(වප්පුරපසලොස්වක පොහොය) කඨින පූජෝත්සවය හා සබැඳි සමාජ යථාර්ථය


බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින් සැලකේ.


අකාලික වූ දහමක් ලෙසින් විවරණය කෙරෙන බුදු දහම තුළ පුද්ගලයා හා සමාජය පිළිබඳ ගැටලුව හා එහි යථාර්ථවත් බව විමර්ශනය සිදු කරන අතර මානව සන්තාන ගත සිතුවිලි හා එහි සංයත බව ඇති කරනු වස් නිවැරදි පිළිවෙතක් වෙත පුද්ගලයා යොමු කරවනු ලබයි. පුද්ගල සමූහයකින් සමන්විත සමාජයක පුද්ගල චින්තනය ද විවිධය. ආගම හා බැඳෙන පුද්ගල බද්ධතාව ඒකීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ කිරීම හා යොමු කිරීම පහසු කාර්යයක් නොවේ. 

ආගම තුළින් පුද්ගල සංයත බව ඇති කරනු ලබන අතර පුද්ගල නිෂ්ඨාවක් වෙත යන ගමනට අර්ථාන්විත බවක් ලබාදෙයි. බුදු දහමේ මූලික පරමාර්ථය නිවන වුවද නිවන තෙක් යන ගමනේ දී කායික හා මානසික සුඛ විහරණය හා එහි යථාර්ථවත් බව බුදු දහම විසින් නිරතුරු සනිටුහන් කරනු ලැබේ. මේ නිසා පුද්ගල බද්ධතාව වඩා තහවුරු කරමින් සාමය සමඟිය හා පොදු බව මානව සිතුවිල්ලට හා ක්‍රියාකාරීත්වයකට එක්කොට ආත්මාර්ථිත බවින් පුද්ගලයා නිදහස් කොට පොදු පරමාර්ථයකට යොමුවීම ඔස්සේ මමත්වයෙන් තොර ජීවන ගමනකට යොමුවීමක් ද දක්නට ලැබේ. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ සිත හා සිතිවිලිවලට මූලික තැනක් හිමි වුව ද සිත හා සිතිවිලි දමනයටත් ගතේ සිතේ සංවර බව ද අනෙක් පසින් උපනිශ්‍රය වන බව පැහැදිලිය. මේ නිසා මුල් බුදු සමයට වඩා පසු කාලයේදී ආගම පදනම් කරගත් උත්සව සම්ප්‍රදාය වඩාත් සංවර්ධනයක් වෙත ගමන් කිරීමේ එක් අරමුණක් වන්නේ සමාජය තුළ සදාචාරය මෙන්ම සංවරත්වය ඇති කිරීමය. ජනපි‍්‍රය ආගමක් බවට බුදුසමය පත්වීමට ජනවිඥානයට ගැළපෙන ආකාරයෙන් ධර්ම කරුණු සකස්වීමද එහි ප්‍රායෝගිකත්වයට ජනතාව නැඹුරු කිරීමක් ද විය. ගිහි පැවිදි දෙපාර්ශ්වයේ සංයත බව මතු කෙරෙන ආගමික පදනමක් ඇති උත්සවයක සමාරම්භය වස් සමාදානයෙන් ආරම්භ වේ.


ආගමික උත්සවයක සමාරම්භය
එදා දඹදිව බ්‍රාහ්මණ හා අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන් නියෝජනය කළ පිරිස් විසින් වැසි සමය එළඹෙත්ම එක්තැන්ව ගත කළ දිවිය ආදර්ශයට ගනිමින් හා මහජන මතයට ගරු කරමින් භික්ෂු දිවියට ද එම ගුණාංගය එකතු කරලීමට බුදුරදුන් ගත් තීරණයක් ලෙසින් වස් සමාදානය අර්ථ ගැන්විය හැකිය. “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යන බුදුවදන ප්‍රඥප්තියක් හැටියට ගරු කළ උපසපන් ලාභී භික්ෂුව වැසි සමය උදාවත්ම විසීමට සුදුසු තැනක් සොයා යන අතර දායකකාරකාදින්ගේ සිවුපසය ලබමින් සිය ආධ්‍යාත්මීය පාරිශුද්ධියට මෙන්ම සිය දායකකාරකාදීන්ගේ විමුක්ති මඟ සවිමත් කරලීමට සිය උපදේශනය ලබාදීමට ද කටයුතු කරනු ලබයි. තුන් සිවුරට අමතරව තවත් සිවුරක් තබා ගැනීමට අවසරය දීමක් ලෙසත් වස් විසූ භික්ෂුවට කඨිනයක් ලබා ගැනීම සුදුසු බව බුදුහු අනුදැන වදාළ අතර එම චීවර පූජාව අට මහා කුසලයට ගැනෙණ පින්කම ලෙසින් ද සමාජ ගතවීම හරහා කඨිනයත් කඨින පූජාවත් බෞද්ධ ලෝකයේ මහාපූජෝත්සව ගණයට එකතු වේ. බුද්ධ කාලයෙන් පසු අවධිය ගම්, නියම්ගම් හා ජනපද ඇසුරින් රාජරාජ මහාමාත්‍යයවරුන්ගේ අනුග්‍රහ ලැබූ බෞද්ධ පින්කම් අතර කඨිනය මුල් කරගත් පින්කම වාර්ෂික බෞද්ධ පින්කම අතර ප්‍රධාන පින්කම බවට පත්ව තිබේ. 


