ශාසනික වශයෙන් අනුස්මරණීය වූ නවම් පුර පසළොස්වක



 ඒ මොහොතේ ආනන්ද හිමියන් වහන්සේට මාරයා ආවේශ වී සිටි බැවින් කිසිවක් නොවැටහුණි. එබැවින් බුදුන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නැ’යි ආරාධනා කරන්නට අමතක විය."



අද නවම් පුරපසළොස්වක පොහොය දිනය යි. බුද්ධ ශාසනයේ මෙවන් පොහෝ දිනක දී ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වී ඇත.

1. බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සම්මේලනය රජගහනුවර වේළුවනාරාමයේ දී පැවැත්වීම.

2. සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම.

3. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.

4. බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හැරීම.

යනු එකී වැදගත් සිද්ධි කිහිපයකි. මෙනිසා බෞද්ධයන් හට මෙම නවම් පොහොය දිනය ශාසනික වශයෙන් අනුස්මරණීය දිනයකි.

ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව

අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු මහා සංඝයා විෂයයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලදී. ඕවාද යනු අවවාද යන්නයි. බුද්ධත්වයෙන් මුල් විසිවස අවසන් වන තුරු ශ්‍රාවකයන් හට විනය ශික්ෂාපද පැනවීමට හෙවත් ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට තරම් ප්‍රබල වරදක් සංඝයාගෙන් විද්‍යමාන නොවී ය. එබැවින් සංඝයාගේ හික්මීම පිණිස ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වුණි. මෙහි දී අවවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.
ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහී පබ්බජිතෝ පරූපඝාති
සමනෝ හොති පරං විහේඨයන්තෝ



සබ්බ පාසස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං


අනූපවාදෝ අනූපඝාතෝ
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච හත්තස්මිං
පන්තඤ් ච සයනාසනං 


අධිචිත්තේ ච ආයොගො එතං බුද්ධාන සාසනං

(ධම්මපදය, බුද්ධ වග්ගය)

ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම් ය. ක්ෂාන්ති ලක්ෂණ නිර්වාණය උත්තමය යි සියලු බුදුවරු වදාරති. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නොවෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නොවෙයි.

කායාදී ද්වාරත්‍රයයෙන් සිදුවන්නා වූ ප්‍රාණඝාතාදි සියලු අකුසල කර්ම නොකිරීම ද, සියලු ලෞකික ලෝකෝත්තර කුසලයන් ඉපදීම ද, උපදවන ලද කුසලයන් වැඩීම ද පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිරිසුදු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

ජාත්‍යාදීන් පරහට ආක්‍රෝෂාදී වශයෙන් වචනයෙන් උපවාදයක් නොකිරීමත්, පාණී ප්‍රහාරාදී වශයෙන් පරහට කයින් උපඝාතයක් නොකිරීමත් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රඥතාවත් (ආජීව පාරිශුද්ධිය) ජනවිචික්ත වූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමත්, සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනායි.

මුල් විසිවස තුළ රහතන් වහන්සේ බහුල වූ හෙයින් වැරැදි අඩු විය. එබැවින් මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් විය. බුදුරජාණන් වහන්සේලා දීර්ඝායුෂ්ක හා අල්පායුෂ්ක වශයෙන් දෙ කොටසකට බෙදිය හැකි ය. ඒ අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවක් පමණක් වැඩසිටි බැවින් අල්පායුෂ ඇති බුදුන් වහන්සේ නමකි. දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනයෙහි ශාසනාන්තර්ධානය දක්වා ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරනු ලැබේ. එහෙත් අල්පායුෂ්ක ශාසනයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය මුල් අවුරුදු විස්සේ දී පමණක් දේශනා කෙරේ. සංඝයා ගණනින් වැඩි වීමත් සමඟ වැරැදි සිදුවීම් බහුල වේ. එබැවින් විනය ශික්ෂා පද පනවමින් මුල් විසිවසෙන් අනතුරුව ආණා ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

ආයු සංස්කාරය අත්හැරීම

ආයු සංස්කාරය අත්හැරීම යනු ‘අසවල් දිනයේ දී පිරිනිවන් පාන්නෙමි’ යනුවෙන් නිශ්චිත වශයෙන් කාලය සීමා කර ගැනීමයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කළේ හෙවත් ආයු සංස්කාරය අත් හැරියේ ද අද වැනි පොහෝ දිනක දී ය. අගසව් දෙනමගේ පිරිනිවනින් අනතුරුව ශාන්තිනායකයාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ චාපාල චේතිය වෙත වැඩම කළහ. එහි දී විවේකී සුවයෙන් වැඩ හුන් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “ආනන්දය, සතර ඉද්ධිපාද වැඩූවන්ට කැමති නම් ආයුෂ්කල්පයක් වැඩ සිටිය හැකි යැ”යි වදාළහ. තෙවරක් ම මෙය වදාළ නමුත් ඒ මොහොතේ ආනන්ද හිමියන් වහන්සේට මාරයා ආවේශ වී සිටි බැවින් කිසිවක් නොවැටහුණි. එබැවින් බුදුන් වහන්සේට කල්පයක් වැඩ සිටින්නැ’යි ආරාධනා කරන්නට අමතක විය. ඉක්බිති මාරයා අවුත් බුදුන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ මාරයා හට ‘තව තෙමසකින් පිරිනිවන් පාන්නෙමි.’ යි වදාළහ. ඒ මොහොතෙහි මහපොළොව කම්පා වූයේ ය. සිහි එළවා ගත් අනඳ හිමියන් ඒ පිළිබඳ බුදුරදුන්ගෙන් විමසූ විට තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය හළ බව අසා තව කාලයක් වැඩ සිටිනු මැනවැ’යි ආරාධනා කළමුත් බුද්ධ වචනයෙහි වෙනසක් නොමැති හෙයින් බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට තීරණය කළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඉදිරි තෙමස තුළ ද ධර්ම චාරිකාවෙහි හැසිරෙමින් ලෝකසත්වයා සනසමින් වැඩ හිඳ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේදී මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පා වදාළහ.

මෙලෙසින් සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී සිදුවීම් කීපයක් මෙම නවම් පුරපසළොස්වක් පොහෝ දා සිදු වී ඇත. පුරා පන්සාළිස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයා සනහාලමින් ධර්ම චාරිකාවෙහි යෙදුණු සම්බුදුරජාණන් වහන්සේ ඒත්තු ගන්වන්නට යෙදුණේ “වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” (සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු ය. නොපමාව කුසල් දහම් වඩව්) යන්නයි. එබැවින් බුද්ධ ශ්‍රාවකයන් හැටියට සෑම බෞද්ධයකුගේ ම ප්‍රාර්ථනය විය යුත්තේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. එහෙයින් මෙම පොහොය දිනයේ දී පින්වත් ඔබගේ කුසල් දහම් වර්ධනය වේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිවනින් සැනසෙත්වා! සාධු සාධු සාධු.....!!!

බර්මින්හැමි බෞද්ධ මහා විහාරාධිපති
ආචාර්ය 
විතාරන්දෙණියේ කස්සප මාහිමි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

Seewali Maha Rahathan Wahanse සීවලී මහරහතන් වහන්සේ

බුදුරදුන්ගේ පළමු ලංකා ගමනය සිදු වූ දුරුතු පුන් පොහෝදා



දුරුතු මස පුර පසළොස්වක පොහෝ දින ලංකාවාසී බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. සුමන සමන් දෙවියන් බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවූයේ ද ඒ දින ම ය.

අප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් මාස නමයක් ගත වූ පසු එළඹුණ දුරුතු පුන්පොහෝ දින උන්වහන්සේ ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදී සිදුවීම් රැසක් දුරුතු පුන් පොහෝදා සිදුවී තිබේ.


දුරුතු පුන් පොහොය උදාවෙමින් පැවතිණ. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිසගේ වාසනා ගුණය දිවැසින් දුටු සේක. බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත වැඩමවා, දහම් දෙසා, ඔවුන් පැවිදි කළ සේක. එහි දී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට ‘ආදිත්ත පරියාය’ සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත් වූ සේක.

