සිරි දළදා හිමි පුජෝපහාර



සිරිලකට දළදා වහන්සේ වැඩමවීම ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමකි. දළදා වහන්සේ වැඩම වූ තැන් පටන් මෙරට රාජරාජ මහාමාත්‍යාදීන් ගේ පටන් සාමාන්‍ය මහ ජනතාව ද එම උතුම් පූජනීය වස්තුව කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් දැක් වූ හ. ඒ සියල්ල ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගරු සැලකිලි හා සම විය.
කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවත්තන සල් උයනෙහි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ චිතකයෙහි ධාතූන් වහන්සේලා සත්නමක් සිඳී බිඳී විසිරී නොගොස් ශේෂව පැවතිණ. ලලාට ධාතුව, දෙ අකු ධාතු සහ සතර දළදාව එම ධාතූන් වහන්සේලා සත් නමයි. මෙම සතර දළදා වහන්සේ ගෙන් එක් නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි ද එක් නමක් නාග ලෝකයෙහි ද තවත් එක් නමක් ගන්ධාර දේශයෙහි ද අනෙක් දළදා වහන්සේ කාලිංග දේශයෙහි ද තැන්පත් කෙරිණි.
දළදා වහන්සේ පිළිබඳ ලියැවුණු පැරණිම ග්‍රන්ථය වන පාලි දාඨාවංසයෙහි සඳහන් වන පරිදි ඛේම නම් රහතන් වහන්සේ බුදුරදුන් ගේ වම් දළදාව ආදාහන මළුවෙන් ගෙන කාලිංග දේශයෙහි දන්ත පුරයෙහි බ්‍රහ්මදත්ත රජු වෙත භාර කළ හ. රජු එම දළදා වහන්සේ ඉතා අනර්ඝ මන්දිරයක තැන්පත් කළේ ය. නොකඩවා ම පුද පූජාවන් ද පැවැත් වීය. එම රජු ගේ ඇවෑමෙන් ඔහු පුත් කාසි රජු ද එයින් පසු සුනන්ද රජු ද, එලෙසින් ම දළදා පූජාව පැවැත් වූ හ. කාලයා ගේ ඇවෑමෙන් දළදා වහන්සේ පිළිබඳ වගකීම පැවරුණේ ගුහසීව රජුට ය. එතුමා ස්වකීය රාජ පරම්පරාව අනුව යමින් දළදා වහන්සේ අසීමිත ගෞරවයකින් රැක ගත්තේ ය. ගුහසීව රජ දවස ලාභ සත්කාරයෙන් පිරිහුණු මිථ්‍යා දෘෂ්ටිකයෝ පාටලී පුත්‍රයෙහි රජ කළ පණ්ඩු නම් රජුට කේලාම් කියා ගුහසීව රජු කෙරෙහි වෛරයක් ඇති කළේ ය. එබැවින් ගුහසීව රජු දළදා වහන්සේත් සමග පාටලී පුත්‍රයට අල්වාගෙන එන ලෙස පණ්ඩු රජු නියම කළේ ය.
පසුව තොරතුරු විමසූ හෙතෙම දළදා වහන්සේ කෙරෙහි පැහැදී පුද සත්කාර පවත්වා නැවත ගුහසීව රජු දළදා වහන්සේ සමග කාලිංග දේශයට පිටත්කොට එවීය. එහි දී ඛීරධාර නම් රජු ගේ බෑණනු කෙනෙක් දළදා වහන්සේ තමා සන්තක කරගැනීම සඳහා ගුහසීව රජු සමග යුද්ධයකට පැමිණියේ ය. ගුහසීව රජු එම යුද්ධයෙන් ජයගැනීම පිළිබඳ ඇති වූ සැකය නිසා දළදා වහන්සේ ස්වකීය දියණිය වූ හේමමාලා කුමරිය ගේ ස්වාමි පුරුෂයා වූ දන්ත කුමරුට පවරා දුන්නේ ය. තමා යුද්ධයෙන් පැරදුණහොත් දළදා වහන්සේ රැගෙන ස්වකීය මිත්‍ර වූ ලංකාධිපති මහාසේන රජු වෙත යන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කිත්සිරිමෙවන් රජුගේ නව වන රාජ්‍ය වර්ෂයෙහි දී ලක්දිවට වැඩමවන ලද්දේ මෙම දළදා වහන්සේ ය. මෙය බුදුරජාණන් වහන්සේ ගේ යටි හණුවෙහි වම් දළදා වහන්සේ බව පාලි ලලාට ධාතුවංසයෙහි සඳහන් වේ. රාජධානි වෙනස්වීමේ දී හා සතුරු උපද්‍රව නිසා පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, බෙලිගල, දෙල්ගමුව, කෝට්ටේ ආදී ස්ථානවල වැඩසිට අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ මෙකී දළදා වහන්සේ ය. දළදා වහන්සේ දුරාතීතයේ පටන් රටේ රාජ්‍ය උරුමයක් වූ අතර එම උරුමය සුරැකීම රටේ රාජ්‍ය නායකත්වයට සුදුසුකමක් සේ සලකනු ලැබිණි. බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු පවා එම උරුමයට නිසි ගෞරවය දැක් වූ හ.

දළදා සාහිත්‍යය

දළදා වහන්සේ සිරිලකට වැඩමවීම පිළිබඳ සම්පූර්ණ ඉතිහාස පුරාවෘත්තය ලියැවී තිබෙන පැරැණිම ග්‍රන්ථය ධර්මකීර්ති නමැති හිමිනමක් විසින් රචනා කරන ලද “පාලි දාඨාවංසය” යි. “දළදා සිරිත” නමැති ග්‍රන්ථයක් ද හයවන පරාක්‍රමබාහු රජු ගේ ආරාධනය අනුව රචනා කොට ඇත. එකී හතරවන පරාක්‍රමබාහු රජ දවස දක්වා දළදා වහන්සේට පුද පූජා පැවැත් වූ රජවරුන් ගේ තොරතුරු ඇතුළත් කොට කුරුණෑගල යුගයේ දී හෝ ඊට ආසන්න කාලයක ලියැවුණු තවත් ග්‍රන්ථයක් තිබේ.
එනම් “දළදා පූජාවලිය” යි. හතරවන විමලධර්මසූරිය රජු දක්වා රජවරුන් දළදා වන්දනාව සිදු කළ පුවත් විස්තර කරමින් “දළදා වරුණ” නමින් ලියැවුණු කුඩා ග්‍රන්ථයක් ද වෙයි. මේ හැර දළදා වහන්සේ ගේ ඉතිහාසය, පුද පූජාවන්, දළදා වර්ණනාවන් යනාදිය මුල් කරගෙන සිංහල හා පාලි යන භාෂාවන් ගෙන් ලියැවුණු තවත් ග්‍රන්ථ සමූහයක් ද තිබේ.

දළදා තේවාව

දළදා වහන්සේ පිළිබඳ පවත්නා පුද සිරිත් රාශියක් ම මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රකර ගනිමින් එදාමෙදාතුර ක්‍රියාත්මක ව පවතියි. එහි දී ජීවමාන බුදුරජාණන් වහන්සේ විෂයයෙහි සිදුකරන ආකාරයට දළදා වහන්සේ උදෙසා සියලු ම පුද පූජා හා වත්පිළිවෙත් ඉටු කිරීම විශේෂත්වයකි. දළදා මැදුර තුළ බුදුරදුන් ජීවමාන ව වැඩ වෙසෙතැ යි, බෞද්ධ ජනයා තුළ ඇති සැදැහැබර හැඟීම එහි දී මූලික වෙයි.
බුදුරදුන් ජීවමාන සමයේ ආනන්ද හිමි උන්වහන්සේ වෙනුවෙන් කළ උපස්ථානය බුද්ධ චරිතයෙහි විස්තර වෙයි. දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරනුයේ ද එවැනි ම උපස්ථානයකි. ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරෙන සියලුම පුද පූජා හා සිරිත් විරිත් එම පිළිගැනීමට යෝග්‍ය වන අන්දමින් සංවිධානය වී පවතියි. සියලුම දළදා පුද පූජා, ඒවා පැවැත්වෙන කාලය අනුව ප්‍රධාන කොටස් තුනකට වර්ග කළ හැකි ය.දෛනික පුද පූජා හෙවත් දිනපතා පවත්වන පුද පූජා ,සප්තාහික පූජා හෙවත් සතියකට වරක් සිදු කෙරෙන පුද පූජා, වාර්ෂික පුද පූජා වශයෙනි

