සම්බුදු සසුන සුරැකීමේ මුල් පියවර තැබූ නිකිණි පෝදා

 



සම්බුද්ධ ශාසන ඉතිහාසයට සහ ලංකා ශාසන ඉතිහාසයට එක්වන සදාඅනුස්මරණීය ඓතිහාසික සිදුවීම් කිහිපයකට ම මුල් වූ දිනයකි නිකිණි පුර පසළොස්වක පොහොය දිනය.

ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹිය යුතු දිනය ලෙස බුදුරදුන් විසින් නම් කරනු ලැබීම, බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදු කිරීම සහ මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය හා සම්බන්ධව වැදගත් වන සිදුවීම් ය.

දැඩි වැළපීමක්

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේ ද සමඟ පාවා නුවර සිට කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ වූ මාර්ගයට පිවිසුනහ. එහිදී ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ වූ පුවත උන්වහන්සේලාට සැළ වුණි. ඒ සමඟම එහි සිටි මාර්ගඵල නොලැබූ භික්ෂූන් වහන්සේ අතරින් ද ඇතැමෙක් ඉතා දැඩි සේ වැළපෙමින් හිසෙහි අත් බැඳ හඬා වැටුනහ. උන්වහන්සේගේ මුවින් මහ හඬින් මෙවන් වදන් පෙළක් කියවුණි.

“ඉතා ඉක්මණින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මණින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වූයේ ය.”

සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් සමහරෙක් බිම වැටුනහ. ඉදිරියට පෙරලුනහ. පසුපසට පෙරලුනහ. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේ මනා සිහියෙන් හා නුවණින් යුතුව මෙම සිදුවීම ඉවසූහ. ඉක්බිතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙකී භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළහ.

ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නොවැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන් ම වෙනස්වීම, වෙන්වීම, වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය, යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේ ද? යමක්, උපන්නේ ද, හට ගත්තේ ද, ලෞකික වූයේද, නැසෙනසුලු වේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා'යි, යන මෙය කොහි ලැබිය හැකි වේ ද? ලැබිය හැකි නොවේ ම ය.

විනය විරෝධී ප්‍රකාශය

සුභද්‍ර නම් වූ මහලුව පැවිදි වූවෙක් එදා මෙම පිරිස අතර සිටියේ ය. ඉක්බිතිව එම පැවිද්දා භික්ෂූන් වහන්සේ අමතා මෙසේ කීය.

ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුනෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යැයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.

මෙම දැඩි විනය විරෝධි ප්‍රකාශය හමුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කළේ අධර්මය බැබළීමටත්, ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර ධර්මය ද, විනය ද සංගායනා කළ යුතු බව යි.

දුර්වල පුද්ගලයන් රැසක්

සුභද්‍ර වැනි දුර්වල පුද්ගලයකු ගේ ඒකපුද්ගල ප්‍රකාශයක් පමණක් ම සංගායනාවක් පැවැත්වීම කෙරෙහි හේතු නොවී ය. සුභද්‍ර හා සමාන ආකල්පවලින් යුතු පසුතලයක පිහිටා සිට ක්‍රියා කළ දුර්වල පුද්ගලයන් රැසක් හා ඔවුන් හා අනුගත ව සිටි අනුගාමිකයින් රැසක් ද එකල සිටියහ. දේවදත්ත, සාතිය, අස්සජි , පුනබ්බසුක, සුනක්ඛත්ත, ඡන්න යනාදී භික්ෂූහු බුදුරදුන් ධරමානයෙහි දී ම ධර්මවිනය තම තම රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමට පෙළඹුණහ.

බුදුරජාණන් වහන්සේ හමුවේ ඒවා යටපත් වුව ද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පශ්චිම ජනතාවගේ අවබෝධය සඳහා ධර්ම විනය සුරක්ෂිත කොට තැබීම ශාසනභාරධාරි මහතෙරුන් වහන්සේලාගේ වගකීමක් ව පැවතිණ. ඒ අනුව තෘතීය මහා ශ්‍රාවක, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්ථානවල දී දේශනා කළ නා නා වර්ගයනට අයත් ධර්ම කොට්ඨාසයන් ක්‍රමානුකූලව සකස් කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත් ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කළහ.

