සම්බුදු තෙමඟුල් සිරියෙන් බබළන අසිරිමත් වෙසක් පුන් පොහෝදා





අප මහ බෝසතුන් මව්කුසින් බිහිවීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරදුන් පිරිනිවන් පෑම ද සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනක ය. තවද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර දැක්වීම, වෙසක් පොහෝ දිනක සිදු වී තිබේ. විජය කුමරු ලංකාවට පැමිණීම හා ඒ සමග මෙරට සිංහල ජාතිය ඇති වීම ද, දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදි කිරීමට පටන් ගැනීම ද වෙසක් පොහෝ දිනකම සිදු වී තිබේ.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා බුද්ධ කාරක පාරමිතා ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධිසත්වයෝ වෙස්සන්තර ආත්ම භාවයෙන් චුත වී තුසිත දෙව්ලොව සංතුසිත නම් වූ දෙව් රජව උපන්හ. උන්වහන්සේට මිනිස් ලොව ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කාලය උදා වී ඇති බව දුටු දිව්‍ය බ්‍රහ්මාදීහු ඒ සඳහා මෙසේ ආරාධනා කළහ.

“කාලෝ යංතේ මහා වීර
උප්පජ්ජ මාතු කුච්චියං
සදේවකං තාරයන්තෝ
බුජ්ඣස්සු අමතං පදං”

“මහා වීරයාණන් වහන්ස, දෙව් මිනිසුන් සහිත සත්වයින් සසර දුකින් එතෙර කරවීම පිණිස මිනිස් මව් කුසක ඉපිද අමත මහා නිවන් අවබෝධ කර ගැනීමට දැන් ඔබවහන්සේට කාලය උදා වී ඇත.”

මෙම ආරාධනාව කරුණාබර හදින් පිළිගත් අප බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට සුදුසු කාලය, දේශය, ද්වීපය, කුලය හා මව යන කරුණු සම්පූර්ණ වී දැයි දිවැසින් විමසා බැලූ සේක. ඒ අනුව පරමායුෂ අවුරුදු සියයක් වූ මිනිස් ලොව, උසස් වූ ජම්බුද්වීපයේ බුද්ධිමතුන්ට නිවාස වූ මධ්‍ය දේශයේ, ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය කුලයේ, ශිලාදි ගුණෝපේත මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමට උන්වහන්සේ අධිෂ්ඨානය කළ සේක. ඒ අනුව ඇසළ පුන් පොහෝ දිනක අප මහා බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගත් අතර ඉන්පසු එළඹි වෙසක් පුන් පොහෝ දා මහාමායා දේවිය සිය මව්පියන් දකින්නට දෙව්දහ නුවරට යන ගමනේ ඉතා රමණීය වූ ලුම්බිනි නම් සල් වනයට ළඟා වීමත් සමග ම උන්වහන්සේ මව්කුසින් බිහි වූ සේක.

එලෙස වෙසක් පුන් පොහෝ දා මව්කුසින් බිහි වූ බෝසතුන් බ්‍රහ්මයන් සිව් දෙනෙකු විසින් රන් දෑලකින් පිළිගත් අතර ඔවුන් අතින් සතරවරම් දෙවිවරුන් ද ඒ අය අතින් ඇමැතිවරු ද
පිළිගත්හ. ඇමැතිවරුන්ගේ අතින් පොළොවට බසින විට උන්වහන්සේගේ පය පිළිගැනීමට පොළොව පලාගෙන නෙළුම්මල් පැන නැගී හෙයින් ඒ මත පියවර හතක් තබා අප බෝසතාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මම ලොවට අග්‍රවෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මෙයින් පසු මට නැවත උපතක් නැත.”

වෙසක් පොහෝ දිනක සිදු වූ මෙම ප්‍රාතිහාර්යයෙන් පසු ඉතා අසාමාන්‍ය ගතිලක්ෂණවලින් හෙබි බෝසතාණන් වහන්සේ මුළු ලොවට පහනක් සේ බබළමින් වැඩෙන්නට වූ සේක. එසේ වැඩිවියට පත් උන්වහන්සේ සොළොස් වියට පත් වූ පසු යශෝධරා දේවිය සරණපාවා ගෙන රම්‍ය, සුමර්‍ය හා සුබ යන මාලිගා තුනෙහි දෙවියෙකු ලෙස කල්ගත කළ සේක. මෙසේ සැප විඳින්නා වූ අප බෝසතාණන් වහන්සේ සියල්ල අනිත්‍ය වන ආකාරය අවබෝධ කර ගනිමින් මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් හා පැවිදි රුවක් යන සතර පෙර නිමිති දැක ගිහි ජීවිතය පිළිබඳ කලකිරී මහාභිනිෂ්්ක්‍රමණය කර තවුස්පැවිද්දෙන් පැවිදි වූ සේක. මෙසේ ගිහිගෙයින් නික්ම, තවුස් පැවිද්දෙන් පැවිදිව වසර හයක් මුළුල්ලේ ඉතාමත් ම දුෂ්කර ප්‍රතිඥාවක් අනුගමනය කළ අප බෝසතාණන් වහන්සේ ඉන්පසු එළඹුණ වෙසක් මස පුර තුදුස්වක් දින රාත්‍රී කාලයේ සිහින පහක් දුටු අතර ඒ සිහිනවල තේරුම් විමසා බලා තමන් ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධත්වයට පත්වන බව පසක් කොටගත්හ.

සුජාතා සිටු දියණිය විසින් පුදන ලද කිරිපිඬු දානය පිළිගෙන නේරංජනා ගං තෙරට වැඩම කර අධිෂ්ඨානයක් කළ සේක. තමන් බුද්ධත්වයට පත් වන්නේ නම් සිය පාත්‍රය උඩුගං බලා ප ා වී යා යුතු යැයි උන්වහන්සේ අධිෂ්ඨාන කර පාත්‍රය ගඟට දැමූ කල එය උඩුගං බලා පාවෙන්නට වූ අතර ඒ දැක සතුටු වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කර අපරාජිත පර්යංකයෙන් වැඩසිටි සේක.



මෙසේ වැඩ සිටින බෝසතුන් බිය ගැන්වීමට වසවර්තී මාරයා කොපමණ, උත්සාහ කළත් එයින් පලක් නොවූ තැන, උන්වහන්සේ මාරයා තැති ගන්වා මාර සෙනග පලවාහැර අවසානයේ දී චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිටි පුබ්බේනිවාසානුස්සති ඥානය උපදවාගත්සේක. ඉන් අනතුරුව දිට්ඨි විසුද්ධිය, කංඛාවිතරණ විසුද්ධිය, පටිපදාඤාණ දස්සන විශුද්ධිය හා ඤාණ දස්සන විසුද්ධිය ඇතිකර ගත් බෝසතාණන් වහන්සේ අවසානයේ උතුම් වූ අර්හත් මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මෙලෙස අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කලියුග වර්ෂයෙන් 2513 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝදා ය.

මෙලෙස සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක් දෙව් මිනිසුන්ගේ යහපත සඳහා දහම් දෙසමින් මෙලොව වැඩ සිටි සේක. ඒ වන විට උන්වහන්සේ අසූ වියට එළඹ සිටිසේක්. මාරයා උන්වහන්සේට පිරිනිවන් පාන මෙන් කළ ආරාධනාව පිළිගෙන විශාලා මහනුවර මහාවනයෙහි කූඨාගාර ශාලාවට සියලු භික්ෂූන් රැස් කරවා අවසානයේ දී මෙසේ වදාළ සේක.

“මහණෙනි, මම දැන් ඔබ අමතමි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු ය. අප්‍රමාදීව කටයුතු කරව්. මෙයින් තුන් මසක් ගත වූ විට තථාගතයාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ ය.

තුන් මාසයක් ගත වූ විට වෙසක් පුන් පොහෝ දින උදා විය. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිසක් පිරිවරාගෙන කුසිනාරා නුවර උපවත්තන නම් වූ සාල වනෝද්‍යානයට වැඩම කොට එහි පනවන ලද ආසනයක සිංහ සෙය්‍යාවෙන් සැතපුන සේක. එසේ සැතපී සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරණුවන්ට ඉතා වටිනා අවවාද රැසක් ම ලබා දුන් සේක. මෙහිදී උන්වහන්සේ, තථාගතයාණන් වහන්සේ ආමිස පූජාවෙන් පුදනවාට වඩා ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම උසස් බව වදාළ සේක. තව ද, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකු විසින් දැකබලා සංවේගය ඇති කරගත යුතු ස්ථාන සතර ලෙස බෝසතාණන් වහන්සේ උපන් තැන, බුදු වූ තැන දම්සක් පැවතුම් සුතුර දෙසූ තැන හා පිරිනිවන් පෑ තැන පෙන්වා දුන් සේක.

මෙසේ භික්ෂූන් වහන්සේලාට අවසන් වශයෙන් අවවාද අනුශාසනා පැවැත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදින එනම් වෙසක් පුන් පොහෝ දින රාත්‍රී පශ්චිම යාමයෙහි තමන් වහන්සේ පිරිනිවන් පාන බව මල්ල රජදරුවන්ට දැනුම් දෙන මෙන් ආනන්ද තෙරුන් වහන්සේට වදාරා අවසන් බුද්ධ වචනය ප්‍රකාශ කළසේක. එනම්, හන්දානි භික්ඛවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ යනුවෙන්, මහණෙනි, මම දැන් නුඹලා ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාරයෝ විනාශ වන්නාහුය. අප්‍රමාදීව කටයුතු කරන්න යි දේශනා කළ සේක. මෙසේ දේශනා කළ තථාගතයාණන් වහන්සේ පළමු කොට ප්‍රථම ධ්‍යානයේ සිට නිරෝධ සමාපත්තිය දක්වා ද, නිරෝධ සමාපත්තියේ සිට චතුර්ථධ්‍යානය දක්වා ද සමවැද එයින් නැගී නිරුපදිශේෂ ලෙස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. මුළු ලොවම සොවින් ඇලලුණ ඒ මොහොතේ සංවේගයට පත් ශක්‍ර දේවේන්ද්‍රයා

“අනිච්චා වත සංඛරා උප්පාද වය ධම්මිනෝ, 
උප්පජිත්වා නිරුජ්ඣන්ති තේසං වූ පසමෝ සුඛෝ”

යනුවෙන් ප්‍රකාශ කරද්දී මහා භයංකර භූමි චලනයත් ඇතිවිය. ආකාශය අන්ධකාර වී මහා ගර්ජනාවක් ඇති විය.

අලුතෑපොල ගණේකන්ද රජමහා විහාරාධිපති
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය, 
ආචාර්ය, රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

No comments:

Post a Comment