බක් පුරපසලොස්වක පොහොය
සම්බුද්ධත්වයෙන් පස්වන අවුරුද්දෙහි බක්මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකාගමනයයි. බුදුරදුන් නාගදීපයට වැඩම කළේ මිණිපළඟක් මුල්කරගෙන නාග ගෝත්‍රිකයන් අතර සිදුවන යුද්ධය වැළැක්වීමටයි.
මණිනාගදීපයේ මහෝදර නා රජුගේ දියණිය සරණ පාවා දුන්නේ ඔහුගේ නැගණියගේ පුත් වඩුන්නාගල සිටි චූලෝදර නා රජුට ය. ඔහුට දෑවැද්ද වශයෙන් ලැබුණේ වටිනා මිණිපළඟක් හෙවත් මැණික් පුටුවකි. නාග කුමරිය හදිසියේ මියගිය නිසා මහෝදර නා රජු සිය බෑණාගෙන් මිණිපළඟ ඉල්ලුවේ ය. එහෙත් චූලෝදර නා රජු එය ආපසු දෙන්නට අකැමැති විය. ඒ හේතුවෙන් යුද්ධයක් ඇතිවන තත්ත්වයට කරුණු යෙදුණි.
දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි සමිද්ධි සුමන දෙවියා පෙර භවයක ලක්දිව මණිනාගදීපයේ විසූ කෙනෙකි. ඔහු යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවුවොත්, ඔහුටත්, නාගයන්ටත් යහපතක් සිදුවන බව බුදුරදුන්ට පෙනුණි. ඒ නිසා මණිනාග දීපයට යාමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවාට දැනුම් දුන්හ. සටන් පැවැති පෙදෙසට වැඩම කළ උන්වහන්සේ අහසෙහි වැඩ හිඳ බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයෝ සමඟි වී ගැටුමට මුල්වුණ මිණිපළඟ බුදුරජුන්ට පිදූහ. උන්වහන්සේ වැඩසිටි නිසා පාරිභෝගික වස්තුවක් බවට පත්වුණ මිණිපළඟ තැන්පත් කොට ඔවුහු නාගදීප දාගැබ තැනූහ. එය ප්‍රසිද්ධියට පත්වුණේ රාජායතන චෛත්‍යය නමිනි. ඒ අසල රෝපණය කෙරුණ කිරිපලු රුක මහිද්ධි සුමන දෙවියාගේ වාසස්ථානය බවට පත්වුණි.
මණිනාගදීපයේ දී බුදුරදුන්ට පිදු මිණිපළඟ කැලණි දාගැබෙහි තැන්පත් කොට ඇතැයි ඇතැමුන් කියන්නේ කරුණු වරදවා තේරුම් ගැනීම හේතුවෙනි. මණිපල්ලංක (මිණිපළඟ) සහ මණිමණ්ඩප (මැණික් මණ්ඩපය) යන වචන දෙක පැහැදිලි කරගත් විට මෙම ගැටලුව නිරවුල් වෙයි. මණිපල්ලවම් නමැති දෙමළ පොතේ සඳහන් වන පරිදි මිණිපළඟ යනු මැණික් ඔබ්බවා තැනූ අඩි තුනහමාරක් උසැති, අඩි නවයක් දිගැති ආසනයකි.
බුදුරදුන් ලක්දිවට තෙවන වර වැඩම කළේ මණිඅක්ඛිත නාරජුගේ ඇරැයුම පරිදිය. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම සඳහා කැලණියේ පනවා තිබුණේ මැණික්වලින් සරසා සෙවිලි කළ මණ්ඩපයකි. එය බුදුරදුන්ට සහ පන්සියයක් මහරහතුන්ට වැඩ සිටින්නට හැකි තරමේ විශාල වේදිකාවකි. විස්තර කර ඇති අන්දමට එය අලංකාර පිරිත් මණ්ඩපයක් වැනිය. කැලණි දාගැබ ඉදිකළේ එම මණ්ඩපය තිබූ ස්ථානයේ ය. මේ අනුව නාගදීප දාගැබේ මිණිපළඟ තැන්පත් කෙරුණි. බුදුරදුන්ට වැඩසිටින්නට මණිමණ්ඩපය ඉදිකළ බිමේ කැලණි දාගැබ ඉදිකෙරුණි.
නාගදීප දාගැබ වඳින ගාථාවේ සඳහන් වන්නේ මාමා සහ බෑණා විසින් දෙන ලද මණිපල්ලංකයෙහි වැඩ හිඳ බුදුරදුන් දහම් දෙසූ බවයි.
භගිනි සුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ
මුනි ධම්ම මදේසයි මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං
දාගැබට වඳින ගාථාවේ සඳහන් වන අන්දමට මණිඅක්ඛිත නාරජු තැන වූ මිණිමඬුවේ බුදුරදුන් වැඩහුන් අතර, ඒ මත කැලණි දාගැබ ඉදිකොට ඇත.
