මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

Maha Kashyapa Rahathan Wahanse මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධූතාංගධාරී භික්‍ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වූ මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන් ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරා ගිය ඒ මහා පාංශුකූල චීවරය පෙරවීමට තරම් මහා භාග්‍යයක් ලැබුවේ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. එපමණක් නොව බුදු සිරිපා හිස මත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට හිමි විය.

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ පිහිටා තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්‍ෂණ සතක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශරීරයේ ද පිහිටා තිබුණි. උන් වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසින් අඩු බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවන් පෑ පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කොට ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. උන් වහන්සේ වැඩ නොසිටියා නම් අද අපට පාලි ත්‍රිපිටකයක් නැත. සුත්‍ර පිටකයේ සංයුත්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි. සංයුත්ත නිකායේ සූත්‍ර හත්දහස් පන්සියයක් පමණ ඇත.

පළමු ධර්ම සංගායනාව

පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ මගධාධිපති අජාසත්ත මහ රජතුමාගේ දායකත්වයෙන් රජගහ නුවර දී එක් ධාතු නිධානයක් කරවා සර්වඥ ධාතූන් වහන්සේලා ගේ ආරක්ෂාව සැලසූ සේක. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි.

මහා කාශ්‍යප තෙරණුවෝ ඉතා සරල දිවියක් ගත කළ සේක. පිරිස අතර ගැවසීමට පි‍්‍රය නොකළ උන් වහන්සේ සමූහයා ගෙන් ඈත් වී කාත් කවුරුත් නැති මහ වනාන්තරවල සමවත් සුව විඳිමින් නිහඬ දිවියක් ගත කළ සේක. ඇතැම් විට උන් වහන්සේ වැඩ සිටියේ සොහොන්පිටිවල ය. නගරයට වැඩියේ කලාතුරකිනි. පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පාන තුරු උන් වහන්සේ ඇඳක පිට තැබුවේ නැත. උන් වහන්සේ ගේ උතුම් ගුණ නොයෙක් අවසථාවල දී බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රශංසාවට පවා ලක් විය. බුදුරදුන් භික්‍ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් ආදර්ශයට ගන්නා ලෙසයි.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ අසරණ දුගී දුප්පතුන් මෙන් ම රෝගීන් කෙරෙහි දැක් වූයේ දැඩි අවධානයකි. රජමැදුරවලින් පමණක් නොව රටේ සුපිරි මහා ධනවත් බලවත් දායකයන් ගේ නිවාසවලින් දිව්‍ය භෝජන බඳු අතිප්‍රණීත දන් ලබාගැනීමට හැකියාව තිබිය දී ත් උන් වහන්සේ පිඬු සිඟා වැඩම කළේ අන්ත අසරණ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන මාර්ගවල ය. ඔවුන් ගේ අතුපැලවල් වෙත ය.

මහා කාශ්‍යප මහ තෙරුන් සමාපත්ති බහුල තෙරුන් වහන්සේ නමකි. උන් වහන්සේ නිරන්තරයෙන් ම සමාපත්තීන්ට සමවදිමින් වැඩ සිටියහ. උන් වහන්සේ කිසියම් නිවසකට පිඬු සිඟා වැඩියත් දොරටුව අසල දී සමාපත්තියට සමවැද ඉන් නැගී සිටිමින් ම දන් පිළිගනිති. උන් වහන්සේ මෙසේ කරන්නේ තමන් වහන්සේට දන් පුදන, වන්දනා කරන, පුදසත්කාර කරන ඒ අසරණ තැනැත්තන් ගේ පින තව තවත් බලවත් කිරීමට යි.

මහා තෙරුන්ට දන් පිදූ අසරණ දුගී මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියෙහි උපත ලැබූහ. ඇතැමුන්ට එහි යහපත් විපාක එම ආත්මභාවයේ දී ම ලැබුණි. මේ සියලු කරුණු නිසා මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ “දුප්පතුන් ගේ මුනිවරයා “ යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

මහා කාශ්‍යප මහ තෙරුන් සතුව පැවති මේ උතුම් ගුණ සමුදාය නිසා බොහෝ මනුෂ්‍යයෝ උන් වහන්සේ අතිශයින් ම පි‍්‍රය කළහ. මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝ ද උන් වහන්සේ පි‍්‍රය කළහ. උන් වහන්සේට ආදර ගෞරව දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය විලාශයෙන් දන් පිදීමට ගිය හොත් මහ තෙරුන් දන් නොපිළිගන්නා නිසා තම බිරිඳ වූ සුජාතාව ද සමගින් හිඟන වෙස් ගෙන මහ තෙරුන්ට දිව්‍ය භෝජන පිදුවේය. මහා කාශ්‍යප තෙරුන් කෙරෙහි දේවතාවන් කෙතරම් සැලකිල්ලක් දැක්වූවා දැ’යි කිව හොත් උන් වහන්සේ වඩින තුරු බුදුරජුන් ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නුදුන්හ.

මහා කාශ්‍යප මහ තෙරුන් පිරිනිවන් පෑවේ එකසිය විසිවැනි වියේ දී ය. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ “කුක්කුටසම්පාත” (කුක්කුටපාද) පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව “සම්පිණ්ඩිතමහානිදාන” නමැති දුර්ලභ පාලි ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන් ගේ දේශාටන වාර්තාවේ ත් හියුං සියං භ්‍රමණවෘත්තාන්තයේ පැහැදිලි ව සඳහන් වේ. සැබවින් ම මෙය ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැති බෞද්ධයන් ගේ මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයට හේතුවකි. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය තැන්පත් ව ඇති කුක්කුටසම්පාත පර්වතය අද හඳුන්වන්නේ “ගුරුපාදගිරි” යනුවෙනි.
ඉන්දියාවේ කුක්කුටසම්පාත (කුක්කුටපාද) පර්වතය


බෙන්තර ගලපාත රජ මහා විහාරය


බෙන්තර ගලපාත රජ මහා විහාරය


බෙන්තර ගලපාත රජ මහා විහාරය

මහා කාශ්‍යාප මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය කුක්කුටසම්පාත පර්වතය තුළ තැන්පත් ව තිබුණත් උන් වහන්සේ ගේ එක් දළදාවක් ලක්දිව තුළ වැඩ සිටිති. නමුත් මෙය බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින්නේ බෙන්තර ගලපාත රජ මහා විහාරයේ ය. මේ බව චළවංශය, පූජාවලිය යන ග්‍රන්ථයන්හි පැහැදිලි ව සඳහන් ව ඇත. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ මේ දළදාව උන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දී වැටුණු දළදාවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ජීවිත කථාව අතිශයින් ම විසිතුරු ය. උන් වහන්සේ ගේ ජීවිතයෙන් අප සැමට උගත හැකි දෑ බොහොමයකි. සරල චාම් දිවියක් ගත කිරීම, ලද දෙයින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කිරීමට හැකිවීම, දුක්වේදනා ඉවසීම, නිහතමානී බව, පමණ දැන ගැනීම, දුප්පතුන්ට අසරණ රෝගීන්ට හැකි පමණින් පිහිට වීම, බොහෝ වැඩ කටයුතුවල නිරත නොවීම, හැකි සෑම විට ම භාවනා කිරිම, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට ගිජු නොවීම, තමාට පැවරුණු කාර්ය නිසි පරිදි ඉටුකිරීම, වගකීම් පැහැර නොහැරීම, බුදුසසුනේ දියුණුවට හැකි පමණින් කටයුතු කිරීම ඉන් කිහිපයකි.


ගයාන් චානුක විදානපතිරණ

කොළඹ මාලිගාකන්ද විද්‍යෝද පිරිවෙනේ ආචාර්ය,

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ


Aknkna Kondaknkna Maha Rahathan Wahanse අඤ්ඤා කොණ්ඩඤඤ මහ රහතන් වහන්සේ

සැදැහැ ධනයෙන් යුතු සිත් ඇති පින්වතුන් හට සඟරුවන කෙරෙහි ප්‍රසාදය බලවත් වීම පිණිස ලියැවෙන මෙය ගොයුම් බුදුසසුන සෝභමාන කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපහාර පූජාවක් වේවා! …………………….

මේ සේනිය බිම්බිසාර මහා නරේන්ද්‍රයන් විසින් ගෞතම බුදුසසුනට පූජා කළ සොඳුරු වේළුවනාරාම පින් බිමයි. රමණීය කඳු වළළු කිහිපයකින් වට වූ රජගහනුවර සුපිහිටි මේ ආරාමයෙහි තිලෝගුරු ගෞතම බුදුරජාණෝ වැඩ සිටිනා සේක.