ධර්ම සංගායනාවට සහභාගි වීම සඳහා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එකුන් පන්සිය නමක් (499) මහ රහතන් වහන්සේ එක්රැස් කළ හ. ඉක්බිති මහා කාශ්‍යප මහ තෙරණුවෝ භික්ෂූන් වහන්සේගේ ද අනුමැතියෙන් ආනන්ද තෙරණුවන් ද සංගායනාවට තෝරා ගත්හ. ආනන්ද තෙරුන්ගෙන් තොරව සංගායනාව සිදු කළ නොහැකි බැවිනි. ඒ සමඟම ධර්ම සංගායනාවට භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වූ හ. එබැවින් මෙය පංචසතිකා විනය සංගීතිය නම් විය.

අලංකාර මණ්ඩපයක්

සංගායනාව පැවැත්වීමට රජගහනුවර තෝරාගත් අතර අජාසත් මහරජුගේ පාලනය යටතේ පැවති හෙයින් එහි රාජකීය බලය හා ආරක්ෂාව ද නො අඩුව තහවුරුව පැවතිණ. අජාසත් මහ රජු විසින් වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයෙහි විශ්ව කර්මයා විසින් නිමවන ලද්දක් වැනි වූ මණ්ඩපයක් කරවන ලදී. එය රාජ භවනයක ශ්‍රී විභූතිය යටපත් කරන්නා වූ දෙව් විමනකට අපහාස කරන්නාක් වැනි වූ සිරියෙන් යුත් ශ්‍රී නිකේතනයක් හා සමාන සියල්ල එක් රැස් කළ මණ්ඩපයක් විය.

ආනන්ද හිමි රහත් බවට

ධර්ම සංගායනාවට පෙර දින ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළහ. “ හෙට සංගායනාව ය. මම රහත් නො වූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නොවෙයි.” මෙම කරුණ සලකා බැලූ ආනන්ද තෙරණුවෝ රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් කාලය ගත කළහ. රාත්‍රිය පහන්වන වේලාවෙහි සැතපෙමි යි, සිතා ශරීරය හැර වූහ. පාදයෝ පොළොවෙන් මිදුණහ. හිස ද කොට්ටයට නොපැමිණියේ ය. මේ අතරෙහි සිත උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසුව සතර ඉරියව්වෙන් තොරව ආනන්ද තෙරණුවෝ රහත් භාවයට පත්වූවාහු ම සංගායනාවට වැඩම කළ සේක.

පළමුව විනය

එසේ ආනන්ද මහරහතන් වහන්සේගේ ද වැඩමවීමෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිස ඇමතූහ. “ඇවැත්නි, ධර්මය ද විනය ද යන දෙකෙන් පළමුව කුමක් සංගායනා කරමු ද?” එයට මහරහතන් වහන්සේ දුන් පිළිතුර මෙසේ විය.

භන්තෙ මහා කස්සප , විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති, තස්මා පඨමං විනයං සංගාමාති.

ස්වාමීනි, මහා කාශ්‍යප තෙරුන් වහන්ස, විනය නම් බුද්ධ ශාසනයේ ආයුෂය’යි. විනය පවත්නා කල්හි ශාසනය ද පවතියි. එම නිසා පළමුව විනය සංගායනා කරමු.

පසුව පළමුව උපාලි තෙරුන් වහන්සේගෙන් විනය පිළිබඳව ද, ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධර්මය පිළිබඳ ව ද විමසීය. ඊළඟට සිදු වූයේ ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව සහ බ්‍රහ්මදණ්ඩ කථාව යි.

භාණක පරම්පරා

මෙසේ නිකිණි පොහොය දිනෙක ආරම්භ වී සත් මසක් මුළුල්ලේ පැවැති ප්‍රථම ධර්ම සංගායනාව අවසානයේ දී ස්ථාවර කර ගත් ධර්මය මතු අනාගතය සඳහා, කට පාඩමින් සුරක්ෂිත කර ගැනීම භාණක භික්ෂු පරම්පරාවනට පවරා දුනි. ඒ අනුව දීඝනිකාය , ආනන්ද තෙරුන්ට හා ඒ ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, මජ්ක්‍ධිම නිකාය පිරිනිවි සැරියුත් තෙරුන්ගේ ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, සංයුක්ත නිකාය මහා කාශ්‍යප තෙරුන්ට හා ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන්ට හා ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, ඛුද්දක නිකාය පොදුවේ සෑම භික්ෂූන් වහන්සේ නමකටමත් පැවරුණි.

ත්‍රිපිටකය ලක්දිව ග්‍රන්ථාරූඪ වන තෙක් ම බුදුදහම චිරාත් කාලයක් පවත්වාගෙන ඒම සඳහා හේතු වූයේ මෙම භාණක භික්ෂු පරම්පරා ක්‍රමයයි. මේ අනුව බුදුදහම ක්‍රමානුකූල පදනමක් මත ස්ථාවර වූයේ නිකිණි පොහොය දිනෙක ඇරඹි ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුවයි.