ආයාචනාය මණි අක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තස්සෝපතිට්ඨිත මුපට්ඨිත වීතරාගං
කළ්‍යාණි චේතියමහං සිරසා නමාමි
මණි අක් නයිඳු කළ - මිණිමඬුව තුළ වැඩ හිඳ
මුනිඳා දිව බොජුන් වැළඳූ සැනෙහි නඳ
මුනිදා පිහිටුවා කළ දාගැබට වැඳ ( හංස සංදේශය)
මණිනාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳීමට වැඩමකළ භික්ෂූන් සැටනමකට නාගා නමැති දාසියක් වෙහෙස මහන්සි වී උපයා ගත් ධනයෙන් දානය දුන්නා ය. ඇයගේ ශ්‍රද්ධාව ගැන සැලකූ එම භික්ෂූන් වීර්යයෙන් යුතුව රහත් බව ලැබ එම දානය වැළඳූහ. ඒ පුවත අසා පැහැදුන රජතුමා නාගා දාස බවින් මුදා මණිනාග දිවයින ඇයට තෑගි කළ බව සද්ධර්මාලංකාරයේ නාගා වස්තුවෙහි සඳහන් වෙයි. මණිනාගදීපයට නාගදීපය යන නම ලැබුණේ ඉන්පසුවය. සැමගේ සිත් දිනාගෙන ඔවුන්ට උදව් කරමින් ජීවත්වූ නාගා මැරුණ පසු දේවත්වයට පත්වූවා ය. හින්දු බැතිමතුන් නාගම්මා හෙවත් නාග පූෂානි අම්මන් කෝවිල නමින් හඳුන්වන්නේ ඇය වෙනුවෙන් තැනුන දෙවොල යි. එය පිහිටා තිබෙන්නේ වර්තමාන නාගදීප විහාරය ආසන්නයේ ය.
නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපය ම ඇතුළත් විශාල ප්රදේශයකි. වෙළෙඳ භාණ්ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක් එහි තිබුණි. ප්‍රසිද්ධ වරායක් වූ ඌරාතොට දැන් කයිට්ස් දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. 1936 දී විෂ්ණු දේවාලය අසලින් ලැබුණ වල්ලිපුරම් රන් සන්නසින් පැහැදිලි වන්නේ රාජ්‍ය වර්ෂ 126 – 127 වසභ රජ සමයේ දී ඉසිගිරි නම් ඇමැතිවරයකු නාගදීපය පාලනය කළ බවයි.
බුදුරදුන් වැඩම කළ ස්ථානය ලෙස සැලකෙන වර්තමාන නාගදීපය පිහිටි දූපතෙහි පුත්තර් කෝවිල්, බුද්ධ වලව්, පුත්තර් පල්ලම්, පුත්තර් තීඩල් යනාදී නම්වලින් හැඳින්වෙන්නේ බුදුරදුන්ට සම්බන්ධ ස්ථානයන් ය. පුත්තර් තෝට්ටම් (බුදුන්ගේ වත්ත) නමින් හැඳින්වෙන ඉඩම මෑතක් වනතුරු අයිති කරගෙන සිටියේ දෙමළ කරණවෑමියෙකි. බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියන් එම භූමිය මිලදී ගෙන විහාරයක් ඉදිකරද්දී පොළොවෙන් නටබුන් රැසක් මතු වී ඇත. 1985 දී ත්රස්තවාදීහු එම විහාරය පුපුරුවා හැරියහ. හානි වුණ සෙල් බුදුපිළිමයක් එහි තිබේ. දැනට දක්නට තිබෙන නාගදීප දාගැබ සහ පන්සල 1939 වසරේ දී රන්දොඹේ සෝමසිරි නා හිමියන් විසින් ඉදිකරවන ලද්දකි. නාගදීපයේ ජීවත්වන දෙමළ හින්දු බැතිමත්හුද විහාරස්ථානයට පැමිණ වන්දනා මාන කරති.
බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට නාගදීප රාජායතන චෛත්‍යය යනු ශාසන ඉතිහාසයේ අවසානය දක්වා ම පවතින ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. සම්බුද්ධ ශාසනය අතුරුදන් වන විට විවිධ වෙහෙර විහාරවල තිබෙන සර්වඥ ධාතු නාගදීප චෛත්‍ය ස්ථානයට එක්රැස් වෙයි. එතැනින් දඹදිව සිරිමහ බෝමැඩට වැඩම කිරීමෙන් පසු අතුරුදහන් වෙයි. එය මිලින්ද ප්‍රශ්නයෙහි දැක්වෙන්නේ මෙසේ ය.
“එකල සත්ත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේ බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල්යෑමෙන් හැමතැනම පූජා සත්කාර නොලැබෙයි. එකල බුදුරදුන් ධර්මාන කාලයෙහි ලෝවැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කර වදාළ හැම ධාතුන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ලක්දිව රුවන්වැලි මහ සෑයට වඩිති. එතැනින් නාග දිවයින රාජායතනය නම් චෛත්‍යයට රැස්වෙති. එයින් මහබෝමැඩ කරා වඩිති.” (ශාසනායුෂ ප්රශ්නය) සාහිත්‍ය ග්රන්ථ කීපයකම මේ පුවත දැක්වේ.
