සාමයේ පණිවිඩය ලත් බක් පොහෝදා
සෞභාග්‍යයෙන් හා සශී‍්‍රකත්වයෙන් යුත් මෙම බක් මහ බෙහෙවින් ම භාග්‍යවන්ත මාසයකි.තුරු ලතා මල්ඵලවලින් බරව, විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් මෙම බක් මහ උදාවත් සමඟම ඇරඹිණි. මෙවර බක් මහේ අවසන් භාගයේ බක් පුර පසළොස්වක පොහොය දිනය ද උදා වුණි.
බුදු රදුන්ගේ දෙවැනි ලංකා ගමනය
චූලෝදර - මහෝදර නා රජුන් අතර මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක ය. එය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. එහි ප්‍රතිඵලය වූයේ පූර්වෝක්ත සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි.
අනුස්මරණීය දිනයක්
තව ද බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් මහලු රුවක් දැක, ඇත්තේ ද බක් පොහොය දිනෙක ය.
එය දැක ගැඹුරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහෝදා මළ සිරුරකුත්, ඇසළ පොහෝදා පැවිදි රුවකුත් දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්‍රකට ය. එසේ ම සුද්ධෝදන මහ රජු ගේ ආරාධනය පරිදි බුදු රජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. මේ අනුව ලංකා ඉතිහාසය මෙන් ම ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ද බක් පොහොය සදා අනුස්මරණීය දිනයක් වන බව පැහැදිලි ය.
මහාවංස තොරතුරු
බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වූ මහාවංස විස්තරයෙන් සුළු කොටසක් මෙසේ ය.
මහා කාරුණිකො සත්ථා
සබ්බලොකහිතෙ ගතො
බොධිතො පංචමෙ වස්සෙ
වසං ජේතවනා ජිනො
මහා කාරුණික වූ, සියලු ලෝ වැසියන්ගේ වැඩෙහි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වසරෙහි ජේතවන විහාරයෙහි වඩවසන සේක.
මහොදරස්ස නාගස්ස
තථා චූලෝදරස්ස ච
මාතුල භාගින්‍යොනං
මණී පල්ලංක හේතුතං
චූලෝදර - මහෝදර යන පිරිස් සහිත වූ නාගයන් ගේ මිණිපළඟ හේතුකොටගෙන
දිස්වා සපරිසජ්ජානං
සංගාමයං පච්චු පට්ඨිතං
සම්බුද්ධො චිත්ත මාසස්ස
කාලපක්ඛෙ උපොසථෙ
පාතො යෙව සමාදාය
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං
නාගදීප මුපාගමි
එළඹ සිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.
සංග්‍රාමයට හේතුව
චූලෝදර - මහෝදර යන නාග ගෝති‍්‍රක රාජ්‍ය පාලකයන් දෙදෙනා ලංකාවේ නාගදීපය ප්‍රදේශයෙහි ආධිපත්‍යය දරමින් උසස් ආර්ථික තත්ත්වයක් ඇතිව ජීවත් වූහ.
චූලෝදර - මහෝදර ප්‍රමුඛ නාග ගෝති‍්‍රක මෙම දෙපිරිස අතර සිදුවන්නට ගිය සංග්‍රාමයට හේතුව වූයේ දායා ද වශයෙන් පිරිනැමූ මැණික් එබ්බ වූ පුටුවක් සම්බන්ධයෙන් ඇතිකරගත් කලහය දුරදිග යාම යි.
මහාවංසය සඳහන් කරන පරිදි මහෝදර නා රජු ගේ සොහොයුරිය වූයේ තිරච්ඡිකා ය. ඇය සරණ පාවා කොට දුන්නේ කණ්වඩමන් පර්වතයේ විසූ නා රජුට ය. එම දෙපළගේ පුත්‍රයා වූයේ චූලෝදර ය. ඒ අනුව චූලෝදර ඤාතිත්වය අනුව මහෝදර ගේ බෑණා විය. මහෝදරගේ පියා මියයාමට ප්‍රථම ඔහු සතුව තිබූ මැණික් පුටුව මහෝදරට නොදී ස්වකීය දියණියට දායාද වශයෙන් පවරා දුන්නේ ය.
ඇතැම් විට එම මැණික් පුටුව මෙකී රාජධානියෙහි සිංහාසනය විය හැකි ය. ඉක්බිතිව මෙම මැණික් පුටුවෙහි හිමිකරු වූයේ චූලෝදර ය. එහෙත් ස්වකීය පියාට අයත් ව තිබූ මෙම අගනා මැණික් පුටුව සිය බෑණනුවන්ට උරුමවීම මහෝදර ගේ දැඩි කෝපයට හේතු විය. වරින් වර මේ කෙරෙහි තම අයිතිය පවසා බෑණනුවන් ගෙන් එය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ ද ඒ සියල්ල ව්‍යර්ථ විය. එම නිසා දෙදෙනා අතර වෛරය අනුක්‍රමයෙන් වර්ධනය විය. අවසානයේ දී සේනා සංවිධානය කරගත් දෙදෙනා මිණිපළඟ නිසා මහත් සංග්‍රාමයකට මුල පිරූ හ.
සමථයට පත්වීම
මෙම සංග්‍රාමය ආරම්භ වුවහොත් සිදුවන විශාල මිනිස් සංහාරයත් දේපළ විනාශයත් වටහාගත් බුදුරදුන් එහි වැඩම කරවා යුද්ධය සමථයකට පත්කොට දහම් දෙසා ඔවුන් සමඟි කර වූ බව මහාවංසය විස්තර කරයි. මෙහි දී යුද්ධයේ නිසරුකම ද, සාමයේ වටිනාකම ද පෙන්වා දුන් බුදුරදුන් ඊට උදාහරණ ලෙස කාකෝලුක, වට්ටක,ඵන්දන, ලටුකික ආදී ජාතක ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන් ගෙන් ප්‍රකාශ කොට තිබේ.
පාරිභෝගික වස්තුවක්
මෙම දහම් දෙසුමට සවන් දුන් දෙපිරිස ම සමගි වී බුදුන් සරණ ගියහ. එමතු නොව අරගලය සඳහා මුල් වූ මැණික් පුටුව ද බුදුරදුන්ට ම පිදූහ. එහි සුළු වේලාවක් වැඩසිටි උන්වහන්සේ මිණිපළඟ ද පාරිභෝගික වස්තුවක් බවට පත්කොට නැවතත් එය ඔවුන්ට ම පවරා දුන්හ.
එහ ිදී මණිඅක්ඛිත නාග රාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කළ බව මහාවංසයේ සඳහන් වේ. එම ඇරයුම පිළිගත් බුදුරදුන් තෙවැනි ලංකා ගමනයේ දී සුමන සමන් දිව්‍ය රාජයා ගේ ඉල්ලීම පරිදි සමනොළ කන්දෙහි සිරිපා සටහන තැබූ බව ද මහාවංසය විස්තර කරයි. ඒ අනුව පැහැදිලි වනුයේ බුදුරදුන් ගේ දෙවැනි ලංකා ගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ ලක්දිවට වැඩමකරවා ගැනීමට අවස්ථාව උදා වූ බව යි.
ඌරුගමුවේ
අස්සජී හිමි
බුදුරදුන් උපන් බිමට වැඩම වූ මැදින් පෝදා
සිංහල මාස ක්‍රමයට අනුව නව වසරක් ආරම්භ වනුයේ බක් මහෙනි. මැදින් මහෙන් වසරක් අවසන් වෙයි. නව වසරක් ආරම්භ වන බක් මහටත්, වසර අවසන්වීමට පෙර එළඹෙන නවම් මහටත් අතර මැදිව මැදින් මහ උදාවෙයි. තව ද හේමන්ත ඍතුවේ අවසාන කාලයත්, ගිම්හාන ඍතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් ය. ඒ අනුව මධ්‍යය, මැද, අතර යන අරුතෙන් මැදින් මහ යන්න භාවිතයට එක්වී ඇති බව පැහැදිලි ය.
අනුස්මරණීය සිදුවීම් රැසක්
මෙම මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන් ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැගෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වීමේ අරමුණින් මැදින් පෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒ අතර ඤාතීන්ගේ මානය බිඳ හෙලීම, යමා මහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.
