බුදුරදුන් ඥාතීන් හමුවට ගමන් ඇරඹූ මැදින් පුරපසළොස්වක පෝදා
හේමන්ත සෘතුවේ එළඹෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයන්ගේ සුවිශේෂී පුන් පොහෝ දිනයකි.
බුද්ධත්වයෙන් පසු රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර විසූ පිය රජතුමා ඇතුළු ඥාති පිරිස දැකීමට ගමන් ආරම්භ කරන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයකවීම මෙම පොහොයේ විශේෂත්වය යි. මැදින් පොහෝ දා ආරම්භ කළ උපන් ගමට වැඩීම කිරීමේ ගමනට දෙමසක් ගත වූ අතර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවන ලද්දේ වෙසක් පොහෝ දිනයක දී ය.
බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව ඇතුළු වීර්ය වඩා වෙසක් පොහෝ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත් ව ඇසළ පොහෝ දිනයක දම්සක් පවත්වා අනුක්‍රමයෙන් ධර්මදූත පිරිස් බිහි කරමින් ලෝක සත්වයන් වෙත අපමණ කරුණාවෙන් ක්‍රියා කරද්දී බුදුරදුන්ගේ කීර්තිරාවය දඹදිව සතර දිග්භාගයේ ම පැතිරී යන්නට විය. තම පුතු වූ සිදුහත් කුමරුන් සම්බුද්ධත්වයට පත් වී රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිමින් ලෝ සතුන්ට දුකින් මිදෙන මඟ පෙන්වා
දෙන බව ඇසූ සුද්ධෝදන රජතුමාට පුතු දැකීමට වූ ආශාව දිනෙන් දින වැඩි විය.
අවස්ථා නවයක දී පිරිවර දහස බැඟින් යුතු අමාත්‍යවරයෙකු බැඟින් දූත කාර්යයෙහි යොදවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට කැඳවාගෙන එන ලෙස සුද්ධෝදන රජතුමා පිටත් කොට හැරියේ ය. එසේ යැවූ අමාත්‍යවරුන් නව දෙනා සහ නව දහසක පිරිස බුදුන් දැක දහම් අසා රහත්ව පැවිදි විය.
ඉන්පසු සිදුහත් බෝසතාණන් වහන්සේ සමඟ එකම දිනයක උපන් කාළුදායි ඇමතිවරයා කැඳවා දහසක් පිරිවර ලබා දී දූත කාර්යයෙහි යෙද වූ අතර තමාට පැවිදි වීමට අවසර ලබා ගත් කාළුදායි ඇමතියා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දහම් අසා පිරිවර සමඟ රහත් ඵලයට පත් විය. මේ සමඟ අවස්ථා දහයක දී සුද්ධෝදන රජතුමා විසින් එවූ දූත පිරිස දස දහස් දහ දෙනෙක් (10 010) පැවිදි බිමට පත්ව සිටියහ.
පැවිදි වී සතියක් ගෙවුණු පසු කාළුදායි මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පිය රජතුමාගේ අපේක්ෂාව දන්වා කිඹුල්වත්පුරයට වැඩම කිරීමට ආරාධනා කළහ. ඒ වන විට හේමන්ත සෘතුවේ මැදින් පොහෝ දිනය එළඹී තිබුණි. මැදින් පොහොය පරිසරය ප්‍රබෝධමත් වන කාලයකි. තුරුලතා නව දළු ලා වැඩෙන, මල් පිපී විචිත්‍රවත් වන කාලයකි. ගොවීන් කෙත්වතු අස්වද්දා අස්වනු නෙළා ගනිමින් සමෘද්ධිමත්ව සිටින කාලයකි. අධික ශීතලෙන් හෝ රස්නයෙන් තොර සෞම්‍ය දේශගුණයක් පවතින කාලයකි. රජගහනුවර සිට කිඹුල්වත්පුරයට යන මාර්ගය සැට යොදුනකි. යොදුනක් යනු සැතපුම් දහසයක දුර ප්‍රමාණයකි. ගස් වැල් මලින් ඵලින් බර වී සුවඳවත් වී විචිත්‍රවත් වී රට සමෘද්ධිමත් වී ඇති සමයේ මාර්ගයේ සහ පරිසරයේ විචිත්‍රත්වය දක්වමින් කිඹුල්වතට වැඩීමට සුදුසුම කාලය එළඹ ඇතැයි ගාථා හැටකින් කාළුදායි තෙරණුවන් බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියහ.
කාළුදායි තෙරණුවන්ගේ ඇරැයුම පිළිගත් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා එවූ දූත පිරිසෙන් පැවිදි වූ දස දහස් දහ දෙනා ද ඇතුළු විසි දහසක් මහ සඟ රුවන පිරිවරාගෙන මැදින් පුර පසළොස්වක් පොහෝදින සන්ධ්‍යාවේ දී කිඹුල්වත්නුවරට වැඩීම පිණිස රජගහනුවර වේළුවනාරාමයෙන් පිටත් වූහ.
දිනකට එක් යොදුන බැඟින් සැට යොදුන් දුර දින සැටක දී සම්පූර්ණ කළ බුදු පාමොක් මහ සඟන කිඹුල්වත්පුරයට ළඟා වූයේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේ දී ය. මේ කාලයේ බුදුපාමොක් මහ සංඝරත්නයට සුද්ධෝදන රජතුමා විසින් පිණ්ඩපාත දානය සකස් කොට කාළුදායි තෙරුන් අත එවන ලදී.
වෙසක් පොහෝ දා කිඹුල්වත්පුරයට ළඟා වූ බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට යමාමහ පෙළහර පෑ අතර බුදුපාමොක් මහ සඟනට පිය රජතුමා නිග්‍රෝධාරාමය පූජා කළේය. පසු දින පිණ්ඩපාතයේ යෙදෙමින් පිඩුසිඟා යාම බුද්ධ වංශයේ සිරිත බව පිය රජුට පෙන්වා දුනි. නන්ද කුමරු හා රාහුල කුමරු පැවිදි වූයේ ද මෙම කිඹුල්වත්පුර වැඩමවීමේ දී ය.
රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි