මැදින් පුරපසලොස්වක පොහොය



මැදින්පුර පසළොස්‌වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයකි. බුදුරජාණන් වහන්සේ පියරජු ඇතුළු තම නෑයන්ට දහම් දේශනාකොට සදහම් මගට යොමු කළේ මැදින් පුර පෝදාය.

සුද්ධෝදන රජු තම පුත්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසුවූ අතර නව වතාවක්‌ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස්‌ යෑවීය. ඒ සියලු දෙනාම බුදුරදුන් සමීපයේ පැවිදිව එහිම කල් ගෙවීය. අනතුරුව කාළුදායි ඇමැතිවරයා දුත පිරිසක්‌ සමඟ බුදුරදුන් වැඩමවා ගෙන ඒමට යෑවූ අතර ඔහු ද බුදුරදුන් වෙත ගොස්‌ පැවිදිව නොබෝ දිනකින් බුදුරදුන් අමතා පියරජු ඇතුළු ශාඛ්‍ය වංශික ඥාතීහු උන්වහන්සේ දැක බලා ගැනීමට ඉමහත් කැමැත්තෙන් සිටින බව දැන්වීය. එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසක්‌ රහතන් වහන්සේලා සමඟ කිඹුල්වත්පුරට වැඩම කළහ.

බුදුපාමොක්‌ මහ සඟන පිළිගැනීමට එදින ශාක්‍යයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. එහෙත් මල් ආදිය බුදුරදුන්ට පුදා නමස්‌කාර කළේ කුඩා දරු දැරියන් පමණි. ඊට හේතුව ශාක්‍යයන් තුළ පැවැති අධික මානය හා අහංකාර බවයි. එය දිවැසින් දුටු බුදුරදුන් යමාමහ ප්‍රාතිහාර්ය පෑවේය. එය දැක විශ්මයට පත්වූ ශාක්‍යවංශික ඥාතීහු බුදුරදුන්ගේ විශිෂ්ට හැකියා දැක බුදුරදුන් ඇතුළු මහා සඟනට නමස්‌කාර කළහ. පියරජු ද එහිදී වන්දනා කළේය. බුදුරදුන් එම අවස්‌ථාවේ වෙස්‌සන්තර ජාතකය මුල්කරගෙන ධර්මය දේශනා කළහ. ඒ ඇසූ පියරජු ඇතුළු ඥාතීහු ධර්මාවබෝධය ලබා ගත්හ. ශාක්‍යවංශිකයෝ එදින බුදුරදුන් ඇතුළු භික්‌ෂු සංඝයාට වැඩසිටීමට නිග්‍රෝධාරාමය නමින් ආරාමයක්‌ තනවා පූජා කළහ.

පසුදා බුදුපාමොක්‌ මහ සඟන කිඹුල්වත් නුවර පිඬුසිඟා වැඩියෝය. ඒ දුටු පියරජු බුදුරජුන් වෙත පැමිණ පිඬුසිඟා වැඩම කිරීම අපේ වංශයට නිඟාවක්‌ බව කීය. එහිදී බුදුරදුන් පියරජු අමතා තමන් දැන් බුද්ධත්වයට පත්වූ නිසා බුද්ධ වංශයේ බවත් බුද්ධ වංශයේa සියලු බුදුවරු පිඬුසිඟා වඩින බවත් දේශනා කළ සේක. එහිදී රජු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟනට පසුදා දහවල් දානයට තම රාජ මාළිගයට වැඩමකරවන ලෙස ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් බුදුරදුන් පසුදා දහවල් දානයට වැඩම කොට දානය වළ¹ අවසානයේ ධර්මය දේශනා කළ සේක. එම ධර්මය අසා පියරජු ඇතුළු ඥාති පිරිස දහම් අවබෝධය තුළින් මාර්ගඵල ලබාගත්හ. එහිදී සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියද සෝවාන් මාර්ගඵලයට පත්විය යශෝධරා දේවියගේ සිරියහන් ගැබට ද වැඩි බුදුරදුන් ඇයගේ ගුණ වර්ණා කරමින් සඳකිඳුරු ජාතක කථාව දේශනා කළ සේක.

බුදුරදුන් මැදින් පුර පොහෝදා සිදු කළ කිඹුල්වත්පුර ගමනේදී විශාල පිරිසක්‌ දහම් අවබෝධ ලබාගත් අතර තවත් පිරිසක්‌ පැවිදි බිමටත් පත්වූහ. නන්ද, රාහුල, ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.

දුරුතු ‍පොහොය


තිලෝගුරු බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය එනම් මහියංගනයට වැඩම කිරීම දුරුතු පොහෝ දින සිදු විය.සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පූජා කිරීමද මෙදින සිදුවිය.ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා නව මසක් ඇවෑමෙන් එළඹුණු පින්බර දුරුතු පෝය දවසේ උරුවෙල් දනව් පියසෙහි වාසය කල උරුවෙල කාශ්‍යප,නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යපයන තුන්බෑ ජටිලයන් ප්‍රධා දහසක් දෙනා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා තෙරුවන් සරණ ගොස් ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූහ.

උඳුවප් පොහොය


  • සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණීම.
  • මුඟලන් තෙරුන් පිරිනිවන් පෑම.
  • සිරිපා වන්දනාව ආරම්භ කරන පොහොය වීම.

ඉල් පොහොය දිනය



බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් මෙසේය.

1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය
4. අගසව් සැරියුත් තෙරණුවෝ  පිරිනිවන් පෑම
5. කඨින චීවරය පූජා කළ හැකි  අවසන් දිනය වීම ආදියයි.


මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. සියලු ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළ ඔහු තම මවුපිය අභාවයෙන් පසු විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑ අතර, සැප සම්පත් හා පිරිවර ජනයා සමග කල් ගෙවීය. ගෞතම බුදුපියාණන්වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍යපුත්‍රයා ඇතුළු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කොට තව්තිසා දෙව්ලොව සිට ආපසු වැඩම කළේ සංකස්ස නම් නුවරයට. 

බුදුන් වහන්සේගේ දේවාවරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමග පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක් පමණ වූ තම පිරිවර සමග බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් මහණ විය. 

ඉන්පසු එළඹි වස් කාලයක තම දායකයින් විසින් පූජා කළ උසස් තත්ත්වයෙන් යුත් වස්ත්‍ර යුගලක් ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක් සිවුරක් බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක් කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහ සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ‘ස්ථවිරයෙනි, නුඹ මේ මහභද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි’ යැයි විවරණ දී වදාළ සේක.

ඊළඟට වැදගත් කරුණ වන්නේ දැවැන්ත සමාජ මෙහෙවරක් සේ සැලකිය හැකි ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදවීම ය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්වග ශ්‍රාවකයන් වහන්සේය. 

 මුල, මැද, අවසන අර්ථ සහිත වූ ද, ව්‍යඤ්ජන සහිත වූ ද ධර්මය දේශනා කරව්. ධර්මය අසන්නට නොලැබුණහොත් උසස් ගුණයෙන් ඔවුහු පිරිහෙත්. ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇතිවෙත්. එබැවින් ධර්මය දෙසීමට පිටත්ව යවු. මම ද උරුවෙල් දනව්වේ සේනානි ගමට ධර්ම දේශනා පිණිස යන්නෙමි’ යනුවෙනි. ‘දෙනමක් එක මග නොයන්නැ යි වදාලේ බුදු දහම ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙනි. 


ඒ මගින් වැඩි දෙනෙකුට සැලසෙන සෙත උන් වහන්සේ අගය කළ බව පැහැදිලි වේ. ඉක්බිති හුදකලා වූ තමන් වහන්සේ ද ධර්මදූත සේවය ආරම්භ කළේ ඉල් පුර පසළොස්වක පොහෝ දාය. 

උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍යය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන් ගත වූයේ ද ඉල් පෝ දිනදී ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියලු දෙනා රහත් වූහ.

බුදුන් වහන්සේගේ දකුණත් අගසව් වන හා දහම් සෙන්පති ලෙස ප්‍රචලිත සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් පිරිනිවන් පෑමට අදහස් කොට තෙරුවන් සරණ යෑමෙන් වැළකී සිටි තම දයාබර මෑණියන් සසරින් එතෙර කරවීම සඳහා බුදුදහමේ හරය දේශනා කළ අතර, බුදු හිමිගේ අනන්ත වූ ගුණ සමුදාය ද සිහිපත් කර දීමෙන් පසු ඇය සෝවාන් ඵලයට පත්වූවා ය. තම මෑණියන් සසරින් එතෙර කිරීමෙන් ඉමහත් සතුටට පත් සැරියුත් මහ තෙරණුවෝ තම පරිනිර්වාණය සඳහා තම මවුබිම වන මගධ රටේ නාලක ගමට වැඩියේද ඉල් පොහොය දිනයේදී ය. වස්සාන සෘතුවේ අවසන් දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය ‘කඨින චීවර මාසය’ ලෙසද බොහෝ දෙනා හඳුන්වති. 

කඨින පින්කම් මෙම ඉල් පෝ දිනෙන් අවසන් කළ යුතුව තිබේ. ගමත් පන්සලත් අතර බැඳියාව සවිබල කරන අවස්ථාවක් ලෙස සලකන මෙම කඨින පූජාව උතුම් විපාක දෙන ආමිස පූජාවකි. 

එක් විහාරස්ථානයක වසරකට එක් වතාවක් පමණක් සිදු කළ හැකි මෙම පින්කම වෙනුවෙන් පොළොන්නරුවේ මහ පැරකුම්බා රජතුමා සංඝයා වහන්සේලා තුන් දහස් හාරසිය තිස් දෙනෙකුට ද, කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා අසූ මහ ශ්‍රාවක සංඝයාට මහ කඨින පූජාවක් පැවැත් වූ බව ද සඳහන් වෙයි.
උපුටා ගැනීම අන්තර්ජාලය

෴ධම්ම පදය පාප වග්ගය෴

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
 සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

යම්කිසි පුද්ගල යෙක් පිනක් කරන්නේනම් එය නැවත නැවත නරන්නේය. ඒ පිළිබඳ කැමත්ත ඇතිකර ගතයුතුය. කුමක් නිසාද පින්කිරිම සැප ලැබීමට හේතුවන හෙයිනි.

තුන් ලෝකාග්‍ර ශාන්ති  නායක තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන් සේ ගේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය යන උතුම් සිදුවීම සිදු වූයේ අදවැනි උතුම් වෙසක් පුරපසලෝස්වක පොහෝදිනයකදීය.