දුරුතු පුර පසළොස්වක පොහොය වරුණ

 

මිය ගිය ඥාතී ප්‍රේතයන්ට තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මාසයේ දී ය

පින්බර දුරුත්තෙහි පෙරදිග අහසින් දුරුතු පුර පසළොස්වක පුන්සඳ උදාවනවිට ආගමික ශාසනික ඓතිහාසික පුරාවෘත්තයන් අපට සිහිපත් වන්නේ තුනුරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරවමිනි.

ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නම් වූ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිසට ලොව්තුරු දහම් මාර්ගයේ පහස ස්පර්ශය ලබා දීමෙන් අනතුරුව ප්‍රථම වරට ලංකාවට වැඩම කර එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන් කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දහසක් සමඟ රජගහ නුවරට වැඩමවීම, ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍ය අසල දී රජ බවට පත්වීම, ආදී ආගමික සිදුවීම් රාශියක් සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.




බෝධිතො නවමේ මාසෙ - ඵුස්ස දුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි

දුරුතු පුර පසළොස්වක පොහෝ දා මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළ ඓතිහාසික සිදුවීම් මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි ඒ ආකාරයෙන් සඳහන් ව ඇත. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත.

පූජ්‍ය මාපලගම සෝමිස්සර හිමියන් එම අවස්ථාව සඳහන් කර ඇත්තේ මෙසේ ය.

“දුරුතු පුන් පොහෝ දා උරුවෙල් දනව් පියසෙහි වූ උරුවෙල් කසුප් - නදී කසුප් ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් සව්වන් සිය දහම් මඟට හරවා ඔවුන් හැම අරී සලා ගණ බවට පත්කොට ඉක්බිති ව එයින් අතුරුදහන් ව හෙළදිව බින්තැන්නේ මාවැළි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවන් ගැබින් පහළ ව පුන්සඳ මඬලක් සේ සවනක් ගන බුදු රැස් මාලාවන්ගෙන් දිලිහි දිලිහී වැඩහුන් සේ. මහානාග වන නමින් හැඳින්වෙන උයන් බිමට රැස් වූ යක් හා කුල සෙබළෝ සිය පරවෙණි උරුමය කරගෙන සිටි බිම් පියසෙහි පත්කඩ අතුරා රන්වන් රැස් කඳින් දිලිසෙමින් වැඩ හිඳිනා තිලෝගුරු බුදුරදුන් වෙත විරුදුව මහා සටනකට එළඹිය.

එහෙත් සඳකිරණ පරයන සිසිල් සුදෝ සුදු බුදුරැස් දහරා විහිදුවමින් කුලුණුබර දම් රදාණෝ මිහිරි නදින් දහම් දෙසා ඔවුන්ගේ තෙදබල බිඳලූහ. මේ අනඟි බුදුසිරි නැරඹීමට එහි පැමිණ සිටි සමනොළ පවු වැසි සුමන සමන් දෙව්රදාණෝ දහම්රස වදාළ සෝවාන් ව අරිසව්වකු බවට පත්වූහ. එදවසට බුදුහිමිපාණෝ සුමන සමන් දෙවි රදුන්ගේ ඇයැදුම් පරිදි සුරතින් සිය සිරස පිරිමැද කෙස් කලඹක් ප්‍රදානය කළහ. සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කලඹ රන් සුමුනෙකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිට දහම් අමාවැසි වැස් වූ බිම රුවන් රැසක් අතුරා ඒ මත තබා ඉඳුනිල්වන් ගලින් සත්රියන් උසැති සෑයක් බන්දා කේසධාතු නිදන් කොට පුද පෙරහර දැක්වූහ.”

ඒ අනුව සුමන සමන් දිව්‍ය රාජයා විසින් ස්වාමිනී, අපට පූජාර්භ වස්තුවක් දුන්හ. මැනැවැ'යි ආයාචනා කළ විට බුදුරජාණන් වහන්සේ ඔහුට කේශධාතු මිටක් දීමෙන් අනතුරු ව උරුවෙල් දනව්ව බලා වැඩම කළහ.