දූත පිරිස් නවයක්
පෙර ඇසළ පොහෝ දිනෙක රාත්‍රී කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් මහත් සේ කම්පාවට පත් සුද්ධෝදන මහ රජු තම පුතු දැක බලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය. බිම්බිසාර රජු පාලනය කළ මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩවෙසෙන බව පියරජු දැන ගත්තේ ය. බුදුරදුන්ට කිඹුල්වත් පුරයට වැඩම වන ලෙස ආරාධනා කරන මෙන් දන්වා ඇමතියකු ප්‍රමුඛ දූත කණ්ඩායමක් රජගහනුවර වේළුවනාරාමයට යැවී ය. එම පිරිස එහි ගොස් බුදුරදුන් වෙතින් බණ අසා පැහැදී පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නොකළහ. මෙසේ ඇමතිවරු නව දෙනෙක් සහිතව නව වාරයක්ම දූත පිරිස් පිටත්කොට යැවූ නමුත් ඉන් එක ද පුද්ගලයෙක් හෝ නැවත නොපැමිණිය හ. පෙර සේ ම සිදුවූ යේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම යි.
කාළුදායි ඇමතිගේ වරය
දස වැනි වාරයේදී සිදුහත් කුමරු උපන් දිනයේ ම උපත ලැබූ කාළුදායි ඇමතිවරයා දහසක දූත කණ්ඩායමක් ද සහිතව පිටත්කර හැරීය . කාළුදායි ඇමතිවරයා රජුගේ ඉල්ලීම භාරගත්තේ එක් කොන්දේසියකට යටත්ව ය. එනම් බුදුරදුන් ගෙන් ධර්මය අසා පැවැදිවීම සඳහා ද රජුගෙන් අවසර ගැනීම ය. වේළුවනාරාමයේදි බුදුරදුන් හමුවු කාළුදායි ඇමතිවරයා බණ අසා පැවිදිව රහත්ඵලය ද ලබා ගත්තේ ය.
මඟ වැණුමක්
කාළුදායි තෙරුන් වහන්සේගේ පැවිද්දෙන් දින හත අටක් ගත විය. ඒ සමඟ ම කාලගුණය ද බෙහෙවින්ම යහපත් වූ වසන්ත සමය උදා විය. සිය උපන් බිමට වැඩම කරවීම සඳහා බුදුරදුන් වෙත ඇරයුම් කිරීමට මේ සුදුසුම කාලය බව කාළුදායි තෙරණුවෝ වටහා ගත්හ. ඉක්බිතිව බුදුරදුන් වෙත එළඹ සිත් ඇදගන්නා පරිසර වර්ණනාවකින් යුක්තව රජගහනුවර සිට කිඹුල්වතට යන සැට යොදුන් ගමන් මග මෙසේ වර්ණනා කළහ.
අංගාරිනොදානි දුමා භදන්තෙ
එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තො’ච පභාසයන්ති
සමයො මහාවීර භගීරථානං
භාග්‍යවතුන් වහන්ස, සියලු ගස් වැල් පරණ පත් සලා ගිනි අඟුරු මෙන් රතු පැහැති නව මල් දලුවලින් පිරී ඇත. මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් ඵල දැරීමට සූදානම් ව සිටිති. වෘක්ෂයෝ පහන් සිළු මෙන් බබළති. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරාගත ශාක්‍යයන්ට අනුග්‍රහ පිණිස එහි වැඩමවීමට මේ සුදුසු කාලය යි.
දුමානි ඵුල්ලානි මනොරමානී
සමන්තතො සබ්බදිසා පවන්තී
පත්තං පහාය ඵලමාසසානං
කාලො ඉතො පක්කමනාය වීර
පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිදුවති. පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිති. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත්වීමට සුදුසු කාලයයි.
නෙවාති සීතං න පනාති උණ්හං
සුඛා උතූ අද්ධනියා භදන්තෙ
පස්සන්තු තං සාකියා කොලියා ච
පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං
තද සීතල හෝ තද උණුසුම හෝ නැත . භාග්‍යවතුන් වහන්ස, ඍතුව ශරීරයට සුව පහසුව ගෙන දේ. ගමනට සුදුසු ය. රෝහිණී ගඟින් එතෙර වී වඩින ඔබ වහන්සේ දැකීමට ශාක්‍ය කෝලීය රජවරු ආශාවෙන් බලා සිටිති.
මෙසේ ආරම්භ වන මෙම මඟ වැණුම බුද්ධකාලීන මඟ වැණුම් අතර ඉතා උසස් නිර්මාණයක් සේ සැලකිය හැකි ය. මෙම මඟ වණුමෙන් යුත් ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පිරිවරා රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර බලා ගමන ආරම්භ කළහ.
ශාක්‍යයන්ගේ මානය දුරලීම
දෙමසක් පා ගමනින් වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ සඟගණ වෙසක් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කළහ. බුදුරදුන්ට වැඩසිටීම සඳහා නිග්‍රෝධ උයන පිළියෙළ කළ ශාක්‍යයෝ ඉමහත් හරසරින් උන්වහන්සේ පිළිගත්හ. සුවඳ මල් ආදිය රැගෙන පෙරමුණට ගිය ශාක්‍යයෝ පළමුව ළදරු ළදැරියන් ඉදිරියට යැවූහ. දෙවනුව රජ කුමර කුමරියෝ ඉදිරියට ගියහ. සුද්ධෝදන මහ රජු ඇතුළු ශාක්‍යයෝ පසුපසින් ම ගමන් කළහ. ඉක්බිතිව ඔවුහු බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. එහිදී බුදුරදුන්ට නමස්කාර කළේ ශාක්‍ය ළදරු ළදැරියෝත් රජකුමර කුමරියෝත් පමණෙකි. අධිමාන්නයෙන් යුක්ත වූ වෘද්ධ ශාක්‍යයෝ බුදුරදුන් තමනට වඩා වයසින් බාල වන බැවින් නොවැඳ ම පිරිස කෙළවරට වී සිටියහ.
ශාක්‍යයන්ගේ මානය පිළිබඳ කරුණු වටහාගත් බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පවත්වා ස්වකීය බුද්ධානුභාවය පෙන්වූහ. ජලය හා ගින්න ආධාර කොට පැවැත්වූ මෙම ප්‍රාතිහාර්යයෙන් පසු ශාක්‍යයන්ගේ මානය දුරු විය. ඉදිරියට පැමිණි සුද්ධෝදන මහ රජු “පුතණුවනි, මේ මාගේ තුන්වන වැඳීම”යි කියා බුදුරදුන්ට නමස්කාර කළේ ය. එහි සිටි සියලු ශාක්‍යයෝ ද බුදුරදුන්ට වැඳ නමස්කාර කළහ.
මේ අපගේ බුද්ධ වංසය යි
පසු දින දන් පිණිස විශේෂ ආරාධනයක් නොලද හෙයින් බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා ගෙපිළිවෙලින් කිඹුල්වත පිඬු සිඟා වැඩියහ. මෙය යශෝධරා දේවිය මගින් සුද්ධෝදන මහරජුට සැලවීමත් සමඟ ම වහා සළුපිළි හැඳ බුදුරදුන් ඉදිරියට දිව ගිය රජු “අප රාජ වංසයට මෙසේ නින්දා කරන්නේ ඇයි දැ”යි, ඍජුව ම ප්‍රශ්න කළේ ය. එයට බුදුරදුන් දුන් පිළිතුර වූයේ “මහ රජ, ඒ ඔබේ වංස ය යි. එහෙත් මේ අප ගේ බුද්ධ වංසයයි. බුද්ධ වංසයට අයත් සියලු බුදුවරයින් වහන්සේලා පිඬු සිඟා යැපුණා හ. මම ද එම චාරිත්‍රය අනුගමනය කරමි” මෙම පිළිතුරෙන් විශ්මයට පත් රජු බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා රජ මාලිගාවට වැඩමවා ගෙන ගොස් දන් පිළිගැන්වී ය.
යශෝධරාවගේ වැළපීම
අනතුරුව පිය මහරජු හා අගසව් මහරහතන් වහන්සේලා දෙනම ද සමඟ යශෝධරා දේවිය ගේ සිරියහන් ගබඩාවට වැඩම කළ බුදුරදුන් දුටු යසෝධරා දේවිය හඬමින් වැඳ වැටුණා ය. ඇයට රිසි සේ හැඬීමට උන්වහන්සේ ඉඩ සලසා දුන්හ.
මෙහි දී සුද්ධෝදන මහ රජු යසෝධරාවගේ උදාර ගුණ වර්ණනා කරන්නට විය. බුදුරජාණන් වහන්සේ එය මුල්කොට “චන්දකින්නර ජාතකය” වදාළහ. බුදුරදුන්ගේ කිඹුල්වත් පුර ගමනේ දී සිදුවු තවත් විශේෂ සිදුවීම් නම් රාහුල කුමරු හා නන්ද කුමරුගේ පැවිද්දයි. එසේම මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ පැවිදිවීමට අවසර ඉල්ලීම ද තවත් ඓතිහාසික සිදුවීමකි.
ඌරුගමුවේ අස්සජී හිමි







