Seewali Maha Rahathan Wahanse සීවලී මහරහතන් වහන්සේ |
අප ගෞතම බුදුරජාණන් වහන්සේට මහ ශ්‍රාවකයින් අසූ නමක් සිටි බව බුදුදහමෙහි සඳහන් වේ. මහා ශ්‍රාවක තනතුරු යනු බුදු පසේබුදු, අග්‍රශ්‍රාවක යන තනතුරුවලට පසුව ඇති මහා තනතුරය. එම තනතුරක් ලැබීම සඳහා කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරිය යුතුය. එසේ මහා ශ්‍රාවක තනතුරක් ලැබීමට පෙරුම් පිරූ සීවලි මහ රහතන්වහන්සේ මෙලොවට බිහිවීමට පෙර වසර හතක්ම මව් කුසේ සිටි බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.
කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්‍රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්‍රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් දුන්නේය. මේ මහා පුණ්‍යකර්මට හේතුවෙන් අනාගත කාලයේදී බුදු කෙනෙකුන් වහන්සේ කෙනෙකුන්ගේ ප්‍රත්‍යලාභින් වහන්සේ අතුරෙන් අග්‍රස්ථාන්තරය ලැබ නිවන් ලබා ගැන්මට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ “ කල්ප ලක්ෂයකින් මත්තේ බුද්ධ රාජ්‍යයට පත්ව ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි නමින් ඉපිද දක්ෂිණාලාභීන් අතුරෙන් අග්‍රව නිර්වාණා බෝධය කරන බවට විවරණ දුන්සේක.
එතැන් සිට අති දිර්ඝ කාලයක් මුළුල්ලේ භවයක් භවයක් පාසා සුගති සම්පත් විද “විපස්සි නම් බුදුරජාණන් කාලයේ පිටිසර ගමක මෙතුමා උපන්නේය. තමාගේ ස්වාමීයා වෙත කිරිත් මී පැණිත් ගෙන යන අවස්ථාවේ රජතුමා හා විශාල කණ්ඩායමක් එක්වි මහා දානෝත්සවයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාවහන්සේලාට පිළියෙල කරන බව දැක‍්කේය. එම මහා දානයට කිරිත් මී පැණිත් පුජා කිරිමට මෙතුමාට අවස්ථාව ලැබුනේය. එම කිරි හා මී පැණි පුජා කළ අවස්ථාවේදීද මෙතුමාගේ ප්‍රාර්ථනාව වුයේ ප්‍රත්‍ය ලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබා ගැනිමට සමත්වේවා යනුයි.
එක් දානයක දී නුවරවාසීන්ට දානයදීමට දී කිරි නොමැති විය. තරගයෙන් පරිදීවි යැයි බියට පත් නගරවාසීන් කිනම් මුදලකට හෝ දී කිරි සොයාගෙන එන ලෙසට පුරුෂයකු යැවීය. නගරයේ කිසිදු තැනක කිරි සොයාගත නොහැකි වූ එම පුරුෂයාට අවසානයේ දී ඉහත කී දී කිරි වෙළෙන්දා හමුව ඔහු වහාම කහවනුවක් දී කිරි ටික මිලදී ගැනීමට සූදානම් විය. එතරම් මුදලක් දී එම කිරි ටික මිලදී ගැනීමට විශේෂ හේතුවක් ඇතැයි සිතූ වෙළෙන්ඳා කහවනු දෙකක් ඉල්ලීය.
එයට ද එම පුරුෂයා එකඟ විය. එවිට වෙළෙන්ඳා කහවනු තුනකට මිල කළේ ය. එයට ද එම පුරුෂයා එකඟ විය. මේ ආකාරයෙන් කිරිවල මිල කහවනු 1000 දක්වා ඉහළ නැංවීය. එතරම් අධික මිලකට ද කිරි ටික මිලදී ගැනීමට එම පුරුෂයා එකඟවූ විට මෙතරම් අධික මිලක් දී එම කිරි මිලදී ගැනීමට වෙළෙන්ඳා හේතු විමසීය.
පුරුෂයා සියලු පුවත් පැවැසූ විට වෙළෙන්ඳාට ද බුදුහාමුදුරුවන්ට දානය දීමට ආශාවක් ඇතිවී තමාගේ දෑතින් එම කිරි බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට අවසර දෙන්නේ නම් තමා එම කිරි තොගය නොමිලේම දීමට කැමැති යැයි පැවැසීය. එම පුරුෂයා එයට එකඟවූයෙන් වෙළෙන්ඳා විපස්සී බුදුරාජණන් වහන්සේ වැඩ සිටි දාන ශාලාවට ගොස් තම දෑතින්ම කිරි පූජා කළේය. එසේම එම පිනින් උප උපන් ජාති දක්වා ලාභයන්ගෙන් හා යසසින් වේවායි ප්‍රාර්ථනා කළේය.
ඉන්පසු තව තවත් පින් දහම් කොට අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ දී කෝලිය වංශයෙහි සුප්පාවාසා නම් රජ දියණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ පිළිසිඳ ගැනීමෙන් පසු එම කුමරියට මෙම කුමරුවාගේ පිනෙන් අරුම පුදුම දේ සිදුවන්නට වූවාය. වැපිරීමට ඇති බිජ ඇය ස්පර්ෂ කළ විට එක බීජයකින් බීජ සිය දහස් ගණන් පැන නගින්නේය. අටුවෙන් ධ්‍යාන ගත් විට අටුව නැවත ධ්‍යානවලින් පිරෙන්නේය.
සීවලී මහරහතන්වහන්සේට හා උන්වහන්සේගේ මෑණියන්ට විපාක්දුන් පූරුවේ කල අකුසල කර්මය
සුප්පාවාසා බිසව ගැබ් ගත් දාට පසු දා නුවර සිව් දිසායෙන් ම තුටු පඬුරු රැසක් ලැබිණ. රජ මැදුරේ ගබඩා ධාන්‍යවලින් පිරිණි.
“කිසි කලෙක නොලැබූ තරම් සම්පත්වලින් රජ මැදුර පිරෙනවා. මෙය නම් ඔබේ කුසට ආ දරුවාගේ පිනට සිදුවන දෙයක්. වහා ලිච්ඡවී රජතුමා කීවේය.
සුප්පාවාසා බිසව සොම්නසින් ඉපිළ ගියාය.
“සත්තකින් ම මට දැනෙනවා මගේ කුසට පැමිණ සිටින්නේ මහා පින්වන්තයෙක්. මගේ පුතාට බුදු සරණයි. දම් සරණයි. සඟ සරණයි. ඇය කීවාය.
දරු ගැබ සෙමින් වැඩිණ. දස මසක් ගෙවුණ ද දරුවා නොලැබිණ. විසි මසක් ගෙවී ගියද දරුවා නොලැබිණ. තුන් වසරක් ගෙවිණ. සත් වසරක් ගෙවිණ. දරවා නොලැබිණ. මව අති මහත් වූ වේදනාවකට ගොදුරුව සිටියාය. ගැබ තුළ දඟලන දරුවා ඇසට නොපෙනුන ද ඇගේ සිතට පෙනිණ.
“අනේ මේ දරුවාත් මහා දුකක් විඳිනවා ඇති” ඇය සිය සැමියාට කීවාය.
“මොනවා කරන්නද තව ටිකක් ඉවසාගෙන ඉන්න” ඔහු කීවේය.
“අවුරුදු හතක් ඉවසුවා. මා තවත් ඉවසාගෙන ඉන්නම්.”
තවත් මාස හතක් ගෙවිණ. ඒ මාස හත ගෙවී යාමත් සමඟම සුප්පාවාසාට විලි රුදාව හට ගති. දරවා ගැබ්මඟ සිරවිය. ඇයට ඉවසුම් නොදෙන වේදනාවක් ඇතිවිය. ඇය අසල ඉකිබිඳිමින් සිටින මහා ලිච්ඡවී රජුට කළ යුත්තේ කුමක්දැයි නිනව්වක් නොවීය.
