සුමන සමන් දෙවියෝ Saman deviyo

 සුමන සමන් දෙවි ඇරයුමෙන් පිහිටුවූ සමනොළ සිරසේ ශ්‍රී පාද පද්මය



මෝහාන්ධකාරය දුරුකළා වූ ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ, සසර ගමනේ පීඩීත සත්ත්වයන් සසරින් එතෙර කරවීම පිණිස ස්වකීය ජීවිතය කැප කළ සේක.

එහි ප්‍රතිඵලය වූයේ මිනිසුන් පමණක් නොව දෙවි බඹුන් පවා සිය ජිවිතයේ විමුක්ති සුවය සාදනය කරගන්නට පෙළෙඹීමයි . ඒ මහාකාරුණිකයාණන් වහන්සේ ගේ පාද ස්පර්ශය ලැබුවා වූ ලක්වාසි අප සැම ද මේ සංසාර විමුක්ති ගමනේ පුණ්‍යවන්තයෝ ය.

මහාකරුණාවෙන් ලෝකය දෙස බලා වදාරමින් දෛනික කටයුතු ආරම්භ කළ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ගත වූ තැන, මහා සංහාරයක් සංසිඳවනු පිණිස ලක්දිව මහියංගනයට වැඩම කළේ ය. ඒ චූලෝදර මහෝදර දෙදෙනා සමඟි කරවීම පිණිස යි .

එකල රත්නපුර දිස්ත්‍රික්කයේ ජන නායකයා ව සිටි සුමන සමන් නම් දැහැමි නායකයකු ද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසන්නට මහියංගනයට පැමිණි සිටි අතර උන්වහන්සේගෙන් කේශ ධාතු මිටක් ඉල්ලා සෑයක් ඉදිකළ බව මහාවංසයේ සඳහන් ව ඇත. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇසූ පළමු අවස්ථාවේ දී ම සුමන උපාසක සෝවාන් ඵලයට පත් වූ බව ද එහි සඳහන් ව ඇති කරුණකි .

ඉන්පසු ව සම්බුද්ධත්වයෙන් අට වන වසර , මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණි පුරවරට වැඩම කළහ. එහිදී කැලණියට පැමිණි සුමන සමන් උපාසක , භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා තම බල ප්‍රදේශය වූ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කඳු මුදුනට වැඩම කර ඉර හඳ පවතින තාක් කාලයක් සැදැහැවතුනට වන්දනා කරන්නට, ශ්‍රී පතුල පිහිටුවීමට ආරාධනා කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩමකොට තමන් වහන්සේගේ වම් ශ්‍රී පතුලේ ලාංඡනය ගල් තලාවක් මත පිහිටවනු ලැබූ සේක.

අද පටන් ඇරඹෙන උතුම් සිරිපා කරුණා සමය සැදැහැවතුන් විසින් සැදැහැ සිතින් සිහිපත් කොට ගෞරවයෙන් පුද පූජා පවත්වා පින් දීම , චිරසම්භාවිත ශ්‍රී ලාංකේ ය චාරිත්‍රයක් වනුයේ එහෙයිනි.

සමනොල කන්දේ පිහිටු වූ ශ්‍රී පාද ලාංඡනය සියැසින් දුටු පළමුවැන්නා සුමන සමන් උපාසකතුමා ය. ඉන්පසු එහි රැස්ව සිටි සෙස්සෝ ද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇසීමට එහි පැමිණ සිටි දෙවිවරු ද , ශ‍‍්‍රී පාද ලාංඡනය දැක බලා වැඳ පුදා ගත්හ.

පසුදින උදය වරුවේ එම පා සටහන් වටා නිල් මැණික් සවි කිරීමට සුමන සමන් ජනනායක තුමා කටයුතු කළේ ය. ඒ සඳහා දක්ෂ ශිල්පීහු කඳු මුදුනට පැමිණි බැව් බෞද්ධ පොත පතෙහි සඳහන් ය. ශී‍්‍ර පතුල වර්ෂාවෙන් සහ අව් රශ්මියෙන් ආරක්ෂා කරගත යුතු බැවින් පාද සලකුණ වැසීයන පරිදි විශාල ගල් පතුරක් තබා වැසූ බව ශ‍ී‍්‍ර පාදය අවට ගම්වල විසූ පැරැන්නන්ගේ ජනකතාවල සඳහන් ය . එම ගල් ලෑල්ල මත අඩි 4 බැගින් පමණ දිගු වූ පා සලකුණු කැටයම් කරන ලද බවත්, එය නෙළුම් මල් සහ දිව්‍යම සංකේතවලින් සරසන ලද බවත් කියනු ලැබේ. ඉන් පසු සියවස් ගණනාවක් යන තුරුම ශ‍ී‍්‍ර පාද කන්ද තරණය කළ සැදැහැවත් බෞද්ධයන් විසින් වන්දනාමාන කරන ලද්දේ එම කැටයම් සහිත ගල්පතුල පිහිටි ස්ථානයි. මැණික්වලින් අලංකාර කරන ලද සැබෑ සිරිපතුල පිහිටියේ අඟල් 10 ක් පමණ ගණකම් වූ ගල් ලෑල්ල යට ආරක්ෂිතව ය.