එදින භික්ෂු පිරිස පිරිවරාගත් අප සම්මා සම්බුදු රජාණෝ එළිමහනේ වැඩහුන් මොහොතේ, වයෝවෘද්ධ වූ, වැවී ගිය කෙස් රැවුල් ඇති, වැහැරී ගිය සිවුරක් ගත දරා ගත්, ශාන්ත සංසුන් ඉරියව් ඇති භික්ෂුවක් වේළුවනාරාමය වෙත වැඩම කළේය. දුර සිටම සම්බුදු රජාණන් වහන්සේ දෙසට ම යොමු කරගත් නෙතින් යුතුව ගෞරවාන්විත ගමනින් පැමිණි මේ භික්ෂුව රැස්ව සිටි භික්ෂු පිරිස මධ්‍යයේ ම බුදුරජුන්ගේ සිරිපතුල් යුග අභියස සිරසින් වැඳ වැටිණි. ඒ ස්වර්ණ වර්ණ සිරිපා යුග්මය තම මුවින් සිඹින්නට පටන් ගති. නහර වැල් ඉල්පුණු තම දෙඅතින් ඒ සිරිපා යුග පිරිමදින්නට විණි.

එහි සිටි නවක භික්ෂූන් මුහුණට මුහුණ බලා ගත්තා විණා, කිසිවෙකුත් මේ උතුම් භික්ෂුව හඳුනා නොගත්තේය. මේ මහා මුනිඳුන්ව හඳුනාගත් භික්ෂූන් හදපිරි සතුටිනුත්, හටගත් ගෞරවයෙනුත් යුතුව බලා සිටියේ ය. සැබැවින් ම…. ශාස්තෘන් වහන්සේ කෙරෙහි මේ සා ප්‍රසාද ගෞරව දක්වමින් මෙහි වැඩසිටිනා මේ මහා මුනිඳුන් කවරෙක් ද?

‘මා හට බුදුසසුනක ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නා භික්ෂුව බවට පත් වීමේ භාග්‍යය උදා වේවා!’ යන අදහසින් මින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර අර්හත් සම්මා සම්බුදු රජුන්ගේ උතුම් බුදුසසුනේ පටන් පින් පුරමින් පැමිණි මහා පින්වන්තයාණෝ මේ මුනිඳු ය.

මින් අනූඑක් කල්පයකට පෙර පහළ වූ විපස්සී සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහාසඟරුවන විෂයෙහි සිය මුළු අස්වැන්න ම කැපකොට නව වරක් දන්පැන් පුදමින් මහා පින් රැස්කළ දානපතියාණෝ මේ මුනිඳු ය.

උතුම් තෙරුවනට සත්කාර කරමින් මනාකොට රැස්කළ පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් දෙව්මිනිස් දෙගතියේ ම සැප විඳිමින් පැමිණි මහා පින්වන්තයාණෝ මේ මුනිඳු ය.

කපිලවස්තු නගරයට ආසන්න ද්‍රෝණවත්ථු නම් ග්‍රාමයේ මහාසාර බ්‍රාහ්මණ කුලයෙක ජන්ම ලාභය ලැබ යොවුන් වියට පත් වෙද්දී ම අංග ලක්ඛණ ශාස්ත්‍රය ඇතුළු ත්‍රිවේදයේ කෙළ පැමිණි නැණවතාණෝ මේ මුනිඳු ය.

රාම, භෝජ, ධජ, ලක්ඛණ, මන්තී, සුයාම, සුදත්ත යන වයෝවෘද්ධ පඬිවරුන් සමඟ සුදොවුන් නිරිඳුන්ට දාව මහාමායා බිසොවුන්ගේ කුසින් උපන් පින්වන්ත කුමාරයාණන් හට නම් තැබීමේ මංගල්‍යයට සම්බන්ධ වීමේ භාග්‍යය ලද වාසනාවන්තයාණෝ මේ මුනිඳු ය.

ලුමිබිණී සල් උයනේදී මහා අසිරිය කරමින් මනුලොවට වැඩියා යැයි අසන්නට ලැබුණු ඒ සිඟිති කුමාරයාණන්ගේ රන්පැහැ සිරුරේ මහා පුරිස ලකුණු මොනවට පිහිටා තිබෙනු දැක මහත් සේ සන්තෝෂයට පත් වූයේ මේ මුනිඳු ය.

අනෙක් බමුණු පඬිවරු ‘මේ කුමරා ගිහිගෙයි විසුවහොත් සක්විති රාජ බවට පත් වන්නෙකි, ගිහි දිවිය අත්හළහොත් ලොව්තුරා සම්බුද්ධ රාජ බවට පත් වන්නෙකි.’ යනුවෙන් තීරණ දෙකක සිටියදී ‘නැත, මේ කුමාරයාණන් ඒකාන්තයෙන් ම ගිහි බන්ධන සිඳබිදලා දෙව්මිනිසුන්ව දුකින් එතෙර කරවන විමුක්ති දායකයාණන් වූ සම්මා සම්බුදු රජාණන් බවට පත් වන්නේ ම ය.’ යනුවෙන් නියතව ප්‍රකාශ කළ මහා පඬිවරයාණෝ මේ මුනිඳු ය.

එකුමරුන් හට සිද්ධාර්ථ යැයි නම් තැබූ දිනයේ ම ‘මම මතු ශ්‍රී සම්බුද්ධත්වයට පත් වන බුදුරජුන්ගේ දහම් අසා අමා සුවයේ සැනසෙන්නෙමි’ යි ගෘහ බන්ධන අත්හැර උතුම් පැවිද්දට පත් වූ විමුක්තිකාමියාණෝ මේ මුනිඳු ය.

විසිනව හැවිරිදි වියේදී මහාභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ මහබෝසතුන් හට අමා නිවන සොයමින් ආර්ය පර්යේෂණයේ යෙදෙන අවදියේ දුෂ්කර ප්‍රතිපදාවකට බැස ගත් කල්හී ඉතා ගෞරවයෙන් උපස්ථාන කළ ශ්‍රමණවරු පස්දෙනා අතරේ මූලිකයා ද මේ මුනිඳු ය.

වෙසක් පුන් පොහෝ දින දඹදිව බුද්ධගයාවේ නේරංජරා නදිය අසබඩ දසමර සෙන් පරදා ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ තම මංගල දම් දෙසුම පැවැත්වීම පිණිස සුදුස්සෝ කවරහු දැ යි ඤාණය මෙහෙයවන කල්හී ඒ සඳහා සුදුසු යැයි කියා සම්බුදු නේත්‍රයට හසු වූයේ වප්ප – භද්දිය – මහානාම – අස්සජී යන පින්වත් ශ්‍රමණවරු පිරිවරා සිටිනා මේ මුනිඳු ය.

ඇසළ මස පුන් පොහෝ දිනයේ පින්බර රාත්‍රියේ බරණැස් වන මිගදායේදී තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ පරම ගම්භීර චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත දහම්සක ප්‍රවර්තනය කරද්දී මේ මනුලොව එය ඇසීමේ භාග්‍යය උදා වූ පස්වග භික්ෂූන් අතරේ ප්‍රධාන භික්ෂුව වූයේ මේ මුනිඳු ය.

අහෝ! අසිරියෙකි… කරන ලද පුණ්‍ය ප්‍රාර්ථනය සඵල වෙමින් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතරවෙනි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දම් දෙසුමෙන් මේ මනුලොව යමෙක් පළමු කොට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගත් සේක් ද, සම්බුදු රජාණන් වහන්සේගේ ඒ පළමු ශ්‍රාවක රත්නය මේ මුනිඳු ය.

උතුම් සෝතාපන්න ඵලයට පත්ව ‘හේතූන්ගෙන් හට ගත් සියල්ල ඒ හේතු නැති වීමෙන් නැති වී යන්නේ ය’ යන දහම් ඇස ලබනා මොහොතේ (අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ) “භවත් කොණ්ඩඤ්ඤයෙනි, ඔබ ඒකාන්තයෙන්ම මේ දහම අවබෝධ කළා” යනුවෙන් ශාස්තෘන් වහන්සේ විසින් උදාන වාක්‍යයක් පහළ කළේ ද මේ මුනිඳුන් අරබයා ය. මේ ලෝකයට අනුත්තරීය පින්කෙත වූ ආර්ය මහා සංඝරත්නයේ පහළ වීම සිදුවූයේ කොණ්ඩඤ්ඤ නම් මේ මුනිඳුන්ගේ ධර්මාවබෝධයත් සමඟ ය.

ශාස්තෘන් වහන්සේගේ උදාන වැකිය නිසාවෙන් මේ මුනිඳුන්ව එදා සිට හැඳින්වූයේ “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” යන නාමයෙනි. අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිඳුන්ගේ දිවිය සැබැවින්ම අසිරියකි. බරණැස් වන මිගදායේදී ම මංගල දම්දෙසුමෙන් සත් දිනකට පසු සම්බුදු මුව මඬලින් දේශනා කළ අනත්ත ලක්ඛණ දෙසුම අසා උන්වහන්සේ උතුම් වූ අර්හත්වයට පත් වූ සේක. ඒ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ යනු මේ බුදුසසුනේ පැවිදිව වැඩිම කලක් ගත කළ චිරරාත්‍රඥ භික්ෂුව හෙවත් මේ බුදුසසුනේ වැඩිමහල් ම භික්ෂු රත්නය යි.

උන්වහන්සේ බොහෝ ප්‍රිය කළේ මිනිසුන්ගෙන් වෙන් වූ විවේකී වන සෙනසුන්වලටයි. ඒ ප්‍රියභාවයටත් වඩා පිරිසෙන් වෙන්ව හුදෙකලා වීමට හේතුවක් උන්වහන්සේට පෙනෙන්නට විය. පැවිදි වූ පිළිවෙළට ගරු සත්කාර දැක්වීම භික්ෂූන්ගේ පිළිවෙතයි. එහෙත් සසරේ පුරන ලද මහා පින් ඇතිව බුදුරජුන්ගේ අග්‍රශ්‍රාවක බවට පත් වූයේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ය. දම්සභා මණ්ඩපයට රැස්වන භික්ෂූන් අතරේ ශාස්තෘන් වහන්සේට පසු මූලාසන පැණවෙන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ය. අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ වැඩසිටිද්දී එම මූලාසනවල වැඩ සිටීමට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා හැකිළෙති, එසේ වැඩහිඳීමට සිදුවීමෙන් ලැජ්ජාවට පත් වෙති.

මෙය දැනගත් කෙනෙහි අග්‍රශ්‍රාවක දෙනම වහන්සේලාට ද පහසුවක් වෙමින් වන පියසට වැඩම කිරීමට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් තීරණය කළේය. සුදුසු අවස්ථාවක ඒ උදෙසා අවසරය ලබාගත් උන්වහන්සේ ශාස්තෘන් වහන්සේගේ පාකමල් වැඳ හිමාලයේ මන්දාකිනී විල්තෙර වෙත වැඩම කළ සේක.

ගන්ධමාන පර්වතය අසබඩ යොදුන් පනහක් පුරා පැතිරී ඇති මේ මන්දාකිනී විලේ පළිඟු වන් පිරිසිදු ජලය පිරී පවතී. රියසක බඳු රත්නෙළුම්, සුදුනෙළුම් මේ විලේ නිබඳ පිපී පවතී. විල අවට වනය දෑසමන්, චම්පක, සඳුන් ආදී නේක සුවඳැති පුෂ්පයන්ගෙන් ද, නොයෙක් ප්‍රණීත පළතුරු වලින් ද පිරී පවතී. එහෙත් මෙහි කිසිදු මිනිස් වාසයක් නම් නැත්තේ ය. අතීතයේ පසේබුදු රජාණන් වහන්සේලාට උපස්ථාන කරමින් වාසය කළ පරපුරකින් පැවත එන ඡද්දන්ත කුලයේ හස්තීන් අටදහසක් පමණ මෙහි වාසය කළේය. එනිසාම මෙය ඡද්දන්ත වනය කියා හැඳින්විණි.

වයෝවෘද්ධ, මේ මහාමුනිඳුන් තම වන පියසට වැඩම කිරීම ඒ ඡද්දන්ත හස්තීන්ට කිව නොහැකි තරම් සතුටකි. උන් ප්‍රීතියෙන් කුංචනාද කළෝය. තම මාපිය හස්තීන් සමඟ නේක ඵලවැල ගෙන පසේබුදු වරුන්ට දන්පැන් පිදූ අයුරුත්, නොයෙක් උවටැන් දැක් වූ අයුරුත් සිහිපත් වූ හස්තීන්ගේ දෑස් කෙවෙනි සතුටු කඳුළින් පිරී ගියේ ය. “අහෝ!… කාලෙකට පස්සේ අපට පින්කෙතක් පහළ වෙලා. ඔව්! පින්කෙතක් පහළ වෙලා.”

හස්තීන් එක්ව කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට වැඩහිඳීමට ගල්ලෙන පිරිසිදු කළෝය. ඒ ලෙනේ වැඩහිඳින උන්වහන්සේට දිනපතා උපස්ථාන කළෝය. අව්වේ තබා රත්කරගත් ගල් යොදාගෙන උන්වහන්සේට සීතල කලට පැන්පහසුව පිණිස උණුපැන් පිළියෙළ කර දුන්නේ හස්තීන් ය. මාසයකට දෙවතාවක් පමණ සිවුරු රැහැනේ දමා තිබෙන උන්වහන්සේගේ චීවරය මනාකොට අපුල්ලා ගෞරවයෙන් පිරිසිදු කළේ ද හස්තීන් ය. අතු අග පිපෙන මල් කිණිති කඩාගෙන විත් උන් ලෙන අවට සුවඳවත් කරති. සවස් කාලයට ගිලන්පසක් ලෙස වැළඳීමට පැණි වෑහෙන උක්දඬු ගෙනැවිත් පාත්‍රයට පැණි පුරවා පූජා කරති. සෑම දිනෙක ම නොයෙක් පලවැල සහිතව ප්‍රණීත දානයක් පූජා කරති. අටදහසක් හස්තීන් දිනපතා සාදර ගෞරවයෙන් අප මහරහතන් වහන්සේට වන්දනා කොට පින් පුරා ගනිති.

මෙසේ කාලය ගත වී ගියේය. දොළොස් අවුරුද්දක් ම ගත වී ගියේය. දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ සිවුර බොහෝ සෙයින් වැහැරී ගොස්ය. කෙස් රැවුල් ද වැවී තිබේ. එසේම කාලයත් සමඟ මිහිමඬළ සනසාලමින් වැඩසිටි, දැක සිත පහදවාගැනීම් මාත්‍රයකින් පවා සුගති සැප ඉපදවීමට තරම් මහා ගුණ ඇති, ඡද්දන්ත හස්තීන්ට පින්කෙතක් වූ මුනිඳුන්ගේ ආයුෂය ද ගෙවී ගොස්ය. තමන් වහන්සේට පිරිනිවීමට කාලය බව දැනගත් විගසයි අපගේ කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් මේ ශාස්තෘන් වහන්සේ සොයා වැඩම කොට වදාළේ. ඒ සම්බුදු සිරිපා කමල් පිරිමදිමින් උන්වහන්සේ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම් වනාහී ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ කොණ්ඩඤ්ඤයන් වෙමි. ස්වාමීනී, මම කොණ්ඩඤ්ඤයන් වෙමි’යි පවසන්නට වූ සේක.

ඒ මොහොතේ වංගීස මහරහතන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ අවසරය ගෙන මේ ගාථාවන්ගෙන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණ පසසන්ට විය.

“ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. බලවත් වීරියකින් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. නිතරම චිත්ත විවේකය ඇති ධ්‍යාන සමාපත්ති සැප ලබන කෙනෙක්.

ශාස්තෘ ශාසනය අනුගමනය කරන ශ්‍රාවකයෙක් විසින් යම් ශ්‍රේෂ්ඨ දෙයක් ලැබිය යුතු නම්, අප්‍රමාදීව දහම තුළ හික්මෙන කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ හැම දෙයක්ම ලබාගත්තා.

කොණ්ඩඤ්ඤයන් වහන්සේ මහානුභාව සම්පන්නයි. ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. අනුන්ගේ සිත් දකින්න හැබෑම දක්ෂයි. බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තමයි ශාස්තෘන් වහන්සේගේ සිරිපා වඳින්නේ.”

ශාස්තෘන් වහන්සේගේ ස්වර්ණ සිරිපා වන්දනා කළ කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් “ස්වාමීනී, මා හට පිරිනිවීමට කල් පැමිණිලා. එයට මා හට අවසර ලැබේවා!”යි පැවසූ සේක.

“මා ප්‍රිය පුත්‍රය, ඔබ පිරිනිවන් පාන්නේ කොහිද?”

“ස්වාමීනී, මාගේ උපස්ථායකයෝ මන්දාකිණී විල්තෙරයි වාසය කරන්නේ. මාගේ අදහස නම් ඒ විල්තෙරේදී ම පිරිනිවෙන්නට යි.”

“එසේ නම්, මා ප්‍රිය පුත්‍රය, ඔබ වන් භික්ෂුවකගේ දැකීමක් යළි මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට යළි කිසිදා නොලැබේ. එහෙයින්, මොවුන් හට අනුශාසනා කොට ඔබ ඒ විල්තෙර වෙත වැඩම කරන්න.” ශාස්තෘන් වහන්සේගේ ඒ වදනත් සමඟ අවසන් වරට ඒ සම්බුදු සිරිපාද යුග්මය වන්දනා කළ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අහස්ගැබට පැන නැඟුණි. මහා පෙළහර සහිතව භික්ෂූන් හට ධර්මය දේශනා කළ උන්වහන්සේ අහස් ගමනින් ම මන්දාකිනී විල්තෙර වෙත වැඩම කළ සේක.