දෛනික පුද පූජා

දළදා වහන්සේ උදෙසා දිනකට තුන් වරක් පුද පූජා පැවැත්වේ.
අලුයම පූජාව, නව පෑ පූජාව, හැන්දෑ පූජාව, අලුයම පූජාව වශයෙනි.
අලුයම 5.15 ට පමණ හේවිසි වාදනය කෙරෙයි. එය අලුයම් දූරය ලෙස හැඳීන්වේ. පෙ.ව. 5.30 ට අලුයම තේවාව ආරම්භ වෙයි. එයට තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ හා දෙවැනි ස්වාමීන් වහන්සේ ද වැඩම කරති. දළදා තේවාවට උපකාරී වන තේවාකාර ධුර කිහිපයකි.
වට්ටෝරුරාල, ගෙපරාල, කත්තියනරාල, හක්ගෙඩිරාල, පල්ලේමාලේරාල හා දොරකඩ ආරච්චි ආදී ලෙසිනි.
දළදා වහන්සේ වැඩසිටින මාලිගාවේ දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල දළදා තේවාවන් රැසක් සිදු කෙරෙයි. අවසානයේ දී එහි ප්‍රධාන කාර්යයක් ලෙස බුදුරදුන් ගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි සිදු කළ උපස්ථානය ම සිහිපත් කරගෙන තේවාවෙහි නියුතු ස්වාමීන් වහන්සේලා දෙනම ගෙන් එක් නමක් බුද්ධ උපස්ථානය සිදු කරයි. එහි දී ඇල් පැන්, උණු පැන්, දැහැටි දඬු, අට පිරිකර, අවාන, විජිනිපත යනාදී උපකරණ පිළිවෙලින් පූජා කෙරෙයි. තේවාව අවසන්වීමෙන් පසු මහ ජනතාවට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලැබෙයි. අනතුරුව අලුයම 6.00 ට ආහාර බුද්ධ පූජාව පැවැත්වෙයි. මෙම පූජාවට හාල් සේරු 32 ක බත් දානය ද, ව්‍යංජන 32 ක් ද, අවුල්පත් ද සූදානම් කෙරේ. එය මුළුතැන් පූජාව ලෙස නූතනයේ හැඳීන්වෙයි.

නව පෑ පූජාව

නව පෑ පූජාව සඳහා මාලිගාවේ දොරවල් විවෘත කරන්නේ පෙ.ව. 9.30 ට ය. නව පෑ පූජාව ඇරඹෙන්නේ පෙ.ව. 10.00 ට ය. මෙම පූජාව සඳහා ද හාල් සේරු 32 ක බත් දානය ද, ව්‍යඤ්ජන 32 ක් ද, අවුල්පත් ද සූදානම් කෙරේ. පෙ.ව. 11.00 ට පමණ නැවත දොරවල් වසනු ලැබේ.

හැන්දෑ පූජාව

හැන්දෑ පූජාව ආරම්භ වන්නේ ප.ව. 6.15 ට පමණ මාලිගාවේ හේවිසිකරුවන් විසින් හැන්දෑ දූරය වාදනය කරනු ලැබීමෙන් පසුව ය. මෙම තේවාවෙන් පසු ප.ව. 7.00 ට පළමු ගිලන්පස පූජාවත්, තවත් විනාඩි 30 කට පසු දෙවන ගිලන්පස පූජාවත් පැවැත්වෙයි. පසුව වන්දනාකරුවන්ට දළදා වහන්සේ වඳීන්නට ඉඩ දී මාලිගාවේ දොරවල් වැසීම චාරිත්‍රය යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතින් සිදු වූ අතපසුවීමක් මෙලෙස ගිලන්පස පූජා දෙකක් පැවැත්වීමට මුල් වී ඇත. නිතිපතා පූජාවට සහභාගි වන රජතුමා දිනක් හැන්දෑ පූජාවට පැමිණෙන විට ගිලන්පස පූජාව අවසන් වී තිබී ඇත. වරක් දොර වැසූ පසු යළි රජුටවත් ඇතුළු මාලිගය විවර නොකරන බැවින් යළි ගිලන්පස පූජාවක් පැවැත්වීමට අවසර දෙන ලෙස රජු නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. උන් වහන්සේගෙන් එයට අවසරය ලැබුණු අතර දෙවැනි ගිලන්පස පූජාවක් පැවැත්වීමේ චාරිත්‍රය එදා සිට අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලැබේ.