පැරණි පොත පත සඳහන් කරනුයේ භාග්‍යවතුන් වහන්සේගෙන් තෙවරක් බණ අසන්නට පුණ්‍යවන්ත වුණු එකම පුද්ගලයා වූයේ සුමන සමන් උපාසක පමණක් ම යන්නයි.

ඔහු ගේ අභාවයෙන් පසු සුමන සමන් උපාසක දේවත්වයට පත් වූ බවත් අදටත් ශ්‍රී පතුල වන්දනා කරන්නට යන උදවියට සුමන සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදය හා ආරක්ෂාව ලැබෙන බවත් එදා සිටම අපේ ඇත්තෝ විශ්වාසය තැබුහ.

සමන්තටකූට වර්ණනාවේ දක්වන ආකාරයට “බුදුරදුන් පා දික් කළ කල්හි අපායේ ගිනි නිවීගොස් පත්මාදයෙන් උන්වහන්සේගේ ශ්‍රී පතුල් පිළිගන්නා බව පෙන්වා දී තිබේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්හි පිහිටා ඇති විශේෂ ලක්ෂණ 236 ක් පිළිබඳ තොරතුරු ත්‍රිපිටක සාහිත්‍යයේ ද හමුවෙන අතර සමන්තපාසාදිකාවේ ද එකී තොරතුරු සඳහන් ව ඇත.

එම ලක්ෂණයන්ගෙන් සමන්විත සිරිපතුල වන්දනා කිරීම මහත් ආනිසංස ගෙන දෙන බව බෞද්ධයන්ගේ පරම විශ්වාසයයි.

ශ්‍රී පතුල පිහිටු වීමට භාග්‍යවතුන් වහන්සේ වෙත සුමන සමන් දෙවිඳුන් කළ ආරාධනයේ දී , ගෙවූ ආයූෂ තිබූ සක්දෙවිඳු , සිරිපතුල් වන්දනාවෙන් පසු නැවත සිය පදවියෙහි පිහිටුවීමට හේතූ වු බව සිහිපත් කර තිබේ . එම පිනෙන් තුන් කෝටි හැටලක්ෂයක් අවුරුදු ආයු ලැබීමට හැකි වූ බව එහි සඳහන් ව ඇත .

සමන්ත කූට වර්ණනාවේ දක්වා ඇති පරිදි බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ වෙසක් පුන් පොහෝ දා සවස් කාලයෙ හි සමන්ත කූට පර්වතය මස්තකයෙහි සිරිපා ලකුණ පිහිට වූ බව සඳහන් ය.

වසරේ අවසන් පොහොය දිනය වන අද උඳුවප් පොහොය දිනයේ පටන්, වෙසක් පුන් පොහොය දිනය දක්වාම සිරිපා කරුණා සමය සිදුවේ. පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව හා දේවාභරණ පෙරහරින් වැඩම කරවමින් සිරිපාද මලුවේ සමන් දෙවොලේ තැන්පත් කිරීමෙන් අනතුරු ව සිරිපා කරුණා සමය ආරම්භ වෙයි.

සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයේ සිරි පතුල පිහිට වූ මේ සිද්ධියෙන් වසර හයසීයක් පමණ ගත වූ විට ශ‍ී‍්‍ර පාදස්ථානය පිළිබඳ පුවත ජනකතාවක් පමණක් බවට පත් වී භාග්‍යවතුන් වහන්සේගේ පාද පද්මය පිහිට වූ ස්ථානය පිළිබඳ දැනුම මිනිසුන් කෙරෙන් අතුරුදන් විය. ඒ අතර පණ්ඩුකාභය රජතුමාගේ (ක්‍රි. පූ. 436 - 366) මුනුපුරු වූ දේවානම් පියතිස්ස රජතුමාගේ කාලයේ දී බුදුදහම ලංකාවට ගෙන ආවේ ය. ඉන්පසු ශ‍ී‍්‍ර පාද ස්ථානය සොයාගත් පළමුවැන්නා වළගම්බා රජු (ක‍ි‍්‍ර. පූ. 104 - 76) ලෙස සැලකෙන්නට විය .

එකල කුඩා රාජධානි කීපයක් ලෙස පැවැති ලංකාව පුරා යුද ගිනි ඇවිළ ගිය අතර, ඉන් ගැලවීම සඳහා වළගම්බා රජතුමා කඳු මුදුනකට පැන ගොස් සැඟව ගත්තේ ය. එසේ සිටියදී ඔහුට ශ‍ී‍්‍ර පාදස්ථානය හමු විය. එතැන් පටන් රජ දරුවෝ ද, සාමාන්‍ය ජනයා ද වැල නොකැඩී වන්දනාමාන පිණිස එහි පැමිණියහ.

අතීතයේ මෙම කඳු ශිඛර තරණය ඉතා දුෂ්කර ය. නියමිත පාරක් හෝ පියගැටපෙළක් නැති කන්දේ ඇතැම් තැන්වල බඩගා ගොස් වැඳ පුදා ගැනීමට බැතිමතුනට සිදුවිය.

ශ‍ී‍්‍ර පාද ස්ථානය පිළිබඳ පළමුවන ඓතිහාසික ලිඛිත සිහිපත් කිරීම හමුවන්නේ විජයබාහු (1065 - 1119) රජතුමාගේ රාජ්‍ය සමයෙනි. වන්දනාකරුවන් ශ‍ී‍්‍ර පාද කරුණාවට විඳීන දුක දුටු විජයබාහු රජු ගිලීමලේ නමැති ගම්මානය ශ‍ී‍්‍ර පාදස්ථානයට කැප කර වන්දනාකරුවන්ට පහසුකම් සලසන ලෙස එහි වැසියන්ට අණ කර ඇත. ගිලීමලේ සහ අඹගමුව ගම්මානවල ඇති විජයබාහු රජ සමයට අයත් සෙල්ලිපිවල මෙකී රජ අණ පිළිබඳ පුවත සටහන් ව ඇත. රාජ නියෝගයත් සමඟම ගිලීමලේ ගම වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත් බව ද ජනප්‍රවාදයේ සඳහන් කරුණකි.

එදත් අදත් හෙටත් මේ ඉර හද පවතිනතාක් කාලයක් සැදැහැවතුන් ගේ වන්දනාමානයට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී පතුල පිහිටුවීම පිළිබඳ ඉතිහාසයේ ලියැවෙන සාක්ෂි බොහොමයකි.

 වසන්ත ජයසිංහ ආරච්චි

උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

Unduvap Poya උඳුවප් පෝය

උඳුවප් පෝ දා වැඩම කළ අසිරිමත් බෝ සමිඳු

 



උඳුවප් සීතල සිරිමා බෝ ඉතිහාසය සිහිගන්වයි . ලිඛිත ඉතිහාසයක් සහිතව ලොව ඇති පැරණිම වෘක්ෂය අනුරාධපුර මහ‍මෙවුනා උයනේ පිහිටි අප ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ය.

බුද්ධ වර්ෂ 236 දී මෙරටට වැඩමකර වූ උන්වහන්සේ මෙරට පූජනීයත්වයේ මුදුන් මල්කඩ සේ ම ආගමික,ජාතික,සාමාජීය , දේශපාලන හා සංස්කෘතික ආදී සෑම අංශයකින් ම අති උතුම් පූජනීය වස්තුව වේ.

එසේම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින ලෝක ධාතුවෙහි ඇති ආශ්චර්යමත් ජීවමාන වස්තුවකි.

දේවානම් පියතිස්ස රජ දවසේ සිට අද දක්වා ඒ අනුහස සිරිලක් ධරණීතලය පුරා බලපවත්නේ ය. සිදුහත් මහ බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් පරදා ලොව්තුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීමට සෙවණ ලබාදෙමින් මහෝපකාරී වූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව නේරංජන ගඟ අසබඩ බුද්ධගයා භූමියේ පිහිටියේ ය. මුල දී අස්වත්ථ හෙවත් ඇසතු වූ මෙම වෘක්ෂය බෝසතාණන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් හැඳීන්විය.

ජය ශී‍්‍ර‍ මහා බෝධීන් වහන්සේ සතුව ඇත්තේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් ඤාණය තුළින් පිළිබිඹු කළ අනන්ත බුදුගුණ මහිමයේ ශක්තියයි. සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාරී වූ බෝධීන් වහන්සේ උදෙසා දක්වන පූජෝපහාරයක් (අනිමිසලෝචන පූජාව)ලෙස සත් සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ ඇසිපිය නොහෙළා දින හතක් බලා හිදීමෙන් බුදුන් සතු මහා ශක්තිය උන්වහන්සේගේ නේත්‍රාවන්ගෙන් රන්වන් බෝ කඳට අන්තර් ග්‍රහණය කළ බව අප තේරුම් ගත යුතු සත්‍යයි.

මේ නිසා මුළුමහත් බොදු ජනතාව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජෝපහාර දක්වයි. ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා රෝපණ මංගල්ලය සිදුකළේ බුද්ධ වර්ෂ 236 වැන්නෙහි දෙවන පෑතිස් මහ රජුගේ මූලිකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. මේ වන විට උන්වහන්සේගේ සම්පූර්ණ ආයුෂ අවුරුදු 2530 කි. මහ මෙවුනාවේ රෝපණයකර දැනට වසර 2450කි. එදා මෙදාතුර නොයෙකුත් අව්, වැසි, කුණාටු දුර්භික්ෂ යුද ගැටුම් කලකෝලාහල මැද මහ විහාරීය භික්ෂූන් වහන්සේ සමඟින් රාජ රාජ මහාමාත්‍යාදීන් ද, බොදු ජනතාව ද බෝ සමිඳු නිරුපද්‍රිත ව ආරක්ෂා කරගැනීම කෘතඥතාපූර්වක ව ස්මරණය කළයුතු ය.

