Mihindu Pura Atawaka Pohoya ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝය

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පුන් පොහෝ දා

 

බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට හේතුව යි. බිනර පොහෝ දා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.

එ සමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතීගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක් ම ආයාචනා කළා ය. චුල්ල වග්ග පාලියෙහි භික්ඛුනීක්ඛන්ධකයෙහි දැක්වෙන පරිදි එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.

"අලං ගොතමී මා තෙරුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති"

ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා යන්න මෙහි අර්ථයයි.

පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදි වන කාන්තාවෝ නොදකිති. දුක සේ අපහසුවෙන් එය ලබාගත් කළ ශාසනික බ්‍රහ්මචරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති.

බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහිදී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය, කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙම කාන්තා පිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාරශාලා විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත් ව දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාර ගෙය තුළට ඇතුලුවීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටු අබියස ශෝකී බර ව සිටියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස් ගෙන මනා සංවිධානයක් ද ගොඩනගාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන්ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලි ය.

ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමි බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැළ කළහ. එහිදී ද බුදු රදුන් එම ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළේ ‘ආනන්දයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදිවීම නුඹට රිසි නොවේවා’යි, වදාරමිනි. එවිට ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළහ. ‘භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද අනුමත නොකරන සේක. වෙනත් මගකිනුත් කාන්තා පැවිද්ද අයැද සිටී නම් මැනවි.’ එසේ සිතා බුදුරදුන් හමුවේ මෙසේ සැල කළහ.

ආනන්ද හිමි - භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදි ව සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා අරහත් පල පසක් කරගන්නට හැකි ද?

බුදුරදුන් - අනඳයෙනි, කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදිව සෝවාන්, සකෘදගාමී, අනාගාමී හා අරහත් පල පසක් කරගන්නට හැකි ය.

ආනන්ද හිමි - භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට, සෝවාන්, සකෘදගාමි, අනාගාමී හා අරහත් ඵල පසක් කර ගන්නට හැකි නම්, භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට කළ බොහෝ උපකාර ඇත්තී ය. සුළු මෑණියෝ ය. වැඩූ පෝෂණය කළ තැනැත්තී ය. කිරි දුන් තැනැත්තී ය. මව කලුරිය කළ කල්හි සිය තනයෙන් කිරි පෙවුවා ය. භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද ලබන්නී නම් යෙහෙකි ය.

බුදුරදුන් - අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමීය, ගරු දහම් අටක් පිළිගන්නී නම්, එය ම ඇය ගේ උපසම්පත්තිය වේවා.

මෙහිදී බුදුරදුන් වදාළ අෂ්ට ගරු ධර්ම මෙසේ ය.

* උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසම්පදා වූ භික්ෂුවට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, දොහොත් මුදුන් තබා නැමදීම ආදී ගරු බුහුමන් දිවි හිමියෙන් කළ යුතු ය.

* භික්ෂුණිය භික්ෂූන් නොමැති ගමක වූ ආවාසයෙක වස් නොවිසිය යුතු ය.

* අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂූන් වහන්සේගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

* වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන දෙසඟ පිරිස්හි ම දුටු දෙයින්, ඇසූ දෙයින් සැක කළ දෙයින් යන තුන් දෙයින් (දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා) පවාරණය කළ යුතු ය.

* බර ඇවතකට පත් භික්ෂුණිය භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියෙහි මානත් පිරිය යුතු ය.

* දෙ අවුරුද්දක් ම උභතො සංඝයා වෙත හික්මෙන්නියකව සිට උපසම්පදාව අපේක්ෂා කළ යුතු ය.

* භික්ෂුණිය විසින් කවර කරුණක් නිසා හෝ භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතු ය.

* භික්ෂුණිය විසින් භික්ෂුවකට ‘ මෙසේ සිටින්න, මේ දේය කරන්න’ ආදී ලෙස අණ දෙන ආකාරයෙන් කතා බහ නො කළ යුතු අතර, භික්ෂූන්ගේ අවවාද පිළිගත යුතු ය.

