සමනල අඩවියට අධිපති සුමන සමන් දෙවියෝ Sumana saman deviyo

 


සිරිපා සමය සමග කියැවෙන වැදගත්ම කරුණ වන්නේ සුමන සමන් දෙවියෝය. සුමන සමන් දෙවියන්ගේ දේව රූපයත් දේවාභරණත් ශ්‍රීපාදස්ථානයට වැඩම කිරිමෙන් පසු වාර්ෂික සිරිපා වන්දනාවාරය ආරම්භ වීම පැවත ආ සිරිතයි. ඒ කාලය සිරිපා වාරයයි. 

හය මාසයක් පවතින වන්දනා වාරය ඊළඟ අවුරුද්දේ වෙසක් පොහොය දිනයෙන් අවසන් වන්නේ සුමන සමන් දෙවියන්ගේ දේව රූපත් දේවාභරණත් ශ්‍රීපාදස්ථානයෙන් ආපසු වැඩම කිරිමෙන් අනතුරුවය. ඒ කාලය සිරිපා අවාරයයි. 

ඒ නිසා සිරිපා වන්දනා වාරයත් සුමන සමන් දෙවියනුත් අතර ඇත්තේ එකම බැඳීමකි. මේ සුමන සමන් දෙවියන් කවුද? සුමන් සමන් දෙවියන් ගැන බොහෝ දෙනා දන්නේ බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩි අවස්ථාවේ දහම් අසා සෝවාන් ගිය දෙවියෙක් බවත්, ඒ දෙවියන්ගේ ආරාධනාවට දෙවියන්ගේ විමානය පිහිටි සමන්තකූඨ පර්වත මස්ථකයට වැඩම කර වම් සිරිපතුල පිහිටවු බවත් ය. 

ඊට අමතරව සමන් දෙවියන් යනු ලංකාවේ ආදිවාසී ගෝත්‍රයේ නායිකාව වූ මහ ලොකු කිරි අම්මාගේ සහෝදරයා බවත් ජනතාව අතර ඇති කතාවයි. එසේම ප්‍රාදේශීය පාලකයෙකුව සිට මියගිය පසු දේවත්වයට පැමිණ සුමන සමන් නමින් සිරිපා අඩවියට අධිගෘහිතව වැඩවසන බවටද ජන විශ්වාසයේ පවතී. බුදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි නිසා අණවිණ, කොඩිවිණ, හදි හූනියම් නොකරන ජනතාවට සෙත් පතන දෙවි කෙනෙකු බව ජනතාවගේ පූර්ණ විශ්වාසයයි. 

ඒ සුමන සමන් දෙවියන් ගැන වැඩි දෙනෙකු හිතන හැටිය. ඇත්තටම සුමන සමන් දෙවියන් කවුද? 

සුමන, සුපිරිසුදු මනසක් ඇති තැනැත්තා යන අරුත ගෙනෙන ලංකාව ආරක්‍ෂාකරන සතරවම් දෙවිවරුන්ගෙන් කෙනෙකි. මහාචාර්ය දයානනද සෝමසුන්දර සහ එච්.එම්.ජයන්ත විජේරත්න යන මහත්වරු විසින් සම්පාදිත සමනලගිරි වතගොත ග්‍රන්ථයේ ජයන්ත විජේරත්න මහතාගේ ලිපියක සඳහන් වෙන්නේ සුමන සමන් දෙවිඳුන් යනු කකුසඳ, කෝණාගම, කාශ්‍යප ගෞතම බුදුවරුන්ගේ කාලවල සුමන සමන් දෙවියන්ගේ පෙර ආත්ම භව ගැන මාධ්‍යවේදී ගාමිණී සූරියආරච්චි මහතා විසින් රචිත බිම්තැන්නේ පුදබිම් නම් ග්‍රන්ථයේ සඳහන් වන බවයි.   

ගාමිණී සුරියආරච්චි මහතා බිම්තැන්නේ පුදබිම් ග්‍රන්ථයට ඒ තොරතුරු ගෙන ඇත්තේ මහා සුමන පුරාවෘත නම් පුස්කොළ පොතක තිබූ තොරතුරු බවද එහි සඳහන් වෙයි. වනවාසී සුභූති නම් හිමිනමක් ් දඹදෙනි යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1228-1268) රජ සමයේ ඒ පුස්කොළ පොත් ලියා ඇතිබවත් ජයන්ත විජේරත්න මහතාගේ ලිපියේ දැක්වේ 

මහා දේව, මහා සුමන සහ ශ්‍රී සුමනදේව යනුවෙන් ආත්ම තුනකදී හඳුන්වා ඇත්තේ මේ සමන් දෙවිඳුන් බවත් ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් බණ 

අසා සෝවාන් ඵලයට පැමිණි පළමු හෙළයා සුමන (සමන්) දේවියන් බවද එම ග්‍රන්ථයේ දැක්වෙයි. 

මහියංගනය, සමනල අඩවිය, ඇතුලු විශාල ප්‍රදේශයක් වු මහානාග වන උයන සුමන සමන් නම් දේව ගෝත්‍ර නායකයෙක් සමනලකන්ද අගනුවර කරගෙන පාලනය කළ බව මහා වංශයේ සඳහන් වෙයි. ඒ සුමන සමන් යනු අපි කතා කරන සුමන සමන් දෙවියන්ය. ආදිවාසීන්ගේ නායිකාව ලෙස සැලකෙන මහලොකු කිරිඅම්මා වු ලොකු මහා දේවී, මහලොකු මෑණියෝ සුමන සමන් දෙවියන්ගේ අක්කාය. ඌව පළාතේ මොණරාගල තඹාන ප්‍රදේශයේ විසූ බව කියන චූල සුමන සුමන සමන් දෙවිඳුගේ මල්ලී බවද ඉතිහාස ග්‍රන්ථවල දැක්වේ. 

සුමන සමන් දෙවියන් යනු දඹදිව විසූ සිද්ධාර්ථ කුමරු (බෝධිසත්ත්වයන්) සුමන සමන් දෙවිඳුගේ මාමණ්ඩිය බව පර්යේෂකයන් විසින් තොරතුරු සොයගෙන ඇති බවද ජයන්ත විජේරත්න ලේඛකයා සිය ලිපියෙන් විස්තර කරයි.   

ලංකාවේ ඉතිහාස තොරතුරු ඇති වංශ කතාවල සඳහන්වන ගෝඨාභය කුමරු විසින් මරා දමන ලද දස බෑ සොහොයුරන් සුමන් සමන් කුමරුගේ පුත්‍රයන් බව ද සඳහන්ය. බෝවත්තේගල සෙල් ලිපියේ දස භාතික පුතුන් ලෙස සඳහන් වන්නේ මේ සුමන සමන් කුමරුගේ දරුවන් බව පර්යේෂකයන් සඳහන් කරන බව සමනලගිරි වතගොත කෘතියේ දැක්වෙයි. 

සුමන සමන් යනු සිව් හෙළයට අයත් වැසියෙකි. දේව, යක්‍ෂ, රාක්‍ෂ සහ නාග යන ගෝත්‍ර හතර සිව් හෙළයයි. විජය කුමරු එන්නට පෙර රට පාලනය කලෝ දේව ගෝත්‍රයයි. ගොවිතැන් කර්මාන්තයේ නියැලුනු අය යක්‍ෂ සහ රාක්‍ෂ ගෝත්‍රිකයන්ය. ධීවර කර්මාන්තයේ නියැලන අය නාග ගෝත්‍රිකයන්ය. එ අනුව සමනළ අඩවිය පාලනය කළ දේව ගෝත්‍රයේ ප්‍රාදේශීය පාලකයා සුමන සමන් 

කුමරුය. මරණයෙන් පසු සුමන සමන් නමින් දේවත්වයට පැමිණියේ මේ ප්‍රාදේශීය පාලකයා බවද සඳහන්ය. 

සුමන සමන් දෙවිඳුන් ගැන වංශකතා, ජනකතා, ඉතිහාස කතා ආදියේ මෙන්ම මුඛ පරම්පරාවෙන් එන කතා ද බොහෝමයකි.  ඒවා කෙටියෙන් ලියන්නට අපහසුය. 

අයහපත් දේ කරන්නට යන කෙනෙකුට සුමන සමන් දේවියන්ගේ අඩවියේදී යහපතක් නොවන බවට විශ්වාසයක් පවතී. ශ්‍රීපාද අඩවියේ එවැනි කතා ද බොහෝමයකි. 

දකුණු අතින් අභය මුද්‍රාවද, වම් අතින් නෙලුම් මලක් ද ගෙන  රන්වන් සමකින් වර්ණවත් වු, හිස මත රන් ඔටන්නක් පැළඳ, සුදු ඇත් වාහනෙන් සැර සරන සුමන සමන් දෙවියන් දෙව්ලොව සිට ලෝකවාසී සත්ත්වයාට පිහිට වන බව ගැමියන්ගේ මුවින් පිටවන ‘සමන් දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාවයි’ යන වදන්වලින්ම හැගීයයි. 

සටහන - අජිත්ලාල් ශාන්තඋදය

ලංකා දීප පත්‍රයෙන් උපුටා ගැනීමකි.

උඳුවප් පෝදා ගෙන වැඩි බෝධිය වඳිමු පුදමු ජය සිරිමහ බෝධිය

 


සිරිලකට විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වී ය. ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දා දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩම කරවන ලද බෝ සමිඳුන් දේවානම්පියතිස්ස මහ රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය. බෝ සමිඳුන් දඹකොළ පටුනේ දී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකොට සිරිලක එතෙක් නොවූ විරූ අන්දමේ විශාල උත්සවයක් පවත්වා ඇත.

බෝධි රෝපණය

බෝ සමිඳුන් අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත් කොට මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමකර වූ බව සමන්තපාසාදිකාවෙහි දැක්වෙයි. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන්නේ දඹකොළ පටුනෙන් පිටත් වූ මෙම පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත් පුද සත්කාර පිණිස නතර කර වූ බවයි.

ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රතිඝෝෂා මධ්‍යයේ ගමන්ගත් පෙරහර මහමෙව්නා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි රෝපණය කළ බව ද මහාවංසයෙහි සඳහන් ය. මෙය බුදු දහම සිරිලකට ගෙන ඒමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය.

මහාවංසයෙහි දැක්වෙන අන්දමට මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වී තිබේ. මේ අනුව ලංකාවේ සියලුම ප්‍රභූ ජන නායකයින් ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස බෝධි රෝපණ මහෝත්සවය සිදු වී ඇති බව පැහැදිලි සතියක් පුරාම පැවැති මෙම උත්සවයේ දී නගරවාසීන් නටමින්, ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබෙන බැව් සිංහල බෝධිවංසයෙහි මෙසේ දැක්වෙයි.

නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින්, බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින්, එළුසන් ඔල්වර හඬ ගසමින්, අත් පොළසන් දෙමින්, දහස් පළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ විථීයෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙව්නා උයනට පමුණුවා .......

ආරක්ෂක විධිවිධාන

මෙතැන් සිට බෝධි පූජාව මෙරට ජනතාව අතර බෙහෙවින් ම ජනපි‍්‍රය විය. මහා බෝධිවංසයේ සඳහන් පරිදි බෝධින් වහන්සේ සඳහා බෝධිඝරයක් ද ඉදි කළ අතර, එයට පුද පූජා පැවැත්වීම සඳහා ද, ආරක්ෂාව සඳහා ද විධිවිධාන සැලැස්වීය. මල් හා සුවඳ ද්‍රව්‍ය සැපයීමටත්, පරවූ මල් ඉවත් කිරීමටත්, සතුන්ගෙන් හා සතුරන්ගෙන් රැක ගැනීමත් අවශ්‍ය තනතුරු ඇතිකර නිලධාරීන් ද පත්කළ ආකාරය එහි සවිස්තරව දක්වා තිබේ.

“මහ බෝ මඟුල’ නමින් බෝධි පූජාවට සම්බන්ධ වාර්ෂික උත්සවයක් රජයේ මූලිකත්වයෙන් පැවැත් වූ බව පෙනේ. මල්, පහන්, සුවඳ ආදිය පිදීම ද අවට පරිසරය ධජ පතාකවලින් සැරසීම ද මෙකී පූජාවට ඇතුළත් විය.

බුද්ධත්වයේ සංකේතයක්

සිරිමහ බෝධිය වැඩමවීමෙන් පසුව එහි පූජනීයත්වය වඩාත් ඉස්මතු වන පරිදි අංකුර බෝධීන් වහන්සේ අට නමක් ද, ඵලරුහ බෝධින් වහන්සේ දෙතිස් නමක් ද, රජරට සහ රුහුණේ ද ඉන් බැහැර වෙනත් පළාත්වල ද රෝපණය කොට ජනතාව ගේ පූජෝපහාරයට පත් වූ අයුරු බෝධිවංසයේ විස්තර කර ඇත. මෙම බෝධි වන්දනාවේ ප්‍රධාන පරමාර්ථය වනුයේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම පිළිබඳ වූ ඓතිහාසික අවස්ථාව සිහිපත් කිරීම යි. එබැවින් ශ්‍රී මහා බෝධිය යනු බුද්ධත්වයේ සංකේතයකි.