බෝධීන් වහන්සේගේ අංකුරයක් වෙන්කර ගැනීම, එය රෝපණය, අෂ්ඨපල බෝධීන් හට ගැනීම හා දෙතිස් ඵළ බෝධීන් හටගැනීම,වැඩම කිරීම ආදි සියලු සිද්ධීන් ඉතා ආශ්චර්යමත්, ඇදහිය නොහැකි තරම් මහා ආනුභාව සම්පන්න සිද්ධීන් ය. ධර්මාශෝක රජු මහ බෝ වෙනුවෙන් පූජා නොකළ දෙයක් නොමැත.සොළොස් මහා ජනපද රාජ්‍යන් සහිත දඹදිව ම එතුමා මහ බෝ සමිඳුන්ට පූජා කළේ ය. අවසානයේ තමා වෙනුවෙන් ඉතිරි ව සිටි දියණිය වන සංඝමිත්තා මෙහෙණිය ද බෝධිය වෙනුවෙන් පුදා, සිරිලකට පිටත් කර හැරියේ ය.බෝධිය ද රජු වෙනුවෙන් අනුහස් පෑවේය.

‘‘ඉක්බිති මහ බෝධි තොමෝ සූර්ය අස්තංගත වන කල්හි රෙහෙන නැකතින් පෘථිවියෙහි පිහිටියා ය. පොළොව ද කම්පිත විය. මුල් කටාරම් මුව විටෙන් නැඟී ඒ රන් බඳුන වෙළාගනිමින් පොළෝ තලයට බැස්සාහ. රැස්ව සිටි සියලු ජනයෝ පිහිටියා වූ මහ බෝධිය හාත්පසින් සුවඳ මල් ආදී වූ පූජා වස්තූන්ගෙන් පිදූහ. මහා මේඝය තෙමේ වැස්සේ ය. හාත්පසින් ම ගැප් හා සිහිල් වළාවෝ මහා ‍බෝධිය වැසූහ.මහ බෝ තොමෝ සත් දිනක් දැකුම් රහිත වුවා ජනයා කෙරෙහි ප්‍රසාද උපදවන්නේ එම හිම ගැබෙහි වැඩ සිටියහ. සත් දවස ඇවෑමෙහි ඒ සියලු මේඝයෝ පහව ගියහ. සවනක් රැස් හා මහ බෝ තොමෝ ද පෙනිණි.(විජේසේකර:සංස්.2015-83) ‘‘ මහා වංසය බෝධි රෝපණ රාජකීය මහා මංගල්ලය දක්වන අවස්ථාවේ උන්වහන්සේගේ අනුහස පෙන්වන්නේ එසේ ය.

විවධ රාජ යුගවල දී විවිධ සංවර්ධනයනට බෝ මලුව ලක්විය.බෝධියේ ශක්තිය තුළින් ධාර්මික ව රට පාලනය කිරීමට අධිෂ්ඨාන කරගත් සියලු රජවරු, ඔවුනට ආ සියලු බලවේග පරාජය කරමින් ජාතිය නඟා සිටු වූහ. ජනී ජනයා ද සිය දුක් ගැහට හා ප්‍රාර්ථනාවන් බෝ සමිඳුන්ට පවසා පිහිට ලැබූහ.

ඊටත් වඩා බෝධීන් වහන්සේ සමඟ ගොඩ නැඟුණු සංස්කෘතිය ජාතියේ පැවැත්ම සහතික කරන බව අප වටහා ගත යුතු වේ. බෝධීන් වහන්සේ වෙනුවෙන් ඉටුකරන දැවැන්ත චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් පවතී.දෛනික චාරිත්‍ර සහ වාර්ෂික මංගල්ලයන් ආදී රාශියක් ඒ අතර වේ. මහ සඟරුවන ඉතිහාසයේ පටන් අදත් එම කාර්යයන් නොපිරිහෙලා ඉටුකරති.

එමෙන්ම බෝධින් වහන්සේගේ නාමයෙන් ගොඩනැඟුණු සමාජ, ආර්ථික, දේශපාලන උරුමයක් ද අපට පවතී. වර්තමාන ලෝකය එම බෝධි සංස්කෘතියෙන් කියාදෙන සොබා දහමෙන් ඈත් වී සිටී.ඒ ආදීනවය මත මුළු ලොව මූණ දෙන ව්‍යසනය තේරුම් ගැනීමට මේ උඳුවප් පුන් පොහෝ දිනය හොඳම අවස්ථාවකි.

වසර දෙදහස් පන්සීයක් ඉක්මවා මේ දේශය සුරැකි මහබෝ රජුන් තවත් වසර දහස් ගණනක් වැජඹේවායි යන්න අපගේ ඒකායන පැතුමයි . ඔබට ඒ උතුම් වූ ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන්ගේ පිහිට ලැබේවා.


අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ ධම්මජෝති නා හිමි

Il Poya ඉල් පෝය

ප්‍රථම ධර්ම දූත සේවාව ඇරැඹි ඉල් පොහොය

 

"ගඟෙහි පාවී ආ තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදු වී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවර ද කැටිව පැමිණිය හ."

වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම මෙම දිනය මූලික කරගෙන සිදු වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත සේවාව ඇරඹීම, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන සිදුවීම් වඩාත් වැදගත් තැනක් ගනියි.

සම්බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබා ගත් යස කුල පුත්‍රයා ප්‍රමුඛ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ.

මහණෙනි, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස, දියුණුව පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. දෙදෙනකු එක මඟ නො යන්න.

මෙම දහම මුල, මැද, අග යහපත් වූවකි. අර්ථ සහිත වූ, හාත්පසින් සම්පූර්ණ වූ, පිරිසුදු වූ, සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.

මෙසේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවෙහි පිටත් කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.

එකල උරුවෙල් දනව්වෙහි ජටිල සොහොයුරෝ තිදෙනෙක් විසූහ. මේ අතුරෙන් උරුවේල කාශ්‍යපට පන්සියයක් පිරිවර ද, නදී කාශ්‍යපට තුන් සියයක් පිරිවර ද ගයා කාශ්‍යපට දෙසීයක පිරිවර ද සිටියහ. උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ අසපු ඉදිකරවා ගෙන විසූ ඔවුහු මානයෙන් උදම් ව සිටියහ.

බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යප ගේ අසපුවට වැඩම කොට එහි රැය පහන් කිරීමට නවාතැනක් ඉල්ලා සිටියහ. එහෙත් එහි නවාතැන්දීමට අකැමැති බව උරුවේල කාශ්‍යප බුදුරදුන්ට ප්‍රකාශ කළේ ඊට හේතු ද දක්වමිනි. එනම් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල් ගෙය පමණක් වීමත් එහි දරුණු නාගයකු වාසය කිරීමත් ය.

නාගයකු සිටීම තමන් වහන්සේට ගැටලුවක් නොවන බව බුදුරදුන් සඳහන් කළ විට එසේ නම් නවාතැන් ගැනීම කෙරෙහි තමාගේ බාධාවක් නොමැති බව උරුවේල කාශ්‍යප ප්‍රකාශ කළේ ය.

ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩමකොට එහි තණ ඇතිරියක හුන් සේක. නාග රාජයා බුදුරදුන් දැක කිපී විෂ දුම් පිට කළේ ය. බුදුරජාණන් වහන්සේ සෘද්ධි බලයෙන් පෙරළා දුම් විහිද වූහ. නාග රාජයා ක්‍රෝධ ගින්නෙන් වෙළී දිලිසුණු අතර බුදුරදුන් සෘද්ධිමය ගින්නෙන් බැබළුණි. මුළු ගිනිහල් ගෙයම ගින්නෙන් වැසී ගත්තාක් මෙන් දිස් වුණි. ජටිල පිරිස එය දැක මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා බෙහෙවින් පීඩා පමුණුවා ඇතැයි, සිතූහ. රැය පහන් වූ පසු බුදුරජාණන් වහන්සේ ඔද සිඳී ගිය නාගයා ස්වකීය පාත්‍රයෙහි දමා උරුවේල කාශ්‍යප වෙත පෙන්වූහ. හෙතෙම එය දැක ප්‍රකාශ කළේ “මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් ද මනයෙහි දක්ෂ ය. එහෙත් මා සේ රහත් බවට පත්ව නැතැ’යි, යනුවෙනි.

මෙකී තුන් බෑ ජටිල පිරිසම තමන් රහත් ය, යන මානයෙන් මුළා වී සිටි අතර එම වැරැදි මානය දුරුකොට නිවන් මඟට ඔවුන් යොමු කරවීම බුදුරදුන් ගේ එකම අපේක්ෂාව විය. එබැවින් බුදුරදුන් ඔවුන්ගේ මානය දුරු කිරීමට විවිධාකාර වූ ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන් ය. ඒ දැක උරුවේල කාශ්‍යප බුදුරදුන් කෙරෙහි බෙහෙවින් ප්‍රසාදයට පත් ව පන්සියයක් වූ ස්වකීය අතවැසි පිරිස ද සමඟ පැවිදි වූහ. පසුව ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජනා නදියෙහි පා කර යැවූ හ.

ගඟෙහි පාවී ආ තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදු වී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවර ද කැටිව පැමිණිය හ.

එහි දී ඔවුන් පැවිදි වී සිටිනු දැක තමා ද කරුණු විමසා ස්වකීය පිරිවර සමඟ බුදුරදුන් වෙතින් ධර්මය අසා පැහැදී පැවිදි වූහ. ගඟෙහි පා වී යන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිස ද නදී කාශ්‍යප සේ ම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහාගෙන බණ අසා පැවිදි වූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේලා ද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළ හ. එහි දී බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝම රහත් භාවයට පත් වූහ.