කේශ ධාතු මේ භූමිය තුළ නිධන් කිරීම ස්ඵුට නිර්මාණයේ ප්‍රථම අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් ද මහියංගන ස්ථූපයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව මහාවංසයේ පමණක් නොව පූජාවලිය ද දක්වන අතර ධාතු වංසයේ ද එම තොරතුරු තවදුරටත් සනාත කරගත හැකි ය.

අප ලොව්තුරා සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයෙන් අනතුරුව මගධයේ අධිපති බිම්බිසාර මහ රජතුමාගේ ආරාධනාව මත දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගනුවරට වැඩම කරනු ලැබුවේ ද දුරුතු මාසයේ දී ය. බිම්බිසාර මහරජතුමා විසි දහසක් පමණ පිරිසක් පිරිවරා ගෙන බුදුරදුන් වෙත පැමිණි අතර උන්වහන්සේ රජු ප්‍රධාන වූ පිරිසට ධර්ම දේශනා කළහ. ශ්‍රද්ධාවන්ත මහෝපාසකයකු වූ බිම්බිසාර මහරජතුමා වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන්නට විය. භික්ෂූන් වහන්සේට ආරාම පුජාව පිළිගැනීම සුදුසු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ද එම සුවිශේෂී අවස්ථාවේ දී ය.

වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේ වෙත පූජා කළ දින පින් බලාපොරොත්තුවෙන් සිටි මහරජතුමාගේ ඥාති ප්‍රේතයන් රාශියක් වැලපෙන්නට විය. ඥාතී ප්‍රේතයන් වැලපෙන බව දුටු බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහ රජතුමාට පෙන්වා දුන්හ. අනතුරුව බුද්ධ අවවාද පරිදි බුදුපාමොක් මහ සඟනට දන් පූජා කළ රජු ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කළේ ය.

මිය ගිය ඥාතී ප්‍රේතයන්ට තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ ද දුරුතු මාසයේ දී ය.

ඒ වගේම ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ ධාර්මිකව රට පාලනය කළ සිරිසඟබෝ රජතුමා රාජ්‍ය අභිෂේකය ලැබුවේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනක දී බව ඉතිහාසය ගත වී ඇත.

මේ ආකාරයෙන් විමසා බලන විට දුරුතු පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දිනයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකි සඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

 උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි. එය ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වාම පවතියි. චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් පවත්වා සිරිපා වන්දනා සමය ආරම්භ කරන අතර පැල්මඩුල්ලේ ගල්පොත්තාවල පන්සල, රත්නපුර මහසමන් දේවාලය සහ සිරිපා කන්ද යන ස්ථානවල අනුපිළිවෙළින් සිදුකරන වතාවත් ඒ අතර ප්‍රමුඛත්වය ගනියි.


ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍යය රාජයානන් වහන්සේ

භාරහාර

සිරිපා වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් දුරාතීතයේ පටන්ම හිමිව පැවතිණ. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතර වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය ශ්‍රී පාදස්ථානය වීම එයට ප්‍රධාන හේතුවයි. පුරාතනයේ ඇතැමුන් මෙම වන්දනා ගමනට සහභාගි වූයේ තම ඉඩකඩම් පවා ඤාතීන්ට පවරා දීමෙන් පසුවයි. ගමනාරම්භයට පෙර තෙරුවන් නමදින වන්දනාකරුවන් ඊළඟට සිදු කරනුයේ සමන් දෙවියන්ට භාරහාර වීමයි. පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී සිරිපා තරණය කරන අතර ගමන් මාර්ගයේ දී ඇතිවන ගමන් විඩාව සංසිඳුවා ගන්නේ කවි හා වාගාලාප ගායනා කරමිනි. මෙහිදී ‘තුන්සරණය’ නමැති ජන කාව්‍යයේ එන කවි මෙන්ම ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද වාගාලාප බොහෝ සෙයින් ගායනා කෙරෙයි.

වදන් මාලාවක්

සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවකවත් භාවිත වන බවක් දැකිය නොහැකි සිරිපා වන්දනාව හා ආවේණික වූ විශේෂ වචන මාලාවක් ද පවතියි.

හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ ‘ඉර සේවය’ නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී ආශිර්වාද කර ගන්නේ “කරුණාවයි” කියමිනි. එය වෙනත් අවස්ථාවක ‘ආයුබෝවන්’ යැයි කීම හා සමාන ය. ජීවිතයේ පළමුවරට සිරිපා වන්දනාවේ යන තරුණයා ‘කෝඩුකාරයා’ ලෙසත් වැඩිහිටියා ‘දඬු කෝඩු’ ලෙසත් කුඩා දරුවකු හෝ දැරියක ‘කිරිකෝඩු’ ලෙසත් හැඳින්වේ.

සිරිපා අඩවියේ තද අඳුර සහිතව වලාකුළු පැතිරයාම ‘කෝඩේ’ නමිනුත්, වැසි වසින බව හැඟවීම ‘ගඟුල බානවා’ නමිනුත්, භාවිතයට එක් වී තිබේ.

සිරිපා තරණයේ දී ‘පරඬැල් පෑගෙනවා’ යනුවෙන් කීමෙන් අදහස් කරනුයේ ‘කටු ඇනෙනවා’ යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා සිටින්නේ ‘සංහිඳේ’ යනුවෙන් පැවසීමෙනි. ‘ඉඩ දෙන්න’ යනු එහි අරුතයි. සිරිපා වන්දනාකරුවා ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය හඳුන්වන්නේ ‘සැහැල්ලුව‘ නමිනි. එය උරහිස දෙපසට වැටෙන සේ කරේ දමාගෙන යා හැකි වන පරිදි මැසූ ලොකු උරයකි.

සමනොළ කන්දේ ඉහළ කොටසේ පවත්නේ තද සීතලකි. එම ප්‍රදේශයෙහි ගමන් කිරීම හඳුන්වන්නේ ‘හිමේ නඟිනවා’ යනුවෙනි. සිරිපතුල වැඳීමට පෙර වන්දනාකරුවන් පිරිසුදුවීම ‘පේවීම’ නම් වේ. දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකි ය.

සිරිපා වන්දනා කරන පිරිස ‘නඩය’’ නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා ‘නඩේ ගුරා’ නම් වෙයි. සිරිපා වන්දනාවේ දී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම් කර ගැනීමයි. එනම් වචනය සංවර කර ගැනීමයි. කට පරෙස්සම් කර නොගැනීම සිරිපා කරුණාවට බාධාවකි. සිරිපා වන්දනාව හා පමණක් ආවේණික වූ මෙම වචන මාලාව හඳුන්වාදිය හැක්කේ හුදෙක් ගැමි පාරිභාෂික වචන කෝෂයක් ලෙසයි.

ජනශ්‍රැති බොහොමයක්

සිරිපා වන්දනාවේ දී ‘ගෙත්තම් කිරීම’ නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉඳිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන දී මසා ගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදුකරයි.

සිරිපා ගමන් මාර්ගය හා සබැඳි බොහෝ ස්ථාන නාම සිංහල ජන වහරට එක් වී ඇත. රත්නපුර මාර්ගයේ ලිහිණි හෙල, ධර්මරාජගල, හැරමිටිපාන , ඇහැළ කණුව මෙන්ම හැටන් මාර්ගයේ මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, රතු අම්බලම, භගවාලෙන ඒ අතර ස්ථාන කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජනශ්‍රැති ද බිහි වී තිබේ.

