මිහිඳු හිමි වැඩමකළ ලක්බිම



සම්බුදු සසුනේ මහණ උපසම්පදා කර්මයන් සිදු කරන ආකාරය ලක්වැසියන්ට දැක ගැනීමට සැලසීම භණ්ඩුක උපාසකතුමා මේ පිරිසට සම්බන්ධකර ගැනීමට හේතු විය හැකිය. දෙවන පෑතිස් රජතුමා ඇතුළු සතළිස් දහසක් සෙනග එදා ලංකාවේ දී පළමුවරට සිදුවූ භණ්ඩුක උපාසකතුමාගේ පැවිද්ද හා උපසම්පදාව දැක බලා ගැනීමෙන් ඉමහත් ප්‍රසාදයට පත් වූහ.



අනුබුදු මිහිඳු මහ රහතුන් වහන්සේ ඇතුළු ධර්මදූතයන් වහන්සේලාගේ ලංකාවතරණය පිළිබඳ ඓතිහාසික වාර්තාවන්ගෙන් හෙළිවන තොරතුරු ගැන විමසීමේ දී හමුවන ප්‍රධාන සිද්ධියක් නම් දෙවන පෑතිස් රජතුමා හතළිස් දහසක් සෙනඟ පිරිවරාගෙන මිහින්තලේ ගිය ගමනයි. මෙය මුව දඩයමේ ගිය ගමනක් වශයෙන් සමහරු හඳුන්වති. පාලි පොතේ එන්නේ මිගකීලාය යනුවෙනි. මෘග ක්‍රීඩාව සඳහා ගිය බව එයින් පැවැසේ. මෙම ක්‍රීඩාව හා දඩයම යන දෙක එකක් නොවේ. මිනිසුන් දඩයමේ යන්නේ සතුන් මරාගෙන කෑමට හෝ මස් විකුණා මුදල් ඉපයීමටය. රජුට මේ දෙක ම අදාළ නොවේ. රජතුමාට කෑමට මස් අවශ්‍ය නම් ඒ සඳහා තමා ම දඩයමේ යා යුතුද? ඊට උචිත පහසු ක්‍රම කොතෙකුත් තිබේ. ඒ අනුව මෙහි තේරුම මුව දඩයම නොව මෘග ක්‍රීඩාවය.

මෙම ක්‍රීඩාව ජාතික උත්සවය නිමිත්තෙන් පැරැන්නෝ පැවැත්වූහ. රජතුමා ද එයට එක් වේ. මෙය දිනුම් පැරදුම් ලබන ක්‍රීඩාවකි.

විශාල පිරිසක් එක්ව ලොකු කැලෑවක් වටකොට සිටිමින් ශබ්ද බද්ධ කරති. යමෙකු සිටින තැනින් සතෙකු පැන ගියොත් ඔහු ඒ සතා අල්ලා ගත යුතුය. නොහැකි වුවහොත් හේ පරාදයි. එදා මිහින්තලේ දී මුවෙකු පැන ගියේ රජු රැකවරණ ලා සිටි තැනින්මය. මෙය ලකිසුරු තුමාට ලොකු මදි පුංචි කමක් විය. ඒ සතා අල්ලා ගැනීමට ලුහුබැඳ දුවන අවස්ථාවේ ක්‍රමයෙන් කඳු මුදුනට ඉබේ ම නැගුණි එහි දී අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ හමු වූහ.

එහි දී දෙපාර්ශ්වය අතර දැන හැඳුනුම්කම් ඇති විය. ලෝක ඉතිහාසයේ වාර්තාගත මුල් ම බුද්ධි පරීක්ෂණය ඇති වූයේ ද මෙහිදී ය. මෙය ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීමට පාදක වූයේ ය. මෙම ධර්මදූත පිරිසට සත් අවුරුදු වියේ රහත් සුමන සාමණේර නමත් භණ්ඩුක උපාසකතුමාත් එක්කර ගැනීම විශේෂ සිද්ධි වශයෙන් සැලකිය හැකිය. අලුත් රටක අලුත් දහමක් ප්‍රචාරය කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය දේ ප්‍රදර්ශනය කළ යුතුය. ඒ තුළින් රට වැසියා තුළ විශාල ප්‍රබෝධයක් ඇති කළ හැකිය. වයසින් බාල කුඩා අයට වූව ද බුදුසසුනේ මගඵල ලද හැකි බව සත්හැවිරිදි වූ රහත් සුමන සාමණේරයන් වහන්සේ නිසා පහසුවෙන් අවබෝධ වේ.
සම්බුදු සසුනේ මහණ උපසම්පදා කර්මයන් සිදු කරන ආකාරය ලක්වැසියන්ට දැක ගැනීමට සැලසීම භණ්ඩුක උපාසකතුමා මේ පිරිසට සම්බන්ධකර ගැනීමට හේතු විය හැකිය. දෙවන පෑතිස් රජතුමා ඇතුළු සතළිස් දහසක් සෙනග එදා ලංකාවේ දී පළමුවරට සිදුවූ භණ්ඩුක උපාසකතුමාගේ පැවිද්ද හා උපසම්පදාව දැක බලා ගැනීමෙන් ඉමහත් ප්‍රසාදයට පත් වූහ.