ඌරුගමුවේ
අස්සජී හිමි

දම්සක් දෙසුමෙන් ලොවම පුබුදු කළ ඇසළ පෝදා

 


ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල්වන සිදුවීම් අතර වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වැනි වියේ දී සතර පෙරනිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුද්ධ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේ ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන් ගේ මානය මර්ධනය කරනු වස් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන කරුණු ප්‍රධාන ය.

ලක්දිවටත් වැදගත්

ලක්දිව බුදුසසුනෙහි ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන සිදුවීම් කිහිපයකි. ඒවා අතර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම සීමා සම්මතය සිදු කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේ සැට දෙනමක් පළමු වරට ලක්දිව වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය සිදුකිරීම, එහි ධාතු නිධානෝත්සවය සිදුකිරීම, දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

පස්වග භික්ෂූන්ගේ කතාබහ

එදා ඇසළ පුර පසළොස්වක පොහෝදා සවස් කාලය යි. බුදුරජාණන් වහන්සේ බරණැසට නුදුරුව පිහිටි ඉසිපතනයට සමීප වූ සේක. එහි සිටි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය , මහානාම සහ අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේ ඈත වැඩමවන බුදුරදුන් දුටුවහ. දැක මෙවන් කතාබහක නිරත වූහ.

“ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයෝ ප්‍රධන් වීර්යයෙන් පහව, සුවපහසු ප්‍රත්‍ය පරිභෝජනයට බැස, බුදුවීමට නොහැකිව දැන් අප කරා එති. ඔහු දැක හුනස්නෙන් නැඟී සිටීම, ඉදිරියට ගොස් පා සිවුරු පිළිගැනීම හෝ වැඳීම හෝ නො කළ යුතු ය. ශාක්‍ය වංශයෙහි උපන් හෙයින්, හිඳිනා අසුනක් පමණක් පැනවිය යුතු ය.

එහෙත් කෙමෙන් කෙමෙන් බුදුරදුන් ළං වත්ම තමන් කරගත් කතිකාවතෙහි පිහිටා සිටීමට ඔවුහු අසමත් වූහ. එක් තවුසෙක් පෙරමඟට ගොස් පාත්‍ර චීවර පිළිගත්හ. එක් අයෙක් අසුන් පැනවූහ. තවත් අයෙක් පා සේදීමට දිය ද, පා පුටුව ද, පාද පිසදමනය ද ගෙනවුත් ළං කොට තැබූහ. බුදුරජාණන් වහන්සේ ද පැන වූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන්පසු ඔවුහු බුදුරදුන්ට පෙර සේ තමනට සම කෙනකුට කතා කරන්නාක් මෙන් ‘ඇවැත්නි, ගෞතමයනි “කියා ආමන්ත්‍රණය කොට පිළිසඳර කතා බහ පටන් ගත්හ.

එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මහණෙනි, තථාගතයන් වහන්සේට ඇවැත්නි කියාත්, නම කියාත් ආමන්ත්‍රණය නො කළ යුතු ය. තථාගත තෙමේ සියලු කෙලෙස් නැසූයෙකි. සියලු ධර්මයන් මනා කොට තෙමේ ම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, අසවු, තථාගත වූ ම විසින් නිවන අවබෝධ කරන ලද්දෝ ය. ඒ මම යූෂ්මතුනට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහිගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කරන්න.”

සැකයට කරුණක්

පස්වග භික්ෂූන් වහන්සේ මෙය අසා මවිතයට පත්ව පෙරළා බුදුරදුන්ගෙන් මෙසේ විමසුහ. “ආයුෂ්මතුනි, එ දවස එතරම් වීර්යය කොටත්, එතරම් දුෂ්කර ක්‍රියා කොටත් ලෝකෝත්තර ගුණයක් නො ලැබුණේ නම්, ඔබට ලෝකෝත්තර ධර්ම පහළ වූයේ දුෂ්කර ක්‍රියා අත්හැර ආහාරපානාදී ප්‍රත්‍යයන් බහුල කොට ගැනීමෙන්, ශරීරයට සුව පහසුව සැලසීමෙන් දැ”යි ඇසූහ. “මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බහුලකොට ගැනීමට යොමු වූ කෙනකුවත්, වීර්යය අත්හැර දැමු කෙනකුවත් නොවේ. තථාගත තෙම අරහත් ය. සම්‍යක් සම්බුද්ධ ය.

“මම යුෂ්මතුන්හට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහි ගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කළ හැකියැ”යි, ද වදාළ සේක.

එසේ පැහැදිලි කළ විට ද පස්වග භික්ෂූන් පෙර සේ ම ප්‍රශ්න කළ හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මා එදා උරුවෙල් දනව්වේ යූෂ්මතුන් හා සමඟ වාසය කරමින් ප්‍රධන්වීර්යය කරන කාලයෙහි කිසිම දිනක ඔබ රවටා සනසනු සඳහා මට මෙසේ එළියක් පෙනේ යැයි කියා හෝ නො ලැබූ යමක් ලැබීමි’ යි කියා හෝ බොරුවක් කී බවක් මතක දැ”යි , ඇසූහ. එය ඇසීමෙන් කාරණය තේරුම් ගත් පස්වග භික්ෂූහු උන්වහන්සේ බුදු බව ලැබුණේ යැයි කළ ප්‍රකාශය සත්‍ය යැයි පිළිගෙන “ස්වාමීනි, ඔබ වහන්සේ බොරුවෙන් අප කිසි කලෙකත් නොරැවටූ සේකැයි, කීහ. එවිට බුදුරජාණන් වහන්සේ පළමුව හා දෙවනුව වදාළ පරිදිම ස්වකීය බුද්ධත්වය පැහැදිලි කළ පසු පස්වග භික්ෂුහු”භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලත් බැවින් ම මෙසේ වදාරණ සේකැ”යි, පිළිගත්හ. ධර්ම ශ්‍රවණයට සැරසුණහ.

දම්සක් දෙසුම ඇරඹීම

ඇසළ පොහෝදා හිරු අවරට ගමන් ගන්නා වේලාවයි. එහා මෙහා දුව පැන ඇවිදින මුවන්ගෙන් සහ පියාඹන විවිධ පක්ෂීන්ගෙන් බරණැස ඉසිපතනය අමුතුම අසිරියක් විදහාපෑවේ ය. පස්වග භික්ෂූන් වහන්සේ එළිමහන් පෙදෙසක රැස් වූහ. ඔවුනට මුහුණලා භාග්‍යවතුන් වහන්සේ අනූපමේය බුද්ධශ්‍රීයෙන් බබළමින් ආසනයක වැඩසිටි සේක. එකෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ සියුම් වෙස්ගෙන එහි රැස්වූහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බ්‍රහ්ම ස්වරය විහිදුවා ප්‍රථම ධර්ම දේශනාව මෙසේ ආරම්භ කළහ. “මහණෙනි, පැවිද්දකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ, හීන වූ, පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නා වූ, පස්කම් සැපතෙහි නැවත නැවත යෙදෙන්නා වූ, කාමසුඛල්ලිකානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද, එසේම දුක් උපදවන්නා වූ, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නාවූ තම සිරුරට බෙහෙවින්ම දුක් දෙන්නාවූ, අත්තකිලමථානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදහ. එම ප්‍රතිපදාව නුවණැස පිරිසුදු කරන්නේ ය. නුවණ ඇති කරන්නේ ය. එය කෙලෙසුන් සංසිඳවීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේ ය.

“මෙසේ ඇරඹි දම්සක් දෙසුම අවසන පළමුව කොණ්ඩඤ්ඤ හිමි චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ ය. එහෙයින් ම උන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය වූයේ ය.

ඌරුගමුවේ
අස්සජී හිමි

සම්බුදු තෙමඟුල සැමරෙන අසිරිමත් වෙසක් පෝදා

 



සමස්ත ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩමවීම, තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසිවැනි වියේ දී පිරිනිවන්පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයාගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑයේ ඉදි කිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය.

බෝසත් කුමරකු  මෙලොවට බිහිවෙයි


අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුවේ දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතිනි. එතැන් පටන් දස පාරමිතා පිරූ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයෙන් පසුව තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව් රජ ව උපන්හ.

කල්යත්ම එහි සිටි සියලු දිව්‍ය බ්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් ආරාධනා කළහ. මහ බෝසතාණන් වහන්සේ ඔවුනට එක් වරම ප්‍රතිඥාවක් නොදී නිහඬව සිට ඒ හා අදාළ වූ කරුණු පසක් සම්පූර්ණව ඇත් දැයි, දිවැස යොමා බැලූහ.

ඒ අනුව ඉපදීමට සුදුසු දීපය වූ දඹදිව ද දේශය වූ මධ්‍ය දේශය ද, කාලය වූ දීර්ඝ ආයුෂත් නොවන අල්ප ආයුෂත් නොවන මධ්‍යම ආයු කාලය ද, කුලය වූ ක්ෂත්‍රිය කුලය ද, මවගේ ආයුෂ කාලය ද යන පස්මහ බැලුම් සම්පූර්ණ ව ඇති බව දුටුවහ.

