බුදුරදුන් ඥාතීන් හමුවට ගමන් ඇරඹූ මැදින් පුරපසළොස්වක පෝදා

 


හේමන්ත සෘතුවේ එළඹෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ගේ සුවිශේෂී පුන් පොහෝ දිනයකි.

බුද්ධත්වයෙන් පසු රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර විසූ පිය රජතුමා ඇතුළු ඥාති පිරිස දැකීමට ගමන් ආරම්භ කරන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයකවීම මෙම පොහොයේ විශේෂත්වය යි. මැදින් පොහෝ දා ආරම්භ කළ උපන් ගමට වැඩීම කිරීමේ ගමනට දෙමසක් ගත වූ අතර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවන ලද්දේ වෙසක් පොහෝ දිනයක දී ය.

බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව ඇතුළු වීර්ය වඩා වෙසක් පොහෝ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත් ව ඇසළ පොහෝ දිනයක දම්සක් පවත්වා අනුක්‍රමයෙන් ධර්මදූත පිරිස් බිහි කරමින් ලෝක සත්වයන් වෙත අපමණ කරුණාවෙන් ක්‍රියා කරද්දී බුදුරදුන්ගේ කීර්තිරාවය දඹදිව සතර දිග්භාගයේ ම පැතිරී යන්නට විය. තම පුතු වූ සිදුහත් කුමරුන් සම්බුද්ධත්වයට පත් වී රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිමින් ලෝ සතුන්ට දුකින් මිදෙන මඟ පෙන්වා

දෙන බව ඇසූ සුද්ධෝදන රජතුමාට පුතු දැකීමට වූ ආශාව දිනෙන් දින වැඩි විය.

අවස්ථා නවයක දී පිරිවර දහස බැඟින් යුතු අමාත්‍යවරයෙකු බැඟින් දූත කාර්යයෙහි යොදවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට කැඳවාගෙන එන ලෙස සුද්ධෝදන රජතුමා පිටත් කොට හැරියේ ය. එසේ යැවූ අමාත්‍යවරුන් නව දෙනා සහ නව දහසක පිරිස බුදුන් දැක දහම් අසා රහත්ව පැවිදි විය.

ඉන්පසු සිදුහත් බෝසතාණන් වහන්සේ සමඟ එකම දිනයක උපන් කාළුදායි ඇමතිවරයා කැඳවා දහසක් පිරිවර ලබා දී දූත කාර්යයෙහි යෙද වූ අතර තමාට පැවිදි වීමට අවසර ලබා ගත් කාළුදායි ඇමතියා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දහම් අසා පිරිවර සමඟ රහත් ඵලයට පත් විය. මේ සමඟ අවස්ථා දහයක දී සුද්ධෝදන රජතුමා විසින් එවූ දූත පිරිස දස දහස් දහ දෙනෙක් (10 010) පැවිදි බිමට පත්ව සිටියහ.

පැවිදි වී සතියක් ගෙවුණු පසු කාළුදායි මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පිය රජතුමාගේ අපේක්ෂාව දන්වා කිඹුල්වත්පුරයට වැඩම කිරීමට ආරාධනා කළහ. ඒ වන විට හේමන්ත සෘතුවේ මැදින් පොහෝ දිනය එළඹී තිබුණි. මැදින් පොහොය පරිසරය ප්‍රබෝධමත් වන කාලයකි. තුරුලතා නව දළු ලා වැඩෙන, මල් පිපී විචිත්‍රවත් වන කාලයකි. ගොවීන් කෙත්වතු අස්වද්දා අස්වනු නෙළා ගනිමින් සමෘද්ධිමත්ව සිටින කාලයකි. අධික ශීතලෙන් හෝ රස්නයෙන් තොර සෞම්‍ය දේශගුණයක් පවතින කාලයකි. රජගහනුවර සිට කිඹුල්වත්පුරයට යන මාර්ගය සැට යොදුනකි. යොදුනක් යනු සැතපුම් දහසයක දුර ප්‍රමාණයකි. ගස් වැල් මලින් ඵලින් බර වී සුවඳවත් වී විචිත්‍රවත් වී රට සමෘද්ධිමත් වී ඇති සමයේ මාර්ගයේ සහ පරිසරයේ විචිත්‍රත්වය දක්වමින් කිඹුල්වතට වැඩීමට සුදුසුම කාලය එළඹ ඇතැයි ගාථා හැටකින් කාළුදායි තෙරණුවන් බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියහ.

කාළුදායි තෙරණුවන්ගේ ඇරැයුම පිළිගත් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා එවූ දූත පිරිසෙන් පැවිදි වූ දස දහස් දහ දෙනා ද ඇතුළු විසි දහසක් මහ සඟ රුවන පිරිවරාගෙන මැදින් පුර පසළොස්වක් පොහෝදින සන්ධ්‍යාවේ දී කිඹුල්වත්නුවරට වැඩීම පිණිස රජගහනුවර වේළුවනාරාමයෙන් පිටත් වූහ.

දිනකට එක් යොදුන බැඟින් සැට යොදුන් දුර දින සැටක දී සම්පූර්ණ කළ බුදු පාමොක් මහ සඟන කිඹුල්වත්පුරයට ළඟා වූයේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේ දී ය. මේ කාලයේ බුදුපාමොක් මහ සංඝරත්නයට සුද්ධෝදන රජතුමා විසින් පිණ්ඩපාත දානය සකස් කොට කාළුදායි තෙරුන් අත එවන ලදී.

වෙසක් පොහෝ දා කිඹුල්වත්පුරයට ළඟා වූ බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට යමාමහ පෙළහර පෑ අතර බුදුපාමොක් මහ සඟනට පිය රජතුමා නිග්‍රෝධාරාමය පූජා කළේය. පසු දින පිණ්ඩපාතයේ යෙදෙමින් පිඩුසිඟා යාම බුද්ධ වංශයේ සිරිත බව පිය රජුට පෙන්වා දුනි. නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදි වූයේ ද මෙම කිඹුල්වත්පුර වැඩමවීමේ දී ය.


රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි

සම්බුදු සසුනේ අගසව් තනතුරු පිරිනැමූ වගයි

 


බුද්ධත්වයෙන් පසු දෙවැනි වර්ෂයේ තුන් බෑ ජටිල හිමිවරුන් ඇතුළු දහසක් පිරිවරත්, සැරියුත් මුගලන් තෙරවරුන් ප්‍රමුඛ දෙසිය පනහක් හිමිවරුන් ද යන එක් දහස් දෙසිය පනහක් මහ සඟ රුවන පිරිවරාගෙන රජගහනුවර වේළුවනාරාමයේ දී සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කොට වදාළේ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ ය.

මෙම අවස්ථාවේ පළමුව පැවිදි වූ හිමිවරුන් සිටිද්දී සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමීම පිළිබඳ ඇතැම් සංඝයා වහන්සේ අතර කතාබහක් ඇති වූ අවස්ථාවේ සැරියුත් මුගලන් දෙනම අනෝමදස්සී බුදු හිමියන්ගේ කාලයේ පටන් ප්‍රාර්ථනා කළ ලෙසට ම ගෞතම බුද්ධ ශාසනයෙහි අග්‍රශ්‍රාවක පත්වීම් ලද බවට බුදු හිමි කරුණු පහදා දීමෙන් එය සමනය කෙරිණි.

මෙම දෙනම වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරුවල පිහිට වූයේ ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවූ දිනයේ දී ය.

සැරියුත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති ලෙස හා ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබන්නට වූහ.

මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන් අතර අග්‍රස්ථානය ලබන්නට වූහ.

බුද්ධත්වයෙන් ප්‍රථම විසි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේ අණ කිරීම් වශයෙන් විනය නීති පනවා නැත. ඕවාද නම් අවවාද යන අර්ථයයි. ප්‍රාතිමෝක්ෂය නම් භික්ෂූන් වහන්සේගේ විනය නීති මාලාවයි. ප්‍රථම විසි වර්ෂය තුළ මහා සංඝයා වහන්සේ අතර බරපතළ වැරැදි සිදු නොවූ අතර, බොහෝ හිමිවරුන් රහත් ඵලයට පත් වූහ. තමන් වහන්සේට ම හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට තිබේ. මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවකි.

ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වන ගාථා තුනකි. එමගාථා තුනෙන් සමස්ත ත්‍රිපිටක ධර්මය ම සම්පිණ්ඩනය කොට දැක්වෙන්නේ ය.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං
විභඨෙයන්තෝ

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

උතුම් තපස් ගුණය ඉවසීමයි. අනුන් නසන, පෙළන තැනැත්තා මහණෙක් නොවේ.

සියලු පව් නොකිරීමත්, සියලූ කුසල් කිරීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාවයි.

අනුන්ට නින්දා නොකිරීම ද, හිංසා නොකිරීම ද ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි හික්මීම ද, පමණ දැන වැළඳීම ද, ප්‍රාන්ත සේනාසනවල ඇල්ම ද, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන උතුම් මිනිස් දහම් හි යෙදීම ද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි. යනු මෙම ගාථා තුනේ අර්ථයයි.

බුදුරජාණන් වහන්සේ් අවසාන වස් කාලය ගත කිරීමෙන් පසු රජගහනුවරින් නික්ම ආනන්ද තෙරුන් සමග චාපාල චේතිය වෙත වැඩම කොට සතර සෘද්ධිපාද වැඩූ අයකුට කැමැති නම් කල්පායුෂ විඳීය හැකි බව ජීවත් විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මේ අවස්ථාවේ ආනන්ද හිමියන් මාරාවේෂව සිටි හෙයින් බුදුරදුන් වදාළ දේ නොවැටහුණි. එවේලෙහි මාරයා පැමිණ බුදුරදුන්ට පිරිනිවන් පෑමට ආරාධනා කළ අතර, එතැන් සිට තුන් මසකට පසු තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුරජාණන් වහන්සේ මාරයාට වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නිශ්චිත කාලයක දී පිරිනිවන්පාන බවට තහවුරු කොට ආයුෂ අත් හැරීම ආයු සංස්කාරය අත් හැරීම නම් වෙයි.

රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි

සමනල අඩවියට අධිපති සුමන සමන් දෙවියෝ Sumana saman deviyo

 


සිරිපා සමය සමග කියැවෙන වැදගත්ම කරුණ වන්නේ සුමන සමන් දෙවියෝය. සුමන සමන් දෙවියන්ගේ දේව රූපයත් දේවාභරණත් ශ්‍රීපාදස්ථානයට වැඩම කිරිමෙන් පසු වාර්ෂික සිරිපා වන්දනාවාරය ආරම්භ වීම පැවත ආ සිරිතයි. ඒ කාලය සිරිපා වාරයයි. 

හය මාසයක් පවතින වන්දනා වාරය ඊළඟ අවුරුද්දේ වෙසක් පොහොය දිනයෙන් අවසන් වන්නේ සුමන සමන් දෙවියන්ගේ දේව රූපත් දේවාභරණත් ශ්‍රීපාදස්ථානයෙන් ආපසු වැඩම කිරිමෙන් අනතුරුවය. ඒ කාලය සිරිපා අවාරයයි. 

ඒ නිසා සිරිපා වන්දනා වාරයත් සුමන සමන් දෙවියනුත් අතර ඇත්තේ එකම බැඳීමකි. මේ සුමන සමන් දෙවියන් කවුද? සුමන් සමන් දෙවියන් ගැන බොහෝ දෙනා දන්නේ බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩි අවස්ථාවේ දහම් අසා සෝවාන් ගිය දෙවියෙක් බවත්, ඒ දෙවියන්ගේ ආරාධනාවට දෙවියන්ගේ විමානය පිහිටි සමන්තකූඨ පර්වත මස්ථකයට වැඩම කර වම් සිරිපතුල පිහිටවු බවත් ය. 

ඊට අමතරව සමන් දෙවියන් යනු ලංකාවේ ආදිවාසී ගෝත්‍රයේ නායිකාව වූ මහ ලොකු කිරි අම්මාගේ සහෝදරයා බවත් ජනතාව අතර ඇති කතාවයි. එසේම ප්‍රාදේශීය පාලකයෙකුව සිට මියගිය පසු දේවත්වයට පැමිණ සුමන සමන් නමින් සිරිපා අඩවියට අධිගෘහිතව වැඩවසන බවටද ජන විශ්වාසයේ පවතී. බුදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි නිසා අණවිණ, කොඩිවිණ, හදි හූනියම් නොකරන ජනතාවට සෙත් පතන දෙවි කෙනෙකු බව ජනතාවගේ පූර්ණ විශ්වාසයයි. 

ඒ සුමන සමන් දෙවියන් ගැන වැඩි දෙනෙකු හිතන හැටිය. ඇත්තටම සුමන සමන් දෙවියන් කවුද? 

සුමන, සුපිරිසුදු මනසක් ඇති තැනැත්තා යන අරුත ගෙනෙන ලංකාව ආරක්‍ෂාකරන සතරවම් දෙවිවරුන්ගෙන් කෙනෙකි. මහාචාර්ය දයානනද සෝමසුන්දර සහ එච්.එම්.ජයන්ත විජේරත්න යන මහත්වරු විසින් සම්පාදිත සමනලගිරි වතගොත ග්‍රන්ථයේ ජයන්ත විජේරත්න මහතාගේ ලිපියක සඳහන් වෙන්නේ සුමන සමන් දෙවිඳුන් යනු කකුසඳ, කෝණාගම, කාශ්‍යප ගෞතම බුදුවරුන්ගේ කාලවල සුමන සමන් දෙවියන්ගේ පෙර ආත්ම භව ගැන මාධ්‍යවේදී ගාමිණී සූරියආරච්චි මහතා විසින් රචිත බිම්තැන්නේ පුදබිම් නම් ග්‍රන්ථයේ සඳහන් වන බවයි.   

ගාමිණී සුරියආරච්චි මහතා බිම්තැන්නේ පුදබිම් ග්‍රන්ථයට ඒ තොරතුරු ගෙන ඇත්තේ මහා සුමන පුරාවෘත නම් පුස්කොළ පොතක තිබූ තොරතුරු බවද එහි සඳහන් වෙයි. වනවාසී සුභූති නම් හිමිනමක් ් දඹදෙනි යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1228-1268) රජ සමයේ ඒ පුස්කොළ පොත් ලියා ඇතිබවත් ජයන්ත විජේරත්න මහතාගේ ලිපියේ දැක්වේ 

මහා දේව, මහා සුමන සහ ශ්‍රී සුමනදේව යනුවෙන් ආත්ම තුනකදී හඳුන්වා ඇත්තේ මේ සමන් දෙවිඳුන් බවත් ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් බණ 

අසා සෝවාන් ඵලයට පැමිණි පළමු හෙළයා සුමන (සමන්) දේවියන් බවද එම ග්‍රන්ථයේ දැක්වෙයි. 

මහියංගනය, සමනල අඩවිය, ඇතුලු විශාල ප්‍රදේශයක් වු මහානාග වන උයන සුමන සමන් නම් දේව ගෝත්‍ර නායකයෙක් සමනලකන්ද අගනුවර කරගෙන පාලනය කළ බව මහා වංශයේ සඳහන් වෙයි. ඒ සුමන සමන් යනු අපි කතා කරන සුමන සමන් දෙවියන්ය. ආදිවාසීන්ගේ නායිකාව ලෙස සැලකෙන මහලොකු කිරිඅම්මා වු ලොකු මහා දේවී, මහලොකු මෑණියෝ සුමන සමන් දෙවියන්ගේ අක්කාය. ඌව පළාතේ මොණරාගල තඹාන ප්‍රදේශයේ විසූ බව කියන චූල සුමන සුමන සමන් දෙවිඳුගේ මල්ලී බවද ඉතිහාස ග්‍රන්ථවල දැක්වේ. 

සුමන සමන් දෙවියන් යනු දඹදිව විසූ සිද්ධාර්ථ කුමරු (බෝධිසත්ත්වයන්) සුමන සමන් දෙවිඳුගේ මාමණ්ඩිය බව පර්යේෂකයන් විසින් තොරතුරු සොයගෙන ඇති බවද ජයන්ත විජේරත්න ලේඛකයා සිය ලිපියෙන් විස්තර කරයි.   

ලංකාවේ ඉතිහාස තොරතුරු ඇති වංශ කතාවල සඳහන්වන ගෝඨාභය කුමරු විසින් මරා දමන ලද දස බෑ සොහොයුරන් සුමන් සමන් කුමරුගේ පුත්‍රයන් බව ද සඳහන්ය. බෝවත්තේගල සෙල් ලිපියේ දස භාතික පුතුන් ලෙස සඳහන් වන්නේ මේ සුමන සමන් කුමරුගේ දරුවන් බව පර්යේෂකයන් සඳහන් කරන බව සමනලගිරි වතගොත කෘතියේ දැක්වෙයි. 

සුමන සමන් යනු සිව් හෙළයට අයත් වැසියෙකි. දේව, යක්‍ෂ, රාක්‍ෂ සහ නාග යන ගෝත්‍ර හතර සිව් හෙළයයි. විජය කුමරු එන්නට පෙර රට පාලනය කලෝ දේව ගෝත්‍රයයි. ගොවිතැන් කර්මාන්තයේ නියැලුනු අය යක්‍ෂ සහ රාක්‍ෂ ගෝත්‍රිකයන්ය. ධීවර කර්මාන්තයේ නියැලන අය නාග ගෝත්‍රිකයන්ය. එ අනුව සමනළ අඩවිය පාලනය කළ දේව ගෝත්‍රයේ ප්‍රාදේශීය පාලකයා සුමන සමන් 

කුමරුය. මරණයෙන් පසු සුමන සමන් නමින් දේවත්වයට පැමිණියේ මේ ප්‍රාදේශීය පාලකයා බවද සඳහන්ය. 

සුමන සමන් දෙවිඳුන් ගැන වංශකතා, ජනකතා, ඉතිහාස කතා ආදියේ මෙන්ම මුඛ පරම්පරාවෙන් එන කතා ද බොහෝමයකි.  ඒවා කෙටියෙන් ලියන්නට අපහසුය. 

අයහපත් දේ කරන්නට යන කෙනෙකුට සුමන සමන් දේවියන්ගේ අඩවියේදී යහපතක් නොවන බවට විශ්වාසයක් පවතී. ශ්‍රීපාද අඩවියේ එවැනි කතා ද බොහෝමයකි. 

දකුණු අතින් අභය මුද්‍රාවද, වම් අතින් නෙලුම් මලක් ද ගෙන  රන්වන් සමකින් වර්ණවත් වු, හිස මත රන් ඔටන්නක් පැළඳ, සුදු ඇත් වාහනෙන් සැර සරන සුමන සමන් දෙවියන් දෙව්ලොව සිට ලෝකවාසී සත්ත්වයාට පිහිට වන බව ගැමියන්ගේ මුවින් පිටවන ‘සමන් දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාවයි’ යන වදන්වලින්ම හැගීයයි. 

සටහන - අජිත්ලාල් ශාන්තඋදය

ලංකා දීප පත්‍රයෙන් උපුටා ගැනීමකි.

උඳුවප් පෝදා ගෙන වැඩි බෝධිය වඳිමු පුදමු ජය සිරිමහ බෝධිය

 


සිරිලකට විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වී ය. ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දා දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩම කරවන ලද බෝ සමිඳුන් දේවානම්පියතිස්ස මහ රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය. බෝ සමිඳුන් දඹකොළ පටුනේ දී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකොට සිරිලක එතෙක් නොවූ විරූ අන්දමේ විශාල උත්සවයක් පවත්වා ඇත.

බෝධි රෝපණය

බෝ සමිඳුන් අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත් කොට මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමකර වූ බව සමන්තපාසාදිකාවෙහි දැක්වෙයි. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන්නේ දඹකොළ පටුනෙන් පිටත් වූ මෙම පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත් පුද සත්කාර පිණිස නතර කර වූ බවයි.

ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රතිඝෝෂා මධ්‍යයේ ගමන්ගත් පෙරහර මහමෙව්නා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි රෝපණය කළ බව ද මහාවංසයෙහි සඳහන් ය. මෙය බුදු දහම සිරිලකට ගෙන ඒමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය.

මහාවංසයෙහි දැක්වෙන අන්දමට මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වී තිබේ. මේ අනුව ලංකාවේ සියලුම ප්‍රභූ ජන නායකයින් ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස බෝධි රෝපණ මහෝත්සවය සිදු වී ඇති බව පැහැදිලි සතියක් පුරාම පැවැති මෙම උත්සවයේ දී නගරවාසීන් නටමින්, ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබෙන බැව් සිංහල බෝධිවංසයෙහි මෙසේ දැක්වෙයි.

නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින්, බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින්, එළුසන් ඔල්වර හඬ ගසමින්, අත් පොළසන් දෙමින්, දහස් පළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ විථීයෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙව්නා උයනට පමුණුවා .......

ආරක්ෂක විධිවිධාන

මෙතැන් සිට බෝධි පූජාව මෙරට ජනතාව අතර බෙහෙවින් ම ජනපි‍්‍රය විය. මහා බෝධිවංසයේ සඳහන් පරිදි බෝධින් වහන්සේ සඳහා බෝධිඝරයක් ද ඉදි කළ අතර, එයට පුද පූජා පැවැත්වීම සඳහා ද, ආරක්ෂාව සඳහා ද විධිවිධාන සැලැස්වීය. මල් හා සුවඳ ද්‍රව්‍ය සැපයීමටත්, පරවූ මල් ඉවත් කිරීමටත්, සතුන්ගෙන් හා සතුරන්ගෙන් රැක ගැනීමත් අවශ්‍ය තනතුරු ඇතිකර නිලධාරීන් ද පත්කළ ආකාරය එහි සවිස්තරව දක්වා තිබේ.

“මහ බෝ මඟුල’ නමින් බෝධි පූජාවට සම්බන්ධ වාර්ෂික උත්සවයක් රජයේ මූලිකත්වයෙන් පැවැත් වූ බව පෙනේ. මල්, පහන්, සුවඳ ආදිය පිදීම ද අවට පරිසරය ධජ පතාකවලින් සැරසීම ද මෙකී පූජාවට ඇතුළත් විය.

බුද්ධත්වයේ සංකේතයක්

සිරිමහ බෝධිය වැඩමවීමෙන් පසුව එහි පූජනීයත්වය වඩාත් ඉස්මතු වන පරිදි අංකුර බෝධීන් වහන්සේ අට නමක් ද, ඵලරුහ බෝධින් වහන්සේ දෙතිස් නමක් ද, රජරට සහ රුහුණේ ද ඉන් බැහැර වෙනත් පළාත්වල ද රෝපණය කොට ජනතාව ගේ පූජෝපහාරයට පත් වූ අයුරු බෝධිවංසයේ විස්තර කර ඇත. මෙම බෝධි වන්දනාවේ ප්‍රධාන පරමාර්ථය වනුයේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම පිළිබඳ වූ ඓතිහාසික අවස්ථාව සිහිපත් කිරීම යි. එබැවින් ශ්‍රී මහා බෝධිය යනු බුද්ධත්වයේ සංකේතයකි.

වර්තමානයේ බෝධිය සෑම විහාරස්ථානයක ම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති අතර, බෝධි පූජාවේ දී නිරාමිස සංකල්ප මෙන්ම ලෞකික පරමාර්ථ ද ඉස්මතු වී තිබේ. ලෙඩ, දුක්, සොරසතුරු උවදුරු සහ නවග්‍රහ දෝෂ දුරලීම අරමුණු කර බෝධි පූජා පැවැත්වීමට අද සැදැහැවත් ජනතාවගෙන් වැඩිදෙනෙක් පුරුදුවී සිටිති.

ගාථා, කවි හා තාලයට කිව හැකි වැකි ද යොදා ගනිමින් බෝධි පූජා පවත්වනු දැකිය හැකි ය. තවද බෝධින් වහන්සේට අරක්ගත් දෙවිවරුන් ගැන ද සලකා ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් පූජා පවත්වන්නෝ ද වෙති.

ජනපි‍්‍රය කවි ගාථා

බෝධි පූජාවක දී ගායනා කෙරෙන කවි සහ ගාථාවල ගැඹුරු බෞද්ධ සංකල්ප ඇතුළත් වී නැතත් සාමාන්‍ය ජනතාවගේ සිත් ඇදගන්නා වූ ද, ඔවුන්ට ඉතා පහසුවෙන් තේරුම්ගත හැක්කා වූ ද ඔවුන්ගේ හදවත්වලට ළං වූ ද අදහස් කිහිපයක් තිබීම මෙය ජනපි‍්‍රයවීමට හේතු වන්නට ඇත.

පාලි මහා බෝධිවංසයේ ඇතුළත් පහත දැක්වෙන ගාථාවෙන් සිදුහත් බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳ අසිරිමත් සිදුවීම සිහිපත් කෙරෙයි.

යස්ස මූලෙ නිසින්නොව
සබ්බාරිවිජයං අකා
පත්තො සබ්බඤ්ඤුතං සත්ථා
වන්දෙතං බෝධිපාදපං

18 වැනි සියවසේ සිට මෙරට සැදැහැවත් ජනතාව භාවිතයට ගත් පහත සඳහන් බෝධි වන්දනා ගාථාව අදටත් එදා සේ ම බෙහෙවින් ජනපි‍්‍රය ව පවතියි.

ඉන්ද නීල වණ්ණ පත්ත - සෙත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි - පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම - දෙවරුක්ඛ සන්නිභං
තං විසාල බෝධි පාදපං - නමාමි සබ්බදා

ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ පත්‍ර ඇති, ස්වේත වර්ණ වූ කඳකින් බබළන බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර නමැති පියුම්වලින් පූජා කරනු ලැබුවා වූ උතුම් නිවන් සැප ගෙන දෙන දිව්‍ය වෘක්ෂයට සමාන වූ අග්‍රබෝධි නම් වූ උත්තම වෘක්ෂ රාජයා මම වඳිමි.

භික්ෂුණී සමාජය

සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩමවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනයි. සංඝමිත්තා තෙරණිය සමඟ දඹදිවින් වැඩම කළ භික්ෂුණීන් වහන්සේ නාම ලේඛනයක් දීපවංසයෙන් හමුවෙයි. එනම් උත්තර හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ථෙග්ගු, පබ්බතා, මත්තා, ධම්මදාසී, මහාදේවී, පදුමා, හේමකා, උන්නලා, අංජලී, සහ සුමා යන භික්ෂුණීන් වහන්සේය.

මෙම පිරිස ලක්දිවට වැඩමවීමෙන් පසුව දෙවන පෑතිස්ස මාලිගාවේ විසූ මහානාග යුවරජ දේවිය වු අනුලා බිසව ඇතුලු කුල කතුන්ට පැවිදිවීමේ භාග්‍යය උදා වුණි. මෙසේ ලක්දිව භික්ෂුණී සමාජය ආරම්භ වී නොබෝ කලකින් ම එය අනුරාධපුරයේ මෙන් ම මාගම රාජධානියේ ද ව්‍යාප්ත වූ බව පෙනේ. එහෙත් ක්‍රි.පූ. 10 වන සියවසින් පසු ලක්දිව භික්ෂුණී සමාජය පිළිබඳ සටහන් නොමැතිවීමෙන් පෙනෙන්නේ කෙමෙන් කෙමෙන් එය නාමශේෂ බවට පත්වූ බවයි.

ථේරවාදී භික්ෂු සමාජය පැවතියා වූ රටවල ද ඒ වනවිට භික්ෂුණී සමාජය පිරිහි ගොස් තිබීම නිසා අවිච්ඡින්න භික්ෂුණී චීවර පරම්පරාවක් සොයාගත නොහැකි විය. මෙම සබඳතාව සපුරාලීමේ අපහසුතාව භික්ෂුණී සමාජයේ අභාවය කෙරෙහි බලපෑවේ ය. පුරාතන භික්ෂුණී සමාජය සිහිගන්වමින් දැනට ලංකාවේ පවත්නා “දසසිල් මාතා සංවිධානය” ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සකස්කොට එය දියුණු කිරීමට පියවර ගැන්ම කාලීන වශයෙන් බෙහෙවින්ම යෝග්‍ය වන්නේ ය.


ඌරුගමුවේ අස්සජී හිමි