මේ උන්වහන්සේ මන්දාකිනී විලේ සිහිල් දියෙන් පැන් පහසු වන අවසාන වතාවයි. පැන් පහසු වී අවසන ලෙනතුලට පිවිසි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් යහනේ සැතැපුණු සේක. පුරා රැය පිළිවෙළින් සමාපත්තීන්ට සමවැදෙමින් ගත කළ උන්වහන්සේ අළුයම උදා වෙත්ම, පහන් සිලක් නිවී යන පරිද්දෙන් පිරිනිවන්පා වදාළ සේක.

අනේ, මේ කිසිවක් නොදත් ඡද්දන්ත හස්ති පිරිසේ නායක හස්තියා වෙනදා මෙන්ම දැහැටි දඬු රැගෙන ලෙනදොර අසලට පැමිණියේ ය. වෙනදාට නම් කිසිම දිනයෙක උන්වහන්සේ ප්‍රමාද වී නැත. ගිලන් බවක්වත් දැ යි සිතූ හස්තියා වරක් සෙමෙන් හඬක් නැඟීය. එහෙත් කිසිදු හඬක් ලෙන තුළින් නොඇසිනි. තරමක් ලෙන තුළට එබී බලද්දී… හටගත්තේ මහත් සතුටෙකි. ඔව්! ඒ මහා මුනිඳුන් වැඩසිටී. යහනේ සැතපී වැඩසිටී.

ඒත්… බොහෝ වේලාවක් ගතවීත් තෙරුන් වහන්සේ අවදිවන හැඩක් නම් නැත. කුටිය තුළට තම හොඬය ප්‍රවිෂ්ට කළ හස්ති රාජයා තෙරුන් වහන්සේගේ සිරුරේ නොගැටෙන පරිදි නාස්පුඩු ඉදිරියේ හොඬය තබාගෙන හුස්ම රැල්ල විමසීය. අහෝ! හුස්ම හෙළනා බවක් නොදැනේ. ඒ සොඬවැල තෙරුන්ගේ හදවතේ රිද්මය විමසන්නට යොමු වූයේ නොදැනුවත්ව ම ය. “අහෝ!…. කෙලෙසින් ද මෙය වාවාගන්නේ. මෙතෙක් කලක් අපට පින්ඵල උපදවා දුන් අපේ පින්කෙත අපව අත්හැර දමා ගොසින්. ඒ හදවතේ රිද්මයත් නැවතිලා.”

දුක දරාගත නොහැකි වූ හස්තිරාජයා සියලු හස්තීන්ට ඇසෙන පරිදි කුංචනාද කළේය. “ප්‍රිය මිතුරනේ,… අපගේ උතුම් පින්කෙත අපට අහිමි වෙලා. උන්වහන්සේ අපිව හැරදමා ගිහිල්ලා…” කියමින් කුංචනාද දෙන හස්තිරාජයාගේ හඬඅසා ඒ අටදහසක් හස්තීන් මන්දාකිනිය ඒකනින්නාද වන පරිදි කුංචනාද කළෝය. ඒ හස්තීන්ගේ නාදය අකණිටාව තෙක්ම ඇසෙන්නට විය.

දෙව්බඹුන් එහි රැස්ව කොණ්ඩඤ්ඤ රහත් මුනිඳුන් උදෙසා මනරම් කුළුගෙයක් කරවීය. අවසන් බුහුමන් දැක්වීම පිණිස අටදහසක් හස්තීන් කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන්ගේ දේහය තැන්පත් ඒ කුළුගෙය වටා තෙවරක් පැදකුණු කළෝය. දේවානුභාවයෙන් දැවුණු චිතකය නිවී ගිය පසු එහි උතුම් ධාතූන් වහන්සේලා ඉතිරි විය. එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට ධාතු සෑයක් ද ඉදිකෙරිණි. මින් මතු මේ ලොවට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නාමයෙන් වන්දනා කිරීමට ඉතිරිව ඇත්තේ ඒ උතුම් ධාතූන් වහන්සේලා ය.

ගෞතම බුදුසසුනේ පහළ වූ ඒ අසිරිමත් ශ්‍රාවක රත්නය වූ ආර්ය මහා ශ්‍රාවක සඟ පරපුරේ ආරම්භක භික්ෂුව වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා!

 මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

Moggallana Maha Rahathan Wahanse මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ

මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා.

ඒ දෙපල එතැන් පටන් නොයෙක් පින්කම් කරමින් ඉඳල මරණින් මතු සුගතියේ ඉපදිලා ගොඩක් කල් සසර සැරිසරලා ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලෙ “උපතිස්ස” හා “කෝලිත” නමින් රජගහනුවර බමුණු කුල වල උපත ලැබුවා. ඒ කාලෙ වාර්ෂිකව පැවැත්වුණු “ගිරග්ග සමජ්ජ” කියන නාට්‍ය සංදර්ශනේ බලලා, සසර කලකිරිලා, ගිහිගෙයින් නික්මිලා සත්‍ය සොයාගෙන ගිය කතාව ඔයාල දන්නවනෙ. ඉතින් ඉස්සෙල්ලම ගියේ “සංජය” පරිබ්‍රාජකතුමා ලඟට. එතනදී තවුස් භාවය ලබාගෙන, උගත් යුතු සියල්ල ඉගෙන ගෙන, එයින් පලක් නැති බව හිතලා නියම දහම් මඟ හොයාගෙන ගියානෙ. එහෙම ගිය ගමනෙදි තමා උපතිස්ස පරිබ්‍රාජකතුමාට “අස්සජි” මහ රහතන් වහන්සේ හමුවුණේ. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ දැක පැහැදිලා කිසිවක් නොකියා පසුපසින්ම ගමන් කළා. දන් වළඳලා ඉවර වුණාම ලඟට ගිහින් උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. එහිදී තමා “යේ ධම්මා හේතුප්පභවා...” ගාථාව දේශනා කළේ. උපතිස්ස පිරිවැජියාගේ නුවණැති බව කොච්චරද කියනවා නම් ගාථාවේ දෙපදයක් අහද්දීම සෝවාන් පලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේගෙන් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය අහල දැනගත්තු උපතිස්ස පිරිවැජියා කෙළින්ම ගියේ තම මිත්‍ර කෝලිත පිරිවැජියා මුණගැහෙන්න. ගිහින් “යේ ධම්මා හේතුප්පභවා..” ගාථාව පැහැදිලි හඬින් දේශනා කළා. සම්පූර්ණ ගාථාව අවසානයේ කෝලිත පිරිවැජියාත් සෝවාන් වුණා. බුදුන් දකින්නට යන්න පළමුව ඒ දෙදෙනාට මතක් වුණේ සංජය පිරිවැජියාව. ඔහුට කොතෙක් කතා කළත් ඔහු බුදුන් හමුවට යාම ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා උපතිස්ස- කෝලිත පිරිවැජියන් දෙදෙනා ඔවුන් සමඟ යාමට කැමති තවත් 250ක පිරිසක් එක්ක ගෙන වේළුවනාරාමය බලා පිටත් වුණා.  

එවෙලෙ දම්සභාමණ්ඩපයෙහි වැඩහුන් බුදුන් වහන්සේ ඈත එන පිරිස දැකලා “මගේ ශාසනයේ දෑගසව්වන් වන්නේ ඉදිරියෙන්ම එන ඒ දෙදෙනා බවත්, උපතිස්ස තෙමේ “සාරිපුත්ත” නමින් දකුණත් සව් වන බවත් කෝලිත තෙමේ “මහා මොග්ගල්ලාන” නමින් වමත් සව් වන බවත්” වදාළා.  ඊට පස්සෙ ඒ පිරිස බුදුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සියලු දෙනාටම “ඒහි භික්ඛු” භාවයෙන් පැවිද්ද ලබා දුන්නා. ඊට පස්සෙ ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ සැරියුත්, මහ මුගලන් තෙරුන් හැර අනික් 250 දෙනාම රහත් බව ලැබුවා.

එදිනම මහ මුගලන් තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මගධ රට “කල්ලවලමුත්ත” කියන පිටිසර ගමට ගියා භාවනා කරන්න. දවස් 7ක්ම සක්මන් කරමින් භාවනා කළා. නමුත් කිසිම මාර්ගඵලයක් ලැබුණේ නෑ. නිදි කිරා වැටෙමින් උන්නා. බුදුන් වහන්සේ දිවැසින් මේ සිද්ධිය දැකලා මුගලන් තෙරුන් වෙත වැඩම කරලා උන්වහන්සේට එයින් මිදෙන්න ධර්මාවවාද ලබා දුන්නා. ඊට පස්සෙ නැවත බුදුන් වහන්සේ උන්නු තැනටම වැඩියා. බුදුන් වහන්සේ දුන්නු අවවාද අනුව භාවනා කරලා මුගලන්  තෙරණුවෝ මහ රහත් භාවයට පත් වුණා. එපමණක් නෙමේ, සෘධිමත් භාවයෙනුත් ඉහළම ස්ථානයට පැමිණුනා.
මුගලන් තෙරුන් රහත් බව ලබා සතියකින් සැරියුත් තෙරුන් රහත් බව ලැබුවා. අනතුරුව බුදුන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරා ගෙන වේළුවනාරාමයට වැඩලා සියළුම භික්ෂූන් රැස් කරලා සැරියුත්- මුගලන් දෙපළට අගසව් තනතුරු පිරි නැමුවා.

මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.

මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.

මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම

මේ වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ  බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් සියළු සත්වයෝ අටලෝ දහමට මුහුණ දිය යුතු නිසා බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.

නන්දෝපනන්ද නා රජු දමනය

දිනක් බුදුන් වහන්සේ  භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා.

නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම

නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්‍රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ  ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා  විදර්ශනා වඩලා රහත් වුණා.

කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම

මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ... ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.

බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම

බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස දැන්වූවා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.

මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.

මුගලන් මහ රහතන් වහන්සේ ඉතා ලඟින් ඇසුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා  ලක්ඛණ තෙරුන් වහන්සේ. මුගලන් තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයේ වැඩ වාසය කරන කාලයේ රජගහනුවරට පිඬු සිඟා වැඩියේ ලක්ඛණ තෙරුන් සමඟයි. එසේ පිඬු සිඟා වඩින්නට පර්වතයෙන් බහින අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සිනා පහල කරනවා.ඒ අවස්ථාවේදීම ලක්ඛණ තෙරුන් සිනහවට කරුණු විමසන නමුත් මුගලන් තෙරුන්ගේ පිළිතුර වෙන්නේ “සවස භාග්‍යවතුන්වහන්සේ හමුවේදී මගෙන් ඔය ප්‍රශ්නය අසන්න” කියායි. එසේ සවස බුදුන් වහන්සේ හමුවේ මුගලන් තෙරුන්ගෙන් ඒ පිලිබඳ ඇසුවාම උන්වහන්සේ තමා සිනා වුණු කාරණා පැහැදිලි කළා. බුදුන් වහන්සේ එම කතා අනුමත කරමින් තමන් වහන්සේද ඒ සිද්ධි එලෙසින්ම දැක ඇති බවත්, කිසියම් ශ්‍රාවකයෙකු ඒවා දකින තුරු එම සිද්ධි විස්තර නොකළ බවත් පවසමින් ඒවායේ අතීත කතා දේශනා කරනු ලැබුවා. මේ එවැනි සිද්ධි කීපයක් ලුහුඬින්.

ඇටසැකිලි ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ගවයන් මරන්නෙක්

මස් වැදැල්ලක් බඳු ප්‍රේතයෙක් - ඔහුත් රජගහ නුවරම සිටි ගවයන් මරන්නෙක්

මස් පිඬක් බඳු ප්‍රේතයෙක් - රජගහ නුවර ලිහිණියන් මරා මස් විකිණූ තැනැත්තෙක්

සිවිය නැති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බැටළුවන් මරන තැනැත්තෙක්

අසිලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ඌරන් මරන තැනැත්තෙක්

සැත්ලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි මුවන් මරන්නෙක්

හී ලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි වධකයෙක්

හිඳිලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි රථාචාර්යයෙක්

හිඳිලොම් ඇති තවත් පුරුෂ ප්‍රේතයෙක් - රහගහ නුවර කේලම් කියමින් සිටි තැනැත්තෙක්

කළගෙඩියක් තරම් අන්ඩයක් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බොහෝ අල්ලස් ගත් ඇමතියෙක්

අසූචි වලක ගිලුණු පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි පරඅඹුවන් සේවනය කළ තැනැත්තෙක්

අසූචි වලක ගිලී අසූචි කන පුරුෂ ප්‍රේතයෙක් - කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂු සංඝයාට 

දනට ආරාධනා කොට අසූචි වළඳන්නයි කියා, අසූචි පිරවූ ඔරු පෙන්වා නින්දා කළ පවිටු බමුණෙක්

සිවිය නැති ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි ගණිකාවක්

අතිශයින්ම කුණු ගඳ ගසන පිළිකුල් සහගත ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි මන්තර ගුරුකම් කළ යක්දැස්සියක්

ගින්නෙන් පැසී ගිය, ගිනි අඟුරු වලින් වට කරගත් ප්‍රේත ස්ත්‍රියක් - කලිඟු රජතුමාගේ අග බිසව වූ තැනැත්තියයි. රජුගේ අනෙක් බිසව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇගේ ඇඟ මතට ගිනි අඟුරු කබලක් හෙලීම නිසා

අහසෙහි ගමන් ගන්නා කවන්ධයක් - රජගහ නුවර “හාරිත” නමින් ප්‍රකට චෝරඝතකයෙක්

ගිනිගෙන දැවෙන ප්‍රේත මහණෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මහණෙක්

ගිනිගෙන දැවෙන ප්‍රේත මෙහෙණක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මෙහෙණක්

ගිනි ගෙන දැවෙන ප්‍රේත සික්ඛමානාවක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සික්ඛමානාවක්

ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරයෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරයෙක්

ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරියක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරික්. 

සර්පයෙක් වැනි ප්‍රේතයෙක් - බරණැස් නුවර වැඩ හුන් පසේබුදු කෙනෙකුගේ අසපුව ගිනිබත් කළ දුෂ්ට ගොවියෙක්

සට්ඨිකුට ප්‍රේතයා - “සුනෙත්ත” නම් පසේබුදු වරයන් වහන්සේට  අතේ ඇඟිලි ශිල්පය යොදා ගනිමින් ගල් කැටයක් විදි පුරුෂයෙක්

පිඹුරු ප්‍රේතයෙක් - කාශ්‍යප බුදුන් කළ සිටි “සුමංගල” නම් සිටුතුමා, බුදුන් වහන්සේට පිදූ විහාරය ගිනි තබා විනාශ කළ සොරා

මේ ඇතුළු තවත් ප්‍රේතයන් සමූහයක් මුගලන් තෙරුන් දුටුවා. ප්‍රේතයින් පමණක් නෙමේ, මුගලන් තෙරණුවෝ තව්තිසා දෙව්ලොව දේව චාරිකාවේ යෙදෙද්දී බොහෝ දෙවියන්, දිව්‍යාංගනාවන් මුණ ගැසුණා. ඔවුන් ඒ සා සැප සම්පත් ලැබීමට හේතු වූ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගෙන එම තොරතුරු බුදුන් වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ ඒ කරුණු මුල් කරගෙන දහම් දෙසුවා. මේ ඒ වගේ කතා කීපයක් ඉතා ලුහුඬින්;

පතිව්‍රතා දෙවඟන - සැවැත්නුවර සිටි, දිවිහිමියෙන් පතිව්‍රතා ධර්මය රැකීම නිසා දෙව්ලොව ඉපිද මහත් සේ බබළන ශරීරයක් ලැබූ කෙනෙක්

පීඨවිමාන දෙව්දුව - පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ කෙනෙකුට සැදැහැයෙන් දන් පිරිනමා අවසානයේ උන්වහන්සේ වැඩ සිටි අසුනද පූජා කොට, දෙව්ලොව ඉපිද සිතේ වේගයෙන් අහසේ ගමන් කළ හැකි විමානයක් වන් අලංකාර පුටුවක් ලැබූ කෙනෙක්

කුඤ්ඤර දෙව්දුව - සැරියුත් මහ තෙරුන් වහන්සේට තමාගේ අතින්ම සකස් කළ දානය පිළිගන්වා උන්වහන්සේ වැඩ හුන් පුටුවද පූජා කොට, දෙව්ලොව ඉපිද සුදු ඇත් වාහනයක් ලද තැනැත්තියක්

නාවුකා දෙව්දුව - පිපාසයෙන් හා කායදාහයෙන් පීඩාවට පත්වී සිටි භික්ෂූන් වහන්සේලා 16 නමකට සැදැහැ සිතින්පැන් පිළිගන්වා, දෙව්ලොව ඉපිද මනහර පොකුණක්ද නැව්විමනක්ද ලැබූ තැනැත්තියක්

දීප විමාන දෙව්දුව - ඝන අඳුරක් පැවති පොහෝ දින ධර්ම ශාලාවක රැය පහන් වන තුරු පහන් දල්වා, දෙව්ලොව ඉපිද සිකුරු තරුව මෙන් බබළන ශරීරයක් ලැබූ කෙනෙක්

තිලදක්ෂිණා දෙව්දුව - බුදුරදුන් හට තල දෝතක් පිරිනමා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලැබූ ගැබ්බර කාන්තාවක්

සුණිසා දෙවඟන - තමාගේ ආහාර කොටස රහතන් වහන්සේ නමකට පිළිගන්වා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලද තැනැත්තියක්