දෙව් බඹ පිරිස අමතා ‘කල් නොයවා ම මිනිස් ලොව උපදිමි’ යි, වදාළහ. පසුව කපිලවස්තු ශාක්‍ය පරම්පරාවෙහි සුද්ධෝදන මහ රජු ගේ හා දෙව්දහ නුවර ශාක්‍ය පරම්පරාවෙහි මහාමායා දේවියගේ පුත්ව ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී උපන්හ.

සසර දුක දැනීම

කෙමෙන් ළදරු විය ඉක්මවා සොළොස් වැනි වියට පත් සිද්ධාර්ථ කුමරු යශෝධරා දේවිය සරණ පාවාගෙන තුන් සෘතුවට යෝග්‍ය වූ රම්‍ය, සුරම්‍ය, සුබ නමැති මාලිගා තුනෙක වාසය කළේ ය.

සියලු පස්කම් සුවය එහි පැවතිය ද කල්යත් ම සිදුහත් කුමරුට සසර දුක වැටහෙන්නට විය. විසිනව වැනි වියේ දී පස්කම්සුව කෙරෙහි කළකිරීමට ඉවහල් වූ මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් හා පැවිදිරුවක් යන සතර පෙර නිමිති නෙත ගැටුණි.

වයසට යාම, ලෙඩ රෝග ඇතිවීම හා මරණය සියල්ලන්ට ම සාධාරණ බව ගැඹුරින් මෙනෙහි කරමින් සිටි සිදුහත් කුමරු මුල්වරට එහි සත්‍යතාව සියැසින් දැකීම ගිහි සැපතින් ඉවත්වීම කෙරෙහි තදින් ම බලපෑවේ ය.

ඉක්බිතිව මහාභින්ෂ්ක්‍රමණය කොට පළමුව ආචාර්යවරුන් සොයා ගොස් ඉන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැන්මට නොහැකි වූ තැන දුෂ්කර ක්‍රියා සිදු කළේ ය. එයිනුදු ප්‍රතිඵලයක් නොලදින් මැදුම් පිළිවෙතට බැස දිගින් දිගටම භාවනාවෙහි යෙදුණේ ය.

සිහින පහක්

එම වසරෙහි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ළඟා විය. බෝසතාණන් වහන්සේ වෙසක් මස පුර තුදුස්වක් දා රෑ නින්දෙහි සිටිය දී මෙම සිහින පහ දුටුවහ.

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරුව සැතපෙන බෝසතාණන් වහන්සේගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද සිටියහ.

මෙම සිහිනය උන්වහන්සේ බුදුවන බවට පෙර නිමිත්තකි. බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතණ ගසක් හටගෙන ඉතා උසට නැඟී අහස තෙක් පැතිර ගියේ ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට එය ලෝකයාට දේශනා කරන බව මෙම සිහිනයෙහි පෙර නිමිත්තයි. කළු පැහැති හිස් ඇති සුදු පැහැති පණුවෝ පා මුලින් නැඟී දණ හිස දක්වා වසා ගත්හ. මෙය බොහෝ අනුගාමිකයන් බිහිවන බවට වූ පෙර නිමිත්තයි.

නා නා වර්ණයෙන් යුතු ලිහිණියෝ සතර දෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් පා මුල වැටී වහා සුදු පැහැ වූහ. මෙය සිව් කුලයන්හි ම ජනයා සස්නෙහි පැවිදිව පිරිසුදුව නිවන කරා පැමිණෙන බවට වූ පෙර නිමිත්තයි.

මහත් අශුචි පර්වතයක් මත්තෙහි අශුචියෙහි නොගෑවී සක්මන් කෙරිණි. මෙය සිව්පසය බොහෝ සේ ලැබුණ ද එහි නො ඇලෙන බවට වූ පෙර නිමිත්තයි.

බෝසතාණන් වහන්සේ මෙම ස්වප්න පහ පිළිබඳ විමසා බලා “බුදුවන බව නිසැක යැ” යි, වටහාගෙන පසුදා එනම් වෙසක් පොහෝදා උදෑසන අජපාල නුග රුක මුල පෙරදිගට මුහුණලා වැඩ සිටියහ.

කිරිපිඬු පූජාව

එදා සේනානි නියම් ගම් වැසි සුජාතා සිටු දේවිය කලක සිට සිරිත් පරිදි පවත්වාගෙන එන විශේෂ පූජාවක් සිදු කරන දිනයයි. එනම් අජපාල නුග රුකට අධිගෘහිත දෙවියන්ට දිය නුමුසු කිරිබත පූජා කිරීමයි. බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ සුජාතා සිටු දේවිය ගේ දේවායතනය වූ මෙම රුක මුල ය. උන්වහන්සේ එහි සිටිනු දැක බලවත් සොම්නසට පත් සිටු දේවිය “රුක් දෙවියන් අද බිමට බැස ඇතැ’යි සිතා කිරිබත පූජා කළා ය.

එම කිරිපිඬු පූජාව සහිත රන්තලිය රැගෙන බෝසතාණන් වහන්සේ වැඩම කළේ නේරංජනා ගං තෙරට ය. එහි දිය නා කිරිබත පිඬු හතළිස් නවයක් කොට වැළඳූ බෝසතාණන් වහන්සේට එම ආහාරය ඉදිරියට ගත කිරීමට ඇති දින හතළිස් නවයකට ප්‍රමාණවත් විය.

කිරිපිඬු වළඳා රන්තලිය නේරංජනා නදියට දමා “ඉඳින් අද මා බුදු වන්නෙම් නම් මේ රන්තලිය උඩු ගං බලා යේවා” යි, අදිටන් කළහ. එය දිය පිට උඩු ගං බලා ගොස් දිය සුළියකට හසුව දියේ ගිලිණ. ඒ දුටු උන්වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත බව පසක් කළහ.

උතුම් සම්මා සම්බුද්ධත්වය

ඉක්බිති බෝසතාණන් වහන්සේ ගංතෙර පිහිටි විවිධ පුෂ්පයන්ගෙන් සමලංකෘත වූ සල් ගස් පන්තීන්ගෙන් යුතු භද්‍ර වනයට වැඩමවා දිවා විහරණය කළහ. සවස් භාගයෙහි භද්‍ර වනයෙන් නික්ම බෝමැඩ කරා දිවෙන ගමන් මාර්ගයට පිවිසුණහ.

ඉදිරියෙන් පැමිණි සොත්ථිය නම් බමුණා උන්වහන්සේ දැක පැහැදී තමා ගෙන ආ කුසතණවලින් අට මිටක් පිදීය. එය පිළිගෙන ඇසතු බෝ රුක වෙත එළඹි උන්වහන්සේ එහි නැඟෙනහිර දිසාවෙහි කුස තණ අට මිට අතුරා අසුනක් පනවා වැඩ සිටියහ.

ඉක්බිතිව මෙසේ චතුරංග සමන්නාගත වීර්යය ඇති කර ගත්හ. “මාගේ ශරීරයේ ඇට, සම්, නහර ගැල වී විසිර ගියත්, මස් ලේ වියළී ගියත්, සම්‍යක් සම්බෝධියට නොපැමිණ මේ ආසනයෙන් නැඟී නො සිටිමි.”

මෙම අධිෂ්ඨානත් සමගම බෝධියට පිට දී පෙරදිග බලා වැඩ හුන්හ. මේ මොහොතේ හිරු ධරමාන කල්හිම එහි පැමිණි පිරිවර සහිත මාරයා පරාජය කොට විජයශ්‍රීය ලැබූහ. වෙසක් පුන් පොහෝදා අරුණු නැඟෙන කල්හි ම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පිරූ පාරමිතා බලය මුදුන්පත් කරමින් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් සියලු කෙලෙසුන් නැසූ බෝසතාණන් වහන්සේ සර්වඥතා ඤාණය අවබෝධ කරගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

පරිනිර්වාණය

බුද්ධත්වයට පත්වීමේ පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින රාත්‍රියේ අලුයම උදාවීමට පෙර සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍ය ස්වභාවය ස්වකීය ජීවිතයෙන් ම ලොවට පසක් කරමින් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විට උන්වහන්සේ උපතින් අසූ විය සපුරා සිටියහ.

පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි සක්විති රජ කෙනකු ගේ ශරීරයට මෙන් උපහාර දැක්විය යුතු බව පෙර වදාරා තිබිණ. එම ක්‍රමය අනුවම පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය මල්ල රජදරුවන් ගේ උපවත්තන නම් සල් උයනේ සුවඳ දර පිර වූ සෑයක තැන්පත් කොට ආදාහන පූජාව සිදු කෙරිණි.


ඌරුගමුවේ
අස්සජී හිමි

Vesak Animation Sath Sathiya (සත් සතිය Seven Weeks )

ප්‍රථම ධර්ම සංගායනාව ඇරඹි නිකිණි පෝදා

 


ශාසනික වශයෙන් සදාඅනුස්මරණීය ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම නිකිණි පොහොය දිනෙක ආරම්භ වී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම. ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟ හැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන් ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු ඒ අතර ප්‍රධානය.

