ශ්‍රද්ධාව සහ භක්තිය


‘ශ්‍රද්ධාව‘ යනු නිවන් මගේ මූලාරම්භයයි. ඒ ශ්‍රද්ධා නමැති බීජය සුදුසු තැනක රෝපණය වුවහොත් පැළයක් මතුවන්නේමය. ඒ ශ්‍රද්ධා නමැති කුඩා බීජය වර්ධනය වීමට තව තවත් බලය ලබාදීමටත් ශ්‍රද්ධාවට ශක්තියක් ඇත. බලවත් වූ ශ්‍රද්ධාව, සසර ම සුවපත් කරන ධනයක් ද වන්නේ ය. එය තවත් වර්ධනය වන කල්හී ශ්‍රද්ධාව, මහාධනයක් වී සසර ජීවිතය මෙහෙයවන ඉන්ද්‍රියයක් (නායකයා) බවට පත් වන්නේ ය. මෙසේ සංවර්ධනය කරගත් ශ්‍රද්ධාව ඇති තැනැත්තාට එයින්ම නිවන් මග පෑදෙයි.


‘ශ්‍රද්ධාව‘ යනු අවබෝධයෙන් ඇතිවන පැහැදීමයි. ‘සද්ධහති තථාගතස්ස බෝධිං’ යන විග්‍රහයට අනුව ‘ශ්‍රද්ධාව නම් තෙරුවන් ගුණ පිළිබඳ අවබෝධයෙන් ඇති වෙන පැහැදීමයි. එවැනි ‘ශ්‍රද්ධාවන්ත බෞද්ධයා’ යනු බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් ගුණ පිළිබඳව අවබෝධයෙන් ඇති කරගත්, පැහැදීමකින් යුක්ත වූ බුද්ධිමත් තැනැත්තෙකි. ‘කිං සච්චගවේසී’ වූ ඔහු ‘සත්‍යය කුමක්දැ’යි සොයා යන්නෙකි.
විමර්ශනශීලී වූ බෞද්ධයාගේ ගමන් මගේ, අවසාන ඉලක්කයක් සහ එම අරමුණ කරා ගමන් කළ යුතු වූ සෘජු ප්‍රතිපදාවක් හෙවත් වැඩපිළිවෙළක් ඇත. එම ඉලක්කය නම් සියලුම කෙලෙසුන් නැති කිරීමෙන් සසර දුකින් මිදීමයි. ඒ සඳහා අනුගමනීය වූ එක ම මාර්ගය වන්නේ, මධ්‍යම ප්‍රතිපදාව නම් වූ අරි අටඟි මඟයි. 

ඒ මඟට පිවිසීමේ දොරටුව වන්නේ ‘සම්මා දිට්ඨි’ හෙවත් නිවැරදි වූ ගමන් මඟ තෝරා ගැනීමයි. නිවැරැදි ගමන්මඟ නම් ‘ලෝකය සහ සත්ත්වයා පිළිබඳව සත්‍යාවබෝධයට මඟ කියාදෙන චතුරාර්ය සත්‍ය ධර්මය’යි. එම සද්ධර්මයෙන් ඉගැන්වෙන ‘චතුරාර්ය සත්‍යධර්මයත්, ඒ ආර්ය සත්‍යය ලොවට පැහැදිලි කර දුන් තථාගත බුදුරජාණන් වහන්සේ ගැනත්, උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගය අනුගමනය කරමින් නිර්වාණාවබෝධය කළ ආර්යයන් වහන්සේලාත් සරණ යාම, පෘතග්ජන දෙවිමිනිසුන් විසින් කළ යුතු වන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තවමය. එවැනි ශ්‍රද්ධාවක් ඇති සම්මා දිට්ඨිකයා අරි අටඟිමඟ ගමන් කර සම්මා සමාධියක් ලබාගෙන සම්මා ඤාණයෙන් නිවන් අවබෝධ කර ගන්නේ ය.

මෙවැනි සෘජු මාර්ගයක ආරම්භය වන්නා වූ ශ්‍රද්ධාව, භක්තියක් නොවේ. භක්තියට පදනම් වන්නේ, තමාට අවබෝධ කරගත නොහැකි වූ අද්භූත බලවේග හෝ ශක්ති පිළිබඳව බිය සම්ප්‍රයුක්ත ව, ගෞරවයෙන් විශ්වාස කිරීමයි. භක්තිවන්තයා තුළ ඇතිවන්නේ බිය සම්ප්‍රයුක්ත වූ සැකයකි, ශ්‍රද්ධාවන්තයාට සැකයක් හෝ බියක් නැත.
එනිසා ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් රත්නත්‍රයට ගෞරවයෙන් පූජා පවත්වන්නේ බියකින් හෝ සැකයකින් නොවේ. එනමුත් භක්තිවන්තයා තුළ දෙවියන් කෙරෙහි භක්තියත්, සැකයත්, බියත් ඇත. එබැවින් ‘දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීමට නොහැකි වීමක් නිසා දේවශාපයට ලක්විය හැකියැ’යි සිතා භක්තිවන්තයා බියට පත්වෙයි. විභීෂණ දෙවියන් කෙරෙහි ඇති භක්තිය තොටගමුවේ රාහුල හිමියන් පැහැදිලි කරන්නේ මෙසේ ය.
නම කළ සත හැලේ සිහිලේ සැප සිලිලී
බියසෙන රුපු කැලේ තුමුලේ දෙන නොකලී
නළලත ගිරිතෙලේ සුනිලේ රැසි නිපිලී
සුරරඳ දෙබැමලේ ගනලේ සිරි කියලී (සැළලිහිණි සංදේශය 81 පද්‍යය)
විභීෂණ දෙවිඳුන්ට පූජා පවත්වමින් ගෞරව කරන අයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ. එබැවින් දෙවියන් පුදන්නාට සම්පත් ලැබෙන අතර සතුරන්ට විනාශයත් සිදුකළ හැකිය. මෙවැනි ආශිර්වාදයත්, (දේව) ශාපයත් දෙවියන් තුළ ඇති නිසා, දෙවියන් කෙරෙහි වන බාරයක් ඔප්පු (සම්පූර්ණ) කළ යුතුමය. බාර ඔප්පු නොකර නොසලකා හැරීමෙන් දේව ශාපයට ලක්විය හැකිය. 

එවැනි මහාබලයක් ඇති පර්වත රාජයෙක් වැනි වූ විභීෂණ දෙවියන්ගේ නීලවරණ වූ බැම දෙක, මහාමේඝකූටයක් (විශාල වැහි වළාවක්) මෙන් දර්ශනය වන්නේය. විශාල වැහිවළාවක ලක්ෂණ දෙකක් ඇත. 

01. වියළි කාලයකදී වැහි වළාවකින් ඇදහැලෙන මහාවර්ෂාවෙන් ගස්වැල්වලටත් සතුන්ටත් සතුටක් ම ලබාදෙන්නේ ය. 

02. මහාමේඝයකින් ඉතා දරුණු විනාශ සිදුකෙරෙන විශාල අකුණු ඇතිවෙන නිසා සියලුම සත්තු මහාමේඝකූටයට බියවෙති. 

මේ ගතිලක්ෂණ දෙක ම ඇති දෙවියන්ගෙන් සතුන්ට ආශිර්වාදයත් ශාපයත් යන දෙක ම ලැබේ. දේව පූජාවක් වූ භාරයක් ඔප්පු කිරීමත් බියසම්ප්‍රයුක්ත ගෞරවයකින්ම කළ යුතු ය. එනිසා දෙවියන් කෙරෙහි වූ භාරයක් ඔප්පු කිරීමට නොහැකි වූ දේව භක්තිකයා, නිතර ම සිටින්නේ ‘දේවශාපයට ලක්වේදෝ’ යන සැකයෙනි. එය දේව භක්තියේ ස්වභාවයයි. නමුත් නිතර පවත්වන බුද්ධපූජාවක් යම් අවස්ථාවෙක කිරීමට නොහැකිවීම නිසා ශ්‍රද්ධාවන්තයා, බුදුරජාණන් වහන්සේගේ ශාපයට ලක්වන්නේයැ’යි නොසිතන නිසා බියටපත් නොවේ. බුදුරජාණන් වහන්සේ සියලුම සතුන් කෙරේ එක සේ ම මහා කරුණාව දක්වති. එය ශ්‍රද්ධාවන්තයා, දන්නා නිසා ‘බුද්ධ පූජාව‘ තැබීමට නොහැකිවීම නිසා බියට පත්නොවේ. එය ශ්‍රද්ධාවන්තයා තුළ ඇති බුද්ධිමත් ස්වභාවයේ ලක්ෂණයයි. එනිසා ශ්‍රද්ධාව සහ භක්තිය අතර පැහැදිලි වෙනසක් ඇත. 

කුසලාකුසල පිළිබඳව අවබෝධයෙන් යුක්තව තෙරුවන් කෙරේ ඇති වූ පැහැදීම ආකාරවතී සද්ධා නම් වන්නේ ය. එවැනි ස්ථිර මුලක් නැති ව ඇති වූ සද්ධාව ‘අමූලික සද්ධා’ නම් වෙයි. ආකාරවතී සද්ධාව ඇති කරගත් තැනැත්තා පාප සිතිවිලි යටපත් කරමින් කුසලයට සිත දිරිගැන්වීම කරයි. එය සමපක්ඛන්ධන සද්ධා නම් වෙයි. තෙරුවන් ගුණත් ආර්ය සත්‍යත් පිළිබඳව පැහැදීමක් ඇති කර ගත් තැනැත්තා, සම්පසාදන සද්ධාවෙන් පිරිපුන් කෙනෙක් වන්නේ ය.

මෙසේ සහේතු ව ඇති කරගත් සද්ධාව, සත්‍යාවබෝධයට පදනමක් ලබාදෙන්නේ ය. එනිසා නිර්වාණාවබෝධයට, ශ්‍රද්ධාව බීජයක් වී බුදු පසේබුදු, අරහත් ඤාණ නමැති වෘක්ෂයේ පැළවීමේ හැකියාව ලබාදිය හැකි බීජ ශක්තියක් හා බලයක් ඇති ‘ශ්‍රද්ධාව‘ යනු නිවන් මගේ මූලාරම්භයයි. ඒ ශ්‍රද්ධා නමැති බීජය සුදුසු තැනක රෝපණය වුවහොත් පැළයක් මතුවන්නේමය. ඒ ශ්‍රද්ධා නමැති කුඩා බීජය වර්ධනය වීමට තව තවත් බලය ලබාදීමටත් ශ්‍රද්ධාවට ශක්තියක් ඇත. බලවත් වූ ශ්‍රද්ධා, සසර ම සුවපත් කරන ධනයක් ද වන්නේ ය. එය තවත් වර්ධනය වන කල්හී ශ්‍රද්ධාව, මහාධනයක් වී සසර ජීවිතය මෙහෙයවන ඉන්ද්‍රියයක් (නායකයා) බවට පත් වන්නේ ය. මෙසේ සංවර්ධනය කරගත් ශ්‍රද්ධාව ඇති තැනැත්තාට එයින්ම නිවන් මග පෑදෙයි. එනිසා තෙරුවන් නිවැරැදි අවබෝධයෙන් ඇති කරගත් ශ්‍රද්ධාව, නම් වූ සම්මාදිට්ඨිය හෙවත් චතුරාර්ය සත්‍යාවබෝධයේ (සම්මාඤාණයේ) අත්තිවාරමයි.
 මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

මිහිඳු හිමි වැඩමකළ ලක්බිම



සම්බුදු සසුනේ මහණ උපසම්පදා කර්මයන් සිදු කරන ආකාරය ලක්වැසියන්ට දැක ගැනීමට සැලසීම භණ්ඩුක උපාසකතුමා මේ පිරිසට සම්බන්ධකර ගැනීමට හේතු විය හැකිය. දෙවන පෑතිස් රජතුමා ඇතුළු සතළිස් දහසක් සෙනග එදා ලංකාවේ දී පළමුවරට සිදුවූ භණ්ඩුක උපාසකතුමාගේ පැවිද්ද හා උපසම්පදාව දැක බලා ගැනීමෙන් ඉමහත් ප්‍රසාදයට පත් වූහ.



අනුබුදු මිහිඳු මහ රහතුන් වහන්සේ ඇතුළු ධර්මදූතයන් වහන්සේලාගේ ලංකාවතරණය පිළිබඳ ඓතිහාසික වාර්තාවන්ගෙන් හෙළිවන තොරතුරු ගැන විමසීමේ දී හමුවන ප්‍රධාන සිද්ධියක් නම් දෙවන පෑතිස් රජතුමා හතළිස් දහසක් සෙනඟ පිරිවරාගෙන මිහින්තලේ ගිය ගමනයි. මෙය මුව දඩයමේ ගිය ගමනක් වශයෙන් සමහරු හඳුන්වති. පාලි පොතේ එන්නේ මිගකීලාය යනුවෙනි. මෘග ක්‍රීඩාව සඳහා ගිය බව එයින් පැවැසේ. මෙම ක්‍රීඩාව හා දඩයම යන දෙක එකක් නොවේ. මිනිසුන් දඩයමේ යන්නේ සතුන් මරාගෙන කෑමට හෝ මස් විකුණා මුදල් ඉපයීමටය. රජුට මේ දෙක ම අදාළ නොවේ. රජතුමාට කෑමට මස් අවශ්‍ය නම් ඒ සඳහා තමා ම දඩයමේ යා යුතුද? ඊට උචිත පහසු ක්‍රම කොතෙකුත් තිබේ. ඒ අනුව මෙහි තේරුම මුව දඩයම නොව මෘග ක්‍රීඩාවය.

මෙම ක්‍රීඩාව ජාතික උත්සවය නිමිත්තෙන් පැරැන්නෝ පැවැත්වූහ. රජතුමා ද එයට එක් වේ. මෙය දිනුම් පැරදුම් ලබන ක්‍රීඩාවකි.

විශාල පිරිසක් එක්ව ලොකු කැලෑවක් වටකොට සිටිමින් ශබ්ද බද්ධ කරති. යමෙකු සිටින තැනින් සතෙකු පැන ගියොත් ඔහු ඒ සතා අල්ලා ගත යුතුය. නොහැකි වුවහොත් හේ පරාදයි. එදා මිහින්තලේ දී මුවෙකු පැන ගියේ රජු රැකවරණ ලා සිටි තැනින්මය. මෙය ලකිසුරු තුමාට ලොකු මදි පුංචි කමක් විය. ඒ සතා අල්ලා ගැනීමට ලුහුබැඳ දුවන අවස්ථාවේ ක්‍රමයෙන් කඳු මුදුනට ඉබේ ම නැගුණි එහි දී අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ හමු වූහ.

එහි දී දෙපාර්ශ්වය අතර දැන හැඳුනුම්කම් ඇති විය. ලෝක ඉතිහාසයේ වාර්තාගත මුල් ම බුද්ධි පරීක්ෂණය ඇති වූයේ ද මෙහිදී ය. මෙය ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීමට පාදක වූයේ ය. මෙම ධර්මදූත පිරිසට සත් අවුරුදු වියේ රහත් සුමන සාමණේර නමත් භණ්ඩුක උපාසකතුමාත් එක්කර ගැනීම විශේෂ සිද්ධි වශයෙන් සැලකිය හැකිය. අලුත් රටක අලුත් දහමක් ප්‍රචාරය කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය දේ ප්‍රදර්ශනය කළ යුතුය. ඒ තුළින් රට වැසියා තුළ විශාල ප්‍රබෝධයක් ඇති කළ හැකිය. වයසින් බාල කුඩා අයට වූව ද බුදුසසුනේ මගඵල ලද හැකි බව සත්හැවිරිදි වූ රහත් සුමන සාමණේරයන් වහන්සේ නිසා පහසුවෙන් අවබෝධ වේ.
සම්බුදු සසුනේ මහණ උපසම්පදා කර්මයන් සිදු කරන ආකාරය ලක්වැසියන්ට දැක ගැනීමට සැලසීම භණ්ඩුක උපාසකතුමා මේ පිරිසට සම්බන්ධකර ගැනීමට හේතු විය හැකිය. දෙවන පෑතිස් රජතුමා ඇතුළු සතළිස් දහසක් සෙනග එදා ලංකාවේ දී පළමුවරට සිදුවූ භණ්ඩුක උපාසකතුමාගේ පැවිද්ද හා උපසම්පදාව දැක බලා ගැනීමෙන් ඉමහත් ප්‍රසාදයට පත් වූහ.

එදා මිස්සක පවුවේ දී දෙවන පෑතිස් නිරිඳුන් ස්වාමීන් වහන්සේලා විකාලයේ ආහාර නොගන්නා බව දැන දැනත් උන්වහන්සේලාට දන් පිරිනැමීමට විමසීය. මේ සිද්ධියෙන් ඉතා වැදගත් දෙයක් ප්‍රකට වේ. ලංකාවේ සිංහලයා තුළ අදත් දක්නට ලැබෙන ආගන්තුක සත්කාරයයි. මෙම සංස්කෘතික ලක්ෂණය ඈත පුරාණයේ පටන් ම ඔවුන්ට හුරු පුරුදු වූවකි. 

මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළ අවධියේ භාරත ලංකා රජවරුන් අතර මිත්‍රත්වයක් පැවැති නිසා උන්වහන්සේට එදා රජවාසලට පැමිණ සිය අදහස් පවසා ක්‍රියා කරන්නට තිබුණි. එසේ ම ලක් රජතුමා විසින් රාජකීය උත්සවයකින් පිළිගනු ලැබීමට ද හොඳට ම ඉඩකඩ තිබුණි. ඒ කිසිවක් සිදු නොවීය.
ලංකාවේ ජාතික උත්සව දිනයක මිහින්තලේ දී රජු ඇතුළු පිරිස හමු වී කතා බහ කොට දැන හැඳින ගෙන රජු ඇතුළු රට වැසියන්ගේ ඇරයුමක් පිළිගෙන පසුදා අනුරාධපුරයට සැපත් වූහ. බුදුරජාණන් වහන්සේ ද එදා මහා බ්‍රහ්මයාගේ ආරාධනාව ලැබෙන තුරු දම් දෙසීම පමා කළ සේක. ඇරයුමක් නැතුව යමක් කරනවාට වඩා ඇරයුමක් ඇතිව කිරීමෙන් එහි ගරුත්වයක් හා ප්‍රතිඵලදායී තත්ත්වයක් ඇති වේ. මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩමවා වදාළේ රජු ඇතුළු රට වැසියන්ගේ ගෞරවාන්විත ආරාධනය ලැබය. එය ඉදිරි ශාසනික කටයුතුවලට මහෝපකාරීවේමය.

රජතුමා පෙරදා පිලිනදුන් පරිදි පසුදා ස්වාමීන් වහන්සේලා වැඩමවා ගැනීමට වාහන යැවූ බව වාර්තා වෙයි. මෙයින් පැහැදිලි වෙන කරුණු දෙකකි. එකක් අනුරාධපුරය මිහින්තලය යා කෙරෙන සැතපුම් අටක් පමණ වූ දිගු යානවාහන ගමන් කළ හැකි මාවතක් වූ බවත් අශ්ව කරත්ත වැනි වාහන ප්‍රවාහනය වූ බවත් පැහැදිලිය. සුවසේ ගමන් කළ හැකි සුඛෝපභෝගී යාන වාහන පාවිච්චි කළ ජන කොටසක් එකල මෙහි විසූ බව හෙළිදරව් කරයි.

අනුලා බිසව ඇතුළු 500 ක් බිසෝවරු රජ මාලිගයේ රැස්ව බණ ඇසූවයි යන වාර්තාවෙන් ලක් රජතුමාගේ මාලිගය විශාල ප්‍රාසාදයක් බව කියා පායි. එකල ලක්වැසි ජනතාව විශාල ගොඩනැගිලි ඉදිකිරීමේ ගෘහ නිර්මාණ ශිල්පය දැන සිටි බවට මෙය නිදසුනකි.

පුරවැසියන්ට ධර්ම ශ්‍රවණයට රජ වාසල ප්‍රමාණවත් නොවූයෙන් රජතුමාගේ ඇත්හල ඒ සඳහා සලසා දුන්නේ ය. මෙතරම් විශාල ඇත්හලක් තිබීමෙන් රජතුමාට ලොකු ඇත් හමුදාවක් වූ බව පෙනේ. මේ අනුව දෙවන පෑතිස්ස රජතුමාට සිවුරඟ සෙනඟක් වූ බව අනුමාන කළ හැකිය.

 ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහා නායක
අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි

ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සමාජ සංවර්ධනය


ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු හා දෙවන අංග මගින් පුද්ගල චින්තනය කෙසේ සකස්විය යුතුද යන්න පෙන්වා දෙයි. සම්මා දිට්ඨි යනු යහපත් දැක්මයි. එයින් හොඳ හා නරක පිළිබඳ මූලික අවබෝධය අදහස් වේ. මෙය සාමාන්‍ය මට්ටමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් බැහැර වීමයි. පුද්ගලයා තුළ හොඳ නරක, මෙලොව, පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය නොමැති විට අපරාධ සඳහා නැමියාවක් ඇති වේ. හොඳ, නරක, නීතිය, යුක්තිය නොසලකා කටයුතු කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් සමාජයක සාමය හා සංහිඳියාව බිඳ වැටේ. හොඳ නරක වෙන්කොට හඳුනාගෙන වැරදි දැක්මෙන් වෙන්වී නිවැරදි දැක්මක් ඇති කරගැනීමෙන් සමාජ සංවර්ධනය අර්ථවත් කළ හැකිවේ.



වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙහි බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධකරගෙන සම්මාසම්බුද්ධත්වයට පත්වූහ.බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධකරගත් මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය දුකින් මිදීමේ ඒකායන මාර්ගය වශයෙන් ලෝකයට ඉදිරිපත් කළහ. අංග අටකින් යුක්ත ප්‍රතිපදාව දෙයාකාරයකින් ක්‍රියාවට නැංවිය හැකි බව බුදුරජාණන් වහන්සේ එහිදී පෙන්වා දුන්හ. පුද්ගල විමුක්තියත්. සමාජ විමුක්තියත් යන දෙ අංශයම එම පිළිවෙත අනුගමනය කිරීමෙන් සාක්ෂාත් කළ හැකිවේ. මහාචත්තාරීසක සූත්‍රයෙහි සාසවා පුඤ්ඤභාගියා, උපධිවේපක්ඛා යනුවෙන් එක් ආකාරයකුත් අනාසවා ලෝකුත්තරා මග්ගංගා යනුවෙන් තවත් ආකාරයකිනුත් ක්‍රියාවට නැංවිය යුත්තේ කෙසේද? යන්න පෙන්වා දෙයි. සමාජය යනු පුද්ගලයන්ගේ එකතුවකි. පුද්ගලයාගෙන් තොරව සමාජයටත් සමාජයෙන් තොරව පුද්ගලයාටත් පැවතිය නොහැකිය. බුදුසමය පෙන්වාදෙන පුද්ගල විමුක්තියත් සමාජ විමුක්තියත් එකම කාසියක දෙපැත්ත ලෙස නම් කළ හැකිය.ආර්යඅෂ්ටාංගික මාර්ගයේ එක් එක් අංගය පුද්ගලයාට හා සමාජයට වැදගත් වන්නේ කෙසේද? යන්න විමසා බැලීමේදී මෙය පැහැදිලි කරගත හැකිවේ. සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල, සමාධි, පඤ්ඤා යනුවෙන් හැඳින්වෙන ආචාරවිද්‍යාත්මක , මනෝවිද්‍යාත්මක හා දාර්ශනික පදනමකින් යුක්ත වේ. මෙම ලිපියේ අරමුණ ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සම්බන්ධ අංග සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාවට නැංවිය යුතුද යන්න පැහැදිලි කිරීමයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු හා දෙවන අංග මගින් පුද්ගල චින්තනය කෙසේ සකස්විය යුතුද යන්න පෙන්වා දෙයි. සම්මා දිට්ඨි යනු යහපත් දැක්මයි. එයින් හොඳ හා නරක පිළිබඳ මූලික අවබෝධය අදහස් වේ. මෙය සාමාන්‍ය මට්ටමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් බැහැර වීමයි. පුද්ගලයා තුළ හොඳ නරක, මෙලොව, පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය නොමැති විට අපරාධ සඳහා නැමියාවක් ඇති වේ. හොඳ, නරක, නීතිය, යුක්තිය නොසලකා කටයුතු කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් සමාජයක සාමය හා සංහිඳියාව බිඳ වැටේ. හොඳ නරක වෙන්කොට හඳුනාගෙන වැරදි දැක්මෙන් වෙන්වී නිවැරදි දැක්මක් ඇති කරගැනීමෙන් සමාජ සංවර්ධනය අර්ථවත් කළ හැකිවේ. පංචකාම සම්පත් අත්පත් කරගැනීමේ ආශාව (කාම සංකප්ප) අන්‍යයන් විනාශ කිරීමේ අදහස් හා සංකල්පනා (ව්‍යාපාද සංකප්ප) අන්‍යයන්ට පීඩා කිරීමේ ආකල්පය (හිංසා සංකප්ප) වැරදි සංකල්පනාවන්ය. මෙම සංකල්පවලින් පෝෂණය වූ අදහස් ඇති පුද්ගලයා අන්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අතර සමාජයටද හානිකර වූවෙකි. මිනිසාගේ චින්තනය යහපත් දෘෂ්ටීන්ගෙන් හා යහපත් සංකල්පනාවන් වන පංචකාම ලෝකයෙන් මිඳීමේ ආකල්පය (නෙක්ඛම්මසංකප්ප) මිත්‍රත්වයේ ආකල්පය (අව්‍යාපාද) හා අන්‍යයන් කෙරෙහි දයාවන්ත වීමේ ආකල්පය (අවිහිංසා) මගින් පෝෂණය වන විට එය ඔහුගේ පෞද්ගලික චර්යාව යහපත් වීමට මෙන්ම සමාජයේ යහපැවැත්ම පිණිසත් හේතු වේ.

සීලයට අයත් අංග වන සම්මා කම්මන්ත හා සම්මා වාචා යනු පුද්ගලයාගේ කායික, වාචසික සදාචාරයයි. කායික චර්යාවට සම්බන්ධ ප්‍රාණඝාතය,අදත්තාදානය හා කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීම යනු චර්යාමය වශයෙන් යහපත් අයෙකු බවට පත්වීමයි. වාචසික සංවරයට අයත් බොරු කීමෙන්, කේලාම්කීමෙන්, පරුෂ වචන කීමෙන් හා හිස්වචන කීමෙන් වැළකීමෙන් පුද්ගලයාගේ වාග් සංවරය අර්ථවත් වේ. පුද්ගල චර්යාවට අයත් මෙම අංග දෙකම එක් අතකින් පුද්ගලයාටත් අනක් අතින් සමාජයටත් ඍජුවම බලපායි. සමාජයේ සාමාජිකයෙකු වශයෙන් පුද්ගලයෙකුගේ කායික ,වාචසික චර්යාව අයහපත් වන විට එයින් අන්‍යයන්ගේ ජීවත්වීමේ අයිතිය, දේපොළ රැස්කොට ආරක්ෂා කරගැනීමේ අයිතිය හා දැහැමි පවුල් දිවියක් ගත කිරීමේ අයිතියද අහිමි වේ. වාචසික චර්යාව අයහපත්වන විට සන්නිවේදනය හා සම්බන්ධ සමාජ ගැටලු නිර්මාණය වේ. විශේෂයෙන්ම සත්‍ය දැනගැනීමේ අයිතිය, රැවටීමට ලක්වීමෙන් වැළකීමේ අයිතිය,අන්‍යයන්ගේ ප්‍රකාශනවලින් චිත්තපීඩාවට පත් නොවී සිටීමේ අයිතිය, සාමයෙන් ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත වන්නේ පුද්ගලයා වාචසික වශයෙන් සංවර වු විටය. සම්මා කම්මන්ත හා සම්මා වාචා අර්ථවත් වන්නේ සමාජය තුළය. සමාජයෙන් තොරව එම අංග අර්ථවත් නොවේ. මේ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එම අංග දෙක අර්ථවත් වන්නේ සමාජ සන්දර්භයක වන අතර එයින් සමාජ සංවර්ධනයද අවධාරණය කර තිබේ.අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී පුද්ගල චර්යාව හා සන්නිවේදන කාර්ය නිසා හටගන්නා අර්බුද මෙම අංග දෙක අනුගමනය කිරීමෙන් වළක්වා ගත හැකිවේ.

සෑම පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සන්තර්පණය කරගැනීමට අවශ්‍ය සම්පත් උපයා ගැනීම පිණිස ජීවනෝපායක් අවශ්‍ය වේ. බුදුසමයට අනුව එම ජීවනෝපාය සැබැවින්ම ධාර්මික විය යුතුයි. ගිහි සමාජය සම්බන්ධයෙන් ගත්විට ධනය ඉපැයීම පිණිස දැහැමි වෘත්තියක නිරත වීම බුදුසමයෙන් අවධාරණය කරයි. අයථා ක්‍රම මඟින් තම අවශ්‍යතා සපුරා ගැනීමට යාම එක් අතකින් තමාට අහිත පිණිස පවතින අතර සමාජයටද අහිතකර ලෙස බලපායි. සම්මා ආජීව හෙවත් නිවැරදි ජීවන ප්‍රතිපදාව යනුවෙන් බුදුසමය අදහස් කරන්නේ පුද්ගලයාට හා සමාජයට අහිත පිණිස නොපවතින වෘත්තියක නිරත වීමෙන් තම අවශ්‍යතා සන්තර්පණය කරගැනීමයි.

සම්මා වායාම තුළින් පෙන්වා දෙන්නේ සමාජ සන්දර්භය තුළ පුද්ගල ප්‍රයත්නය හා උත්සාහය නිවැරදි දේ කිරීමටත් වැරදි දෙයින් වැළකීමටත් යෙදිය යුතු බවයි. බුදුසමය පෙන්වා දෙන්නේ තමන්ගේ යහපත පිණිස පවතින දෑ කිරීම අසීරු බවත් අයහපත පිණිස පවතින දෑ කිරීම පහසු බවත්ය. මෙම ඉගැන්වීම අනුව පුද්ගල ප්‍රයත්නය ඉතා පහසුවෙන් අයහපත් ක්‍රියා කෙරෙහි යෙදවිය හැකිය. එහෙත් බුදුසමය අපේක්ෂා කරන්නේ එවැන්නක් නොවේ. පුද්ගලයා මෙන්ම සමාජයත් උත්සාහ කළ යුත්තේ නොකළ වැරදි නොකිරීමටත් නොකළ යහපත කිරීමටත්ය. සම්මා වායාම යටතේ පුද්ගලයා හා සමාජය පෙලඹවිය යුත්තේ යහපත් දෑ කිරීම සඳහාය.
නීරෝගී මනසකින් යුක්ත මිනිසුන්ගෙන් සැදුම් ලත් සමාජය සැබැවින්ම නීරෝගි වේ. නීරෝගි මනසක තිබිය යුතු ප්‍රධානම ලක්ෂණය වන්නේ මානසික ඒකාග්‍රතාව හා නිවැරදි සිහියයි. සම්මා සමාධිය යටතේ විස්තර කෙරෙන ධ්‍යාන මට්ටමේ ගැඹුරු චිත්ත ඒකාග්‍රතාවක් ඉතා පහසුවෙන් අත්පත් කර ගත නොහැකි වුවද සෑම කෙනෙක් තුළම අවම මට්ටමේ හෝ මානසික ඒකාග්‍රතාවයක් තිබීම වැදගත් වේ. මනස ව්‍යාකූල කරගත් පුද්ගලයාගේ දෛනික කටයුතු සියල්ල අවුල් සහගත වේ. චිත්ත ඒකාග්‍රතාව කවර ආකාරයේ රැකියාවක් කළ ද මානසික සුවය සඳහා අවශ්‍ය වේ. මෙම අවශ්‍යතාව සම්පූර්ණකරගත යුත්තේ භාවනාව ආශ්‍රයෙන්ය ථෙරවාද, සමථ හා විපස්සනා භාවනාව පිළිබඳ පුහුණුව චිත්තඒකාග්‍රතාව පිණිස පදනම වේ. වර්තමාන ශ්‍රී ලාංකික බෞද්ධයන්ගෙන් සාතිශය බහුතරයක් භාවනාව සම්බන්ධයෙන් දක්වන්නේ උදාසීන ආකල්පයකි.

 භාවනා කිරීම යනු ජීවිතයෙන් පලායාමක් ලෙස බොහෝ දෙනෙකු තුළ වැරදි වැටහීමක් ඇති වී තිබේ. මෙම සාවද්‍ය ආකල්පය ඇතිවීමට හේතුවී තිබෙන්නේ භාවනාවේ වැදගත්කම හා එයින් ලැබිය හැකි ලෞකික ප්‍රයෝජන පිළිබඳ අවබෝධයක් නෙමැති වීම නිසයි. බෞද්ධ භාවනාවෙහි කේන්ද්‍රිය අරමුණ විමුක්තිය සාක්ෂාත් කිරීම වුවද ඉන් මෙහා එයින් ලබාගත හැකි ප්‍රයෝජන අප්‍රමාණ වේ. සාමාන්‍ය මානසික සංහිඳියාවකින් යුක්තව කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව භාවනාවෙන් ලබාගත හැකිවේ. බොහෝ දෙනෙකු ක්ෂණික කෝපය, මානසික නොසන්සුන්තාව හා කළකිරීම නිසා පීඩාවට පත්වේ. ඉතා සුළු දෙයකින් පවා මානසිකව කඩා වැටෙන, කලකිරීමට පත්වන පුද්ගලයන් බහුලව දක්නට ලැබේ. මෙම දුර්වලතා ආනාපාන සතිය හා සමථය සම්බන්ධයෙන් භාවනා මගින් ලබන පුහුණුවෙන් ඉවත්කරගත හැකිවේ. සම්මා සමාධිය යටතේ දැක්වෙන පංච නීවරණ ධර්ම තාවකාලික වශයෙන් වුව යටපත් කරගැනීම අභ්‍යන්තර මානසික සංහිදියාව සඳහා වැදගත්වේ. සම්මා සතිය හෙවත් නිවැරදි සිහිය මගින් පුද්ගලයාට තමාගේ දෛනික කටයුතු වඩාත් විධිමත්ව පවත්වා ගත හැකිවේ. තම දෛනික ක්‍රියාකාරම් සිහිනුවණින් යුක්තව පවත්වාගත හැකිනම් අභ්‍යන්තර මානසික අර්බුද මෙන්ම සෙසු අය හා ඇතිකරගන්නා ගැටුම්ද අවමකරගත හැකිවේ. මෙම පදනම යටතේ ආර්ය මාර්ගයෙන් සම්මා සමාධි හා සම්මා සති යටතේ දැක්වෙන චිත්ත ඒකාග්‍රතාව හා මනා සිහිය පුද්ගලයාගේ මෙන්ම සමාජයේ යහපැවැත්ම පිණිස උපයෝගී වේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කිරීම පිණිස මෙන්ම ලෞකික වශයෙන් සමාජ සංවර්ධනය පිණිසද ඉවහල් වේ. බුදුරදුන් වදාළ ආධ්‍යාත්මික විමුක්තිය හා සමාජ සංවර්ධනය අතර විසංවාදයක් නොමැත. බුදුරදුන් දේශනා කළේ තමා රකින්නා අනුන් රකින බවත් (අත්තානං රක්ඛන්තො පරං රක්ඛති) අනුන් රකින්නා තමාද ආරක්ෂා කරන බවයි. (පරං රක්ඛන්තො අත්තානං රක්ඛති) මේ අනුව පුද්ගල විමුක්තිය පිණිස මෙන්ම සමාජ සංවර්ධනය පිණිසද ආර්ය අෂ්ටාංගික මාර්ගය අදාළ කරගත හැකිවේ.

 කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි

උපුටා ගැනිම බුදුසරණ අන්තර්ජ‍‍ාල කලාපයෙනි