බුදුරදුන්ගේ පළමු ලංකා ගමනය සිදු වූ දුරුතු පුන් පොහෝදා



දුරුතු මස පුර පසළොස්වක පොහෝ දින ලංකාවාසී බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. සුමන සමන් දෙවියන් බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවූයේ ද ඒ දින ම ය.

අප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් මාස නමයක් ගත වූ පසු එළඹුණ දුරුතු පුන්පොහෝ දින උන්වහන්සේ ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදී සිදුවීම් රැසක් දුරුතු පුන් පොහෝදා සිදුවී තිබේ.


දුරුතු පුන් පොහොය උදාවෙමින් පැවතිණ. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිසගේ වාසනා ගුණය දිවැසින් දුටු සේක. බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත වැඩමවා, දහම් දෙසා, ඔවුන් පැවිදි කළ සේක. එහි දී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට ‘ආදිත්ත පරියාය’ සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත් වූ සේක.

ඒ සමඟ ම දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනය උදාවිය. මේ කාලයේ මෙම ලංකාද්වීපයේ වාසය කළේ යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයෝ ය. එදින අලුයම ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ මහානාග වනෝද්‍යානයේ කඳවුරු බැඳගෙන සිටි විශාල යක්ෂ ගෝත්‍රික පිරිසක් දුටු සේක. ඒ අය කෙරෙහිත්, අනාගත ලංකාවාසීන් කෙරෙහිත් අනුකම්පා සහගත වූ බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් මහියංගණයට වැඩම කොට මහියංගණ චෛත්‍ය පිහිටන ස්ථානයේ සම්කඩ අතුරා වැඩහිඳ සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්වූ සේක. මෙයින් බියට පත් යක්ෂයින්ට අනුකම්පා කර ඔවුන් ගිරි දිවයිනකට පළවා හැරි උන්වහන්සේ ඉන් අනතුරුව ලක්දිව සිව් දිගින් පැමිණි සුමන සමන් දෙවියන් ඇතුළු දෙව් පිරිස සරණ සීලයේ පිහිට වූ සේක.

එලෙස යක්ෂයින් දමනය කර ගිරි දිවයිනට පළවා හැර, ඒ අවස්ථාවේ දී රැස්වුණා වූ දේව හා නාග පිරිස් තිසරණ ගැන්වීමෙන් බුදුරජ ාණන් වහන්සේ ලංකාවේ බුදුසසුන පිහිටුවීම පිණිස සිදු කළ යුතු මූලික පසුබිම සකස් කළ සේක. ඒ අනුව මෙරට බුදු දහම පැතිරීමට ඉවහල් වූ මූලික අඩිතාලම මෙලෙස සකස් විය.

දුරුතු පුන් පොහොය දින බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ ලක්වැසි පිරිස අතර සුමන සමන් දෙවියෝ ද වූහ. නිරාමිස සතුටකින් හා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔද වැඩී ගිය සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවැත්වීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලා සිටියහ.ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් සේක. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම උන්වහන්සේ උදෙසා පුද සත්කාර කිරීම පිණිස පූජා වස්තු ලෙස කේශ ධාතූන් වහන්සේ ලබා දීම කිහිප අවස්ථාවක දී ම සිදු වී ඇති අතර, දුරුතු පුර පසළොස්වක පොහෝදා බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ට ලබා දුන්නේ ද එබඳු පූජා වස්තුවකි.

මහත් ගෞරවයෙන් යුක්තව එම කේශ ධාතූන් වහන්සේ භාරගත් සුමන සමන් දෙවියෝ ඒවා තැන්පත් කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සත්රියන් චෛත්‍යයක් කළෝ ය. ලක්දිව මුල් වරට ඉදිකරන ලද චෛත්‍යය ලෙස සැලකෙන්නේ මෙම චෛත්‍යයයි. දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක දී ඉදි කරන ලද ඒ චෛත්‍යය අද මහියංගන සෑ රදුන් ලෙස සිරිලක ප්‍රකට වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම ලක්දිව චෛත්‍යය වන්දනාව ආරම්භ වූ බවත්, ඒ අනුව මෙරට බෞද්ධයන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් බෞද්ධ ප්‍රතිපත්තිය එකල විසූ ගෝත්‍රික ජනතාව අතර ද පැතිරෙන්නට වූ බවත් ය.