හැටන් පාරේ පැමිණීමේ දී හමුවන ‘භගවා ලෙන’ දැකීමට බොහෝ වන්දනාකරුවන්ට අවස්ථාව නොලැබෙයි. එය වන්දනාකරුවන් නඟින පඩි මගට මදක් එපිටින් පිහිටා තිබීම එයට එක් හේතුවකි.

භගවා ලෙන මහගිරිදඹෙන් පසුව පිහිටා තිබීමත්, වන්දනාකරුවන් මහගිරිදඹ පසුකළ සැණින් මළුවට යාමට ඉක්මන්වීමත් එයට තවත් හේතුවකි. මෙම භගවා ලෙන වනාහි බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ ‘දිවා ගුහාව‘ යයි ද ඇතැමුන් තුළ විශ්වාසයක් පවතියි. මහගිරිදඹ තද බෑවුම් සහිත, දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්ව ද පිහිටා ඇත.

දඹදිව සිට පැමිණි ධර්මරාජ නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු සිරිපා මාර්ගයේ කොටසක ගල් පඩි ඉදිකොට සිරිපා අඩවියට පූජා කළ වග ජනශ්‍රැතියේ සඳහන් ය. ‘ධර්මරාජගල’ යනු එම කොටසයි. මෙම ධර්මරාජගල නඟින විට එහි ගල්පඩි ගණන් කිරීම සිරිතකි. හත්දින්නත් තරු ගණන් කළ නොහැකි මෙන් මෙම ධර්මරාජගලේ ගල් පඩි ද ගණන් කළ නොහැකි බව ජනමතයකි.

මෙහි සමහර තැනක ගල් පඩි එකක් ද දෙකක් ද කියා තීරණය කිරීමට නොහැකිවීමත්, සමහර තැනක ගල් පඩි තිබේ දැයි, නිශ්චය කර ගත නොහැකි වීමත් එයට හේතුව‘ වන්නට ඇත.

ඉර සේවය

ලිහිණි හෙල යනු අතීතයේ කඳු කඩා වැටීමෙන් සෑදුණු භයානක ගල් බෑවුමකි. සිරිපා කරුණා කරන්නන් පළමුව පැමිණෙනුයේ පාත මළුවටයි. එම ප්‍රදේශය වන්දනාකරුවන් බෙහෙවින් ම ගැවසෙන විශ්‍රාමශාලා සහිත ප්‍රදේශය යි. මෙහි සිට වන්දනාකරුවන් දැක ගැනීමට අපේක්ෂා කරනුයේ ‘ඉර සේවය’ යි. උදෑසන පෙරදිගින් සූර්යයා උදා වී ගෙන ඒම සිරිපා අඩවියේ දී ඉර සේවය නමින් හැඳින්වේ. මෙය සිරිපා මළුවට පමණක් පෙනෙන ඉතා චමත්කාරජනක දර්ශනයකි. දොළොස් මහේ පහන ද ශ්‍රී පාදස්ථානයට පමණක් ආවේණික වූවකි.


ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍යය රාජයානන් වහන්සේ


පුද සිරිත්

සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සාම්ප්‍රදායිකව පැවැත්වෙන පුද සිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා යන කෙම්මුර දිනයන්හි දී සිදුකරන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින සැදැහැවතුන් සියලු දෙනාම මළුවෙන් ඉවත් කර පිවිසෙන දොරටු වැසීමයි. ඉන් පසුව මළුවේ කාර්ය මණ්ඩලය විසින් නා නා විධ සුවඳ වර්ග මුසු කළ පැන් කළ හතකින් ශ්‍රී පාද පද්මය දෝවනය කරනු ලැබීම සිදු වේ. ඉක්බිතිව සුමන සමන් දේවාලය ද එලෙසින් ම පවිත්‍ර කෙරේ. මුළු සිරිපා මළුව ම සුවඳ පැනින් සෝදා සඳුන් කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරැණි සිරිතකි.

මෙම පවිත්‍ර කිරීම්වලින් පසුව සිදුවන්නේ සාම්ප්‍රදායික ව සකස් කළ බුද්ධ පූජාව ගෞරවාන්විත පුද පෙරහරක් මඟින් මළුව වටා තෙවරක් වැඩම කරවා ගෙනවිත් ශ්‍රී පාද වහන්සේ අබියස තැන්පත් කිරීමයි. පසුව දේව පූජාව ද එබඳුම පූජා පෙරහරක් මඟින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවතුන්ට වන්දනාව සඳහා දොරටු විවර වනුයේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍රවිධි පැවැත්වීමෙන් පසුවයි.

ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමි සැළලිහිණි සංදේශයේ දී තත් සංදේශය ගෙන යන සැළලිහිණියාට සමනොළ ගල බලන ලෙස සඳහන් කළේ මෙසේ ය.

සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

මිතුරුතුමනි, එකල්හි දෙවඟනන් හා එක්ව සමන් දිව්‍ය රාජයා විසින් කාන්තියෙන් තෙත් වූ මදාරා පරසතු මල් සමූහයන් පූජා කොට වඳිනු ලබන්නා වූ බුදුරදුන්ගේ සිරිපා පද්මය පිහිටි සමනොළ පර්වතය පෙරදිගින් පෙනෙයි.


ඌරුගමුවේ අස්සජී හිමි

ගෞතම සම්බුදු සිරිපා නමදිමු Gautama Sambudu Siripa Namadimu

උඳුවප් පුර පසළොස්වක පොහොය වරුණ

 


ක්‍රිස්තු පූර්ව 236 වැනි වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කරවීමත්, ශ්‍රී ලංකා ධරණී තලයෙහි භික්ෂූණී ශාසනය ආරම්භ වීමත් ලංකා ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිද්ධීන් වේ.

මහ වංශයේ 18 සහ 19 වන පරිච්ඡේදයන්හි බෝධි ආගමනය පිළිබඳ විස්තර ඇතුළත් ය. ඒ අනුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා පවරන ලද්දේ තමන්ගේ බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා වෙතත්ය. අරිට්ඨ අමාත්‍යතුමා මහින්ද මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස මහරජතුමාගේත් හසුන්පත රැගෙන වප් මස දෙවැනි දිනයේ දී දඹකොළපටුනෙන් පිටත්ව එක්දිනක් තුළ පැළලුප් නුවරට පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහවංශය සඳහන් කරයි.

ලංකාගමනය

මිහිඳු මහරහතන් වහන්සේ්ගෙන් බණ අසා පළමුව මාර්ග ඵලාවබෝධය ලබන ලද්දේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පක්ෂයයි. ඔවුහු සසුන්හි පැවිදි වන්නට අවශ්‍ය බව දෙවනපෑතිස් නිරිඳුන්ගේ මාර්ගයෙන් අනුබුදු මිහිඳු මාහිමියන්ට දැන්වූහ. එහෙත් කාන්තාවන් පැවිදි කරන්නට තමන් වහන්සේට නොහැකි බවත් ඒ සඳහා සිය නැඟණිය වන සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා මෙහි ගෙන්වා ගන්නා ලෙසත් වදාළහ. එය ඇසූ දෙවනපෑතිස් නිරිඳුන් විසින් ඒ සඳහා දඹදිව පැළලුප් නුවර අශෝක චක්‍රවර්තීන් වෙත අරිට්ඨ කුමරුන් ප්‍රධාන දූත පිරිසක් යැවීමට තෝරා ගන්නා ලදී. ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නොමැති හෙයින් එය කළ නොහැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එසේම පෙර තුන් බුදුවරයන් වහන්සේගේ බෝධි ශාඛාවලින් හිස් නොවූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධිරාජයාගේ ශාඛාවක් ද එවනු මැනවි. මේ සන්දේශය රැගත් රාජකීය දූත පිරිස වප් පුණු පොහෝදා ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව පැළලුප් නුවර බලා පිටත් වූහ. ටික දිනකින් එහි ගිය ලාංකීය රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජයා වෙත සන්දේශය පිළිගන්වා සංඝමිත්තා මහරහත් මෙහෙණිය ද හමුව සිය සොහොයුරු මිහිඳු මා හිමියන්ගේ පණිවුඩය සැල කළහ. එහෙත් සිය පුතාත් මුණුපුරාත් වෙනුවට සංඝමිත්තා උත්තමාව නිසා සැනසී සිටිය ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට මුලදී එතරම් කැමැත්තක් නොදැක්වීය. පසුව එතුමාට සඝමිත් මාතාව කරුණු විස්තර කර දුන්නේ මෙසේ ය.

පියාණෙනි, මගේ සහෝදරයන් වහන්සේගේ වචනයට. මා ගරු කළ යුතුයි. අනුලාව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් මහණ වන්නට මා ගැන බලාපොරොත්තුවෙන් සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකාවාසීනට සිදුවනු ඇත. යනුවෙන් ඇය පැවසුවා ය. එය ඇසූ දම්සෝ නිරිඳුන් ‘දියණියෙනි, එසේ නම් වඩිනු මැනවි. මාගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට සේවය පිණිසම වේවා, එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමඟම බෝධිරාජයාගේ ශාඛාවක් ද ගෙන යනු පිණිස මම කටයුතු පිළියෙල කොට දෙන්නෙමි’ ය කීය.

මෙසේ කී ධර්මාශෝක අධිරාජයා සංඝමිත්තා මහරහත් උත්තමාවන් භික්ෂුණී සංඝයා සමඟ පිරිවර සහිතව ලංකාවට එවීමට සූදානම් කරවීය. ධර්මාශෝක අධිරාජයා රජ මාලිගාවෙහි මහා සංඝයා විෂයෙහි දන් පිරිනමා අවසන මහා බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු දැයි මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන්ගෙන් විමසීය. එය ඇසූ මොග්ගලීපුත්තතිස්ස මාහිමියෝ බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු යැයි වදාරමින් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පස රජතුමාට දේශනා කළහ.

ලංකාවෙහි රෝපණය කිරීම පිණිස බෝධිය ගැනීමට අශෝක චක්‍රවර්තීන් එළඹුණු කල්හි බෝධි ශාඛාව අයත්නයෙන්ම ගැලවී රන් කටාරමෙහි පිහිටවා, බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිමවලා ගැබක් අතරට වැද සිටීවා, සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කෙණෙහි පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේවා, දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ලද ථූපාරාම චෛත්‍යයෙහි දකුණු අකු ධාතුව පිහිටන කල්හි යමාමහ ප්‍රාතිහාර්යය කෙරේවා, ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතුන් රුවන්වැලි සෑයෙහි පිහිටන කල්හි බුද්ධවේශය ගෙන අහසට පැන නැඟී යමාමහ පෙළහර කෙරේවා.

යන මේ අධිෂ්ඨාන පස පිරිනිවන් ඇඳේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ ලංකාව වෙත යොමු කළහ. යනුවෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජතුමාට සිහිපත් කරවූහ. ඒ ඇසූ රජතුමා අතිශයින් සතුටුව පැළලුප් නුවර පටන් බෝධීන් වහන්සේ දක්වා සත්යොදුනක් මඟ සැරසවීය. රන් කටාරමක් ඒ සඳහා පිළියෙළ විය. රජතුමා සිවුරඟ සෙනග පිරිවරා ගෙන මහ පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගියේ ය.



අශෝක රජුගේ සත්‍ය ක්‍රියාව

අශෝක රජතුමා දක්ෂිණ ශාඛාව පිහිටි ස්ථානයට ළං වූයේ උස් වූ පීඨයකට (අටල්ලකට) නැඟීමෙනි. ඒ සමඟම රන් කටාරම පීඨයකට නංවන ලද්දේ ඒ ස්ථානයට සමීප කර ගනිමිනි. ඉක්බිති රජතුමා රන් පින්සලයෙන් රන් සිරියල් ගෙන, බෝධි ශාඛාවේ ආරම්භය වටා රේඛාවක් ඇඳ ඉදින් මේ මහා බෝධීන් ලංකාද්වීපයට ම යා යුතු වේද? ඉදින් මටද සර්වඥ ශාසනයෙහි සැක රහිත වෙමි ද, මේ බෝධි ශාඛාව තමා ම සිඳී මේ රන් බඳුනෙහි පිහිටුවා යි සත්‍ය ක්‍රියා කළේ ය. එවිට ඒ මහා බෝධි ශාඛාව තොමෝ ම සිඳී සුවඳ කළලින් පිරුණා වූ කටාරම මතුයෙහි පිහිටියා ය. එවිට මහපොළොව කම්පා විය. නා නා ප්‍රකාර ප්‍රාතිහාර්යය පහළ විය. මහරජතුමා ඇතුළු පිරිස පී‍්‍රති ඝෝෂා කළහ. මහා සංඝයා වහන්සේ සාධු නාද කළහ. මිනිස්, දෙව් බඹුන්ගේ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව් තලයම ඒකාලෝක විය.

අශෝක රජතුමා ගංගා නම් නදියෙහි සරසන ලද නැවකට බෝධීන් වහන්සේ නංවා එකළොස් නමක් මෙහෙණින් වහන්සේ ඇතුළු සංඝමිත්තා ස්ථවිරයන් වහන්සේ මහාරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස නැව් නංවා නුවරින් නික්ම සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාමලිත්ති නම් තොටට පැමිණියේ ය. ඒ අතරමඟ දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් බෝධි රාජයා පූජාවට පාත්‍ර කළහ.

අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පිදීය. උඳුවප් මස ශුක්ල පක්ෂයෙහි පෑළවිය දිනයෙහි බෝධි රාජයා ඔසවාගෙන ගී‍්‍රවය දක්වා ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. සංඝමිත්තාවන් ඇතුළු මෙහෙණින් වහන්සේ මහාරිෂ්ඨ කුමරුන් ඇතුළු පිරිසක් නැවට නංවා මෙසේ ප්‍රකාශ කළේ ය. මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධි රාජයා පිදුයෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේම කෙරේවා යනුවෙනි.

මහා පෙරහරින් නැව් නැංවූ මේ රාජකීය පිරිස නොයෙක් පූජා ලබමින් උඳුවප් පුර පසළොස්වක පොහෝදා ලක්දිව දඹකොළපටුනට පැමිණියහ. රජතුමා ගී‍්‍රවය තෙක් ජලයට බැස සොළොස් කුල ජනයන් සමඟ බෝධි ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුණී සංඝයාත් රාජකීය පෙරහරින් අනුරාධපුර මහමෙවුනා උයන වෙත කැඳවාගෙන ගියේ ය.

එහිදී ජාතික මහෝත්සවයක් ලෙස බෝධීන් වහන්සේ මහමෙව්නා උයනෙහි සකස් කළ උස් භූමියක රෝපණය කළ බව මහවංශය සහ බෝධිවංශයෙහි දැක්වෙයි. දෙවනපෑතිස් රජුගෙන් ආරම්භ වුණු බෝධි පූජා උත්සවය දුටුගැමුණු, භාතිය, ධාතුසේන, අඹහෙරණ, සලමෙවන්, දෙටුතිස් ආදී රජවරුන් විසින් සිදු කළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

භික්ෂුණී ශාසනය ආරම්භ වීම

සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට වැඩමවීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය ඇතුළු පිරිවර භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලබා ශ්‍රී ලංකා ද්වීපය තුළ භික්ෂුණී සමාජය ආරම්භ වීම ද අදවන් උඳුවප් පොහොය හා සම්බන්ධ වූ ඉතා වැදගත් ඓතිහාසික ශාසනික සිදුවීමකි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.