ධර්මදූත සේවාව ආරම්භ කළ ඉල් පොහොය
බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය.
වස්සාන සෘතුවේ අවසාන පොහොය වූ ඉල් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ සිදුවීම් රාශියක් ම නිසා වැදගත් තැනක් ගනී. ඒ අතුරෙන් ධර්මදූත සේවාව ප්‍රධානය. ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවක් දැක්වූ බුදුරදුහු බෝසත් අවධියේ සිටම ප්‍රධාන වශයෙන් සත්වයාගේ සැපත හා දියුණුව මහත්සේ අගය කොට ක්‍රියා කළහ. බුද්ධත්වයට පත්ව පළමු වස බරණැස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන්වීමත් සමඟම ඒ උසස් කරුණාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව පෙනේ. ප්‍රථමයෙන් පැවිද්ද ලබාගත් පස්වග තවුසන් ද, අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පනස් පස් දෙනා ද වශයෙන් හැට නමක් වූ රහත් භික්ෂු පිරිස අමතා “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” යනුවෙන් “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස සැරිසරමින් ධර්මය දේශනා කරන්න” යයි නියම කළහ.
බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය. සත් සති ගතකොට අවසන් වූ කල්හි බුදුරදුන් සමීපයට පැමිණි මහා බ්‍රහ්මයා ධර්මය දේශනා නොකළොත් ලොව වැනසේවි. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා යි ආරාධනය කළේ ය. එදා ඉසිපතනයේ දී ප්‍රථම වරට දහම් දෙසා වස් වැස නිම කොට අවසානයේ ගම් නියම්ගම් හරහා වැඩම වන්නටයයි සඳහන් කොට ධර්ම දූත සේවාව ආරම්භ කිරීම නිසා අද දක්වා මුළුමහත් සමාජයෙහි සදාචාර සම්පන්නභාවයත් සමෘද්ධිමත්භාවයත් උසස්සේ ගොඩනැගුණි. ආත්මාර්ථ, පරාර්ථ යන උභයාර්ථයේම අභිවෘද්ධිය මේ මගින් සැලසුන බව ප්‍රකට කරුණකි.
තම ශ්‍රාවක පිරිස ධර්ම දූත සේවය සඳහා මෙහෙය වූ බුදුහු රජගහනුවර බලා වැඩමවීම ආරම්භ කළහ. අතරමග උරුවෙල් දනව්වෙහි දී පන්සීයක් පිරිස සහිතව සිටි උරුවෙල කාශ්‍යප නම් ජටිල තාපසයාත්, තුන්සීයක් පිරිස සහිතව සිටි නදී කාශ්‍යප නම් ජටිල තාපසයාත්, දෙසීයක් පිරිස් සහිතව සිටි ගයා කාශ්‍යප නම් ජටිලයාත් පෙළහර දැක්වීමෙන් දමනය කර අනතුරුව ධර්මය දේශනා කොට පහදවා ඒ සියලු දෙන පැවිදි බිමට පත් කළහ. මේ සැම දෙන බුදුරදුන් දේශනාකොට වදාළ ආදිත්‍ය පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූහ. ඉල් පුර පොහොය දිනක වූ මෙය ආශ්චර්ය ජනක සිදුවීමකි.
