බුදුහිමියන් උපන් බිමට වැඩම කළ මැදින් පොහොය


මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන්ගේ සිත්සතන් බුදු බැතියෙන් ඔදගැන්වෙන සිදුවීමක් නිරායාසයෙන්ම සිහියට නැගෙයි. එනම් බුදුරදුන් විසිදහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරා ස්වකීය ජන්මභූමිය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්තවීමේ අරමුණ ඇතිව මැදින් පොහෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒවා අතර ඤාතීන් ගේ මානය බිඳ හෙළීම,යමාමහ පෙළහර පැවැත්වීම යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීමට අවශ්‍ය පියවර ගැනීම, කාන්තාවන් ප්‍රථම වතාවට බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි. 

මේ අනුව බුදුරදුන් ස්වකීය ඤාති වර්ගයා වෙනුවෙන් ධර්ම දායාදය පිරිනැමීමේ අරමුණින් යුක්තව ඓතිහාසික ගමනක් ඇරඹු මංගල දිනයක් ලෙස මැදින් පොහෝ දිනය නම් කළ හැකිය. ඤාති වර්ගයාට පමණක් නොව රජගහනුවර සිට කිඹුල්වත්පුර නුවර දක්වා වූ සැට යොදුනක් මග දෙපසට අයත් ගම්දනව්වල ජනතාවට ද ධර්ම දායාදය පිරිනැමීමේ ආරම්භක පියවර ද එයම විය. 

පෙර ඇසළ පොහෝ දිනෙක රාත්‍රි කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් මහත් සේ කම්පාවට පත් සුද්ධෝදන මහරජු තම පුතු දැකබලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය. බුද්ධත්වයට පත් තම පුතු මේ වන විට කොහි වෙසෙන්නේ දැයි, රජු විපරම් කොට බැලීය. බුද්ධත්වයෙන් පසුවු බිම්බිසාර රජු විසින් පාලනය කරන ලද මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩවෙසෙන බව පියරජු දැන ගත්තේය. 

එබැවින් බුදුරදුන්ට කිඹුල්වත් පුරයට වැඩමවන ලෙස ආරාධනා කරන මෙන් දන්වා රජුගේ ඇමතියෙකු ප්‍රමඛ දූත කණ්ඩායමක් රජගහනුවර වේළුවනාරාමයට පිටත්කොට යැවීය. එම පිරිස එහි ගොස් බුදුරදුන් වෙතින් බණ අසා පැහැදි පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නොකළහ. මෙසේ ඇමතිවරු නව දෙනෙක් සහිතව නව වාරයක්ම දූත පිරිස් පිටත්කොට යැවු නමුත් ඉන් එකද පුද්ගලයෙක් හෝ නැවත නොපැමිණියහ. පෙර සේම සිදු වූයේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම පමණෙකි. දස වැනි වාරයේදි සිදුහත් කුමරු උපන් දිනයේම උපත ලද කාලුදායි ඇමතිවරයා දහසක දූත කණ්ඩායමක්ද සමග රජගහනුවර වේළුවනාරාමයට පිටත්කර හැරීය. කාලුදායි ඇමැතිවරයා රජුගේ ඉල්ලීම බාරගත්තේ එක් කොන්දේසියකට යටත්වය. එනම් බුදුරදුන්ගෙන් ධර්මය අසා පැවිදිවීම සඳහාද රජුගෙන් අවසර ගැනීමය. මෙම අවසරය ලත් කාලුදායි ඇමතිවරයා සහ පිරිවරින් යුක්තව කිඹුල්වත්පුර නුවර සිට රජගහනුවර වේළුවනාරාමය දක්වා ගියේ ඉමහත් සොම්නසිනි. වේළුවනාරාමයේදි බුදුරදුන් හමු වූ කාලුදායි බණ අසා පැවිදිව රහත්ඵලය ද ලබා ගත්තේය.
ඉක්බිතිව කාලුදායි තෙරුන්ගේ පැවිද්දෙන් දින හත අටක් ගත විය. ඒ සමගම කාලගුණය ද බෙහෙවින්ම යහපත් වූ වසන්ත සමය උදා විය.


සිය මව්බිමට වැඩම කරවීම සඳහා බුදුරදුන් වෙත ඇරයුම් කිරීමට මේ සුදුසුම කාලය බව කාලුදායි තෙරණුවෝ වටහා ගත්හ. එබැවින් බුදුරදුන් වෙත එළඹ සිත් ඇදගන්නා සෞන්දර්ය වර්ණනාවකින් යුක්තව රජගහනුවර සිට කිඹුල්වතට යන සැට යොදුන් ගමන්මග වර්ණනා කළහ.
එම මග වැණුමෙන් යුත් ආරාධනය පිළිගත් බුදුරදුන් විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පිරිවරා රජගහනුවර සිට කිඹුල්වත්පුරනුවර බලා ගමන් ආරම්භ කළහ. 

දෙමසක් පා ගමනින් වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ සඟගණ වෙසක් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කළහ. බුදුරදුන්ට වැඩසිටීම සඳහා නිග්‍රෝධ උයන පිළියෙල කළ ශාක්‍යයෝ ඉමහත් හරසරින් උන්වහන්සේ පිළිගත්හ. සුවඳ මල් ආදිය රැගෙන පෙරමුණට ගිය ශාක්‍යයෝ පළමුව ළදරු ළදැරියන් ඉදිරියට යැවූහ. දෙවනුව රජ කුමර කුමරියෝ ඉදිරියට ගියහ. සුද්ධෝදන මහරජු ඇතුලු ශාක්‍යයෝ පසුපසින්ම ගමන් කළහ. ඉක්බිතිව ඔවුහු බුදුරදුන් ප්‍රමුඛ රහතන් වහන්සේලා නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. එහිදි බුදුරදුන්ට නමස්කාර කළේ ශාක්‍ය ළදරු ළදැරියෝත් රජ කුමර කුමරියෝත් පමණෙකි. අධිමාන්නයෙන් යුක්ත වු වෘද්ධ ශාක්‍යයෝ බුදුරදුන් තමනට වඩා වයසින් බාල වන බැවින් නොවැඳම පිරිස කෙළවරට වී සිටියහ. 

ශාක්‍යයන්ගේ මානය පිළිබඳ කරුණු වටහාගත් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පවත්වා ස්වකීය ශරීර ශක්තිය පෙන්වූහ. මිනිසෙකු ලෙස සිටින කෙනෙකුට කළ නොහැකි තරම් අපූර්ව විශ්මිත ක්‍රියා මාලාවක් මෙම ප්‍රාතිහාර්යය තුළින් සිදු කෙරෙයි. එය ජලය හා ගින්න ආධාරකොට පැවැත්වු ඇදහිය නොහැකි තරම් වන අතිවිශේෂ ප්‍රාතිහාර්යයකි. මෙම දර්ශනයෙන් ශාක්‍යයන්ගේ මානය දුරු විය. එහිදී ශාක්‍යයන් අතරින් ඉදිරියට පැමිණි සුද්ධෝදන මහරජු දොහොත් මුදුන් දි “පුතණුවනි, මේ මාගේ තුන්වන වැඳීම” යි කියා බුදුරදුන්ට නමස්කාර කළේය. එවිට එහි සිටි සියලුම ශාක්‍යයෝ බුදුරදුන්ට වැඳ නමස්කාර කළහ.

පසුදින දන් පිණිස ආරාධනයක් නොලද හෙයින් අනෙකුත් රහතන් වහන්සේලා ද සමග බුදුරදුන් ගෙපිළිවෙලින් කිඹුල්වත පිඬු සිඟා වැඩියහ. මේ බව යශෝධරා දේවිය මඟින් සුද්ධෝදන මහ රජුට සැලවීමත් සමඟම ඇතිවූයේ ඉමහත් කම්පනයකි. වහා සළුපිළි හැඳ පිඬු සිඟා වඩින බුදුරදුන් ඉදිරියට දිවගිය රජු අප රාජ වංශයට මෙසේ නින්දා කරන්නේ ඇයි”දැයි ඍජුවම ප්‍රශ්න කළේය. එහිදී “මහ රජ ඒ ඔබේ වංශයයි. එහෙත් මේ අපගේ බුද්ධ වංශයයි. බුද්ධ වංශයට අයත් සියලු බුදුවරයන් වහන්සේලා පිඬු සිඟා යැපුණහ. මමද එම චාරිත්‍රය අනුගමනය කරමි”යි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. 

එම පිළිතුරෙන් රජු වඩාත් විශ්මයට පත් විය. පසුව මහරජු බුදුරදුන් ප්‍රමුඛ මහසඟගණ රජ මාලිගාවට වැඩමවා ගෙන ගොස් දන් පිළිගැන්වීය. අවසානයේදි බුදුරදුන් දේශනා කළ ධර්මය අසා සුද්ධෝදන මහරජු හා මහාප්‍රජාපතී ගෝතමිය මාර්ගඵල ලැබූහ. අනුන් ගැන බලාපොරොත්තු නොවී තම අවශ්‍යතාව තමාම ඉටුකරගත යුතුය. යන ආදර්ශය බුදුරදුන්ගේ මෙම ක්‍රියාව තුළින් ලෝකයාට ශේෂ විය.

අනතුරුව පිය මහ රජු හා සැරියුත් මුගලන් යන තෙරුන් වහන්සේලාද කැටුව යශෝධරා දේවියගේ මාලිගයට වැඩම කළ බුදුරදුන් දුටු යශෝධරා දේවිය හඬමින් වැඳ වැටුණාය. ඇයට රිසි සේ හැඬීමට බුදුරජාණන් වහන්සේ ඉඩ සලසා දුන්හ. මෙහිදී සුද්ධෝදන මහරජු යශෝධරාව ගේ උදාර ගුණ වර්ණනා කරන්නට විය. පිය මහරජු යශෝධරාව ගැන කළ ගුණ වැණුම අසා සිටි බුදුරජාණන් වහන්සේ එය මුල්කොට “චන්දකින්නර ජාතකය” වදාළහ. 

බුදුරදුන්ගේ කිඹුල්වත්පුර ගමනේදි සිදු වූ තවත් විශේෂ සිදුවීම් නම් රාහුල කුමරු හා නන්ද කුමරු ගේ පැවිද්දයි.
එසේම මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ පැවිදිවීමට අවසර ඉල්ලීමද තවත් ඓතිහාසික සිදුවීමකි. මුල දී කාන්තා පැවිද්ද අනුමත නොකළ බුදුරජාණන් වහන්සේ පසුව අෂ්ටගරු ධර්ම පැනවීමෙන් ඒ සඳහා අවසරය ලබා දුන්හ. මැදින් පොහෝ දිනෙක ඇරඹුණු බුදුරදුන්ගේ කිඹුල්වත්පුර චාරිකාව ශාසනික වශයෙන් සුවිශේෂි සිද්ධි මාලාවක මූලාරම්භය බව මේ අනුව පෙනී යයි. එබැවින් මැදින් පොහෝ දිනයේ වැදගත්කම මෙනෙහි කොට දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් මෙදින අනුස්මරණය කිරීමට සැවොම අධිෂ්ඨාන කරගත යුතුය.

 ඌරුගමුවේ අස්සජි හිමි

බුදුසරණ අන්තර්ජ‍ාල කලාපයෙන් උපුටාගැනීමකි

ලොව ප්‍රථම රහත් සඟ සමුළුව පැවැත්වූ නවම් පුර පොහෝ දිනය



අද නවම් පුරපසළොස්වක පොහෝ දිනයයි. මෙම උතුම් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අද ඔබ සිල්සමාදන්ව සිටිනවා විය හැකිය. නැතිනම් වෙනත් ආගමික සද්ක්‍රියාවක නිරත වෙමින් සිටිනවා විය හැකිය. අඩුම තරමින් ආගමික වතාවත් සඳහා විහාරස්ථානයකට පැමිණි කෙනෙක් විය හැකිය. මේ සියලු යහපත් ක්‍රියාවන් සඳහා ඔබ උනන්දු කරවා ඇත්තේ අද දිනයෙහි ඇති සුවිශේෂි භාවයයි.
සාමාන්‍ය දිනයකදී දැකගත නොහැකි ආගමික ජීවිතයක් සඳහා ඔබ මෙහෙයවා ඇත්තේ අද දිනය විසිනුයි. මෙම පසළොස්වක් පොහොය දිනය බෞද්ධයන් වූ අපට ඉතා වැදගත් වීමට කැරණු කීපයක් හේතු වී තිබේ. එම කරුණු නැවත සිහිපත් කර ගැනීම ඔබේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වඩ වඩාත් දියුණුවීම සඳහා මහෝපකාරී වනු ඇත.

නවම්පුර පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් වන්නේ කුමක් නිසාදැයි මැනවින් විමසා බැලිය යුතු කරුණකි. සම්බුදු සසුන ඇතිවීමෙන් පසු එහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූයේ අද වැනි දිනකය. රජගහ නුවර වේළුවනාරාමයෙහි පවත්වන ලද මෙම මහා සඟ සමුළුව අනාගත ශාසනය පිළිබඳ වැදගත් තීරණ කීපයක් ගැනීම නිසා ඉතා වැදගත් වන බව පෙනේ. මේ සඳහා මහරහතන් වහන්සේලා 1250 ක් පමණ සහභාගි වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කෙරේ. මෙය මෙතෙක් ලෝකයෙහි මුළු දුන් ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාස ගතව ඇත. ක්‍රියාශීලී, විනයගරුක භික්‍ෂූන් වහන්සේලා සඳහා ප්‍රථම වරට තනතුරු ප්‍රදානය කිරීම මෙම සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීමකි. 

භික්‍ෂූන් වහන්සේලාගේ ශාසනික සේවය බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් අගය කිරීමක් මෙහිදී සිදුවී ඇති බව සඳහන් කළ යුතු වේ. අද ද බහුල වශයෙන් සිදුවන පසුකාලීනව ශාසනික පදවි ප්‍රදානයෙහි ආරම්භක අවස්ථාව හැටියට මෙය සැලකිය හැකිවේ. ඒ අනුව දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගොස් තිබූ වේළුවනාරාම මහා විහාරයේ දී අද වැනි නවම් පුන් පොහෝ දිනයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සඳහා අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු කරන ලදී. ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් මහා සෘද්ධිලාභී මුගලන් මහරහතන් වහන්සේ වමත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් තථාගතයන් වහන්සේ විසින් මෙහිදී පත්කොට වදාළ සේක. මේ සඳහා මෙම මහරහතන් වහන්සේලා දෙනම සංසාරිකව කරන ලද විවිධ පින්කම් පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ විසින් මෙහිදී සියල්ලන්ගේ අවධානය යොමු කළ ආකාරය පිළිබඳ තොරතුරු දැක්වේ.

නවම් පුන් පොහෝ දිනයෙහි ශාසනික වැදගත්කම වැඩිවීම සඳහා තවත් ඉතා වැදගත් කරුණක් පිළිබඳව ද තොරතුරු දැක්වේ. එනම් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේසනා කිරීමයි. අල්පායුෂ්ක වූ බුදුවරයන් වහන්සේලාගේ ශාසනයෙහි ප්‍රථම බෝධියේදී එබඳු සියලු බුදුවරයන් වහන්සේලාගෙන් මෙම අනුශාසනය අනිවාර්යයෙන්ම සිදුකෙරෙන බව සඳහන්ව තිබේ. ප්‍රථම බෝධිය ලෙස හඳුන්වනු ලබන්නේ සම්බුදු සසුනෙහි ප්‍රථම විසි වසරයි. මෙම කාලය තුළ තථාගත බුදුරජාණන් වහන්සේට තම ශ්‍රාවකයන් වහන්සේලාට විනය ශික්ෂා පැනවීමෙහි කිසිදු අවශ්‍යතාවක් වූයේ නැත. හේතුවක් නැතිව විනය ශික්ෂා පැනවීමක් සිදු නොකළ අතර එම කාලය ක්ලේෂ ධර්ම අඩු අය බහුල වශයෙන් සිටි කාලයක් විය. එනිසා රහතන් වහන්සේලා බහුල වූ බව පෙනී යයි. “ඛන්ති පරමං තපෝ තිතික්ඛා” යනාදී ගාථා තුනක් ඕවාද ප්‍රාති මෝක්ෂය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළහ. මෙය හය මසකට, තෙමසකට හෝ මසකට වරක් භික්‍ෂූන් එක්රැස්ව දේශනා කිරීම සඳහා නියමව පැවතිණි. ප්‍රථම විසි වසට මෙය ප්‍රමාණවත් වුවත් ඉන් පසු කාලය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ආනා ප්‍රාතිමෝක්ෂය දේශනා කළා පමණක් නොව දස විධ හේතූන් නිමිති කොට ගෙන විනය ශික්‍ෂා පැනවීමද සිදුකළ අයුරු ත්‍රිපිටක සාහිත්‍ය මඟින් ප්‍රකට කර ඇත.තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ද සිදුකොට වදාරන ලද්දේ අද වැනි නවම් පුන් පොහෝ දිනයක ය.

ඉතා සංවේග දායි අවස්ථාවක් වූ මෙයින් ප්‍රකට වන්නේ මෙතෙක් කළකින් පිරිනිවන් පාන්නේ යැයි කාලය තීරණය කොට ප්‍රකාශ කිරීමය. මෙම මොහොතේ එම ප්‍රකාශයත් සමඟ මහා පෘථිවිය කම්පා වී ගිය ආකාරය පිළිබඳ තොරතුරු සඳහන් වේ. මේ අනුව බොදුනුවන් වූ අපි එක් අතකින් අද දිනය ඉතා සංවේගයෙන් යුතුව සිහිපත් කළ යුතු වේ. කල්පයක් ජීවත්ව වැඩ වසන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීම සඳහා අනඳ තෙරුන් වහන්සේට අමතකවීම නිසා මාරයා පැමිණ පිරිනිවන් පෑම සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමට බුදුරජාණන් වහන්සේට සිදුවී ඇති ආකාරය අපේ ධර්ම සාහිත්‍ය සංවේගයෙන් යුක්තව අනාවරණය කර තිබේ.
මෙබඳු වැදගත් ශාසනික සිදුවීම් කීපයක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ ඇති විශේෂිත වූ වැදගත්කම පිළිබඳව අපි මෙතෙක් විමසා බැලුවෙමු. බුදුසිරිත හා සම්බන්ධ ඉතා සංවේගදායි දිනයක් ලෙසත් ශාසනයෙහි චිර පැවැත්ම සඳහාත් ඉවහල් වන විනය නීති රීති පැනවීමෙහි ආරම්භක දිනය වශයෙනුත් භික්‍ෂූන් වහන්සේලා වෙත තනතුරු ප්‍රදානය කිරීමේ ආරම්භක දිනය වශයෙනුත් අපි අද දිනය පිළිබඳව සිහිපත් කරන්නෙමු.