එදා මිස්සක පවුවේ දී දෙවන පෑතිස් නිරිඳුන් ස්වාමීන් වහන්සේලා විකාලයේ ආහාර නොගන්නා බව දැන දැනත් උන්වහන්සේලාට දන් පිරිනැමීමට විමසීය. මේ සිද්ධියෙන් ඉතා වැදගත් දෙයක් ප්‍රකට වේ. ලංකාවේ සිංහලයා තුළ අදත් දක්නට ලැබෙන ආගන්තුක සත්කාරයයි. මෙම සංස්කෘතික ලක්ෂණය ඈත පුරාණයේ පටන් ම ඔවුන්ට හුරු පුරුදු වූවකි. 

මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළ අවධියේ භාරත ලංකා රජවරුන් අතර මිත්‍රත්වයක් පැවැති නිසා උන්වහන්සේට එදා රජවාසලට පැමිණ සිය අදහස් පවසා ක්‍රියා කරන්නට තිබුණි. එසේ ම ලක් රජතුමා විසින් රාජකීය උත්සවයකින් පිළිගනු ලැබීමට ද හොඳට ම ඉඩකඩ තිබුණි. ඒ කිසිවක් සිදු නොවීය.
ලංකාවේ ජාතික උත්සව දිනයක මිහින්තලේ දී රජු ඇතුළු පිරිස හමු වී කතා බහ කොට දැන හැඳින ගෙන රජු ඇතුළු රට වැසියන්ගේ ඇරයුමක් පිළිගෙන පසුදා අනුරාධපුරයට සැපත් වූහ. බුදුරජාණන් වහන්සේ ද එදා මහා බ්‍රහ්මයාගේ ආරාධනාව ලැබෙන තුරු දම් දෙසීම පමා කළ සේක. ඇරයුමක් නැතුව යමක් කරනවාට වඩා ඇරයුමක් ඇතිව කිරීමෙන් එහි ගරුත්වයක් හා ප්‍රතිඵලදායී තත්ත්වයක් ඇති වේ. මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩමවා වදාළේ රජු ඇතුළු රට වැසියන්ගේ ගෞරවාන්විත ආරාධනය ලැබය. එය ඉදිරි ශාසනික කටයුතුවලට මහෝපකාරීවේමය.

රජතුමා පෙරදා පිලිනදුන් පරිදි පසුදා ස්වාමීන් වහන්සේලා වැඩමවා ගැනීමට වාහන යැවූ බව වාර්තා වෙයි. මෙයින් පැහැදිලි වෙන කරුණු දෙකකි. එකක් අනුරාධපුරය මිහින්තලය යා කෙරෙන සැතපුම් අටක් පමණ වූ දිගු යානවාහන ගමන් කළ හැකි මාවතක් වූ බවත් අශ්ව කරත්ත වැනි වාහන ප්‍රවාහනය වූ බවත් පැහැදිලිය. සුවසේ ගමන් කළ හැකි සුඛෝපභෝගී යාන වාහන පාවිච්චි කළ ජන කොටසක් එකල මෙහි විසූ බව හෙළිදරව් කරයි.

අනුලා බිසව ඇතුළු 500 ක් බිසෝවරු රජ මාලිගයේ රැස්ව බණ ඇසූවයි යන වාර්තාවෙන් ලක් රජතුමාගේ මාලිගය විශාල ප්‍රාසාදයක් බව කියා පායි. එකල ලක්වැසි ජනතාව විශාල ගොඩනැගිලි ඉදිකිරීමේ ගෘහ නිර්මාණ ශිල්පය දැන සිටි බවට මෙය නිදසුනකි.

පුරවැසියන්ට ධර්ම ශ්‍රවණයට රජ වාසල ප්‍රමාණවත් නොවූයෙන් රජතුමාගේ ඇත්හල ඒ සඳහා සලසා දුන්නේ ය. මෙතරම් විශාල ඇත්හලක් තිබීමෙන් රජතුමාට ලොකු ඇත් හමුදාවක් වූ බව පෙනේ. මේ අනුව දෙවන පෑතිස්ස රජතුමාට සිවුරඟ සෙනඟක් වූ බව අනුමාන කළ හැකිය.

 ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහා නායක
අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි

No comments:

Post a Comment