වප් පොහොය දිනෙක මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පිරිවර සමඟ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. ඔවුන් එසේ පැමිණියේ දේවාරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි.

වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණු අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටියහ. ඒ ඉල් පොහොය දිනෙක ය.

එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳ කිලියෙහි වියනක් කොට පිදූ අතර, අනෙක තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූහ. පසුව බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැ”යි, නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහි දී ලබා ගන්නා ස්ථිර ප්‍රකාශය යි.

අගසව් සැරියුත් මහරහතන් වහන්සේ ස්වකීය උපන් ගම වූ නාලක ගමේ දී පිරිනිවන් පෑමත්, මව වූ රූපාසාරි බැමිණිය මාර්ගඵල ලැබීමත් සිදු වූයේ ද ඉල් පොහොය දිනෙක ය. සැරියුත් මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ වූ ආදාහන කටයුතු නිමවා චුන්ද මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අතට පත් කරන ලදී.

මෙහිදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් ඉදිරියෙහි සැරියුත් මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සමුදාය සිහිපත් කළ සේක.

ඉල් පොහෝදා පසුවස් පවාරණය ද සිදු කෙරේ. පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් පවාරණය කොටස් දෙකකි. ඇසළ පොහෝ දා පොහෝය විනය කර්මය කොට අවපෑළවිය ද, පෙරවස් සමාදන් වී වස් ආරක්ෂා කර වප් පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණය යි.

නිකිණි පොහෝ දා පොහෝය විනය කර්මය කොට අවපෑළවිය ද, පසුවස් සමාදන් වී ඉල් පොහෝ දා, වස් පවාරණය කිරීම පසුවස් පවාරණය යි. කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයන් සියල්ල ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙන් පසු නිමාවට පත් කෙරෙයි.


ඌරුගමුවේ අස්සජි හිමි

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය

 



"මෙරට ජන හදවත් ආගමික ප්‍රබෝධයෙන් පුබුදුවාලු, සිංහල සභ්‍යත්වයෙහි හා සදාචාරයෙහි නියමුවා වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම පාලකයා පමණක් නොව රටවැසියා ද ධර්ම සංවේගයෙහි හෙළන්නට විය. එනිසා උන්වහන්සේගේ පරිනිර්වාණය කන වැකුණු නන්දෙසින් පැමිණි මහාජනකාය මහත් පූජා කරමින් රටෙහි හා ජාතියෙහි ගෞරවය පුද කළහ. මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ජනහදවත්වල අනුබුදු නාමයෙන් බැසගෙන තිබුණු සිතිවිලිවල ප්‍රබලත්වය නිසා උන්වහන්සේ ජනයාගේ නිසි බුහුමනට පාත්‍ර වූ හ."


මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිංහල සංස්කෘතියෙහි හා ශාසනයෙහි ආරම්භය සනිටුහන් කරන්නකි. උන්වහන්සේ භාරතයෙහි ව්‍යාප්තව පවැති, සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ බුදු දහමත්, සම්බුද්ධ ශාසනයත්, බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයත් මෙරටට රැගෙන වැඩිය හ.


එය අරමුණක් නැතිව ජීවත් වූ ලාංකේය වැසියන්ට මහත් අස්වැසිල්ලක් විය. සභ්‍යත්වයක් නොමැති ජනයාට ඉමහත් කායික මානසික සතුටක් ගෙන දුන්නේ ය. මේනිසා දහස් ගණන් මෙරට ජනයා පළමු දින කිහිපයතුළ දී ම සම්බුද්ධ ශාසනය වටා ඒකරාශී විය. මිහිඳු මාහිමියන් වහන්සේ එදා රාජකීය පවුලෙන් ආරම්භ කළ සදාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය බුදු දහම හා බද්ධ වී, පෝෂණය වී සිංහල ජනයාගේ ජීවිතයට ඒකාබද්ධ විය. එදා සිට සිංහලයා සමස්ත මානව වර්ගයා හමුවේ කැපී පෙනෙන ලෙස සාඩම්බර ව, අභිමානයෙන් යුක්තව පෙනී සිටියේත්, ගරු සම්මාන ලැබූවේත් බුදු දහමෙන් පෝෂිත වූ සිංහල සංස්කෘතිය නිසා ය. බුදු දහම හා සිංහල සංස්කෘතිය ගසට පොත්ත මෙන් අන්‍යොන්‍යව බද්ධ වී අද දක්වා ක්‍රියාත්මක ව පවතින අතර, එය යම් දවසක සිංහලයාගෙන් වෙන්වේ ද, එදාට ප්‍රාග් මහින්ද යුගයේ පැවැති ගෝත්‍රික ලක්‍ෂණ සිංහලයාගෙන් පෙන්නුම් කරයි.


මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වඩින විට තිස් දෙවෙනි වියෙහි පසු වූ තරුණ තෙරුන් වහන්සේ නමකි. දේවානම් පියතිස්ස රජුගෙන් පසුව රජ පැමිණි උත්තිය රජුගේ අටවැන්නේ දී වප්මස පුරපක්‍ෂය අටවැනි දිනයෙහි දී ලංකාද්වීපය බැබළවූ මෙරට ශස්තෘ ශාසනයෙහි දියුණුවට පමුණුවා ලංකාවට කීර්තිය ගෙන දුන්නා වූ, ලංකාද්වීපවාසීන්ට යහපත පිණිස කටයුතු සිදු කළ මිහිඳු මහ රහතන් වහන්සේ සැටවන වයසේ දී (සට්ඨිවස්සෝ) එනම් අවුරුදු අසූවක් ආයු වළඳා වස් වැස සිටියදී පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ දිනය අටවක් දා යැයි එදින සිට සම්මත විය. මහාවංසයෙහි විසිවෙනි පරිච්ඡේදයෙහි තිස්දෙවන ගාථාවෙහි සිට දැක්වෙන තොරතුරුවලට අනුව උන්වහන්සේගේ පිරිනිවන් පෑම අසා රජු ශෝකය නමැති උලෙන් පරහරණ ලද්දේ (වේදනාවෙන් පෙළුණේ) ශ්‍රී දේහය සමීපයට ගොස් වැන්ඳේය. එහි දී රජු නොයෙක් අයුරින් බොහෝ සෙයින් වැළපුණේය. ඉන්පසු රජු උන්වහන්සේගේ ආදාහනය උපරිම ගෞරවයෙන් සිදු කිරීමට කටයුතු කළේ ය. තෙරුන් වහන්සේගේ දේහය බොහෝ සුවඳ තෙල් පුරවන ලද රන් දෙනක මනාව තැන්පත් කරවී ය. අනතුරුව මනාව වසන ලද එම දේහය අලංකාර වූ රන්කුළුගෙයක තබවන ලදී. පසුව එම කුළුගෙය රැගෙන යහපත් රංගනයන් දක්වමින් උන්වහන්සේගේ දේහයට ගෞරවය දක්වන ලදී. එසේම ඒ ඒ දිශාවෙන් පැමිණි මහත් වූ ජන ගංගාවකින් ද, මහත් වූ බට සමූහයකින් ද, නොයෙක් විධියේ පූජා විධීන් ද සිදු කරන්නට විය. එසේ සරහන ලද රන්කුළුගෙය නගරයට ගෙනවිත් රාජකීය වීදිවල හසුරුවා මහා විහාරයට රැගෙන එන ලදී. අනතුරුව එහි තබවා සත්දිනක් උත්තිය රජු තොරන්, කොඩි, මල් හා සුවඳ පිරුණු කළවලින් විහාරයන් අවට තුන් යොදුනක් රජුගේ අණින් සරසන ලදී. එසේම මුළු ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරසන ලද්දේ ද විය. රජු දින සතක් නොයෙක් ආකාරයෙන් පූජා පවත්වා තෙරුන්ගේ දේහය බඩමාළක නම් ස්ථානයෙහි සුවඳ දර සෑයක් කරවා මහාසෑය ප්‍රදක්‍ෂිනා කරමින් මනරම් කුළුගෙය එහි පමුණුවා, දර සෑයෙහි තබවා අවසන් ගෞරව සමාචාර සිදු කළේ ය. අනතුරුව උන්වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන්වා ගෙන අනුරාධපුරයෙහි සෑයක් ඉදි කළේ ය. තව ද ධාතූන් කොටසක් ගෙන්වා ගෙන සෑගිරි වෙහෙරෙහි ද, සෙසු විහාරයන් හි ද සෑයන් බැන්ඳවී ය.


මහාමහින්ද මහ රහතන් වහන්සේගේ ශ්‍රීමත් දේහය පිළිබඳ වු ආදාහන පූජෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි සිදු වූ පළමු රාජකීය බෞද්ධාගමික ආදාහනය යි. මෙම ආදාහනය ඓතිහාසික කරුණු කිහිපයක් ඉතිහාසයට එකතු කර ඇත. උත්තිය රජු එකී රාජකීය ආගමික උත්සවයක් සිදු කළ පාලකයා වශයෙන් ද ඉතිහාසගත වී ඇත.


මෙරට ජන හදවත් ආගමික ප්‍රබෝධයෙන් පුබුදුවාලු, සිංහල සභ්‍යත්වයෙහි හා සදාචාරයෙහි නියමුවා වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම පාලකයා පමණක් නොව රටවැසියා ද ධර්ම සංවේගයෙහි හෙළන්නට විය. එනිසා උන්වහන්සේගේ පරිනිර්වාණය කන වැකුණු නන්දෙසින් පැමිණි මහාජනකාය මහත් පූජා කරමින් රටෙහි හා ජාතියෙහි ගෞරවය පුද කළහ. මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ජනහදවත්වල අනුබුදු නාමයෙන් බැසගෙන තිබුණු සිතිවිලිවල ප්‍රබලත්වය නිසා උන්වහන්සේ ජනයාගේ නිසි බුහුමනට පාත්‍ර වූ හ. ශ්‍රී ලංකේය ජනයා සිය ගෞරවය හෙළ සිරිත් විරිත් අනුව සිදු කළ බවට ද තහවුරු වේ. සුවඳ සුණු, සුවඳ ආලේප, සුවඳ දිය භාවිත කිරීමත්, එසේම සුවඳ දර යොදා ගැනීමත් නිසා උන්වහන්සේ කෙරෙහි වූ බොදු ජනයාගේ භක්තිය මනාව ප්‍රකට කරයි.


මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසුව සිංහල දේශය ගොඩනැගීමට විවිධ මෙහෙයක් සිදු කළහ. ධර්ම දේශනාවකට පමණක් සීමා නොවූ උන්වහන්සේගේ දිනචර්යාව විවිධ අංශයන් වෙත පැතුරුණු සේවයක් විය. සිංහල ලේඛනයේ ආරම්භය සිදු වූයේ උන්වහන්සේගේ ආගමනයෙන් අනතුරුව ය. ලේඛන සඳහා අවශ්‍ය බ්‍රාහ්මී අක්‍ෂර මාලාව මෙරටට ලැබුණේ ය. ඉන්දු ආර්ය භාෂා රීතියට අනුකූලව ලියැවුණු පැරැණි සිංහල ලේඛන මහින්දාගමනයෙන් පසුව හමුවේ. මහින්දාගමනයත් සමග ත්‍රිපිටක ධර්මය තුළ අන්තර්ගත පාලි භාෂාව භික්‍ෂූන්ගේ භාෂා මාධ්‍ය බවට පත්විය. එය පසුකාලයේ අන්තර්ජාතික භාෂාවක් බවට පත් විය. පාලි භාෂාවේ ආභාෂය ලබා සිංහල භාෂාව පෝෂණය විය. එසේම කලා ශිල්පයෙහි උන්නතිය හා කලා ප්‍රබෝධය ඇති වූයේත් මහින්දාගමනය නිසා ය. ගෘහනිර්මාණ, චිත්‍ර, මූර්ති, කැටයම් ශිල්ප යන කලා මාධ්‍යය බිහි වූයේ උන්වහන්සේගේ ආගමනය නිසා ය. මෙරට ආගමික හා අධ්‍යාත්මික සමෘද්ධිය වෙත පියමං කරමින් ආර්ථික දියුණුව උදාවූයේ වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි යන උදාර සංකල්පය නිසා ය. මෙරට ජනයාගේ සිත්වල කලා රසකාමීත්වය ජනනය කරමින් පෙරහර ක්‍රමය බිහි විය. ශ්‍රී මහා බෝධියේ ආගමනයේ දී පැවැත් වූ එම ඓතිහාසික පෙරහර ජනයාගේ ශ්‍රද්ධාව, උද්දාමය හා අභිමානය ගොඩ නැංවීමට සමත් විය. අනතුරුව විවිධ සංස්කෘතිකාංගවලින් යුත් පෙරහර ක්‍රම මෙරට තුළ ව්‍යාප්ත විය. මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුපමේය සේවය මාතලේ අළුවිහාරයෙහි ලේඛණගත කර ඇති ත්‍රිපිටක ධර්මයත්, රජරට ප්‍රදේශවල පැතිර ඇති නිල්වන් කෙත්යායවලින් ද, විශාල වැව් අමුණු සහිත වාරි තාක්‍ෂණයෙන් ද, අහස උසට පැතිරුණු සුවිසල් දාගැබ් හා ගොඩනැගිලි නෂ්ඨාවශේෂවලින් ද, මහාවිහාරය, අභයගිරි, ජේතවන යන භික්‍ෂු අධ්‍යාපන මධ්‍යස්ථානවලින් ද මනාව කියාපායි.


සාමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික වශයෙන් අනුපමේය සේවයක් සිදු කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දුන් මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිහිපත් කරන අද දිනයේ අපගේ වැදගත්ම කාර්යභාරය වන්නේ උන්වහන්සේගේ මඟපෙන්වීම තව තවත් පාලක පක්‍ෂයේ සිට රටවාසි සියලු දෙනාගේ ජීවිතවලට සමීප කර ගැනීමයි. අපගෙන් ගිලිහීගිය සදාචාරය නැවැත ඇති කර ගැනීමයි. සිංහලයා ඉහළට ඔසවා තැබූ අපගේ සංස්කෘතිය, සදාචාරය, ආගන්තුක සත්කාරය, පරහිතකාමීත්වය, සමගිය, සමාදානය, කරුණාව මෛත්‍රිය වැනි උදාර ගුණ ධර්මවලින් තව තවත් පෝෂණය වීමයි. අපගේ ඉදිරි පරම්පරාවට එකී ගුණධර්ම හඳූන්වා දෙමින් ඔවුන්ගේ ජීවිත ද ශ්‍රේෂ්ඨ සිංහල සංස්කෘතියෙන් ඔපවත් කිරීමයි.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය

එච්. එම්. මහින්ද හේරත්