ප්‍රධාන කුසලය
වස් සමය ලෙසින් සැලකෙන තුන්මාසයක් මුළුල්ලේ භික්ෂුවට සිව්පසයෙන් උපස්ථානය කළ දායක කාරකාදීනට උන්වහන්සේ මුල් කරගනිමින් අටමහා කුසල් අතර ප්‍රධාන කුසලය ලෙසින් සැලකෙන කඨින පූජාවක් සිදු කිරීමට ලැබීම මහඟු අවස්ථාවක් ලෙසින් සැලකිය. එය නිවනින් කෙළවර වෙන නිවන තෙක් නොනැසෙන පින්කමක් ලෙස ජන හදවත්වලට එකතුවීම නිසා උපහාරයන් දක්වමින් ගෞරවාන්විතව පූජා කරනු ලබන චීවරයක් බවට කඨින චීවරය පත් කරලනු ලබයි. එය හුදෙක් පින්කමෙන් ඔබ්බට ගිය බෞද්ධ සමාජයට සමගිය සමාදානය එකතු කරන, වාද භේද දුරලන, සමානාත්මතාවය තහවුරු කරනු ලබන මහ පින්කමක් ලෙස බෞද්ධ සමාජය තුළ වර්ධනය වීම බෞද්ධ අනන්‍යතාව හා සංයත බව තහවුරු කරන උත්සවයක් ලෙසින් සැලකේ. ගිහි පැවිදි සබඳතාව ශක්තිමත් කරලනු ලබන කාලයක් ලෙසට වස් කාලය සැලකෙන අතර කඨින චීවරය විසින් එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කරලනු ලබයි. බොදුනුවන් තුළ වන කඨින චීවරයට ඇති ලැදිකම, භික්ෂුව කඨින චීවරය දැරීම, ඊට කරනු ලබන සිරිත් විරිත් ආදිය භික්ෂුවට සිය දායක පිරිස ළඟාකරවීමක් විය. එමෙන්ම චීවරය සකස් කර ගැනීම හරහා සෑම දෙනාගේ දායකත්වය ආධාරය උපකාරය උස් පහත් භේදයකින් තොරව ලබාදීම ඔස්සේ එම චීවරය දරන භික්ෂුවට ගිහි පාර්ශ්වය සමීප කරනු ලැබීය. මෙම ද්වන්දාත්මක බන්ධනය දෙපාර්ශවයේම ශික්ෂණයට එක් අතකින් හේතු වූවා පමණක් නොව, අනික් අතින් දෙපාර්ශ්වයේම විමුක්ති මඟ සැකසීමක් ද වේ. සාමයට හා සමානාත්මතාවයට එමඟින් ලැබුණු අවකාශ පුළුල් විය. ගමත් එය පිහිටි ප්‍රදේශයත් එකට එක් කළ ප්‍රධාන පින්කම හැටියට කඨින පූජාව වර්තමානය වන විට පන්සල කේන්ද්‍රිතව වර්ධනය වී තිබේ. ගමේ ජීවත් වන ලොකු කුඩා සැවොම එක්ව බෙරහඬ මැද සාදු නාද දෙමින් පෙරහරකින් දායක නිවසක සිට අලුයම කාලයේ හිස මත තබා වැඩමවන කඨිනය ගම්මුන් දරන්නේ ගමට කරනු ලබන ආශිර්වාදයක් ලෙසටය. ගම පුරා හිස මත තබා වැඩමවන චීවරය අර්ථවත් කරන ලද්දේ ආගම හා ජනයා අතර පවතින අවියෝජනීය සබඳතාවයයි. සැවොම එකට එක්ව සාදු නාද දෙන්නේ හද පිරි සතුටිනි. පෙරහරින් විහාරස්ථානය කරා ගෙන එනු ලබන චීවරයක් සැකසීමට සුදුසු රෙදි කඩ (දුස්සය) සෑම දෙනාම මහත් බැතියෙන් සාදු නාද මධ්‍යයේ භික්ෂූන් වහන්සේට පූජා කරනු ලබන්නේ මහත් ශ්‍රද්ධාවෙනි. සෑම දෙනාම සම මෙත් සිතින් එකම තලයක වාඩි වී අපිරිමිත බැති සිතින් භික්ෂුව වෙත පුදන චීවරය සැකසීමට සුදුසු රෙදි කඩින් සකසන චීවරය සිය දෙඅතින් තබාගෙන උපාසක ලීලාවෙන් සඟ සතු කරනු ලබන්නේ වාද භේදාදියෙන් තොර සමානාත්මතාවය මූර්තිමත් කරමිනි. මේ නිසා කඨින චීවර පූජාව මතු පිටින් දැක්වෙන තත්ත්වයට වඩා සමගිය, සමාදානය, සහෝදරත්වය, මිත්‍රත්වය තහවුරු කෙරෙන මානව දයාව වැනි සදාචාරයට පසුබිම සකසන බෞද්ධ පුද පූජාවන් අතර සමාජය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනු ලබන පින්කමක් ලෙසින් ද තවත් පසෙකින් අර්ථ විවරණය කළ හැකිය. 

බ්‍රාහ්මණ හා ශ්‍රමණ සම්ප්‍රදාය තුළ වැස්ස කේන්ද්‍රකොට එක්තැන්ව විසීමේ පිළිවෙත අරුත් ගන්වමින් නව දැක්මක් මත ඇති කෙරෙන වස්වැසීමේ සම්ප්‍රදායත් වස් අවසානයේදී වස් සමාදන් වූ භික්ෂූන් කේන්ද්‍රකොට කරනු ලබන කඨින පූජාව සම්බන්ධිත න්‍යායාත්මක පදනම බුද්ධ දේශනයෙන් ඉදිරිපත් කළ ආකාරය මහාවග්ග පාලියේ වස්සුපනානායිකඛන්ධකයෙන් අනාවරණය වේ. වස් සමාදානයේ සිට කඨින චීවර පූජාව දක්වා වූ න්‍යායාත්මක පදනම හා චාරිත්‍ර හා වාරිත්‍රයන් මෙමඟින් අවධාරණය කෙරේ.
ඒ අනුව බොදුනුවන්ගේ සංසාරික අභිමථාර්ථයන් ඉටු කෙරෙන මහා පිනක් මෙමඟින් අත්පත් කරගන්නවා පමණක් නොව, අනෙක් අතට අව්‍යාජත්වය, සදාචාරය ශක්තිමත් කෙරෙන බැම්මක් ලෙසටත් අභ්‍යාසයක් ලෙසටත් වාර්ෂිකව සිදු කරන කඨින පූජාව හඳුන්වාදිය හැකිවන අතර බෞද්ධ ජනයාගේ එකමුතුකමේ සංකේතාත්මක බව පෙන්වාදිය හැකි අවස්ථාවක් ලෙසටත් බෞද්ධ සමාජයේ යථාර්ථයන් මතුකිරීමක් ද කඨින පූජාව තුළින් ඉටු කෙරෙන බව සඳහන් කිරීම නිවැරදිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හගුරන්කෙත ධීරානන්ද හිමි 

බුදුසරණ අන්තර් ජාල කලාපය


The buddha

The Buddha බුදුරාණන් වහන්සේ

අප දකින රහත් බලය





අප බෞද්ධයන් වශයෙන් නිරන්තරයෙන්ම සාධු කියා මහහඬින් ශබ්ද කරමින් ප්‍රාර්ථනා කරන්නේ රහත් බවට පත් වීමේ වාසනාව අපට උදාවේවා කියන උත්තරීතර පැතුම් යි. මේ තත්ත්වයට ඇත්තෙන්ම පත් වීමෙන් අප අපේක්ෂා කරන්නේ සංසාර ගමනේ කෙළවරක් දැකීමටයි. ඒ මොකද අප නිරන්තරයෙන් ම කාමභෝගී සත්වයන් ලෙස විවිධ ගැටලුවලින් නිරතුරුව ම පෙළෙමින් ඒ ගැටලුවලට මැදි වී සැනසීමක් නැතුව ජීවත් වන සාංසාරික සත්ත්වයන් බවට පත් වී සිටින නිසයි. මේ නිසා මේ රහත් බව යන වචනය ඇසෙන පමණින් අපේ උපාසක උපාසිකාවෝ සාධුකාර දෙන්නට යොමු වෙනවා. එහෙම නම් මේ රහත් බවේ කිසියම් බලගතු ශක්තියක් බලයක් තිබෙන්නට ඕන කරනවා. බුදුරජාණන් වහන්සේ රහත් බවේ ශක්තිය කුමක්ද යන්න පැහැදිලි කර දීම සඳහා ඛීණාසවබලනමින් ම සූත්‍රයක් රැයක් දේශනා කර තිබෙනවා. අංශ්‍රව හෙවත් සත්වයා සසර බැඳ තබන සිත කිලිටි බවට පත් කරන කෙලෙස් සිඳ බිඳ සහමුලින් නැති කිරීම යන අර්ථය මේ බීණාසවයන වචනයෙන් තේරුම් කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කර තිබෙන්නේ ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ වැනි ඛීණාශ්‍රවයන් වහන්සේ සමඟ සැවැත් නුවර ජේතවනාරාමයේ දී කෙරෙන ධර්ම සාකච්ඡාවක ආකාරයෙන්, සැරියුත් මහ රහතන් වහන්සේ සමඟ මේ සාකච්ඡාව පැවැත් වීමෙන්ම ඛීණාශ්‍රවයන් වහන්සේ නමක් සතු ශක්ති හෙවත් බල පිළිබඳ අපට පැහැදිලි වන්නේ මෙම රහත් බවට කෙතරම් බලගතු උත්තරීතර මානසික තත්ත්වයක් ලැබී තිබෙනවා ද යන්නයි.
 
පළමුවන බලය
එවැනි ඛීණාශ්‍රව බල අටක් මෙහිදී කියැවෙනවා. එහිදී පෙන්වා දී ඇති පළමු වැනි බලය වන්නේ රහතන් වහන්සේ ලෝකයේ පවතින සියලු ම දෑ සංස්කාර ගණයට වැටෙනවා. ඒ සංස්කාර සියල්ල අනිත්‍යයයි. ඉතින් මේ කාරණය බෞද්ධයන් වශයෙන් අප කියනවා. පිළිගන්නවා. සබ්බේ සංඛාරා අනිච්චායනුවෙන් මේ පාඨ ඉදිරිපත් කර අප දේශනාත් පවත්වනවා. ඇත්තෙන්ම අප කිසිවෙක් එය අනිත්‍ය බව මනා නුවණින් හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එහෙත් රහතන් වහන්සේට මෙය බලයක් වන්නේ උන්වහන්සේ විසින් මෙම සංඛාර අනිත්‍යය වශයෙන් මනා නුවණින් දැක තිබීම යනු එය තවත් දකින්නට විමසන්නට දෙයක් නැති ලෙස සහමුලින්ම හරියට ම දැක තිබෙනවා. ඒ නිසා සංස්ඛාර පිළිබඳ උන්වහන්සේගේ ඇලීමක් ඇති වන්නේ නැහැ. දැන් අප එහෙම පිරිසක් නොවෙයි. අපිත් ඛීණාශ්‍රවයන් වහන්සේ සතු ඒ ශක්තිය ඒ ආකාර ම බව වචනයෙන් ප්‍රකාශ කරනවා. එය පිළි ගන්නවා. ඒ වුණත් ඒ අපි සංස්ඛාරයන්ගේ ඇලෙනවා. යම් යම් දේ ගැන ආශාව බැඳීම ඇති කරගන්නවා. එහෙම වුණත් රහතන් වහන්සේ තමන් වහන්සේ තුළින් මේ ආශ්‍රවයන් සපුරා ම ඉවත් ව ඇති බව පසක් කරගෙනයි උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් කරන්නේ. උන්වහන්සේ කෙසේවත් මේ තාවකාලික සංස්ඛාරයන්හි ඇලෙන්නේ නැහැ.
 
දෙවන බලය
දෙවන බලය ලෙස මෙහිදී පෙන්වා දී තිබෙන්නේ මෙම සිත කිළිටි කරන කෙලෙස් හෙවත් කාමයන් ගිනිගෙන දිලිසෙන අඟුරුවළක ආකාරයෙන් උන්වහන්සේ දකිනවා. සත්වයාගේ සිත මේ ආකාරයෙන් මෙම කාමාදි ආශ්‍රවයන් නිසා දැවෙන, රත්වෙන ආකාරය මනානුවණින් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. අඟුරුවළකට මෙම කාමයන් උපමා කොට රහතන් වහන්සේ දකින්නේ අඟුරුවල ඇතුළේ පමණක් නොව එය වටේ හාත්පසින්ම රත්කරවන ස්වරූපයකින් යුක්ත වන නිසායි. මේ ආකාරයෙන් සත්වයාගේ සිත කාමාදී ආශ්‍රයන්ගෙන් දැඩි ලෙස පෙළෙන ආකාරය උන්වහන්සේ මනා නවුණින් දැන ගෙනම එම බලය තමන් සතු බව අත්විඳිනවා.
 
තෙවන බලය
රහත් බවේ තෙවන ශක්තිය ලෙස ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේගේ සිත නිරන්තරයෙන් ම පලසමවත් සුවයට යොමුවන බවයි. එයින් ප්‍රකාශ වන්නේ උන්වහන්සේගේ සිත නිරන්තරයෙන් ම වෙනත් යහපත් අරමුණක නො ගැටී සිටින හැම අවස්ථාවක ම උන්වහන්සේ යොමු වන්නේ තමන් වහන්සේ විසින් උදාකර ගත් මෙම නිවන් සුවය අත් විඳීමටයි. කෙලෙස්වලින් දුරු වූ නිසා සැබවින්ම මනා වූ පැවිදි බවට පත්ව එම පැවිදි සුවය අත්විඳිනා බවක් එයින් කියැවෙනවා. එමෙන් ම කිසිදු ආකාරයකින් කෙලෙස්වලට හටගැනීමක් ඇතිවන කිසිම නිමිත්තක් උන්වහන්සේට අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. එයින් තමන් වහන්සේ ම මේ රහත් බවේ සුවය අත්විඳිනවා. නිවන් සුවය කෙබදුදැයි උන්වහන්සේට විස්තර විවරණ සැපයීමක් කාගෙන්වත් අපේක්ෂාවක් නැහැ. එය උන්වහන්සේ තත්ත්වාකාරයෙන්ම අත් විඳිනවා. ආශ්‍රවයන් තමන් කෙරෙන් දුරු වී ඇති ආකාරය උන්වහන්සේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.
 
සිවුවන බලය 
එමෙන් ම රහත් බවේ සිවුවන බලය හෙවත් ශක්තිය වන්නේ උන්වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන මේ සතර සති පට්ඨානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව වඩා ඒ සියල්ල මැනවින් අවබෝධ කොට අවසන් කර ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ වචන මට්ටමෙන් අප මේ අනුපස්සනා හතර ගැන කියනවා. ඒ වගේම ධර්මානුකූලව විස්තර වශයෙන් දැන ගෙන ප්‍රකාශ කරනවා. ධර්ම සාකච්ඡාවක් මාතෘකා වශයෙන් යොදා ගෙන සාකච්ඡා කරනවා. එහෙත් ඒ අප එසේ කරන්නේ මේ සතර සතිපට්ඨාන වැඩීමකින් අවසාන වශයෙන් යථාවබෝධයකින් තොරවයි. එහෙත් රහතන් වහන්සේ ඒ රහත් බවට පත්වීම යන්නෙන් ම අදහස් කරන්නේ උන්වහන්සේ යථාවබෝධ වශයෙන් එම සතර සතිපට්ඨාන මැනවින්ම වැඩීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් ඥානයෙන් යුක්ත වන බවයි. එය සතරවන බලය ලෙසයි සඳහන් වන්නේ.
 
පස්වන බලය
මී ළඟ පස්වැනි බලය හෙවත් ශක්තිය ලෙස පෙන්වා දෙන්නේ රහතන් වහන්සේ ඡන්ද, චිත්ත, වීරිය හා විමංසා යන සතර සෘද්ධිපාද මැනවින් වඩා එහි ද සම්පූර්ණත්වයට අඩුවක් නොමැතිව පැමිණ ඇති බවයි. මේ යෝගාවචරයන් හෝ භික්ෂුවක් නිවන් අරමුණුූ කොට සිත සමාධි ගත කිරීමෙන් භාවනාව වැඩීමේ දී මෙම සතර සෘද්ධිපාද සියල්ල සපුරා ගත යුතුව ඇත. මේ අනුව යෝගාවචරයා ඡන්දය හෙවත් ඒ අරමුණ වෙනුවෙන් කැපවීමේ කැමැත්ත අධික කොට ගෙන සිතේ ඒකාග්‍රතාව ඇති කිරීම ප්‍රධාන කොටගෙන සෘද්ධිපාදය මෙන්ම වීර්යය, චිත්ත, විමංසා යන තුනෙන් එකක් මුල්කරගෙන සෘද්ධිපාදයන් වඩන විට එහි විශාරදත්වයට එම යෝගාවචරයා පත් වෙනවා, දැන් මෙයින් අදහස් කරන්නේ මෙම ඉහළ තත්ත්වය ඇති කර ගැනීමද රහත් බවේ තවත් බලයක් ශක්තියක් ලෙසයි.
 
සයවන බලය
මීළඟට රහත් බවේ සයවැනි ශක්තිය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරදෙන පරිදි සද්ධා, වීරිය, සති, වීරිය, සමාධි හා පඤ්ඤා යන පහ පඤ්ච ඉන්ද්‍රිය වශයෙන් සැලකෙන අතර නිවන්මග පසක් කර ගනු පිණිස මේ පහ ම අවශ්‍ය කරන ඉන්ද්‍රිය පහක් ලෙසයි මෙය හඳුන්වා ඇත්තේ. එනම් එම පස් ඉඳුරන් මඟින් නිවන් අවබෝධ කර ගැනීමේ ශක්තිය උදා කරගන්නා බවයි. මේ අනුව මෙම ඉන්ද්‍රිය පහ පිළිබඳ අවශ්‍යතා සියල්ලම අඩුවක් නොමැතිව සපුරා ගෙන ඇති බව රහතන් වහන්සේට සෘජුව ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති බව කියැවෙනවා.
 
සත්වන බලය
රහත් බවේ සත්වැනි ශක්තිය හෙවත් බලය ලෙස බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයෙන් ප්‍රකාශ කරනවා. චතුරාර්යසත්‍යාවබෝධය පිණිස අවශ්‍ය කරන බෝධ්‍යාංග සතු මෙ ආකාරයෙන්ම සපුරාගෙන ඇති බව. එම හත නම් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන මේවා යි. නිවන් අවබෝධ පිණිස මේ හත සම්පූර්ණ කරගෙන තිබිය යුතුව ම පවතිනවා. එම උත්තරීතර රහත් බවට පත් වූ ආර්ය උත්තමයා තමන් සතුව එම ශක්ති හෙවත් බල පහ සම්පූර්ණයි කියා සෑහීමට ද පත්වෙනවා.
 
අටවන බලය
අවසාන හෙවත් අටවැනි බලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ රහත් බවට පත් උත්තමයා තමන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින්ම පසක් කර ගෙන ඇති බවයි. මෙයින් අදහස් කරන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මේ අංග අටෙන් සමන්විත ආර්ය මාර්ගය ප්‍රතිවේධ කර ගෙන එහි කිසිදු අඩුවක් නො කොට සපුරා ගත් බවය.
 
උත්තරීතර ශක්තියක් හා බලයක්
මෙතෙක් අප විසින් බුද්ධ දේශනාව අනුව පැහැදිලි කෙරුණු රහත් බවේ මෙම බල ශක්ති අපට සම්පූර්ණ වීම රහත් බව යන්නෙන් අදහස් කෙරෙනවා. එහෙම නම් රහත් බවක් ලබන උත්තමයා මොන විදියෙන් මානසික වශයෙන් උසස් තත්ත්වයකට පත්ව සිටිනවා ද යන්න මෙයින් පැහැදිලි වෙනවා. එයින් පැහැදිලි වෙන තවත් කරුණක් වන්නේ මේ තත්ත්වයට පත් වන්නට ඇති කර ගත යුතු සූදානම කෙතරම් බරපතළ කාර්යයක් වෙනවා ද යන්නයි. තමන් තුළ මේ කියන බල ශක්ති අට සම්පූර්ණ වූ උත්තමයාට පමණක් එම උත්තරීතර තත්ත්වයට පත් වුණා යන්න නිවැරැදිව ප්‍රත්‍යක්ෂ වෙනවා. අප මේ හැම බලයක් ම විස්තර කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන නොව වාච්‍යාර්ථයෙන් ම පමණයි.
 
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

බිනර පොහොය

මෙහෙණ සස්නේ ආරම්භයයි බිනර පොහොයයි

බුදුපියාණෝ විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි පස්වන වස වැඩසිටියහ. මේ අවස්ථාවෙහි මහාප්‍රජාපතී ගෝතමිය රෝහිණී නදිය අසල දී පැවිද්ද ලබාගත් කුමාරවරුන්ගේ භාර්යාවන් පන්සියයක් සමඟ හිස් මුඩුකොට කසාවත් හැඳ බුදුරදුන් වැඩ සිටි කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. පනස් එක් යොදුනක් තරම් වූ දීර්ඝ මාර්ගය ගෙවා අධික වෙහෙසට පත් ඒ සැමදෙනා ඉදිමුන පා ඇතිව, දූවිලි වැකුණු ශරීරයන්ගෙන් යුක්තව පැමිණ සිටීම දුටුවන්ගේ හද කම්පා කරන සුළු විය. මේ අවස්ථාවෙහි එතැනට පැමිණි ආනන්ද හිමියෝ මහාප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන් පැවිද්ද ලබා ගැනීමේ ආශාවෙන් දුර මග ගෙවා කඳුළු සලමින් දුක්බරව පැමිණි පුවත අසා දැනගත්හ. අනතුරුව මේ පිළිබඳව බුදුරදුන්ට දැන් වූ නමුත් මුලදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ආනන්ද හිමි නැවතත් කරුණු දැක්වීය. පෙර බුදුවරුන් මේ ප්‍රශ්නය කවර ආකාරයෙන් විසඳුවේද යි බුදු නුවණින් සලකා බැලූ උන්වහන්සේ ඒ අනුව අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීමට අවසර දුන්හ. 

සාසන ඉතිහාසය විමසිලිමත්ව බලන විට කාන්තාවන්ට ශාසනයට ඇතුළු වීමට ඉඩකඩ මුල දී නොදීමට හේතු කිහිපයක් තිබූ බව පෙනී යයි. එයින් ප්‍රධාන කරුණක් වූයේ සසුන්ගත වූ පසු භාවනාදියෙහි යෙදෙමින් වනගතව හෝ විවේකස්ථානවල හුදෙකලාව වාසය කිරීම තුළින් සුචරිතවත් බව රැක ගැනීමට ඔවුනට අපහසුවීම එක් කරුණකි. එසේම මහාප්‍රජාපතී ගෝතමිය සමඟ පැවිද්ද ඉල්ලා රෝහිණී නදිය අසබඩින් පැමිණි කාන්තාවන් පන්සියය සම්පූර්ණයෙන් ශාසනික ප්‍රතිපදාව අනුව කටයුතු කිරීමේ සැදැහැවත් චේතනාවක් ඔවුන් තුළ නොතිබුණි. මෙයට ටික කලකට පෙර බුදුරදුන් රෝහිණි නදිය අසබඩට පැමිණි වේලෙහි මේ කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයෝ පැවිද්ද ලබාගෙන බුදුරදුන් හා වැඩම කළහ. එසේ ගිය ස්වාමි පුරුෂයන් සිවුරු හරවාගෙන ඒමේ චේතනාවක් පැවිද්ද ලබා ගැනීමට පැමිණි සමහර කාන්තාවන්ට තිබුණ පැවිද්ද ලබා ගැනීමේ අපහසුතාව කාන්තාවන්ට අවබෝධ කර දීමට අවශ්‍ය නිසාත් භික්ෂුණී ශාසනය ඇති කිරීම, පමා කළා විය හැකිය. 

අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් කාන්තාවන්ට මහණ උපසම්පදාව ලබා ගැනීමට අවස්ථාව උදාකළ බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. විමසිලිමත්ව බලන විට මේ අෂ්ට ගරු ධර්ම වශයෙන් දැක්වෙන කරුණු අට බුදුරදුන් විසින් පනවන ලදැයි පිළිගැනීමට සමහර විචාරකයෝ මැළි වෙති. එයට හේතු කීපයකි. බුදුරදුන් විසින් විනය නීති පැනවීම ආරම්භ කරන ලද්දේ බුද්ධත්වයෙන් විසිවන වර්ෂයේ සිට ය. එසේ තිබියදී විනය හා සම්බන්ධ වූ භික්ෂූන් විසින් පොහොය විචාරීම, උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කිරීම, ගරු ඇවතකට පත් භික්ෂුණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරීම යන කරුණු අෂ්ට ගරු ධර්ම අතර සඳහන් වෙතත් විනය ශික්ෂා පනවා නොමැති නිසා ක්‍රියාත්මක කිරීම අපහසු කාර්යයකි. එසේම ගරු ධර්ම අතුරෙන් හය වැන්නෙන් දැක්වෙන්නේ දෙ වසරක් කඩ නොකොට ශිෂ්‍ය මානාවකව කටයුතු කිරීමෙන් අනතුරුව උභතෝ සංඝයා ඉදිරියේ උපසම්පදා කළ යුතු බවයි. මහාප්‍රජාපතී ගෝතමිය සමඟ පැමිණි කාන්තාවන් එදිනම පැවිදිකොට උපසම්පදා කිරීමෙන් බුද්ධ නියමය එදිනම කඩකළ බවක් පෙනේ. භික්ෂුණීයකට බලපාන අන්දමකට භික්ෂු නමක් කවර අන්දමේ වැරැදි ක්‍රියාවක් කළත් ඒ පිළිබඳව කිසියම් චෝදනාවක් කිරීමට භික්ෂුණියකට නොහැකි බව හත්වන ගරු ධර්මයෙන් කියවෙයි. සදාචාර සම්පන්න සමාජයක් තුළ මෙවැනි නීති බුදුරදුන් පනවනු ලබත් දැයි සාධාරණ සැකයක් ඇති වෙයි. මේ අනුව බුදුරදුන් පනවන ලදැයි ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වන අෂ්ට ගරු ධර්ම පිළිබඳව විශේෂයෙන් පරීක්ෂා කළ යුතු බවක් පෙනේ. මහාප්‍රජාපතී ගෝතමියගෙන් ආරම්භ වූ භික්ෂුණී ශාසනය රෝහිණී නදිය ප්‍රදේශයෙන් පැමිණි කාන්තාවන් පන්සියයක් පැවිදි කිරීමත් සමඟ වර්ධනය වන්නට විය. රාජ වංශික කාන්තාවන් එක් පැත්තකින් පැවිද්ද ලැබීමත්, මාර්ගඵල ලැබීමට තරම් පූර්වකෘත පුණ්‍ය මහිමය ඇති බොහෝ කාන්තාවන් පැවිදි වීමත්, දුක් කම්කටොලු ආදියෙන් පීඩාවට පත් අය සසර කළකිරීමට පත්ව පැවිදිවීමත් වැනි කාරණා හේතුකොටගෙන භික්ෂුණී ශාසනය වේගයෙන් වර්ධනය වන්නට වූ බව පෙනේ. එක් පැත්තකින් මහාප්‍රජාපතී, ඛේමා ආදී රාජවංශික කාන්තාවන් ද තවත් පැත්තකින් පුණ්ණා, පටාචාරා, කිසාගෝතමී ආදී සාමාන්‍ය පන්තියේ කාන්තාවන්ද කිසිදු බාධාවකින් තොරව බුදු සසුනට ඇතුළුවීම සුවිශේෂ සිදුවීම් ය. ඉතා ඈත කාලයේ සිට කිසිම ශක්තියක් හෝ බලයක් නැතැයි යන අර්ථය ගෙන දෙන ‘අබලා’ නම ලැබූ කාන්තාවන්ට බුදු සසුනට ඇතුළු වීමට අවස්ථාව ලබාදීම තදබල විස්මිත කරුණකි. එපමණක් නොව කුල භේදයක් නොසලකා සසුන්ගත කිරීම තවත් විප්ලවීය කරුණකි. එයින් නොනැවතුන බුදුහු භික්ෂූන්ට මෙන්ම භික්ෂුණීන්ට ද අග්‍රශ්‍රාවිකා ආදී තනතුරු පිරිනැමීම හේතුකොටගෙන සිදුවූ සමාජ පරිවර්තනය සුළු නොවේ. 

ඇසළ මස අව පෑළවිය දිනයෙහි භික්ෂූන් වස් එළඹීමෙන් පසු බිනර පොහෝදා වන විට දෙමසක් කල් ඉකුත් වී ඇත. පොදුවේ කරුණු සලකන විට ගිහි පැවිදි සෑම දෙනාම වඩාත් පිළිවෙත්හි යෙදීමේ ලක්ෂණ මේ කාලය තුළ ප්‍රකට වෙයි. භික්ෂූන් වහන්සේ කමටහන් හදාරා වඩාත් භාවනාවට යොමුවීම මෙකල පොදු ලක්ෂණයයි. එසේම මේ කාලය තුළ කළ යුතු කාර්යය ගැන බුදුරදුන් දුන් උපදෙස් අපේ ධර්ම ග්‍රන්ථයන්හි මෙසේ දැක්වේ. 

ගිහීනමුප කරොන්තානං
නිච්චමාමිස දානතො
කරොථ ධම්ම දානෙන
තෙසං පච්චුපකාරකං 

 
භික්ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කරන සැදැහැවත් දායකයන් ශ්‍රද්ධාදී ගුණධර්මයන්හි පිහිටුවා ඔවුනට ද මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා අනුශාසනා කළ යුතුය යන්න බුද්ධ නියමයයි. එසේ නම් සසුන්ගත වූ සියලු භික්ෂූන් තමන් පමණක් නිවන් අවබෝධ කරගැනීමේ පරමාර්ථයෙන් මිදී හුදෙකලාව භාවනා කරමින් පසුවීම සමඟ කළ යුතු කාර්ය කීපයකි. තමා උතුම් පිළිවෙත් හි යෙදෙන ගමන් සිව්පසයෙන් උපස්ථාන කරන, ආරාම ආදිය ගොඩනඟමින් අනුග්‍රහ දක්වන, තම හිතවත් සැදැහැති දායක පිරිසට ද ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්හි පිහිටුවා දෙව්මිනිස් නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලබාදීමට භික්ෂූන් විසින් ක්‍රියා කළ යුතු ප්‍රධාන කරුණ වෙයි. බිනර පොහොය වැනි දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ආරාමයන්හි භික්ෂූන් අපමණ වෙහෙසක් ගෙන විවිධ කුසල ක්‍රියාවන් සඳහා තම දායක පිරිස යොදවමින් සිදු කරනුයේ ඉහත සඳහන් බුදුරදුන්ගේ අවවාදය ක්‍රියාත්මක කිරීමයි.

 සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය,
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක,
කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති,
ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
දිවියාගහ යසස්සි නා හිමි