ලොව්තුරු තථාගත බුදුපියාණන් වහන්සේගේ සදහම් පණිවුඩය රැගත් අනුබුදු මිහිඳු මා හිමියන් ඇතුළු ධර්ම දූත කණ්ඩායම සිරිලකට වැඩම කළ ඒ අසිරිමත් දිනය අදයි. ඒ මීට වසර 2322 කට පෙරය. මිහිඳු මා හිමියන්ට එවක අපේ රටේ රජු වූ දේවානම්පියතිස්ස මහරජතුමා හමුවන්නේ මිස්සකපව්ව ආසනයේ දඩයම් කෙළියෙහි නිරතව සිටිය දීය. රජු මිහිඳු මාහිමියන් දැකීමෙන් විශ්මයට පත් වූ අතර තමන් කුවරුදැයි ඇසීමට පෙර මිහිඳු මාහිමියන් විසින් තමා කවුරුන් ද යන්න රජුට හඳුන්වා දීම තුළින් නිවැරදි ධර්ම සන්නිවේදන ලක්ෂණයක් පිළිඹිබු කරයි. එය රජුගේ ප්‍රසාදයට ද හේතු විය.
වරක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණීමට සූදානම් වූ සෝණදණ්ඩ බමුණා තම අතවැසියන් බුදුරජාණන් වහන්සේගේ අගුණ ප්‍රකාශ කළ අවස්ථාවේ එය ඉවතලමින් බුදුරජාණන් වහන්සේ සතු වූ ගුණයක් ප්‍රකාශ කරන්නට විය. ඒ ගුණයන් අතර නිවැරදි සන්නිවේදකයෙකු සතු ගුණාංග කිහිපයක් මෙසේ සඳහන් වෙයි.
සමණො බලු,හො, ගොතමො එහිස්වාගතවාදී සඛිලො සම්මොදකො අබ්භාකුට්කො උත්තානමුඛො පුබ්බභාසී
පුබ්බභාසී - පළමුව කතා කරයි.
ඒහිස්වාගතවාදී -ඔබගේ පැමිණීම හොඳයි ආදි වශයෙන් ආශිර්වාද කථා කිරීම.
සම්මෝදකෝ - මිහිරි මොලොක් සතුටු වචන කතා කිරීම.
අබ්භාකුටිකෝ - කතාකිරීමේ දී බැම නොහකුළුවා කතා කිරීම.
.උත්තානමුඛෝ - මුහුණ පහත්කොට කතා නොකිරීම.
මෙයින් පැවසෙන්නේ තමා වෙත පැමිණෙන සියලු දෙනා බුදුරජාණන් වහන්සේ පිළිගත් ආකාරයයි. මෙයින් ලබා දෙන්නේ අප කාටත් වටිනා දහම් පණිවුඩයකි. අප හමුවට පැමිණෙන කාට වුවද පළමුව කතා කළ යුත්තේ අපය. එවිට අප හමුවට එන ඒ පුද්ගලයාට යම් චකිතයක් ඇත්නම් එය පහව ගොස් යහපත් මානසිකත්වයක් ගොඩනැෙඟ්.
එමෙන්ම ඒහිස්වාගතවාදයෙන් ඔහු ඇමතිය යුතුය. එනම් ඔබගේ පැමිණීම යහපත්ය. ඔබ සමඟ කතා කිරීම යහපත්ය ආදි වශයෙන් ඔහුට ආමන්ත්‍රණය කළ යුතුය. භාරතීය සංස්කෘතියෙහි තමා හමුවට පැමිණෙන ආගන්තුකයන් සලකා ඇත්තේ දෙවියන් ලෙසය. (අථති පන දෙවො) එමෙන්ම ඔහු සමඟ මිහිරි වචනයෙන්, ඔහු සතුටු වන අයුරින් කතා කළ යුතුය. ඔහු සමඟ කතා කිරීමේ දී පි‍්‍රය මනාප මුහුණින් කතා කළ යුතුය. බැම හැකිළවීම්, මුහුණින් අප්‍රසාදය පළ කිරීම් ආදිය නොකළ යුතුය. එමෙන්ම මුහුණ පහත් කොට හෝ වෙනතක් බලා කතා නොකළ යුතුය.
මිහිඳු මා හිමියන්ගේ කාර්යභාරය වූයේ සම්බුදුරදුන්ගේ ධර්මය ලක් වැසියන්ට දායාද කිරීමයි. එය රජුගෙන් ආරම්භ කිරීම සුදුසුම ක්‍රමවේදය විය. එබැවිනි උන්වහන්සේ රජතුමා සොයා අම්බස්ථලයට වැඩම කොට රජුට තමන් වහන්සේලා හඳුන්වා දෙමින් පැමිණි කාර්ය පවසා සිටියේ.
“සමණා මයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජබ්බුදීපා ඉධාගතා”
මහරජතුමනි! අපි ධර්මරාජ වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.
පළමුව තමන් වහන්සේලා කවුද යන්න හා පැමිණි අරමුණ රජුට පැවසීමෙන් අනතුරුව රජුගේ මානසිකත්වය සකස් කොට අවබෝධය පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රශ්න දෙකක් විමසා රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථීපදෝපම සූත්‍රය දේශනා කළහ.
මිහිඳු මා හිමියන් මෙම සූත්‍ර දේශනාව පළමුව දේශනා කිරීමට හේතු වූයේ සම්බුදු කෙනෙක් ලොව පහළ වීමේ සිට සදහම් දේශනා කිරීම ආදි වූ සම්බුදු කිස මෙන්ම එය අවබෝධ කර ගන්නා වූ ආර්ය ශ්‍රාවකයා පිළිවෙළින් නිවන කරා ගමන් කරන මාර්ගය පැහැදිලිව මෙහි ඇතුළත්ව තිබීමයි.
බමුණ මෙසේ බොහෝ කාලයක් අවෑමෙන් මේ ලෝකයේ තථාගත වූ අර්හත් වූ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙති. උන් වහන්සේ මුල මැද අග පිරිසුදු වූ ධර්මය දේශනා කරති. ඒ අසන යම් ගෘහපති පුත්‍රයෙක් වෙයි ද ඔහු තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගනියි. එසේ ශ්‍රද්ධාව උපදවා ගත් ඔහු මෙසේ සිතයි. ‘ගිහිගෙය සම්බාධකය. කෙලෙස් උපදින ස්ථානයකි. පැවිද්ද හිස් අහස මෙනි. මේ දහම ගිහිගෙයි සිට හැදෑරීමට අපහසුය. එබැවින් බඹසර හැසිරිය යුතුය. එබැවින් මා කෙසේ රැවුල් බා කසටවත් හැඳ ගිහිගෙයින් නික්මී පැවිදි වන්නේ නම් මැනවි යනුවෙන් එම කුල පුත්‍රයා සිතා සසුනට ඇතුළත් වෙයි.
මෙසේ පැවිදි වෙන ඔහු ක්‍රමයෙන් චූලසීල, මජ්ඣිමසීල, මහාසීල ආදිය පූර්ණය කරමින් අරණ්‍ය සේනාසන, ශුන්‍යාගාර ආදියෙහි වාසය කැමති වෙමින්, සැහැල්ලු දිවි පැවැත්ම කෙරෙහි සතුටුවෙමින්, සිරුර පවත්වා ගැනීම සඳහා ආහාර සොයා ගැනීමට පාත්‍රය ද, විලිබිය, අව්වැසි, සීතල, මැසි, මදුරු උවදුරු වලින් ආරක්‍ෂාවීම හා කය වසා ගැනීමට චීවරය ද, දරමින් පාසිවුරු දෙක පමණක් පරිහරණය කරමින් පක්‍ෂියෙකු මෙන් නිදහස්ව ඒ ඒ තැන යමින් බණ භාවනාවේ යෙදෙමින්, පැවිදි දිවිය සරු කර ගනිමින් කිසිදු අයුරකින් පංච නීවරණාදි බන්ධනයන්ට හසු නොවෙමින්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් උතුම් වූ නිවන සාක්‍ෂාත් කරගන්නා අයුරු හා එහි පිළිවෙත මනාව මෙහි ඇතුළත් ව ඇත.
සම්බුදු දහම පිළිබඳ මෙන්ම භික්‍ෂු ජීවිතය පිළිබඳව ද අවබෝධයක් නොතිබුණු රජතුමා ඇතුළු පිරිසට ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීමට මෙම දම් දෙසුම සමත්ව ඇත. මෙසේ පළමු දම් දෙසුමෙන්ම ආර්ය ශ්‍රාවකයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට රජු ඇතුළු පිරිසට හැකියාව ලැබුණේ මිහිඳු මා හිමියන් ඉතා සැලසුම් සහගතව මෙම ධර්ම සන්නිවේදන කාර්යෙහි නියැළි නිසාය.
පසුව රජ මාලිගයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස දානය වැළඳීමෙන් අනතුරු එහි රැස් වූ සියලු දෙනාට ධර්මය දේශනා කළේ විමානවත්ථු හා පේත වත්ථු ආශ්‍රයෙනි. රජු හා සෙසු අය බුද්ධියෙන් එක හා සමාන නොවන නිසා ඒ අයට එකවරම ගැඹුරු දහම් කරුණු අවබෝධයට අපහසු නිසාත් යහපත් චර්යාවන්හි නිරතවෙමින් පිංදහම් කළ අය දෙව් ලොව ගිය අයුරු සඳහන් විමාන වත්ථුවත්, අයහපත් චර්යාවන්ගේ නිරත වූ අය අකුශල් රැස්කර ගනිමින් ප්‍රේතාදී ආපායන්හි ඉපිද දුක්විඳින අයුරු සඳහන් පේතවත්ථුවත් දේශනා කිරීම තුළින් ඒ අයගේ අවබෝධයට එය පහසු වූ අතර ධර්මය පිළිබඳ ගෞරවයක් මෙන්ම විශ්වාසයක් ද ගොඩ නැඟිණි. මෙම ධර්ම කතාවන් පොදු ජනයා අතර ඉතා ඉක්මනින් ජනපි‍්‍රය වන්නට විය. ඔවුහු දහම කෙරෙහි ඇදී එන්නට වූහ. චර්යාවන් ධර්මානුකූලව සකස් කර ගන්නට උත්සුක වූහ. මෙය පොදු ජනයාගේ ප්‍රායෝගික දහමක් බවට පත්විය.
මෙසේ මිහිඳු හිමියන් ධර්මය රජුට පමණක් සීමා නොකොට පොදු ජනයාට ද එහි කොටස්කරුවන් බවට පත්වීමට ඉඩ සැලැස්වීමෙන් හෙවත් බුදු දහම රජ දහම මෙන්ම පොදුජන දහම බවට ද පත් කිරීම තුළින් උන්වහන්සේ සතු වූ අසහාය සදහම් සන්නිවේදන කුසලතාව පිළිඹිබු වෙයි. බුදුදහම පොදුජන දහමක් බවට පත්වීමත් සමඟ එවකට ලක්දිව පැවති විවිධ ඇදහිලි හා ආගම් යටපත් වෙමින් ගම්දනව් සිසාරා බුදුදහම පැතිරෙන්නට විය. අපේ සාඩම්බර ප්‍රෞඩත්වය කියාපාන විශාල දාගැබ්, ශෛලමය ප්‍රතිමා, වැව් අමුණු නිර්මාණය වූයේ මිහිඳු මාහිමියන් අපට ලබා දුන් මේ උතුම් සදහම් පණිවුඩයේ ප්‍රතිඵලයන් ලෙසය. මෙම සදහම් සන්නිවේදනය නිසා ශ්‍රී ලාංකික ජන සමාජය ලෞකික ලෝකෝත්තර යන උභය අංශයෙන්ම දියුණු ජාතියක් බවට පත්විය.
මිහිඳු මා හිමියන්ගේ වැදගත්ම මෙහෙය වන්නේ සම්බුදු දහම චිර පැවැත්ම සඳහා අවශ්‍ය වූ පසුබිම නිර්මාණය කිරීමයි. ඒ සඳහා අවශ්‍යම පියවර ලෙස මෙවැනි දීර්ඝ කාලයක් නිර්මල සම්බුදු දහම නොවෙනස්ව පවත්වාගෙන ඒමට සමත් ශක්තිමත්, නොකැඩුණු - නොබිඳුණු භික්‍ෂු පිරිසක් නිර්මාණය කිරීමේ ගෞරවය ද හිමිවන්නේ අනුබුදු මිහිඳු මා හිමියන්ටය. දූරදර්ශි නුවණකින් කටයුතු කළ මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු කාර්යභාරය වූයේ රජුට දහම් අවබෝධ කරවීමෙන් අනතුරුව සම්බුදු සසුනෙහි චිරපැවැත්ම ඇති කරලීම සඳහා කටයුතු කිරීමයි. පැවිද්ද හා උපසම්පදාව පිළිබඳ අවබෝධයක් නොතිබුණු ලාංකිකයන්ට භණ්ඩුක උපාසක තුමාගේ පැවිදි කිරීමෙන් පැවිද්ද පිළිබඳ අවබෝධයත් සුමන සාමණේරයන්ගේ උපසම්පදාවෙන් උපසම්පදාව පිළිබඳ අවබෝධයත් ලබා දීමෙන් අනතුරුව පැවිද්ද කෙරෙහි කැමති වූ අරිට්ඨ කුමරු පැවිදි කළහ.
අරිට්ඨ කුමරුගේ පැවිද්දත් සමඟ විශාල පිරිසක් සසුන්ගත කොට ලක්දිව බුදුසසුන පිහිටුවීමෙන් අනතුරුව එහි චිරස්ථායී භාවය තහවුරු කළ මිහිඳු මා හිමියන් තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් පරාර්ථකාමීත්වයේ ඉහළම ඉස්තරය සනිටුහන් කරමින් නැවත දඹදිවට වැඩම නොකොට දිවි ඇතිතෙක් ලක්දිවම වැඩවාසය කරමින් බහුජන සුවය පිණිසම කටයුතු කළහ.
අනුබුදු මිහිඳු මා හිමියන් අපට දායාද කළ මේ උතුම් සද්ධර්මය විවේකී මනසකින් යුතුව හදාරා එහි ඇති හරපද්ධතීන් අවබෝධ කොටගනිමින්, නිවැරදි ලෙස නිරවුල්ව එය සෙසු අයටද සන්නිවේදනය කරමින් බොහෝ දෙනාගේ යහපත පිණිස කටයුතු කිරීම. පරාර්ථචර්යාවෙහි නිරත වීම අප උන්වහන්සේට කරන උතුම්ම ගෞරවය වන්නේ ය. එය මේ උතුම් පොසොන් පොහොය අර්ථවත් ලෙස සැමරීම වන්නේ ය.
මඩුගහවත්ත පුරාණ විහාරාධිපති
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහාවිහාර පාර්ශ්වීය විංශද්වර්ගික
කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික
ගෞරව ශාස්ත්‍රවේදී
දොරණෑගම රතනපාල නා හිමි
උපුටා ගැනීම බුදුසරණ පුවත් පත්ත්‍රයෙනි
No comments:
Post a Comment