සප්තාහික පූජාව

සප්තාහික පූජාව යනු සතියකට වරක් සිදු කෙරෙන පූජාව යි. සෑම බදාදා දිනක ම මෙම සප්තාහික පූජාව සිදු කෙරෙයි. නානුමුරයට සූදානම් කළ සුවඳ පැන් ද , බොල පැන් ද (උණු පැන්) උඩු මාලයටත්, පල්ලේ මාලයටත් වියන් යටින් වැඩමවාගෙන යති. නියමිත වේලාවට නානුමුරය ඇරඹෙන බව හක්ගෙඩිය පිඹීමෙන් පිටත සිටින්නන්ට දන්වනු ලැබේ. දළදා කුටියේ සිදුකෙරෙන නානුමුරයට සහභාගි වනුයේ තේවා කාරක හිමිවරුන් දෙනම හා තේවාවට උපකාර කරන වට්ටෝරුරාල පමණකි. එදිනට ආලත්ති අම්මලා සහ කවිකාර මඩුව සහභාගි වීම ද විශේෂත්වයකි. නානුමුර කිරීමෙන් අදහස් වන්නේ දළදා වහන්සේ ස්නානය කරවීමයි.

වාර්ෂික පුද පූජා

දළදා වහන්සේ මුල් කරගෙන සතර මහා මංගල්‍යය නමින් හැඳීන්වෙන ප්‍රධාන පූජාවක් වාර්ෂික ව සිදු කෙරේ. ඒවා නම්,
අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු උත්සවය, ඇසළ මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යි. අලුත් සහල් මංගල්‍යය සෑම වසරක ම දුරුතු පොහෝ දින සිදු කෙරේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට කෙරෙන චාරිත්‍ර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කිරීම අලුත් අවුරුදු මංගල්‍යය යි. සෑම වසරක ම ඉල් පොහොය දා කාර්තික මංගල්‍යය සිදු කෙරේ. ඉල් පොහෝදා රාත්‍රියේ පහන් පූජා කරන ප්‍රදීපෝත්සවය කාර්තික මංගල්‍යය යි.
මෙම සතර මහා මංගල්‍යයෙහි වඩාත් උත්කර්ෂවත් ම අවස්ථාව ඇසළ මංගල්‍යය යි. ඇසළ මංගල්‍යය තුළින් සිදු කෙරෙනුයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වා දළදා වහන්සේට ආවේණික සාම්ප්‍රදායික උත්සව හා පුද පිළිවෙත් අඛණ්ඩ ව පවත්වාගෙන යාම යි. අද පැවැත්වෙන ආකාරයේ ඇසළ මහා පෙරහර ආරම්භ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී ය.
කප් සිටුවීමෙන් පසුව දින පහක් පෙරහර පැවැත්වෙන්නේ දේවාල භූමියේ ය. සය වැනි දින කුඹල් පෙරහර ආරම්භ වන අතර සතර දේවාලයේ පෙරහර සුභ නැකතින් පිටත් වී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ මාලිගාවේ පෙරහර හා ඒකාබද්ධව ගමන් කරයි.
කප් සිටුවීමෙන් එකොළොස්වන දිනයෙහි රන්දෝලි පෙරහර ආරම්භ වේ. දින පහක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහරේ උත්කර්ෂවත් අවස්ථාව එළඹෙන්නේ එහි අවසන් රාත්‍රියේ ය. මෙම ඇසළ මහා පෙරහර ගමන් කරන පිළිවෙල අනුව එය ප්‍රධාන කොටස් පහකින් සමන්විත ය.
දළදා මාලිගාවේ පෙරහර, නාථ දේවාලයේ පෙරහර, විෂ්ණු දේවාලයේ පෙරහර, කතරගම දේවාලයේ පෙරහර හා පත්තිනි දේවාලයේ පෙරහර යනුවෙනි.
අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු සතර දේවාලයේ පෙරහර දිය කැපීම සඳහා ඓතිහාසික ගැටඹේ තොටට යයි. දළදා පෙරහර සධාතුක කරඬුවත් සමග අස්ගිරි මහා විහාරයීය ගෙඩිගේ රාජමහා විහාරය වෙත ප්‍රවේශ වෙයි. මෙම විහාරය “ගමන් මාලිගය” ලෙස ද හැඳීන්වෙයි. මෙහි දී අස්ගිරි මහානායක මාහිමි විසින් සධාතුක කරඬුව භාරගෙන පසුදා දහවල් පෙරහරෙන් දළදා මාලිගාවට වැඩම කරවනතුරු දළදා මාලිගාවේ දී සිදු කරන ආකාරයට ම සියලු පුද පූජාවන් පවත්වනු ලබයි. පසුදින දළදා කරඬුව මාලිගාවේ තැන්පත් කිරීමෙන් පසුව දියවඩන නිලමේතුමා ප්‍රමුඛ සතර දේවාලවල බස්නායක නිලමේවරුන් රජු බැහැදැකීම සඳහා යාම අනිවාර්ය ය. පුරාතන සිරිතට අනුව යමින් දැනට එම නිලධාරීහු මහනුවර රජ ගෙදර දී ජනාධිපතිතුමන් හමු වී මෙවර පෙරහර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ බවත් ලබන වසරේ ද එලෙසින් ම පෙරහර පවත්වන බවත් ප්‍රකාශ කරති.
මෙසේ දළදා වහන්සේ හා සබැඳී ඓතිහාසික කතා පුවතක් ද පුද සිරිත් රැසක් ද පවත්නා බව මෙහි දී සාකච්ඡා කෙරිණි. තව ද මෙම දළදා වහන්සේ ගේ භාරකාරත්වය දරනුයේ මහනුවර මල්වතු-අස්ගිරි මහා විහාරයන් හි ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම විසිනි. එම උභය විහාරවල තේවාභාර ස්වාමීන් වහන්සේලා වසරින් වසර මාරුවෙන් මාරුවට පුරාණ චාරිත්‍ර විධි එලෙසින් ම පවත්වා ගනිමින් අද දක්වා ම එම කටයුතු ඉටු කරති. උභය විහාරවල භික්‍ෂූන් වහන්සේලා මාරුවීම සිදුවන්නේ වස්සාන සමයේ ආරම්භයත් සමග යි. එසේම දියවඩන නිලමේතුමා විසින් දළදා මාලිගාවේ ගිහි භාරකාරත්වය උසුලනු ලැබෙයි. වසර පහකට වරක් නව නිලමේවරයෙකු පත් කිරීම සිදු කෙරෙයි.