භික්ඛාදායිකා දෙවඟන - බුදු රජාණන් වහන්සේට දන් පිළිගන්වා දෙව්ලොව ඉපිද සුරූපී බබළන ශරීරයක් ලද තැනැත්තියක්

අනේකවර්ණ දිව්‍ය පුත්‍රයා - සුමේධ බුදුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයෙක්ව සිට, උන්වහන්සේගේ ධාතුන් නිධන් කොට තැනූ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර, දෙව්ලොව ඉපිද නොයෙක් වර්ණයෙන් බබළන ශරීරයක් ලැබූ අයෙක්

සුවර්ණ දෙව් පුතු - බුදුන් වහන්සේට සියල්ල සපිරි මනරම් විහාරයක් සාදවා පූජා කොට, දෙව්ලොව ඉපිද සත් රුවනින් සැදි විමානයක් සහ රන්වන් ශරීරයක් ලැබූ අයෙක්

මේ ආකාරයෙන් දේව චාරිකාවේදී මුණ ගැසුණු දෙව් පුතුන් සහ දිව්‍ය අංගනාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඹ දෙව් පුතු, උළාරා දෙවඟන, පාරිච්ඡත්තක දෙවඟන, සුනික්ඛිත්ත දිව්‍ය පුත්‍රයා, කුණ්ඩලී දෙව්පුතු, භික්‍ෂාදායක දෙව්පුතු, මඤ්ජෙට්ඨක දෙවඟන, කඤ්ජිකදායිකා දෙවඟන, නාග විමාන දෙව්පුතු, උපස්සයදායක දෙව්පුතු, රජ්ජුමාලා දෙවඟන, කන්ථක දෙව්පුතු, කර්කටකරසාදයක දෙව්පුතු, ගෝපාල දෙව්පුතු වගේ අය....

දැන් එමු මුගලන් මහ රහතන් වහන්සේගේ අවසාන කාලයට.. තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.(වෛරයක් ඇති වුණේ මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩලා දිව්‍ය සම්පත් ලැබීමට හේතුවෙන කරුණු දැනගෙන ඒවා බුදුන් වහන්සේට පැවසීම නිසා බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යාම නිසා) ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළත් මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ සෘද්ධි බලය පාවිච්චි කරලා එතනින් ගැලවිලා ගියා. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.

තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්‍රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.

උපු‍ට‍ා ගැනීම අන්තර් ජාලය ඇසුරිනි.

සාරිපුත්ත මහරහතන්වහන්සේ

Sariputta Maha Rahathan Wahanse සාරිපුත්ත මහ රහතන් වහන්සේ


ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි වූයේ සැරියුත් මහරහතන් වහන්සේ ය. වංගත බමුණාගේ සහ රූපසාරී බැමිණියගේ පුත්‍ර රත්නයක් ලෙස ඉපදුණි. සාරී බැමිණියගේ පුත්‍රයා වූ බැවින් සාරිපුත්ත යන නමින් ප්‍රකට විය.
උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේ ය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පද ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේ ය.

ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.

“භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනෙකෙකුහට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳීන් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවී ය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන්ගේ දකුණත් සව් තනතුර දැරුවේ ද, ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහපත් දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය.

දිනක් රජගහ නුවර වාසය කරන එක්තරා දුගී මිනිසෙක් අන් සතු අඹ උයනක් රැකබලා ගනිමින් සිටියේ ය. සැරියුත් තෙරුන් වහන්සේ දහවල් වේලෙහි මෙම උයන සමීපයෙන් වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු එම මිනිසා මහ තෙරුන් උයනට වැඩම කරවා තෙරුන්ගේ කැමැත්ත අනුව පොකුණෙන් පැන් ගෙන සනහා පොකුණෙන් පැන් ගෙන පෙරා පානයට සුදුසු ලෙස සකස් කර පිළිගැන්වී ය. අනතුරුව තෙරුන් වහන්සේ පැන් පූජාවේ අනුසස් ප්‍රකට කරමින් දහම් දෙසූහ. පසු කලෙක එම සැදහැති පින්වත් පුරුෂයා මිය පරලොව ගොස් කළ පින්කමට අනුව තව්තිසා දෙව්ලොව අප්‍රමාණ දිව්‍ය සම්පත් ඇති ව උපත ලැබුවේ ය. තවත් දිනක සැරියුත් තෙරුන් වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් වැඩ සිටියහ. උන්වහන්සේට නොදැනුවත්ව ම අඳනයේ කෙළවරක් බිම ගෑවෙමින් තිබුණි. මේ බව දුටු සත් හැවිරිදි සාමණේර නමක් ඒ බව දැක තෙරුන් වහන්සේ වෙත පැමිණ එය පෙන්වා දුන්නේ ය. එය ඉතා ගෞරවයෙන් පිළිගත් සැරියුත් තෙරුන් වහන්සේ අඳනය සකසා හැඳ සාමණේරයන් වහන්සේ වෙත පැමිණ “ආචාරිනී, අඳනය සකසා ගත්තෙමි. දැන් හොඳදැ”? යි ඇසූ සේක.

“ස්වාමීනි, දැන් නම් හොඳය” යි සාමණේර නම කීවේ ය. එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ “එදින ම පැවිදි බව ලබා ගත් සත් හැවිරිදි සාමණේර නමක් වුවත් මා හට අනුශාසනා කළේ නම් ඒ සත් හැවිරිදි කුඩා සාමණේර නමගේ අනුශාසනය පවා මම හිස් මුදුනින් පිළිගන්නෙමි” යි පවසා ඒ සාමණේර නමට ස්තූති ප්‍රශංසා කළ සේක. නිහතමානී ගුණය මැනවින් ප්‍රකට කරවන අවස්ථාවකි.

සැරියුත් තෙරුන් වහන්සේට “උපසේන, චුන්ද, රේවත” යනුවෙන් සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ තිදෙනාම බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ. “චාලා, උපචාලා, සිසූපචාලා” යනුවෙන් සොහොයුරියෝ තිදෙනෙක් ද වූහ. මේ සැමත් බුදු සසුනේ පැවිදි බව ලැබ රහත් වූහ.

මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සහෝදර, සහෝදරියන් සියල්ලම මඟඵල නිවන් අවබෝධ කර ගෙන සිටියත් මව වූ රූපසාරි බැමිණිය මිසදිටු ගෙන සිටියා ය.

සැරියුත් තෙරුන් වහන්සේට කලින් කල හට ගන්නා උදරාබාධයක් විය. මෙය අවස්ථා කිහිපයක දී ම හට ගත් අතර අවසානයේ එය ඉතා දරුණු ලෙස හට ගත්තේ ය. මෙයට හේතු විමසා බැලූ තෙරුන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ගේ අවසාන සමය ළඟා වී ඇති බවයි. උන්වහන්සේ, බුදුරදුන්ගෙන් පිරිනිවන් පෑමට අවසර ගෙන තමන් වහන්සේගේ උපන් ගම වූ නාලක ගමට වැඩම කළහ. ඒ, පිරිනිවන් පෑමට පෙර තමන් වහන්සේ ගේ මව වූ රූපසාරී බැමිණිය සම්මා දිට්ඨියට ගැනීමේ අරමුණ ඇතිව ය. අවසානයේ නාලක ගමේ දී දෙව් බඹුන්ගෙන් වන්දනාමාන, මහා සත්කාර ලබන සිය පුත් සැරියුත් මහ තෙරුන් වහන්සේ ගැන ඇයට පැහැදීම ඇති වී දහම් ඇසීය. එකල්හි තෙරුන් වහන්සේ නව අරහාදී බුදු ගුණ ප්‍රකට කරමින් ධර්මය දේශනා කළ සේක. දේශනාව කෙළවර රූපසාරී බැමිණිය උතුම් වූ සෝවාන් ඵලයට පත් වූවා ය. අනතුරුව රැස්ව සිටි භික්ෂූන් ප්‍රධාන සියලු දෙනාට ධර්මය දේශනා කර දකුණු ඇලයෙන් සැතපී පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදී අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

පසුව උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළහ. ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතු චුන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ට භාර කළහ. බුදුරදුන් එම ශාරීරික ධාතු පිළිගෙන සැරියුත් තෙරුන් වහන්සේ ගේ ගුණ නොයෙක් ලෙසින් ප්‍රකට කර එම ධාතු නිදන් කර සෑයක් ද කරවූහ.

උපුටාගැනීම අන්තර්ජාලය ඇසුරිනි.

අසිරිමත් මෙත් බෝසත් විවරණය සිදු වූ ඉල් පොහොය



වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. ශාසන ඉතිහාසය තුළ ඉල් පොහොයට වඩාත් වැදගත් තැනක් හිමිවීමට මුල්වන කරුණු කිහිපයක් ම පැවතෙයි. මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රිය බෝධි සත්ත්වයන් වහන්සේ අප ගෞතම බුදු රජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, භික්ෂූන් වහන්සේලා පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදුකළ හැකි අවසාන දිනය වීම සහ අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම යන කරුණු ඒ අතර ප්‍රධාන ය.