මෙසේ මෙම ගරු ධර්ම අට ආනන්ද හිමියන්ට විස්තර කරදුන් බුදුරජාණන් වහන්සේ අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමී මේ ගරු දහම් අට පිළිගනී නම්, එයම ඇයගේ උපසම්පදාව වන්නේ යැයි වදාළහ. ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත පැමිණ මෙය විස්තර කර දුන්හ. එවිට එතුමිය ප්‍රකාශ කළේ ‘කය සරසන සුලු තරුණ යොවුන් වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිස සෝදා නා උපුල් මල්දමක් හෝ සමන් මල් දමක් හෝ යොහොඹු මල් දමක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුම් හිසෙහි පිහිටුවන්නේ ද එසේම මම මෙම ගරු දහම් අට දිවිහිමියෙන් සුරකිමි. පිළිගනිමි” යනුවෙනි. ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත එළඹ ‘භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතීගෝතමිය විසින් ගරු දහම් අට පිළිගැනිණ. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් දෑ උපසපුව ලැබූහ’යි කීහ.

පසුව බුදුරදුන් වදාළේ ‘අනඳයෙනි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද නොලද නම් මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පිහිටියේ ය. යම් හෙයකින් කාන්තාවෝ ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූවහු ද එබැවින් දැන් මේ සසුන චිරස්ථිතික නොවන්නේ ය. දැන් මෙතැන් සිට පන්දහස් වසරක් ශාසන සද්ධර්මය පිහිටියේ ය යන්නයි.

අෂ්ට ගරු ධර්ම පැනවීම පිළිබඳ බුදුරදුන්ගේ උපමාව වූයේ මහ වැවක ජලය එයින් නික්ම පිටත ගැලීම වළක්වනු පිණිස කල්තබා ම නියරක් බඳනේ ද එසේම මා විසින් දිවි හිමියෙන් කඩ නොකළ යුතු ගරු ධර්ම අටක් කල්තබා ම භික්ෂුණීන්ට පනවන ලද බවයි.

භික්ෂුණී සමාජය ආරම්භ කරමින් බිනර පුර පසළොස්වක පොහොය දිනෙක මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි උපසම්පදාව ලැබුවේ මේ ආකාරයෙනි. පසුව අනෙක් කාන්තා පිරිසද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ.


ඌරුගමුවේ
අස්සජී හිමි

සිරි දළදා හිමි පුජෝපහාර



සිරිලකට දළදා වහන්සේ වැඩමවීම ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමකි. දළදා වහන්සේ වැඩම වූ තැන් පටන් මෙරට රාජරාජ මහාමාත්‍යාදීන් ගේ පටන් සාමාන්‍ය මහ ජනතාව ද එම උතුම් පූජනීය වස්තුව කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් දැක් වූ හ. ඒ සියල්ල ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගරු සැලකිලි හා සම විය.
කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවත්තන සල් උයනෙහි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ චිතකයෙහි ධාතූන් වහන්සේලා සත්නමක් සිඳී බිඳී විසිරී නොගොස් ශේෂව පැවතිණ. ලලාට ධාතුව, දෙ අකු ධාතු සහ සතර දළදාව එම ධාතූන් වහන්සේලා සත් නමයි. මෙම සතර දළදා වහන්සේ ගෙන් එක් නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි ද එක් නමක් නාග ලෝකයෙහි ද තවත් එක් නමක් ගන්ධාර දේශයෙහි ද අනෙක් දළදා වහන්සේ කාලිංග දේශයෙහි ද තැන්පත් කෙරිණි.
දළදා වහන්සේ පිළිබඳ ලියැවුණු පැරණිම ග්‍රන්ථය වන පාලි දාඨාවංසයෙහි සඳහන් වන පරිදි ඛේම නම් රහතන් වහන්සේ බුදුරදුන් ගේ වම් දළදාව ආදාහන මළුවෙන් ගෙන කාලිංග දේශයෙහි දන්ත පුරයෙහි බ්‍රහ්මදත්ත රජු වෙත භාර කළ හ. රජු එම දළදා වහන්සේ ඉතා අනර්ඝ මන්දිරයක තැන්පත් කළේ ය. නොකඩවා ම පුද පූජාවන් ද පැවැත් වීය. එම රජු ගේ ඇවෑමෙන් ඔහු පුත් කාසි රජු ද එයින් පසු සුනන්ද රජු ද, එලෙසින් ම දළදා පූජාව පැවැත් වූ හ. කාලයා ගේ ඇවෑමෙන් දළදා වහන්සේ පිළිබඳ වගකීම පැවරුණේ ගුහසීව රජුට ය. එතුමා ස්වකීය රාජ පරම්පරාව අනුව යමින් දළදා වහන්සේ අසීමිත ගෞරවයකින් රැක ගත්තේ ය. ගුහසීව රජ දවස ලාභ සත්කාරයෙන් පිරිහුණු මිථ්‍යා දෘෂ්ටිකයෝ පාටලී පුත්‍රයෙහි රජ කළ පණ්ඩු නම් රජුට කේලාම් කියා ගුහසීව රජු කෙරෙහි වෛරයක් ඇති කළේ ය. එබැවින් ගුහසීව රජු දළදා වහන්සේත් සමග පාටලී පුත්‍රයට අල්වාගෙන එන ලෙස පණ්ඩු රජු නියම කළේ ය.
පසුව තොරතුරු විමසූ හෙතෙම දළදා වහන්සේ කෙරෙහි පැහැදී පුද සත්කාර පවත්වා නැවත ගුහසීව රජු දළදා වහන්සේ සමග කාලිංග දේශයට පිටත්කොට එවීය. එහි දී ඛීරධාර නම් රජු ගේ බෑණනු කෙනෙක් දළදා වහන්සේ තමා සන්තක කරගැනීම සඳහා ගුහසීව රජු සමග යුද්ධයකට පැමිණියේ ය. ගුහසීව රජු එම යුද්ධයෙන් ජයගැනීම පිළිබඳ ඇති වූ සැකය නිසා දළදා වහන්සේ ස්වකීය දියණිය වූ හේමමාලා කුමරිය ගේ ස්වාමි පුරුෂයා වූ දන්ත කුමරුට පවරා දුන්නේ ය. තමා යුද්ධයෙන් පැරදුණහොත් දළදා වහන්සේ රැගෙන ස්වකීය මිත්‍ර වූ ලංකාධිපති මහාසේන රජු වෙත යන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කිත්සිරිමෙවන් රජුගේ නව වන රාජ්‍ය වර්ෂයෙහි දී ලක්දිවට වැඩමවන ලද්දේ මෙම දළදා වහන්සේ ය. මෙය බුදුරජාණන් වහන්සේ ගේ යටි හණුවෙහි වම් දළදා වහන්සේ බව පාලි ලලාට ධාතුවංසයෙහි සඳහන් වේ. රාජධානි වෙනස්වීමේ දී හා සතුරු උපද්‍රව නිසා පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, බෙලිගල, දෙල්ගමුව, කෝට්ටේ ආදී ස්ථානවල වැඩසිට අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ මෙකී දළදා වහන්සේ ය. දළදා වහන්සේ දුරාතීතයේ පටන් රටේ රාජ්‍ය උරුමයක් වූ අතර එම උරුමය සුරැකීම රටේ රාජ්‍ය නායකත්වයට සුදුසුකමක් සේ සලකනු ලැබිණි. බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු පවා එම උරුමයට නිසි ගෞරවය දැක් වූ හ.

දළදා සාහිත්‍යය

දළදා වහන්සේ සිරිලකට වැඩමවීම පිළිබඳ සම්පූර්ණ ඉතිහාස පුරාවෘත්තය ලියැවී තිබෙන පැරැණිම ග්‍රන්ථය ධර්මකීර්ති නමැති හිමිනමක් විසින් රචනා කරන ලද “පාලි දාඨාවංසය” යි. “දළදා සිරිත” නමැති ග්‍රන්ථයක් ද හයවන පරාක්‍රමබාහු රජු ගේ ආරාධනය අනුව රචනා කොට ඇත. එකී හතරවන පරාක්‍රමබාහු රජ දවස දක්වා දළදා වහන්සේට පුද පූජා පැවැත් වූ රජවරුන් ගේ තොරතුරු ඇතුළත් කොට කුරුණෑගල යුගයේ දී හෝ ඊට ආසන්න කාලයක ලියැවුණු තවත් ග්‍රන්ථයක් තිබේ.
එනම් “දළදා පූජාවලිය” යි. හතරවන විමලධර්මසූරිය රජු දක්වා රජවරුන් දළදා වන්දනාව සිදු කළ පුවත් විස්තර කරමින් “දළදා වරුණ” නමින් ලියැවුණු කුඩා ග්‍රන්ථයක් ද වෙයි. මේ හැර දළදා වහන්සේ ගේ ඉතිහාසය, පුද පූජාවන්, දළදා වර්ණනාවන් යනාදිය මුල් කරගෙන සිංහල හා පාලි යන භාෂාවන් ගෙන් ලියැවුණු තවත් ග්‍රන්ථ සමූහයක් ද තිබේ.

දළදා තේවාව

දළදා වහන්සේ පිළිබඳ පවත්නා පුද සිරිත් රාශියක් ම මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රකර ගනිමින් එදාමෙදාතුර ක්‍රියාත්මක ව පවතියි. එහි දී ජීවමාන බුදුරජාණන් වහන්සේ විෂයයෙහි සිදුකරන ආකාරයට දළදා වහන්සේ උදෙසා සියලු ම පුද පූජා හා වත්පිළිවෙත් ඉටු කිරීම විශේෂත්වයකි. දළදා මැදුර තුළ බුදුරදුන් ජීවමාන ව වැඩ වෙසෙතැ යි, බෞද්ධ ජනයා තුළ ඇති සැදැහැබර හැඟීම එහි දී මූලික වෙයි.
බුදුරදුන් ජීවමාන සමයේ ආනන්ද හිමි උන්වහන්සේ වෙනුවෙන් කළ උපස්ථානය බුද්ධ චරිතයෙහි විස්තර වෙයි. දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරනුයේ ද එවැනි ම උපස්ථානයකි. ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරෙන සියලුම පුද පූජා හා සිරිත් විරිත් එම පිළිගැනීමට යෝග්‍ය වන අන්දමින් සංවිධානය වී පවතියි. සියලුම දළදා පුද පූජා, ඒවා පැවැත්වෙන කාලය අනුව ප්‍රධාන කොටස් තුනකට වර්ග කළ හැකි ය.දෛනික පුද පූජා හෙවත් දිනපතා පවත්වන පුද පූජා ,සප්තාහික පූජා හෙවත් සතියකට වරක් සිදු කෙරෙන පුද පූජා, වාර්ෂික පුද පූජා වශයෙනි

දෛනික පුද පූජා

දළදා වහන්සේ උදෙසා දිනකට තුන් වරක් පුද පූජා පැවැත්වේ.
අලුයම පූජාව, නව පෑ පූජාව, හැන්දෑ පූජාව, අලුයම පූජාව වශයෙනි.
අලුයම 5.15 ට පමණ හේවිසි වාදනය කෙරෙයි. එය අලුයම් දූරය ලෙස හැඳීන්වේ. පෙ.ව. 5.30 ට අලුයම තේවාව ආරම්භ වෙයි. එයට තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ හා දෙවැනි ස්වාමීන් වහන්සේ ද වැඩම කරති. දළදා තේවාවට උපකාරී වන තේවාකාර ධුර කිහිපයකි.
වට්ටෝරුරාල, ගෙපරාල, කත්තියනරාල, හක්ගෙඩිරාල, පල්ලේමාලේරාල හා දොරකඩ ආරච්චි ආදී ලෙසිනි.
දළදා වහන්සේ වැඩසිටින මාලිගාවේ දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල දළදා තේවාවන් රැසක් සිදු කෙරෙයි. අවසානයේ දී එහි ප්‍රධාන කාර්යයක් ලෙස බුදුරදුන් ගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි සිදු කළ උපස්ථානය ම සිහිපත් කරගෙන තේවාවෙහි නියුතු ස්වාමීන් වහන්සේලා දෙනම ගෙන් එක් නමක් බුද්ධ උපස්ථානය සිදු කරයි. එහි දී ඇල් පැන්, උණු පැන්, දැහැටි දඬු, අට පිරිකර, අවාන, විජිනිපත යනාදී උපකරණ පිළිවෙලින් පූජා කෙරෙයි. තේවාව අවසන්වීමෙන් පසු මහ ජනතාවට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලැබෙයි. අනතුරුව අලුයම 6.00 ට ආහාර බුද්ධ පූජාව පැවැත්වෙයි. මෙම පූජාවට හාල් සේරු 32 ක බත් දානය ද, ව්‍යංජන 32 ක් ද, අවුල්පත් ද සූදානම් කෙරේ. එය මුළුතැන් පූජාව ලෙස නූතනයේ හැඳීන්වෙයි.

නව පෑ පූජාව

නව පෑ පූජාව සඳහා මාලිගාවේ දොරවල් විවෘත කරන්නේ පෙ.ව. 9.30 ට ය. නව පෑ පූජාව ඇරඹෙන්නේ පෙ.ව. 10.00 ට ය. මෙම පූජාව සඳහා ද හාල් සේරු 32 ක බත් දානය ද, ව්‍යඤ්ජන 32 ක් ද, අවුල්පත් ද සූදානම් කෙරේ. පෙ.ව. 11.00 ට පමණ නැවත දොරවල් වසනු ලැබේ.

හැන්දෑ පූජාව

හැන්දෑ පූජාව ආරම්භ වන්නේ ප.ව. 6.15 ට පමණ මාලිගාවේ හේවිසිකරුවන් විසින් හැන්දෑ දූරය වාදනය කරනු ලැබීමෙන් පසුව ය. මෙම තේවාවෙන් පසු ප.ව. 7.00 ට පළමු ගිලන්පස පූජාවත්, තවත් විනාඩි 30 කට පසු දෙවන ගිලන්පස පූජාවත් පැවැත්වෙයි. පසුව වන්දනාකරුවන්ට දළදා වහන්සේ වඳීන්නට ඉඩ දී මාලිගාවේ දොරවල් වැසීම චාරිත්‍රය යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතින් සිදු වූ අතපසුවීමක් මෙලෙස ගිලන්පස පූජා දෙකක් පැවැත්වීමට මුල් වී ඇත. නිතිපතා පූජාවට සහභාගි වන රජතුමා දිනක් හැන්දෑ පූජාවට පැමිණෙන විට ගිලන්පස පූජාව අවසන් වී තිබී ඇත. වරක් දොර වැසූ පසු යළි රජුටවත් ඇතුළු මාලිගය විවර නොකරන බැවින් යළි ගිලන්පස පූජාවක් පැවැත්වීමට අවසර දෙන ලෙස රජු නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. උන් වහන්සේගෙන් එයට අවසරය ලැබුණු අතර දෙවැනි ගිලන්පස පූජාවක් පැවැත්වීමේ චාරිත්‍රය එදා සිට අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලැබේ.

සප්තාහික පූජාව

සප්තාහික පූජාව යනු සතියකට වරක් සිදු කෙරෙන පූජාව යි. සෑම බදාදා දිනක ම මෙම සප්තාහික පූජාව සිදු කෙරෙයි. නානුමුරයට සූදානම් කළ සුවඳ පැන් ද , බොල පැන් ද (උණු පැන්) උඩු මාලයටත්, පල්ලේ මාලයටත් වියන් යටින් වැඩමවාගෙන යති. නියමිත වේලාවට නානුමුරය ඇරඹෙන බව හක්ගෙඩිය පිඹීමෙන් පිටත සිටින්නන්ට දන්වනු ලැබේ. දළදා කුටියේ සිදුකෙරෙන නානුමුරයට සහභාගි වනුයේ තේවා කාරක හිමිවරුන් දෙනම හා තේවාවට උපකාර කරන වට්ටෝරුරාල පමණකි. එදිනට ආලත්ති අම්මලා සහ කවිකාර මඩුව සහභාගි වීම ද විශේෂත්වයකි. නානුමුර කිරීමෙන් අදහස් වන්නේ දළදා වහන්සේ ස්නානය කරවීමයි.

වාර්ෂික පුද පූජා

දළදා වහන්සේ මුල් කරගෙන සතර මහා මංගල්‍යය නමින් හැඳීන්වෙන ප්‍රධාන පූජාවක් වාර්ෂික ව සිදු කෙරේ. ඒවා නම්,
අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු උත්සවය, ඇසළ මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යි. අලුත් සහල් මංගල්‍යය සෑම වසරක ම දුරුතු පොහෝ දින සිදු කෙරේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට කෙරෙන චාරිත්‍ර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කිරීම අලුත් අවුරුදු මංගල්‍යය යි. සෑම වසරක ම ඉල් පොහොය දා කාර්තික මංගල්‍යය සිදු කෙරේ. ඉල් පොහෝදා රාත්‍රියේ පහන් පූජා කරන ප්‍රදීපෝත්සවය කාර්තික මංගල්‍යය යි.
මෙම සතර මහා මංගල්‍යයෙහි වඩාත් උත්කර්ෂවත් ම අවස්ථාව ඇසළ මංගල්‍යය යි. ඇසළ මංගල්‍යය තුළින් සිදු කෙරෙනුයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වා දළදා වහන්සේට ආවේණික සාම්ප්‍රදායික උත්සව හා පුද පිළිවෙත් අඛණ්ඩ ව පවත්වාගෙන යාම යි. අද පැවැත්වෙන ආකාරයේ ඇසළ මහා පෙරහර ආරම්භ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී ය.
කප් සිටුවීමෙන් පසුව දින පහක් පෙරහර පැවැත්වෙන්නේ දේවාල භූමියේ ය. සය වැනි දින කුඹල් පෙරහර ආරම්භ වන අතර සතර දේවාලයේ පෙරහර සුභ නැකතින් පිටත් වී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ මාලිගාවේ පෙරහර හා ඒකාබද්ධව ගමන් කරයි.
කප් සිටුවීමෙන් එකොළොස්වන දිනයෙහි රන්දෝලි පෙරහර ආරම්භ වේ. දින පහක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහරේ උත්කර්ෂවත් අවස්ථාව එළඹෙන්නේ එහි අවසන් රාත්‍රියේ ය. මෙම ඇසළ මහා පෙරහර ගමන් කරන පිළිවෙල අනුව එය ප්‍රධාන කොටස් පහකින් සමන්විත ය.
දළදා මාලිගාවේ පෙරහර, නාථ දේවාලයේ පෙරහර, විෂ්ණු දේවාලයේ පෙරහර, කතරගම දේවාලයේ පෙරහර හා පත්තිනි දේවාලයේ පෙරහර යනුවෙනි.
අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු සතර දේවාලයේ පෙරහර දිය කැපීම සඳහා ඓතිහාසික ගැටඹේ තොටට යයි. දළදා පෙරහර සධාතුක කරඬුවත් සමග අස්ගිරි මහා විහාරයීය ගෙඩිගේ රාජමහා විහාරය වෙත ප්‍රවේශ වෙයි. මෙම විහාරය “ගමන් මාලිගය” ලෙස ද හැඳීන්වෙයි. මෙහි දී අස්ගිරි මහානායක මාහිමි විසින් සධාතුක කරඬුව භාරගෙන පසුදා දහවල් පෙරහරෙන් දළදා මාලිගාවට වැඩම කරවනතුරු දළදා මාලිගාවේ දී සිදු කරන ආකාරයට ම සියලු පුද පූජාවන් පවත්වනු ලබයි. පසුදින දළදා කරඬුව මාලිගාවේ තැන්පත් කිරීමෙන් පසුව දියවඩන නිලමේතුමා ප්‍රමුඛ සතර දේවාලවල බස්නායක නිලමේවරුන් රජු බැහැදැකීම සඳහා යාම අනිවාර්ය ය. පුරාතන සිරිතට අනුව යමින් දැනට එම නිලධාරීහු මහනුවර රජ ගෙදර දී ජනාධිපතිතුමන් හමු වී මෙවර පෙරහර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ බවත් ලබන වසරේ ද එලෙසින් ම පෙරහර පවත්වන බවත් ප්‍රකාශ කරති.
මෙසේ දළදා වහන්සේ හා සබැඳී ඓතිහාසික කතා පුවතක් ද පුද සිරිත් රැසක් ද පවත්නා බව මෙහි දී සාකච්ඡා කෙරිණි. තව ද මෙම දළදා වහන්සේ ගේ භාරකාරත්වය දරනුයේ මහනුවර මල්වතු-අස්ගිරි මහා විහාරයන් හි ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම විසිනි. එම උභය විහාරවල තේවාභාර ස්වාමීන් වහන්සේලා වසරින් වසර මාරුවෙන් මාරුවට පුරාණ චාරිත්‍ර විධි එලෙසින් ම පවත්වා ගනිමින් අද දක්වා ම එම කටයුතු ඉටු කරති. උභය විහාරවල භික්‍ෂූන් වහන්සේලා මාරුවීම සිදුවන්නේ වස්සාන සමයේ ආරම්භයත් සමග යි. එසේම දියවඩන නිලමේතුමා විසින් දළදා මාලිගාවේ ගිහි භාරකාරත්වය උසුලනු ලැබෙයි. වසර පහකට වරක් නව නිලමේවරයෙකු පත් කිරීම සිදු කෙරෙයි.

ඌරුගමුවේ අස්සජි හිමි