වර්තමානයේ බෝධිය සෑම විහාරස්ථානයක ම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති අතර, බෝධි පූජාවේ දී නිරාමිස සංකල්ප මෙන්ම ලෞකික පරමාර්ථ ද ඉස්මතු වී තිබේ. ලෙඩ, දුක්, සොරසතුරු උවදුරු සහ නවග්‍රහ දෝෂ දුරලීම අරමුණු කර බෝධි පූජා පැවැත්වීමට අද සැදැහැවත් ජනතාවගෙන් වැඩිදෙනෙක් පුරුදුවී සිටිති.

ගාථා, කවි හා තාලයට කිව හැකි වැකි ද යොදා ගනිමින් බෝධි පූජා පවත්වනු දැකිය හැකි ය. තවද බෝධින් වහන්සේට අරක්ගත් දෙවිවරුන් ගැන ද සලකා ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් පූජා පවත්වන්නෝ ද වෙති.

ජනපි‍්‍රය කවි ගාථා

බෝධි පූජාවක දී ගායනා කෙරෙන කවි සහ ගාථාවල ගැඹුරු බෞද්ධ සංකල්ප ඇතුළත් වී නැතත් සාමාන්‍ය ජනතාවගේ සිත් ඇදගන්නා වූ ද, ඔවුන්ට ඉතා පහසුවෙන් තේරුම්ගත හැක්කා වූ ද ඔවුන්ගේ හදවත්වලට ළං වූ ද අදහස් කිහිපයක් තිබීම මෙය ජනපි‍්‍රයවීමට හේතු වන්නට ඇත.

පාලි මහා බෝධිවංසයේ ඇතුළත් පහත දැක්වෙන ගාථාවෙන් සිදුහත් බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳ අසිරිමත් සිදුවීම සිහිපත් කෙරෙයි.

යස්ස මූලෙ නිසින්නොව
සබ්බාරිවිජයං අකා
පත්තො සබ්බඤ්ඤුතං සත්ථා
වන්දෙතං බෝධිපාදපං

18 වැනි සියවසේ සිට මෙරට සැදැහැවත් ජනතාව භාවිතයට ගත් පහත සඳහන් බෝධි වන්දනා ගාථාව අදටත් එදා සේ ම බෙහෙවින් ජනපි‍්‍රය ව පවතියි.

ඉන්ද නීල වණ්ණ පත්ත - සෙත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි - පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම - දෙවරුක්ඛ සන්නිභං
තං විසාල බෝධි පාදපං - නමාමි සබ්බදා

ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ පත්‍ර ඇති, ස්වේත වර්ණ වූ කඳකින් බබළන බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර නමැති පියුම්වලින් පූජා කරනු ලැබුවා වූ උතුම් නිවන් සැප ගෙන දෙන දිව්‍ය වෘක්ෂයට සමාන වූ අග්‍රබෝධි නම් වූ උත්තම වෘක්ෂ රාජයා මම වඳිමි.

භික්ෂුණී සමාජය

සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩමවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනයි. සංඝමිත්තා තෙරණිය සමඟ දඹදිවින් වැඩම කළ භික්ෂුණීන් වහන්සේ නාම ලේඛනයක් දීපවංසයෙන් හමුවෙයි. එනම් උත්තර හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ථෙග්ගු, පබ්බතා, මත්තා, ධම්මදාසී, මහාදේවී, පදුමා, හේමකා, උන්නලා, අංජලී, සහ සුමා යන භික්ෂුණීන් වහන්සේය.

මෙම පිරිස ලක්දිවට වැඩමවීමෙන් පසුව දෙවන පෑතිස්ස මාලිගාවේ විසූ මහානාග යුවරජ දේවිය වු අනුලා බිසව ඇතුලු කුල කතුන්ට පැවිදිවීමේ භාග්‍යය උදා වුණි. මෙසේ ලක්දිව භික්ෂුණී සමාජය ආරම්භ වී නොබෝ කලකින් ම එය අනුරාධපුරයේ මෙන් ම මාගම රාජධානියේ ද ව්‍යාප්ත වූ බව පෙනේ. එහෙත් ක්‍රි.පූ. 10 වන සියවසින් පසු ලක්දිව භික්ෂුණී සමාජය පිළිබඳ සටහන් නොමැතිවීමෙන් පෙනෙන්නේ කෙමෙන් කෙමෙන් එය නාමශේෂ බවට පත්වූ බවයි.

ථේරවාදී භික්ෂු සමාජය පැවතියා වූ රටවල ද ඒ වනවිට භික්ෂුණී සමාජය පිරිහි ගොස් තිබීම නිසා අවිච්ඡින්න භික්ෂුණී චීවර පරම්පරාවක් සොයාගත නොහැකි විය. මෙම සබඳතාව සපුරාලීමේ අපහසුතාව භික්ෂුණී සමාජයේ අභාවය කෙරෙහි බලපෑවේ ය. පුරාතන භික්ෂුණී සමාජය සිහිගන්වමින් දැනට ලංකාවේ පවත්නා “දසසිල් මාතා සංවිධානය” ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සකස්කොට එය දියුණු කිරීමට පියවර ගැන්ම කාලීන වශයෙන් බෙහෙවින්ම යෝග්‍ය වන්නේ ය.


ඌරුගමුවේ අස්සජී හිමි

කොසොල් රජු දුටු 11 සිහිනය

කොසොල් රජු දුටු 10 සිහිනය

කොසොල් රජු දුටු 9 සිහිනය

සැදැහැ වඩන සිත් පහදන කඨින පින්කම් අදින් ඇරඹෙයි

 


කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය අදින් ඇරඹෙයි. එබැවින් මේ චීවර මාසය යි. සෑම වසරක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයා ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

දේවාවරෝහණය

කඨින චීවර පූජාව ආරම්භවීමට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් කිහිපයකි. ඉන් පළමුවැන්න නම් සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරදුන් සංකස්ස නගර ද්වාරයට වැඩම කිරීම යි. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ.

දිව්‍ය බ්‍රහ්ම සමූහයා ගේ පංචතූර්ය වාදනයන් හා සාධු නද මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝ ම බුදුවන්නට ප්‍රාර්ථනා කළහ. මෙම පූජෝත්සවය “දේවාවරෝහණ” නම් විය. මෙය දැකීමෙනුත්, බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සසුනෙහි පැවිදි බවට පත්වූයේ ද වප් පොහොය දිනෙක ය.

දූත චාරිකාවක්

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප්නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම එම දූත චාරිකාවෙහි අභිප්‍රාය විය.

විනය සංගායනාව

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුලු මහරහතන් වහන්සේ සැට අට නමක් දහසක් භික්ෂූන් වහන්සේ ද සමඟ ථූපාරාම විහාර මධ්‍යයට රැස්ව වප් පුර පසළොස්වක පොහෝදා විනය සංගායනාව ආරම්භ කළහ. මෙම ථූපාරාම විනය සංගායනාව පැවැත්වීමට කටයුතු සූදානම් කළේ දේවානම්පියතිස්ස මහ රජු ය.

වස් විසීම

දඹදිව සමාජ පරිසරය තුළ ඉතා ඈත අතීතයේ පටන් ම හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් වසරකට ඍතු තුනක් පැවතිණ. වසන්ත ඍතුවක් ද මීට එක්කොට ඇතැම් තැනෙක ඍතු සතරක් ලෙස ද දැක්වෙයි. වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් ව වැඩ සිටිති. වස් පින්කම් මාලාව නිමාවට පත් කෙරෙන කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය වප් පුර පසළොස්වක පොහෝදා සිට ඇරඹෙයි. එය සිදු කළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි.

කඨින පූජාව හා සමගාමීව පෙරහර, තොරණ, සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සාංඝික දාන පූජා, කප් රුක් පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රවල විශේෂතා දැකිය හැකි ය. මෙම චාරිත්‍රවල ඇතැම් අංග කාලානුරූපීව සකස්ව ඇති අතර ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍ර ගණයට අයත් වේ.

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේට චීවර පූජා කරන දිනයේ අලුයම කඨින චීවරය හෝ කඨින වස්ත්‍රය විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. මේ වන විට ඒ වෙනුවෙන් අතිඋත්කර්ෂවත් පෙරහරක් පවත්වනු දැකිය හැකි ය. මෙම පෙරහර සඳහා කැපකරු දායක පක්ෂයේ ශක්තිය අනුව අලි ඇතුන්, හේවිසි තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්කෘතික අංග එක්වන බැව් පෙනේ. මෙම කඨින පෙරහර වීදි සංචාරය කරනුයේ ඒ ඒ විහාරස්ථානවලට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. සැදැහැවත් විශාල පිරිසකට කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන්වීමට ඉඩ ප්‍රස්තාව සැලසීම මෙම පෙරහරෙහි ප්‍රධාන පරමාර්ථය යි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්ත්‍රය මොහොල් ගසක ඔතා දෙදෙනකු කර තබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙන යනු දැකිය හැකි ය. මේ නිසා මඟ දෙපස රැස්වන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින් ම ස්පර්ශ කොට පින් අනුමෝදන් වීමේ භාග්‍යය හිමි වෙයි.

මෙලෙස තුන්යම් රාත්‍රිය පුරාම හෝ අලුයම් කාලයේ ගමින් ගමට වීදි සංචාරය කළ කඨින පෙරහර අලුයම විහාරස්ථානයට ළඟා වෙයි. කොස් කොළයේ හෝ අඹ කොළයේ නැට්ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහර විහාරස්ථානයට ගෙවදීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් සම්මතව පැවතිණි. මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩමකර වූ කඨින වස්ත්‍රය පිළිගන්නා භික්ෂූන් වහන්සේ දායක පක්ෂයෙහි ද සහයෝගයෙන් එහි කඩ කපා කඨින චීවරය සකස් කරති. පුරාතන යුගයේ දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨින වස්ත්‍රය ගෙත්තම් කිරීම සිදු කෙරිණි. එහි දී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආදි කටයුතු සියතින් ම සිදු කිරීමට මහත් රුචිකත්වයක් දැක්වූ හ. කඨිනය සකස් කිරීම, පූජා කිරීම හා ඇතිරීම යන සියල්ලක්ම එකම දිනක් තුළ සිදු කළ යුතු වෙයි.

විනය ප්‍රඥප්ති

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්ත්‍රයක් නම් සෝදා පිරිසුදු කොට පඬු පෙවීම සිදු කළ යුතු ය. මේ සඳහා සිවුරු රෙද්දක් භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම සඳහා සිවුරෙහි කොණක් සේදීම පුරාතන චාරිත්‍රය යි. මෙම විශේෂ අවස්ථාවන් හිදී හේවිසි හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ සිදු කෙරිණි.

මේ අනුව ගෙත්තම් කොට, පඬු පොවා වේළා සකස් කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උසස් ආසනයක තැන්පත් කෙරෙයි. අනතුරුව එහි රැස් වූ භික්ෂූන් වහන්සේට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදු කළ යුතු ය. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තිය යි.

කඨිනය පිළිගත් භික්ෂූන් වහන්සේලා කඨින චීවරය සඟසතු කොට තමන් අතුරෙන් එය ලැබීමට සුදුසු භික්ෂුවක තෝරා උපෝසථාගාරයක් තුළ දී විනයානුකූලව එය පැවරීම සිදු කරති. කඨින චීවරයක් සඟසතු කිරීමට යටත් පිරිසෙයින් උපසපන් භික්ෂූන් වහන්සේ පස් නමක් වත් වැඩසිටිය යුතු ය.

මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබා ගත් භික්ෂූන් වහන්සේ එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටුකළ යුතු ය. මොණර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොණක තැබීම කප් බින්දුව තැබීම නම් වේ. මෙය සාමාන්‍යයෙන් සටහන් කරනුයේ බුලත් කොළයක් සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මේ තුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි.

කඨිනානිසංස

කඨින පූජා චාරිත්‍ර සියල්ලක් ම නිමවීමෙන් පසුව කඨිනත්ථාරක භික්ෂූන් වහන්සේ විසින් කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. බුදුරදුන් දවස වැඩසිටි නාගිත මහ රහතන් වහන්සේගේ උතුම් චරිත කතාව ගෙනහැර දැක්වීම මෙම ධර්ම දේශනයේ කොටසක් ලෙස සිදු කෙරෙයි.

නාගිත තෙරණුවෝ එක් භවයක කඨින පූජාවක් සිදුකොට එම උතුම් කුසලය නිවන් මඟට හේතු වේවා'යි! ප්‍රාර්ථනා කළහ. එතැන් සිට සතර අපායේ නොඉපිද සදෙව් ලොව හා මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන් හි දෙව් මිනිස් සැප වින්දහ. අවසාන භවයෙහි ඒහි භික්ඛු භාවයෙන් පැවිදිව අර්ථ, ධර්ම, නිරුක්ති සහ පටිභාණ යන සිව් අවබෝධය ද සහිතව සිව්පිළිසිඹියාපත් මහරහතුන් වහන්සේ නමක් බවට පත් වූහ


ඌරුගමුවේ
අස්සජී හිමි

සම්බුදු සසුන සුරැකීමේ මුල් පියවර තැබූ නිකිණි පෝදා

 



සම්බුද්ධ ශාසන ඉතිහාසයට සහ ලංකා ශාසන ඉතිහාසයට එක්වන සදාඅනුස්මරණීය ඓතිහාසික සිදුවීම් කිහිපයකට ම මුල් වූ දිනයකි නිකිණි පුර පසළොස්වක පොහොය දිනය.

ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹිය යුතු දිනය ලෙස බුදුරදුන් විසින් නම් කරනු ලැබීම, බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදු කිරීම සහ මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය හා සම්බන්ධව වැදගත් වන සිදුවීම් ය.

දැඩි වැළපීමක්

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේ ද සමඟ පාවා නුවර සිට කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ වූ මාර්ගයට පිවිසුනහ. එහිදී ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ වූ පුවත උන්වහන්සේලාට සැළ වුණි. ඒ සමඟම එහි සිටි මාර්ගඵල නොලැබූ භික්ෂූන් වහන්සේ අතරින් ද ඇතැමෙක් ඉතා දැඩි සේ වැළපෙමින් හිසෙහි අත් බැඳ හඬා වැටුනහ. උන්වහන්සේගේ මුවින් මහ හඬින් මෙවන් වදන් පෙළක් කියවුණි.

“ඉතා ඉක්මණින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මණින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වූයේ ය.”

සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් සමහරෙක් බිම වැටුනහ. ඉදිරියට පෙරලුනහ. පසුපසට පෙරලුනහ. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේ මනා සිහියෙන් හා නුවණින් යුතුව මෙම සිදුවීම ඉවසූහ. ඉක්බිතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙකී භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළහ.

ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නොවැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන් ම වෙනස්වීම, වෙන්වීම, වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය, යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේ ද? යමක්, උපන්නේ ද, හට ගත්තේ ද, ලෞකික වූයේද, නැසෙනසුලු වේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා'යි, යන මෙය කොහි ලැබිය හැකි වේ ද? ලැබිය හැකි නොවේ ම ය.

විනය විරෝධී ප්‍රකාශය

සුභද්‍ර නම් වූ මහලුව පැවිදි වූවෙක් එදා මෙම පිරිස අතර සිටියේ ය. ඉක්බිතිව එම පැවිද්දා භික්ෂූන් වහන්සේ අමතා මෙසේ කීය.

ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුනෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යැයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.

මෙම දැඩි විනය විරෝධි ප්‍රකාශය හමුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කළේ අධර්මය බැබළීමටත්, ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර ධර්මය ද, විනය ද සංගායනා කළ යුතු බව යි.

දුර්වල පුද්ගලයන් රැසක්

සුභද්‍ර වැනි දුර්වල පුද්ගලයකු ගේ ඒකපුද්ගල ප්‍රකාශයක් පමණක් ම සංගායනාවක් පැවැත්වීම කෙරෙහි හේතු නොවී ය. සුභද්‍ර හා සමාන ආකල්පවලින් යුතු පසුතලයක පිහිටා සිට ක්‍රියා කළ දුර්වල පුද්ගලයන් රැසක් හා ඔවුන් හා අනුගත ව සිටි අනුගාමිකයින් රැසක් ද එකල සිටියහ. දේවදත්ත, සාතිය, අස්සජි , පුනබ්බසුක, සුනක්ඛත්ත, ඡන්න යනාදී භික්ෂූහු බුදුරදුන් ධරමානයෙහි දී ම ධර්මවිනය තම තම රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමට පෙළඹුණහ.

බුදුරජාණන් වහන්සේ හමුවේ ඒවා යටපත් වුව ද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පශ්චිම ජනතාවගේ අවබෝධය සඳහා ධර්ම විනය සුරක්ෂිත කොට තැබීම ශාසනභාරධාරි මහතෙරුන් වහන්සේලාගේ වගකීමක් ව පැවතිණ. ඒ අනුව තෘතීය මහා ශ්‍රාවක, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්ථානවල දී දේශනා කළ නා නා වර්ගයනට අයත් ධර්ම කොට්ඨාසයන් ක්‍රමානුකූලව සකස් කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත් ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කළහ.

ධර්ම සංගායනාවට සහභාගි වීම සඳහා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එකුන් පන්සිය නමක් (499) මහ රහතන් වහන්සේ එක්රැස් කළ හ. ඉක්බිති මහා කාශ්‍යප මහ තෙරණුවෝ භික්ෂූන් වහන්සේගේ ද අනුමැතියෙන් ආනන්ද තෙරණුවන් ද සංගායනාවට තෝරා ගත්හ. ආනන්ද තෙරුන්ගෙන් තොරව සංගායනාව සිදු කළ නොහැකි බැවිනි. ඒ සමඟම ධර්ම සංගායනාවට භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වූ හ. එබැවින් මෙය පංචසතිකා විනය සංගීතිය නම් විය.

අලංකාර මණ්ඩපයක්

සංගායනාව පැවැත්වීමට රජගහනුවර තෝරාගත් අතර අජාසත් මහරජුගේ පාලනය යටතේ පැවති හෙයින් එහි රාජකීය බලය හා ආරක්ෂාව ද නො අඩුව තහවුරුව පැවතිණ. අජාසත් මහ රජු විසින් වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයෙහි විශ්ව කර්මයා විසින් නිමවන ලද්දක් වැනි වූ මණ්ඩපයක් කරවන ලදී. එය රාජ භවනයක ශ්‍රී විභූතිය යටපත් කරන්නා වූ දෙව් විමනකට අපහාස කරන්නාක් වැනි වූ සිරියෙන් යුත් ශ්‍රී නිකේතනයක් හා සමාන සියල්ල එක් රැස් කළ මණ්ඩපයක් විය.

ආනන්ද හිමි රහත් බවට

ධර්ම සංගායනාවට පෙර දින ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළහ. “ හෙට සංගායනාව ය. මම රහත් නො වූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නොවෙයි.” මෙම කරුණ සලකා බැලූ ආනන්ද තෙරණුවෝ රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් කාලය ගත කළහ. රාත්‍රිය පහන්වන වේලාවෙහි සැතපෙමි යි, සිතා ශරීරය හැර වූහ. පාදයෝ පොළොවෙන් මිදුණහ. හිස ද කොට්ටයට නොපැමිණියේ ය. මේ අතරෙහි සිත උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසුව සතර ඉරියව්වෙන් තොරව ආනන්ද තෙරණුවෝ රහත් භාවයට පත්වූවාහු ම සංගායනාවට වැඩම කළ සේක.

පළමුව විනය

එසේ ආනන්ද මහරහතන් වහන්සේගේ ද වැඩමවීමෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිස ඇමතූහ. “ඇවැත්නි, ධර්මය ද විනය ද යන දෙකෙන් පළමුව කුමක් සංගායනා කරමු ද?” එයට මහරහතන් වහන්සේ දුන් පිළිතුර මෙසේ විය.

