සිරිලකට විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වී ය. ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දා දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩම කරවන ලද බෝ සමිඳුන් දේවානම්පියතිස්ස මහ රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය. බෝ සමිඳුන් දඹකොළ පටුනේ දී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකොට සිරිලක එතෙක් නොවූ විරූ අන්දමේ විශාල උත්සවයක් පවත්වා ඇත.
බෝධි රෝපණය
බෝ සමිඳුන් අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත් කොට මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමකර වූ බව සමන්තපාසාදිකාවෙහි දැක්වෙයි. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන්නේ දඹකොළ පටුනෙන් පිටත් වූ මෙම පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත් පුද සත්කාර පිණිස නතර කර වූ බවයි.
ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රතිඝෝෂා මධ්‍යයේ ගමන්ගත් පෙරහර මහමෙව්නා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි රෝපණය කළ බව ද මහාවංසයෙහි සඳහන් ය. මෙය බුදු දහම සිරිලකට ගෙන ඒමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය.
මහාවංසයෙහි දැක්වෙන අන්දමට මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වී තිබේ. මේ අනුව ලංකාවේ සියලුම ප්‍රභූ ජන නායකයින් ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස බෝධි රෝපණ මහෝත්සවය සිදු වී ඇති බව පැහැදිලි සතියක් පුරාම පැවැති මෙම උත්සවයේ දී නගරවාසීන් නටමින්, ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබෙන බැව් සිංහල බෝධිවංසයෙහි මෙසේ දැක්වෙයි.
නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින්, බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින්, එළුසන් ඔල්වර හඬ ගසමින්, අත් පොළසන් දෙමින්, දහස් පළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ විථීයෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙව්නා උයනට පමුණුවා .......
ආරක්ෂක විධිවිධාන
මෙතැන් සිට බෝධි පූජාව මෙරට ජනතාව අතර බෙහෙවින් ම ජනපි‍්‍රය විය. මහා බෝධිවංසයේ සඳහන් පරිදි බෝධින් වහන්සේ සඳහා බෝධිඝරයක් ද ඉදි කළ අතර, එයට පුද පූජා පැවැත්වීම සඳහා ද, ආරක්ෂාව සඳහා ද විධිවිධාන සැලැස්වීය. මල් හා සුවඳ ද්‍රව්‍ය සැපයීමටත්, පරවූ මල් ඉවත් කිරීමටත්, සතුන්ගෙන් හා සතුරන්ගෙන් රැක ගැනීමත් අවශ්‍ය තනතුරු ඇතිකර නිලධාරීන් ද පත්කළ ආකාරය එහි සවිස්තරව දක්වා තිබේ.
“මහ බෝ මඟුල’ නමින් බෝධි පූජාවට සම්බන්ධ වාර්ෂික උත්සවයක් රජයේ මූලිකත්වයෙන් පැවැත් වූ බව පෙනේ. මල්, පහන්, සුවඳ ආදිය පිදීම ද අවට පරිසරය ධජ පතාකවලින් සැරසීම ද මෙකී පූජාවට ඇතුළත් විය.
බුද්ධත්වයේ සංකේතයක්
සිරිමහ බෝධිය වැඩමවීමෙන් පසුව එහි පූජනීයත්වය වඩාත් ඉස්මතු වන පරිදි අංකුර බෝධීන් වහන්සේ අට නමක් ද, ඵලරුහ බෝධින් වහන්සේ දෙතිස් නමක් ද, රජරට සහ රුහුණේ ද ඉන් බැහැර වෙනත් පළාත්වල ද රෝපණය කොට ජනතාව ගේ පූජෝපහාරයට පත් වූ අයුරු බෝධිවංසයේ විස්තර කර ඇත. මෙම බෝධි වන්දනාවේ ප්‍රධාන පරමාර්ථය වනුයේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම පිළිබඳ වූ ඓතිහාසික අවස්ථාව සිහිපත් කිරීම යි. එබැවින් ශ්‍රී මහා බෝධිය යනු බුද්ධත්වයේ සංකේතයකි.
වර්තමානයේ බෝධිය සෑම විහාරස්ථානයක ම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති අතර, බෝධි පූජාවේ දී නිරාමිස සංකල්ප මෙන්ම ලෞකික පරමාර්ථ ද ඉස්මතු වී තිබේ. ලෙඩ, දුක්, සොරසතුරු උවදුරු සහ නවග්‍රහ දෝෂ දුරලීම අරමුණු කර බෝධි පූජා පැවැත්වීමට අද සැදැහැවත් ජනතාවගෙන් වැඩිදෙනෙක් පුරුදුවී සිටිති.
ගාථා, කවි හා තාලයට කිව හැකි වැකි ද යොදා ගනිමින් බෝධි පූජා පවත්වනු දැකිය හැකි ය. තවද බෝධින් වහන්සේට අරක්ගත් දෙවිවරුන් ගැන ද සලකා ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් පූජා පවත්වන්නෝ ද වෙති.
ජනපි‍්‍රය කවි ගාථා
බෝධි පූජාවක දී ගායනා කෙරෙන කවි සහ ගාථාවල ගැඹුරු බෞද්ධ සංකල්ප ඇතුළත් වී නැතත් සාමාන්‍ය ජනතාවගේ සිත් ඇදගන්නා වූ ද, ඔවුන්ට ඉතා පහසුවෙන් තේරුම්ගත හැක්කා වූ ද ඔවුන්ගේ හදවත්වලට ළං වූ ද අදහස් කිහිපයක් තිබීම මෙය ජනපි‍්‍රයවීමට හේතු වන්නට ඇත.
පාලි මහා බෝධිවංසයේ ඇතුළත් පහත දැක්වෙන ගාථාවෙන් සිදුහත් බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳ අසිරිමත් සිදුවීම සිහිපත් කෙරෙයි.
යස්ස මූලෙ නිසින්නොව
සබ්බාරිවිජයං අකා
පත්තො සබ්බඤ්ඤුතං සත්ථා
වන්දෙතං බෝධිපාදපං
18 වැනි සියවසේ සිට මෙරට සැදැහැවත් ජනතාව භාවිතයට ගත් පහත සඳහන් බෝධි වන්දනා ගාථාව අදටත් එදා සේ ම බෙහෙවින් ජනපි‍්‍රය ව පවතියි.
ඉන්ද නීල වණ්ණ පත්ත - සෙත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි - පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම - දෙවරුක්ඛ සන්නිභං
තං විසාල බෝධි පාදපං - නමාමි සබ්බදා
ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ පත්‍ර ඇති, ස්වේත වර්ණ වූ කඳකින් බබළන බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර නමැති පියුම්වලින් පූජා කරනු ලැබුවා වූ උතුම් නිවන් සැප ගෙන දෙන දිව්‍ය වෘක්ෂයට සමාන වූ අග්‍රබෝධි නම් වූ උත්තම වෘක්ෂ රාජයා මම වඳිමි.
භික්ෂුණී සමාජය
සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩමවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනයි. සංඝමිත්තා තෙරණිය සමඟ දඹදිවින් වැඩම කළ භික්ෂුණීන් වහන්සේ නාම ලේඛනයක් දීපවංසයෙන් හමුවෙයි. එනම් උත්තර හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ථෙග්ගු, පබ්බතා, මත්තා, ධම්මදාසී, මහාදේවී, පදුමා, හේමකා, උන්නලා, අංජලී, සහ සුමා යන භික්ෂුණීන් වහන්සේය.
මෙම පිරිස ලක්දිවට වැඩමවීමෙන් පසුව දෙවන පෑතිස්ස මාලිගාවේ විසූ මහානාග යුවරජ දේවිය වු අනුලා බිසව ඇතුලු කුල කතුන්ට පැවිදිවීමේ භාග්‍යය උදා වුණි. මෙසේ ලක්දිව භික්ෂුණී සමාජය ආරම්භ වී නොබෝ කලකින් ම එය අනුරාධපුරයේ මෙන් ම මාගම රාජධානියේ ද ව්‍යාප්ත වූ බව පෙනේ. එහෙත් ක්‍රි.පූ. 10 වන සියවසින් පසු ලක්දිව භික්ෂුණී සමාජය පිළිබඳ සටහන් නොමැතිවීමෙන් පෙනෙන්නේ කෙමෙන් කෙමෙන් එය නාමශේෂ බවට පත්වූ බවයි.
ථේරවාදී භික්ෂු සමාජය පැවතියා වූ රටවල ද ඒ වනවිට භික්ෂුණී සමාජය පිරිහි ගොස් තිබීම නිසා අවිච්ඡින්න භික්ෂුණී චීවර පරම්පරාවක් සොයාගත නොහැකි විය. මෙම සබඳතාව සපුරාලීමේ අපහසුතාව භික්ෂුණී සමාජයේ අභාවය කෙරෙහි බලපෑවේ ය. පුරාතන භික්ෂුණී සමාජය සිහිගන්වමින් දැනට ලංකාවේ පවත්නා “දසසිල් මාතා සංවිධානය” ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සකස්කොට එය දියුණු කිරීමට පියවර ගැන්ම කාලීන වශයෙන් බෙහෙවින්ම යෝග්‍ය වන්නේ ය.
ඌරුගමුවේ අස්සජී හිමි
No comments:
Post a Comment