අද මේ උතුම් පොහෝ දිනයෙහි ඔබේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ නව මහා බුදුගුණයන් අතර දෙවෙනි ස්ථානයෙහි ලා ගැනෙන සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳවය. ඉතා නිවැරැදිව ඉතා පැහැදිලිව තම අත්ලෙහි ඇති දෙයක් සේ කිසිවකුගේ උපදේසයක් හෝ ඉගැන්වීමක් නැතිව තමන් වහන්සේ විසින් ම තුන් කාලයට අයත් වුවත් අයත් නොවූවත් සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලැබේ. 

බුද්ධ යන වචනයෙහි තේරුම වන්නේ ‘දන්නා’ යන්නයි. එසේ දන්නා අය එම දැනුම වෙනත් අයගේ උපදෙස් ඇතිව ලබාගන්නා අතර, තම ශක්තියෙන් ද එම දැනුම පුළුල් කර ගනු ලැබේ. එසේ වෙනත් අයගෙන් අසා දැනගත් අය බුද්ධ යනුවෙන් හැඳින්වේ. අන් අයගේ උපකාරයකින් තොරව ස්ව ශක්තියෙන් දැනුම ලබන්නා වූ උතුමන් සම්මා සම්බුද්ධ නම් වේ. මෙම සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලබන්නේ පසේ බුදුවරයන් වහන්සේලා හා ලොව්තුරු බුදුවරයන් වහන්සේලා පමණි. සම්මා සම්බුද්ධ නමින් හඳුන්වනු ලැබුවද පසේ බුදුවරයන් වහන්සේලා සියල්ල දන්නා බවක් නොකියවේ. සියල්ලම නිවැරදිව පැහැදිලිවම දන්නේ ලොව්තුරා බුදුවරයන් වහන්සේලායි. ඒ අනුව ලොව්තුරා බුදුවරයන් වහන්සේලාම සම්මා සම්බුද්ධ වන බව අපේ බණ පොත පැහැදිලි කරනු ලැබේ.

මෙහි මුලින් සඳහන් ගාථා පාඨයෙහි මෙම සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව විස්තරයක් ඇතුළත්ව ඇත. “කිසියම් පුද්ගලයෙක් වෙනත් කිසිවෙකුගෙන් නොඅසා ස්ව ශක්තියෙන්ම ස්ඛන්ධාදී ධර්ම විෂයෙහි චතුස් සත්‍ය දැනගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳවම සත්‍ය දැනගැනීම් වස් සර්වඥත්වයට පැමිණේ ද බලයන් හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ” නම් වේ. යනු එහි අදහසයි.
මේ අනුව පෙනී යන කාරණය වන්නේ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද පාරමිතා කුසල බලයෙන් කිසිවෙකුගෙන් නොඅසා ඒ උතුම් ධර්මය උන්වහන්සේට අවබෝධ කළ හැකි වූ බවයි. කිසිදු අඩුවකින් තොරව දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන උතුම් සත්‍ය අවබෝධයත් එනිසාම සර්වඥතා ඤාණයත් ලබාගත් අතර ඒ සමඟම දසබල ඤාණ බලයද ලැබීමෙන් අනතුරුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය පෙළ දහමින් විස්තරකොට තිබේ.

බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය අනාවරණ ඥානය ලෙසින් ද හඳුන්වන අතර උන්වහන්සේට එම ඥානයෙන් ආවර්ජනය කෙරෙන සියල්ලම ඉතා පිරිසුදුව දැකිය හැකි වේ. මෙය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් සීමා වූ ඥානයක් බව සඳහන් වේ. එසේම තථාගතයන් වහන්සේ දසබල ඤාණයකින් යුක්ත බව ද පෙළ දහම මගින් අනාවරණය කර ඇත.

පළමුවන තථාගත බලය (ස්ථානස්ථාන දන්නා නුවණ)

දෙවන තථාගත බලය (කාලත්‍රය වර්ති කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ)

තුන්වන තථාගත බලය (සර්වත්‍ර ගාමිණී ප්‍රතිපත්ති දන්නා නුවණ)

හතරවන තථාගත බලය (අනේකධාතු, නානාධාතු ලෝකදන්නා නුවණ)

පස්වන තථාගත බලය (සත්වයන්ගේ නානාධි මුක්තිකත්වය දන්නා නුවණ)

හයවන තථාගත බලය (සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියන්හි දියුණු නොදියුණු බව දන්නා නුවණ)

හත්වන තථාගත බලය (ධ්‍යානාධීන්ගේ සංක්ලේෂාදිය දන්නා නුවණ)

අටවන තථාගත බලය (අතීත ජාතිය දන්නා නුවණ)

නවවන තථාගත බලය (සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ)

දහවන තථාගත බලය (ආසවක්ඛය ඥානය)

මෙම ඥාන බලයන් හැරෙන්නට තථාගතයන් වහන්සේට ලොව අන් කිසිවෙකුටත් සමකළ නොහැකි කාය බලයක් තිබූ බව අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කර ඇත.

මෙහිදී අප විසින් ඔබේ අවධානයට ලක්කළ සම්මා සම්බුද්ධ බුදුගුණයට අදාළ වූ ඉහත කරුණු එකඟ සිතින් මෙනෙහි කිරීම ඔබේ සැදැහැ බැතියත් ගුණ නුවණත් වර්ධනය කර ගැනීමට හේතු වනවා ඇත. මෙම උතුම් බුදුගුණය මෙනෙහි කිරීම තුළින් ලබන මහා පින් බලයෙන් නිවන් සුව පසක් කර ගැනීමට අධිෂ්ඨානය කර ගනිමු.

 බුදුසරණ අන්තර්ජාල කළාපයෙනි

 කොළඹ 06 හැව්ලොක්
සිටි සාම විහාරාධිපති ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි

දඹදිව විහාරස්ථාන වන්දන ගථාවන් Dambadiva Vihara vandana Gathawan




ලුම්බිණි විහාරස්ථානය

ලුම්බිණි විහාරය
අශෝක ස්ථම්භය
ලුම්බිණි විහාරභූමියේ ඉපැරණි නටඹුන්
සිදුහත් කුමරුගේ පාසටහනක් යැයි සැලකේ

ලුම්බිණි විහාරය

මායාසුතෝ සුගත සාකිය සීහනාථෝ
ජාතක්ඛණේ සපදසා මහි චංකමිත්වා
යස්මිං උදීරයි ගිරිං වර ලූම්බිණිම්හි
තං ජාත චේතියමහං සිරසා නමාමි

මායා බිසව්ගේ කුසින් – වැඩි බෝසතාණෝ

ඒ මොහොතෙ දී පියවරින් – සක්මන් කළෝ මෙහි
විහිදූ මිහිරි සිහනදින් – ලූම්බිණී උයන්හී
ඒ ජාත චේතිය උතුම් – සිරසින් වඳිම් මම්

බුද්ධගයා විහාරස්ථානය

මාහාබෝධි විහාරය

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ
බුද්ධගායා විහාරය
මහා බෝධි විහාරයේ භුමිස්පර්ශ බුදුපිළිම වහන්සේ

බුද්ධගයා විහාරය

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතිය මහා සිරසා නමාමි

වාඩි වී වජිරාසනේ මත– වීරියෙන් දිනු බුදු රජාණෙනි
නේක දොස් ඇති සියළු කෙලෙසුන්– නසා ජය ගත් මුනි රජාණෙනි
ඤාණබලයෙන් යුතුව සම්බුදු– බවට පත් වූ සිහරජාණෙනි
බෝධිචේතිය වඳිමි සිරසින්– සිතා සම්බුදු ගුණ සුවාමිනි

බරණැස ඉසිපතන මිගදාය විහාරස්ථානය

බරණැස ඉසිපතන ආරාමය

ඉසිපතන ආරාමයේ නටඹුන්

ධම්මික ස්ථූපය

සම්කම්පයං දස සහස්සිය ලෝකධාතුං
දේසේසි යත‍්‍ර භගවා වර ධම්මචක්කං
බාරණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමි

කම්පා කරවමින් සහස්සී – දසලෝකධාතූ
දෙසු සේක අප සම්බුදුන් – ධම්සක් දෙසුම් ඒ
බරණැස් පුරේ අසල වූ – මිගදාය වනයේ
ඒ ධම්ම චේතිය උතුම් – සිරසින් වදිම් මම්

මහා පරිනිර්වාන විහාරස්ථානය

මහා පරිනිර්වාන විහාරය
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනයකල ස්ථානය ( ආදාහන චෛත්‍යය)
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩසිටින විට සිරිපතුල් ඉදිමී ඇති අවස්ථෘව
මහා පරිනිර්වාන පිළිම වහන්සේ
මහා පරිනිර්වාන පිළිම වහන්සේ
කත්වාන ලෝකහිතමත්ථ හිතං ච නාථෝ
ආසිතිකෝව උපවත්තන කානනම්හි
යස්මිං නිසජ්ජ භගවා නිරුපාධිසේසං
නිබ්බාණ චේතියමහං සිරසා නමාමි

ලෝ සත කෙරෙහි හිත සුවේ – යෙදුවෝ තිලෝනා
වැඩි සේක සාල උයනට – අසූ වෙනි වියෙහි දී
යම් තැනක සැතපී සිට – පිරිනිවන් පා වදාළෝ
නිබ්බාන චේතිය උතුම් – සිරසින් වදිම් මම්

සම්බුදු පහසින් පූජනීය මහියංගණ පුදබිම (දුරුතු පොහොය)



ලක්දිවදී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමන සමන් දෙවියන් ඉතිහාසගත ගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භුමියෙහි නිදන් කිරීම ස්තූප නිර්මාණයේ මූල අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් දමහියංගණයට සුවිශේෂත්වයක් හිමිය. ඉඳුනිල් මැණිකෙන් සමන් දෙවියන් විසින් එම ස්තූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වයි.

මහවැලි ගංගා නදීනිම්නයේ පිහිටි තුන්යොදුන් දික් වූ එක් යොදුන් පළල් වූ මහානාග නමින් හැඳීන් වූ මෙම බිම් කඩමහියංගණය නමින් එවකට හැඳීන් වූ බව මහාවංසයෙන් පැහැදිලිවේ. එමෙන්ම දීපවංසයෙහිමහියපොක්ඛල’ නමින් මහියංගණය හඳුන්වා තිබේ
වසර දෙදහස් හයසිය ගණනක් මුළුල්ලේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ, ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය කියවන හා ලියන සැමගේ පළමු අවධානය දිනාගත් මමහියංගණ පුදබිමේ ඓතිහාසිකත්වය සාහිත්යික මුලාශ්‍රයනට අනුව ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට සීමා වූව ද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බවට සාක්ෂි ශේෂව තිබේ. මහවැලිගං නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිවන අතර එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසින්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වාමහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. 

බුද්ධත්වයෙන් නවවැනි මස එලැඹි දුරුතු පුරපසළොස්වක් දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණින් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත. ශ්‍රී ලාංකේය වංසකථාවනට අනුව බුදුරදුන්ගේ පහස ලද පළමු ලක්දිව භූමිකලාපය ලෙසින්මහියංගණය දක්වා ඇති අතරම උන්වහන්සේගේ පළමු කේශධාතු නිදන් කොට මෙරට ඉදිකළ ප්‍රථම සත්රියන් ස්තූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්තූප කලාව ලංකාවට හඳුන්වා දුන් කලාපය ලෙසින් ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම සරභූ මහරහතන්වහන්සේ විසින් බුදුරදුන්ගේ අදාහන සෑයෙන් ලබාගත් ග්‍රීවා ධාතුව නිදන් කොට පළමු මහියංගණ ස්තූපය දහඅට රියනක් කොට ගොඩනංවන ලද බව ද වංසකථාව දක්වන තොරතුරෙන් මෙම පින් බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට තිබේ. බුදුරදුන්ගේ පළමු ලංකාගමනයේ දී දිවයිනට රැකවරණ පිණිස පිරිත් දේශනා කොට මහියංගණ ථූපය පිහිටන ස්ථානයෙහි සමාධියට සමවැද එහි රැස් වූ දේව සමුහයාට දෘෂ්ට ධර්ම සම්පරායික අර්ථයන් ප්‍රකාශවන්නා වූ ඔවුන්ට යෝග්‍ය වූ ධර්මදේශනාවක් ද කළ බව වංසත්ථප්පකාසිනීය සඳහන් කරයි.

සරභු හිමියන් විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ග්‍රීවා ධාතුව ද දහ අටරියන් උස්වන ලෙසට නිමවන ලද ස්තුපයක නිධහන් කළ බව වංසකථා දැක්වීමෙන් මහියංගණ ස්තූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකාර දැයි සිතිය හැකිය. මෙහි ගී‍්‍රවා ධාතුව තැන්පත් කරන අවස්ථාවේිමේදවණ්ණ පාෂාණ’ නම් ගල් විශේෂයක් ගෙන එන ලද සීවලී හා සුමණ නම් සෘද්ධිමත් කුඩා සාමණේර දෙනමක් ගැන වංසත්ථප්පකාසීනීය දක්වයි. එමෙන්ම ස්තූප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වය ද එහි දී මතු කෙරේ. බුරුම රට මහා විජිතාවි නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙස ටීකාවේ මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑය මෙන් ලෝකයේ ප්‍රකටමහියංගණනම් චෛත්‍ය පිළිබඳව වර්ණනාවක් කර තිබේ. 

බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටූවීමෙන් අනතුරුවමහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ.මහියංගණය හා ඒ ආශ්‍රීත කලාපයේ බෞද්ධ පුනරුදයක් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ සිටම පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය. ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂුන් විෂයෙහි කළ ලෙන් රැසක් මහියංගණ ස්තූපයට දකුණින් සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි ඔලගංගලින් හමුවේ.

දේවානම් පිය තිස්ස සමය තුළදීම ඔහු සොහොයුරු උද්ධ චුල්ලාභය කුමරුමහියංගණ ස්තූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකථාව දක්වන අතර මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්තූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් තිදෙතිස් ඵල මහාබෝධින් ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තව දුරටත්මහියංගණය පින් බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ශනීයත්වය දිනා ගැනීමට සමත්ව ඇත.

දුට්ඨගාමණි රජු දවස මහියංගණ හා ආශ්‍රීත කලාපය වඩාත් සුවිශේෂ භුමියක් ලෙසින් ඉතිහාසගතය. දුට්ඨගාමණි සිය සටන් ව්‍යාපාරය එළාරට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින් දමහියංගණය ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබූ අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුට්ඨගාමණිට නිතැතින්ම හිමිවේ. දමිළ පිරිස් මෙසේ මෙම ප්‍රදේශයට පැමිණියේ ස්තූපයේ තැන්පත්ව තිබූ රන් කොල්ල කෑමට බව රාජාවලිය කියයි. එම පුවත කෙතෙක් දුරට නිරවද්‍ය ද යන්න ස්ථිරව කිව නොහැකි නමුත් දුට්ඨගාමණි රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු විසින් මහියංගණ ස්තූපය රියන් අසුවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණයන් නිමවා මෙම බෞද්ධ පුණ්‍ය භුමියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත. සොරබොර වැව ද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සු බ්‍රෝහියර් මහතා ඒවා දුට්ඨගාමණි රජුගේ මාලිගයේ නටබුන් විය හැකි යැයි අනුමාන කරන මුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය. 

දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජුමහියංගණ ස්තුපය ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්‍ථවනගල්ලවිහාර වංසය කියයි’ අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිවුවැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සක්ෂි වංසකථා තුළින් හෙළිදැක්වේ. සිවුවැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳපළේ නීති කඩ කොට අසුවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩමුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණි ඇති බවත් සනාථ වේ. 

පොළොන්නරු සමයේදී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබාදී තිබේ.
එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරෙ පිළිසකර කිරිම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී ඇත. මහනුවර රාජධානි සමයේ ද වීර පරාක්‍රමබාහු, සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරීය, වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින් බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩි දියුණූ කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කිර්තී ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි. 

වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජොති මාහිමියන්ගේ මුලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තුපය 1871 දී පිළිසකර කිරිම් ඇරඹුණ අතර 1890 දී එහි කොත පළඳවා ප්‍රකෘතිතත්වයට පත් කරන ලදි’ 1922 වන විට නැවතත් අබලන් වූ ස්තුපය අඹගස්වැවෙි රතනජෝති හිමියන්ගේ මුලිකත්වයෙන් වැඩ අරඹන ලදි. 

1949මහියංගණ විහාරවර්ධන සමිතියේ මුලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක් ද යන්න ද අනාවරණය විය. 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධික්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව් වීමත් සමඟමහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකථාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගැනීමට ද මං විවර විය.එමෙන්ම ස්තූපයේ ගඩොල් පරික්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලි හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණී. 

මහියංගන ස්තුපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇත.මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. 

මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පින්බිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදු හදවත් සනහා ලු අතර පෞරාණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් බව කීම අතීශෝක්තියක් නොවනු ඇත.


 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි 

බුදුසරණ පත්‍රයේ උපුටා ගැනීමකි