මැදින් පෝදා ඇරඹුණු බුදුරදුන්ගේ කිඹුල්වත් පුර ගමන



බුදුරජාණන් වහන්සේ තරම් මවුපිය සත්කාරය වර්ණනා කරන ලද වෙනත් ආගමික ශාස්තෘවරයෙකු නොමැති තරම් ය. උන්වහන්සේ මවුපියන්ට සැලකීම උතුම්කොට දේශනා කළා පමණක් නොව එය ක්‍රියාවෙන් ම ඔප්පුකොට වදාළ සේක. තම පියාණන්ගේ, ඇතැම් ඥාතීන්ගේ හේතු සම්පත්තිය දුටු බුදුරජාණන් වහන්සේ මැදින් මස පුර පසළොස්වක පොහෝ දා පයින් ම කිඹුල්වත් පුරවරය බලා වැඩම කිරීම ආරම්භ කළ සේක.

මේ වන විට බුදුරදුන් සම්මා සම්බුද්ධත්වයට පත්ව මාස අටක කාලයක් ඉක්මවා ගොස් තිබුණි. පස්වග මහණුන් වහන්සේලාගේ පටන් කිඹුල්වතින් පැමිණ පැවිදිවූ පිරිස දක්වා වූ විසි දහසක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිවරා වැඩ සිටි සේක. ඒ අතර සැරියුත් මුගලන් දෙගසව්වන්, පුරාණ ජටිල භික්ෂූන්, අංග මගධ හා කිඹූල්වතින් පැමිණි කාලුදායි භික්ෂූන් වහන්සේ ආදි වූ පිරිස මෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද වූහ.

හේමන්ත ඍතුව උදාවෙමින් පැවතිණි, සුද්ධෝදන රජුගේ අවසරයෙන් පැමිණ පැවිදිවූ කාලුදායි මහරහතන් වහන්සේ නිසි කල් බලා කිඹුල්වත් පුරයට වැඩම කිරීම පිණිස බුදුරදුන්ට ආරාධනා කරන්නට කල්පනා කළ සේක. ඒ අනුව, “ස්වාමීන් වහන්ස, දැන් ගස්වැල්, ගිනිඅඟුරු වැනි දළු දමා පලදරන කාලය පැමිණ ඇති බැවින් භගීරථ පරපුරේ (ශාක්‍ය) අයට අනුග්‍රහ පිණිස වඩින්නට කාලයයි”. යනුවෙන් ප්‍රකාශ කළ සේක.

එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ විසිදහසක් පමණ වු භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කිඹුල්වත්පුරයට වැඩමවීම පිණිස වේලුවනාරාමයෙන් පිටත් වූයේ අද වන් මැදින් පොහෝ දිනක ය.

උන්වහන්සේ කෙතරම් පහසුවෙන් මෙම ගමන වැඩමවීමට හැකියාව තිබුණත් පා ගමනින් ම කිඹුල්වත්පුරයට වැඩම කිරීමට ඉටා ගත් සේක. එපමණක් ද නොව දවසකට එක යොදුනක් පමණක් ගමන් කිරීමට ද ඒ කාලය තුළ ඒ ඒ ප්‍රදේශවල සිටි විවිධ පින් කැමැති හුදී ජනයාගේ යහපත පිණිස වැඳ පුදා ගැනීමට ඉඩ කඩ සලසමින් කිඹුල්වතට වැඩමවීමට උන්වහන්සේ මාස දෙකක කාලයක් ගත කළ සේක.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පැවිදිවීම සිදුවූයේ ද මේ කාලයේ හෙවත් මැදින් මාසයේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීමට පෙර වේලුවනාරාමයේ වැඩවසන සමයේ දී ය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි නම පිප්ඵලීය. මෙතුමා කෙතරම් ශ්‍රද්ධාවකින් බුදුරදුන්ට වන්දනා කළේ ද යත් එම වැඳීම භාරගත් බුදුරදුන් මෙසේ වදාළ සේක. “කාශ්‍යපයිනි. නුඹගේ වැඳීම මහ පොළොවට කළේ නම්, මහ පොළොව වුව ඉවසා ගත නොහැකිව කම්පා වනු නියත ය. නමුත් තථාගතයාණන් වහන්සේ තුළ පවතින ගුණය නිසා තම සිරුරේ රෝම කූපයක් වුව සෙලවීමට එය අසමත් ය.” යනුවෙන් තම උතුම් සම්බුද්ධත්වය මෙලෙස උන්වහන්සේ ප්‍රකට කළ සේක.

තවදුරටත් අවවාද ලබා දුන් බුදුරජාණන් වහන්සේ නවක පැවිද්දෙකු වූ කාශ්‍යප හිමියන්ට මෙසේ වදාළ සේක.
“කාශ්‍යප, ස්ථවිර, මධ්‍යම හා නවක භික්ෂූන් පිළිබඳ ලජ්ජා භය ඇතිව කටයුතු කළ යුතුය”.
ලෝකෝත්තර චතුරාර්ය සත්‍යය හොඳින් මෙනෙහි කරමින් කන් යොමා අසමි”යි හික්මිය යුතු ය”
“කායගතා සති භාවනාව අත් නොහැර සිටීමියි. වැඩිය යුතු ය.

“මෙලෙස බුදුරදුන්ගේ අවවාදය නිසි පරිදි පිළිපදින්නට වූ කාශ්‍යප හිමියෝ සතියක් ගත වූ තැන මහරහත් පදවියට පත්වූ සේක. උන්වහන්සේ පැවිදි උපසම්පදාව ද ඉහත සඳහන් කරන ලද අවවාද පිළිගැනීමත් සමඟ ම සිදු වු අතර එය “ඕවාද පටිග්ගහන උපසම්පදා” යනුවෙන් හඳුන්වනු ලැබේ. කෙලෙස් තවන ධූතාංග ධාරි භික්ෂූන් වහන්සේලා අතර මුල්තැනට පත්වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය. ඒ බව බුදුරදුන් ප්‍රකාශයට පත් කළේ.
“ඒතදග්ගං භික්ඛවේ මම සාමකානං
භික්ඛුනං ධූතවාදනං යදිදං මහා කස්සපෝ යනුවෙනි.
බුදුරදුන්ගේ පිරිනිවීමෙන් පසුව මෙම සසුන මැනවින් පැවතීම පිණිස පළමුවන ධර්ම සංගායනාව සංවිධානය කර සසුන අද දක්වා පැවතීම පිණිස අනූපමේය සේවයක් කරන ලද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ය.
මේ අනුව මැදින් මස මහ කසුප් තෙරුන්ට බුදුරදුන් දෙසූ දහම පිළිපැද කෙලෙස් මල දවා සසර කතරින් එතෙර වන්නට අපිදු අදිටන් කර ගනිමු.

අලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.

No comments:

Post a Comment