සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහොය



අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වෙස්සන්තර ආත්මභාවයෙන් චුත වී තුසිත දෙව්ලොව සංතුසිත නම් දෙව්රජ ව උපන් සේක. උන්වහන්සේ මිනිස් ලොව ඉපිද, සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කාලය එළඹ ඇති බව දුටු දෙව් බඹහු මෙසේ බෝසතුන්ට ආයාචනා කළහ.

‘කාලෝ යං තේ මහාවීර,
උප්පජ්ජමාතු කුච්ඡියං
සදේවකං තාරයන්තෝ
බුජ්ඣස්සු අමතං පදං

මහා වීරයාණන් වහන්ස, දෙවියන් සහිත මිනිසුන් ඇතැම් සත්ත්වයන් සසර දුකින් එතෙර කරවීම පිණිස මිනිස් මව්කුසක ඉපිද අමෘත වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට දැන් ඔබවහන්සේට කාලය පැමිණ තිබේ.

මෙම ආරාධනාව පිළිගත් අප බෝසතාණන් වහන්සේ ඉන් අනතුරුව කාලය, දේශය, ද්වීපය, කුලය හා මව යන කරුණු පහ සම්පූර්ණ වී ඇද්දැයි දිවැස් යොමා බැලූ සේක. ඒ අනුව පරමායුෂ අවුරුදු සියයක් වූ මිනිස් ලොව උසස් වූ ජම්බුද්ධීපයේ බුද්ධිමතුන් සහිත මධ්‍ය දේශයේ, ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය කුලයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමට අධිෂ්ඨාන කළ සේක. ඇසළ මාසයේ දිනක අපමහ බෝසතාණන් මහාමයා දේවියගේ කුස පිළිසිඳ ගත් අතර, ඉන්පසු එළඹි වෙසක් පොහෝ දින සිය මව්පියන් දකින්නට ඇය දෙව්දහනුවරට යන ගමනේ ලුම්බිනි උයනට ළඟා වීමත් සමඟ ම ප්‍රසව වේදනාව දැනෙන්නට විය. මද වේලාවකින් අප මහා බෝසතාණන් මව්කුසින් බිහි වූහ.


මව්කුසින් බිහිවූ බෝසතාණන් බඹුන් සිව් දෙනෙකු විසින් රන් දෑලකින්ද, ඔවුන් අතින් සතර වරම් දෙවිවරු ද, ඉන් පසු ඇමැතිවරුන් විසින් ද පිළිගන්නා ලද අතර, උන්වහන්සේ බිමට පය තැබූ විගස නෙළුම් මල් පැන නැගී ඒ මත වැඩ සිට මෙසේ වදාළ සේක. ‘මම ලොවට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීම යි. මෙයින් පසු මට නැවත උප්පත්තියක් නැත.’

ඉන් අනතුරුව සොළොස් වියට පත් අප මහා බෝසතාණෝ යශෝධරා දේවිය සරණ පාවා ගෙන රම්‍ය, සුරම්‍ය, සුබ යන මාලිගා තුනෙහි කාලය ගෙවමින් සිටින කාලයේ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් හා පැවිදි රුවක් යන සතර පෙරනිමිති දැක ගිහි ජීවිතය පිළිබඳ කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කොට තවුස් පැවිද්දෙන් පැවිදි වූහ.

මෙසේ ගිහි ගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව වසර හයක් ගත වූ තැන එළඹි වෙසක් මස පුර තුදුස්වක් දින රාත්‍රී සිහින පහක් දුටු අතර, තමන් සම්මා සම්බුද්ධත්වයට පත්වන බව ඒකාන්ත යැයි පසක් කරගත් උන්වහන්සේ අජපාල නුගරුක වෙත වැඩිසේක. එතැන දී සුජාතාවගේ කිරිපිඬු දානය ද පිළිගෙන නේරංජනා තීරයට වැඩමකොට පාත්‍රය උඩ ගං බලා යන බව දැක සතුටු වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කර අපරාජිත පර්යංකයෙන් වැඩසිටි සේක. මෙසේ වැඩසිටින බෝසතුන් බිය ගැන්වීමට වසවර්තී මාරයා කො පමණ උත්සාහ කළද, මාරයා තැති ගන්වා මාර සෙනඟ පලවා හැර අවසානයේ දී උන්වහන්සේ චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට පුබ්බේනිවාසානුස්සති ඤාණය උපදවා ගත් සේක. ඉන් අනතුරුව දිට්ඨි විසුද්ධිය, කංඛාවිතරණ විසුද්ධිය, පටිපදාඤාණ දස්සන විසුද්ධිය හා ඤාණ දස්සන විසුද්ධිය ඇතිකර ගත් උන්වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මෙලෙස අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කලියුග වර්ෂයෙන් 2513 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහොදා ය. මෙසේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් උන්වහන්සේ තම සිත තුළ උපන් පී‍්‍රතිය උදාවන වාක්‍යයකින් මෙලෙස වදාළ සේක.


“අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරගවේසන්තෝ - දුක්ඛාජාති පුනපුනං
ගහකාරක දිට්ඨෝසි - පුනගේහං නකාහසි,
සබ්බාතේ පා සුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ඣගා”

නැවත නැවත ඉපදීම දුකයි, ඒ නිසා ආත්මභාව නමැති ගෙය හදන තණ්හාව නමැති වඩුවා සොයමින් නොයෙක් උප්පත්ති ඇති සසරේදී ම ඇවිද්දෙමි. තණ්හාව නමැති වඩුවා, දැන් මම නුඹව දැක්කෙමි. මින් පසු නුඹ කවදාවත් මෙම ගෙය හදන්නේ නැත. නුඹේ සියලු කෙලෙස් නමැති පරාල මම කඩා දැමුවෙමි. අවිද්‍යාව නමැති කැණිමඩල පලා දැම්මෙමි. සිත නිවනට ගියේ ය. තෘෂ්ණාව ක්ෂය කළෙමි.

මෙලෙස සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස දහම් දෙසමින් වැඩ සිටිසේක. අසූ වයසට එළඹෙමින් සිටි සේක. එවිට මාරයා උන්වහන්සේට පිරිනිවන් පාන ලෙස ආරාධනා කළේ ය. එම ආරාධනාව පිළිගත් උන්වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූඨාගාර ශාලාවට සියලු භික්ෂූන් රැස් කරවා අවසානයේ දී මෙසේ වදාළ සේක.


“හන්දානි භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ, න චිතං තථාගතස්ස පරිනිබ්බාණං, භවිස්සති, ඉතො තිණ්ණං මාභනමච්යේන තථාගතෝ පරිනිබ්බායිස්සරි.”

මහණෙනි, මම දැන් ඔබලාව කාරුණිකව අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළු ය. අප්‍රමාදීව කටයුතු කරමි. ළඟදීම තථාගතයාණන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ගත වූ තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ ය.

තුන් මසක් ඇවෑවෙන් වෙසක් පුර පසළොස්වක දින උදා විය. බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිසක් සමගම කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනට වැඩම කොට එහි පනවන ලද අසුනක සිංහ සෙය්‍යාවෙන් සැතපුණ සේක. එසේ සැතපී උන්වහන්සේ ආනන්ද තෙරුන්ට ඉතා වටිනා අවවාද රැසක් ම ලබා දුන් සේක. ආමිස පුජාවෙන් තථාගතයාණන් පුදනවාට වඩා ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම උතුම් බව උන්වහන්සේ වදාළ සේක. තවද,
“ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකු දැක සංවේගය ඇති කර ගත යුතු ස්ථාන සතර, බෝසතුන් උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවැත් වූ තැන හා පිරිනිවන් පාන තැන යැයි උන්වහන්සේ වදාළ සේක.

මෙසේ භික්ෂූන්ට අවවාද ලබා දුන් බුදුරජාණන් වහන්සේ එදින රෑ පශ්චිම යාමයේ තමන් පිරිනිවන් පාන බව මල්ල රජදරුවන්ට දැනුම් දෙන මෙන් ආනන්ද තෙරුන්ට පවසා අවසන් බුද්ධ වචනය වූ ‘හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ” යනුවෙන් වදාරා ප්‍රථමස්ථානයේ සිට නිරෝධ සමාපත්තිය දක්වා ද නිරෝධ සම්පත්තියේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා ද සමවැඳ එයින් නැගී සිට නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ කල්හි ශක්‍ර දේවේන්ද්‍ර ‘අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ, උප්පංජිත්වා නිරුජඣන්ති. තේසාං වූ පසමෝ සුඛෝ” යනුවෙන් සිය සංවේගය ප්‍රකාශ කළේය. එවිට බියකරු භූමි චලනයක් ඇතිවිය. අහස ගිඟුරුම් දුන්නේ ය.

අලුතෑපොල 
ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ (චීන) 
මහාචාර්ය, 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි

අසමසම බුදුරජාණන් වහන්සේ



බුදුරජාණන් වහන්සේ උපන්නේ මනුෂ්‍යයන් අතරය. වැඩුනේ මනුෂ්‍යයන් අතරය. එසේ වුවද උන්වහන්සේ මනුෂ්‍යයන් තුළ පැවැති කෙලෙස් කුණු තවරා නොගත් හ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නගරයත්, සේතව්‍ය නුවරත් අතර මාර්ගයෙහි වැඩි සේක. එම මාර්ගයෙහි යමින් සිටි ද්‍රෝණ නැමැති බ්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පා සටහන් දැක, “පුදුමයෙකි, ආශ්චර්යයෙකි, ඒකාන්තයෙන්ම මේ මිනිසෙකු ගේ පා සටහන් නොවනු ඇත. “යනුවෙන් සිතා බුදුරදුන් වැඩ සිටි දෙසට ගමන් කළේය. බුදුරදුන් ගසක් මුල වැඩ සිටිනු දැක උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
ඔබවහන්සේ දෙවියෙක් ද? බමුණ, මම දෙවියෙක් නොවෙමි, ඔබ වහන්සේ ගාන්ධර්වයෙක් ද? බමුණ, මම ගාන්ධර්වයෙක් නොවෙමි. ඔබ වහන්සේ යක්ෂයෙක් ද? බමුණ, මම යක්ෂයෙක් නොවෙමි, ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද? බමුණ, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

මේ ආකාරයට දෙවියෙක්, ගන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යයෙක් නොවේ නම් ඔබ වහන්සේ කවරෙක් ද? බමුණ ඔබ ඔය සඳහන් කළ අය ආශ්‍රවයන් ප්‍රහීණ කළ අය නොවෙති. මම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළ අයෙක් වෙමි. මුදුන සිඳලූ තල් ගස් මෙන් නැවැත නූපදින තත්වයට මා පත්ව ඇත. නෙළුම් මලක් දියෙහි ඉපිද දියෙහි වැඩී දියෙන් මතු වී දියෙහි නොගැටී පවතින්නාක්මෙන් මමද ලෝකයෙහි ඉපිද, ලොව මිනිසුන් අතර හැදි වැඩී නමුත් ලෝකයා සමඟ නොගැටී නො ඇලී සිටිමි. මේ නිසාම මම බුදුවරයෙක් වෙමි, බමුණ, මා බුදුවරයෙකැයි සලකන්න. බුදුරජාණන් වහන්සේත් ද්‍රෝණ බමුණාත් අතර පැවැති මේ සාකච්ඡාව තුළින් කෙලෙස් සහිත සාමාන්‍ය මිනිසුන් ගණයට බුදුරදුහු අයත් නොවන බවත් මනුෂ්‍යයෙක් වුව ද කෙලෙස් රහිත බැවින් බුදුරදුහු උත්තරීතර මනුෂ්‍යයෙකු ලෙස දක්වා ඇති බවත් පැහැදිලි වේ.
නෙලුම් මල බුදුන් වදාළ ලොවුතුරු දහම සංකේතවත් කරයි. දියෙහි මෙන්ම මඩෙහිද නොතැවරී සිටීමේ හැකියාව නෙලුම් මලට ඇත. සිත අලවන, සිත කිලිටිකරන අරමුණුවල නො ඇලීම විමුක්ත සිතෙහි ලක්ෂණයයි.
බුදුදහම අන්ධ විශ්වාසයන්ගෙන් තොර ය. බෞද්ධයා කිසියම් පුද්ගලයෙකුට හෝ ග්‍රන්ථයකට වහලකු වන්නේ නැත. බෞද්ධයා යනු සිතීමේ නිදසම ඇත්තෙකි. බුදුරදුන්ගේ අනුගාමිකයෙකු වන්නේ නිවැරදි චින්තනය තුළිනි. තමන්ට ඇති පිහිට තමාමය යනුවෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීමේ අවස්ථාව බුදුදහම අපට පෙන්වා දෙයි. ධර්මයට අනුව බුදුරදුහු බෞද්ධයන්ට පමණක් උරුම වූ අයෙකු නොවන අතර වර්තමාන ලෝකයා වඩ වඩාත් බුදුරදුන් වෙත ලංවන අයුරු අද අපට දැකගන්නට පුළුවන.

