දම්සක් දෙසුමෙන් ලොවම පුබුදු කළ ඇසළ පෝදා

 


ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට අමතරව සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත්වීමට මුල්වන සිදුවීම් අතර වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වැනි වියේ දී සතර පෙරනිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුද්ධ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේ ගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ඉපදීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන් ගේ මානය මර්ධනය කරනු වස් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදුකිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන කරුණු ප්‍රධාන ය.

ලක්දිවටත් වැදගත්

ලක්දිව බුදුසසුනෙහි ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන සිදුවීම් කිහිපයකි. ඒවා අතර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම සීමා සම්මතය සිදු කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨක චේතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව, මහරහතන් වහන්සේ සැට දෙනමක් පළමු වරට ලක්දිව වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය සිදුකිරීම, එහි ධාතු නිධානෝත්සවය සිදුකිරීම, දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

පස්වග භික්ෂූන්ගේ කතාබහ

එදා ඇසළ පුර පසළොස්වක පොහෝදා සවස් කාලය යි. බුදුරජාණන් වහන්සේ බරණැසට නුදුරුව පිහිටි ඉසිපතනයට සමීප වූ සේක. එහි සිටි කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය , මහානාම සහ අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේ ඈත වැඩමවන බුදුරදුන් දුටුවහ. දැක මෙවන් කතාබහක නිරත වූහ.

“ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයෝ ප්‍රධන් වීර්යයෙන් පහව, සුවපහසු ප්‍රත්‍ය පරිභෝජනයට බැස, බුදුවීමට නොහැකිව දැන් අප කරා එති. ඔහු දැක හුනස්නෙන් නැඟී සිටීම, ඉදිරියට ගොස් පා සිවුරු පිළිගැනීම හෝ වැඳීම හෝ නො කළ යුතු ය. ශාක්‍ය වංශයෙහි උපන් හෙයින්, හිඳිනා අසුනක් පමණක් පැනවිය යුතු ය.

එහෙත් කෙමෙන් කෙමෙන් බුදුරදුන් ළං වත්ම තමන් කරගත් කතිකාවතෙහි පිහිටා සිටීමට ඔවුහු අසමත් වූහ. එක් තවුසෙක් පෙරමඟට ගොස් පාත්‍ර චීවර පිළිගත්හ. එක් අයෙක් අසුන් පැනවූහ. තවත් අයෙක් පා සේදීමට දිය ද, පා පුටුව ද, පාද පිසදමනය ද ගෙනවුත් ළං කොට තැබූහ. බුදුරජාණන් වහන්සේ ද පැන වූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන්පසු ඔවුහු බුදුරදුන්ට පෙර සේ තමනට සම කෙනකුට කතා කරන්නාක් මෙන් ‘ඇවැත්නි, ගෞතමයනි “කියා ආමන්ත්‍රණය කොට පිළිසඳර කතා බහ පටන් ගත්හ.

එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මහණෙනි, තථාගතයන් වහන්සේට ඇවැත්නි කියාත්, නම කියාත් ආමන්ත්‍රණය නො කළ යුතු ය. තථාගත තෙමේ සියලු කෙලෙස් නැසූයෙකි. සියලු ධර්මයන් මනා කොට තෙමේ ම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, අසවු, තථාගත වූ ම විසින් නිවන අවබෝධ කරන ලද්දෝ ය. ඒ මම යූෂ්මතුනට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහිගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කරන්න.”

සැකයට කරුණක්

පස්වග භික්ෂූන් වහන්සේ මෙය අසා මවිතයට පත්ව පෙරළා බුදුරදුන්ගෙන් මෙසේ විමසුහ. “ආයුෂ්මතුනි, එ දවස එතරම් වීර්යය කොටත්, එතරම් දුෂ්කර ක්‍රියා කොටත් ලෝකෝත්තර ගුණයක් නො ලැබුණේ නම්, ඔබට ලෝකෝත්තර ධර්ම පහළ වූයේ දුෂ්කර ක්‍රියා අත්හැර ආහාරපානාදී ප්‍රත්‍යයන් බහුල කොට ගැනීමෙන්, ශරීරයට සුව පහසුව සැලසීමෙන් දැ”යි ඇසූහ. “මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බහුලකොට ගැනීමට යොමු වූ කෙනකුවත්, වීර්යය අත්හැර දැමු කෙනකුවත් නොවේ. තථාගත තෙම අරහත් ය. සම්‍යක් සම්බුද්ධ ය.

“මම යුෂ්මතුන්හට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහි ගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කළ හැකියැ”යි, ද වදාළ සේක.

එසේ පැහැදිලි කළ විට ද පස්වග භික්ෂූන් පෙර සේ ම ප්‍රශ්න කළ හ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මා එදා උරුවෙල් දනව්වේ යූෂ්මතුන් හා සමඟ වාසය කරමින් ප්‍රධන්වීර්යය කරන කාලයෙහි කිසිම දිනක ඔබ රවටා සනසනු සඳහා මට මෙසේ එළියක් පෙනේ යැයි කියා හෝ නො ලැබූ යමක් ලැබීමි’ යි කියා හෝ බොරුවක් කී බවක් මතක දැ”යි , ඇසූහ. එය ඇසීමෙන් කාරණය තේරුම් ගත් පස්වග භික්ෂූහු උන්වහන්සේ බුදු බව ලැබුණේ යැයි කළ ප්‍රකාශය සත්‍ය යැයි පිළිගෙන “ස්වාමීනි, ඔබ වහන්සේ බොරුවෙන් අප කිසි කලෙකත් නොරැවටූ සේකැයි, කීහ. එවිට බුදුරජාණන් වහන්සේ පළමුව හා දෙවනුව වදාළ පරිදිම ස්වකීය බුද්ධත්වය පැහැදිලි කළ පසු පස්වග භික්ෂුහු”භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලත් බැවින් ම මෙසේ වදාරණ සේකැ”යි, පිළිගත්හ. ධර්ම ශ්‍රවණයට සැරසුණහ.

දම්සක් දෙසුම ඇරඹීම

ඇසළ පොහෝදා හිරු අවරට ගමන් ගන්නා වේලාවයි. එහා මෙහා දුව පැන ඇවිදින මුවන්ගෙන් සහ පියාඹන විවිධ පක්ෂීන්ගෙන් බරණැස ඉසිපතනය අමුතුම අසිරියක් විදහාපෑවේ ය. පස්වග භික්ෂූන් වහන්සේ එළිමහන් පෙදෙසක රැස් වූහ. ඔවුනට මුහුණලා භාග්‍යවතුන් වහන්සේ අනූපමේය බුද්ධශ්‍රීයෙන් බබළමින් ආසනයක වැඩසිටි සේක. එකෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ සියුම් වෙස්ගෙන එහි රැස්වූහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බ්‍රහ්ම ස්වරය විහිදුවා ප්‍රථම ධර්ම දේශනාව මෙසේ ආරම්භ කළහ. “මහණෙනි, පැවිද්දකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ, හීන වූ, පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නා වූ, පස්කම් සැපතෙහි නැවත නැවත යෙදෙන්නා වූ, කාමසුඛල්ලිකානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද, එසේම දුක් උපදවන්නා වූ, ආර්යයන් සතු නොවූ, අනර්ථයක් ම සිදු කරන්නාවූ තම සිරුරට බෙහෙවින්ම දුක් දෙන්නාවූ, අත්තකිලමථානුයෝගය නම් වූ ප්‍රතිපදාවක් වෙත් ද මහණෙනි, මෙම අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදහ. එම ප්‍රතිපදාව නුවණැස පිරිසුදු කරන්නේ ය. නුවණ ඇති කරන්නේ ය. එය කෙලෙසුන් සංසිඳවීම පිණිස, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිවන් පිණිස හේතු වන්නේ ය.

“මෙසේ ඇරඹි දම්සක් දෙසුම අවසන පළමුව කොණ්ඩඤ්ඤ හිමි චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ ය. එහෙයින් ම උන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය වූයේ ය.

ඌරුගමුවේ
අස්සජී හිමි