ඌරුගමුවේ අස්සජි හිමි

ඇසළ පොහොය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව


ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනී කො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තේ අනුපගම්ම මජ්මා පටිපදා තථාගතෙන අභි සම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ති. 

අදට වසර 2649 ට පෙර ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක් වෙසක් පුන් පෝ දිනකය. උන්වහන්සේ තමන් දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්ට හමුවූ බුද්ධිමතුන් අතුරින් අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටිනු දැක තමන් වහන්සේ අවබෝධ කරගත් අතිශය ගැඹුරු දහම හෙවත් ධම්ම චක්ක දේශනාව පවත්වන්නට උරුවෙල් දනවුවේ සිට බරණැසට පා ගමනින් වැඩම කළහ. බුදුහු ඉසිපතනයට ළඟාවත්ම පස්වග තවුසන් කතා කරගත්තේ ගෞතම තාපසයෝ අත්තකිලමථානු යෝගය බැහැර කොට සුවපහසු දිවියක් ගෙවමින් යළිත් අපෙන් උපස්ථාන ලබා ගැනීමට අප කරා එනවය. ඔහු උසස් කුලිකයෙකු බැවින් පිළිගනිමු. එහෙත් අපි වැඳුම් පිදුම් ආදී ආචාර සමාචාර නො පවත්වමු කියල. එහෙත් උන්වහන්සේ අසපුවට ළඟාවත් ම සිය කතිකාවත්හි නොසිටිය හැකි වූ තවුසෝ පා දෝවනයට දියබඳුන තබා අසුනක් පනවා සාදරයෙන් පිළිගත්හ. 