ඒ සමඟ ම දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනය උදාවිය. මේ කාලයේ මෙම ලංකාද්වීපයේ වාසය කළේ යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයෝ ය. එදින අලුයම ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ මහානාග වනෝද්‍යානයේ කඳවුරු බැඳගෙන සිටි විශාල යක්ෂ ගෝත්‍රික පිරිසක් දුටු සේක. ඒ අය කෙරෙහිත්, අනාගත ලංකාවාසීන් කෙරෙහිත් අනුකම්පා සහගත වූ බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් මහියංගණයට වැඩම කොට මහියංගණ චෛත්‍ය පිහිටන ස්ථානයේ සම්කඩ අතුරා වැඩහිඳ සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්වූ සේක. මෙයින් බියට පත් යක්ෂයින්ට අනුකම්පා කර ඔවුන් ගිරි දිවයිනකට පළවා හැරි උන්වහන්සේ ඉන් අනතුරුව ලක්දිව සිව් දිගින් පැමිණි සුමන සමන් දෙවියන් ඇතුළු දෙව් පිරිස සරණ සීලයේ පිහිට වූ සේක.

එලෙස යක්ෂයින් දමනය කර ගිරි දිවයිනට පළවා හැර, ඒ අවස්ථාවේ දී රැස්වුණා වූ දේව හා නාග පිරිස් තිසරණ ගැන්වීමෙන් බුදුරජ ාණන් වහන්සේ ලංකාවේ බුදුසසුන පිහිටුවීම පිණිස සිදු කළ යුතු මූලික පසුබිම සකස් කළ සේක. ඒ අනුව මෙරට බුදු දහම පැතිරීමට ඉවහල් වූ මූලික අඩිතාලම මෙලෙස සකස් විය.

දුරුතු පුන් පොහොය දින බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ ලක්වැසි පිරිස අතර සුමන සමන් දෙවියෝ ද වූහ. නිරාමිස සතුටකින් හා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔද වැඩී ගිය සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවැත්වීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලා සිටියහ.ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් සේක. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම උන්වහන්සේ උදෙසා පුද සත්කාර කිරීම පිණිස පූජා වස්තු ලෙස කේශ ධාතූන් වහන්සේ ලබා දීම කිහිප අවස්ථාවක දී ම සිදු වී ඇති අතර, දුරුතු පුර පසළොස්වක පොහෝදා බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ට ලබා දුන්නේ ද එබඳු පූජා වස්තුවකි.

මහත් ගෞරවයෙන් යුක්තව එම කේශ ධාතූන් වහන්සේ භාරගත් සුමන සමන් දෙවියෝ ඒවා තැන්පත් කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සත්රියන් චෛත්‍යයක් කළෝ ය. ලක්දිව මුල් වරට ඉදිකරන ලද චෛත්‍යය ලෙස සැලකෙන්නේ මෙම චෛත්‍යයයි. දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක දී ඉදි කරන ලද ඒ චෛත්‍යය අද මහියංගන සෑ රදුන් ලෙස සිරිලක ප්‍රකට වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම ලක්දිව චෛත්‍යය වන්දනාව ආරම්භ වූ බවත්, ඒ අනුව මෙරට බෞද්ධයන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් බෞද්ධ ප්‍රතිපත්තිය එකල විසූ ගෝත්‍රික ජනතාව අතර ද පැතිරෙන්නට වූ බවත් ය.

බෞද්ධයා මුල් කාලයේ පටන් ලක්දිව බුදු සසුන සමඟ බැඳුණ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සලකා තිබෙන බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබාගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි. ඉන් අනතුරුව චූලාභය රජතුමා මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ තිස් රියන් කොට බැඳවී ය. තව ද ලක්දිව බුදුසසුනේ චිරස්ථිතිය පිණිස සටනට ගිය දුටුගැමුණු රජතුමා තම සටන් ව්‍යාපාරය ආරම්භ කළේ මහියංගණ චෛත්‍යය අසූ රියන් කොට බඳවා බුදුසසුන සුරැකීමට කළ අධිෂ්ඨානයත් සමඟම ය.
උදාවූ දුරුතු පුන් පොහෝදා මෙලෙස ලක්දිව බුදුසසුන ස්ථාපිත කිරීම පිණිස මූලික කටයුතු රාශියක් සැකසීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එදින සෘද්ධි බලයෙන් උරුවෙල් දනව්වට ම වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ දහසක් පමණ වූ පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ සමඟ රජගහනුවරට වැඩම කිරීම ආරම්භ කළේ ද එදිනම ය. මේ පිරිස එකල දඹදිව කීර්තිමත් ජටිල පිරිසක් වූ අතර, බුදු සසුනේ පැහැදී, පැවිදිවීමෙන් අනතුරුව එතෙක් කලක් මිනිසුන් අතර පැවැති මිත්‍යා විශ්වාස දුරුකර ඔවුන් බුදු සව්වන් කිරීමේ මූලික අදහස අනුව මෙම යාත්‍රාව දුරුතු පුන් පොහෝදා ඇරඹිණි. බිම්බිසාර රජතුමා ඇතුළු විශාල පිරිසක් සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කොට බුදු දහමේ අචල ශ්‍රද්ධාවක් ඇති පිරිසක් බවට පත් වූයේ ද එදා උන්වහන්සේ ආරම්භ කරන ලද මෙම ධර්ම යාත්‍රාව නිසා ය. තවද මුල් ම ආරාම පූජාව සිදු වූයේ ද මෙම චාරිකාව නිසා ය.

ලක්දිව අගනා පින්බිමක් වූ කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ව පවත්වනු ලබන දුරුතු පෙරහර සිදු කරනු ලබන්නේ ද දුරුතු පුර පසළොස්වක පොහෝ දා ය. බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ ස්ථානයකි කැලණිය. එහිදී උන්වහන්සේ කැලණි ගඟෙන් දිය නා පරිභෝග කළ මැණික් පුටුව ද කැලණි චෛත්‍යය තුළ නිදන් කර ඇති බවත්, ඒ උතුම් වැඩම වීම සිදුවූයේ වෙසක් පොහෝ දිනක බවත් සඳහන් වී ඇත. කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවස්ථාව සිහිපත් කරමින් කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු පින්කම පවත්වනු ලැබේ.
දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ.

ලක්දිව බුදුසසුන ස්ථාපිත කිරීමට මූලික පදනම සකස් වුණ දුරුතු පුර පසළොස්වක පොහෝ දින ආගමික වටිනාකම් වටහාගෙන අපි මෙවර දාන ශීල හා භාවනා දී ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමු. ඒ අනුව කටයුතු කර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියම අනුගාමිකයන් ලෙස නිවන් මග පසක් කිරීමට සියලුදෙනා පිළිවෙතින් පෙළ ගැසෙමු.

අලුතෑපොල ගණේකන්ද පූරාණ රාජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සමඟ සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කළ වගයි




ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන, සංඝමිත්තා මහ රහත් තෙරණිය ගැන, ලංකා භික්ෂුණී සංඝයාගේ ආරම්භය හා සිංහල කාන්තා ප්‍රබෝධය ගැන වඩ වඩාත් කතාබස් කෙරෙන උඳුවප් පොහෝ දිනය සිංහල බෞද්ධයාගේ ජීවිතයට සෞභාග්‍යය කැන්දන ශ්‍රේෂ්ඨ දිනයකි.

පොසොන් පොහෝ දින මිහින්තලා කන්දෙන් පැන නැඟී ලක්දිව දස අතට විහිදී ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගංගාවෙන් නැහැවී ගිය සියලු ම සිංහලයෝ කෙටි කලක් තුළ බෞද්ධයන් බවට පත්වූහ. අධර්මයෙන් වෙලී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් අඳුරු වී පැවති මේ රට ධර්මය රජකරන ධර්මද්වීපයක් බවට පත් කළෝ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය.ඒ උතුම් ශාසනික මෙහෙවර නිසා බොහෝ සිංහලයෝ බුදු සසුනෙහි පැවිදි වන්නට වූ හ. මිහිඳු මහරහතන් වහන්සේගෙන් දහම් අසා මගඵල පසක් කරමින් මුලින් ම ආර්ය ශ්‍රාවක බවට පත්වීමට වාසනාව ලද්දේ අනුලාවන් ප්‍රධාන අන්තඞපුර ස්ත්‍රීහු ය. නමුත් ඒ වන විට ලක්දිව උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා වැඩ නො සිටි බැවින්, ඔවුන්ට තම ගෞතම බුදු සසුනේ පැවිදිවීමේ අපේක්ෂාව මුදුන්පත් කර ගැනීමට නො හැකිව තිබුණි.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව අනුව, දෙවනපෑතිස් නිරිඳුන් දඹදිව ධර්මාශෝක මහා රාජයාණන් වෙත රාජකීය දූතයන් පිටත්කර හරින ලද්දේ ඒ අනුව ය.

“ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නො මැති බැවින් එය කළ නො හැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි වැඩම කරවනු මැනවි. එසේ ම මීට පෙරත් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධි රාජයාණන්ගේ ශාඛාවක් ද වැඩමවනු මැනව....”
සන්දේශය රැගෙන රාජකීය දූත පිරිස දම් සෝ නිරිඳුන් වෙත එළැඹුණු කල්හි, එහි වූ පණිවුඩයෙන් රජතුමාගේ හද ශෝකයෙන් බර වන්නට විය. සිය පුත්‍ර රත්නය වූ මහින්ද කුමාරයාත්, මුණුපුරා වූ සුමන කුමාරයාත් උතුම් පැවිදි බව ලබා ඒ වන විට ලක්දිවට වැඩම කොට මාස කීපයක් ගත වී තිබුණි. පුත්‍ර වියෝවෙන් උපන් ශෝකය තුනී කරමින් වැඩ සිටි තමන්ගේ දුහිතෘ වූ සංඝමිත්තා තෙරණිය නිසා සැනසී සිටි ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට කැමැත්තක් නො දැක්වී ය.

“පියාණෙනි, මාගේ සහෝදරයන් වහන්සේගේ වචනයට මා ගරු කළ යුතු යි. අනුලාව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් පැවිදි වීමේ අපේක්ෂාවෙන් මා බලාපොරොත්තුව සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකාවාසීන්ට සිදුවනු ඇත.” සංඝමිත්තා තෙරණින් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමෙන් පහ වූ ශෝක ඇති රජතුමා "දියණියන් වහන්ස, එසේ නම් වඩිනු මැනවි. මාගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට ම සේවය පිණිස වේවා.! එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමඟ ම බෝධිරජාණන් වහන්සේගේ ශාඛාවක් ද රැගෙන වඩිනු මැනවි. මම එයට කටයුතු පිළියෙල කොට දෙන්නෙමි” කී ය.

රජතුමා ට තවත් ගැටලුවකි. “කෙසේ ද මා ලක්දිවට වැඩම කිරීම පිණිස බෝධි ශාඛාව සිඳලන්නේ.....? එය කෙසේවත් කළ නො හැක්කකි. “ධර්මාශෝක අධිරාජ්‍යයා රාජ මාලිගාවේ මහා සංඝයා විෂයයෙහි මහා දානයක් සංවිධානය කළේ ය. දන් පිරිනමා අවසානයේ මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළ යුතුදැයි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විමසී ය. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනාව වූයේ, තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව මහ බෝ ශාඛාව ලක්දිවට වැඩම කළ යුතු ම බවයි.

“ලංකාවේ රෝපණය කිරීම පිණිස බෝධි ශාඛාව ගැනීමට අශෝක අධිරාජ්‍යයා එළැඹුණු කල්හි, බෝධි ශාඛාව තමන් විසින් ම ගැලවී රන් කටාරමේ පිහිටාවා!” බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වලා ගැබක් අතරට වැදී සිටීවා.!
සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කොණෙහි, පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේවා!”
පිරිනිවන් මංචකයේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් සිදුකළ මෙම අධිෂ්ඨානයන් අසා සතුටට පත් රජතුමා දහස් ගණන් මහරහතන් වහන්සේලා ද, අභිසෙස් ලද දහසකට අධික රජ දරුවන් ද අප්‍රමාණ ජන සමූහයක් ද, සමඟින් බෝධීන් වහන්සේ වෙත එළැඹුණේ පැලලුප් නුවර සිට සැරසූ සත් යොදුන් මහ පෙරහරිනි.
රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා දෑත් බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලුවේ ය. එකෙණෙහි ම දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ කොටස ඉතිරි කොට සියලුම ශාඛාවෝ අන්තර්ධාන වූ හ. මේ අසිරිමත් පෙළහරින් අතිශය සතුටට පත් රජතුමා “දඹදිව රාජ්‍යයෙන් පුදමි” යි අභිසෙස් කළේ ය. නැවතත් සුගන්ධයන් පූජා කොට තුන් වරක් පැදකුණු කොට අට තැනක දී ඇගිලි බැඳ බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් නමස්කාර කළේ ය. ඉක්බිති මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රනින් කළ මනරම් කටාරම තැබ්බවී ය.

රුවන් පුටුව මතට නැගී රන් තෙලි කූරක් ගෙන බෝධි ශාඛාවේ ඉරක් ඇඳ “මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම විය යුතු නම්, එසේ ම සර්වඥ ශාසනයෙහි මාගේ සැකයක් නැති බව සත්‍යයක් නම්, බෝධි ශාඛාව තමන් වහන්සේ ම බිඳී රන් කටාරමෙහි පිහිටාවා!” යි අධිෂ්ඨාන කළේ ය. සියල්ල එසේ ම සිදු විය. අසිරිය දුටු මහාසංඝයා වහන්සේ ඇතුළු සියල්ලෝ ම සාධුකාර පැවැත්වූහ. බෝධි ශාඛාව මුල් සියයකින් යුක්තව කටාරමෙහි පිහිටි සේක. මහා පොළොව කම්පා විය. නා නා ප්‍රකාර වූ ප්‍රාතිහාර්යයන් පහළ වන්නට විය. මිනිස්, දෙව්, බඹ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව ම ඒකාලෝක විය. බෝධි ශාඛාවේ ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙන්නට විය. රජතුමා දෙවන වතාවට ද බෝධිය රාජ්‍යයෙන් පුදා අභිසෙස් කොට මහා බෝධි පූජා පැවැත්වී ය.

බෝධීන් වහන්සේ සමඟ එකළොස් නමක් තෙරණින් වහන්සේලා ඇතුළු සංඝමිත්තා තෙරණින් වහන්සේත්, මහා අරිට්ඨ කුමරුන් ප්‍රධාන ලාංකීය රාජකීය දූත පිරිසත්, බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට පිරිස වූ සොළොස් කුලයක පරිවාර ජනයාත් රැගත් නෞකාව සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාම්‍රලිප්ත නම් තොටට පැමිණියේ ය. දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් බෝධීන් වහන්සේ පුදමින් එහි ළඟා වූ හ. අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පිදී ය. බෝධි රාජයාණන් වහන්සේ ඔසවාගෙන කරවටක් ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. “මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධිරාජයා පිදුවෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේ ම කරත්වා යි” කියා නැව පිටත් කරවී ය.


මහා පෙරහරින් නැව් නැංග වූ මහා බෝධි ශාඛාව අතරමග දී දෙවියන්ගේත්, නාගයින්ගේත් නොයෙක් පුද පූජා ලබමින් ලක්දිව දඹකොළ පටුනට වැඩම කරවූ එදින උඳුවප් මහේ පුරපසළොස්වක සඳ අහස් ගැබ මෝදුවෙමින් තිබුණි. නැව වෙරළට සැපත් වූ පසු දේවානම්පියතිස්ස රජතුමා ද කරවටක් ජලයට බැස උතුම් බෝධි ශාඛාව ද, සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා ද, සොළොස් කුල පරිවාර ජනයා ද මහත් හරසරින් පිළිගෙන මනහර පෙරහරින් යුතුව ගෞරව භක්ති පෙරදැරිව රාජකීය සම්මාන සහිතව දෙපස සැරසූ මාර්ග ඔස්සේ අනුරපුර මහමෙව්නාව උයන වෙත වැඩම කරවී ය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි, පෙර තුන් බුදුරජාණන් වහන්සේලාගේ බෝධි ශාඛාවන් ද සුපිහිටි සුපින්වත් භූමියේ උභතෝ සංඝයාගේ සාධු නාද මධ්‍යයේ මිහිකත කම්පා කරවමින් බෝධි ශාඛාව පිහිටුවා වදාළ සේක. සවණක් ඝන බුදුරැස් විහිදුවමින් පෙළහර පාන බෝධීන් වහන්සේගේ ආශ්චර්යය දුටු රජතුමා ලක් රජයෙන් බෝධීන් වහන්සේ පිදී ය. අනුරාධපුර උතුම් පින්බිමෙහි, ජය සිරිමා බෝ සමිඳුන් මුල් බැස ගත්තේ එසේ ය. සිරිමා බෝ සමිඳුන්ගේ ඒ උතුම් ආනුභාවය, උතුම් ආශීර්වාදය සිංහල ජාතියේත්, සිංහල දේශයේත් මුල්බැස ගියේ ය.

එදා මෙදා තුර ගෞතම බුදු සසුන සුරකිමින්, සිංහල දේශයට, සිංහල ජාතියට, සමස්ත ලෝකයට ම ආශීර්වාදයක් වෙමින් උතුම් සිරිමා බෝධීන් වහන්සේ අනුරපුර පින්බිමේ උඩමළුවේ නිරුපද්‍රිතව වැඩ සිටිති. ඒ උතුම් සිරිමා බෝ සමිඳුන්ට, උඳුවප් මස පුන් පොහෝ දින ලක්දිවට වැඩම කොට, ලක්දිව භික්ෂුණී සංඝයා ඇති කළලක්දිව බුදු සසුනේ උන්නතිය උදෙසා ම කැප කරමින්, හෙළ කතුන්ගේ පරමාදර්ශය බවට පත් වෙමින් සසුන් කෙත ශෝභමාන කළ සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන ඒ සියලු අරහත් තෙරණින් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.!

පොල්ගහවෙල මහමෙව්නා 
භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අසිරිමත් සිරිපා වන්දනා වාරය



අසිරිමත් සිරිපා වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ඇරැඹේ. එතැන් සිට පුරා අඩ වසරක කාලයක් වූ 2019 වෙසක් පුර පසළොස්වක පෝය දක්වා සිරිපා වන්දනාවට දෙස් විදෙස් සැදැහැවත්හු සහභාගි වෙති.
සබරගමු වැසි වූ සුමන සමන් දෙවිරදුන් ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනල ගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළහ. එවක් පටන් අද වන තෙක්ම ලොව වෙසෙන මනුෂ්‍යයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන් අතර පූජනීය උරුමයක් වූ පින්බිමක් වේ.

අතිදුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වයි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොල, මහනුවර ආදී රාජධානි සමයන්හි රාජ්‍ය පාලනය කළ මහ රජවරුන්ගේ ගෞරවයට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට නොයෙක් පුද පූජා සිදු කර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම, සන්නස් තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ. මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පැමිණ අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍ර වේ.

අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ.තථාගතයන් වහන්සේ සමන් දෙව්රදුන්ගේ ඇරැයුමෙන් ඉන්ද්‍රනීලමාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ සේක. මිස දිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.

අපේ රටේ පමණක් නොව ලොව නන්දෙසින් පැමිණෙන වන්දනාකරුවෝ සිරිපා වන්දනාවාරය පැමිණෙන තෙක් නොඉවසිල්ලිමත්ව බලා සිටිති. ගතට සිතට සහනය සුවය ළඟා කර දෙන සිරිපා වන්දනාවාරයේ දී එදා අපේ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර තම දේපළ පවා දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනාකාරී වූ හ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදා වී ඇත. ඇතැම් විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ ඊටත් වඩා ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. සමන් දෙවිරදුන්ගේ අඩවියෙහි දී කටවරද්දා ගැනීමෙන් වැළකී වන්දනාවට පැමිණීමට ද වග බලා ගත්හ. අතීතයේ දී අපේ මුතුන් මිත්තෝ දින සති ගණන් ගෙවමින් යන වන්දනා චාරිකා සංවිධානය කළහ. ඊට සිරිපා වන්දනාව ද නිරන්තරයෙන් ඇතුළත් විය.වෙහෙරක කොත් කැරැල්ලක හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන පුදබිමක් ලොව වෙනත් තැනක තිබේදැයි සිතා බැලිය යුතු වේ. උතුම් ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ලොව අන්කිසි තැනකට නොදෙවෙනි සංකේත දෙකක් ද වේ. එකක් නම් මොහඳුරු දුරු කරන පහන් ආලෝකය වූ දොළොස් මහේ පහනයි. අනෙක නම් පැමිණ වන්දනා කළ වාර ගණන සනිටුහන් කරන ඝන්ඨාරයයි. දොළොස් මහේ පහනින් තෙල් බිඳක් රැගෙන ගොස් නොයෙක් ලෙඩ දුක් සුවකර ගැනීමට ද උපයෝගී කරගනු ලැබේ.

සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියෙකු ද විය. ඔහු හෝ ඇය හැඳින්වූයේ (නඩේ ගුරා) කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ය. ජාති, ආගම් ආදී වාද භේද කිසිවක් දක්නට නොලැබෙන සිරිපා වන්දනා කරන බැතිමතුන් ‘වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනාකරුවන්ට ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. ආදී වශයෙන් ඔවුනොවුන් සිත් පහන් වන අයුරින් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම ද සුලභ ය.

ඔවුනොවුන් අන්‍යොන්‍ය වශයෙන්, සුහදත්වයෙන් වන්දනා කරන සුවිශේෂී පුදබිමක් වන ශ්‍රී පාදස්ථානය අසිරිමත් මහ පුදබිමකි. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතයයි. දෙස් විදෙස් සැදැහැවතුන්ගේ පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානයකි ශ්‍රී පාදස්ථානය.

අසිරිමත් සම්බුදු පහසින් පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අසිරියකි. ගතට සැනසුම දෙන පරිසරයක් මෙන්ම, ජල සම්පත උදාකරන මෙවන් ස්ථානයක් වෙනත් නොවේ.
පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරයන්හි අධිපති සබරගමු රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා වහන්සේ වන්දනා සහ ප්‍රදර්ශනය දෙසැම්බර් 20 වනදා ආරම්භ වී පසුදා අලුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ දී සිදු කෙරිණි. අනතුරුව සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා වහන්සේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ සිට මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් ඓතිහාසික ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කෙරිණි.
පළමු පෙරහර හැටන් මාර්ගය ඔස්සේ 21 වන දා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයෙන් පෙරවරුවේ ගමන් ඇරඹීමට නියමිතව තිබිණි. ඒ කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, කරවනැල්ල, හැටන්, මස්කෙළිය, නල්ලතන්ණිය හරහා ය. දෙවන පෙරහර පලාබත්ගල මාර්ගය ඔස්සේ 21 වන දා අලුයම ගමන් අරඹා පැල්මඩුල්ල, ගනේගම, පාතකඩ, ලෙල්ලුපිටිය, සබරගමුව සමන් දේවාලයට ගොස් ගල්කඩ්වමල්වල පාර ඔස්සේ පලාබත්ගල ඔස්සේ ගමන් කිරීමට නියමිතව තිබිණි.

තෙවන පෙරහර බලන්ගොඩ මාර්ගය ඔස්සේ 21 වන දා උදෑසන ආරම්භ කිරීමට නියමිත වූ අතර පැල්මඬුල්ල නගරය ඔස්සේ කාමරංගපිටිය, ඕපනායක, බලන්ගොඩ පින්නවල බගවන්තලාව පාරෙන් මස්කෙළිය හරහා නල්ලතන්ණිය දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි .

22 වන දා උතුම් පූජනීය වස්තූන් ශ්‍රී පාද මළුවට වැඩම කර ශ්‍රී පාද භාර නාහිමියන් ඇතුළු මහ සඟරුවන විසින් ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් නහවා පුද සිරිත් පවත්වා අලුයම 5.20 ට පහන් ආලෝක පූජාව ද පූජනීය වස්තූන් තැන්පත් කිරීම ද සිදුකර ලොවට ආශීර්වාදය පිණිස සිරිපා වන්දනා වාරය ආරම්භ වේ.

බෞද්ධ පත්‍ර කලා විශාරද, 
සීසර් සුදුසිංහ