භන්තෙ මහා කස්සප , විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති, තස්මා පඨමං විනයං සංගාමාති.

ස්වාමීනි, මහා කාශ්‍යප තෙරුන් වහන්ස, විනය නම් බුද්ධ ශාසනයේ ආයුෂය’යි. විනය පවත්නා කල්හි ශාසනය ද පවතියි. එම නිසා පළමුව විනය සංගායනා කරමු.

පසුව පළමුව උපාලි තෙරුන් වහන්සේගෙන් විනය පිළිබඳව ද, ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධර්මය පිළිබඳ ව ද විමසීය. ඊළඟට සිදු වූයේ ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව සහ බ්‍රහ්මදණ්ඩ කථාව යි.

භාණක පරම්පරා

මෙසේ නිකිණි පොහොය දිනෙක ආරම්භ වී සත් මසක් මුළුල්ලේ පැවැති ප්‍රථම ධර්ම සංගායනාව අවසානයේ දී ස්ථාවර කර ගත් ධර්මය මතු අනාගතය සඳහා, කට පාඩමින් සුරක්ෂිත කර ගැනීම භාණක භික්ෂු පරම්පරාවනට පවරා දුනි. ඒ අනුව දීඝනිකාය , ආනන්ද තෙරුන්ට හා ඒ ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, මජ්ක්‍ධිම නිකාය පිරිනිවි සැරියුත් තෙරුන්ගේ ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, සංයුක්ත නිකාය මහා කාශ්‍යප තෙරුන්ට හා ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන්ට හා ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, ඛුද්දක නිකාය පොදුවේ සෑම භික්ෂූන් වහන්සේ නමකටමත් පැවරුණි.

ත්‍රිපිටකය ලක්දිව ග්‍රන්ථාරූඪ වන තෙක් ම බුදුදහම චිරාත් කාලයක් පවත්වාගෙන ඒම සඳහා හේතු වූයේ මෙම භාණක භික්ෂු පරම්පරා ක්‍රමයයි. මේ අනුව බුදුදහම ක්‍රමානුකූල පදනමක් මත ස්ථාවර වූයේ නිකිණි පොහොය දිනෙක ඇරඹි ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුවයි.


ඌරුගමුවේ
අස්සජී හිමි

දම්සක් දෙසුමෙන් ලොවම පුබුදු කළ ඇසළ පෝදා

 


ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල්වන සිදුවීම් අතර වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වැනි වියේ දී සතර පෙරනිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුද්ධ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේ ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන් ගේ මානය මර්ධනය කරනු වස් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන කරුණු ප්‍රධාන ය.

ලක්දිවටත් වැදගත්

ලක්දිව බුදුසසුනෙහි ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන සිදුවීම් කිහිපයකි. ඒවා අතර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම සීමා සම්මතය සිදු කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේ සැට දෙනමක් පළමු වරට ලක්දිව වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය සිදුකිරීම, එහි ධාතු නිධානෝත්සවය සිදුකිරීම, දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

පස්වග භික්ෂූන්ගේ කතාබහ

එදා ඇසළ පුර පසළොස්වක පොහෝදා සවස් කාලය යි. බුදුරජාණන් වහන්සේ බරණැසට නුදුරුව පිහිටි ඉසිපතනයට සමීප වූ සේක. එහි සිටි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය , මහානාම සහ අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේ ඈත වැඩමවන බුදුරදුන් දුටුවහ. දැක මෙවන් කතාබහක නිරත වූහ.

“ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයෝ ප්‍රධන් වීර්යයෙන් පහව, සුවපහසු ප්‍රත්‍ය පරිභෝජනයට බැස, බුදුවීමට නොහැකිව දැන් අප කරා එති. ඔහු දැක හුනස්නෙන් නැඟී සිටීම, ඉදිරියට ගොස් පා සිවුරු පිළිගැනීම හෝ වැඳීම හෝ නො කළ යුතු ය. ශාක්‍ය වංශයෙහි උපන් හෙයින්, හිඳිනා අසුනක් පමණක් පැනවිය යුතු ය.

එහෙත් කෙමෙන් කෙමෙන් බුදුරදුන් ළං වත්ම තමන් කරගත් කතිකාවතෙහි පිහිටා සිටීමට ඔවුහු අසමත් වූහ. එක් තවුසෙක් පෙරමඟට ගොස් පාත්‍ර චීවර පිළිගත්හ. එක් අයෙක් අසුන් පැනවූහ. තවත් අයෙක් පා සේදීමට දිය ද, පා පුටුව ද, පාද පිසදමනය ද ගෙනවුත් ළං කොට තැබූහ. බුදුරජාණන් වහන්සේ ද පැන වූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන්පසු ඔවුහු බුදුරදුන්ට පෙර සේ තමනට සම කෙනකුට කතා කරන්නාක් මෙන් ‘ඇවැත්නි, ගෞතමයනි “කියා ආමන්ත්‍රණය කොට පිළිසඳර කතා බහ පටන් ගත්හ.

එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මහණෙනි, තථාගතයන් වහන්සේට ඇවැත්නි කියාත්, නම කියාත් ආමන්ත්‍රණය නො කළ යුතු ය. තථාගත තෙමේ සියලු කෙලෙස් නැසූයෙකි. සියලු ධර්මයන් මනා කොට තෙමේ ම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, අසවු, තථාගත වූ ම විසින් නිවන අවබෝධ කරන ලද්දෝ ය. ඒ මම යූෂ්මතුනට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහිගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කරන්න.”

සැකයට කරුණක්

පස්වග භික්ෂූන් වහන්සේ මෙය අසා මවිතයට පත්ව පෙරළා බුදුරදුන්ගෙන් මෙසේ විමසුහ. “ආයුෂ්මතුනි, එ දවස එතරම් වීර්යය කොටත්, එතරම් දුෂ්කර ක්‍රියා කොටත් ලෝකෝත්තර ගුණයක් නො ලැබුණේ නම්, ඔබට ලෝකෝත්තර ධර්ම පහළ වූයේ දුෂ්කර ක්‍රියා අත්හැර ආහාරපානාදී ප්‍රත්‍යයන් බහුල කොට ගැනීමෙන්, ශරීරයට සුව පහසුව සැලසීමෙන් දැ”යි ඇසූහ. “මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බහුලකොට ගැනීමට යොමු වූ කෙනකුවත්, වීර්යය අත්හැර දැමු කෙනකුවත් නොවේ. තථාගත තෙම අරහත් ය. සම්‍යක් සම්බුද්ධ ය.

“මම යුෂ්මතුන්හට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහි ගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කළ හැකියැ”යි, ද වදාළ සේක.

එසේ පැහැදිලි කළ විට ද පස්වග භික්ෂූන් පෙර සේ ම ප්‍රශ්න කළ හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මා එදා උරුවෙල් දනව්වේ යූෂ්මතුන් හා සමඟ වාසය කරමින් ප්‍රධන්වීර්යය කරන කාලයෙහි කිසිම දිනක ඔබ රවටා සනසනු සඳහා මට මෙසේ එළියක් පෙනේ යැයි කියා හෝ නො ලැබූ යමක් ලැබීමි’ යි කියා හෝ බොරුවක් කී බවක් මතක දැ”යි , ඇසූහ. එය ඇසීමෙන් කාරණය තේරුම් ගත් පස්වග භික්ෂූහු උන්වහන්සේ බුදු බව ලැබුණේ යැයි කළ ප්‍රකාශය සත්‍ය යැයි පිළිගෙන “ස්වාමීනි, ඔබ වහන්සේ බොරුවෙන් අප කිසි කලෙකත් නොරැවටූ සේකැයි, කීහ. එවිට බුදුරජාණන් වහන්සේ පළමුව හා දෙවනුව වදාළ පරිදිම ස්වකීය බුද්ධත්වය පැහැදිලි කළ පසු පස්වග භික්ෂුහු”භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලත් බැවින් ම මෙසේ වදාරණ සේකැ”යි, පිළිගත්හ. ධර්ම ශ්‍රවණයට සැරසුණහ.

දම්සක් දෙසුම ඇරඹීම

ඇසළ පොහෝදා හිරු අවරට ගමන් ගන්නා වේලාවයි. එහා මෙහා දුව පැන ඇවිදින මුවන්ගෙන් සහ පියාඹන විවිධ පක්ෂීන්ගෙන් බරණැස ඉසිපතනය අමුතුම අසිරියක් විදහාපෑවේ ය. පස්වග භික්ෂූන් වහන්සේ එළිමහන් පෙදෙසක රැස් වූහ. ඔවුනට මුහුණලා භාග්‍යවතුන් වහන්සේ අනූපමේය බුද්ධශ්‍රීයෙන් බබළමින් ආසනයක වැඩසිටි සේක. එකෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ සියුම් වෙස්ගෙන එහි රැස්වූහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බ්‍රහ්ම ස්වරය විහිදුවා ප්‍රථම ධර්ම දේශනාව මෙසේ ආරම්භ කළහ. “මහණෙනි, පැවිද්දකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ, හීන වූ, පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නා වූ, පස්කම් සැපතෙහි නැවත නැවත යෙදෙන්නා වූ, කාමසුඛල්ලිකානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද, එසේම දුක් උපදවන්නා වූ, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නාවූ තම සිරුරට බෙහෙවින්ම දුක් දෙන්නාවූ, අත්තකිලමථානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදහ. එම ප්‍රතිපදාව නුවණැස පිරිසුදු කරන්නේ ය. නුවණ ඇති කරන්නේ ය. එය කෙලෙසුන් සංසිඳවීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේ ය.

“මෙසේ ඇරඹි දම්සක් දෙසුම අවසන පළමුව කොණ්ඩඤ්ඤ හිමි චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ ය. එහෙයින් ම උන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය වූයේ ය.

ඌරුගමුවේ
අස්සජී හිමි

සම්බුදු තෙමඟුල සැමරෙන අසිරිමත් වෙසක් පෝදා

 



සමස්ත ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩමවීම, තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසිවැනි වියේ දී පිරිනිවන්පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයාගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑයේ ඉදි කිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය.

බෝසත් කුමරකු  මෙලොවට බිහිවෙයි


අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුවේ දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතිනි. එතැන් පටන් දස පාරමිතා පිරූ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයෙන් පසුව තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව් රජ ව උපන්හ.

කල්යත්ම එහි සිටි සියලු දිව්‍ය බ්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් ආරාධනා කළහ. මහ බෝසතාණන් වහන්සේ ඔවුනට එක් වරම ප්‍රතිඥාවක් නොදී නිහඬව සිට ඒ හා අදාළ වූ කරුණු පසක් සම්පූර්ණව ඇත් දැයි, දිවැස යොමා බැලූහ.

ඒ අනුව ඉපදීමට සුදුසු දීපය වූ දඹදිව ද දේශය වූ මධ්‍ය දේශය ද, කාලය වූ දීර්ඝ ආයුෂත් නොවන අල්ප ආයුෂත් නොවන මධ්‍යම ආයු කාලය ද, කුලය වූ ක්ෂත්‍රිය කුලය ද, මවගේ ආයුෂ කාලය ද යන පස්මහ බැලුම් සම්පූර්ණ ව ඇති බව දුටුවහ.

දෙව් බඹ පිරිස අමතා ‘කල් නොයවා ම මිනිස් ලොව උපදිමි’ යි, වදාළහ. පසුව කපිලවස්තු ශාක්‍ය පරම්පරාවෙහි සුද්ධෝදන මහ රජු ගේ හා දෙව්දහ නුවර ශාක්‍ය පරම්පරාවෙහි මහාමායා දේවියගේ පුත්ව ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී උපන්හ.

සසර දුක දැනීම

කෙමෙන් ළදරු විය ඉක්මවා සොළොස් වැනි වියට පත් සිද්ධාර්ථ කුමරු යශෝධරා දේවිය සරණ පාවාගෙන තුන් සෘතුවට යෝග්‍ය වූ රම්‍ය, සුරම්‍ය, සුබ නමැති මාලිගා තුනෙක වාසය කළේ ය.

සියලු පස්කම් සුවය එහි පැවතිය ද කල්යත් ම සිදුහත් කුමරුට සසර දුක වැටහෙන්නට විය. විසිනව වැනි වියේ දී පස්කම්සුව කෙරෙහි කළකිරීමට ඉවහල් වූ මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් හා පැවිදිරුවක් යන සතර පෙර නිමිති නෙත ගැටුණි.

වයසට යාම, ලෙඩ රෝග ඇතිවීම හා මරණය සියල්ලන්ට ම සාධාරණ බව ගැඹුරින් මෙනෙහි කරමින් සිටි සිදුහත් කුමරු මුල්වරට එහි සත්‍යතාව සියැසින් දැකීම ගිහි සැපතින් ඉවත්වීම කෙරෙහි තදින් ම බලපෑවේ ය.

ඉක්බිතිව මහාභින්ෂ්ක්‍රමණය කොට පළමුව ආචාර්යවරුන් සොයා ගොස් ඉන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැන්මට නොහැකි වූ තැන දුෂ්කර ක්‍රියා සිදු කළේ ය. එයිනුදු ප්‍රතිඵලයක් නොලදින් මැදුම් පිළිවෙතට බැස දිගින් දිගටම භාවනාවෙහි යෙදුණේ ය.

සිහින පහක්

එම වසරෙහි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ළඟා විය. බෝසතාණන් වහන්සේ වෙසක් මස පුර තුදුස්වක් දා රෑ නින්දෙහි සිටිය දී මෙම සිහින පහ දුටුවහ.

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරුව සැතපෙන බෝසතාණන් වහන්සේගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද සිටියහ.

මෙම සිහිනය උන්වහන්සේ බුදුවන බවට පෙර නිමිත්තකි. බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතණ ගසක් හටගෙන ඉතා උසට නැඟී අහස තෙක් පැතිර ගියේ ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට එය ලෝකයාට දේශනා කරන බව මෙම සිහිනයෙහි පෙර නිමිත්තයි. කළු පැහැති හිස් ඇති සුදු පැහැති පණුවෝ පා මුලින් නැඟී දණ හිස දක්වා වසා ගත්හ. මෙය බොහෝ අනුගාමිකයන් බිහිවන බවට වූ පෙර නිමිත්තයි.

නා නා වර්ණයෙන් යුතු ලිහිණියෝ සතර දෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් පා මුල වැටී වහා සුදු පැහැ වූහ. මෙය සිව් කුලයන්හි ම ජනයා සස්නෙහි පැවිදිව පිරිසුදුව නිවන කරා පැමිණෙන බවට වූ පෙර නිමිත්තයි.

මහත් අශුචි පර්වතයක් මත්තෙහි අශුචියෙහි නොගෑවී සක්මන් කෙරිණි. මෙය සිව්පසය බොහෝ සේ ලැබුණ ද එහි නො ඇලෙන බවට වූ පෙර නිමිත්තයි.

බෝසතාණන් වහන්සේ මෙම ස්වප්න පහ පිළිබඳ විමසා බලා “බුදුවන බව නිසැක යැ” යි, වටහාගෙන පසුදා එනම් වෙසක් පොහෝදා උදෑසන අජපාල නුග රුක මුල පෙරදිගට මුහුණලා වැඩ සිටියහ.

කිරිපිඬු පූජාව

එදා සේනානි නියම් ගම් වැසි සුජාතා සිටු දේවිය කලක සිට සිරිත් පරිදි පවත්වාගෙන එන විශේෂ පූජාවක් සිදු කරන දිනයයි. එනම් අජපාල නුග රුකට අධිගෘහිත දෙවියන්ට දිය නුමුසු කිරිබත පූජා කිරීමයි. බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ සුජාතා සිටු දේවිය ගේ දේවායතනය වූ මෙම රුක මුල ය. උන්වහන්සේ එහි සිටිනු දැක බලවත් සොම්නසට පත් සිටු දේවිය “රුක් දෙවියන් අද බිමට බැස ඇතැ’යි සිතා කිරිබත පූජා කළා ය.

එම කිරිපිඬු පූජාව සහිත රන්තලිය රැගෙන බෝසතාණන් වහන්සේ වැඩම කළේ නේරංජනා ගං තෙරට ය. එහි දිය නා කිරිබත පිඬු හතළිස් නවයක් කොට වැළඳූ බෝසතාණන් වහන්සේට එම ආහාරය ඉදිරියට ගත කිරීමට ඇති දින හතළිස් නවයකට ප්‍රමාණවත් විය.

කිරිපිඬු වළඳා රන්තලිය නේරංජනා නදියට දමා “ඉඳින් අද මා බුදු වන්නෙම් නම් මේ රන්තලිය උඩු ගං බලා යේවා” යි, අදිටන් කළහ. එය දිය පිට උඩු ගං බලා ගොස් දිය සුළියකට හසුව දියේ ගිලිණ. ඒ දුටු උන්වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත බව පසක් කළහ.

උතුම් සම්මා සම්බුද්ධත්වය

ඉක්බිති බෝසතාණන් වහන්සේ ගංතෙර පිහිටි විවිධ පුෂ්පයන්ගෙන් සමලංකෘත වූ සල් ගස් පන්තීන්ගෙන් යුතු භද්‍ර වනයට වැඩමවා දිවා විහරණය කළහ. සවස් භාගයෙහි භද්‍ර වනයෙන් නික්ම බෝමැඩ කරා දිවෙන ගමන් මාර්ගයට පිවිසුණහ.

ඉදිරියෙන් පැමිණි සොත්ථිය නම් බමුණා උන්වහන්සේ දැක පැහැදී තමා ගෙන ආ කුසතණවලින් අට මිටක් පිදීය. එය පිළිගෙන ඇසතු බෝ රුක වෙත එළඹි උන්වහන්සේ එහි නැඟෙනහිර දිසාවෙහි කුස තණ අට මිට අතුරා අසුනක් පනවා වැඩ සිටියහ.

ඉක්බිතිව මෙසේ චතුරංග සමන්නාගත වීර්යය ඇති කර ගත්හ. “මාගේ ශරීරයේ ඇට, සම්, නහර ගැල වී විසිර ගියත්, මස් ලේ වියළී ගියත්, සම්‍යක් සම්බෝධියට නොපැමිණ මේ ආසනයෙන් නැඟී නො සිටිමි.”

මෙම අධිෂ්ඨානත් සමගම බෝධියට පිට දී පෙරදිග බලා වැඩ හුන්හ. මේ මොහොතේ හිරු ධරමාන කල්හිම එහි පැමිණි පිරිවර සහිත මාරයා පරාජය කොට විජයශ්‍රීය ලැබූහ. වෙසක් පුන් පොහෝදා අරුණු නැඟෙන කල්හි ම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පිරූ පාරමිතා බලය මුදුන්පත් කරමින් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සියලු කෙලෙසුන් නැසූ බෝසතාණන් වහන්සේ සර්වඥතා ඤාණය අවබෝධ කරගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

පරිනිර්වාණය

බුද්ධත්වයට පත්වීමේ පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින රාත්‍රියේ අලුයම උදාවීමට පෙර සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍ය ස්වභාවය ස්වකීය ජීවිතයෙන් ම ලොවට පසක් කරමින් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විට උන්වහන්සේ උපතින් අසූ විය සපුරා සිටියහ.

පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි සක්විති රජ කෙනකු ගේ ශරීරයට මෙන් උපහාර දැක්විය යුතු බව පෙර වදාරා තිබිණ. එම ක්‍රමය අනුවම පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය මල්ල රජදරුවන් ගේ උපවත්තන නම් සල් උයනේ සුවඳ දර පිර වූ සෑයක තැන්පත් කොට ආදාහන පූජාව සිදු කෙරිණි.


ඌරුගමුවේ
අස්සජී හිමි

Vesak Animation Sath Sathiya (සත් සතිය Seven Weeks )