මහනුවර අස්ගිරි මහා විහාරීය
කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.
බුදුරදුන් උපන් ගමට වැඩම කළ මැදින් පුන් පොහෝ දා
ගිහි ගෙය හැර ගිය තම පුතු ගැන නිති තොරතුරු සොයමින් සිටි සුද්ධෝදන මහ රජු හට දූතයන්ගෙන් නිශ්චිත තොරතුරක් ලැබුණේය. ඉන් කියැවුණේ සිදුහත් කුමරුන් බුදු බව ලබා ශ්‍රාවකයන් පිරිවරා ගෙන මගධ දේශයේ රජගහනුවර වැඩවසන බවයි. ඉන් මහත් ප්රමෝදයට පත් රජු දහසක් පිරිවර සහිත ව ඇමතිවරයෙකු බුදුරදුන් වෙත යැවුයේ උන්වහන්සේ කැඳවාගෙන එනු පිණිස ය.
ඔහු ගියා ගියා ම ය. ආපසු ආවේ නැත. රජු මේ ආකාරයෙන් නව වාරයක් ම පිරිවර දහස බැගින් දී දූතයන් යැවුව ද රජුගේ අභිලාෂය ඉටු වූයේ නැත. අධෛර්යයට පත් නොවු රජු සිදුහත් කුමරු සමඟ එක දා උපන් කාළුදායි අමාත්‍යයා කැඳවා ඔහුට ද පිරිවර දහසක් දී තම බලාපොරොත්තුව ඉටු කරන ලෙස ඉල්ලා සිටියේ ය. පැවිදි වීමට අවසර දෙතොත් බුදුරදුන් කිඹුල්වතට කැඳවාගෙන එමි’යි හේ රජුට කී ය. රජු ඊට අවසරය දුන්නේ ය. රජගහ නුවරට ගිය දූත පිරිස මීට පෙර එහි ගිය අය කළ පරිදිම සසුන්ගත වූහ.
කාළුදායි හිමියන් බලා සිටියේ පිය මහරජුගේ ඉල්ලීම බුදුරදුන්වෙත ඉදිරිපත් කිරීමට සුදුසු අවස්ථාව එන තුරු ය. වසන්ත කාලය එළැඹෙමින් තිබිණ. බුදු හිමියන් වෙත ගිය කාළුදායි හිමියෝ” අංගාරිනෝදානි දුමා භදන්තේ .....”
යනාදී වශයෙන් ගාථා රැසකින් රජගහ සිට කිඹුල්වත දක්වා මඟ වැණුමක් කොට ‘මහා වීරයන් වහන්ස, භගීරථ දේශයට (කිඹුල්වතට) වැඩීමට මේ සුදුසු කාලය’ යි දැන්වූහ. (සමයෝ මහාවීර භගීරථානං”)
ඇරයුම පිළිගත් බුදුහිමියෝ විසිදහසක් සඟුන් පිරිවරා සැටයොදුන් මග ගෙවා මැදින් මස පුන් පොහෝ දා කිඹුල්වතට වැඩම කළහ. ශාක්‍යයෝ මග දෙපස පිරී සිටියහ. වයසින් අඩු අය බුදුරදුන්ට වැන්දත් වයසින් වැඩිහිටියෝ නොවැන්දහ. ශාක්‍යයන්ගේ මේ මානය බිඳීමට බුදුහු යමාමහ පෙළහර පෑහ. සතුටු සිතින් නෑයෝ ගියහ. දනට ඇරයුමක් නොවූයෙන් බුදුහිමියෝ පසු දින සඟුන් පිරිවරා ගෙපිළිවෙළින් පිඬු පිණිස ගියහ.
ඒ බව දැනගත් සුද්ධෝදන රජු ඊට තම අප්‍රසාදය පළ කළ ද මේ බුද්ධ වංශයේ පිළිවෙත බව පැහැදිලි කරමින් දෙසූ දහම් අසා රජු සෝවාන් විය. පසුව රජ මැදුරට ගොස් දන් වළදා රජුට මහ ධර්මපාල ජාතකයත්, යශෝධරාවට සඳකිඳුරු ජාතකයත් වදාරා ආපසු වඩිද්දී දායාද ඉල්ලා පසුපස පැමිණි රාහුල කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කරවූහ.
තුන්වන දිනයේ විවාහය ගෙවැදීම හා ඔටුනු පැළඳීම යන තෙමඟුල් යෙදි තිබිය දී නන්ද කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කරවූහ. ඉන් සංවේගයට පත් පිය රජුගේ ඉල්ලීම නිසා මව්පිය අවසර නොලද දරුවන් පැවිදි කිරීම තහනම් කරමින් විනය නීතියක් ද පැනවූහ.
පියරජු අනාගාමී වීම හා සුළු මව සෝවාන් වීමත්, නිග්‍රෝධාරාම පූජාවත්, ශාක්‍ය හා කෝලිය දෙපිරිසෙන් කුලදරුවන් පන්සියයක් සසුන්ගත වීමත් නිසා මැදින් පුන් පෝ දිනය බෞද්ධයන්ට ශාසනික වශයෙන් ඉතා වැදගත් බව සඳහන් කළ හැකි ය.
දෙහිවල
ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති
ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි
ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති
ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි
බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි.
උදාර සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පොහොය උදාව
නවම් පුර පොහොය බුදු සසුනේ සහ බුද්ධ චරිතයේ උදාර සිදුවීම් රාශියක් සිදු වූ පූජනීය දිනයකි.
1. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමට අගසව්
තනතුරු ලබා දීම
2. ප්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදු වීම
3. ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම
4. ආයු සංස්කාරය අත්හැරීම
සුදුස්සාට සුදුසු තනතුරුදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ලබාදීම ඊට හොඳම නිදසුනකි. මුලින් පැවිදි වූ භික්ෂූන් වහන්සේ සිටියදී මෙම දෙනමට තනතුරු ලබා දීම පිළිබඳ ව ඇතැම් භික්ෂූන් පවා දොස් නැගූහ. එහිදී බුදුරදුන් දේශනා කළේ මෙය මතුපිටින් බලා ලබා දෙන තනතුරු නොවන බවත්, සංසාරයේ ඒ වෙනුවෙන් ප්රාර්ථනාකොට පෙරුම් පුරා පැමිණි බවත් ය. ඒ අනුව සැරියුත් මහ රහතන් වහන්සේ දකුණත් සව් ලෙසත්, ධර්ම සේනාධිපති ලෙසත්, මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයත් බුදුරදුන් වෙතින් හිමි කරගත්හ. මුගලන් මහ රහතන් වහන්සේ බුදුරදුන්ගේ වමත් සව් ලෙසත්, ඍද්ධිමත් භික්ෂූන් අතර අගතනතුරත් හිමි කර ගත්හ. ප්‍රථම වරට වේළුවනාරාමයේ දී සංඝ සන්නිපාතය සිදු වූ විශේෂිත දිනය නවම් පොහොය යි. ජටිල භික්ෂූන් දහසක් සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක් භික්ෂූන් වහන්සේ ඇතුළු රහතුන් එක්දහස් දෙසිය පනහක් එකතුවීමෙන් මෙම සංඝ සන්නිපාතය සිදු වූහ.
බුද්ධත්වයෙන් විසි වසරක් යනතුරු විනය ශික්ෂාවන් පැනවීමත් සිදු නොවූහ. පැවතියේ ඕවාද ප්රාතිමෝක්ෂය යි. අල්ප ආයුෂ බුදුවරයාණන් වහන්සේලා තම ශාසනයෙහි පැවැත්ම වෙනුවෙන් මෙම අවවාද දේශනා කිරීම සිදු වේ. ඒ අනුව ගෞතම බුදුරදුන් භික්ෂූන් අරමුණු කොට ඕවාද ප්රාතිමෝක්ෂය දේශනාකොට වදාළේ අද වන් උතුම් පොහොය දිනකදී ය.
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - එතං බුද්ධාන සාසනං
සචිත්ත පරියෝදපනං - එතං බුද්ධාන සාසනං
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසුදු කිර ගැනීමත් බුද්ධ අනුශාසනාව යි.
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූප ඝාති
සමණෝ හෝති පරං විහේඨයන්කො
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූප ඝාති
සමණෝ හෝති පරං විහේඨයන්කො
ඉවසීම නමැති ක්ෂාන්තිය යි උතුම් තපස වන්නේ, බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ ඒ අමා නිවන උතුම් බව යි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් නොවේ. අනුන්නට හිංසා කරන කෙනා ශ්‍රමණයෙක් වෙන්නේ නෑ.
කාටවත් නින්දා අපහාස කිරීම යහපත් නෑ . කාගෙවත් ජීවිතයක් හානි නොකළ යුතු යි. ප්රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ ගෙන දුර ඈත සෙනසුන්වල කල් ගෙවන්න බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙය යි.
මෙම අවවාදය විනයකොට සලකා භික්ෂු ඇවතුම් පැවතුම් සකසා ගැනීම බුදුරදුන් අනු දැන වදාළහ. වසර හතළිස් පහක් ලෝක සත්ත්වයාට ධර්ම දේශනාකොට ඉතිරි තුන් මාසයේ දී පිරිනිවන් පාන බව අධිෂ්ඨාන කිරීම ආයු සංස්කාරය අත් හැරිම යි. බුද්ධ පරිනිර්වාණයට සූදානම් වීම සිදු වූයේ මෙවන් උතුම් පොහොය දිනක දී ය.
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
බුදුරදුන්ගේ පළමු ලංකාගමන සිදුවූ දුරුතු පෝය
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුපින්වතුනි, අද දුරුතු පෝ දිනයයි. දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම
ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙත්.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට පත්ව මාස නවයක් ගිය තැන ලක්දිව මහියංගණ (බින්තැන්න) පිහිටි මහානාග වන උයනට වැඩම කළහ. එ දවස දුරුතු පොහෝ දිනයකි. ඒ අනුව බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන සිහි කැඳවන්නේ දුරුතු පෝය දිනයේ දී ය. එනම් ,
“බෝධිතෝ නවමේ මාසේ
ඵුස්ස පුණ්ණමියං ජිනෝ
ලංකාදීපං විසෝධෙතුං
ලංකාදීපං උපාගාමි”
ඵුස්ස පුණ්ණමියං ජිනෝ
ලංකාදීපං විසෝධෙතුං
ලංකාදීපං උපාගාමි”
ඉහත සඳහන් කළ අයුරු , බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළේ කුමන අරමුණක් පිණිස ද යන්න මහාවංසය, මහා වංස ටීකාව ඇතුළු මූලාශ්රයවලින් හෙළි වේ.
ඒ අනුව උන්වහන්සේ සිතන්නේ මෙබන්ඳකි.” ලංකාදීපයේ යක්ෂ ගණයා වාසය කරති. එසේ හෙයින් මේ දිවයින යක්ෂ නිවාසස්ථානයක් යැයි දැක, ඉක්බිති මවිසින් එහි ගොස් යකුන් නෙරපීම කළ කල්හි මතු කල මාගේ ශාසනය බැබළීමට යෝග්‍ය ස්ථානයක් වන්නේ ය.”
අනාගතයේ තමන් වහන්සේගේ ශාසනය බැබළෙන රට ලංකාදීපය යැයි බුදුහු දත් සේක. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම පිණිස හේතු, සිද්ධි, කාල, ප්‍රයෝජන දිවැසින් බැලූ සේක. එසේ බලන බුදුරජාණන් වහන්සේට යකුන්ගේ සමාගමය පෙනේ. එ දවස සිටි යකුන්ගේ සිරිතක් වූයේ සෑම පොහෝ දිනක ම රැස්වීමක් පැවැත්වීමයි. එම රැස්වීමට සෑම යක්ෂ ප්‍රධානියෙකු ම සහභාගි විය යුතු ය. මෙම රැස්වීම පවත්වන අවස්ථාවට වැඩම කොට, යකුන් දමනය කොට ලංකාව පවිත්‍ර කරන්නේ, යැයි සිතූ බුදුපියාණන් වහන්සේ එහි වැඩම කළහ.
“මම එහි ගොස් ඍද්ධි ප්රාතිහාර්යයන් මගින් යකුන් නෙරපීම කොට, අණ පවත්වා, රැස්වූ දේව, ගාන්ධර්ව ආදීන්හට දහම් දෙසා නිවන් අමා පැන් පොවා අදම එන්නෙමි.”
බුදුරජාණන් වහන්සේ මහවැලි ගංගා තීරය සමීපයේ පිහිටා ඇති යොදුන් තුනක් දිග යොදුනක් පළල ඇති මහානාග නම් වනෝද්‍යානයට වැඩම කොට යක්ෂ සමාගමය මැද වැඩහිඳ, විවිධ ප්රාතිහාර්යයන් දක්වා පළමුව යකුන් බිය වද්දා, පසුව සමනය කොට, දම් දෙසා, එම භූමිය පවිත්‍ර කළ සේක. පසුව ඔවුන්ගේ භීතිය පහකොට බුදුපහස ලබාදී යකුන්ට සුදුසු වාස භූමියක් වු ගිරි දිවයිනට යැවූ බව සඳහන් වේ. බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමන නිසා මේ දිවයින මනුෂ්‍යයන්ට සුදුසු වාස භූමියක් බවට පත්වූයේ එපරිද්දෙනි.
බුදුරජාණන් වහන්සේගේ ලංකාගමන සිහිවීම පිණිස මියුගුණ මහ සෑය ඉදිකර ඇත. යකුන්ට දෙසූ බණ අසා සුමනසමන් දෙවියන් සෝවාන් ඵලයට පත්ව සිටියේ ය. එම දෙවියන් විසින් බුදුරදුන් පිදීම පිණිස පූජාර්හ වස්තුවක් ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ බුදුරදුන් හිස පිරිමැද සර්වඥ කේශධාතු ලබා දුන්හ. සුමනසමන් දෙවියන් විසින් එම කේශ ධාතු නිධන් කොට සත් රියනක් උසැති සෑයක් ඉදිකළේ ය. ඉන් අනතුරුව ශාරිපුත්‍ර තෙරුන්ගේ ශිෂ්‍ය සරභු මහරහතන් වහන්සේගේ මැදිහත්වීම මත එහි බුදුරදුන්ගේ ගී‍්‍රවා ධාතුව නිධන් කොට දොළොස් රියන් සෑයක් බඳවන ලදී. පසුකාලීන ව දේවානම්පියතිස්ස රජුගේ සොයුරු උද්ධචූලාභය කුමරු නැවතත් රියන් තිහක් උසට මේ සෑය නිමවන ලදී. ඉන් අනතුරුව මහියංගණ සෑය විශාල කොට නිමවන ලද්දේ දුටුගැමුණු මහ රජු විසිනි. එවිට එය අසූ රියනකි. පසුව වෝහාරිකතිස්ස, ධාතුසේන, පළමුවන විමලධර්මසූරිය ආදී රජවරු අතින් මහියංගණ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව ඇත.
පරසතුරු උවදුරු හමුවේ කාලාන්තරයක් තිස්සේ වල් බිහිව තිබූ මෙම ඓතිහාසික පුදබිම නැවැතත් ක්‍රි.ව. 1951 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් සොයාගෙන කැණීම් කටයුතු සිදුකර ප්‍රතිසංස්කරණය කරන ලදී. මහියංගණ සෑයේ ධාතු ගර්භයේ සිත්තම් ඇඳ තිබූ බව ද එතුමා විසින් සොයාගෙන තිබේ.
ක්‍රි.ව. 1948 න් පසුව එවකට මහියංගණ චෛත්‍යය සංවර්ධන සමිතියක් අරඹා ඇත. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා එහි පුරෝගාමී වූයේ ය. බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාග ලබා ගනිමින් යථෝක්ත සමිතිය මගින් එහි කටයුතු ඉදිරියට කරගෙන යන ලදී. පසුව ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ මැදිහත්වීම මත එහි සංවර්ධන කටයුතු ගෙන යන ලදී. මහියංගණ චෙත්‍යය අද පවතින තත්ත්වයට ගෙන එන ලද්දේ එහිදී ය. වර්තමානය වන විට ඉතාමත් සංවර්ධනය වූ පූජනීය භූමියක් බවට මෙම ස්ථානය පත්ව ඇත.
එබැවින් සැදැහැති බෞද්ධයෝ බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමන සිහිකරමින් මහියංගණ සෑය මෙසේ නමදිති.
“ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානේ තහිං නිහිතකුන්තල ගී්රව ධාතුං
වන්දාමි සාදු මහියංගණ ථූප රාජං”
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානේ තහිං නිහිතකුන්තල ගී්රව ධාතුං
වන්දාමි සාදු මහියංගණ ථූප රාජං”
“බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා කරනු සඳහා පළමු කොට ලක්දිව යම්තැනක වැඩ හිඳ යක්ෂයන් දමනය කළ සේක් ද, එම ස්ථානයෙහි කේශධාතු හා ගී‍්‍රවා ධාතු නිධන් කොට පිහිටුවන ලද මහියංගණ චෛත්‍යරාජයා වඳිමි.
ඒ අනුව ඓතිහාසික මහියංගණ පුදබිම බුදුරදුන්ගේ පා පහස ලත් පුණ්‍යභූමියක් ලෙස අද දෙස් විදෙස් රටවල ප්‍රකට ව පවතී.
බදුල්ල, බණ්ඩාරවෙල පාර
ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දිරයේ
දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දිරයේ
දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි.
යුගයේ මහා ත්‍රිපිටක පූජාව
සම්බුදු සසුනේ චිරස්ථිතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් ඉකුත්දා (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහි සමාප්ති අවස්ථාව (04) වනදා පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
විභජ්ජවාද වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ත්‍රිපිටක ධර්මය විකෘති වන්නට නොදී ආරක්ෂා කොට මතු පරපුරටත් උරුම කිරීම වේ. විශේෂයෙන් මෙකල ක්‍රියාත්මක වන ත්‍රිපිටක ධර්මය සහ බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් පවතින වැඩපිළිවෙළ ගැන ස්වාමීන් වහන්සේ මෙන්ම බෞද්ධයන් දැනුම්වත් කර, බුද්ධ ශාසනය සහ බෞද්ධයන් ආරක්ෂා කර ගැනීම යි.
මෙම පින්කම බුද්ධ ශාසනය ඉතිහාසගත වන ඉතාම වැදගත් සංධිස්ථානයක් වන්නේ, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණ මාතලේ අළුලෙන් විහාරයේ දී ග්‍රන්ථාරූඪ කළා. එය ලංකාවේ සිදුවුණු සුවිශේෂී සන්ධිස්ථානයක්. එනම්, භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීම යි. ඉන්පසුව මෙහි තුන්වන පියවර වන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීම යි. එනම්, භාණක පරම්පරා මඟින් ග්‍රන්ථාරූඪ කිරීම හෙවත් මුද්‍රිත මාධ්‍ය ද ඉන්පසුව සුවිශේෂීතම තෙවන පියවර වශයෙන් විද්‍යුත් මාධ්‍යයෙන් ත්‍රිපිටකය පළ කිරීම යි.
ලෝකයේ මේ වන තුරා ත්‍රිපිටකය සම්බන්ධ විවිධ මෘදුකාංග නිර්මාණය කර තිබුණත්, විද්‍යුත් ත්රිපිටකයක් මේ වන තුරා සකස් කර නොතිබුණි. ඒ නිසා ලොව ප්‍රථම වතාවට ථෙරවාද ත්‍රිපිටක ධර්මය විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ ඉදිරි සියවසට මුහුණ දෙන්නට නම්, ඉදිරි සියවස අප ජයග්‍රහණය කරන්නට නම්, ඒ සියවසට අනුකූල ව සමාජයට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබිය යුතු යි. විශේෂයෙන් ම ඉදිරියට එන්නේ තාක්ෂණය සම්බන්ධ ඉතාම දියුණු සමාජයක්. එලෙස තාක්ෂණයෙන් දියුණු යුගය තුළ ධර්ම, විනය අඛණ්ඩව පවත්වා ගෙන යන්නට නම්, සමාජයට ගැළපෙන සේ අප ධර්මය ලබා දිය යුතු වෙනවා. ඒ නිසා ඉදිරි සමාජයටත් ගැළපෙන සේ විශේෂයෙන් අප මෙය සලකන්නේ, 21වන ශතවර්ෂය ජයග්‍රහණය සඳහා නව දොරගුළු හැරීමක් ලෙස යි. ඒ නිසාම යි විද්‍යුත් මාධ්‍යයෙන් ත්‍රිපිටකය පළ වීම සිද්ධ කරන්නේ.
විශේෂයෙන් ම සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් ඉදිරි කාලයේ කුමක්ද ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙළ එනම්, විභජ්ජවාද දස අවුරුදු සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදු වුණා. භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය , අධ්‍යාත්මික දියුණුව සහ සමාජයට කෙසේද මේ දහම ලබා දෙන්නේ යන අරමුණ පෙරදැරිකරගෙන යි. තවත් මෙහි වැදගත්ම කාරණයක් වන්නේ ලෝකය පුරාම තිබෙන ථෙරවාදී ත්‍රිපිටක පුස්කොළ පොත්වල ඡායාපිටපත්, එනම් ‘මයික්‍රෝෆිල්ම්’ කර සමස්ත ජනතාවටම විවෘත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. එනම් ‘පරමත්ථ වෙබි අඩවියේ’ මෙය පළ කරන්නේ. සියලු පුස්කොළ පොත්වල මයික්‍රොෆිල්ම් වෙයි. මේ ලෝකයේ කිසිම කෙනෙකුට පරණ පුස්කොළ පොත්වල මොනවාද තිබුණේ යනුවෙන් සැක සංකා නැතිව සෑම දෙයක්ම අධ්‍යයනට සහ විශේෂ යොමු කිරීමේ වැඩ පිළිවෙළ මෙතුළින් ආරම්භ කළා. ‘පරමත්ථ වෙබ් අඩවිය’ ආරම්භ කළේ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් ය. අනුරාධපුර ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය මාන්කඩවල සුදස්සන හිමි සහ සේනාසනාධිපති ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප හිමියන් ද එහි දී සහභාගි වූ අතර අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නා හිමියන් තෛ‍්‍රනිකායික මහා නාහිමිවරුන් ප්‍රධාන අනු නාහිමිවරුන් ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්ය හාමුදුරුවන් වහන්සේ , විශ්ව විද්‍යාලවල ආචාර්ය, කථිකාචාර්ය හාමුදුරුවරු, පිරිවෙන් අංශ සම්බන්ධයෙන් ප්‍රධානත්වය දරන ස්වාමීන් වහන්සේ සහ සමස්ත බහුතරයක් අවුරුදු දහ අටට වැඩි ස්වාමීන් වහන්සේලා සහභාගි වූහ.
ගිහි සාමාජිකත්වය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරු ජයසූරිය මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ, විපක්ෂ ජනනායකයන්ගේ සහභාගිත්වයෙන් තවත් ආරාධිත සම්භාවනීය පිරිසගේත් සහභාගිත්වයෙන් එම පින්බර කර්තව්‍ය සිද්ධ වූ බව අනුරාධපුර ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක මාන්කඩවල නන්දරතන හිමියෝ පැවසූහ.
ප්‍රබෝධනී
බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි.
මුනි සිරිපා කරුණා කරමු
"අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය."
වසරකට වරක් ඇරඹෙන සිරිපා වන්දනා වාරය මෙවර ද උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ කෙරේ. එතැන් පටන් මාස හයක කාලයක් පුරා දෙස් විදෙස් වන්දනාකරුවන් සිරිපා වන්දනාවට ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සහභාගි වෙති.
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ හ. සබරගමු වැසි වූ සුමන සමන් දෙවියන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් පන්සිය නමක් මහ රහතන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමවා වදාළ හ. ලෝකවාසී ජනතාවගේ අපමණ ගෞරවයට එවක් පටන් යොමු වූ ශ්‍රී පාදස්ථානය වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද ලෝක උරුමයන් අතර අතිපූජනීය මෙන්ම වන්දනීය පුදබිමක් වේ.
ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වන කරුණු බොහෝ වේ. අති දුෂ්කර ගමනක් ගෙවා ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණීම ඉන් එක් කරුණකි. මෙරට පළමු රාජධානිය වූ අනුරාධපුරය, රාජධානියේ සිට පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, මහනුවර ආදී ඒ ඒ රාජධානි සමයන්හ ිදී මහ රජවරුන්ගේ ගෞරවයට, පූජෝපහාරය ට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට විවිධ පුද පුජා සිදුකර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම සන්නස්, තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ.
මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සුමන සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අද පවා සැදැහැවතුන්ගේ මහත් ගෞරවෝපහාරය ට ලක් වේ.
අසමසම වූ, මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමන් දෙවි රදුන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් ඉන්ද්රනීල මාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ හ. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.
මෙරට පමණක් නොව ලොව නන් දෙසින් පැමිණෙන වන්දනා කරුවෝ සිරිපා වන්දනා වාරය පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් පසුවෙති. ගතට, සිතට සහනය, සැනසීම ළඟා කර දෙන සිරිපා වන්දනා වාරයේ දී පුරාතනයේ විසූ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර ස්වකීය දේපළ තම දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනා කළහ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව, මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදාවී ඇත. බොහෝ විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ නැතහොත් ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. අතීත මුතුන් මිත්තෝ ‘වට වන්දනාව‘ යන නාමයෙන් සති ගණනක් පුරා රට පුරා පිහිටි සොළොස්මස්ථාන ප්‍රධාන පූජනීය සිද්ධස්ථාන වන්දනා කිරීමට කටයුතු යෙදූහ. ඊට නිරන්තරයෙන් සිරිපා වන්දනාව ද ඇතුළත් වූ වන්දනා චාරිකාවක් වූ හ.
ඒ සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියකු වූ අතර ඔහු හෝ ඇය “නඩේ ගුරා” යනුවෙන් හැඳින් වූ හ. වෙසෙසින් ම එම වන්දනා ගමන සංවිධානය කළේ වාර ගණනාවක් පුරා එබඳු වන්දනා ගමන් සංවිධානය ඊට පෙර ද සංවිධානය කළ පළපුරුදු අයෙකි. නඩේ ගුරාගෙන් බැහැරව වන්දනා පිරිස කිසිවක් කළේ නැත. එතරම් ම වන්දනා පිරිස නඩේගුරා ට අවනත වූ හ. සිරිපා වන්දනාවට පේ වුහ. කැප වුහ. ඇප වුහ.
සිරිපා වන්දනාවට යන සැදැහැවතුන්ට සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනා පිරිසක් හමු වූ විට “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” එමෙන්ම සිරිපා වන්දනා කිරීමට යන ඒ පිරිස ද ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.’ ආදී වශයෙන් ඔවු නොවුන්ගේ සිත් පහන්වන අයුරෙන් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම දක්නට ලැබෙන, ඇසෙන සුලභ දසුනකි. ඒ අයුරෙන් අන්‍යොන්‍ය වශයෙන් සුහදත්වයෙන් වන්දනාවේ යෙදෙන සුවිශේෂී පුදබිමකි ශ්‍රී පාදස්ථානය. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතය යි. දෙස් විදෙස් සැදැහැවතුන් පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානය කි. අසිරිමත් සම්බුදු පහසින් තෙවරක් ම පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අනුහසින් යුත් ස්ථානයකි.
පලාබත්ගල විහාරය, නල්ලතන්නි බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරය යන විහාරාරාමයන්හි අධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.
පැරැණි සිරිතට අනුව සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමා වහන්සේ මහත් පුද පෙරහරෙන් ගෞරවයෙන් සිරිපා මළුවට වැඩමවා පහන් දල්වා, සුවඳපැනින් පද්මය දෝවනය කර පැරැණි සිරිත් අනුගමනය කර වන්දනා වාරය ආරම්භ වනු ඇත.
කවර කෙනකුට වුව ද, මහත් කරුණාවෙන්, ඕනෑකමෙන් සුමන සමන් දෙවි කරුණාවත් ප්‍රාර්ථනා කිරීම හෙළ සංස්කෘතියේ අභිමානය පෙන්වන මහඟු අවස්ථාවකි.
ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සිරිපා වන්දනාවට පැමිණෙන සියලු දෙනාට ආශීර්වාදය සැලසේ. ගහ කොළට, ඇළට, දොළට සතා සිව්පාවාට, පරිසරයට හානි කිරීමෙන් ද වැළකී සිරිපා වන්දනා කරමු.
- බෞද්ධ පත්‍ර කලා විශාරද,
සීසර් සුදුසිංහ
සීසර් සුදුසිංහ
උපුටාගැනීම බුදුසරණ පත්‍රයෙනි.
Subscribe to:
Posts (Atom)










