සුප්පාවාස සිය සැමියා දෙසට හැරුණාය.
“මේ ගැන බුදු රජාණන් වහන්සේට දන්වන්න” ඇය කීවාය. රජ මැදුරේ දූතයෙක් බුදු රජාණන් වහන්සේ හමුවීමට ගියේය. පුවත දැන්වූයේය. “සුප්පාවාස සුවපත් වේවා. නීරෝගී වේවා! දරු උපත හොඳින් සිදුවේවා. බුදුහු වදාළහ. ඒ සමඟ සුප්පාවාසාගේ වේදනාව දුරුවිය. දරුවෙක් මෙලොවට පැමිණියේය. සත් අවුරුදු වියැති සාමාන්‍ය දරුවකු මෙන් මේ පුතා ඇවිදීමට, කතා කිරීමට සමත් වූයේය.
ීවලී යන නම ඔහුට තැබිණ.
සීවලී කුමරු සත් අවුරුදු සත්මස් සත් දිනක් දරු ගැබ තුළ සිරවී සිටියේ ඇයි? ඔහුගේ මව සත් දිනක් ඉතා බරපතල ලෙස විලිරුදාවෙන් පෙළුනේ ඇයි? මේ ප‍්‍රශ්නවලට පසු දිනෙක බුදු රජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.
සීවලී පෙර රජකම් කළ සමයෙක එක් කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට සටනක් කළේය. රාජ්‍යය යටත් කරගත නොහැකිවිය. මේ නිසා ඒ රටට ආහාර එන මාර්ග වසා දැමීය. සත් අවුරුදු සත් මසක් මාර්ග පාලනය කරමින් රැකවල් දැමූවේය. එයින්ද පලක් නොවිණ. ඒ නුවරට ආහාර සපයන උමඟක් ගැන ඒ රජුගේ මවට අසන්නට (මවට) ලැබිණ. ඒ උමඟ වසා දමන්නැයි ඇය සිය පුත් රජුට උපදෙස් දුන්නාය. සත් දිනක් තිස්සේ ආහාර නොලැබ කුපිත වූ රට වැස්සෝ සිය රජු මරා සතුරු රජුට යටත් වී ආහාර ලැබෙන මාර්ග විවෘත කරවා ගත්හ.
මේ පාපය නිසා ඒ රජුට දුගතිගාමීව අපා දුක් විඳින්නට සිදුවිය. මේ භවයේ දී ද දරු ගැබ තුළ සත් අවුරුදු සත් මසක් සිරවී දුක් විඳින්නට සිදුවිය. මවුබිසවට ද සතියක් තිස්සේ උමඟ වසා රට වැසියන් කුස ගින්නේ තැබූ පාපය නිසා දුගති ගාමීව අපා දුක් විඳින්නට සිදුවිය. මේ භවයේ දී ද ඇගේ ගැබ් ගෙළ සිරවූ දරුවා නිසා සතියක් තිස්සේ ඉතා දරුණු ලෙස විලි රුදායෙන් පෙළීමට ඇයට සිදුවිය.
සීවලී කුමරු පැවිදි දිවියට එළඹීම හා රහත් වීම
සීවලී කුමරු බිහිව සත්වැනිදා මහා ලිච්ඡවි රජ මැදුරේ දී බුදු රදුන් ප‍්‍රමුඛ මහ සඟ රුවනට දානයක් පිරිනැමිණ. දානය අවසන සුප්පාවාසා බිසව සිය පුතු සමඟ බුදු හිමියන් සහ භික්ෂූන් වහන්සේගේ පා වැඳීමේ යෙදුණාය. මුලින්ම බුදු සිරි පා වැඳගත් සීවලී කුමරු පසුව සැරියුත් හිමියන් අසලට පැමිණයේ ය.
“කොහොමද සැප සනීප?” සැරියුත් හිමි සීවලී කුමරුගෙන් ඇසීය.
“මොන සැපක්ද? අවුරුදු හතකටත් වැඩි කාලයක් ලේ පිරුණු කළ ගෙඩියක් ඇතුළේ එහාට මෙහාට ඇඹරී ඇඹරී මා දුක් වින්දා. මොන සැපයක්ද? “ කුමරු පිළිතුරු දුන්නේය.
“පැවිදි වී සියලු දුක් නැති කර ගන්නට ඔබ කැමැතිද?” සැරියුත් හිමියෝ ඇසූහ.
“මා කැමැතියි. පැවිදි ව දුක් නැති කර ගන්නට හැකිනම් කොයි තරම් හොඳ ද?”
සීවලී කුමරු විහාරයට කැඳවා ගෙන ගිය සැරියුත් හිමියෝ මෙසේ කීහ.
“සත් වසරකටත් වැඩි කාලයක් මවු කුසේ සිරවී වින්ද දුක හොඳින් සිහිපත් කරන්න.” යි කියමින් උන්වහන්සේ කුමරුගේ පළමු කෙස් රොද කපා අතට දුන්නේය. එය දකින විටම සීවලී කුමරු සෝවාන් ඵලයට පත් වූයේය. දෙවන කෙස් රොද අතට ගැනීමත් සමඟ සකෘදාගාමී ඵලයට පත්විය. තෙවැනි කෙස්රොද අතට ගැනීමත් සමඟ අනාගාමී ඵලයට පත්විය.
සියලු කෙස් කපා අවසන් වීමට පෙර සියලු කෙලෙසුන් ගෙන් දුරුවෙමින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිලිසිඹියාපත් මහ රහත් බවට පැමිණියේය. රහත් වූ දින පටන් සීවලී මහ රහතන් වහන්සේට දාන මානවලින් අඩුවක් නොවීය. එපමණක් නොව ත්‍රිපිටකධාරි බවට ද පත්වුහ. තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් නමක් විමට පසුවය.
මේ සීවලි මහ රහතන් වහන්සේගේ පින් බලයෙන් දිනපතා දහස් ගණන් දානාදිය ලැබුණි. චීවර ප්‍රත්‍යයද ලැබුණි. ඒ සියල්ලම උන්වහන්සේ මහා සංඝයා වහන්සේට පුජා කළහ. දිනක් සීවලී රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. “ මට මේ පුජා ලැබෙන්නේ නගර වලදී පමණක් ද ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල දීත් ලැබේද? මෙය පරික්ෂාකර බැලිය යුතුයයි සිතා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබගෙන පන්සියයක් රහතුන් වහන්සේ සමග 1 වර හිම වත කැලයකට වැඩ නුගගසක් යට සිටිසේක. එවිට දේවතාවෝ සත් දිනක් දිව්‍යහාර පුජා කළහ. 2 වර පාණ්ඩව පර්වතයටද 3 වර අචිරවති ගංතෙර අසලටද 4 වර සාගර තලයටද 5 වර හිමවන්තයටද 6 වර ඡද්දන්තයයටද 7 වර ගන්ධමාදන පර්වතයටද වැඩියහ. මේ දින 49 තුළ දේවතාවෝ සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වහන්සේට දිව්‍යමය ආහාර පුජා කළහ.
8 වර තිස් දහසක් භික්ෂුන් හා සීවලී මහරහතන් සමග බුදුරජාණන් වහන්සේ ඛදිරවනිය රේවත ස්වාමීන් දකින්නට දින 15 ක් ගමන යද්දී සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍යානු භාවයෙන් දෙවියෝ බිමට බැස මිනිස් වෙසින් උන්වහන්සේලාට දානය දුන්හ. ආපසු වඩින විටද එහි ගත කළ දින 15ටද යන දින 45 තුළ සිවුපසය දුන්හ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී සිවුවණක් පිරිස මැදදී සීවලී මහරහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර ප්‍රධාන තැන පැවරූසේක.
උන් වහන්සේට මේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රවුසේක.
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
No comments:
Post a Comment