුනාය කියා පසුව කනගාටු වෙන්ට එපා. ඒ නිසාම ඇසිය යුතු යමක් ඇත්නම් දැන්ම මගෙන් අසා දැන ගන්න. මට ඇති ගෞරවය නිසා යමෙක් මගෙන් ප්‍රශ්න අසන්නට අකමැති නම් යහළුවකු ලවා හරි අස්වාගන්න යයි තුන්වරක්ම භික්‍ෂූන්ට කියා සිටියහ. එහෙත් භික්‍ෂූහු තුෂ්ණිම්භූතව හුන්හ. ‘සියා ඛෙ පන භික්ඛවෙ එක භික්ඛුස්සපි කඩ්කා එක භික්ඛුස්ස වා කඩ්කා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සංඝෙ වා මග්ගෙ වා පටිපදාය වා පුච්ඡථ භික්‍ඛවේ. මාපච්ඡා විප්පටි සාරිනො අහුවත්ථ, සම්මුඛීභූතො නො සත්ථා එවංවුත්තෙ තෙ භික්‍ඛු තුණ්හී අහෙසුං දුතියම්පි - තතියම්පි සිය ඛො පන භික්‍ඛවෙ සත්ථු ගාරවෙනාපි න පුච්ඡෙය්‍යාථ සහායබොපි භික්‍ඛවෙ සහායකස්ස ආරොචෙත ති එවං වුත්තෙ තෙ භික්‍ඛු තණ්හී අහෙසුං’ (මහා පරිනිබ්බානසුත්ත – අංගුත්තර නිකාය, චතුක්ක නිපාත)

බලන්න! මේ ප්‍රධානියාගේ හැටි, මේ නායකයාගේ හැටි මේ ගුරුවරයාගේ හැටි, අන්තිම හුස්ම හෙලන්නට පෙර තමන්ගේ චරිතය ගැන, පැවැත්ම ගැන, තමන්ගේ අදහස් ගැන, තමන්ගේ පිරිස ගැන මොනවිධි‍ෙය් හරි සැකයක් තියෙනවා නම්, එසේම නොදන්නා දෙයක් අසා දැනගන්නට ඕනෑකම තිබෙනවා නම්, ඒ ඕනෑම දෙයක් ගැන අසා දැනගන්නට යයි මරණ මඤ්චකයේ සිටගෙන එක් වරක් නොව තුන්වරක්ම දන්වා සිටියහ.තම චරිතයෙහි ඇති පිරිසුදු බව, අනුන් නොදන්නා දෙයක් අන්තිම අවස්ථාවේ හරි කියාදීමෙහි ඇති ඕනෑකම මෙයින් පෙනේ. අන්තිම හුස්ම හෙලන මොහොතෙහි පවා අනුන්ට සේවය කිරීමේ බලාපොරොත්තුව මෙයින් පෙනේ. මෙබඳු ශෝචනීය අවස්ථාවක මෙබඳු ඉල්ලීමක් කළ ගුරුවරයෙක්, නායකයෙක්, ශාස්තෘවරයෙක්, මවෙක්, පියෙක්, වැඩිහිටියෙක් මේ මානව ඉතිහාසයෙහි වෙන සිටියේ ද? සේවය කරන අයට, සේවය කිරීමට බැඳී සිටින අයට මෙය හොඳ ආදර්ශයක් නොවේ ද?

මහණෙනි, අකුසල් අත්හරින්න. අකුසල් අත්හරින්න පුළුවනි. අකුසල් අත්හරින්න බැරිනම් අකුසල් අත්හරින්නය කියල මම කියන්නේ නැහැ. අකුසල් අත්හරින්න පිළිවන් නිසාමයි මම එසේ කියන්නේ. අකුසල් අත්හැරීමෙන් අහිතක්, දුකක්, අවැඩක් වෙනවා නම් මම කිසි කලෙක එසේ කියන්නේ නැහැ. අකුසල් අත්හැරීම හිත පිණිසම, සැප පිණිසම හේතුවන නිසාමයි මම එසේ කියන්නෙ.’අකුසලං භික්ඛවෙ පජහථ සක්කා භික්ඛවෙ අකුසලං පජහිතුං නොවෙතං භික්ඛවෙ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං නාහං එවං වදෙය්‍යං අකුසලං භිඛවෙ පජහථාති, යස්මා ච බො භික්ඛවෙ සක්කා අකුසලං පජහිතුං තස්මා හි එවං වදාමි අකුසලං භික්‍ඛවෙ පජහථාති, අකුසලං ච හිදං භික්ඛවෙ පහීනං අභිතාය දුක්ඛාය සංවත්තෙය්‍ය නාහං එවං වදෙය්‍යං අකුසලං භික්ඛවෙ පජභාථාති. යස්මා ච ඛො භික්ඛවෙ අකුසලං පහීනා හිතාය සුඛාය සංවත්තති තස්මාහං එවං වදාමි අකුසලං භික්ඛවෙ පජහථාතී” (අංගුත්තර නිකාය – දුක නිපාත)

බලන්න මිනිස් මවක හෝ පියෙකු ‘පුතේ ! දුවේ, නරකවැඩ කරන්න එපා. නුඹලාට වැරදි වැඩ නොකර ඉන්න පුළුවන්. ඒ නිසාමයි මම කියන්නේ වැරදි වැඩ නොකොට හිටියොත් එයින් වෙන්නේ හොඳක්ම යයි දූදරුවන්ට බල කර සිටීමක, ඇවිටිල්ලක ස්වරූපය මෙහි නැද්ද කියා. මෙබඳු කීම දෙවිවරුන් කියා තිබේද? ඇත්තෙන්ම නැහැ. මහණෙනි, දීමෙහි හා බෙදීමෙහි අනුසස් මම දන්න තරම් අනික් අයත් දන්නව නම් ඒ කිසිවෙක් ටිකක් හරි අනුන්ට නොදීනම් අනුභව කරන්නෙ නැහැ. මසුරු කමට ඉන්නෙ නැහැ. තමන් කකා සිටින අන්තිම බත්පිඩෙන් කොටසක් හරි එය පිළිගන්ට කෙනෙකු සිටිනවා නම් ඉන් කොටසක් හරි නොදී අනුභව කරන්නෙ නැහැ.” “එවං චෙ භික්ඛවෙ සත්තා ජානෙය්‍යුං දානං සංවිහාගස්ස විපාකා යථා අහං ජානාමි න අදත්වා භුඤජෙය්‍යං න ච තෙසං මච්ජෙරමළං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය. යොපි තෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබලං තතොපි න අසංවිභජිත්වා භුඤජෙය්‍යුං” (ඉතිවුත්තක පාලි - එකක නිපාත)

මෙය ද හොඳට දන් දී පුරුදු ඇති දානපතියෙකුගේ කථාවකි.
එකළ බුදුරදුන්ට වාතාරෝගයක් හැදුනේ ය. උපවාන හාමුදුරුවෝ බුදුරදුන්ට උපස්ථාන කරති. බුදුහු ඒ තෙරුන් අමතා ‘උපවානය’ මට උණුවතුර ටිකක් ගෙනැත් දෙන්නයයි කීහ. ‘තෙන ඛො පන සමයෙන භගවා වාතෙහි ආබාධිතො හොති ආයස්මා ච උපවානො භගවතා උපට්ඨාකො හොති අථඛො භගවා ආයස්මන්තං උපවානං ආමන්තෙසි, ඉඩස මෙත්වං උපවාන උණ්හොදකං ජානාහිති’ (සංයුක්ත නිකාය – බ්‍රාහ්මණ සංයුක්ත)
මේ කියමනෙහි දක්නට ඇත්තේ ද මිනිස් ස්වභාවයකි.

දිනක් බුදුහු මහාකාශ්‍යප මහතෙරුන් සමග ගසක් යටට වැඩ එහි වාඩිවී සිටින්නට කැමති බවක් ඇඟවූහ. මහා කාශ්‍යප තෙරණුවෝ පට පිළියෙන් කළ තමාගේ සගළ සිවුර හතරට නමා බිම එලා බුදුරදුන්ට අසුනක් පැනවූහ. එහි වැඩසිටි බුදුහු ‘මහා කාශ්‍යපය, ඔබේ මේ සිවුර සිනිඳු’ යයි කීහ. ස්වාමීනී, මට අනුකම්පාකොට මේ සිවුර ඔබ වහන්සේ පිළිගනු මැනවි’ ‘කාශ්‍යපය, පෙරවීමෙන් පරණ වී හණ වැහැරියෙන් කළ මගේ පාශුකූල සිවුර පොරවා ගන්නට ඔබ කැමැත්තෙහිද?’ ‘එසේය මම කැමැත්තෙමි’ ‘ඇවැත්නී, මෙසේ මා පෙරවූ සිවුර බුදුරදුන්ට දී බුදුරදුන් පෙරවූ හණ රෙද්දෙන් මැසූ පාංශුකූල සිවුර මම පොරවා ගතිමි.’ මුදුකා ඛොත්‍යායං කස්සප පට පිලොතීනං සංඝාටී’ පතිගණ්හාතු මෙ හන්තෙ භගවාපට පිලොතීනං සංඝාටි අනුකම්පං උපාදායාති ධාරෙස්සති පන මෙ ත්වං කස්සප ඝාණාති පාංසුකුලානි තිබ්බංසනානිති ධරෙස්මසාහං හන්තෙ භගවතො සාරණානි පාංසුකුලානි නිබ්බසනානිති සො ඛො අහං ආවුසො පටපිලෝතීනං සංඝාටිං භගවතො පාදාසිං අහං පන භගවතො ඝාණානි පාංසුකූලානි නිබ්බසනානි පටිපජ්ජිං’ (සංයුක්ත නිකාය – කස්සප සංයුක්ත)

මෙහි ද බුදුන්වහන්සේ මහ කසුප් තෙරුන්ගේ පටපිළියෙන් කළ සඟල සිවුර සිනිඳු බව අඟවා, එය තමන් වහන්සේට පිළිගන්වාගෙන තමන් පෙරවූ හණ රෙද්දෙන් කළ පරණ සිවුර කසුප් තෙරුන්ට පොරවන්ට දීම බුදුරදුන් හා මහ කසුප් තෙරුන් අතර පැවති සමාන හා මිත්‍ර ආකල්පයක ලකුණු පෙන්වති.

දිනක් පඤ්චවග්ග දායක නම් බමුණෙක් සිය නිවසෙහි මිදුලට පිටු පා වාඩි වී සිට ආහාර අනුභව කෙළේ ය. බැමිණිය ඔහුට ව්‍යාංජන බෙදමින් සිටියා ය. බුදුන්වහන්සේ ඒ දෙදෙනාගේ හේතු සම්පත් දැක ඔවුන්ට යහපතක් කරනු සඳහා ඒ නිවසට පිඬුසිඟා වැඩිසේක. බැමිණිය මිදුලේ වැඩ සිටින බුදුරදුන් දැක ‘බමුණා දැන් බුදුරදුන් දුටුවොත් අනුභව කරමින් සිටින කෑම ටික පාත්‍රයට බෙදනු ඇත. එසේ වුවහොත් මට නැවතත් උයන්නට සිදුවේ යයි සිතා බමුණාට බුදුන් නොපෙනෙන ලෙස මුවා කරගෙන ආහාර බෙදුවා ය. බුදුරදුන් ද එතනින් නොගොසින් එහිම සිටිනු දුටු බැමිණිය. බමුණාට නො පෙනෙන ලෙස ඔළුව වනා බුදුරදුන්ට යන්ට යයි සංඥා කළාය. බුදුහුද ඔළුව වනා ‍ෙනායන බව ඇඟවූහ.
එතරම් ශ්‍රේෂ්ඨ රාජවංශික මහා තවුසෙකු හිස වැනූ හැටි දැක බැමිණියට බක බක ගා හිනා ගියේය. හදිසියේ බැමිණිය සිනාසුනේ කා සමඟ දැයි ඇසූ බමුණා මිදුල දෙස බැලීය. පිඬු සිඟා වැඩ සිටි බුදුරදුන් දුටු ඔහු බාගයක් පමණ අනුභව කොට බඳුනේ ඉතුරු වී තිබුණු කොටස බුදුරදුන්ගේ පාත්‍රයෙහි බහාලීය. බුදුහු ඉඳුල් බත්යයි ප්‍රතික්ෂේප නොකොට “ බමුණ අග කොටස හෝ මැද කොටස හෝ අවසාන කොටස හෝ අපට සුදුසුය. අපි වනාහි පරදත්තුපජීවි ප්‍රෙතයන් වැන්නෙමුයි කීහ. බමුණා රාජවංශයෙහි උපන් මෙතරම් උත්තමයෙක් “ මට ඉඳුල් බත් එපා “ යයි නොකියා පිළිගත්තේයයි බුදුරදුන් ගැන තදින් ම පැහැදුනේ ය.

(ධම්මපදට්ටකථා - පඤ්චවග්ග දායක බ්‍රාහ්මණ වත්ථු)

ඉඳුල් බත් වළඳා හෝ අනුන්ට සේවය කිරීමට, යහපතක් සෙතක් සැලසීමට බුදුරදුන් තුළ පැවති ඕනෑකම මෙයින් පෙණේ.
දිනක් බුදුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු ගැටවටු ගන්වා පාත්‍රය අතින්ගෙන උදය නමැති බමුණාගේ ගෙදරට පිඬුසිඟා වැඩිසේක. බුදුරදුන් දුටු බමුණා පාත්‍රය පුරවා බත් පිළිගැන්වීය. බමුණාට පින්දී බුදුහු විහාරයට වැඩියහ. දෙවැනි දින ද බුදුහු ඔහුගේ ම ගෙදරට පිඬුසිඟා වැඩියහ. එදින ද බමුණා පාත්‍රය පුරවා බත් පිළිගැන්වීය. බමුණාට පින්දී බුදුහු විහාරයට වැඩියහ. තුන්වැනි දින ද බුදුහු ඔහුගේම ගෙදරට පිඬුසිඟා වැඩියහ. එදිනද බමුණා පාත්‍රය පුරවා බත් බෙදා “ ඔබ පුන පුනා (නැවත නැවත) මෙහි එන්නෙහිය. කෑම ගැන කෑදර කෙනෙකැයි සිතමි “ යි ඇනුම්පදයක් කීය.
එවිට බුදුහු “ගොවියෝ පුන පුනා වී වපුරති. වැස්ස පුන පුනා වසී.ගොවියෝ පුන පුනා කෙත සී සාති. ධාන්‍ය ජාති පුන පුනා රටට ලැබේ. යාචකයෝ පුන පුනා ඉල්ලති. දානපතීහු පුන පුනා දන්දෙති. දන්දී පුන පුනා ස්වර්ගයට යති. කිරි දොවන්නෝ පුන පුනා කිරි දොවති. වස්සා මව කරා පුන පුනා එළඹේ. සත්ව තෙමේ පුන පුනා ක්ලාන්තද වෙයි. කම්පිතද වෙයි. බාල තෙමේ පුන පුනා ගැබට පැමිණෙයි. පුන පුනා උපදියි. මිය යයි. පුන පුනා සොහොනට ගෙන යත්. නුවණ ඇත්තා නිවණ ලැබ පුන පුනා නූපදී” කීහ.

මෙහිද බුදුන් වහන්සේ උදය බමුණාගේ ගෙදරට තනිවම තුන්වරක් ම පිඬුසිඟා වැඩියේ මුලින් බමුණා සිතූ® පරිදි ආහාරයට ඇති ගිජුකමක් නිසා නොව ධර්මාවබෝධයට හේතු සම්පත් ඇති බැවින් ඔහු කෙරෙහි කරුණාවෙන්මය. ඔහු කියූ “ පුනප්පුනං “ නැවත නැවත” යන්නම මාතෘකා කොට බණ කියා ඔහු පැහැද වූහ. මෙයද මහාකාරුණික මිනිස් ලක්ෂණයකි.

“මහණෙනි ලාභ සත්කාර, කීර්ති , ප්‍රශංසා, දරුණුය. මේ ලාභ සත්කාර, කීර්ති , ප්‍රශංසා මිනිසාගේ හමේ සිවිය සිඳී. සිවිය සිඳ හම සිඳී. හම සිඳ මස් සිඳී. මස් සිඳ නහර සිඳී. නහර සිඳ ඇට සිඳී. ඇට සිඳ ඇට මිදුලු කාගෙන ගොස් සිටී.
“දාරුණො භික්ඛවේ ලාභ සක්කාර සීලොකො ලාභ සක්කාර සීලොකො භික්ඛවේ ඡවිං ජින්දති. ජවිං ‍‍ෙජත්වා වම්මං ජින්දති. වම්මං ‍ෙජත්වා මංසං ජින්දති. මංසං ජෙත්වා නහාරුං ජින්දති. නහාරුං ජෙත්වා අට්ඨීං ජින්දති. අට්ඨීං ජෙත්වා අට්ඨී මිඤ්ජං ආභච්ච තිට්ඨති.

ලාභ ,සත්කාර, කීර්ති, ප්‍රශංසා, බලකාමය , ධන කාමය ,තනතුරු ගිජුකම, නම්බුව, ප්‍රසිද්ධිය යන මේවා ඉතාම දරුණු, භයානක, විනාශකාරි , විපත්තිදායක ඒවා බව ප්‍රකාශ කළේ දෙවියකු විසින් නොව, අත්හදා බැලීමෙන් ම ආදීනව දැක පිළිකුල් කොට අත්හැර දැමූ උත්තරීතර මනුෂ්‍යයෙකු විසිනි.

කාශ්‍යපය , දැන් ඔබ ඉතා මහලුය. මා විසින් පොරවා අත්හළ හණ පිළියෙන් කළ, හැම තැනම මසා ඇති පාංශුකූල විවරය ඔබට දැන් බර වැඩිය. ඒ නිසා සැදැහැවතුන් පූජා කළ සාමාන්‍ය සිවුරක් පොරවගෙන සිටින්න. පිඬු සිඟා යෑමෙන්ම ජීවත් වීමේ පිළිවෙත අත්හැර ගෙදරවල දානය වැළඳීම සඳහා කරන ආරාධනා ද බාර ගන්න. දැන් ඉතින් මා ළඟම නැවතී සිටින්නැය”යි බුදුහු කස්සප තෙරුන්ට කීහ. “ ස්වාමීනි, මම දීර්ඝ කාලයක සිට ආරණ්‍යයකවම වාසය කරමි. ආරණ්‍ය වාසයේ ගුණත් නිතර කියමි. දීර්ඝ කාලයක සිට පිඬු සිඟා යෑමෙන්ම යැපෙමි. පාංශුකූලික සිවුරු ම දරමි. එහි ගුණ ද කියමි. සැහැල්ලු දිවි පෙවෙතෙන් වසමි. විවේකීව වසමි. සමූහයාගෙන් ඈත්ව තනිව ම වසමි. එහි ගුණ ද කියමි. නිතරම පටන්ගත් වීය¸යෙන් යුක්තව ම වසමි. ඒ නිසා ස්වාමීනි.මේ ප්‍රතිපත්ති ක්‍රමය මේ විදිහට ම දිගට ම ගෙනයන්නට කැමැත්තෙමි” යි කාශ්‍යප මහරහතන් වහන්සේ කීහ. බුදුන් වහන්සේ “බොහෝම හොඳයි කාශ්‍යප, බොහොම හොඳයි කාශ්‍යප, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස හණ සිවුරම දරමින් පාංශූලිකව ම වෙසෙමින් පිඬු සිඟාගෙන ම ජීවත් වෙමින් වනයෙහි ම වසන්න “ජිණ්ණො සිදානිත්වං කස්සප ගරුකානිවො තෙ ඉමානි සාණානි පාංකූලානි නිබ්බසනාහි. කස්මාතිහත්වං කස්සප ගහපතිකානි වෙවට්වරානි ධාරෙහි. නිමන්තනෙසුව භුඤ්ජාහි. මමඤ්ච සන්තිකෙ විහරාහි. අහඤ්ච ඛො හන්තෙ දීඝරත්තං ආරඤ්ඤ ආරඤ්ඤකත්තස්සව වණ්ණවාදී ආරද්ධ වීරියොවෙච වීරයාරම්භස්ස වණ්ණවාදි, දේණ ඛො අහංභන්තෙ අත්තවසෙ සම්පස්සමානො දීගරත්තං ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකතස්ස වණ්ණවාදි පෙ සාධු! සාධු! කස්සප බහුජන හිතාය කිරත්වං කසප්ප පටිපන්නො බහුජන සුඛාය - පෙ - අරඤ්ඤඤෙච විහරාභිති “
(සංයුක්ත නිකාය - කස්සප සංයුක්ත)

මෙයින් ද කැපී පෙනෙන්නේ කාරුණික මිනිස් ගතියකි
“මහලු නිසා බර ඇති දිරුණු රළු සිවුරු පොරොවන්ට එපා. දිගටම පිඬුසිඟා යන්ට එපා. දිගටම වනාන්තරේම ඉන්න එපා දැන් ඉතින් මා ළඟ නැවතී සිටින්න “ යන මේ වචන ටිකේ ඇත්තේ කෙතරම් දයාබර , කාරුණික , මානුෂික මිත්‍ර ලීලාවක් ද මෙබඳු දහසක් කරුණුවලින් බුදුන් වහන්සේ ශ්‍රෙෂ්ඨතම මනුෂ්‍යයා බව ඔප්පුවේ. උන් වහන්සේට දේවත්වයක් ආරෝපණය කොට ඇත්තේ උන් වහන්සේ විසින් නොව බැතිමතුන් විසින් මිනිසාට වඩා දෙවියන් ලොකු කොට සළකන්නන් විසිනි.

බුදුහාමුදුරුවෝ මැවුම් කාරයෙක් ද නොවෙති! උන් වහන්සේ උපන්නේ ලෝකයක් මවාගෙන නො ව, මැවී ඇති ලෝකයකයි. නොකළ හැකි, නොපිළිගත හැකි වැඩ උන්වහන්සේ කිසි විටකත් බාර නොගත්හ. තමන් පිට පටවා නොගත්හ. බුදුන් වහන්සේට ලෝකය පෙනුනේ දුක උඩ ඇති දෙයක් ලෙසය. දිනක් කෙනෙකු ලෝකය කොහි පිහිටියේ දැයි “ කස්මිං ලෝකෝපතිට්ඨීතො “ ඇසූවිට බුදුරදුන් එයට පිළිතුරු දුන්නේ “ ලෝකය දුක උඩ පිහිටියේය “ කියායි. “ දුක්ඛෙ ලොකො පතිට්ඨීතො “ බුදුරදුන්ට පෙනුනේ මැවී ඇති සියලුම දෙයෙහි විද්‍යාමාන වන අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුනයි. උන්වහන්සේ නොයෙක් විට ඒ ගැන සාකච්ඡා කළා මිස මවන්නෙකු ගැන කතා ක‍ෙළ් නැත. සැළකිල්ල දැක්වූයේ නැත. එය එතරම්ම නිෂ්ඵල වූවක් බැවිනි. එවැනි දේ ගැන බුදුහු ස්වකීය අගනා කාලය මිඩංගු කිරීමට කැමති නුවූහ. නිෂ්ඵල ප්‍රශ්න වලදී උන්වහන්සේ බොහෝ විට නිශ්ශබ්ද වූහ. පිළිතුරු නො දී සිටිය හ. බුදුහාමුදුරුවෝ ගැලවුම් කාරයෙක් ද නොවෙති. “අනත්ත “ ආත්මයක් නැතැයි වදාළ බුදුහු නැති ආත්මයක් ගැලවූයේද නැත.

එතුමෝ විමුක්තියේ “ දුකින් මිදීමේ “ මාර්ගය පෙන්වා දුන්හ. “ තමන්ට පිහිට තමන්මය -අනිකෙක් කෙසේ පිහිට වෙත් දැ”යි “අත්තාහි අන්තනො නාථො - කොහි නාථො පරොසියො” අනුන්ගේ පිහිට පතන්නන් ගෙන් බුදුහු එක එල්ලේම ඇසූහ. ආත්ම ගෞරවයක් නැති, අනුන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වන ස්වකීය මිනිස් බුද්ධියෙහි හා ශ්‍රමයෙහි වටිනාකම නො දත්, අභ්‍යන්තරික ගුණධර්ම බලයක් නැති, නොපෙනෙන බලවේගවලට වැඳ වැටෙන යාච්ඤාකරණ, හීන, දීන හැඟීම් ඇති අයට මේ බුද්ධ වචනය හොඳ පාඩමකි. බුදුන් වහන්සේ කිසිම කෙනෙකු ගැලවූයේ නැත. එහෙත් සසර දුකින් මිදීමේ මාර්ගය ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්හ. එබැවින් උන්වහන්සේ ගැලවුම් කාරයෙක් ද නොවෙති.
ඉහත සඳහන් කරුණු වලින් බුදුන් වහන්සේ දෙවියකු හෝ මැවුම්කරුවෙකු හෝ ගැලවුම්කරුවෙකු හෝ නොව මානව සංහතියෙහි මෙතෙක් උපන් උත්තරීතර මනුෂ්‍යයා බව ඔප්පුවෙයි. උන් වහන්සේ මිනිසෙකු වූ නිසාම බුදුවරයෙක් වූහ. බුදුවීම මිනිසෙකුට ම මිස වෙන මොනම දෙවියෙකුටවත් කළ හැක්කක් නොවේ. බුදුවීමෙන් උන් වහන්සේ මිනිස් බුද්ධියට මිනිස් කමට මිනිසෙකු විසින් ලබාදිය හැකි උසස්ම තැන, උසස්ම ගෞරවය ලබා දුන්හ. බුද්ධිමත් , ගුණවත් මිනිසා දෙවියන්ටත් වඩා උතුම් බව, බලවත් බව, ශ්‍රේෂ්ඨ බව, පෙන්නූ එකම මනුෂ්‍යයා, එකම ශාස්තෘවරයා බුදුහාමුදුරුවෝයි “ දෙවියෝ බුදුන් හමුවන්නට අවුත් වැඳ එකක් පසෙක හුන්හ. .”අඤ්ඤතරා දෙවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි “ බ්‍රහ්මයෝ බුදුන් හමුවන්නට අවුත් දකුණු දණ බිම ගසා ඇදිලි බැඳ ප්‍රශ්න ඇසූහ .” “අථඛො බ්‍රහ්මා සහම්පති එකංසං උත්තරා සංඝං කරිත්වා දක්ඛිණ ජානුමණ්ඩලං පුථුවියං නිහන්ත්වායෙන භගවා තෙන අඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච “

මහබඹුට, දෙවිවරුන්ට, මැවුම්කරුවන්ට වැඳුම් පිදුම් කළ රටක, එබඳු යුගයක , මිනිසෙකු වූ බුදුන් වහන්සේ ඉපිද අනික් මිනිසුන් බල බලා සිටිද්දී දෙවියන්ගෙන්, බඹුන්ගෙන් වැඳුම් පිදුම් ලැබූහ. ගරු බුහුමන් ලැබූහ. ඇප උපස්ථාන ලැබූහ. මීට වඩා ආශ්චය¸යක් ඒ යුගයේදී ලෝකයේ කවර නම් මනුෂ්‍යයෙකුගෙන් සිදු වී තිබේද? සිල්වත් ගුණවත් මිනිසාට දෙවියන් පවා ගරු බුහුමන් කරන බව බුදුහු පැවසූහ. තමන්ට නොපෙනෙන , නොවැටහෙන හැම බලයක්ම දෙවියන් පිට පැටවූ මිනිසාට ඒ දෙවියන්ගේ පිහිට නැතුව , තමන්ගේම පිහිට ලබා ගන්නා ලෙස “අත්ත දීපා විහරථ අත්ත සරණා න අඤ්ඤ සරණා” බුදුහු වදාළහ. ආත්ම ශක්තිය , ආත්ම විශ්වාසය, ආත්ම ගෞරවය, ආත්මාභිමානය හා ජීවත්වීමේ නියම ක්‍රමය පිළිබඳව මෙයට වඩා විචාරාත්මක, බුද්ධිමත් ප්‍රකාශයක් තවත් ඇද්ද? මිනිස් බුද්ධියෙන්, මිනිස් ශ්‍රමයෙන්, මිනිස් බලයෙන් ලොව කළ නොහැකි දෙයක් නැති බවත් ඒවා අනුන් පිට පවරා මිනිසුන් ස්වකීය බුද්ධිය හා ශ්‍රමය ක්‍රියාවේ නොයොදා, එයින් වැඩ නොගෙන නිකම් සිටීම මිනිස්කමට මදිකමක් බවත් පැවසූ බුදුන් වහන්සේ හොඳ වැඩ ආරම්භ කරව්! ඒ වැඩ සඳහා නික්මෙව්!! ඒ වැඩ වල යෙදෙව්! “ආරභථ! නික්ඛමථ!! යුඤ්ජථ!!! බුද්ධසාසෙන “ යයි හමුදා පතියෙකු මෙන් ස්වකීය සුචරිත හමුදාව දිරි ගැන්වූහ. ඉදිරියට යැවූහ.

බෞද්ධයන් වශයෙන් අපට ඇති ලොකුම සතුට, පී‍්‍රතිය, සැනසීම හා ආඩම්බරය නම් අප අදහන අපේ ශාස්තෘවරයා ඉතිහාසයක් නැති දෙවියෙකු නොවී, ඉතිහාසයක් ඇති උත්තරීතර මනුෂ්‍යයකු වීමයි.

ගණේගම සරණංකර නා හිමි
1973 වසරේ පළ වූ විශිෂ්ට කෘතිය ලෙස
රාජ්‍ය සම්මානය දිනූ
‘බුදුහාමුරුවෝ’ කෘතියෙනි
බුදුහාමුදුරුවෝ දෙවියෙක් නොව උත්තරීතර මනුෂ්‍යයෙකි

බුදුරදුන් දවස මෙහෙණි සසුන (බිනර පොහොය)



සුද්ධෝදන මහ රජතුමා රෝගාතුර වී සිටිනු දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දැකීමට කැමැත්තෙන් සිටිනා බව දැක ශ්‍රාවක පිරිසකුත් සමඟ ඍද්ධියෙන් එහි වැඩි සේක. රෝගාතුර වූ රජ සැතපී උන් ඇඳ ඉස පැත්තේ පැනවූ අස්නෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ හිස මත දක්ෂිණ ශ්‍රී හස්තය තබා සත්‍ය ක්‍රියා බලයෙන් රිදුම දුරු කළ සේක.

නන්ද රහතන් වහන්සේ රජතුමාගේ දකුණත අල්ලා සත්‍ය ක්‍රියා කළහ. එකෙනෙහි ම අත රුජාව ද දුරුවිය. අනඳ තෙරණුවෝ වමත, සැරියුත් තෙරණුවෝ හා මුගලන් තෙරණුවෝද දෙපසහිද සිය අත තබා සත්‍ය ක්‍රියා කළහ. එකෙනෙහි රජුගේ සිරුරේ සියලු රුජාව මුළුමනින් ම දුරු විය. ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමාට අනිත්‍ය ධර්ම කතාවකින් අනුශාසනා කළ සේක. ධර්ම කතාව අවසානයේ සුද්ධෝදන රජු රහත් විය. මේ අවස්ථාවෙන් සත් දිනක් ව සුද්ධෝදන රහත්හු විමුක්ති සැප විඳිමින් කල් ගෙවා සත් දින අවසානයේ භාග්‍යවතුන් වහන්සේ වැඳ ඒ මංචකයෙහි ම ඇමැතිවරුන් කැඳවා තමන්ගෙන් වරදක් ඇතිවී නම් ක්ෂමා කරන ලෙස වදාරා සිටියහ. එවිට වටා රැස්ව සිටි ප්‍රජාපතී ගෝතමී දේවි ප්‍රමුඛ ලොකු කුඩා සියල්ල ශෝකවීමේ නිශ්ඵල බව දන්වා අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කතායෙන් අවවාද කොට ඒ යහන මත ම සැතපී සුද්ධෝදන රජු පිරිනිවන් පෑහ.

භාග්‍යවතුන් වහන්සේ පීතෘ දේහය ආදාහනය කරවා රැස්වූ මහ පිරිසට දම් දෙසා ඉන් නික්ම විසාලා මහනුවරට වැඩි සේක. මෙයින් පසු යශෝධරා දේවි මහණ වෙමියි මේවන විට තැත් කළාය. මහ ප්‍රජාපතී ගෝතමී ඒ අසා “දුව මා වැනි මවකට පවා තෙ වරක් ආයාචනය කොටත් භාග්‍යවතුන් වහන්සේ පැවිද්දට අවසර නුදුන් සේක. උන්වහන්සේ බුදුව සිටින සමයෙහි පවා තෙපි උන්වහන්සේ ඉදිරියේ එඩිතර වැ පුරා වචන දෙකක්වත් කියා ගත නුහුණ වූහ. එසේ කල දැන් තෙපි කෙසේ පැවිද්ද ඉල්ලා ගන්නට තරම් විශාරද වන්නාහුද? එය තොපට බැරිය. මම ම ගොස් පැවිද්ද ඉල්ලා ගන්නෙමි. ඉන්පසු මහණවුව යැයි ඇය නවතාලූය.

(ශාක්‍ය මුණීන්ද්‍රාවනය හෙවත් සිද්ධාර්ථ ගෞතම චරිතය –අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ – පි. 149-150-1986)

ඉහත සඳහන් සිදුවීමෙන් පසුව මහා ප්‍රජාපතී ගෝතමී බුදුරජාණන් වහන්සේ නැවත වරක් හමුවී තමා ප්‍රමුඛ කාන්තාවන්ට සසුනෙහි භික්ෂුණීන් වහන්සේලා ලෙසින් මහණවීමට අවසර ඉල්ලා සිටීමට තීරණය කළා ය.
ඊට පෙර එම සිදුවීම මෙසේය.

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමීනි, තථාගත සසුනේ කාන්තාවන්ට පැවිද්ද ලැබෙනවා නම් මැනවැයි සැළ කළාය. තථාගතයන් වහන්සේ ගෝතමිය, ඔබ තථාගත ශාසනයෙහි පැවිද්ද බලාපොරොත්තු වන්නට එපා යැයි වදාළහ. දෙවැනි හා තෙවැනි වත් ඇය ආයාචනා කළාය. බුදුරජාණන් වහන්සේ දෙවැනිවත්, තෙවැනිවත් එසේ වදාළ සේක. මහ ප්‍රජාපතී ගෝතමිය තථාගතයන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද අනුමත නොකරතියි දුකින් දොම්නසින් කඳුළු පිරි මුහුණින් හඬමින් වැඳ පැදකුණු කොට ගියා ය.

(බුදුන් වදාළ බුද්ධ චරිතය – පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව පි. 132-133 –1999)

මේ සිදුවීමෙන් පසුව ඒ වන විට ශාක්‍ය කුමාරවරු පන්සියයක් පමණ බුදුසසුනේ පැවිද්ද ලබා ගෙන සිටියහ. බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවේ සිටි සමයේ දී ප්‍රජාපතී ගෝතමිය ශාක්‍ය කුමාරිකාවන් පන්සියයක් සමඟ කෙස් කප්පවා කහවත් හැඳ පෙරවා කූටාගාර ශාලාවට ඉදිමුණු පයින් ම දූවිලි පිරි ගතින් ම බොහෝ වෙහෙසී ගෙන නෙත්පුරා කඳුළු පුරවාගෙන හඬ හඬා කූටාගාර ශාලාවේ දොරටුව ළඟ සිටියහ. ආනන්ද හිමියෝ ඒ දැක කුමක් නිසාදැයි ප්‍රජාපතී ගෝතමිය ගෙන් ඇසූහ.

ආනන්ද, ස්වාමීනි, අප මහා භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට තථාගත සසුනේ පැවිද්ද අනුමත නොකරතියි කීවාය. එවිට අනඳ තෙරුන් වහන්සේ ගෝතමිය මා එහෙනම් ආයාචනා කරනතුරු මෙතැන සිටින්නැයි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ කාන්තාවට පැවිද්ද අනුමත නොකරතියි දොරටුවෙන් පිටත මහා ප්‍රජාපති ගෝතමිය හඬ හඬා සිටින්නීයැයි සැළ කළේය.

භාග්‍යවතුන් වහන්සේ ,ආනන්ද ඔබ තථාගත ශාසනයෙහි පැවිද්ද කාන්තාවන්ට බලාපොරොත්තුවන්ට එපා යැයි වදාළහ. මේ ඇසූ ආනන්ද තෙරණුවෝ මෙසේ පවසමින් කාන්තාවන්ට තථාගත සසුනෙහි පැවිදි වී සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ ලබා ගන්නට නුසුදුසු දැයි ඇසූහ. බුදුරජාණන් වහන්සේ ආනන්දය, සුදුසුයැයි වදාළහ. එසේනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ප්‍රජාපති ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර වූවාය. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මැණියෝ ය. හදා වඩා ගත්තා ය. පෝෂණය කළා ය. මෑණියන් කළුරිය කළ පසුව කිරිමව් වූවා ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට සසුනෙහි පැවිද්ද ලබා දෙනවානම් මැනවැයි සැලකර සිටියහ.

‘ආනන්දය එසේනම් ගෝතමිය මේ ගරු ධර්ම අට පිළිගන්නවා නම් එය පැවිදි උපසම්පදාවක් වෙනවා ඇත. එම ගරුධර්ම අට මෙසේ ය
1.උපසම්පදා වෙන් වස් සියයක් වු මෙහෙණිය විසින් එදාම උපසම්පදා වූ භික්ෂුව දැක වැඳ හුනස්නෙන් නැගී සිටීම් ආදී සැලකිලි දැක්විය යුතුය.

2.භික්ෂූන් නැති පෙදෙසක ආවාසයක මෙහෙණිය විසින් වස් නො විසිය යුතුය.
3.අඩමසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතු අවවාද දීමට භික්ෂුවගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

4.වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.

5.ගරු ඇවැතකට පත් භික්ෂුණිය උභතො සංඝයා විෂයෙහි නොඅඩුව අඩ මසක් වත් මානත පිරිය යුතු ය.

6.දෑ අවුරුද්දක් ශික්ෂ මාණාවකව සිට එයට පසුව උපසම්පදාව ලැබිය යුතු ය.

7.මොනම කාරණයකිනුත් භික්ෂුණිය විසින් භික්ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8.භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු ය.

ආනන්ද තෙරුන් වහන්සේ මේ ගරු ධර්ම අට ප්‍රජාපතී ගෝතමියට පැහැදිලි කර දුන්නා ය. ඉන් පසු භික්ෂුණී ශාසනය පිහිටියේ ය. 

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි

Kandy Esala Perahara Special Cast 07.08.2017 | Final Randoli Perahara

අසිරිමත් සිරි දළදා පුරාණය






බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ විරාජමානව බුද්ධ රශ්මි කදම්බය විහිදුවමින් වැඩසිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පන්සාළිස් වසරක් ස්පර්ශය වූ ශාරීරික වාම ශ්‍රී දළදා වහන්සේ ය.

පිරිනිවන්පෑම

දඹදිව පහළ වූ ගෞතම ශ්‍රී තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බව දේශනා කරමින් මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී වෙසක් පොහෝ දින නිරෝධ සමාපත්තියට සම වැදී එයින් නැගිට පිරිනිවන් පෑ සේක. ඉක්බිතිව බුද්ධ ශ්‍රී දේහය කපු පුළුනින් ද, මට සිලිටු වස්ත්‍ර පන්සියයකින් ද ඔතා සුවඳ තෙල් පුරවන ලද රනින් කරන ලද ඔරුවක වඩා හිඳුවා සඳුන් දරින් කළ චිතකයේ ආදාහනය කළ විට අහසින් දිය දහරා වැටී චිතකය නිවා දැමූ බවත් දීඝ නිකායේ ‘මහාපරිනිබ්බාන සූත්‍රයෙහි’ සඳහන් ය. බුද්ධාධිෂ්ඨානයට අනුව නළල් ධාතුව (ලළාට ) අකු ධාතු දෙක හා සතර දළදා )වහන්සේලා යන ධාතුන් වහන්සේලා හත් නම හැර සෙසු ධාතුන් වහන්සේලා විසිරි පැවැතුණි. මගධ නැළියෙන් නැළි දහසක් පමණ ධාතුන් වහන්සේලා ශ්‍රී දේහයෙන් නික්මුණු බව දළදා සිරිතෙහි සඳහන් ය. තව ද දී. නි. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් පරිදි ධාතු බෙදීමේදී මල්ල රජදරුවන් අතර ගැටලුවක් ඇතිවිණි.

ධාතු බෙදාදීම

එය විසැදීම සඳහා ද්‍රෝණ බමුණා ඉදිරිපත් වී ධාතුන් වහන්සේලා අට නැළියකට බෙදා දුන්නේය. ඒ අනුව අජාසත්ත රජ, ලිච්ඡවි රජදරුවන්, ශාක්‍ය රජදරුවන්, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්, රඹගම් නුවර කෝලිය රජදරුවන්, වේධදීපක බමුණා ඇතුළු පිරිස, පාවා නුවර වැසි මල්ල රජදරුවන්, කුසිනාරා නුවර මල්ල රජ දරුවන් යන අට පිරිසට ලබා දෙන ලදී. ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේ බෙදූ නැළිය රැගෙන ස්තූපයක් කරවන ලදී. ධාතුන් වහන්සේ බෙදා අවසන්වූ පසු පැමිණි මෝරිය රජදරුවන් විසින් දර සෑයේ අඟුරු ගෙන ගොස් අංගාර ස්තූපයක් කරවන ලදී. අට නැළියකින් බෙදී ගිය ධාතුන් වහන්සේලාගෙන් රජ දරුවන් ස්තූප අටක් තනවන ලදී. ඒ අනුව ස්තූප දහයක් ද ඉදිකළ බව ඒ සූත්‍රයෙහි සඳහන් ය. එසේම ඒ සූත්‍රය අනුව සතර දළදා වහන්සේලා බෙදීගිය අයුරු ද මෙලෙස දක්වයි. එක් දළදාවක් දෙවියන් විසින් ද, එක් දළදාවක් ගන්ධාර පුරයෙහි ද, තව දළදාවක් කළිඟු රටෙහි ද, අනික් දළදාව නා ලොව නා රජු ද පුදන බව මෙයින් අදහස් කෙරේ. මේ අතර දකුණු දළදාව තව්තිසාවේ ශක්‍රයා විසින් රැගෙන ගිය අයුරු සුමංගල විලාසිනි ග්‍රන්ථයෙහි අපූරු අයුරින් දක්වයි. එනම් ධාතු බෙදූ ද්‍රෝණ බමුණා හොරෙන් දකුණු දළදා වහන්සේ චිතකයෙන් රැගෙන ජටාවෙහි රඳවා ගත්තේය. එය ශක්‍රයා දැක ඔහුගේ ජටාවෙන් හොරාගෙන තව්තිසාවට ගෙන ගොස් සිළුමිණිසෑය නම් චෛත්‍යයක තැන්පත් කොට වැඳුම් පිදුම් කරන බවයි.

වාම ශ්‍රී දළදා වහන්සේ

දළදා සිරිතට අනුව ඛේම නම් රහතන් වහන්සේ විසින් සඳුන් දරින් නිම වූ චිතකයේ මැවුණු සෞන්දර්ය ඇති වාම ශ්‍රී දළදා වහන්සේ සෘද්ධි බලයෙන් රැගෙන අවිද්‍යාව නම් වූ අඳුර සද්ධර්මය නම් වූ සූර්යයාගේ රශ්මියෙන් බිඳුවා තිසරණ ශීලයෙහි පිහිටුවා බුදුසසුනෙහි පහදවා වාම ශ්‍රී දළදා වහන්සේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජුට දුන් බව සඳහන් කරයි. ඉක්බිතිව බ්‍රහ්ම දත්ත රජතුමා විසින් මාලිගාවක් කොට වාම ශ්‍රී දළදා වහන්සේ එහි වඩා හිඳුවා නිතර වැදුම් පිදුම් කොට ලොවින් චුතව සුරපුරයට ගිය බව අපූරු ආකාරයට දළදා සිරිතෙහි වර්ණනා කරයි. අනතුරුව බ්‍රහ්ම දත්ත රජුගේ පුත් ‘කසී’ නම් රජ කුමරු ද වාම දළදා වහන්සේ උදෙසා අසීමිත ශ්‍රද්ධාවෙන් යුතුව පූජා විධි පවත්වා ශක්‍ර පුරයට පැමිණි බවත් එහි සඳහන් ය. කසී රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් ‘සුනන්ද’ රජ කුමරු දළදා හිමියන්ට පූජා පවත්වමින් ත්‍රිවිධරත්නය කෙරෙහි දානාදී ගරු බුහුමන් ආදිය කොට දිව්‍යලෝකයෙහි ගිය බව ද සිහිපත් කරයි. ඉක්බිතිව රජ වු ගුහසීව රජු මිථ්‍යා දෘෂ්ටික වූ නිඝණ්ඨයන්ගේ වහසි බස් අසා රජ කරන කල්හි බුද්ධිමත් සම්‍යක් දෘෂ්ටික ඇමැතියෙකුගෙන් ඒ බව අසා ආශ්චර්යවත් ආශිර්වාදයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේගේ ආශ්චර්යවත් බලයක් ඇති බව දැන මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී බුදුසසුන කෙරෙහි පැහැදී දළදා වහන්සේ උදෙසා පුද පූජා කරවමින් නිඝණ්ඨයන් කෙරෙහි රජු අපැහැදී තම රාජ්‍යයෙන් නෙරපා හැරියේ ය. මෙමඟින් කෝපයට පත් නිඝණ්ඨයන් අජාසත්ත රජුගේ ප්‍රධාන අමාත්‍ය වූ සුනීධ, වස්සකාර දෙදෙනා හමුවී පාටලීපුත්‍ර නගරයට ගොස් එහි වැසි මිථ්‍යා ලබ්ධික වූ පඩි රජු හමුවී ගුහසීව රජුට එරෙහිව මෙසේ කීහ. දේවයන් වහන්ස, ඔබතුමාගේ සාමන්ත පාලකයෙකු වූ ගුහසීව රජු බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර ආදි දෙවියන්ට නින්දා කොට මිනී ඇටයක් තබාගෙන පූජා සත්කාර කරන්නේය යනුවෙනි. මෙම කියමන අසා පඬි රජු කිපී චිත්‍රයාන නම් ප්‍රාදේශීය රජු දැක කාලිංග රටේ දන්ත පුරයට ගොස් ගුහසීව රජු හා ඔහු විසින් පුදන ලද මිනී ඇටය වහා රැගෙන එන ලෙස අණ කළේය. ඉක්බිතිව එම නියෝගයට අනුව චිත්‍රයාන රජතුමා චතුරංගනී සේනාව සමඟ දන්ත පුරයට පිටත් විය. එහි දී ඔවුන් එන බව දැන ගුහසීව රජු ඔවුන් ප්‍රීති ප්‍රමෝදයෙන් පිළිගත්තේ ය. ඒ අනුව ඔවුන් ආ විස්තරය කීහ. එහිදී චිත්‍රයාන රජුට ගුහසීව රජු විසින් බුදුගුණ වර්ණනාවක් කිරීමෙන් චිත්‍රයාන රජු බුදුසසුන කෙරෙහි පැහැදුණු බව ඔහු කීවේය. ගුහසීව රජු විසින් කරන ලද කරඬුව තුළ වඩා හිඳුවා ඇති වාම ශ්‍රී දළදා වහන්සේ පෙන්වා දළදා වහන්සේ ඉදිරියෙහි ගුහසීව රජු දෙදණ පිහිටුවා දොහොත් මුදුන් දී වැඳ බුදුගුණ කියා ප්‍රාතිහාර්යක් පාන ලෙස ආයාචනය කර සිටියේ ය. එවිට දළදා වහන්සේ අහසට පැන නැගී අසිරිමත් පෙළහරක් පෑහ.

ප්‍රාතිහාර්ය


මෙහිදී චිත්‍රයාන රජු සේනාව සමඟ මිථ්‍යාදෘෂ්ටිය හැර බෞද්ධයකු බවට පත් වී ගුහසීව රජු සමඟ අනර්ඝ වූ දළදා වහන්සේ සිංහාසනෙයහි හිඳුවා අලංකාර පෙරහරක් මැද පාටලිපුත්‍ර නගරයෙහි සිටි පඬි රජු හමුවූහ. ගුහසීව රජු දැක කුපිත වූ පඬි රජු මොහු විසින් පුදල ලද මේ මිනී ඇටය අඟුරු වළක දමා විනාශ කරන ලෙස නිඝණ්ඨයන්ට නියෝග කළ විට ඔවුන් සතුටට පත්ව රජ මිදුලේ වළක් හාරා ගිනි අඟුරුවලින් පුරවා වාම ශ්‍රී දළදා වහන්සේ අඟුරු වළට දමන අවස්ථාවේ දළදා වහන්සේගේ මහත් වූ ආනුභාවයෙන් අඟුරු වළෙන් ඉහළට පැන නැගී දළදා වහන්සේ එහි පැන නැගුණු පියුම් කෙමිය මත පිහිටා බුදුරැස් විහිදුවමින් සිය නානාවිධ ප්‍රාතිහාර්ය පෑ සේක. නමුත්පඬි රජු පෙර මතයෙහිම එල්බ ගෙන ධාතුන් වහන්සේ එතැනින් ගෙන කිණිහිරක් මත්තේ තබා කුළු ගෙඩියකින් පහර දීමට නියම කළේය. දළදා වහන්සේ ඒ මොහොතේම කිණිහිරේ අඩක් ඇතුළට කිඳා බැස්සහ. මෙලෙස කිණිහිර තුළ හිරු මෙන් රශ්මියෙන් හාත්පසින් පතුරුවමින් දසදිසාවන් බබුළුවමින් ප්‍රාතිහාර්ය පාන දළදා වහන්සේ පිටතට ගැනීම සඳහා ඊර්ෂ්‍යාවෙන් වැඩුණු එක් නිඝණ්ඨයෙකු ඉදිරිපත් වී මෙය විෂ්ණුගේ අවතාරයක් යැයි කියා විෂ්ණු දෙවියන්ගේ ගුණ කියා දළදා වහන්සේ කිණිහිරෙන් පිටතට ගැනීමට උත්සාහ දැරුවත් එම ස්ථානයේම වැඩසිට කෙස් ගසක අගක් පමණවත් සොලවන්නට නොහැකි විය. ඉක්බිතිව පඬි රජු අණබෙර ගස්වා කිණිහිරෙන් පිටතට දළදා වහන්සේ ගත් කෙනෙකුට ධනය ද, සම්පත් ද දෙන බව කියු විට ඒ ඇසු අනේපිඬු සිටු තුමාගේ පරපුරෙන් පැවැත එන සුභද්‍ර නම් සිටුපුත්‍රයෙක් ඉදිරිපත් වී තමාගේ අබියස සිටියේය. එවිට කිණිහිරේ හිරවී තිබුණු වාම ශ්‍රී දළඳා වහන්සේ අහසට පැන නැගී ආකාශ ගර්භය බබළවමින් පෙළහර පා එතැනින් බැස ඒ සිටු පුත්‍රයාගේ හිස මත්තෙහි වැඩිසේක. මෙය දුටු නිඝණ්ඨයින් පිරිසක් බුදුසසුන කෙරෙහි පැහැදුණු අතර තවත් නිඝණ්ඨයින් පිරිසක් පඩි රජු අමතා මෙය සුභද්‍රගේ මන්ත්‍ර බලයක් යැයි කියා රජු රවටා නැවතත් දළදාව විනාශ කිරීමට මෙහෙය විය. නගරයේ වීදිය මැද මහ ගැඹුරු වළක් හාරා දළදා වහන්සේ වළට දමා පස් දමා ඇතුන් ලවා පෑගවූහ. බුද්ධ මහිමය මොනවට විදහා පාමින් රෝදයක් පමණ වූ ඝණ වූ රන්පෙති සමූහයක් ඇති සුවඳ මල් පැණි ඇති නෙළුම් මලක් පොළොව පලාගෙන පැන නැගී එහි කර්ණිකාව මත්තෙහි වැඩ සිටිමින් පෙළහර පෑහ. සතරවන වතාවට ද දළදා වහන්සේ විනාශ කිරීමට ද දුගඳ හමන අසුරු දිය අඟලකට දැමුවද විනාශ නොවී ආශ්චර්යවත් ප්‍රාතිහාර්ය පාමින් සිටින අතර එය දුටු පඬි රජු ඇමැතියන්ගේ ද උපදෙස් ඇතිව බුදුගුණ කෙරෙහි පැහැදී පා ගමනින්ම දිය අගල සමීපයට ගොස් දළදාව පුද පෙරහරෙන් ඇතුළු නුවරට වැඩම කොට දළදා මැදුරක් කොට නානා විධ පුද පූජා පැවැත්වූහ. මෙලෙස කරවන පඩි රජු කෙරෙහි කිපුණු ඛීරධාර රජු යුද්ධයට පැමිණ මරු මුවට පත් විය. ඉක්බිතිව නැවත දළදා වහන්සේ ගුහසීව රජුට පඩි රජු විසින් භාර දෙන ලදී. ගුහසීව රජු කලිඟු රටට දළදා වහන්සේ වැඩමවාගෙන අවුත් දළදා මැදුරෙහි වඩා හිඳුවා පුද සත්කාර පැවැත්වීය. මේ අතර කොසඹෑ නුවර උදේනී රජුගේ පුත්‍ර වූ දන්ත කුමරුන් ශ්‍රද්ධාවෙන් යුතුව දළදාව පිදීම සඳහා දන්ත පුරයට පැමිණියේ ය. සියලු ගුණයන්ගෙන් යුක්ත වූ දන්ත කුමරු ගුහසීව රජු පහදවාගෙන දිනපතා දළදා පූජා පවත්වමින් එම පුරයෙහි ම වාසය කළේය.

හේමමාලා දන්ත කුමරු


රජතුමා දන්ත කුමරු කෙරෙහි පැහැදී දළදා වහන්සේ ආරක්ෂා කිරීමෙහි තැබීය. එපමණක් ද නොව පංචකල්‍යාණයෙන් පරිපූර්ණ වූ විශේෂයෙන් දික්වූ නිල් පැහැති අක් බඹරු කෙස් කළඹක් ඇති ගුහසීව රජුගේ එකම දියණිය වූ රන්මලි හෙවත් හේමමාලා දියණිය ශ්‍රද්ධාවන්ත දන්ත කුමරුට විවාහ කර දුන්නේය. ගුහසීව රජු කලිඟු රට පාලනය කරන සමයෙහි ලක්දිව රාජ්‍ය පාලකයා වූයේ මහසෙන් රජුය. එබැවින් ගුහසීව රජු මහසෙන් රජු සමඟ දැඩි මිත්‍රත්වයක් පැවැතිණි. මේ අතර දළදා වහන්සේ පැහැර ගැනීම සඳහා ඛීරධාර රජතුමාගේ බෑණනු කෙනෙකු ගුහසීව රජු සමඟ සටන් වැදීමට දන්ත පුරයට ගියේය. එහි නුවර සමීපයට ගොස් යුද කඳවුරක් බැඳ බුදුරදුන්ගේ දළදාව මට දෙවයැ’යි නැතහොත් යුද්ධ කරමි’ යි යනුවෙන් හසුනක් යැවීය.

මෙම හසුන බලා ගුහසීව රජු විසින් දන්ත කුමරුට රහසිගතව කියන්නේ, “මාගේ දිවි තිබෙන තුරු දළදා වහන්සේ අනිකෙකුට නොදෙමි යි එබැවින් මා යුද්ධයේදී පැරදුනහොත් වාම ශ්‍රී දළදා වහන්සේ රැගෙන රහසිගතව බමුණු වෙස් ගෙන ලක්දිවට රැගෙන යන ලෙසයි. “ යුද්ධයට ගිය ගුහසීව රජු මරණයට පත්විය. ගුහසීව රජු කියූ ආකාරයට දළදා වහන්සේ ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකාවට පලා යාමට දන්ත කුමරු සූදානම් විය. පළමුව දන්ත කුමරු විසින් නගරයෙන් දකුණු දෙසට ගමන් කොට විශාල ගංඟාවක් තරණය කොට ඟං ඉවුරෙහි වැලි ගොඩක් දාගැබක් කොට ඒ මැදින් දළදා වහන්සේ සඟවා තැබීය. නැවත ඔහු දන්ත පුරයට ගොස් භාර්යාව වන හේමමාලා කුමරිය සමඟ බමුණු - බැමිණි වෙස් ගෙන නැවැත එහි ගොස් වැලි දාගැබ් මැද සඟවා ඇති දළදා වහන්සේ පුදමින් එහි සමීප වන ලැහැබක සැඟවි සිටියහ. මේ අතර අහසින් වඩින්නාවූ තෙරුන් වහන්සේ නමක් දළදා වහන්සේගේ රශ්මි කදම්බය දැක වන්දනා කළහ.

එවිට දන්ත කුමරු හා හේමමාලා යන අඹුසැමි යුවළ තෙරුන් වහන්සේ දැක සතුටට පත්ව කියා සිටියේ, දළදා වහන්සේ රැක ගැනීම පිණිස ලක්දිවට වැඩම කරන බව ය. එවිට තෙරුන් වහන්සේ මෙසේ කීහ. ලක්දිවට දළදා වහන්සේ වැඩම කරන විට හිරිහැරයක් වූ විට මා සිහිකරන්න යැ’ යි පවසා අහසින්ම වැඩම කළහ. ඉක්බිතිව ගංඟාවෙහි නාග විමානයෙහි වැසි පණ්ඩභාර නම් නා රජුු වැලි ගොඩෙහි සඟවා ඇති දළදා වහන්සේගේ බුද්ධ රශ්මිය දැක එහි පැමිණ දළදා කරඬුව ගිල මහමේරු පර්වතය ( මහ මේරු පර්වතයෙහි උස එක්ලක්ෂ හැට දහසකි ) වෙලා හොත්තේය. අඹුසැමි යුවළ මුහුදු තීරයට යෑම සඳහා වැලි ගොඩෙහි තැබු දළදා කරඬුව නොදැක හඬමින් තෙරුන් වහන්සේ සිහිකරන ලදී. එය තෙරුන් වහන්සේ දැක එතනට වැඩම කළහ. කරඬුව ගිල මහමෙරෙහි සයනය කරන්නාවූ නා රජු දැක ඒ වේලෙහිම විශාල පියාපතින් අහස වසාලන ගුරුළු වේශයක් මැවීය. මීට හේතුව ගුරුළන් විසින් නාගයෝ ආහාරයට ගන්නා නිසා නාගයෝ ගුරුල්ලන්ට බිය වූහ. තෙරුන් වහන්සේ ගුරුළු වේශයක් ගත්තේ නාගයා දමනය කිරීම පිණිස ය. අනතුරුව මුහුද දෙබෑ කරගෙන පවනේ වේගයෙන් මහාමෙරෙහි පර්වත පා මුල සිටින නා රජු වෙත පැමිණියේ ය. එවිට නාග රජු නාග වේශය අතහැර පෙණය හකුළුවා බියට පත් සිතැතිව තෙරුන් වහන්සේගේ දෙපා වැඳ මෙසේ කියන්නේ, ධාතු පුජාව ජනයාගේ හිතසුව පිණිස වේ. එබැවින් ඒ උතුම් සර්වඥ දළදාව පුදා පින් රැස්කර ගැනීම සඳහා මෙය ගිල දැමූ බවයි. එවිට තෙරුන් වහන්සේ පවසන්නේ සත්‍යාවබෝධය පිණිස මිනිසුන්ගේ වාසභූමිය වූ සිංහල දේශයට දළදා වහන්සේ වැඩම කර වනු බවයි. එබැවින් දළදා වහන්සේ ලබා දෙන්න යැයි ඉල්ලීමක් කළහ. අනතුරුව නා රජු දළදා කරඬුව දුන්නේය. එම දළදාව අඹුසැමි යුවළට නැවත තෙරුන් වහන්සේ විසින් ගෙනැවිත් දුන්හ. දළදා වහන්සේ හේමමාලා කුමරියගේ කේෂ කලාපයෙහි තබා වන මාර්ගයන්හි ගමන් කරන්නේ දේවතාවෝ විසින් ද පිදුම් කළහ. මෙලෙස ලංකාවට පැමිණීම සඳහා ඔව්හු තාම්‍රලිප්ති පටුනට පැමිණියහ. එහිදි ලක්දිවට යන වෙළෙද නැවක් දැක ඔවුන් එම නැවට නැග දළදා වහන්සේ රැගෙන ලක්දිවට පැමිණෙමින් සිටියහ. නැව ක්‍රමයෙන් මුහුදු මැදට පැමිණි විට නාගයෝ හේමමාලා කුමරියගේ කේෂ කලාපයෙහි සඟවා සිටින දළදා වහන්සේ දැක නානාවිධ පතල පෙණ මාලාවෙන්, කඩුපුල් මල්වලින්, මිහිරි ගීවලින් යනාදියෙන් දළදා වහන්සේ පුදති. මේ අතර දළදා වහන්සේ හේමමාලා කුමරියගේ කෙස් කළඹින් අහසට පැන නැගී චන්ද්‍ර රේඛාවක් මෙන් සුදුබුදු රැස් විහිදුවා පෙළහරක් පෑහ. මෙය ද නාගයන් විසින් දැක ප්‍රීතියෙන් සාධු නදින් පුදන ලදී. නාගයන් මුහුද මැද දිවා රාත්‍රි දින හතක් එකතැන නැව නතර කොට වැඳුම්පිදුම් කරන විට දම්පති යුවළ භීතියට පත් වී තෙරුන් වහන්සේ සිහි කළවිට තෙරුන් වහන්සේ ඒ දැක ගුරුළු වේශයක් මවා නාගයන් බිය ගන්වා පළවා හැරීය. ඉක්බිතිව ඔව්හු නිරුපද්‍රිතව දළදා වහන්සේ වැඩමවා ගෙන ලක්දිව ලංකා පට්ටන නම් ස්ථානයට ගොඩ බැස්සහ.

ශාස්ත්‍රපති, පණ්ඩිත
කෝන්වැවේ සුනන්ද හිමි

දළඳා වන්දනා ගාථා Dalada Wandana gatha


ගිහි පැවිදි සබඳතාවය තහවුරු කරන නිකිණි පෝය



උප වසථ උපෝසථ යනුවෙන් වස ධාතුවට උප යන උපසර්ගය එක්වීමෙන් උපෝසථ යන වචනය සෑදී ඇත. එහි තේරුම ළඟ වාසය කිරීම යන්න යි. එයින් කියැවෙන්නේ දෙවියන් ළඟ වාසය කිරීම යනුයි. වෛදික යුගයේදී බ්‍රාහ්මණයෝ පවා උපෝසථ දිනවලදී දෙවියන් මිනිසුන් ළඟට පැමිණෙන බව විශ්වාස කළහ. එනිසා බමුණෝ උපෝසථ දිනයන්හි ශුද්ධ ස්ථානයන්හි ගත කළහ. ත්‍රිපිටක ධර්මයෙහි ද පොහෝ දිනයන්හි සතර වරන් දෙවිවරු පින් කරණ මනුෂ්‍යයන් සොයා බැලීම පිණිස පැමිණෙන බව සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තයේ දක්වා ඇත.

නිකිණි පෝය ශාසනික වශයෙන් වැදගත් කරුණු දෙකක් සිදුවී ඇති බැවින් විශේෂිත පොහෝ දිනයක් ලෙස සලකනු ලැබේ. බුදුරදුන් පිරිනිවන් පෑමෙන් තෙමසක් ගතවීමෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට ආරම්භ කොට ඇත්තේ නිකිණි පොහෝ දිනයේ දී ය. එම සංගායනාව ධර්මය සුරක්‍ෂිත වීමට මහෝපකාරී විය. බුදුරදුන් පිරිනිවීමෙන් අඬන, වැළපෙන භික්‍ෂූන් දුටු බුඩ්ඪ පබ්බජිත සුභද්‍ර භික්ෂුව කී : “අලං ආවුසෝ මා සෝචිත්ථ, මා පරිදේවිත්ථ, සුමුත්තා මයං තෙන මහාසමණේන.” ඇවැත්නි සෝක නො කරන්න. නො වැලපෙන්න අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු “ යන්න ඇසූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුන් පිරිනිවීමෙන් තෙමසකට පසු ධර්ම සංගායනාවක් පැවැත්වීමට කල්පනා කළහ.

සුභද්‍ර වැනි බුඩ්ඪ පබ්බජිතයකුගේ වචනයට ධර්ම සංගායනාවක් බඳු බැරෑරුම් කටයුත්තක් කරන ලද්දේ ඔහුට පිටුපස විරුද්ධ බලවේගයක් පැවති නිසා යයි සිතිය හැකිය. බුදු දහමින් ප්‍රධාන වශයෙන් පහර වැදුණේ බ්‍රාහ්මණ ධර්මයන්ට ය. එහෙත් බුදුරදුන්ගේ අසාමාන්‍ය පෞරුෂත්වය මැඩ පැවැත්වීමට බමුණන්ට නො හැකි විය. බුදු රදුන් පිරිනිවීමත් සමගම බමුණු බලය හිස එසවූ බව සුභද්‍රගේ කථාවෙන් පැහැදිලි වෙයි.

බුදුරදුන් පිරිනිවීමට ප්‍රථම නිගණ්ඨනාථ පුත්‍රගේ අභාවය සිදුවිය. එතුමන්ගේ පිරිනිවීමත් සමගම නිගණ්ඨ ශාසනය සී සී කඩ විසිර ගියේය. එයත් ආදර්ශයට ගත් ශාසන භාර ධාරී මහතෙරවරු ධර්ම සංගායනාවක් කිරීමට සූදානම් වූහ. එම පළමුවැනි ධර්ම සංගායනාව නිකිණි පුර පසළොස්වක් පොහෝ දින සප්තපර්ණි ගුහාවෙහි ආරම්භ කොට තෙමසකින් නිමාවට පත් කළහ.

නිකිණි පුර පසළොස්වක දී පොහෝ විනය කර්ම කොට නිකිණි අව පෑලවිය දා පසුවස් එළඹිය යුතුය. වස්සාන සෘතුවෙහි භික්‍ෂූන් වහන්සේලා පෙරවස් හෝ පසුවස් එළඹිය යුතු ය. එසේ වස් නො එළඹුනහොත් උපසපන් භික්‍ෂුවකට දුකුළා ඇවැත් වන බව මහාවග්ගපාළියෙහි වස්සුපනායිකක්ඛන්ධයෙහි දක්වා ඇත. භික්ෂූන් වහන්සේලා පෙර වස් සමාදන් විය යුතුය. පෙර වස් වසන දිනයේ දී යම්කිසි කරදරයකට පත්ව වස් එළඹීමට නො හැකි වූ භික්ෂූන්ට පසුවස් විසීමට අනුදැන ඇත. පසුවස් සමාදන් වූ භික්‍ෂූන්ට කඨින චීවරයක් ලබා ගැනීමට අවස්ථාවක් නැත. හේතුව චීවර මාසය ඉක්මගොස් ඇති බැවිනි.
පෙරවස් විසීමට හෝ පසුවස් විසීමට හෝ වහලක් හා දොරක් ඇති ගෙයක් ම සොයාගත යුතුය. ගස්යට, එළිමහනෙ, කුඩ යට, ගස් දෙබලවල, ගස් බෙනවල, සොහොන් ගෙවල, ගාල, කරත්තවල වස් නො එළඹිය යුතු ය.

බුදුසසුන ආරම්භ වූ මුල් කාලයෙහි භික්‍ෂූන් ගත කළේ සංචාරී ජීවිතයකි. එදා දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවත එන සිරිතකි, වැසි කාලය එක තැනක සිටීම. එහෙත් මුල් බෞද්ධ භික්‍ෂූහු මේ ප්‍රතිපදාවට ගරු නො කර වැසි කාලයෙහිත් සංචාරය කළහ. ඒ දුටු පොදුජනයා දොස් නැගූහ. කුරුල්ලන් පවා වැසි කාලයෙහි එක් තැනෙක සිටින අතර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ නිල් තණ පාගමින් සංචාරය කරති යි චෝදනා නැගූහ. මෙසේ මහජන උද්ඝෝෂණයට සවන් දුන් බුදුපියාණන් වහන්සේ “ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි වස් කාලයෙහි වස් විසීමට අනුදනිමි” යි වස්සාන ශික්‍ෂා පදය පැනවූහ. සමහර භික්‍ෂූන්ට කරදර ඇතිවීම නිසා වස්සානයෙහි වස් එළඹීමට නො හැකි වුහ. එබඳු භික්‍ෂූන්ට පසුවස් විසීමට අනුදැන වදාළ සේක.

වස් කාලය වස් සමාදන් වන භික්‍ෂූන් වහන්සේලාටත් වස් වසවා ගන්නා දායක දායිකාවන්ටත් ඉතා වැඩදායක කාල පරිච්ඡේදයකි. සිව්පස පහසුව ලබන භික්‍ෂූහු තම ශ්‍රමණ ප්‍රතිපදාවන් මස්තක ප්‍රාප්ත කරගනිති. එසේම සුපේශල ශික්‍ෂාකාමී එම භික්‍ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමෙන් දෙලොව යහපත පිණිස පවත්නා අනන්ත පින් රැස්කර ගනිති. එදා භික්‍ෂූහු බුදුරදුන්ගෙන් කමටහන් රැගෙන මහණදම් සපුරා ගැනීම සඳහා වස් වසන තැන් සොයා ගියහ. උන්වහන්සේලා දකින උපාසක උපාසිකාවෝ ඒ භික්‍ෂූන් සමග කතාබස් කොට තොරතුරු විචාරා වස් විසීමට සුදුසු ආරාම පිළියෙල කර දෙති. සිව්පස පහසුකම් ලබන භික්‍ෂූහු උගත් කමටහන් වඩා මගඵල ලබා ගනිති. දායක දායිකාවෝ ද භික්‍ෂූන්ට සංග්‍රහ කොට පින් රැස්කරගන්නා අතර බණ දහම් අසා ධර්මානුකූලව ජීවිතය සකසා ගනිති. බුද්ධ කාලයෙහි බෙහෙවින් මගඵල ලබාගෙන ඇත්තේ වස්සාන කාලයන්හිදී ය.

වස් කාලයන්හි දී ගිහි පැවිදි සම්බන්ධතාවය වඩාත් තහවුරු විය. මේ නිසා ශාසනය සුරක්‍ෂිත විය. එසේම නිතර ගිහි යන්ගේ ඇල්ම බැල්ම ලැබීම නිසා, ශික්‍ෂාකාමිත්වය දියුණු තියුණු විය. සිව් පසයෙන් සංග්‍රහ කරන දායක පක්‍ෂයට ප්‍රත්‍යුපකාර කිරීම් වශයෙන් ගිහියන්ගේ දෙලොව යහපත සැලසීම පිණිස පාපයෙන් වළක්වාලීම, කල්‍යාණ මිත්‍රයන් ඇසුරට පත් කිරීම, ගිහියන් කෙරෙහි කරුණා මෛත්‍රිය උපදවා ගැනීම, නො ඇසූ දේ ඇස්සවීමට සැලැස්වීම, ඇසූ දේ පිරිසුදු භාවයට පත් කිරීම, ස්වර්ග මාර්ගය කියා දීම ආදී ශ්‍රමණ යුතුකම් ඉටු කරති.

එසේ යුතුකම් ඉටුකරන ගිහියෝ ද භික්‍ෂූන් වහන්සේලාට ගෞරව දැක්විය යුතු ය. ගෞරව සම්ප්‍රයුක්තව කතා බස් කළයුතුය. උන්වහන්සේලාගේ හිත සුව පැතිය යුතුය. ඇති දේ නො සඟවා දිය යුතු ය. දාන මානාදියෙන් සංග්‍රහ කළ යුතුය. මෙසේ ඔවුනොවුන්ගේ යුතුකම් ඉටුවන විට ශාසනයත් චිරස්ථායි වනු නො අනුමානය.


නිකිණි පොහොයෙන් ආරම්භ වූ ප්‍රථම ධර්ම සංගායනාව නිසා ත්‍රිපිටක ධර්මය නිසි ලෙස ආරක්‍ෂා වු අතර ශාසනය චිරස්ථායි විය. පසුවස් සමාදානයේ ආරම්භය නිකිණි පොහොය වීම නිසා ඉහත සඳහන් ගිහි පැවිදි සම්බන්ධතාවය දියුණු වීම නිසා ශාසනයේ පැවැත්මට මහත් රුකුලක් විය. මෙම වැදගත් කරුණු දෙකම සිදුවූයේ නිකිණි පුර පසළොස්වක් පොහෝ දිනෙක නිසා නිකිණි පොහෝ දිනය ද අතිශය වැදගත් පොහෝ දිනයක් බවට පත්වී ඇත.

රත්මලානේ ශ්‍රී රත්නාරාමාධිපති 
සද්ධර්ම කීර්ති ශ්‍රී‍්‍ර ධම්ම සිද්ධි බස්නාහිර පළාත සහිත 
කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක 
අධ්‍යාපනපති, ශාස්ත්‍රපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි