තුන් ලොවම ඒකාලෝක කළ සම්මා සම්බුදු අසිරිය


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි වෙනත් ශාස්තෘවරයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට සමාන කළ නොහැකි ය. එබැවින් උන්වහන්සේ අසම සම වෙති. ඒ අසම උත්තමයන් වහන්සේ තවත් අසම වූ ලොව්තුරා බුදුවරයකුට ම සමවන සේක. එසේ අසම උත්තමයන්ට සමවන හෙයින් බුදුවරු අසමසම වෙති. බුද්ධත්වය ලබා ගැනීම සඳහා අසීමිත කාලාන්තරයක් පුරා පෙරුම් දම් පිරියයුතු ය. ප්‍රඥාධික බෝසත්වරයෙක් නියත විවරණ ලබාගත්තායින් පසු සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්දම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසත්වරයෙක් ‘අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්’ පාරමී සම්පූර්ණ කළ යුතු ය. වීර්යාධික බෝසත්වරයෙක් ‘සොළසාසංඛ්‍ය’ දාසය අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කළ යුතු ය.

සිදුහත් කුමරු උපත ලබා මාස ගණනාවකට පසු සුද්දෝධන මහා රාජයා වාර්ෂිකව පවත්වනු ලබන වප්මඟුල් උත්සව අවස්ථාව ද එළඹුණේ ය. රජතුමා සිඟිති සිදුහත් කුමරා ද රාජකීය දෝළාවක තබාගෙන සීසාන කෙතට රැගෙන ගොස් කුඹුර සමීපයෙහි වූ දඹරුකක් යට යහනක් පනවා කුමරු එහි සතප්වා, සී සෑමේ රාජකීය වප්මඟුල් උළෙල ආරම්භ කළේ ය. වප්මඟුල් උළෙලේ අසිරිය බැලීමට සිදුහත් කුමරුට රැකවරණයට සිටි කිරිමව්වරු තිරයෙන් පිටතට පැමිණියහ. ජාතිස්මරණ ඥානයෙන් යුත් ළදරු මහබෝසතාණෝ වටපිට බලා කිසිවකු නො සිටි හෙයින් වහා නැගිට යහනෙහි පලක් බැඳ වැඩහිඳ ආනාපානසති භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට සමවැද සිටියහ. කුඩා වියේදී ම එසේ ධ්‍යානගත වීමට හැකි වූයේ බෝධිසම්භාර ධර්මයන් පුරණ සමයෙහි අපරිමිත කාලාන්තරයක සිට ආනාපාන සතිය පුරුදු කර ගෙන සිටි නිසා ය. බුද්ධත්වය සඳහා පාදක වූයේ ද මේ ආනාපාන සති භාවනාව බව දත යුතු ය.

ගිහි කාලයෙහි රම්‍ය, සුරම්‍ය, සුබ යන තුන් සෘතුවට ගැළපෙන මාලිගාවල රාජසම්පත් විඳිමින් සිට, දාසය වන වියේ දී යශෝධරාවන් සමඟ අතිනත ගෙන, රාජාභිෂේකය ද ලබා තෙළෙස් වසරක් මුළුල්ලේ රජකම් කොට, ලෙඩෙක්, මහල්ලෙක්, මළමිනියක් හා පැවිදි රුවක් යන සතර පෙරනිමිති දැක විසි නවවන වියේ දී සසර කලකිරී, රාහුල පුතු උපත ලද දිනයේ ම මහබිනික්මන් කළේ ය. ශාක්‍ය, කෝලිය, මල්ල රාජධානි පසුකර, දීර්ඝ ගමනකට පසු මහබෝසතාණෝ පසුදා උදේවරුවෙහි අනෝමා නදී තීරයට පැමිණ අසුපිට හිඳගෙනම අනෝමා ගඟ තරණය කොට රමණීය වැලිතලාවෙහි සිටියහ.

මේ අවස්ථාවෙහි ඇතිවූයේ අහසෙහි අමුතු අසිරියෙකි. ලාකළුවළාවන්ගෙන් අහස පිරීගියේ ය. පුළුල් අනෝමා නදියෙහි ගලායන ජලධාරාව ද ඒ වර්ණය ම ගත්තේ ය. අහසෙහි මේ කළුවළා පෙළට මැදින් ආලෝකවත් බ්‍රහ්ම රාජයෙක් බෝසතුන් වෙත පැමිණෙන බවක් චමත්කාර ජනක ලෙස දර්ශනය විය. මෙම මහා බ්‍රහ්මරාජයා එසේ මෙසේ බලගතු බ්‍රහ්මයෙක් නොවන බව ඡන්න ඇමැතියාට පමණක් නොව කන්ථක අසුට ද දැනෙන්නට ඇත. බබළන මිනිස් ප්‍රමාණයේ කුඩා රූපයක් මවාගෙන බෝසතුන් සමීපයට පැමිණි ඒ බලගතු බ්‍රහ්ම රාජයා සුවිශේෂ අටපිරිකරක් බෝසතුන්ගේ දෑතට පිළිගැන්වූයේ ය. ඒ අන්කිසිවකු නොව සහම්පතී මහා බ්‍රහ්ම රාජයා බව සැලකිය යුතු ය.

මේ අස්වාභාවික චමත්කාර ජනක ස්වභාවයෙන් එහි සිටි අමතර එකම මිනිසා, ඡන්න ඇමැතියා බැවින් ඔහු ද විමතියට පත්වීය. පෙර ආත්මභාවවල සම්බන්ධතාවන් ඇතුව, මෙලොව බෝසතුන් ළඟ ම විසු කන්ථක අසුට ද බලවත් කම්පනයක් ඇති විය. මේ බබළන රාජ කුමාරයාගේ හදිසි වෙනස් වීමත්, පරිසරය වෙනස් වීමත්, අහස්කුසින් සම්ප්‍රාප්ත වූ දෙව්බඹුන්ගේ බැබලීමත් අටපිරිකර පූජාව සහ හිසකෙස් කපා දමා අටපිරිකරින් සැරැසී, අසීමිත රූප ශෝභාවකින් උරුවෙල්, දනව්ව, බලා වඩින සිදුහත් තවුසාණන් දැකීමෙන් ‘කන්ථක’ අසුට දරාගත නො හැකි පි‍්‍රය විප්‍රයෝග දුකක් ඇති විය. බෝසතාණන් නොපෙනී යන තෙක් බලාසිටි කන්ථක අසු දැඩි ශෝකය දරා ගත නො හැකිව මරණයට පත් ව දෙව්ලොව බලගතු දිව්‍යරාජයෙක්ව පහළ වූයේ ය.
බෝසතාණන් වහන්සේගේ එකම පැතුම වූයේ,

බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණේහං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා

මම සත්‍යය අවබෝධ කොට ගෙන ලෝකයාට ද සත්‍යය අවබෝධ කරවන්නෙමි. තමන් ද දුක්ඛිත සංසාරයෙන් ගැළවී දෙවියන් සහිත ලෝකයා ද ගළවාගන්නෙමි යන පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් යුතුව පළමුවෙන් ම එදා ප්‍රසිද්ධ සෘර්ධිමතෙක් ව සිටි ආලාර කාලාම තවුසාණන් වෙත ගියේ ය. එහි මාසයක හමාරක පුහුණුවක් ලැබුව ද තමා බලාපොරොත්තු වන නිවනට එය මඟ නොවන බව දැන ඉන් නික්ම ඊටත් වඩා ප්‍රසිද්ධියක් ලබා සිටි උද්දකරාම තවුසාණන් වෙත ගියේ ය. එයින් ද තමා සොයා යන නිවනට මඟ පාදාගත නො හැකි බව දැන හුදෙකලාව උරුවෙල් දනව්වෙහි වෙසෙමින් බෝධිසත්වයන් වහන්සේ සිතන සේක්. “මම කාමසුඛල්ලිකානුයෝගය ඉහළ ම මට්ටමින් වින්ද කෙනෙක් වෙමි. මේ දඹදිව් තලයෙහි කාලාන්තරයක සිට පවතින මතය නම් ශරීරයට දුක් දීමෙන් එනම් අත්තකිලමථානුයෝගයෙන් නිවන ලබාගත හැකි බවය. දැන් ඒ සඳහා සූදානම් වියයුතු යැයි අධිෂ්ඨාන කොටගෙන කෙමෙන් ආහාර වර්ජන කරමින් එසේම නිදි වර්ජන කරමින් භාවනාවට ම කාලය යෙදුවේ ය. ටිකෙන් ටික නින්ද අඩුකරමින්, ටිකෙන් ටික අපරිමිත ලෙස ශරීරයට පීඩා ගෙනදෙන ආකාරයෙන් සය වසරක් පුරා දුෂ්කර ක්‍රියා කළ ද එයින් ප්‍රතිඵලයක් නො ලද හැකි බව අත්දැකීමෙන් ම අවබෝධ කොට ගෙන මධ්‍යම ප්‍රතිපදාව සුදුසු යැයි අවබෝධ කරගත් සේක.

ඒ අනුව සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා ඇසතු බෝරුක් මුල්හි වැඩහිඳ ඒ ‘වෙසඟ පුර පසළොස්වක් පොහෝ දින’ ප්‍රථම යාමය ඉක්මෙත්ම පෙර ආත්ම භාවයන් දැනගැනීමේ නුවණ නම් වූ ‘පුබ්බේ නිවාසානුස්මෘති ඤාණය’ උපදවා ගැනීමට හැකිවිය. නැවත බෝසත් තවුසාණෝ අනාපානා සතියෙන් චතුර්ථ ධ්‍යානයට සමවැද සත්ත්වයන්ගේ චුති උත්පත්ති පිළිබඳ නුවණින් බලා කර්මය වූ පරිදි සත්ත්වයන් සුගති, දුගති දෙක්හි මැරෙන උපදින ආකාරය නන් වැදෑරුම් අයුරින් අවබෝධ කොටගෙන ‘චුතූපපාත ඤාණය’ උපදවා ගත් සේක. ඉන් අනතුරුව මෙයාකාරයෙන් භංගානුදර්ශන ක්‍රම භයතුපට්ඨාන ඤාණය, ආදීනව ඤාණය, මුඤ්චිතු කම්‍යතා ඤාණය, පටිසංඛානු පස්සනා ඤාණය, සංඛාරුපෙක්ඛා ඤාණය, සත්‍යානුලෝම ඤාණය, ගෝත්‍රභූ ඤාණය ලබා ඤාණදස්සන විසුද්ධිය සම්පූර්ණ කරගත් සේක. ඒ සමඟම උන්වහන්සේ ලොව්තුරා බුදුවරයෙක් වශයෙන් සර්වඥතා ඤාණය උපදවාගෙන දෙවියන් සහිත සකල ලෝකවාසීන්ට සතළිස් පස් වසක් පුරා දහම් දෙසා සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් සාංසාරික දුකින් එතෙර කළ සේක. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වය සහ පිරිනිවීම සිදු වූ මේ වෙසඟ පොහෝ දිනයෙන් ආරම්භ වන ඉදිරි වර්ෂය ලෝකයට සාමයත්, සෞභාග්‍යයත් ගුණාත්මක බවින් පිරිපුන් බවත් ද ඇතිවේවා! යි ප්‍රාර්ථනා කරමු.

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ
ධම්මාවාස අනු නා හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

No comments:

Post a Comment