බුදුරදුහු මගධ රට චාරිකාවෙහි වඩින අවස්ථාවක රාත්‍රියෙහි කුඹල්හලක නවාතැන් ගත්හ. තමන් වහන්සේට කලින් එහි පැමිණි පැවිද්දෙක් ද එහි නවාතැන්ගෙන තිබිණි. දෙදෙනාම ඔවුනොවුන් නො හඳුනති. මේ පැවිද්දාගේ ඉරියව්,ඇවැතුම්, පැවැතුම් සංවරය, මේ නිසා ම බුදුරදුහු ඔබ පැවිදි වුයේ ඇයි? ඔබගේ ශාස්තෘවරයා, කවරෙක්දැයි විචාළහ.
“ඇවැත්නි” ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් වෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධ යහ. උන්වහන්සේ සංසාර විමුක්තිය වෙනුවෙන් ධර්මය දේශනා කරන බව මම අසා ඇත්තෙමි. උන්වහන්සේ වෙනුවෙන් මම පැවිදි වුයෙමි. බුදුරදුහු “භික්ෂුව, ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද? “ ඇවැත්නි, උන්වහන්සේ මේ දිනවල සැවැත්නුවර වැඩ සිටිති.” “භික්ෂුව ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තිබේද?
ඇවැත්නි, මා කිසිදිනෙක දැක නැත. දැක්කත් නො හදුනමි. මේ නොහදුනන තරුණයා පැවිදි වී ඇත්තේ තමන් උදෙසා ය. එසේ වුවද තමන් කවරෙක්දැයි නොකියා බුදුරදුහු ඔහුට ධර්මය දේශනා කළහ. මේ ධර්මය අසා අවසන් වන විට මා සමඟ මේ කතාකළේ මා සොයාගෙන යන ඒ ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේ බව මේ තරුණ පැවිද්දාට අවබෝධ විය.
 වහා නැගිට බුදුරදුන් පාමුල වැඳ වැටී නොදැනුවත්කමින් ඇවැත්නි කියා ඇමතීම ගැන සමාව ඉල්ලීය. තමාට මේ දේශනාව කරන ලද්දේ කවරෙක් දැයි මුලින් නොදැන සිටියත් මේ තරුණ භික්ෂුව සත්‍ය දුටුවේය. මෙම සිද්ධිය අපට කියාදෙන එක් පණිවිඩයක් නම් භක්තිය, අන්ධ විශ්වාසය නොව සත්‍ය දැකීමම බුදුදහමෙහි මුලික පදනම වන බවයි. මෙහි දී බුදුරදුන් කුඹල්හලෙහි වැඩ සිටි ආකාරයත්, මුලින් තමා කවරෙක්දැයි හඳුන්වා නොදීමත් තමන් වහන්සේගේ වැදගත්කම, ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් නොකිරීමත් තම දේශිත ධර්මය තුළින් තමා කවරෙක්දැයි අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදාකර ලීමත් බුද්ධ චරිතය තුළින් අප දකින සුවිශේෂී ගුණාංග කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය.
එක් දවසක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමඟ වැඩම කරන බුදුරදුහු ගසක් මුල වැඩ සිටින්නට සුදානම් වූහ. මහා කාශ්‍යප හිමියෝ තම සඟල සිවුර හතරට නමා ඒ මත වැඩ සිටින ලෙස බුදුරදුනට ආරාධනා කළහ. ඒ මත වැඩ සිටි බුදුරදුහු ඒ සිවුර පිරිමදිමින් කාශ්‍යප. ඔබේ මේ සඟල සිවුර ඉතා මෘදු මෙළොක්යැයි වදාළහ. මෙයට කන්දුන් මහා කාශ්‍යප හිමි ඔබ වහන්සේ මේ සිවුර පිළිගන්නා සේක්වා යි අයැද සිටියහ. කාශ්‍යප මා පොරවා පරණ වි ඇති හණවූලෙන් කර ඇති මගේ මේ පාංශුකූල චීවරය පොරවා ගැනීමට ඔබ කැමැතිද? එහෙමයි බුදුහාමුදුරුවනේ යනුවෙන් කාශ්‍යප හිමි පිළිතුරු දුනි. මේ අයුරින් කාශ්‍යප හිමියන් පෙර වූ මෘදු මොළොක් සඟළ සිවුර බුදුරදුන්ට දී බුදුරදුන් පෙර වූ හණ රෙද්දෙන් කළ පාංශුකූල චීවරය මහා කාශ්‍යප හිමියෝ පොරවාගත්හ.