බෞද්ධයා මුල් කාලයේ පටන් ලක්දිව බුදු සසුන සමඟ බැඳුණ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සලකා තිබෙන බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබාගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි. ඉන් අනතුරුව චූලාභය රජතුමා මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ තිස් රියන් කොට බැඳවී ය. තව ද ලක්දිව බුදුසසුනේ චිරස්ථිතිය පිණිස සටනට ගිය දුටුගැමුණු රජතුමා තම සටන් ව්‍යාපාරය ආරම්භ කළේ මහියංගණ චෛත්‍යය අසූ රියන් කොට බඳවා බුදුසසුන සුරැකීමට කළ අධිෂ්ඨානයත් සමඟම ය.
උදාවූ දුරුතු පුන් පොහෝදා මෙලෙස ලක්දිව බුදුසසුන ස්ථාපිත කිරීම පිණිස මූලික කටයුතු රාශියක් සැකසීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එදින සෘද්ධි බලයෙන් උරුවෙල් දනව්වට ම වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ දහසක් පමණ වූ පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ සමඟ රජගහනුවරට වැඩම කිරීම ආරම්භ කළේ ද එදිනම ය. මේ පිරිස එකල දඹදිව කීර්තිමත් ජටිල පිරිසක් වූ අතර, බුදු සසුනේ පැහැදී, පැවිදිවීමෙන් අනතුරුව එතෙක් කලක් මිනිසුන් අතර පැවැති මිත්‍යා විශ්වාස දුරුකර ඔවුන් බුදු සව්වන් කිරීමේ මූලික අදහස අනුව මෙම යාත්‍රාව දුරුතු පුන් පොහෝදා ඇරඹිණි. බිම්බිසාර රජතුමා ඇතුළු විශාල පිරිසක් සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කොට බුදු දහමේ අචල ශ්‍රද්ධාවක් ඇති පිරිසක් බවට පත් වූයේ ද එදා උන්වහන්සේ ආරම්භ කරන ලද මෙම ධර්ම යාත්‍රාව නිසා ය. තවද මුල් ම ආරාම පූජාව සිදු වූයේ ද මෙම චාරිකාව නිසා ය.

ලක්දිව අගනා පින්බිමක් වූ කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ව පවත්වනු ලබන දුරුතු පෙරහර සිදු කරනු ලබන්නේ ද දුරුතු පුර පසළොස්වක පොහෝ දා ය. බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ ස්ථානයකි කැලණිය. එහිදී උන්වහන්සේ කැලණි ගඟෙන් දිය නා පරිභෝග කළ මැණික් පුටුව ද කැලණි චෛත්‍යය තුළ නිදන් කර ඇති බවත්, ඒ උතුම් වැඩම වීම සිදුවූයේ වෙසක් පොහෝ දිනක බවත් සඳහන් වී ඇත. කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවස්ථාව සිහිපත් කරමින් කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු පින්කම පවත්වනු ලැබේ.
දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ.

ලක්දිව බුදුසසුන ස්ථාපිත කිරීමට මූලික පදනම සකස් වුණ දුරුතු පුර පසළොස්වක පොහෝ දින ආගමික වටිනාකම් වටහාගෙන අපි මෙවර දාන ශීල හා භාවනා දී ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමු. ඒ අනුව කටයුතු කර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියම අනුගාමිකයන් ලෙස නිවන් මග පසක් කිරීමට සියලුදෙනා පිළිවෙතින් පෙළ ගැසෙමු.

අලුතෑපොල ගණේකන්ද පූරාණ රාජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

No comments:

Post a Comment