බුදුන් වහන්සේ හා තවුසන් අතර සතුටු සාමිචි කතාවේ දී තමන් වහන්සේට සම අය අමතන ආවුසො වාදයෙන් තවුසන් අමතන විට උන්වහන්සේ වදාළ තවුසෙනි, බුද්ධත්වයට පත් තථාගතවරයෙකුට ‘ආවුසො’ යයි ඇමතීම නො හොබනේය කියා. එසේ කියාත්, නොපිළිගත් තවුසන්ගෙන් ප්‍රශ්න කළ මා මෙයට පෙර කිසිවිටක ඔබලාට මා බුදුවෙලයි කියල කීවද? නැත. එසේ නම් මේ අවස්ථාවේ මා බුදුවෙලයි කියල කියන්නේ බුදුවූ නිසාම යයි වදාළහ. තවුසෝ ඒ අසා උන්වහන්සේ බුදු වී ඇති බව පිළිගත්හ. ඉක්බිති එසේනම් මහණෙනි, මාගේ පළමුවන දම්සක් පැවැතුම් (සමස්ත ලෝකයම ආවරණය වන ධර්මය නමැති චක්‍රය) දේශනාව අහන්න මහණෙනි, ලොව තිබෙන අන්ත යක් නැති (අනන්ත) අන්තදෙක වූ (සත්වයන් සදා සසර බැඳ තබා දුක් දෙන (ඔවුන් විසින් සත්ත්වයාගේ කෙළවරයි කියා වැරදි සේ පිළිගත්) කාමසුඛයෙහි ඇලි ගැලී සිටින උච්ඡේද දෘෂ්ටිය (උපන් භවය පමණකි, අනතුරු භවයක් නැතැයි සිතා ලැබූ ජීවිතයට හැකිතාක් හොඳින් හෝ නරකින් හෝ සැප දියයුතුයි. උපන් මේවායෙන් තම දිවි නිරුද්ධ වේයයි සිතා හැකිතාක් ඉඳුරන් පිනවන්න. මහණෙනි, එය පහත් අයගේ ක්‍රියාවකි. උතුමන්ගේ ක්‍රියාවක් නොවේ. අශිෂ්ට (ග්‍රාම්‍ය) ක්‍රියාවකි. පුහුදුන්ගේ ( කෙලෙස් බර අයගේ) ක්‍රියාවකි. ආර්යයන්ගේ ( නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන්නන්ගේ) නොව අනාර්යයන්ගේ ක්‍රියාවකි. එය අර්ථකර (උසස් ප්‍රතිඵල සහිත) ක්‍රියාවන් නොව අනර්ථකර (සසර දුක් දිගුකරන) ක්‍රියාවකි. 

එමෙන්ම අනෙක හෙවත් අත්තකිලමථානුයෝගය නම් මේ ශරීරකූඩුව තුළ සදා නොනැසෙන ආත්මයක් හෙවත් ජීවශක්තියක් තිබේ. එය කෙලෙස් මළින් පිරිසුදු කිරීමේ උපක්‍රමයක් යයි සිතන වැරදි ශීල වැරදි ව්‍රත අනුගමනය කිරීම නමැති සිය ආත්මය තැවීමේ පිළිවෙතයි. එය උපාදානස්කන්ධයට ඉමහත් දුකයි. එය දුක්ඛ සහගතයි. එසේම එය ආර්ය ප්‍රතිපදාවක් නම් නොවේ. එයිනුත් වන්නේ අනර්ථයක් (සසර දිග්වීමක් ) මිස අර්ථයක් (සසර කෙටිවීමක්) නම් නොවේ. එහෙයින් මහණෙනි, තථාගතයෝ එම අන්ත (කෙළවරවල්) දෙකම (අත්හදා බලා ඒවා මිථ්‍යා ප්‍රතිපදා මිස සම්‍යක් ප්‍රතිපදා නොවන බව පසක්කොට අන්තයක් නොවන මේ දෙකින් බැහැර වූ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අනුගමනය කළහ. මැදුම් පිළිවෙත සේ සැලකිය හැකි එම ප්‍රතිපදාව තථාගතයන් විසින් විශිෂ්ටඥානයෙන් අවබෝධ කරගන්නා ලදී. ඒ මඟ දෘෂ්ටියක් මාගේ මැදුම් පිළිවෙත ලෝකෝත්තර ප්‍රඥාව ඇති කරන්නකි. නුවණ ඇතිකරන්නකි. චතුරාර්ය සත්‍යය වටහා දෙන්නකි. නිවන් පිණිස හේතුවන්නකි. යනුවෙන් වදාළහ. මේ සූත්‍රයෙහි පළමු කොටසෙහි අර්ථයයි.