බුදුරජාණන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රිය බෝධිසත්වයන් වහන්සේ ය. වප් පොහොය දිනෙක මෛත්‍රිය බෝධි සත්ත්වයන් වහන්සේ දහසක් පිරිවර සමඟ අප ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. එම පිරිස එසේ පැමිණියේ දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි. වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රිය බෝධි සත්ත්වයන් වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණු අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටිය හ. එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳ කිළියෙහි වියනක් කොට පිදූ අතර අනෙක තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූ හ. පසුව බුදුරජාණන් වහන්සේ මෙම මෛති‍්‍රය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රිය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැයි නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහි දී ලබා ගන්නා ස්ථිර ප්‍රකාශය යි.

චක්කවත්තී සීහනාද සූත්‍රයෙහි කියැවෙන පරිදි මෛත්‍රිය බෝසතාණන් වහන්සේ උපදින්නේ බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙහි ‘කේතුමතී’ නම් නගරයෙහි ය. උන්වහන්සේ පිළිබඳ සෑහෙන ප්‍රමාණයක් විස්තර ඇතුළත් වන්නේ ‘අනාගතවංස’ සහ ‘බුද්ධ වංස’ යන පාලි භාෂාවෙන් රචිත පොත්වල ය. ඒ හා බොහෝ සෙයින් ගැළපෙන කරුණු පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය යනාදී ග්‍රන්ථවල ඇතුළත් වී තිබේ. පුරාතන මෛත්‍රිය වර්ණනාව තුළ කියවෙනුයේ මෙම මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිය හැකි වන්නේ කෙබඳු අයට ද, පැමිණීමට නොලැබෙන්නේ කෙබඳු අයට ද යන කරුණු ය.

එහි සඳහන්ව ඇති ආකාරයට මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දැක්මට නොලැබෙන්නන් මෙසේ නම් කොට තිබේ.

මවුන් මැරුවෝ ය. පියන් මැරුවෝ ය. රහතුන් මැරුවෝ ය. බුදුන් ඇඟින් ලේ සෙල්ලුවෝ ය. සංඝයා භේද කළෝ ය. පවිටු සංඝයා යන මොවුන් අවීචි මහ නරකයෙහි උපදනා හෙයින් ඒ මෛත්‍රිය බුදුන් දැක්ක නොහොන්නාහු ය. දාගැබ් බිඳ බෝධි ශාඛා කපා රන් පිළිම, පොතු උපුටා බණ පොත් සිඳ බිඳ පව්කළ සත්ත්වයෝත්, සංඝයා වහන්සේට ආක්‍රෝෂ කොට බිනුවාප ද, සිල්වතුන්ට බොරු චෝදනා ඉපද වූවාහු ද, ධර්මයට අනාදර බිනුවාහු ද, දන්වැට කෑවාහු ද, බුදුන් සතු දෙය, ධර්මය සතු දෙය, සංඝයා සතු දෙය, සාංඝික දෙය කෑවෝ ද මෙලෝ නැත, පරලෝ නැත. කුසල් නැත. අකුසල් නැත. එයින් වන සැප විපාක දුක් විපාක නැත යනාදී දෘෂ්ටිගෙන ඇවිද්දාහු ද දස අකුසල් කොට සතර අපායෙහි උපන් සත්වයෝ ද ජාත්‍යන්ධාදී ඉන්ද්‍රිය විකලත්වයට පැමිණි සත්වයෝ ද, ති‍්‍රවිධ රත්නය නොපවත්නා ප්‍රත්‍යන්ත රටවාසීහු ද, පිටසක්වල මනුෂ්‍යයෝ ද ඒ මෛත්‍රිය බුදුන් දැක්ක නො හෙන්නාහුම ය.

පසුව එහි සඳහන් වන්නේ මෛත්‍රිය බුදුරදුන් දැක්මට අවස්ථාව ලැබෙන්නන් පිළිබඳ වූ දීර්ඝ විස්තරයකි.

සද්ධාදී ගුණ ධර්මයෙහි පිහිටා දුගී මගී යාචකයනට ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද ආහාර පාන වස්ත්‍රාභරණාදිය දන් දුන්නෝ, පන්සිල් රක්ෂා කළෝ, පොහොය පේවී අටසිල් රක්ෂා කළෝ, දසසිල් සමාදන් වී බ්‍රහ්ම චර්යාව රක්ෂා කළෝ, දාගැබ් කෙරෙව්වෝ, බෝධි පිහිටෙවුවෝ, උයන් පොකුණු කෙරෙවූවෝ, ඒ දඬු අම්බලම් කෙරෙවූවෝ, මං හෙළි කෙරෙවුවෝ, ධර්ම ශාලා, භෝජනාගාර කෙරෙවූවෝය.

තවද බුදු සසුන් ඇති කරවන්නට ආධාර වූවෝ ධර්ම කථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ ද, ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත්ම ය. තවද ආමිස දානය, ධර්ම දානාදී වශයෙන් සංඝයා වහන්සේට පුජා සත්කාර කළෝ දකිත්ම ය. මවුන්ට උපස්ථාන කළෝ දකිති. 
පියන්ට උපස්ථාන කළෝ දකිති. කුල දෙටුවන්ට උපස්ථාන කළෝ දකිති. දස පින් කිරිය වත් පිරුවෝ ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත් ම ය. සංඝාරාම කෙරෙවූවෝ, පිළිම ගෙවල් කෙරෙවූවෝ, පිළිම කරවා නෙත් තැබුවෝ, බණ පොත් ලියවා දුන්නෝ දකිති. තව ද ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දැකුම්හයි, පතා යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක පහනක්, එක බත් හැන්දක්, එක බෙහෙත් පැණිත්තක් පමණ පිදුවෝ ද සංඝයා කෙරෙහි ආදර ගෞරවයෙන් පි‍්‍රය මුහුණින්, පි‍්‍රය තෙපුලෙන්, පි‍්‍රය පැවැත්මෙන් සංග්‍රහ කළෝ ද ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත්ම ය. අනුන් කළ පින් සතුටු ව අනුමෝදන් වූවෝත් ඒ මෛත්‍රිය බුදුන් දකිත්ම ය.

බුදු සසුන තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂු සමාජය කෙමෙන් කෙමෙන් වර්ධනය වී රහතන් වහන්සේලා සැට නමක් බවට පත් විණි.

මහණෙනි, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන් ගේ හිත පිණිස සුව පිණිස, දියුණුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙකු එක මගින් නොයන්න. මෙම දහම මුල, මැද, අග යහපත් වූවකි. අර්ථ සහිත වු හාත්පසින් සම්පූර්ණ වූ පිරිසුදු වූ සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.
මෙසේ ඉල් පොහොය දිනෙක ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම චාරිකාවේ පිටත්කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.

එකල උරුවෙල් දනව්වේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප නමින් ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූහ.

ඔවුන් තමන් රහත් ය. යන මානයෙන් මුළා වී සිටි අතර එම වැරැදි මානය දුරු කොට නිවන් මඟට යොමු කරවීම තුන් දහස් පන්සියය දහසක් ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන් ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේලා ද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළහ. එහිදී බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත් භාවයට පත් වූහ. බුද්ධ චරිතයේ එන මෙම අසිරිමත් සිදුවීම වූයේ ද ඉල් පොහොය දිනෙක ය.

ඇසළ පුර පසළොස්වක පොහෝදා පොහොය විනය කර්මය කොට අව පෑළවියදා පෙරවස් සමාදන් වී වස් ආරක්ෂා කර වප් පසළොස්වක පොහෝදා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණය යි. නිකිණි පොහෝදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පසුවස් සමාදන් වී ඉල් පුර පසළොස්වක පොහෝ දා වස් පවාරණය කිරීම පසුවස් පවාරණය යි. එය ඉල් පොහොය දා සිදුකෙරෙන තවත් වැදගත් ශාසනික කාර්යයකි.
ඌරුගමුවේ
අස්සජී හිමි
උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.

Rahula Maha Rahathan Wahansa රාහුල මහරහතන් වහන්සේ



කඨින චීවර පූජා පින්කම ඇරඹෙන පින්බර වප් පොහොය



වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොයෙනි. කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය වප් පොහොයෙන් ඇරඹෙන හෙයින් මෙම මාසය චීවර මාසය ලෙස ද ව්‍යවහාරයට එක් ව ඇත.
කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් අභිමත දිනක දී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම සිදු කළ හැකි වුවත්” මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි වන්නේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයක දී එක් වරක් පමණෙකි.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් වන කාලය, දෙ වැදෑරුම් ය. එය පෙරවස් හා පසුවස සමාදානය යි. ඇසළ පුර පසළොස්වක පොහොය දා පෙරවස් ආරම්භ වන අතර” පසුවස් ආරම්භ වන්නේ නිකිණි පොහෝදා ය. වප් පොහෝදා මහා පවාරණය සිදු කෙරෙයි.

සාකේත නුවර වස් එළඹි භික්ෂූන් වහන්සේ තිස් නමක් මහා පවාරණය සිදු කොට බුදුරදුන් දකිනු පිණිස සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ හ. අතරමග දී වැස්සකට මුහුණ දුන් උන්වහන්සේලා වැසි දියෙන් තෙමී ගිය සිවුරුවලින් යුතුව සිටිය හ. එම අපහසුතාවට මුහුණ දුන් භික්ෂූන් වහන්සේ දෙස බලා මතු එවන් දෙයක් සිදුනොවීම කෙරෙහි සලකා බැලූ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි”යි. කඨිනාස්තරණ විනය කර්මය අනුදැන වදාළ හ. එතැන් සිට භික්ෂූන් වහන්සේලාට කඨින චීවර පරිභෝග කිරීමට අවස්ථාව ලැබුණි.
මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ වප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් ප්‍රසාදයට පත්ව එසේ පැවිදි බව ලැබූ මෛත්‍රීය බෝසතාණන් වහන්සේ එයින් සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි ලොව්තුරු සම්මා සම්බුද්ධත්වයට පත්වන බව කියවෙයි.

ලංකාවාසීන්ට බුදුදහම පිළිබඳ වූ නිර්මල පණිවුඩය රැගෙන සිරිලකට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ය. එම මහින්දාගමනයෙන් ඇරැඹි ශාසනික නවෝදය සිරිලක කාන්තා පක්ෂය කෙරෙහි ද ප්‍රබල ලෙස ම බලපෑමක් ඇති කළේය. ඒ අනුව සසුන්ගතව කුසල් රැස්කර ගැනීමේ අපමණ උනන්දුවක් ඔවුනට ඇතිවිණ. පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා මහරහත් තෙරණිය සිරිලකට වැඩමවා ගැනීම සඳහා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සන්දේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප් නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. මෙම ඉල්ලීම නිසාම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුම් වූ දක්ෂිණ ශාඛාව ද වැඩම කරවා ගැනීමේ අවස්ථාව උදාවුණි.

වරෙක දේවානම්පියතිස්ස රජු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් “සිරිලක සම්මා සම්බුද්ධ ශාසනය පිහිටියේ දැ’යි විමසා සිටියේ ය. එයට මිහිඳු මහරහතන් වහන්සේ දුන් පිළිතුර වූයේ “එ සේය. මහරජ, ශාසනය පිහිටියේ ය. එහෙත් තවම මුල් බැස නැත” යන්න යි. එවිට රජු විමසූයේ” ශාසනය කෙසේ නම් මුල්බැස ගන්නේ ද” යන වගයි. එවිට මිහිඳු මහරහතන් වහන්සේ රජුට පැහැදිලි කර සිටියේ” යම් කලෙක මෙම හෙළදිව සිංහල මවුපියන්හට උපන් දරුවෙක් මෙහිදීම පැවිදිව, විනය ඉගෙන ගෙන මෙම දිවයිනෙහි දී ම විනය උගන්වයි ද, එකල්හි මෙහි බුද්ධ ශාසනය මුල්බැස ගත්තා වන්නේ ය” යනුවෙනි. උන්වහන්සේ අවධාරණය කර මෙකී සුදුසුකම් සියල්ලම සපුරා සිටියේ ලක්දිව ප්‍රථම සිංහල රහතන් වහන්සේ වූ මහා අරිට්ඨ හිමියන් ය. එබැවින් දේවානම්පියතිස්ස රජු විනය සංගායනාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කළ අතර” මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ සැට අට නමක් දහසක් බැගින් වූ භික්ෂු පිරිවර සමඟ ඊට සහභාගි වූහ. මහා අරිට්ඨ මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනීම ඇතිව ථූපාරාම විහාර මධ්‍යයට රැස්ව භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන වප් පුර පසළොස්වක පොහොදා විනය සංගායනාව ආරම්භ කළ හ. එය ලංකා ඉතිහාසය තුළ වප් පොහෝ දිනෙක සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමකි.

ධර්ම විනයානුකූලව වස් වැසූ එසේම වප් පොහෝදා මහා පවාරණය සිදු කළ උපසපන් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ලංකාවේ පමණක් නොව ලොව ථෙරවාදී බෞද්ධ සෑම රටක ම වප් පොහෝදා සිට ඊළඟ ඉල් පොහෝදා දක්වා වූ කාලය තුළ අසිරිමත් චිත්තාකර්ෂණීය වූ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සව පැවැත්වෙයි. මෙම කඨින පූජා පවත්වන සැදැහැවත් දායකකාරකාදී සාධු ජනයාට එමගින් මෙලොව පරලොව දියුණුව ලබා ගත හැකි වෙයි. බුදුරදුන් දවස වැඩසිටි නාගිත මහරහතන් වහන්සේ ගේ උතුම් චරිත කතාව කියවා බැලීමේ දී මෙහි අනුසස් කෙ තරම් පවතී ද යන්න මැනවින් වටහා ගත හැකි ය.

නාගිත තෙරණුවෝ එක් භවයෙක කඨින පූජාවක් සිදු කොට එම උතුම් කුසලය නිවන් මගට හේතුවේවායි, ප්‍රාර්ථනා කළ හ. එතැන් සිට සතර අපායේ නො ඉපිද දෙව් ලොව හා මිනිස් ලොව යන සත්වැදෑරුම් කාම ලෝකයන් හි දෙව් මිනිස් සැප වින්දහ. අවසාන භවයෙහි එහි භික්ඛු භාවයෙන් පැවිදිව,අර්ථ, ධර්ම නිරුක්ති සහ පටිභාණ යන සිව් අවබෝධය ද සහිතව සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වූ හ.

සැදැහැවත් සාධු ජනයා මහත් උනන්දුවෙන් අපමණ සැදැහැ සිතින් මෙම කඨින චීවර පූජා පින්කම් පවත්වනුයේ මෙබඳු මහත්ඵල මහානිසංස මේ තුළින් උදාවන බව මැනවින් අවබෝධ කරගත් නිසා ය.
අද වන විට මෙරට ඒ ඒ විහාරස්ථාන වල සැදැහැවත් දායක පිරිස් ස්වකීය ශක්තිය උපරිම ලෙස යොදා පෙර නොවූ විරූ තරම් චිත්තාකර්ෂණීය වූ සංස්කෘතිකාංග සහිත පෙරහර ආදිය ඇතුළත් කර ගනිමින් සැදැහැබැති සිත් වැඩෙන පරිදි කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය ඉතා සාරවත් ලෙස නිමාවට පත් කරති. ඊට ස්වකීය ඤාති හිතමිතුරෝ ද සම්බන්ධ කර ගනිමින් ඔවුනට ද මෙම පුණ්‍ය කර්මයට දායක වී පින් රැස්කර ගැනීමේ අවස්ථාව උදාකර දෙති. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කඨින පෙරහර තුන්යම් රාත්‍රිය පුරාවට ම වීදි සංචාරය කරයි. නාගරික පරිසරය තුළ බොහෝ අවස්ථාවල එය ආරම්භ වන්නේ මධ්‍යම රත්‍රිය ඉකුත්ව ගිය පසුව යි. කවර වේලාවක ආරම්භ වුව ද කඨින පෙරහර විහාරස්ථානයට ගෙවදින්නේ අලුයම් කාලයෙහි සාමාන්‍ය පරිදි හිරු උදාවීමෙන් පසුව යි.

වප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම විහාරස්ථානවල කඨින මහා පින්කම් ඇරඹෙන හෙයින් මෙම අසිරිමත් චීවර මාසය සැදැහැවතුන් අතර ධාර්මික හැඟීම් . සාමූහික ක්‍රියාකාරකම් , අන්‍යෝන්‍ය සුහදතාව, ධාර්මික විනෝදය සහ මනා සංවිධානශීලිත්වය මැනවින් මූර්තිමත් වන කාලවකවානුවක් ලෙස හඳුන්වා දිය හැකි ය. පුරාතන චාරිත්‍රවිධි රැසක් ක්‍රියාවට නංවන මෙම කඨින පින්කම්වලට සහභාගි වී අපේ සංස්කෘතික අනන්‍යතාව ළමා පරපුරට අවබෝධ කරවීමේත්, අද බොහෝ දෙනෙකු මුහුණ පා සිටින කාර්යබහුල ජීවන රටාවෙන් මදකට මිදි ජීවිතයට අර්ථවත් කුසලයක් අත්පත්කර ගැනීමේත් දුර්ලභ අවස්ථාව ද මෙමගින් උදාවෙයි. 

ඌරුගමුවේ
අස්සජී හිමි
උපුටා ගැනීම බුදුසරණ පත්‍රයෙනි.