ලොව මුල් වරට මහ රහතන් වහන්සේලා සැට නමක් ධර්ම ප්‍රචාරක කටයුතුවලට පිටත්ව යාම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් වූ සාරි බැමිණිය මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම, සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන්පෑම, මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම වැනි අනුස්මරණීය ශාසනික සිදුවීම් රාශියක් ඉල් මස පුර පසළොස්වක පොහෝ දා සිදු වී ඇත. පසු වස් පවාරණය කළ යුතු දිනය මෙන්ම, කඨින චීවර පූජාව, සිදුකළ හැකි අවසන් දිනය යෙදෙනුයේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දා ය.
තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දා බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේලා සමඟ පළමු වරට වස් සමාදන් වූ සේක. එම වස් කාලයේ දී ම උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වා එම පස්වග මහණුන් වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා දුන් සේක. තව ද මෙම වස්කාලයේදී ම උන්වහන්සේ යස කුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකුට රහත් මඟඵල ලැබීමට මග පෙන්වූ සේක. එම වස් කාලය අවසන් වූ පසු එළඹුණු ඉල් මස උන්වහන්සේලා ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස,ලෝවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දෙව්, මිනිසුන්ගේ යහපතත්, සැපයත් පිණිස චාරිකාවේ හැසිරෙන්න” යැයි වදාළ සේක. අනතුරුව උදාවූ ඉල් පුර පසළොස්වක පොහෝදා එම රහතන් වහන්සේලා පිරිස ධර්ම ප්‍රචාරය පිණිස පිටත්කර යවා තමන් වහන්සේ තනිව ම උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක.
එකල නේරඤ්ජනා ගංගාව අසල විසූ උරුවෙල් කාශ්‍යප තාපසයාට පන්සියයක් වූ අතවැසි පිරිසක් ද, නදී කාශ්‍යප තාපසයාට තුන් සියයක් වූ අතවැසි පිරිසක්ද ගයා කාශ්‍යප තාපසයාට දෙසියයක්වූ අතවැසි පිරිසක් ද වූ හ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම කොට බලවත් වූ අනුකම්පාවෙන් උරුවෙල් කාශ්‍යප තවුසා ඇතුළු පන්සියයක් පිරිසට ප්‍රාතිහාර්යය දක්වා ඔවුන්ගේ මානය බිඳ පැවිදි කළ සේක. ඔවුන්ගේ තවුස් පිරිකර ගංගාවේ පා කර හැරී අතර ඒවා දුටු නදී කාශ්‍යප සිය වැඩිමහල් සහෝදර උරුවෙල් කාශ්‍යප තවුසාට කරදරයක් වී යැයි සිතා පැමිණි මොහොතේ බුදුරදුන් ඔවුන්ටද දහම් දෙසා පැවිදි කළහ. එම පිරිස ද තම තවුස් පිරිකර ගඟට දැමූ අතර ඒවා දුටු ගයා කාශ්‍යප තාපසයා ද තම සහෝදරයන් දැකීමට පැමිණි අතර බුදුරජාණන් වහන්සේ ඒ පිරිසටද දහම් දෙසා අනතුරුව සැවොම පැවිදි කළ සේක.ඉන් අනතුරුව එදා ඉල් පොහෝ දා අරඹන ලද ධර්ම දූත මෙහෙය තවදුරටත් ගෙන යමින් බුදුරජාණන් වහන්සේ ගයා ශීර්ෂයේ ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරමින් ඒ සැමදෙනා වහන්සේට ම රහත්වීමට මඟ පෙන්වූ සේක.
සැරියුත් මහරහතන් වහන්සේ තම මවට අයත් නිවසෙහි පිරිනිවන් පා වදාළේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනයක ය. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවු වූයේ සැරියුත් මහ තෙරුන් ය. දම් සෙනෙවි නම් තනතුරක්ද උන්වහන්සේට තිබුණ අතර උන්වහන්සේගේ සහෝදර සහෝදරියන් වූ චුන්ද, උපසේන, රේවත , මාලා, උපචාලා හා සිසුපචාලා යන පිරිස ද සම්බුදු සසුනේ පැවිදි ව රහත් වු මුත් උන්වහන්සේගේ මෑණියන් ඒ වන විටත් සිටියේ මිථ්‍යා දෘෂ්ටිකව ය. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ තම ආයු කාලය විමසා බැලු සේක. තමන්ට තව ජීවත්වීමට ඇත්තේ සතියක කාලයක් පමණක් බව දුටු උන්වහන්සේ තම මව සම්‍යක් දෘෂ්ටික කර නිවසේ දී ම පිරිනිවන් පෑම සුදුසුයැයි සිතා ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කර, වැඳ අවසර ගෙන, විශාල භික්ෂු පිරිසක් සමඟ නාලක ගමට වැඩම කොට තම මෑණියන්ට ධර්මය දේශනා කොට ඇය සෝවාන් මාර්ගඵලයට පත්කර වූ සේක. ඉන් අනතුරුව උන්වහන්සේ එම නිවෙස්දීම පිරිනිවන් පා වදාළ අතර දිනය ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනක් විය. චුන්ද තෙරුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ පාත්‍ර, සිවුරු හා ධාතුන් වහන්සේලා රැගෙන ජේතවනාරාමයට වැඩම කර සියල්ල බුදුරදුන්ට පිළිගැන්වූ සේක. බුදුරජාණන් වහන්සේ ද සැරියුත් තෙරුන්ගේ ගුණ වනා එම ධාතු තැන්පත්කර චෛත්‍යයක් ඉදිකරවා අනතුරුව රජගහනුවරට වැඩම කළ සේක.
පෙර සංසාරයේ මා පියන්ට කරන ලද හිංසනයක විපාකයක් ලෙස මුගලන් මහ රහතන් වහන්සේ ‘කාලසිලා’ පර්වත විහාරයේ වැඩ වසන කාලයෙහි දුදනන් විසින් කරන ලද පහරදීමක් නිසා පිරිනිවන් පා වදාළේ ඉල් මස අව පසළොස්වක දිනක ය.
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වප් පොහෝ දා තව්තිසා දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩම කළේ වස් පවාරණය කිරීමෙන් අනතුරුව ය. උන්වහන්සේ එසේ වැඩම කළේ දඹදිව සංකස්ස පුර නම් නගරයට ය. සංකස්ස පුර සිරිවඩ්ඪ නම් වූ ධනවත් පුතෙකු ලෙස උපන් මෛත්‍රි බෝධි සත්වයෝ බුදුරජාණන් වහන්සේ වස් පොහෝ දින දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට වැඩි මොහොතේ සැරියුත් තෙරණුවන් සමඟ කළ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කොට පැහැදී පැවිදි වූහ. අනතුරුව මෛත්‍රී බෝසත් භික්ෂුව තමන්ට ලැබුණු වටිනා වස්ත්‍ර යුගලක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි එල්ලා මහත් පිනක් සිදුකර ගත්හ. බුදුරජාණන් වහන්සේ ඒ උතුම් මෛත්‍රි බෝසත් භික්ෂුවගේ අභිප්‍රාය දැන භික්ෂූන් අතර වැඩ සිටි උන්වහන්සේ පෙන්වා,
“මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලයකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලන්න. මේ භික්ෂුව මෙම මහා භද්‍ර කල්පයේ දී මහ මෛත්‍රී නම් වූ සම්මා සම්බුදු රදහු වන්නාහ. එකල බරණැස් නුවර කේතුමති නම් රාජධානියේ සංඛ නම් සක්විති රජකෙනෙකු පහළ වන අතර එරජුගේ පුරෝහිත බමුණා වන සුබ්‍රහ්ම මොහුගේ පියා වන අතර බ්‍රහ්මවති මෑණියන් වන්නී ය. බෝරුක නා ගසකි.” යනුවෙන් වදාළ සේක. මේ ආකාරයෙන් මෛත්‍රි බෝධිසත්වයාණන් වහන්සේ නියත විවරණ ලබා ගත්තේ ද ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනක ය.
කඨින පින්කමක් පැවැත්විය හැකි අවසාන දිනය වන්නේ ද ඉල් මහ පුරපසළොස්වක් පොහෝ දා ය. වප් පුර පසළොස්වක පොහෝ දවසින් ආරම්භ වන කඨින චීවර මාසය ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වෙයි. කඨින චීවර පූජාවක් කළ හැකි මේ කාලය තුළ පමණි. තවද ඇසළ පුන් පොහෝ දා වස් සමාදන් වීමට නො හැකිවු උපසපන් භික්ෂූන් වහන්සේලා නිකිණි පොහොයෙන් පසුව වස් සමාදන් වූ විට වස් පවාරණය කරනු ලබන්නේ ද ඉල් මස පුරපසළොස්වක පොහෝ දා ය.
අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කාලයක පාරමිතා පූර්ණය කොට සම්මා සම්බුද්ධත්වයට පත්ව අවබෝධ කරගත් ධර්මය ප්‍රචාරය කිරීමට මුල්ම පියවර ගනු ලැබුවේ ධර්ම දූතයාණන් වහන්සේලා ලොව පුරා පිටත්කොට හැරීමෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ උතුම් වූ කෙලෙස් සදහම් රසය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුව වූයේ එදා ඉල්මස පුර පසළොස්වක පොහෝ දින මහරහත් වහන්සේ හැට එක් නමක් විසින් ආරම්භ කරන ලද ධර්ම ප්‍රචාරක සේවය බව ය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් යුක්ත ව සිද්ධ කරන ලද ඒ මහා සේවාවෙහි ප්‍රතිඵලය වූයේ සම්බුදු සසුන දේශ දේශාන්තර වල පැතිරීම යි. සැරියුත්, මුගලන් ආදී මහරහතන් වහන්සේලාගේ පහළවීම හා මෛත්‍රි බෝසතුන් පැවිදි වීම ද සිදුවුයේ ඒ උතුම් ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
තව ද ලංකාවේ මුල්ම ම රහතන් වහන්සේ වන අරිට්ඨ තෙරණුවන් ඇතුළු භික්ෂූන් වහන්සේලා මිහින්තලාවේ වස් වැස අනතුරුව වස් පවාරණය කිරීමෙන් පසු බුදුරදුන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යයක් තැනීමේ යෝජනාව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජතුමාට කරන ලද්දේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනක දී ය. එම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස සුමන සාමණේරයාණන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩමවීම පිණිස දඹදිවට වැඩම කළ අතර බුදුරදුන්ගේ අකු ධාතුන් වහන්සේ ප්‍රමුඛ ධාතුන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් ලංකාද්වීපයට ලැබුණේ ද මිහිඳු මා හිමියන්ගේ එම යෝජනාව නිසා ය.
බුදු දහම ලොව පුරා ප්‍රචලිත වීම නිසා අප්‍රමාණ සත්ත්වයන් නිවන අරමුණු කොට කුසල් වඩා සසර දුකින් එතෙර වූයේ ඒ උතුම් බෞද්ධ ධර්ම දූත සේවාවේ ආරම්භය නිසා ය. බෞද්ධයෙකු ලෙස මේ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් ඒ උතුම් මහ රහතන් වහන්සේලා ලොවට කියා දුන් ධර්මය තවදුරටත් විරාජමාන වන බව ඉතා පැහැදිලි ය.
අලුතෑපොල ගණේකන්ද පූරාණ රාජමහා විහාරාධිපති
කැලණිය විශ්වවිද්‍යාලයේ
නූතන භාෂා අංශයේ (චීන)
මහාචාර්ය
ආචාර්ය රාජකීය පණ්ඩිත
කැලණිය විශ්වවිද්‍යාලයේ
නූතන භාෂා අංශයේ (චීන)
මහාචාර්ය
ආචාර්ය රාජකීය පණ්ඩිත
උපුටාගැනීම බුදුසරණ පත්‍රයෙනි.
No comments:
Post a Comment