 මෙයයි මැදුම් පිළිවෙත .එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කවරේද? සම්මා දිට්ඨි (නිවන් සඳහා බවුන් වඩන යෝගියාගේ අවිද්‍යාව නසන විද්‍යා නම් ප්‍රඥා ඇස සම්මාදිට්ඨි (නිවැරදි දැකීම) යයි. සම්මා සංකප්ප (ගිහිබවින් නික්මීම හිංසාවෙන් හා ව්‍යාපාදයෙන් තොරවීම යන යහපත් සංකල්පනා තුළින් නිර්වාණාවබෝධය සඳහා යෝගියා මෙහෙයවන නිවැරදි සංකල්පනාවයි. සම්වාවාච (සම්මාදිට්ඨි සම්මාසංකල්පයන්ගෙන් යෝගියාගේ මිථ්‍යාවාචාදී සිව්වැදෑරුම් වාචසික සිත්වලින් වැළකී වාග් පාරිසුද්ධියය.) සම්මා කම්මන්ත(මිථ්‍යා වචනයෙන් වෙන් වූ යෝගියාගේ හා බැඳුනු ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායික දුසිරිත්වලින් වැළකීමයි. සම්මා ආජීව (යෝගියා කුහකකම්, චාටු කතා නිමිතිකතා දියෙන් ආහාර පානාදිය වැරදි සේ ලබා ගැනීමට දරන මිථ්‍යා ජීවිකාවෙන් වෙන්වීමයි. සම්මාවායාම (සම්මාවාචා, කම්මන්ත, ආජීව යන්ගෙන් යුක්ත) සිල්වත් වූ යෝගියාගේ සියලු අකුසල් නසන කුසීත බව දුරුකරන වීර්යය යි. එනම් නූපන් අකුසල් නූපදවීම උපන් අකුසල දුරු කිරීම නූපන් කුසල් උපදවීම, උපන් කුසල් රැකගැනීම යන සම්‍යක්ප්‍රධානයයි. සම්මා සති (යෝගියා කායාදී අසුභ දෑ සුබයයි වැරදි සේ දැකීමාදිය දුරුකරන අරමුණේ යථාස්වභාවය වටහා දෙන සිතේ මුළා බව නසන නිවැරදි සිහියයි. සම්මා සමාධි (යෝගියාගේ ස්මෘතිය හා බැඳුනු මිථ්‍යා සමාධිය නසනා නිවැරදි සිතේ එකඟතාවයි. මහණෙනි, මේ ප්‍රඥාව ඇති කරන නුවණ ඇතිකරන මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. එය විශේෂඥානය පිණිස චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස පවතින්නකි. 

අනතුරුව චතුරාර්ය සත්‍යය හෙළිකරමින් බුදුන් වහන්සේ පළමුව දුක්ඛ සත්‍ය මෙසේ හඳුන්වා දුන් සේක. ‘ජාතිපි දුක්ඛා’ යනුවෙන් බුදුන්වහන්සේ සත්වයාගේ උපත, ජරාව හෙවත් දිරීම ‘ව්‍යාධිය (රෝගීවීම මරණය පි‍්‍රයයන්ගෙන් වෙන්වීම අපි‍්‍රයයන් හා එක්වීම, කැමතිදෑ, නොලැබීම, දුක් බව වදාරා ‘සංඛිත්තෙන පඤ්චු පාදානක්ඛන්ධා දුක්ඛා’ යනුවෙන් රූපාදී උපදානස්කන්ධ පහම (ඒකීය වශයෙන් ගෙන) දුක්ඛස්කන්ධයැයි වදාළහ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍යය විස්තර කරමින් සත්වයන්ගේ පුනර්භවය ඇතිකරවන සසර බැඳ තබන උපනූපන් භවය පි‍්‍රයකරවන කාම තෘෂ්ණාව, භවයෙහි ඉපදීමට ඇති ආශාව භව තෘෂ්ණාව පුනර්භවයක් නැත යන විශ්වාසයෙන් උපන් භවයෙහි හැකිතාක් සතුටින් විසීමට සිතන විභව තෘෂ්ණාව යන ත්‍රිවිධ තෘෂ්ණාවයි. දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ඉහත කී ජාත්‍යාදී දුක් නිරුද්ධ කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුන සිතේ තත්ත්වය හෙවත් නිවණ විරාගී බව, තෘෂ්ණාවගේ හැරදැමීම තෘෂ්ණාවෙන් මිදීම සසර නොඇල්ම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. අවසානයෙහි දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් ඉහත සඳහන් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. 

මහණෙනි, මම පෙර නොදැනසිටි දුක්ඛාර්ය සත්‍ය මේ යයි දැන ගනිමි. නුවණැස පහළවිනි. ප්‍රඥාව උපන්, දෙවනුව එය පිරිසිඳ දතයුතු යයි නුවණ පහළවිය. ඥානය පහළවිය. අවිඥා අඳුර පහ විය. ආලෝකය උපනි. තෙවනුව එම සත්‍යය පිරිසිඳ දැනගතිමියි අවබෝධ කළෙමි. මෙසේම දුක්ඛ සමුදය සත්‍යය (තෘෂ්ණාව) එය ප්‍රහාණ කළයුතු යයි ද එය ප්‍රහාණ කළෙමියි ද නුවණ පහළ විය. තෙවනුව දුක්ඛ නිරෝධ සත්‍යය (නිවණ) මෙ බඳු යයි පෙර නොවුවිරූ නුවණ පහළ විය. 