ආජිවකයාගේ පිළිතුර

විනය පිටකයෙහි චුල්ලවග්ග පාලියෙහි පංචසතිකක්ඛන්ධකයෙහි ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ වූ වාර්තාව හමු වෙයි. එහි සඳහන් වන පරිදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා ද සමඟ පාවා නුවරින් කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ මාර්ගයට පිවිසුනෙමි. ඉක්බිතිව මම මඟින් ඉවත්ව ගසක් මුල හුන්නෙමි.

එහිදී එක්තරා ආජීවකයෙක් මදාරා මලක් අතින් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දිවෙන මෙකී මාර්ගයට ම පිවිසියේ ය. පැමිණෙන්නා වූ එම ආජීවකයා මම දුරදීම දුටුවෙමි. දැක මෙසේ කීමි. ඇවැත්නි. අප ගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහිද? එසේ ය. දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි.ම විසින් මෙම මදාරා මල එතැනින් ගන්නා ලදී.

අවීතරාගීන්ගේ හැසිරීම

ඇවැත්නි, එහි සිටි භික්ෂු සමූහයා අතර ඇතැමෙක් අවීතරාගීහු (මාර්ගඵල නොලැබූ) වූහ. ඒ අතරින් ද ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වූයේ යැ”යි, කියමින් හිසෙහි අත් බැඳ හඬති. සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් වැටෙති. ඉදිරියට පෙරළෙති. පසුපසට පෙරළෙති. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේලා සංස්කාරයෝ අනිත්‍යය හ. සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් කොහි ලැබිය හැකි දැයි, සලකා මනා සිහියෙන් හා නුවණින් යුතුව මෙම සිදුවීම ඉවසූහ. අනතුරුව මම එකී භික්ෂු සමූහයාට මෙසේ කීමි.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන්ම වෙනස්වීම වෙන්වීම. වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය. යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේද? යමක් උපන්නේ ද හට ගත්තේ ද ලෞකික වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේවා යි, යන මෙය කොහි ලැබිය හැකි වේද? ලැබිය හැකි නොවේ ම ය.

ඇවැත්නි, එසමයෙහි සුභද්‍ර නම් මහලුව පැවිදි වූවෙක් එම පිරිස අතර සිටියේ ය. ඉක්බිති එම පැවිද්දා එම භික්ෂු පිරිසට මෙසේ කීය.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මනාව මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නොකැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.

එබැවින් ඇවැත්නි, අපි අධර්මය

බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත් වීමටත්, ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත් වීමටත්. විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්මය ද විනය ද සංගායනා කළ යුතු වෙමු’යි මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ වදාළහ.

රජගහනුවර තෝරා ගැනීම

මහතෙරුන් වහන්ස, එසේ නම් ඔබ වහන්සේ භික්ෂූන් තෝරාගන්නා සේක්වා. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක් නමක් අඩු පන්සියයක් රහතන් වහන්සේලා තෝරා ගත්හ. භික්ෂූහු මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට මෙසේ කීහ. මහ තෙරුන් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීතරාගී නොවුණත් ඡන්දයෙන් , ද්වේෂයෙන් , මෝහයෙන් , භයින් අගතියට නො යති. උන්වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්මය ද , විනය ද උගන්නා ලද්දේ ය. එබැවින් ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ ද මීට තෝරා ගන්නා සේක්වා

රජගහ නුවර වනාහි මහා ගොදුරු ගම් ඇත්තේය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කරන්නෙමු නම් ඉතා මැනවි. වෙනත් භික්ෂු නමක් රජගහනුවර වස් නොවසන්නේ නම් යෙහෙකි.

පසුව මහාකාශ්‍යප තෙරුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සංඝයා මාගේ බස් අසත්වා. ඉඳින් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කිරීමට සංඝයා මෙම පන්සියයක් භික්ෂූන් සම්මත කර ගන්නේ ය. අනෙක් භික්ෂූන් රජගහනුවර වස් නො විසිය යුතුය. මේ ප්‍රඥප්තිය යි. මෙසේ තෙවරක් දැනුම්දීමෙන් පසු මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ “මෙය සංඝයාට රුචි වෙයි. එබැවින් නිහඬ ය. මෙය මෙසේ ක්‍රියාත්මක කරමි”යි තීරණය කළහ.

පිළිසකර කිරීම්

පසුව පන්සියයක් භික්ෂූන් වහන්සේ ධර්මය ද විනය ද සංගායනා කිරීමට රජගහ නුවර ට වැඩියහ. එහි දී උන් වහන්සේලාට මෙම අදහස පහළ විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු පැලුණු තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලදහ. එබැවින් අපි පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්මය ද විනය ද, සංගායනා කරන්නෙමු. ඒ අනුව භික්ෂූන් වහන්සෙලා පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කර වූහ.

ආනන්ද හිමි

ඉක්බිති ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළ හ. “හෙට සංගායනාව ය. මම රහත් නොවූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නො වෙයි” යන මෙම කරුණ සලකා බලා රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් ගතකොට රාත්‍රිය පහන්වන වේලාවෙහි සැතපෙමි යි, සිතා ශරීරය හැර වූහ. එහෙත් හිස ද කොට්ටයට නො පැමිණියේ ය. පාදයෝ ද පොළොවෙන් මිදුණහ. මේ අතරෙහි සිත උපාදාන නො කොට ආශ්‍රවයන් ගෙන් මිදුණේ ය. ඉන්පසුව ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූවාහු ම සංගායනාවට වැඩම කළ සේක.

උපාලි තෙරුන්ගේ පිළිතුරු

රජගහ නුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයට රැස් වූ මහරහතන් වහන්සේලා ධර්ම සංගායනාවට සූදානම් වූහ. එහිදී මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ මෙසේ දැන්වූහ. “ඇවැත්නි. මාගේ බස් අසත්වා. ඉඳින් මම දැන් ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් විනය පිළිබඳ විමසන්නෙමි. එහි දී උපාලි මහ තෙරුන් වහන්සේද භික්ෂූන්ට මෙසේ දැන්වූහ. භික්ෂූන් මාගේ බස් අසාත්වා. ඉඳින් මම දැන් මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ විසින් විනය විමසන ලද්දේ නම් විසඳන්නෙමි.

ඉක්බිති. මහාකාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරණුවන්ට මෙසේ කීහ. “ඇවැත්නි, උපාලි ස්ථවිරයන් වහන්ස, පළමු පාරාජිකාව කොහිදී පනවන ලද ද?

තෙරුන් වහන්ස, වේසාලියේ දී ය. කවරෙකු අරබයා ද, සුදින්න කලන්ද පුත්‍ර අරබයා ය. කිනම් කාරණයක් නිසා ද? මෛථූන ධර්මයෙහි ය.

පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරුන්ගෙන් ප්‍රථම පාරාජිකාවෙහි සිදුවීම ද නිදාන කතාව ද, පුද්ගලයා ද ඒ හා අදාළ පැනවීම් ද, පසුව පැනවීම් ද එම වරදට පත්වන්නා හා පත් නොවන්නා පිළිබඳව ද විමසූහ. මේ ක්‍රමයෙන් ම සෙසු පාරාජිකාවන් සේ ම උභතො විභංගය ඇසූහ. ඇසූ ඇසූ දේ උපාලි තෙරණුවෝ විසඳූ හ.

ධර්මය විමසීම

ඉක්බිතිව ධර්මය විමසූයේ ආනන්ද තෙරුන් වහන්සේ ගෙනි. “ඇවැත්නි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, බ්‍රහ්මජාල සූත්‍රය කොහි දී දේශනා කරන ලද ද? තෙරුන් වහන්ස, රජගහ නාලන්දා දෙනුවර අතර අම්බලට්ඨිකා නමැති උයනෙහි රජු පිණිස කරවන ලද ගෙහි දී ය. කවරෙකු අරබයා ද? සුප්පිය පරිබ්‍රාජකයා සහ බ්‍රහ්මදත්ත මානවකයා අරබයා ය. ඉක්බිතිව මහාකාශ්‍යප මහ තෙරණුවෝ බ්‍රහ්මජාල සූත්‍රයෙහි නිදානය හා පුද්ගලයා ද ඇසූහ. මෙම ක්‍රමයෙන් ම නිකාය පසම ඇසුහ. ඇසූ ඇසූ දේ ආනන්ද තෙරණුවෝ විසඳූ හ. ඊළඟට සිදු වූයේ ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව සහ බ්‍රහ්මදණ්ඩ කථාවයි. සංගායනාව අවසානයේ දී ස්ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා කටපාඩමින් සුරක්ෂිත කර ගැනීම භික්ෂු පරම්පරාවනට පවරා දුනි. බුදු දහම චිරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා මෙම කාර්යය උපස්ථම්භක වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ.


ඌරුගමුවේ
අස්සජී හිමි