සම්බුද්ධ ශාසන ඉතිහාසයට සහ ලංකා ශාසන ඉතිහාසයට එක්වන සදාඅනුස්මරණීය ඓතිහාසික සිදුවීම් කිහිපයකට ම මුල් වූ දිනයකි නිකිණි පුර පසළොස්වක පොහොය දිනය.
ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹිය යුතු දිනය ලෙස බුදුරදුන් විසින් නම් කරනු ලැබීම, බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදු කිරීම සහ මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය හා සම්බන්ධව වැදගත් වන සිදුවීම් ය.
දැඩි වැළපීමක්
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේ ද සමඟ පාවා නුවර සිට කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ වූ මාර්ගයට පිවිසුනහ. එහිදී ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ වූ පුවත උන්වහන්සේලාට සැළ වුණි. ඒ සමඟම එහි සිටි මාර්ගඵල නොලැබූ භික්ෂූන් වහන්සේ අතරින් ද ඇතැමෙක් ඉතා දැඩි සේ වැළපෙමින් හිසෙහි අත් බැඳ හඬා වැටුනහ. උන්වහන්සේගේ මුවින් මහ හඬින් මෙවන් වදන් පෙළක් කියවුණි.
“ඉතා ඉක්මණින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මණින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වූයේ ය.”
සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් සමහරෙක් බිම වැටුනහ. ඉදිරියට පෙරලුනහ. පසුපසට පෙරලුනහ. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේ මනා සිහියෙන් හා නුවණින් යුතුව මෙම සිදුවීම ඉවසූහ. ඉක්බිතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙකී භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළහ.
ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නොවැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන් ම වෙනස්වීම, වෙන්වීම, වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය, යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේ ද? යමක්, උපන්නේ ද, හට ගත්තේ ද, ලෞකික වූයේද, නැසෙනසුලු වේ ද, එය ඒකාන්තයෙන් නොනැසේවා'යි, යන මෙය කොහි ලැබිය හැකි වේ ද? ලැබිය හැකි නොවේ ම ය.
විනය විරෝධී ප්‍රකාශය
සුභද්‍ර නම් වූ මහලුව පැවිදි වූවෙක් එදා මෙම පිරිස අතර සිටියේ ය. ඉක්බිතිව එම පැවිද්දා භික්ෂූන් වහන්සේ අමතා මෙසේ කීය.
ඇවැත්නි, කම් නැත. ශෝක නො කරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනාව මිදුනෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යැයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.
මෙම දැඩි විනය විරෝධි ප්‍රකාශය හමුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කළේ අධර්මය බැබළීමටත්, ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර ධර්මය ද, විනය ද සංගායනා කළ යුතු බව යි.
දුර්වල පුද්ගලයන් රැසක්
සුභද්‍ර වැනි දුර්වල පුද්ගලයකු ගේ ඒකපුද්ගල ප්‍රකාශයක් පමණක් ම සංගායනාවක් පැවැත්වීම කෙරෙහි හේතු නොවී ය. සුභද්‍ර හා සමාන ආකල්පවලින් යුතු පසුතලයක පිහිටා සිට ක්‍රියා කළ දුර්වල පුද්ගලයන් රැසක් හා ඔවුන් හා අනුගත ව සිටි අනුගාමිකයින් රැසක් ද එකල සිටියහ. දේවදත්ත, සාතිය, අස්සජි , පුනබ්බසුක, සුනක්ඛත්ත, ඡන්න යනාදී භික්ෂූහු බුදුරදුන් ධරමානයෙහි දී ම ධර්මවිනය තම තම රුචි අරුචිකම් අනුව විග්‍රහ කිරීමට පෙළඹුණහ.
බුදුරජාණන් වහන්සේ හමුවේ ඒවා යටපත් වුව ද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පශ්චිම ජනතාවගේ අවබෝධය සඳහා ධර්ම විනය සුරක්ෂිත කොට තැබීම ශාසනභාරධාරි මහතෙරුන් වහන්සේලාගේ වගකීමක් ව පැවතිණ. ඒ අනුව තෘතීය මහා ශ්‍රාවක, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්ථානවල දී දේශනා කළ නා නා වර්ගයනට අයත් ධර්ම කොට්ඨාසයන් ක්‍රමානුකූලව සකස් කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත් ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කළහ.
ධර්ම සංගායනාවට සහභාගි වීම සඳහා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එකුන් පන්සිය නමක් (499) මහ රහතන් වහන්සේ එක්රැස් කළ හ. ඉක්බිති මහා කාශ්‍යප මහ තෙරණුවෝ භික්ෂූන් වහන්සේගේ ද අනුමැතියෙන් ආනන්ද තෙරණුවන් ද සංගායනාවට තෝරා ගත්හ. ආනන්ද තෙරුන්ගෙන් තොරව සංගායනාව සිදු කළ නොහැකි බැවිනි. ඒ සමඟම ධර්ම සංගායනාවට භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වූ හ. එබැවින් මෙය පංචසතිකා විනය සංගීතිය නම් විය.
අලංකාර මණ්ඩපයක්
සංගායනාව පැවැත්වීමට රජගහනුවර තෝරාගත් අතර අජාසත් මහරජුගේ පාලනය යටතේ පැවති හෙයින් එහි රාජකීය බලය හා ආරක්ෂාව ද නො අඩුව තහවුරුව පැවතිණ. අජාසත් මහ රජු විසින් වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයෙහි විශ්ව කර්මයා විසින් නිමවන ලද්දක් වැනි වූ මණ්ඩපයක් කරවන ලදී. එය රාජ භවනයක ශ්‍රී විභූතිය යටපත් කරන්නා වූ දෙව් විමනකට අපහාස කරන්නාක් වැනි වූ සිරියෙන් යුත් ශ්‍රී නිකේතනයක් හා සමාන සියල්ල එක් රැස් කළ මණ්ඩපයක් විය.
ආනන්ද හිමි රහත් බවට
ධර්ම සංගායනාවට පෙර දින ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළහ. “ හෙට සංගායනාව ය. මම රහත් නො වූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නොවෙයි.” මෙම කරුණ සලකා බැලූ ආනන්ද තෙරණුවෝ රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් කාලය ගත කළහ. රාත්‍රිය පහන්වන වේලාවෙහි සැතපෙමි යි, සිතා ශරීරය හැර වූහ. පාදයෝ පොළොවෙන් මිදුණහ. හිස ද කොට්ටයට නොපැමිණියේ ය. මේ අතරෙහි සිත උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් මිදුණේ ය. ඉන්පසුව සතර ඉරියව්වෙන් තොරව ආනන්ද තෙරණුවෝ රහත් භාවයට පත්වූවාහු ම සංගායනාවට වැඩම කළ සේක.
පළමුව විනය
එසේ ආනන්ද මහරහතන් වහන්සේගේ ද වැඩමවීමෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිස ඇමතූහ. “ඇවැත්නි, ධර්මය ද විනය ද යන දෙකෙන් පළමුව කුමක් සංගායනා කරමු ද?” එයට මහරහතන් වහන්සේ දුන් පිළිතුර මෙසේ විය.
භන්තෙ මහා කස්සප , විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති, තස්මා පඨමං විනයං සංගාමාති.
ස්වාමීනි, මහා කාශ්‍යප තෙරුන් වහන්ස, විනය නම් බුද්ධ ශාසනයේ ආයුෂය’යි. විනය පවත්නා කල්හි ශාසනය ද පවතියි. එම නිසා පළමුව විනය සංගායනා කරමු.
පසුව පළමුව උපාලි තෙරුන් වහන්සේගෙන් විනය පිළිබඳව ද, ආනන්ද තෙරුන් වහන්සේගෙන් ධර්මය පිළිබඳ ව ද විමසීය. ඊළඟට සිදු වූයේ ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව සහ බ්‍රහ්මදණ්ඩ කථාව යි.
භාණක පරම්පරා
මෙසේ නිකිණි පොහොය දිනෙක ආරම්භ වී සත් මසක් මුළුල්ලේ පැවැති ප්‍රථම ධර්ම සංගායනාව අවසානයේ දී ස්ථාවර කර ගත් ධර්මය මතු අනාගතය සඳහා, කට පාඩමින් සුරක්ෂිත කර ගැනීම භාණක භික්ෂු පරම්පරාවනට පවරා දුනි. ඒ අනුව දීඝනිකාය , ආනන්ද තෙරුන්ට හා ඒ ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, මජ්ක්‍ධිම නිකාය පිරිනිවි සැරියුත් තෙරුන්ගේ ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, සංයුක්ත නිකාය මහා කාශ්‍යප තෙරුන්ට හා ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන්ට හා ආශි‍්‍රත නිශි‍්‍රතයන්ටත්, ඛුද්දක නිකාය පොදුවේ සෑම භික්ෂූන් වහන්සේ නමකටමත් පැවරුණි.
ත්‍රිපිටකය ලක්දිව ග්‍රන්ථාරූඪ වන තෙක් ම බුදුදහම චිරාත් කාලයක් පවත්වාගෙන ඒම සඳහා හේතු වූයේ මෙම භාණක භික්ෂු පරම්පරා ක්‍රමයයි. මේ අනුව බුදුදහම ක්‍රමානුකූල පදනමක් මත ස්ථාවර වූයේ නිකිණි පොහොය දිනෙක ඇරඹි ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුවයි.
ඌරුගමුවේ
අස්සජී හිමි