එය ප්‍රත්‍යක්ෂ කළයුතු යයි පෙර නොවූ විරූ නුවණ පහළ විය. අනතුරුව එය (නිරෝධ සත්‍යය) අවබෝධ කෙළෙමියි පෙර නොවූ විරූ නුවණ පහළ විය. ඉක්බිති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යය කවරේදැයි ප්‍රත්‍යක්ෂ කොට දැනගනිමි. එම ප්‍රතිපදාව වැඩිය යුතුයයි නුවණ පහළවිය. අනතුරුව එම මධ්‍යම ප්‍රතිපදාව වූ අරිඅටඟි මඟ වැඩුවෙමියි පෙර නො ඇසූ විරූ ධර්මයන්හි පැණැස පහළ විය. ප්‍රඥාව පහළ විය. මහණෙනි, මෙකී පරිවෘත්ත (පෙරළෙන චක්‍ර) තුනකින් යුත් දොළොස් ආකාර වූ යථාභූතඥානදර්ශනය (චතුරාර්ය සත්‍යාවබෝධය යම්තාක් කල් සුපිරිසුදු නොවී ද ඒතාක් කල් දෙවියන් සහිත මරුන් බඹුන් හා මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන්ට මම ශ්‍රේෂ්ඨ සමාන සම්බෝධිය අවබෝධ කෙළෙමියි පිළිණ නොකෙළෙමි.යම් අවස්ථාවක තත්ත්වාකාර සම්මාබෝධි ඥාන දර්ශනය සුපිරිසුදු වීද ඉක්බිති මම අනුත්තර සම්මා සම්බෝධිය වෙසෙසින් අවබෝධ කළෙමි යි ප්‍රතිඥා කෙළෙමි. දැන් ඤාණදර්ශනය පහළ විය. සිත කෙලෙසුන්ගෙන් මිදිනි. 

අර්හත් ඵල සමාධිය තහවුරු විය. මේ මාගේ අවසන් උපතයි. පුනර්භවයන් නැතැයි අවසාන වශයෙන් වදාළසේක. යමක් ඇතිවේ නම් ඒ සියල්ල නැසෙනසුළුය යන නුවණින් පස්වග මහණහු සතුටු සිතින් දේශනාව පිළිගත්හ. මේ ධර්මය ඇසූ බූමාටු දෙවියන් ප්‍රමුඛ අකනිට්ඨාවාසී බ්‍රහ්මයන් තෙක් සියලු දෙවි බඹහු මෙවැනි දහමක් ලොව ශ්‍රමණ බ්‍රාහ්මණ මාර බ්‍රහ්මාදී කිසිවකුට නො පැවැත්විය හැකියයි කියා පැවැත් වූ සාධුනාදය ඇසුන ඇසූ පරිදි සාධු කියා සතුට පළ කළහ. ලෝක ධාතුව කම්පාවිය. වෙව්ලීය. දේව තේජානුභාවය ඉක්මවා ඉමහත් ආලෝකයක් ලොව පැතිරිණි. ඉක්බිති බුදුන් වහන්සේ මෙම උදානය (පී‍්‍රතිවාක්‍යය) පළ කළහ. 

‘අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤ’ ඔබට මෙය වැටහුණේ ද ඔබට මෙය වැටහුනේ ද? මෙතැන් පටන් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” යන නම ව්‍යවහාර විය. සෝතාපත්තිඵලයට පත් වූ උන්වහන්සේ බුදුන්ගෙන් පැවිද්ද හා උපසම්පදාව අයැදූහ. ‘එව මහණ’ යයි බුදුහු ඒහි භික්ෂු උපසම්පදාව දුන්හ. මේ ධර්මය ස්වාක්ඛාත යි. මනාව දුක් කෙළවර කිරීම සඳහා බඹසර වසන්න යි වදාළහ. එයම සෝතාපත්ති ඵලයට පත් වූ ප්‍රථම භික්ෂුව වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ගේ උපසම්පදාව විය

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
අග්ගමහා පණ්ඩිත

පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි