ශ්‍රීපාද වන්දනාසමය


ඳුවප් පොහොය දිනය තථාගත බුදුහිමිපාණන්ගේ චරිතය හා සම්බන්ධව පමණක් නොව ලංකා ශාසන ඉතිහාසය සම්බන්ධව ද ඉතා වැදගත් දිනයකි. එයින් ද අදින් ඇරඹෙන වාර්ෂික සිරිපා වන්දනාව වැදගත් ව ඇත. එම කාල වකවානුව ලාංකික සැදැහැවතුන්ගේ සිත් සතන් සනසවන කාල වකවානුවකි. එබැවින් සිරිපා සටහන් පිළිබඳ ඉතිහාසය සහ එහි පසුබිම පිළිබඳව විමසා බැලීම වැදගත් වෙයි. 
 
ඕනෑම ආගමක් පිළිබඳව සලකා බැලීමේ දී ඒ ඒ ආගමට අයත් සුවිශේෂ වූ සංකේත භාවිතයක් දක්නට ලැබේ. එයින් සමහරක් අදාළ ආගමෙහි වන්දනීය වස්තු වශයෙන් හා තවත් කොටසක් එම ආගම හෝ එහි කිසියම් ඉගැන්වීමක් සංකේතවත් කිරීම සඳහා පමණක්ම යොදාගනු ලබන ඒවා ය. උදාහරණයක් වශයෙන් බෞද්ධ සංකේතයක් වන නෙළුම් මල පවිත්‍රත්වයේ සංකේතයක් විනා වන්දනාව සඳහා භාවිතා කරන්නක් නොවේ. 

මුල් කාලීන බෞද්ධ කලාශිල්ප වල බුදුන් වහන්සේ නිරූපණය කර ඇත්තේ බෝධි වෘක්ෂය, ධර්ම චක්‍රය, සිංහාසනය, පාද ලාඤ්ඡනය, ගිනිදළුවලින් වට කරන ලද ස්ථම්භය, හිස් ආසනය ආදී සංකේත මාර්ගයෙනි. කලා කෘති මගින් නිරූපණය කර ඇති සංකේත වැඩි ගණනක් බුද්ධ චරිතයට අදාළ වැදගත් සිදුවීම් හා සම්බන්ධ ඒවාය. සිදුහත් කුමරුගේ උප්පත්තිය නිරූපණය කර ඇත්තේ නෙළුම් මලක්, අලුත උපන් දරුවකුගේ පා සටහනක් හෝ හස්තියකුගේ සංකේත වලිනි. එසේම බුදුන් වහන්සේගේ බුද්ධත්වාවබෝධය බෝධිය යට හිස් ආසනයකින්ද ප්‍රථම ධර්ම දේශනාව ධර්ම චක්‍රයකින්ද පරිනිර්වාණය ස්තූපයකින්ද සංකේතවත් කිරීමෙනි. සාංචි භාරුත් හා අමරාවතී ස්තූප කැටයම් වල මේ හැම අවස්ථාවකදීම ඉහත කී සංකේතවලට දෙපසින් හෝ පහතින් සිට වන්දනා කරනා බැතිමතුන් පිරිසක් ද දැක්වෙයි. මුල් කාලයේ සංකේත වන්දනාව ව්‍යාප්තව පුළුල් ලෙස ජනපි‍්‍රයත්වයට පත්වී තිබුණු බවට සාධක වශයෙන් දැක්විය හැකි කාරණයක් නම් සාංචි ස්තූපයේ නිර්මාණ ශිල්පයේ දී බෝධි වෘක්ෂය හැත්තෑ හය වතාවක් ද ධර්ම චක්‍රය දස වතාවක් ද නිරූපණය කර තිබීමයි. කෙසේ වෙතත් මුල් කාලීන මූර්ති කලාවේ වන්දනීය සංකේත ලෙස නිරූපණය කර තිබුණු මෙම සියලු සංකේත පසු කාලයෙහි වැඳුම් පිදුම් කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලැබුණ සංකේත බවට පත් වූයේ නැත. ස්තූපය හා බෝධිය වෙනම පූජනීය තත්ත්වයට පත් වූ අතර ඒ පිළිබඳව ඉහත පරිච්ඡේදවලින් සාකච්ඡා කරන්නට යෙදිණ. අනෙකුත් සංකේත අතරින් අද දක්වාම වන්දනීයත්වයෙන් ප්‍රමුඛත්වයට පත්වී ඇත්තේ ශ්‍රී පාද ලාඤ්ඡනය යයි සඳහන් කළහොත් නිවැරදි යයි සිතමි. 

පාද ලාඤ්ඡන වන්දනාව බුද්ධ කාලයටත් පෙර සිට පැවත එන්නක් බව පෙනෙන අතර එහි ආරම්භය සෘග් වේද ස්තෝත්‍ර දක්වා අතීත කාලයකට දිවෙන බව විද්වතුන්ගේ මතයයි. පුරාවිද්‍යාඥ කනිංහැම් මහතාගේ අදහස වන්නේ ජනපි‍්‍රය බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට පසු මහාකාශ්‍යප හිමියන් විසින් බුදුන්ගේ පාද ස්පර්ශය කර පාදවලට නමස්කාර කිරීම පාද ලාඤ්ඡන වන්දනාවේ ආරම්භය බවයි. එහෙත් පාලි නිකාය ග්‍රන්ථවල දැක්වෙන තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීම බෞද්ධ ගිහි ජනතාව විසින් උන්වහන්සේගේ පාද ලාඤ්ඡනවලට ගෞරව නමස්කාර කර ඇත. 

පාලි අට්ඨකතාවල සඳහන් වන ආකාරයට බුදුන්වහන්සේ පා ගමනින් වඩින විට උන්වහන්සේගේ පා සටහන් පිහිටන්නේ නැත. එවැන්නක් සිදුවන්නේ උන්වහන්සේ අධිෂ්ඨාන කළහොත් (අධිට්ඨාන වසෙන) පමණක් බව අටුවාව පැහැදිලි කරයි. වරක් බුදුන්වහන්සේ උක්කට්ඨා හා සේතව්‍ය අතර මහා මාර්ගයෙහි හුදකලාව වඩින අතර ඒ මාර්ගයෙහිම ගමන්ගත් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් බුදුන්ගේ පිය සටහනෙහි වූ අර, නිම්වළලු, චක්‍ර ලක්ෂණ හා ඊට අදාළ උපාංග සියල්ලෙන් සම්පූර්ණ පා සටහනක් බව සඳහන් වෙයි. ඒ ආකාරයෙන්ම වෙනත් අවස්ථාවක බුදුහු මාගන්දිය බ්‍රාහ්මණයාට පෙනෙන පරිදි හිතාමතාම තම පිය සටහන් පෑ බව කියවේ. එබඳු විෂය ලක්ෂණ ශාස්ත්‍රය විෂය පිළිබඳ හසල දැනුමක් ඇති ඔහුගේ බිරිඳ උපාංග සහිත චක්‍ර ලක්ෂණය දැක මෙබඳු පියසටහන් ඇති පුද්ගලයා රාගය ප්‍රහීණ කළ යුතුයයි කීවා ය. මෙය වූ කලී පූජාර්භ වස්තුවක් වශයෙන් නොව උන්වහන්සේ තම සම්බුද්ධත්ව පදප්‍රාප්තිය විමංසනයට භාජනය කිරීම සඳහා පාසටහන මුදාහළ විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ. 

එසේ වුවත් මහාවංසය, සමන්තකූට වණ්ණනා වැනි පශ්චාත්කාලීන බෞද්ධ ග්‍රන්ථවලට අනුව බුදුන් වහන්සේ තම පා සටහන් සැදැහැවත් ශ්‍රාවකයන්ගේ වන්දනාව සඳහා පිහිටවූ අවස්ථා ගණනාවක් දක්නට ලැබේ. මේ අතරින් බුදුන්වහන්සේ ලක්දිවට වැඩි ගමනේ දී සමන්තකූට පර්වතයෙහි පිහිටවූ බව සැලකෙන පා සටහන වැඩියෙන්ම පූජනීයත්වයට පත් වූ පාද ලාඤ්ඡනය ලෙස සැලකේ.මහාවංසයට අනුව බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩි තුන්වන ගමනේ දී සුමන සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමන්තකූට පර්වත මුදුනෙහි තම පිය සටහන මුදාහළ බව විශ්වාස කෙරේ. ක්‍රි.ව. 5 වන ශතවර්ෂයෙහි ලක්දිවට පැමිණි චීන දේශාටක ෆාහියන් සමන්තකූට පර්වතයේ ශ්‍රී පාදය ගැන සහ අනුරාධපුර රජමාලිගාවට උතුරින් පැවති තවත් ශ්‍රී පාද ලාඤ්ඡනයක් ගැන සඳහන් කරයි. ෆාහියන් තවදුරටත් සඳහන් කරන්නේ මෙම කාලයේ ඉන්දියාවේ ද පාද ලාඤ්ඡන වන්දනාව ජනපි‍්‍රයව පැවති බවයි. බුදුන් වහන්සේ උතුරු ඉන්දියාවේ පන්ජාබ් දේශයට අයත් උද්‍යාන නම් ස්ථානයට වැඩමකර සිරිපා සටහන් පිහිටුවා ඇතැයි සලකනු ලබයි. කිසිවෙකු විසින් එම පා සටහන වන්දනා කරන විට එම තැනැත්තාගේ අවබෝධයේ හැටියට එය කෙටිව හෝ දීර්ඝව පෙනෙන බවත් ඔහු පවසයි. හියුං සියං හිමියන්ද මෙම සිරිපා සටහන දැක ඇති බව සඳහන් කරයි. එම සිරිපා සටහන ගැන හියුං සියං හිමි තවදුරටත් මෙසේ සඳහන් කරයි.

“මේ ගුහාද්වාරයෙන් පිටත සතරැස් ගල් දෙකක් පිහිටා ඇත. මින් එකෙක බුදුන්ගේ චක්‍ර ලක්ෂණ සහිත බුදුන්ගේ පා සටහනක් දක්නට ලැබේ. එය කලින් කල දීප්තිමත් ආලෝකයෙන් බබළයි.
මජ්ක්‍ධිම නිකාය අටුවාවේ සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේ නර්මදා නදී තීරයේ ද එක් සිරිපා සටහනක් පිහිටුවා ඇත. නර්මදා නාරජුගේ ඉල්ලීම පරිදි වන්දනා කිරීම සඳහා පිහිටවූ මෙම සිරිපා සටහන නිශ්චිත වශයෙන් කුමන ස්ථානයක පිහිටියේ දැයි මෙතෙක් සොයාගෙන නැත.
තවත් සිරිපා සටහනක් සච්චබද්ධ නම් පර්වත මුදුනේ පිහිටා ඇති බව සාම්ප්‍රදායිකව විශ්වාස කෙරේ. සච්චබද්ධ පර්වතය පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේය. අද එම ස්ථානය ‘තිරුපති’ යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය අද වන විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණෙන හින්දූන්ගේ පුදබිමක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත් ලංකාවේ බෞද්ධයන් තුළ වන්දනාවට භාජනය වූ ශී‍්‍ර පාද ලාඤ්ඡන හතරක් පිළිබඳව විශ්වාසයක් පැවති බව 13 වන ශත වර්ෂයේ ලියූ ‘සමන්තූටවණ්ණනා’ නම් වූ ග්‍රන්ථයෙහි මෙම ගාථාවෙන් පැහැදිලි වෙයි. 

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්චබද්ධගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාඤ්ඡනමහං සිරසා නමාමි 

 
මේ අනුව එක් සිරිපා සටහනක් නර්මදා නදී තීරයේ ද දෙවැන්න සච්චබද්ධ පර්වතයේ ද තුන්වැන්න සමන්තකූට පර්වතයේ ද අනෙක යෝනක පුරයෙහිද පිහිටා ඇතිබව සඳහන් වෙයි. ඒ හැරුණු විට අනුරාධපුර අභයගිරි චෛත්‍ය පිහිටි ස්ථානයේද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පැවති බව ක්‍රි.ව. 5 වන සියවසට අයත් ෆාහියන් වාර්තාවේ දක්වා ඇත. එහෙත් එවැනි ශ්‍රී පාද ලාඤ්ඡනයක් ලංකාවේ බැතිමතුන්ගේ වන්දනාවට භාජනය වී පැවති බවට තොරතුරු පසුකාලීනව දක්නට ලැබෙන්නේ නැත.

බුදුන්වහන්සේම විසින් පිහිටුවන ලදැයි සැලකෙන ඉහත සඳහන් පාද ලාඤ්ඡන හැරුණු විට කලාකරුවන් විසින් මූර්තිමත් කරන ලද පා සටහන් ද ගෞරවයට පාත්‍ර වූ බව ඉන්දියාවේ නිමැවුණු ඉපැරණිම බෞද්ධ කලා ශිල්ප වලින් පැහැදිලි වෙයි. පාද ලාඤ්ඡන වන්දනාව භාරුත් අමරාවතී සාංචි ස්තූප කැටයම් වලත් පැහැදිලිව දැකගත හැකිය. මෙම කැටයම්වල බුදුරජාණන් වහන්සේගේ රූපය ඉදිරිපත් කළ යුතු තැන්වල පාද ලාඤ්ඡනයට වන්දනා කරන ආකාරයෙන් මූර්තිමත් කර ඇත. ඒ අනුව පාද ලාඤ්ඡන වන්දනාවේ ඊළඟ අදියර වන්නේ බුදුන්ගේම පා සටහන් පමණක් නොව ගලින් හෝ මැටියෙන් හෝ වෙනත් ඝන ද්‍රව්‍යයකින් නිර්මාණය කරගත් ශ්‍රී පාද ලාඤ්ඡනය මහත් භක්තියෙන් වන්දනා කිරීමයි. මේ සඳහා පැහැදිලි නිදසුන් වශයෙන් අමරාවතී හා භාරුත් වල ඇති සිරිපා සටහන් වන්දනාව දැක්විය හැකිය. නිර්මාණය කරන ලද සිරිපා වන්දනාව ප්‍රචලිත වීමත් සමඟ බුදුන්ගේ පාදයට අයත් මහා පුරුෂ ලක්ෂණ අනුව්‍යංජන හා පසුව එකතු වූ 108 ක් මංගල ලක්ෂණ ද සහිතව සිරිපතුල ඉන්දියාවේ මෙන්ම වෙනත් රටවලද භාවිතා විය. වන්දනාව සඳහා පාද ලාඤ්ඡන භාවිතා කිරීම විශාල වශයෙන් යොදාගෙන ඇති බව තායිලන්තයේ හා බුරුමයේ දක්නට ලැබෙන විවිධ ප්‍රමාණයෙන් විචිත්‍ර අලංකාර කැටයම්වලින් යුක්ත නිර්මාණවලින් පැහැදිලි වෙයි. 

 බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති
මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි


No comments:

Post a Comment