අනාගතයෙහි බුදු බවට පත්වන මෙත් බෝසතුන් උතුම් වූ විවරණ ලැබීමේ සිදුවීම ද ඉල් පුර පොහොය හා සම්බන්ධව පවතී. තව්තිසා දෙව්ලොව වස් එළැඹ වැඩ විසූ බුදුහු වප් පොහොය දින සංකස්ස නුවරට වැඩම වීමේ අසිරිමත් සිදු වීම දැක ප්‍රසාදයට පත් මෛත්‍රිය බෝධිසත්වයෝ පිරිවර සමඟ පැවිදි බවට පත් වූහ. චීවර මාසය අවසානයේ දී තමන්ට ලැබුණු වස්ත්‍ර දෙකෙන් එකක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි වියනක් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා ඒ වියනෙහි කෙළවර වටේට එල්ලා තැබූ කළ මේ මහා දර්ශනීය පූජාව කළ තැනැත්තා කවුරුන්දැයි දිවසින් විමසා බැලූ බුදුහු ආර්ය මෛත්‍රීය භික්ෂු නම සැදැහැයෙන් කළ පූජාවක් බව දැනගෙන සොම්නසට පත්ව දිවැස් යොමුකොට බලා අනාගතයේ උන්වහන්සේ මෛත්‍රිය නමින් බුදුවන බව ප්‍රකාශ කළහ. මෙසේ මෙත් බෝසතුන්ට උතුම් වූ නියත විවරණ දෙන ලද්දේ ඉල් පුර පසළොස්වක් පොහොය දිනයක වීම වැදගත් ය.
අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ සහෝදර චුන්ද, උපසේන, රේවත යන අයත්, චාලා, උපචාලා සිසූපචාලා යන සහෝදරියනුත් පැහැද සසුන් ගතව රහත් භාවයට පත්ව වැඩ විසූහ. එහෙත් ඒ සැමගේ මෑණියන් වූ රූපසාරී බැමිණිය මේ වන විටත් මිථ්‍යා දෘෂ්ටික කාන්තාවක්ව ජීවත් වූවා ය. එක් දිනක් දිවැස් යොමු කළ සැරියුත් හිමියන්ට තමන්ගේ ආයු කාලය අවසන වී ඇති බව වැටහුණි. එවිට බුදුරදුන් හමුවට වැඩම කළ උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලූහ. එහිදී “බුදුහු සාරිපුත්තයනි, ඔබ කැමැත්තක් කරන්න, මෙයින් පසු මේ භික්ෂු සංඝයාට ඔබ වැනි උසස් භික්ෂු නමකගේ දර්ශනය ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට ධර්ම දේශනා කරන්න.” යැයි ප්‍රකාශ කළහ. බුදුරදුන්ගේ නියමය අනුව උන්වහන්සේ භික්ෂුනට ධර්මය දේශනා කළහ. සැරියුත් හිමියෝ පිරිනිවන් පෑම සඳහා ඉල් පුර පසළොස්වක් පොහෝදා සවස් වේලෙහි නාලක ගමේ තමන් උපන් නිවසට පන්සියයක් සංඝරත්නය සමඟ වැඩම වූහ. රූපසාරී මව සිය පුතණුවන්ට වැඩ සිටීම සඳහා උන්වහන්සේ උපන් කාමරය ම පිළියෙළකොට දුන්නා ය. එදින අපමණ දෙව් බඹුන් සැරියුත් හිමිපාණන්ට වැඳ ගෞරව පූජා පැවැත්වීම දැකීම නිසාත් සැරියුත් මාහිමියන් තුනුරුවන්ගේ අගය ද පෙන්වා දෙමින් පැවැත් වූ ධර්ම දේශනාව ඇසීම නිසාත් ප්‍රසාදයට පත් වූ රූපසාරී මව්තුමිය සෝවාන්භාවයට පත් වූවා ය. මේ සිදුවීමත් සමඟ සදාදර මවුතුමියත් සැරියුත් පුතණුවනුත් මහත්සේ සැනසීමට පත් විය. එදින මෙයින් පසු ඉල් පුන් පොහෝ දිනය අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑමත්, රූපසාරි මව එදිනම මගඵල ලැබීමත් අගනා ශාසනික සිදුවීම්ය.
සැරියුත් මාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කොට අවසානයේ එම ශාරීරික ධාතු රැගෙන ආ චුන්ද රහතන් වහන්සේ ඒවා බුදුරජාණන් වහන්සේ අතට පත් කොට සියලු තොරතුරු දන්වා සිටියහ.මේ අවස්ථාවෙහි භික්ෂූන් රැස්කළ බුදුහු සැරියුත් හිමියන්ගේ ගුණ ප්‍රකාශ කරමින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අගසව් තනතුර ලබාගත් බවත්, තමාට පමණක් දෙවෙනි වූ මහත් නුවණක් ඇති බවත්, අපිස් සතොස් ගුණයෙන් යුක්ත බවත්, තමා අනුවම සිදු කළ දහම් දෙසුම් ඇත්තෙකු බවත් පෙන්වා දී ගාථා පන්සීයකින් උන්වහන්සේගේ ගුණ වර්ණනා කළහ. එයින් නො නැවතුන බුදුහු ‘පන්සීයක් ජාති පැවිදිව කාම සම්පත්තියෙන් ඉවත් වී, ඉන්ද්‍රියන් මනා කොට හික්මවාගෙන, පහ කරන ලද ආශාවන් ඇති, පිරිනිවන් පා වදාළ සැරියුත් මාහිමියන් වන්දනා කරන්න යැයි පහත සඳහන් ගාථාව දේශනා කළහ.
යො පබ්බජි ජාති සතානි පංච
පහාය කාමානි මනොරමානි
තං විතරාගං සුසමාහිතිනිද්රියං
පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං
බුද්ධ දේශනාවෙහි දැක්වෙන මහා කුසල් අටකි. ඒ අතුරින් කඨින පූජාව විශේෂ පින්කමකි. අටපිරිකර පූජාව, ආවාස ගෙයක් තනවා පූජා කිරීම, බුදුපාමොක් සඟරුවනට දානයක් දීම, ධර්මය ලිවීම හා ලියවීම, කෙත්වතු පිදීම, බුදු පිළිම තැනවීම, වැසිකිළි සාදවා පූජා කිරීම යන අටමහ කුසල් අතර දැක්වෙන මේ හතම කවර කාලයක වුවත් සිදුකළ හැකිය. ඒ පිළිබඳ විස්තර සූත්‍ර පිඨකයේ විවිධ ස්ථානවල පැහැදිලිව දැක්වේ. එහෙත් කඨින පූජාව පිළිබඳ විස්තර හා ආනිසංස දැනගත හැක්කේ විනය පිටකයෙන් පමණි. ඒ අනුව එම කඨින පින්කම කලින් පින්කම් මෙන් නොව වප් අව පෑළවිය දින සිට ඉල් පුර පසළොස්වක් දින දක්වා අතර එක් දිනක පමණක් එක් විහාරස්ථානයක කළ හැකි දුර්ලභ පින්කමකි. එසේම මේ සඳහා ගිහි පැවිදි දෙපක්ෂයම එකට එකතුව සිදු කළ යුතු කුසල ක්‍රියාවකි. යම් විහාරස්ථානයක ඇසළ පුන්පෝදා පොහොය කර්ම සිදු කොට පසු දින වස් එළඹුනු භික්ෂු නමක් වප් පොහොය දා මහා පවාරණය නම් විනය කර්මය සිදු කොට අවසන් වන තෙක් වස ආරක්ෂා කර ගනිමින් වැඩ සිටියහොත් පමණක් කඨිනයක් පූජා කළ හැකිවෙයි. මේ අන්දමට කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි.
කොළඹ ආනන්ද විද්‍යාලයෙහි විශ්‍රාමික සහකාර විදුහල්පති
රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පති
කොළඹ නවකොරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
(වප්පුරපසලොස්වක පොහොය) කඨින පූජෝත්සවය හා සබැඳි සමාජ යථාර්ථය
බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින් සැලකේ.
අකාලික වූ දහමක් ලෙසින් විවරණය කෙරෙන බුදු දහම තුළ පුද්ගලයා හා සමාජය පිළිබඳ ගැටලුව හා එහි යථාර්ථවත් බව විමර්ශනය සිදු කරන අතර මානව සන්තාන ගත සිතුවිලි හා එහි සංයත බව ඇති කරනු වස් නිවැරදි පිළිවෙතක් වෙත පුද්ගලයා යොමු කරවනු ලබයි. පුද්ගල සමූහයකින් සමන්විත සමාජයක පුද්ගල චින්තනය ද විවිධය. ආගම හා බැඳෙන පුද්ගල බද්ධතාව ඒකීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ කිරීම හා යොමු කිරීම පහසු කාර්යයක් නොවේ.
ආගම තුළින් පුද්ගල සංයත බව ඇති කරනු ලබන අතර පුද්ගල නිෂ්ඨාවක් වෙත යන ගමනට අර්ථාන්විත බවක් ලබාදෙයි. බුදු දහමේ මූලික පරමාර්ථය නිවන වුවද නිවන තෙක් යන ගමනේ දී කායික හා මානසික සුඛ විහරණය හා එහි යථාර්ථවත් බව බුදු දහම විසින් නිරතුරු සනිටුහන් කරනු ලැබේ. මේ නිසා පුද්ගල බද්ධතාව වඩා තහවුරු කරමින් සාමය සමඟිය හා පොදු බව මානව සිතුවිල්ලට හා ක්රියාකාරීත්වයකට එක්කොට ආත්මාර්ථිත බවින් පුද්ගලයා නිදහස් කොට පොදු පරමාර්ථයකට යොමුවීම ඔස්සේ මමත්වයෙන් තොර ජීවන ගමනකට යොමුවීමක් ද දක්නට ලැබේ. ථේරවාදී බෞද්ධ සම්ප්රදායේ සිත හා සිතිවිලිවලට මූලික තැනක් හිමි වුව ද සිත හා සිතිවිලි දමනයටත් ගතේ සිතේ සංවර බව ද අනෙක් පසින් උපනිශ්‍රය වන බව පැහැදිලිය. මේ නිසා මුල් බුදු සමයට වඩා පසු කාලයේදී ආගම පදනම් කරගත් උත්සව සම්ප්රදාය වඩාත් සංවර්ධනයක් වෙත ගමන් කිරීමේ එක් අරමුණක් වන්නේ සමාජය තුළ සදාචාරය මෙන්ම සංවරත්වය ඇති කිරීමය. ජනපි‍්‍රය ආගමක් බවට බුදුසමය පත්වීමට ජනවිඥානයට ගැළපෙන ආකාරයෙන් ධර්ම කරුණු සකස්වීමද එහි ප්රායෝගිකත්වයට ජනතාව නැඹුරු කිරීමක් ද විය. ගිහි පැවිදි දෙපාර්ශ්වයේ සංයත බව මතු කෙරෙන ආගමික පදනමක් ඇති උත්සවයක සමාරම්භය වස් සමාදානයෙන් ආරම්භ වේ.
ආගමික උත්සවයක සමාරම්භය
එදා දඹදිව බ්‍රාහ්මණ හා අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන් නියෝජනය කළ පිරිස්
විසින් වැසි සමය එළඹෙත්ම එක්තැන්ව ගත කළ දිවිය ආදර්ශයට ගනිමින් හා මහජන
මතයට ගරු කරමින් භික්ෂු දිවියට ද එම ගුණාංගය එකතු කරලීමට බුදුරදුන් ගත්
තීරණයක් ලෙසින් වස් සමාදානය අර්ථ ගැන්විය හැකිය. “අනුජානාමි භික්ඛවෙ
වස්සානෙ වස්සං උපගන්තුං” යන බුදුවදන ප්රඥප්තියක් හැටියට ගරු කළ උපසපන්
ලාභී භික්ෂුව වැසි සමය උදාවත්ම විසීමට සුදුසු තැනක් සොයා යන අතර
දායකකාරකාදින්ගේ සිවුපසය ලබමින් සිය ආධ්‍යාත්මීය පාරිශුද්ධියට මෙන්ම
සිය දායකකාරකාදීන්ගේ විමුක්ති මඟ සවිමත් කරලීමට සිය උපදේශනය ලබාදීමට ද
කටයුතු කරනු ලබයි. තුන් සිවුරට අමතරව තවත් සිවුරක් තබා ගැනීමට අවසරය
දීමක් ලෙසත් වස් විසූ භික්ෂුවට කඨිනයක් ලබා ගැනීම සුදුසු බව බුදුහු
අනුදැන වදාළ අතර එම චීවර පූජාව අට මහා කුසලයට ගැනෙණ පින්කම ලෙසින් ද
සමාජ ගතවීම හරහා කඨිනයත් කඨින පූජාවත් බෞද්ධ ලෝකයේ මහාපූජෝත්සව ගණයට
එකතු වේ. බුද්ධ කාලයෙන් පසු අවධිය ගම්, නියම්ගම් හා ජනපද ඇසුරින්
රාජරාජ මහාමාත්‍යයවරුන්ගේ අනුග්‍රහ ලැබූ බෞද්ධ පින්කම් අතර කඨිනය මුල්
කරගත් පින්කම වාර්ෂික බෞද්ධ පින්කම අතර ප්‍රධාන පින්කම බවට පත්ව තිබේ.
ප්‍රධාන කුසලය
වස් සමය ලෙසින් සැලකෙන තුන්මාසයක් මුළුල්ලේ භික්ෂුවට සිව්පසයෙන්
උපස්ථානය කළ දායක කාරකාදීනට උන්වහන්සේ මුල් කරගනිමින් අටමහා කුසල් අතර
ප්‍රධාන කුසලය ලෙසින් සැලකෙන කඨින පූජාවක් සිදු කිරීමට ලැබීම මහඟු
අවස්ථාවක් ලෙසින් සැලකිය. එය නිවනින් කෙළවර වෙන නිවන තෙක් නොනැසෙන
පින්කමක් ලෙස ජන හදවත්වලට එකතුවීම නිසා උපහාරයන් දක්වමින් ගෞරවාන්විතව
පූජා කරනු ලබන චීවරයක් බවට කඨින චීවරය පත් කරලනු ලබයි. එය හුදෙක්
පින්කමෙන් ඔබ්බට ගිය බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද
දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ
වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින්
සැලකේ. ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් කරලනු ලබන කාලයක් ලෙසට වස් කාලය
සැලකෙන අතර කඨින චීවරය විසින් එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කරලනු ලබයි.
බොදුනුවන් තුළ වන කඨින චීවරයට ඇති ලැදිකම, භික්ෂුව කඨින චීවරය දැරීම,
ඊට කරනු ලබන සිරිත් විරිත් ආදිය භික්ෂුවට සිය දායක පිරිස ළඟාකරවීමක්
විය. එමෙන්ම චීවරය සකස් කර ගැනීම හරහා සෑම දෙනාගේ දායකත්වය ආධාරය
උපකාරය උස් පහත් භේදයකින් තොරව ලබාදීම ඔස්සේ එම චීවරය දරන භික්ෂුවට
ගිහි පාර්ශ්වය සමීප කරනු ලැබීය. මෙම ද්වන්දාත්මක බන්ධනය දෙපාර්ශවයේම
ශික්ෂණයට එක් අතකින් හේතු වූවා පමණක් නොව, අනික් අතින් දෙපාර්ශ්වයේම
විමුක්ති මඟ සැකසීමක් ද වේ. සාමයට හා සමානාත්මතාවයට එමඟින් ලැබුණු
අවකාශ පුළුල් විය. ගමත් එය පිහිටි ප්‍රදේශයත් එකට එක් කළ ප්‍රධාන
පින්කම හැටියට කඨින පූජාව වර්තමානය වන විට පන්සල කේන්ද්‍රිතව වර්ධනය වී
තිබේ. ගමේ ජීවත් වන ලොකු කුඩා සැවොම එක්ව බෙරහඬ මැද සාදු නාද දෙමින්
පෙරහරකින් දායක නිවසක සිට අලුයම කාලයේ හිස මත තබා වැඩමවන කඨිනය ගම්මුන්
දරන්නේ ගමට කරනු ලබන ආශිර්වාදයක් ලෙසටය. ගම පුරා හිස මත තබා වැඩමවන
චීවරය අර්ථවත් කරන ලද්දේ ආගම හා ජනයා අතර පවතින අවියෝජනීය සබඳතාවයයි.
සැවොම එකට එක්ව සාදු නාද දෙන්නේ හද පිරි සතුටිනි. පෙරහරින් විහාරස්ථානය
කරා ගෙන එනු ලබන චීවරයක් සැකසීමට සුදුසු රෙදි කඩ (දුස්සය) සෑම දෙනාම
මහත් බැතියෙන් සාදු නාද මධ්‍යයේ භික්ෂූන් වහන්සේට පූජා කරනු ලබන්නේ
මහත් ශ්‍රද්ධාවෙනි. සෑම දෙනාම සම මෙත් සිතින් එකම තලයක වාඩි වී
අපිරිමිත බැති සිතින් භික්ෂුව වෙත පුදන චීවරය සැකසීමට සුදුසු රෙදි
කඩින් සකසන චීවරය සිය දෙඅතින් තබාගෙන උපාසක ලීලාවෙන් සඟ සතු කරනු
ලබන්නේ වාද භේදාදියෙන් තොර සමානාත්මතාවය මූර්තිමත් කරමිනි. මේ නිසා
කඨින චීවර පූජාව මතු පිටින් දැක්වෙන තත්ත්වයට වඩා සමගිය, සමාදානය,
සහෝදරත්වය, මිත්‍රත්වය තහවුරු කෙරෙන මානව දයාව වැනි සදාචාරයට පසුබිම
සකසන බෞද්ධ පුද පූජාවන් අතර සමාජය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනු ලබන
පින්කමක් ලෙසින් ද තවත් පසෙකින් අර්ථ විවරණය කළ හැකිය. බ්‍රාහ්මණ හා ශ්‍රමණ සම්ප්රදාය තුළ වැස්ස කේන්ද්‍රකොට එක්තැන්ව විසීමේ පිළිවෙත අරුත් ගන්වමින් නව දැක්මක් මත ඇති කෙරෙන වස්වැසීමේ සම්ප්‍රදායත් වස් අවසානයේදී වස් සමාදන් වූ භික්ෂූන් කේන්ද්‍රකොට කරනු ලබන කඨින පූජාව සම්බන්ධිත න්‍යායාත්මක පදනම බුද්ධ දේශනයෙන් ඉදිරිපත් කළ ආකාරය මහාවග්ග පාලියේ වස්සුපනානායිකඛන්ධකයෙන් අනාවරණය වේ. වස් සමාදානයේ සිට කඨින චීවර පූජාව දක්වා වූ න්‍යායාත්මක පදනම හා චාරිත්‍ර හා වාරිත්රයන් මෙමඟින් අවධාරණය කෙරේ.
ඒ අනුව බොදුනුවන්ගේ සංසාරික අභිමථාර්ථයන් ඉටු කෙරෙන මහා පිනක් මෙමඟින් අත්පත් කරගන්නවා පමණක් නොව, අනෙක් අතට අව්‍යාජත්වය, සදාචාරය ශක්තිමත් කෙරෙන බැම්මක් ලෙසටත් අභ්‍යාසයක් ලෙසටත් වාර්ෂිකව සිදු කරන කඨින පූජාව හඳුන්වාදිය හැකිවන අතර බෞද්ධ ජනයාගේ එකමුතුකමේ සංකේතාත්මක බව පෙන්වාදිය හැකි අවස්ථාවක් ලෙසටත් බෞද්ධ සමාජයේ යථාර්ථයන් මතුකිරීමක් ද කඨින පූජාව තුළින් ඉටු කෙරෙන බව සඳහන් කිරීම නිවැරදිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හගුරන්කෙත ධීරානන්ද හිමි
බුදුසරණ අන්තර් ජාල කලාපය
Subscribe to:
Posts (Atom)

