බුදු දහමේ නිර්මල පණිවිඩය ලද පොසොන් පෝදා

 



ශ්‍රී බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ.

තෙවැනි ධර්ම සංගායනාව

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙහි ප්‍රධානත්වය දැරූ අතර මහරහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වූහ. ධර්මාශෝක අධිරාජයා ප්‍රධාන දායකත්වය දැරීය. මෙම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදුදහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ස්වකීය පුත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් ම මෙරටට පිටත්කොට හැරීමෙන් පැහැදිලි වනුයේ ධර්මාශෝක අධිරාජයා ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ බවයි.

දූත පිරිස සැපත් වීම

දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහිදී දේවානම්පියතිස්ස මහ රජු මුණ ගැසිණි. මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.

සමණාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.

බුද්ධි පරීක්ෂණයක්

දඹදිව සිට කෙසේ පැමිණියාහු දැයි, මහ රජු ඇසූ ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ “දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ” යන්නයි. එම පිළිතුර මහරජු තේරුම් ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ. ළඟම තිබූ අඹ ගසක් මහ රජුට පෙන් වූ මිහිඳු මා හිමි “මේ කිනම් ගසක් දැ” යි ඇසීය. එවිට මහ රජු මේ අඹ ගසකැයි පිළිතුරු දුන්නේ ය.

මිහිඳු මා හිමි-මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?

මහරජු - එසේය, බොහෝ ගඹ ගස් තිබේ.

මිහිඳු මාහිමි - මේ අඹ ගසත්, අනෙක් අඹ ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?

මහරජු - එසේය, තවත් බොහෝ ගස් තිබේ.

මිහිඳු මා හිමි - ඒ අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?

මහරජු - එසේය, ඒ මේ අඹ ගස ය.

බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කළ මෙම සාකච්ඡාවෙන් මහ රජුගේ තර්ක බුද්ධිය පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මාහිමි ඉක්බිතිව විමසූයේ මහරජු කේන්ද්‍රකරගත් ප්‍රශ්නයකි.

මිහිඳු මාහිමි - නුඹට නෑයෝ සිටිත්ද?

මහරජු - එසේය, බොහෝ නෑයෝ සිටිති,

මිහිඳු මාහිමි - නොනෑයෝත් සිටිත් ද?

මහරජු - නොනෑයෝ ද බොහෝ වෙති.

මිහිඳු මා හිමි - නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත් ද?

මහරජු - ස්වාමීනි, ඒ මම වෙමි.

බණ ඇසුමට දහස් ගණනින්

මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු මනා බුද්ධිමතකු බව මිහිඳු මාහිමියනට අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත මහරජුට තෙරුවන් පිළිබඳවත්, බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළහ. දේශනාවසානයෙහි මහරජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේ දී රජ මැදුරේ දී පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල්වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වූ හ. ඒ සියලු දෙනාට රජමැදුර ඉඩ මද වූයෙන් මහරජු මඟුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය.

ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත, බාල පණ්ඩිත, ආසීවිසෝපම, අනමතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵලාවබෝධයට පත් කරවූහ. ධර්ම දූතයන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා මහමෙවුනා උයන පූජා කළ මහ රජු මිහිඳු මාහිමි සමඟ එම උයන වටා ඇවිද සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස අතර වූ භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලක්දිව මුල් පැවිදි උපසම්පදාව ද ඇරඹිණි.

සංස්කෘතික නවෝදය

මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදුසමය මෙරටට හඳුන්වාදීමත් සමඟම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලි ය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් පිළිබඳ මනෝ විද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදුකළ අත්‍යුදාර වූ ධර්ම දූත සේවාව සෙසු අන් එක ද රටකටවත් සිදුකළ ධර්ම දූත සේවාවට නොදෙවෙනි විශිෂ්ටත්වයක් ප්‍රකට කළ බව ඉතා පැහැදිලි ය.

රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලී බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදුකළ යුත්තකි.

මෙහිදී මිහිඳු මාහිමි සිදු කළේ ප්‍රාග් බෙද්ධ යුගයේ ලංකාවේ පැවැති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහි දී සිදු නොවුණි.

මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ.

ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ. මළවුන් ඇදහූ අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම සිදු කළහ.

ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළ අය චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගන්න. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාර විධීන් හුරු පුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුළුල්වීමත් සමඟම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වූ බවයි.

දායාද රැසක්

අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමන ය යි. අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද අද තත්ත්වයට හැඩගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ සිරිලකට වැඩමවීම නිසාද අපට උරුම වූ සංස්කෘතික දායාද රැසකි.

තවත් අතකින් බැලූ කල මහින්දාගමනයත් සමඟම අපට උරුම වූයේ එවකට ලෝකයේ පැවැති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වූ මෞර්ය කලාවයි. බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි.

සඳකඩපහණ, වාහල්කඩ වැනි කලා නිර්මාණ සේ ම මහා කළුගල්වලට පණ පෙවූ සමාධි පිළිමය අවුකන පිළිමය වැනි විශ්ව කලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලා කෘති නිමවූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

මහින්දාගමනයත් සමඟ වැවයි දාගැබයි, කෙතයි, යන සංස්කෘතික සබැඳියාවත්, ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකි ය.


ඌරුගමුවේ අස්සජී හිමි

තෙමඟුල සමරමින් බුදු පුදට එක් වන අසිරිමත් වෙසක් පෝදා

 


වෙසක් පුර පසළොස්වක පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය යි.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් පුරයට වැඩමවීම, තෙවැනි වරටත් බුදුරදුන් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසි වැනි වියේ දී පිරිනිවන් පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධ ව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය. මෙසේ බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

බෝසත් උපත



දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබූ තැන් පටන් අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ දස පාරමිතා පුරමින් වෙස්සන්තර ආත්ම භාවයේ දී දෙව්ලොව උපන්හ. එයින් පසු තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව උපන්හ. එහි සිටි සියලු දිව්‍ය බ්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් මෙසේ ආරාධනා කළහ.

කාලො යං තෙ මහාවීර
උප්පජ්ජ මාතු කුච්ඡියං
සදෙවකං තාරයන්තො
බුජ්ඣස්සු අමතං පදං

මහා වීරයන් වහන්ස, මිනිස් ලොව මව්කුස ඉපිද මිනිසුන් හා දෙවියන් සසර දුකින් එතෙර කරනු සඳහා නිවන අවබෝධ කර ගැනීමට මේ සුදුසුම කාලයයි.

ඉක්බිති බෝසතාණන් වහන්සේ ඉපදීමට සුදුසු දීපය වූ දඹදිව ද, දේශය වූ මධ්‍ය දේශය ද, කාලය වූ දීර්ඝ ආයුෂත් නො වන අල්ප ආයුෂත් නොවන මධ්‍යම ආයු කාලය ද, කුලය වූ ක්ෂත්‍රිය කුලය ද, මවගේ ආයුෂ කාලය ද යන පස්මහ බැලුම් බැලූහ. පසුව කපිලවස්තු ශාක්‍ය පරම්පරාවෙහි සුද්දෝධන මහරජු ගේ හා දෙව්දහ නුවර ශාක්‍ය පරම්පරාවෙහි මහාමායා දේවිය ගේ පුත්ව ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී උපන්හ.

සතර පෙර නිමිති



කෙමෙන් ළදරුවිය ඉක්මවා සොළොස් වැනි වියට පත් සිද්ධාර්ථ කුමරු යශෝධරා දේවිය සරණ පාවාගෙන තුන් සෘතුවට යෝග්‍ය වූ රම්‍ය, සුරම්‍ය, සුභ නමැති මාලිගා තුනෙක වාසය කළේ ය. සියලු පස්කම් සුව එහි පැවතිය ද කල්යත්ම සිදුහත් කුමරුට සසර දුක වැටහෙන්නට විය. විසි නව වැනි වියේ දී පස්කම්සුව කෙරෙහි කළකිරීමට ඉවහල් වූ සතර පෙර නිමිති නෙත ගැටුණි. වයසට යාම, ලෙඩ රෝග ඇතිවීම හා මරණය සියල්ලන්ට ම සාධාරණ බව ගැඹුරින් මෙනෙහි කරමින් සිටි සිදුහත් කුමරු මුල්වරට එහි සත්‍යතාව සියැසින් දැකීම ගිහි සැපතින් ඉවත්වීම කෙරෙහි තදින්ම බලපෑවේ ය. ඉක්බිතිව

මහාභිනිෂ්ක්‍රමණය කොට පළමුව ආචාර්යවරුන් සොයා ගොස් ඉන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැන්මට නොහැකි වූ තැන දුෂ්කර ක්‍රියා සිදු කළේ ය. එයිනුදු ප්‍රතිඵලයක් නොලදින් මැදුම් පිළිවෙතට බැස දිගින් දිගටම භාවනාවෙහි යෙදුණේ ය.

සිහින පහක්




එම වසරෙහි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ළඟා විය. බෝසතාණන් වහන්සේ වෙසක් මස පුර තුදුස්වක දා රෑ නින්දෙහි සිටිය දී මෙම සිහින පහ දුටුවහ.

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරුව සැතපෙත බෝසතාණන් වහන්සේගේ දකුණත අවර සයුරෙහි ද වමත පෙර සයුරෙහි ද පා දකුණු සයුරෙහිද සිටියහ. මෙම සිහිනය උන්වහන්සේ බුදුවන බවට පෙර නිමිත්තකි.

බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතණ ගසක් හටගෙන එය ඉතා උසට නැඟී අහස තෙක් පැතිර ගියේ ය. ආර්ය

අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට එය ලෝකයාට දේශනා කරන බව මෙම සිහිනයෙහි පෙර නිමිත්තයි.

කළු පැහැති හිස් ඇති සුදු පැහැති පණුවෝ පා මුලින් නැගී දණ හිස දක්වා වසා ගත්හ. මෙය බොහෝ අනුගාමිකයන් බිහිවන බවට වූ පෙර නිමිත්තයි.

නා නා වර්ණයෙන් යුතු ලිහිණියෝ සතර දෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් පා මුල වැටී වහා සුදු පැහැ වූහ. මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදිව පිරිසුදුව නිවන කරා පැමිණෙන බවට වූ පෙර නිමිත්තයි.

මහත් අශූචි පර්වතයක් මත්තෙහි අශූචියෙහි නො ගෑවී සක්මන් කෙරිණි. මෙය සිව්පසය බොහෝ සේ ලැබුණ ද එහි නො ඇලෙන බවට වූ පෙර නිමිත්තයි.

බෝසතාණන් වහන්සේ මෙම ස්වප්න පිළිබඳ විමසා බලා “බුදුවන බව නිසැකයැ”යි වටහාගෙන පසුදා එනම් වෙසක් පොහෝ දා උදෑසන අජපාල නුග රුක මුල වැඩ සිටියහ.

කිරිපිඬු පූජාව



සේනානි නියම් ගම් වැසි සුජාතා සිටු දේවිය සිරිත් වශයෙන් නුග රුකට අධි ගෘහිත දෙවියන්ට පුදන දිය නුමුසු කිරිබත රැගෙන අජපල් නුග රුක වෙතට පැමිණියා ය. බෝසතාණන් වහන්සේ දැක රුක් දෙවියන් අද බිමට බැස ඇතැයි, බලවත් සොම්නසට පත්ව කිරිබත පිළිගැන්වූවා ය. බෝසතාණන් වහන්සේ නේරංජනා ගංතෙරට වැඩමවා පිඬු හතළිස් නවයක් කොට කිරිපිඬු අහර වැළඳූහ. ඉක්බිතිව අද මා බුදුවන්නෙම් නම් මේ රන්තලිය උඩුගං බලා යේවා”යි, අදිටන් කොට රන් පාත්‍රය දියට දැමූහ. එය දිය පිට උඩු ගං බලා ගොස් දිය සුළියකට හසුව දියේ ගිලිණ. ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදුවනු ඒකාන්ත බව සිතූහ.

බුද්ධත්වය



එදින දහවල් කාලයේ සමාපත්ති උපදවමින් කල් යැවූ බෝසතාණන් වහන්සේ සවස් භාගයෙහි බෝමැඩ කරා ගමන් ගත්හ. අතරමඟ දී සොත්ථිය නම් බමුණා දුන් කුස තණ අට මිට රැගෙන ඇසතු බෝ ගස මුල එය අතුරා අසුනක් පණවා වැඩ සිටියහ. එහි දී “මේ මාගේ ශරීරයේ ඇට සම් නහර ගැලවී විසිර ගියත්, මස් ලේ වියළී ගියත්, සම්‍යක් සම්බෝධියට නොපැමිණ මේ ආසනයෙන් නැගී නොසිටිමි.” යි, අධිෂ්ඨාන කරගෙන බෝධියට පිට දී පෙරදිග බලා වැඩ හුන්හ. එහි පැමිණි පිරිවර සහිත මාරයා පරාජය කොට කෙලෙස් මරුන් ද පරදවා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වය ලැබූ සේක. ඉන් ලැබුණු සොම්නස බුදුරජාණන් වහන්සේ මෙම පී‍්‍රතිය වාක්‍යයෙන් ප්‍රකාශ කළ සේක.

අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි - පුන ගෙහං න කාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා

නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් ආත්ම භාව නමැති ගෙය සාදන තෘෂ්ණා නමැති වඩුවා සොය සොයා මෙතෙක් කල් සසර සැරි සැරූයෙමි. තණ්හා නමැති වඩුව, ම විසින් තා දක්නා ලද්දෙහි ය. නැවත තා මට ආත්මභාවය නමැති ගෙය නොසාදන්නෙහි ය. කෙලෙස් නමැති පරාල බිඳ දැමූවෙමි. අවිද්‍යා නමැති කැණිමඩල සිඳ බිඳ දැමුවෙමි. මාගේ සිත නිවනට පැමිණියේ ය. තණ්හාව නැති වී ගියේ ය.

පරිනිර්වාණය



බුද්ධත්වයේ පටන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්ත්වයින් සසර දුකින් මිදවීම සඳහා වූ සම්බුදු කිස නිම වූ බුදුරජාණන් වහන්සේ වෙසක් පුර

පසළොස්වක පොහෝ දා රාත්‍රීයේ අලුයම උදාවීමට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය ස්වකීය ජීවිතයෙන් ම ලොවට පසක් කරමින් නිරූපධිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විට උන්වහන්සේ උපතින් අසූවිය සපුරා සිටියහ.

පරිනිර්වාණයට පෙර අවසාන වශයෙන් භික්ෂූන් වහන්සේලා අමතා “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් මහණෙනි, කරුණාවෙන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය. එබැවින් නොපමාව සසුන්කිස සම්පූර්ණ කරත්වා.” යි අන්තිම අවවාදය දී වදාළහ.

පිරිනිවි ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි සක්විති රජු ගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු බව පෙර වදාරා තිබිණ.

ආදාහන පූජාව



මහා පරිනිබ්බාන සූත්‍රයෙහි විස්තර වන පරිදි සක්විති රජු ගේ සිරුර පළමුව අලුත් වස්ත්‍රයෙන් වසයි. පසුව කපු පුලුන්වලින් වසා යළිත් අලුත් වස්ත්‍රයෙන් වසයි. මේ ආකාරයට යුගල පන්සියයකින් සක්විති රජුගේ සිරුර වසා රන්මුවා තෙල් දෙණෙක බහා වෙනත් රන්මුවා දෙණකින් වසා සෑම වර්ගයකට ම අයත් සුවඳ දරින් දර සෑයක් තනා සක්විති රජුගේ සිරුර ආදාහනය කරයි.

මෙම ක්‍රමය අනුව ම පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ සුවඳ දර පිර වූ සෑයක තැන්පත් කොට ආදාහන පූජාව සිදු කෙරිණි.

ඌරුගමුවේ
අස්සජී හිමි

2565 Vesak Poya සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!

Bak Poya බක් පෝය

සාමයේ පණිවිඩය ලත් බක් පොහෝදා

 


සෞභාග්‍යයෙන් හා සශී‍්‍රකත්වයෙන් යුත් මෙම බක් මහ බෙහෙවින් ම භාග්‍යවන්ත මාසයකි.තුරු ලතා මල්ඵලවලින් බරව, විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් මෙම බක් මහ උදාවත් සමඟම ඇරඹිණි. මෙවර බක් මහේ අවසන් භාගයේ බක් පුර පසළොස්වක පොහොය දිනය ද උදා වුණි.

බුදු රදුන්ගේ දෙවැනි ලංකා ගමනය

චූලෝදර - මහෝදර නා රජුන් අතර මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක ය. එය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. එහි ප්‍රතිඵලය වූයේ පූර්වෝක්ත සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි.

අනුස්මරණීය දිනයක්

තව ද බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් මහලු රුවක් දැක, ඇත්තේ ද බක් පොහොය දිනෙක ය.

එය දැක ගැඹුරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහෝදා මළ සිරුරකුත්, ඇසළ පොහෝදා පැවිදි රුවකුත් දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්‍රකට ය. එසේ ම සුද්ධෝදන මහ රජු ගේ ආරාධනය පරිදි බුදු රජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. මේ අනුව ලංකා ඉතිහාසය මෙන් ම ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ද බක් පොහොය සදා අනුස්මරණීය දිනයක් වන බව පැහැදිලි ය.

මහාවංස තොරතුරු

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වූ මහාවංස විස්තරයෙන් සුළු කොටසක් මෙසේ ය.

මහා කාරුණිකො සත්ථා
සබ්බලොකහිතෙ ගතො
බොධිතො පංචමෙ වස්සෙ
වසං ජේතවනා ජිනො

මහා කාරුණික වූ, සියලු ලෝ වැසියන්ගේ වැඩෙහි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වසරෙහි ජේතවන විහාරයෙහි වඩවසන සේක.

මහොදරස්ස නාගස්ස
තථා චූලෝදරස්ස ච
මාතුල භාගින්‍යොනං
මණී පල්ලංක හේතුතං

චූලෝදර - මහෝදර යන පිරිස් සහිත වූ නාගයන් ගේ මිණිපළඟ හේතුකොටගෙන

දිස්වා සපරිසජ්ජානං
සංගාමයං පච්චු පට්ඨිතං
සම්බුද්ධො චිත්ත මාසස්ස
කාලපක්ඛෙ උපොසථෙ
පාතො යෙව සමාදාය
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං
නාගදීප මුපාගමි

එළඹ සිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

සංග්‍රාමයට හේතුව

චූලෝදර - මහෝදර යන නාග ගෝති‍්‍රක රාජ්‍ය පාලකයන් දෙදෙනා ලංකාවේ නාගදීපය ප්‍රදේශයෙහි ආධිපත්‍යය දරමින් උසස් ආර්ථික තත්ත්වයක් ඇතිව ජීවත් වූහ.

චූලෝදර - මහෝදර ප්‍රමුඛ නාග ගෝති‍්‍රක මෙම දෙපිරිස අතර සිදුවන්නට ගිය සංග්‍රාමයට හේතුව වූයේ දායා ද වශයෙන් පිරිනැමූ මැණික් එබ්බ වූ පුටුවක් සම්බන්ධයෙන් ඇතිකරගත් කලහය දුරදිග යාම යි.

මහාවංසය සඳහන් කරන පරිදි මහෝදර නා රජු ගේ සොහොයුරිය වූයේ තිරච්ඡිකා ය. ඇය සරණ පාවා කොට දුන්නේ කණ්වඩමන් පර්වතයේ විසූ නා රජුට ය. එම දෙපළගේ පුත්‍රයා වූයේ චූලෝදර ය. ඒ අනුව චූලෝදර ඤාතිත්වය අනුව මහෝදර ගේ බෑණා විය. මහෝදරගේ පියා මියයාමට ප්‍රථම ඔහු සතුව තිබූ මැණික් පුටුව මහෝදරට නොදී ස්වකීය දියණියට දායාද වශයෙන් පවරා දුන්නේ ය.

ඇතැම් විට එම මැණික් පුටුව මෙකී රාජධානියෙහි සිංහාසනය විය හැකි ය. ඉක්බිතිව මෙම මැණික් පුටුවෙහි හිමිකරු වූයේ චූලෝදර ය. එහෙත් ස්වකීය පියාට අයත් ව තිබූ මෙම අගනා මැණික් පුටුව සිය බෑණනුවන්ට උරුමවීම මහෝදර ගේ දැඩි කෝපයට හේතු විය. වරින් වර මේ කෙරෙහි තම අයිතිය පවසා බෑණනුවන් ගෙන් එය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ ද ඒ සියල්ල ව්‍යර්ථ විය. එම නිසා දෙදෙනා අතර වෛරය අනුක්‍රමයෙන් වර්ධනය විය. අවසානයේ දී සේනා සංවිධානය කරගත් දෙදෙනා මිණිපළඟ නිසා මහත් සංග්‍රා‍මයකට මුල පිරූ හ.

සමථයට පත්වීම

මෙම සංග්‍රාමය ආරම්භ වුවහොත් සිදුවන විශාල මිනිස් සංහාරයත් දේපළ විනාශයත් වටහාගත් බුදුරදුන් එහි වැඩම කරවා යුද්ධය සමථයකට පත්කොට දහම් දෙසා ඔවුන් සමඟි කර වූ බව මහාවංසය විස්තර කරයි. මෙහි දී යුද්ධයේ නිසරුකම ද, සාමයේ වටිනාකම ද පෙන්වා දුන් බුදුරදුන් ඊට උදාහරණ ලෙස කාකෝලුක, වට්ටක,ඵන්දන, ලටුකික ආදී ජාතක ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන් ගෙන් ප්‍රකාශ කොට තිබේ.

පාරිභෝගික වස්තුවක්

මෙම දහම් දෙසුමට සවන් දුන් දෙපිරිස ම සමගි වී බුදුන් සරණ ගියහ. එමතු නොව අරගලය සඳහා මුල් වූ මැණික් පුටුව ද බුදුරදුන්ට ම පිදූහ. එහි සුළු වේලාවක් වැඩසිටි උන්වහන්සේ මිණිපළඟ ද පාරිභෝගික වස්තුවක් බවට පත්කොට නැවතත් එය ඔවුන්ට ම පවරා දුන්හ.

එහ ිදී මණිඅක්ඛිත නාග රාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කළ බව මහාවංසයේ සඳහන් වේ. එම ඇරයුම පිළිගත් බුදුරදුන් තෙවැනි ලංකා ගමනයේ දී සුමන සමන් දිව්‍ය රාජයා ගේ ඉල්ලීම පරිදි සමනොළ කන්දෙහි සිරිපා සටහන තැබූ බව ද මහාවංසය විස්තර කරයි. ඒ අනුව පැහැදිලි වනුයේ බුදුරදුන් ගේ දෙවැනි ලංකා ගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ ලක්දිවට වැඩමකරවා ගැනීමට අවස්ථාව උදා වූ බව යි.


ඌරුගමුවේ
අස්සජී හිමි