මිත්‍රශීලි දැක්ම, සුහදබව, ලෙන්ගතුකම, චාම් සරල පැවැත්ම ප්‍රකට කරන මෙම චීවර හුවමාරුව අපට මොනතරම් වටිනා පණිවිඩයක් ලබා දෙනවාද?
සාමාන්‍ය මිනිසෙකුට මෙන් බුදුරජාණන් වහන්සේට ද විවිධ ශාරීරික රෝගාබාධ ඇතිවිය. උපවාන හිමියන් උපස්ථායකයෙකු ලෙස කටයුතු කරද්දි බුදුරදුන්ට වාතාබාධයක් ඇතිවු බව සංයුක්ත නිකායේ දේවහිත සූත්‍රයෙහි සඳහන් ය. එහිදී බුදුරදුහු උපවාන හිමි අමතා උපවාන, මට උණුූදිය ටිකක් ලැබෙන්න සලස්වන්න, එහෙමයි, බුදුහාමුදුරුවනේ යනුවෙන් පිළිතුරු දුන් උපවාන හිමි දේවහිත බමුණාගේ නිවස වෙත ගොස් නිහඬව සිටියේ ය. ස්වාමීනි, ඔබ වහන්සේට අවශ්‍ය කුමක් ද? දේවහිත බමුණා ඇසී ය. බමුණා බුදුරදුන්ට වාතා බාධයක් සෑදී ඇත. උන්වහන්සේට උණුදිය අවශ්‍යව ඇත. එය ලැබෙන්න ක්‍රමයක් සලස්වන්න. දේවහිත බමුණා උණුදිය පිළියෙල කරවා හකුරු සමඟ උපවාන හිමියන්ට පිළිගැන්වීය. උපවාන හිමි බුදුරදුන් උණුදියෙන් නහවා උණුවතුරෙන් හකුරුද දියකර බුදුරදුන්ට පූජා කළේ ය.

බේලුව ගමෙහි දි ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවුවද එය සුවපත්ව තිබී දස මසක් ඇවෑමෙන් එය නැවැතත් මතු විය. සමාපත්ති බලයෙන් සිය රෝගය මැඩ පැවැත්විය හැකි වුව ද බුද්ධ ශරීරය පවා සාමාන්‍ය මිනිස් සිරුරක් මෙන් රෝග පීඩාවන්ට ගොදුරු වන ආකාරය තම බුද්ධ ශරීරයම ආදර්ශයක් කර ගනිමින් ලෝවැසියාට පෙන්වා දුන්හ. එක්තරා අවස්ථාවක බුදුරදුන්ට මහත් පිපාසයක් දැනී. ආනන්ද මට හොඳටම පිපාසයි. ඉක්මනට පැන් ටිකක් ගෙනත් දෙන්න. මෙසේ තුන් විටක් ම ප්‍රකාශ කරමින් පිපාසය සංසිඳවා ගැනීමේ බලවත් ඕනෑකම පෙන්නුම් කිරීම සාමාන්‍ය මිනිස් සිරුරක ඇති අවශ්‍යතාවය පෙන්නුම් කිරීමකි.

එදා පරිනිර්වාණයට ආසන්නව සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වට කරගෙන
පරිසක්කෝ වයෝ මය්හං – පරිත්තං මම ජීවිතං
පහාය වෝ ගමිස්සාමි – කතං වෝ සරණමත්තනා

මහණෙනි, මම දැන් මහලුයි. තව ටික වේලාවයි ජීවත්වන්නෙ, ඔබ හැම දෙනාම දාලා මම යනවා, ඔබ වෙනුවෙන් කළ යුතු සියල්ල මා ඉටුකරලයි තියෙන්නෙ.

මේ ප්‍රකාශය දෙස බලන්න. මැරෙන්න ආසන්න පියෙකු තම දරුවන් වට කරගෙන කරන ප්‍රකාශනයක් බඳුයි. වයසට ගිය අයෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන “ආනන්ද දැන් මම ජරාවට, වයසට ගිහිල්ල ඉන්නෙ, දැන් මහලුයි වයස්ගතයි, හරියට දිරාගිය කරත්තයක් වගෙයි” දිරාගිය කරත්තයක් උපමා කර ගනිමින් වයසට ගිය මිනිසෙකු ගේ ස්වභාවය පෙන්නුම් කරන මෙම ප්‍රකාශනය සාමාන්‍ය මිනිස් ජීවිතය යථාර්ථවත් ව විදහා දැක්වීමක් ලෙස සඳහන් කළ හැකිය.
මේ සඳහන් කළ කරුණු කිහිපය අනුව බුදුරජාණන් වහන්සේ යනු දෙවියෙකු හෝ මැවුම් කරුවෙකු හෝ ගැලවුම් කරුවෙකු හෝ නොව මිනිස් ඉතිහාසය තුළ උපන් උත්තරීතර මනුෂ්‍යයකු ලෙස සඳහන් කළ හැකිය. මනුෂ්‍යයෙකු වී උප්පත්තිය ලැබු නිසාම උතුම් බුද්ධත්වය ලබා ගැනීමේ අවස්ථාව ද උදාවිය.

Vesak Animation සම්බුද්ධත්වය ලැබීම

Vesak Animation Siduhath Upatha /සිදුහත් කුමරු ගේ උපත

අසිරිමත් සත් සතිය


පඨමං බෝධි පල්ලංකං - දුතියංච අනිම්මිසං
තතියංචං කමනං සෙට්‌ඨං - චතුත්ථං රතනාඝරං
පඤ්චමං අජපාලංච - මුචලින්දේන ඡට්‌ඨමං
සත්තමං රාජායතනං - වන්දේ තං බෝධි පාදපං









අභිඤ්ඤාලාභී භික්ෂුණීන් අතර අග්‍ර වූ යශෝධරා මහ රහත් තෙරණිය


සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය. රජතුමනි යශෝධරාව බලන්න අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ. යශෝධරාවට ඕනෑ තරම් අඬන්න ඉඩ දෙන්න එය නැවැත්වුවහොත් ළය පැලී මරණයට පත්වන්න පුළුවන්. එය වළක්වන්න එපා.’
බුදුබව පතා එක්තරා වීර පුරුෂයෙක් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පිරුවේ ය. ඒ හා සමගාමීව එක්තරා වීර කාන්තාවක් ද බුදු බව පතන ඒ වීර පුරුෂයාගේ භාර්යාව වෙම්වා’යි ප්‍රාර්ථනා කළා ය. ඒ වීර පුරුෂයා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වන අතර, ඒ වීර කාන්තාව යශෝධරා දේවිය යි. බුද්ධත්වය ලබන ආත්මය දක්වා අති දීර්ඝ කාලයක් හිතාදර බැඳීමකින් එකට වෙළී සාර්ථක යුග දිවියක් ගත කළ මෙබඳු ස්වාමි භාර්යා දෙපළක් සිටියා ද යන්න සිතීම පවා අතිශයින් ම දුර්ලභ ය.
යශෝධරාව යනු දඹදිව සිටි ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨ කාන්තාවකි. මෙම උදාර චරිතය කියවන විවාහක කාන්තාව තම ස්වාමියාට වඩ වඩාත් ගරු කරනු ඇත. විවාහක පුරුෂයෙකු නම් තම බිරිඳට තව තවත් ආදරය කරනු ඇත. වාසනාවන්ත යුග දිවියක් ගත කරන සැමියාත්, භාර්යාවත් සිතන්නේ කුමක් ද? අප දෙදෙනාගේ බැඳීම එකතුවීම ආත්ම ගණනක සිට පැවත එන්නක් බවයි.

යශෝධරාව දීපංකර බුදුරදුන්ගේ සිට බුදුවරුන් විසි හතර නමකගෙන් සිද්ධාර්ථ බෝ සතුන්ගේ බිරිඳ වන බවට විවරණ ලබා ඇත. වෙස්සන්තර ආත්ම භාවයෙන් චුතව තුසිත දෙව්ලොව උපන් මේ දෙපළ බුදුවන ආත්මභාවයෙහි දී සිද්ධාර්ථ කුමාරයා මහාමාය දේවියගේ කුසයෙහිත්, යශෝධරාව ශුද්ධෝදන රජුගේ නැගණිය වු අමිතා දේවියගේ කුසයෙහිත් පිළිසිඳ ගත්හ. මේ දෙපළම එකම දවසේ එකම වේලාවට එනම් වෙසක් පොහොය දින මෙලොව එළිය දුටහ.
සියලුම කාන්තාවන්ට වඩා පංච කල්‍යාණයෙන් අනූන රූප ශෝභාවෙන් යුක්ත හෙයින් බිම්බා යන නමින් ද, නිමිත්ත පාඨකයන් විසින් අනාගතයෙහි මහත් කීර්තියක් හා යසසක් ලබන බව ප්‍රකාශ කළ හෙයින් ‘යශෝධරා ‘ යන නමින්ද රත්‍රං හා සමානව දිලිසෙන ශරීරයක් ඇත්තී අරුත දෙන ‘භද්දකච්චානා’ යන නමින් ද යශෝධරා දේවිය ප්‍රකට වූවා ය. විවාහ ජීවිතයට පත් යශෝධරා දේවිය ඉහළ මට්ටමේ සැප විඳිමින් අවුරුදු දහතුනක් සිද්ධාර්ථ කුමාරයා සමඟ සුඛෝපභෝගී යුග ජීවිතයක් ගත කළා ය.
යශෝධරාවට පුතකු ලැබුණු දින ම සියලු සම්පත් හැර දමා අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කර සිද්ධාර්ථ බෝසතාණෝ බුදු බවට පත් වූහ.
බුදුරදහු කාන්තාවක් බලන්නට වැඩම කළ එකම අවස්ථාව යශෝධරාව හමුවීමට වැඩම වීමයි. මෙය බෝසත් කාලයේ සිට බුදුබව ලබා ගැනීමට තමාට සහාය දුන් ඒ උත්තම කාන්තාව හමුවීම සඳහා පැමිණි සුවිශේෂී ගමනකි. මෙම සබඳතාව සාමාන්‍ය අඹු සැමි දෙපළක් අතර වන පේ‍්‍රමයක් නොව බුදුවන උත්තමයකු හා ඇතිකරගත් අඛණ්ඩ අචල උතුම් අමරණීය පේ‍්‍රමයකි.
කිඹුල්වත්පුරයට වැඩම කළ බුදුරදහු රජමාලිගයෙහි දී දන් වළඳා බණ දේශනා කළහ. යශෝධරාව මෙතැන නො සිටි හෙයින් සුද්ධෝදන රජතුමා මෙතුමියගේ කාමරයට ගොස් “දුව, යශෝධරා, ඔබත් බුදුරදුන් වැඳගන්න යැයි කී විට “මාමණ්ඩි ඔබගේ පුතාගේ හිත බොහොම තදයි. පුතා උපන් දිනම මටත් නො කියා යන්න ගියා. නමුත් කිසිදිනෙක මා ඔහුට දොස් කීවේ නැහැ. මගේ ජීවිතය ම එතුමා වෙනුවෙන් පුජා කරලයි තිබෙන්නෙ. එතුමාට මා දකින්න ඕනෑ නම් එතුමා ඒවි. එහෙම ආවොත් එතුමාට වඳින්නම්. සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය. රජතුමනි යශෝධරාව බලන්න අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ. යශෝධරාවට ඕනෑ තරම් අඬන්න ඉඩ දෙන්න එය නැවැත්වුවහොත් ළය පැලී මරණට පත්වන්න පුළුවන්. එය වළක්වන්න එපා.’ බුදුරදුන් දුටු යශෝධරා, දේවිය කල්ප ගණනක් නො බිඳී පැවැත ආ ආදරය, ආලය, පේ‍්‍රමය වවාගත නො හැකිව අසිහියෙන් බුදුරදුන්ගේ ශී‍්‍ර පාද මත වැඳ වැටී සිරිපා මත හිස තබාගෙන හඬා වැටුණා ය. සිහි ආ විට ලජ්ජාවට පත් වී කුමක් වී දැයි සිතමින් පැත්තකට වූවා ය. මෙහි දී සුද්ධෝදන රජු “ස්වාමීනි බුදුරජාණන් වහන්ස,මේ යශෝධරාවට ඔබ වහන්සේ කෙරෙහි ඇත්තේ පුදුම ආදරයකි. ඔබ වහන්සේ කෙස් කපා දැමු බව දැනගත්විට ඇය ද විලුඹ තෙක් දිගැති නීල වර්ණ කේශ කලාපය කපා දැමුවා ය. කහපාට වස්ත්‍ර පොරවන බව අසා ඇය ද කසා වස්ත්‍ර ඇන්දා ය. එක් වේලක් වළඳන බව අසා දිනකට එක්වේලක් පමණක් ආහාර ගත්තා ය. මැටි පාත්‍රයේ වළඳන බව අසා මැටි භාජනයක ආහාර ගත්තා ය. සුවපහසු ආසන අත්හැරිය බව අසා එබඳු ආසන පරිහරණය අත්හැරියා ය. මල් සුවඳ නො ගල්වන බව අසා ඒවා ද අත්හැරියා ය. මෙම ලේලිය පතා නොයෙක් බල සම්පන්න රාජකුමාරවරු විවාහ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කර ඔබ වහන්සේ වෙනුවෙන් ම පුජා කළ ජීවිතයක් ඇය ගත කළ බව” දැන්වී ය.
මාමා කෙනෙකු තම ලේලිය ගැන කරන මෙබඳු වර්ණනාවක් ලෝක ඉතිහාසය තුළ දැකගන්නට නැත. මෙය අසා සිටි බුදුරදුහු චන්නකින්නර ජාතකය, වෙස්සන්තර ජාතකය ආදි අවස්ථා ගෙන හැර දක්වමින් බුද්ධත්වයට දැක්වු පරිත්‍යාගයත්, කල්ප ගණන් පැවැති හෘදයාංගම බැඳීමත් පෙන්නුම් කරමින් යශෝධරාවගේ ගුණ කදම්බය ප්‍රකාශ කළහ. ලෝකයේ කිසිම කාන්තාවක් බුදුවරයෙකුගෙන් මෙබඳු ප්‍රශංසාවක් ලබා නැත.
එදා කිඹුල්වත් පුර දී විසි දහසක් මහා සංඝරත්නය පිරිවරා බුදුරැස් විහිදුවමින් දිලිහි දිලිහී පාරේ වඩින බුදුරදුන් දැක ‘රාහලු පුතණුවනි,අර ඉදිරියෙන් ම යන්නේ ඔබගේ පියා ය. රන් කඳක් බඳු එතුමා නරසිංහයෙකි. පුත ඔබ ගොස් ,ඔබට හිමි දායාද ඉල්ලන්නැ”යි කියමින් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ඇති සුමිහිරි සුලලිත නරසීහ ගාථා කියමින් පුතාට තම පියා හඳුන්වා දුන් ආකාරය චිත්තාකර්ෂණීය ය .
නන්ද කුමාරයාත්, රාහුල පුතණුවන් හා ප්‍රජාපතී ගෝතමියත් පැවිදි වු පසු සියලු රාජ්‍ය සම්පත්වල භාරකාරයා වූයේ යශෝධරා දේවිය යි. කුමර සම්පත් තිබුණ ද, පැවිදීවීමේ අදහසින් සුද්ධෝදන රජුගෙන් අවසර ඉල්ලුවා ය. අවසරය නො ලැබිණි. රජුගේ අභාවයෙන් පසු පැවිදි වීමේ අදහසින් දහස් ගණනක පරිවාර ස්ත්‍රින් සමඟ මහා ප්‍රජාපතී ගෝතමි තෙරණිය හමුවී පැවිදි වූවා ය. බුදුරදුන්ගෙන් කර්මස්ථාන ලබාගත් යශෝධරා මෙහෙණිය ඉතා ඉක්මණින් රහත් ඵලයට ද පත් වූවා ය. බුදු සසුනෙහි කල්ප ලක්ෂයක් අතීතය දැකිය හැකි මහ රහත්හු වැඩ සිටියේ සතර නමකි. ඒ සැරියුත් මුගලන් දෙනමත්, බක්කුල මහරහතන් වහන්සේ සහ යශෝධරා රහත් මෙහෙණියත් වේ. යශෝධරා රහත් මෙහෙණියගේ දක්ෂතාවය නිසාම අභිඤ්ඤා පද ප්‍රාප්ත භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට ද පත්වූවා ය.
යශෝධරා දේවියත් , සිද්ධාර්ථ කුමාරයාත් එකම දින උපන් අයුරු ම එකම දින පිරිනිවන් පෑමට ද නියමිත ය. එසේ වුවහොත් එය අන්‍යයන්ට දරාගත නො හැකිව ශෝකයට පත් වනු ඇත. මේ අනුව සිතා බලා එක් දිනකදී බුදුරදුන් බැහැ දැක අවසර ගෙන බුදුරදුන්ගේ ඉල්ලීම පරිදි විවිධ ප්‍රාතිහාර්යයන් පා හැම දෙනාගේ ම සාධුකාර නාද මධ්‍යයේ බුදුරදුන් වැඳ කමා කරවාගෙන තෙ වරක් ප්‍රදක්ෂිණා කොට, තමන් වැඩ සිටි ආරාමයට ගොස් ධ්‍යානයට සමවැදී පිරිනිවන් පෑ සේක.
පිරිනිවන් පෑ ආරංචිය හැමතැනම පැතිර ගියේ ය. රජවරු, බිසෝවරු, මැති ඇමැතිවරු හා ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ ද මහජනයා ද රැස්වූහ. බුදුරදහුද එහි වැඩමවා ආදාහන කටයුතු කරවා ඉතිරිවූ ධාතූන් තැන්පත් කරවා “යශෝධරා චෛත්‍යය” නමින් චෛත්‍යයක් කරවූහ.
අභියෝගයන්ට මුහුණ දීම, ධෛර්ය සම්පන්න බව පරිත්‍යාගය, ඉවසීම, දයාව, අනුකම්පාව, පතිව්‍රතාව පතිභක්තිය, ප්‍රකට කළ මේ යශෝධරා චරිතයට වඩා කාන්තාවන්ට ආදර්ශයක් පරමාදර්ශයක් වූ වෙනත් චරිතයක් මේ ලෝක ඉතිහාසය තුළ අපට දැකගන්නට නුපුළුවන.
මෙම පවිත්‍ර පූජනීය චරිතයට කළ හැකි උපහාරය වන්නේ මෙම චරිතය අවබෝධ කර ගැනීමත්, එය අගය කිරීමත්, ඊට අනුගත වීමත් ඒ තුළින් තම ජීවිතය ආලෝකවත් කර ගැනීමත් ය.
බළන්ගොඩ ශී‍්‍ර ධර්මානන්ද විද්‍යායතන 
පිරිවෙන් විහාරාධිපති 
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි