ප්‍රථම ධර්ම සංගායනාව ඇරඹි නිකිණි පෝදා

 


ශාසනික වශයෙන් සදාඅනුස්මරණීය ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම නිකිණි පොහොය දිනෙක ආරම්භ වී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම. ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟ හැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන් ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු ඒ අතර ප්‍රධානය.

ආජිවකයාගේ පිළිතුර

විනය පිටකයෙහි චුල්ලවග්ග පාලියෙහි පංචසතිකක්ඛන්ධකයෙහි ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ වූ වාර්තාව හමු වෙයි. එහි සඳහන් වන පරිදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා ද සමඟ පාවා නුවරින් කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ මාර්ගයට පිවිසුනෙමි. ඉක්බිතිව මම මඟින් ඉවත්ව ගසක් මුල හුන්නෙමි.

එහිදී එක්තරා ආජීවකයෙක් මදාරා මලක් අතින් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දිවෙන මෙකී මාර්ගයට ම පිවිසියේ ය. පැමිණෙන්නා වූ එම ආජීවකයා මම දුරදීම දුටුවෙමි. දැක මෙසේ කීමි. ඇවැත්නි. අප ගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහිද? එසේ ය. දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි.ම විසින් මෙම මදාරා මල එතැනින් ගන්නා ලදී.

අවීතරාගීන්ගේ හැසිරීම

ඇවැත්නි, එහි සිටි භික්ෂු සමූහයා අතර ඇතැමෙක් අවීතරාගීහු (මාර්ගඵල නොලැබූ) වූහ. ඒ අතරින් ද ඇතැමෙක් “ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලෝකයෙහි ඇස අතුරුදහන් වූයේ යැ”යි, කියමින් හිසෙහි අත් බැඳ හඬති. සිඳලූ දෙයක් බිමට වැටෙන්නාක් මෙන් වැටෙති. ඉදිරියට පෙරළෙති. පසුපසට පෙරළෙති. එහි සිටි වීතරාගී භික්ෂූන් වහන්සේලා සංස්කාරයෝ අනිත්‍යය හ. සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් කොහි ලැබිය හැකි දැයි, සලකා මනා සිහියෙන් හා නුවණින් යුතුව මෙම සිදුවීම ඉවසූහ. අනතුරුව මම එකී භික්ෂු සමූහයාට මෙසේ කීමි.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. පි‍්‍රයමනාප වූ සියල්ලෙන්ම වෙනස්වීම වෙන්වීම. වෙනත් ආකාරයක දෙයක් සිදුවීම වන්නේ ය. යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ නොවේද? යමක් උපන්නේ ද හට ගත්තේ ද ලෞකික වූයේ ද නැසෙනසුලු වේ ද එය ඒකාන්තයෙන් නො නැසේවා යි, යන මෙය කොහි ලැබිය හැකි වේද? ලැබිය හැකි නොවේ ම ය.

ඇවැත්නි, එසමයෙහි සුභද්‍ර නම් මහලුව පැවිදි වූවෙක් එම පිරිස අතර සිටියේ ය. ඉක්බිති එම පැවිද්දා එම භික්ෂු පිරිසට මෙසේ කීය.

ඇවැත්නි, කම් නැත. ශෝක නොකරවු. නො වැළපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මනාව මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය. මෙය තොපට නො කැප යයි කීමෙන් උපද්‍රවයට ද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නොකැමැත්තෙමු නම් එය නො කරන්නෙමු.

එබැවින් ඇවැත්නි, අපි අධර්මය

බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත් වීමටත්, ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත් වීමටත්. විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්මය ද විනය ද සංගායනා කළ යුතු වෙමු’යි මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ වදාළහ.

රජගහනුවර තෝරා ගැනීම

මහතෙරුන් වහන්ස, එසේ නම් ඔබ වහන්සේ භික්ෂූන් තෝරාගන්නා සේක්වා. ඉක්බිති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක් නමක් අඩු පන්සියයක් රහතන් වහන්සේලා තෝරා ගත්හ. භික්ෂූහු මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට මෙසේ කීහ. මහ තෙරුන් වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වීතරාගී නොවුණත් ඡන්දයෙන් , ද්වේෂයෙන් , මෝහයෙන් , භයින් අගතියට නො යති. උන්වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්මය ද , විනය ද උගන්නා ලද්දේ ය. එබැවින් ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ ද මීට තෝරා ගන්නා සේක්වා

රජගහ නුවර වනාහි මහා ගොදුරු ගම් ඇත්තේය. බොහෝ සෙනසුන් ඇත්තේ ය. අපි රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කරන්නෙමු නම් ඉතා මැනවි. වෙනත් භික්ෂු නමක් රජගහනුවර වස් නොවසන්නේ නම් යෙහෙකි.

පසුව මහාකාශ්‍යප තෙරුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සංඝයා මාගේ බස් අසත්වා. ඉඳින් රජගහ නුවර වස් වසමින් ධර්මය ද විනය ද සංගායනා කිරීමට සංඝයා මෙම පන්සියයක් භික්ෂූන් සම්මත කර ගන්නේ ය. අනෙක් භික්ෂූන් රජගහනුවර වස් නො විසිය යුතුය. මේ ප්‍රඥප්තිය යි. මෙසේ තෙවරක් දැනුම්දීමෙන් පසු මහාකාශ්‍යප මහ තෙරුන් වහන්සේ “මෙය සංඝයාට රුචි වෙයි. එබැවින් නිහඬ ය. මෙය මෙසේ ක්‍රියාත්මක කරමි”යි තීරණය කළහ.

පිළිසකර කිරීම්

පසුව පන්සියයක් භික්ෂූන් වහන්සේ ධර්මය ද විනය ද සංගායනා කිරීමට රජගහ නුවර ට වැඩියහ. එහි දී උන් වහන්සේලාට මෙම අදහස පහළ විය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුණු පැලුණු තැන් පිළිසකර කිරීම වර්ණනා කරන ලදහ. එබැවින් අපි පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කරමු. මධ්‍යම මාසයෙහි රැස්ව ධර්මය ද විනය ද, සංගායනා කරන්නෙමු. ඒ අනුව භික්ෂූන් වහන්සෙලා පළමු මාසය බිඳුණු පැලුණු තැන් පිළිසකර කර වූහ.

ආනන්ද හිමි

ඉක්බිති ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළ හ. “හෙට සංගායනාව ය. මම රහත් නොවූයේ සංගායනාවට යන්නෙමි නම් එය මට නිසි නො වෙයි” යන මෙම කරුණ සලකා බලා රාත්‍රියෙහි බොහෝ වේලාවක් කායගතාසතිය හෙවත් කය පිළිබඳ වූ සිහියෙන් ගතකොට රාත්‍රිය පහන්වන වේලාවෙහි සැතපෙමි යි, සිතා ශරීරය හැර වූහ. එහෙත් හිස ද කොට්ටයට නො පැමිණියේ ය. පාදයෝ ද පොළොවෙන් මිදුණහ. මේ අතරෙහි සිත උපාදාන නො කොට ආශ්‍රවයන් ගෙන් මිදුණේ ය. ඉන්පසුව ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූවාහු ම සංගායනාවට වැඩම කළ සේක.

උපාලි තෙරුන්ගේ පිළිතුරු

රජගහ නුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණි ගුහාද්වාරයට රැස් වූ මහරහතන් වහන්සේලා ධර්ම සංගායනාවට සූදානම් වූහ. එහිදී මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ මෙසේ දැන්වූහ. “ඇවැත්නි. මාගේ බස් අසත්වා. ඉඳින් මම දැන් ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් විනය පිළිබඳ විමසන්නෙමි. එහි දී උපාලි මහ තෙරුන් වහන්සේද භික්ෂූන්ට මෙසේ දැන්වූහ. භික්ෂූන් මාගේ බස් අසාත්වා. ඉඳින් මම දැන් මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ විසින් විනය විමසන ලද්දේ නම් විසඳන්නෙමි.

ඉක්බිති. මහාකාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරණුවන්ට මෙසේ කීහ. “ඇවැත්නි, උපාලි ස්ථවිරයන් වහන්ස, පළමු පාරාජිකාව කොහිදී පනවන ලද ද?

තෙරුන් වහන්ස, වේසාලියේ දී ය. කවරෙකු අරබයා ද, සුදින්න කලන්ද පුත්‍ර අරබයා ය. කිනම් කාරණයක් නිසා ද? මෛථූන ධර්මයෙහි ය.

පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ උපාලි තෙරුන්ගෙන් ප්‍රථම පාරාජිකාවෙහි සිදුවීම ද නිදාන කතාව ද, පුද්ගලයා ද ඒ හා අදාළ පැනවීම් ද, පසුව පැනවීම් ද එම වරදට පත්වන්නා හා පත් නොවන්නා පිළිබඳව ද විමසූහ. මේ ක්‍රමයෙන් ම සෙසු පාරාජිකාවන් සේ ම උභතො විභංගය ඇසූහ. ඇසූ ඇසූ දේ උපාලි තෙරණුවෝ විසඳූ හ.

ධර්මය විමසීම

ඉක්බිතිව ධර්මය විමසූයේ ආනන්ද තෙරුන් වහන්සේ ගෙනි. “ඇවැත්නි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, බ්‍රහ්මජාල සූත්‍රය කොහි දී දේශනා කරන ලද ද? තෙරුන් වහන්ස, රජගහ නාලන්දා දෙනුවර අතර අම්බලට්ඨිකා නමැති උයනෙහි රජු පිණිස කරවන ලද ගෙහි දී ය. කවරෙකු අරබයා ද? සුප්පිය පරිබ්‍රාජකයා සහ බ්‍රහ්මදත්ත මානවකයා අරබයා ය. ඉක්බිතිව මහාකාශ්‍යප මහ තෙරණුවෝ බ්‍රහ්මජාල සූත්‍රයෙහි නිදානය හා පුද්ගලයා ද ඇසූහ. මෙම ක්‍රමයෙන් ම නිකාය පසම ඇසුහ. ඇසූ ඇසූ දේ ආනන්ද තෙරණුවෝ විසඳූ හ. ඊළඟට සිදු වූයේ ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව සහ බ්‍රහ්මදණ්ඩ කථාවයි. සංගායනාව අවසානයේ දී ස්ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා කටපාඩමින් සුරක්ෂිත කර ගැනීම භික්ෂු පරම්පරාවනට පවරා දුනි. බුදු දහම චිරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා මෙම කාර්යය උපස්ථම්භක වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ.


ඌරුගමුවේ
අස්සජී හිමි

පළමු දම් දෙසුම පැවැත්වූ අසිරිමත් ඇසළ පෝදා

 


සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි සදානුස්මරණීය සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හඳුන්වා දිය හැකි ය. බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම මේ අතර වඩාත් ප්‍රමුඛත්වය ගනියි.

සිදුවීම් රැසක්

වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ජන්මලාභය ලැබීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහරපෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදු කිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත් වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනියි.

ලංකාවටත් විශේෂිතයි

ලක්දිව බුදුසසුනෙහි ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඇසළ පොහොය සම්බන්ධයෙන් වැදගත් වන සිදුවීම් කිහිපයකි. ඒවා අතර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරන ලද මහාවිහාර සීමාව තුළ ප්‍රථම සීමා සම්මතය සිදු කිරීම, ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම, දේවානම්පියතිස්ස රජු විසින් මිහින්තලයේ කණ්ඨකචේතිය වටා කරවූ අට සැට ලෙන් පුජාව, මහරහතන් වහන්සේලා හැට දෙනමක් පළමු වරට ලක්දිව වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම, එහි ධාතු නිධානෝත්සවය සිදු කිරීම, දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහා පෙරහරේ ආරම්භය සිදුවීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.

පිළිපැදීමට අපොහොසත් වූ කතිකාව

ඇසළ පොහෝ දා සවස් කාලයෙහි බුදුරජාණන් වහන්සේ බරණැසට නුදුරුව පිහිටි ඉසිපතනයට සමීප වූ සේක. පස්වග භික්ෂූන් වහන්සේලා ඈත වැඩමවන බුදුරදුන් දුටුවහ. දැක මෙවන් කතා බහක නිරත වූහ.

“ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයෝ ප්‍රධන් වීර්යයෙන් පහව“ සුවපහසු ප්‍රත්‍යය පරිභෝගයට බැස බුදුවීමට නොහැකිව දැන් අප කරා එති. ඔහු දැක හුනස්නෙන් නැඟී සිටීම ඉදිරියට ගොස් පා සිවුරු පිළිගැනීම හෝ වැඳීම හෝ නො කළ යුතු ය. ශාක්‍ය වංශයෙහි උපන් හෙයින් හිඳිනා අසුනක් පමණක් පැණවිය යුතු ය.”

එහෙත් බුදුරජාණන් වහන්සේ ළං වත්ම ඔවුහු තමන් කරගත් කතිකාවෙහි පිහිටා සිටීමට අපොහොසත් වූහ. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්හ. එක් තවුසෙක් අසුන් පැණවූහ. තවත් තවුසෙක් පා සේදීමට දිය ද පා පුටුව ද, පාද පිසදමනය ද ගෙනවුත් ළං කොට තැබූහ. බුදුරජාණන් වහන්සේ ද පැණ වූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන්පසු ඔවුහු බුදුරජාණන් වහන්සේට පෙර සේ තමනට සම කෙනෙකුට කතා කරන්නාක් මෙන් ඇවැත්නි, ගෞතමයිනි, කියා ආමන්ත්‍රණය කොට මෙසේ පිළිසඳර කතා බහ පටන් ගත්හ.

“ඇවැත්නි ගෞතමයිනි, අපි ඒ කාලයෙහි උරුවේලාවෙහි වසන කල ඔබගේ පා සිවුරු ඔසවාගෙන ගියෙමු. මුව දෝනා දිය හා දැහැටි පිළියෙල කොට දුනිමු. ඔබ විසූ අරම ඇමදුවෙමු. ඉන්පසු ඔබට වත් පිළිවෙත් කළේ කවුරුද? අප ඔබ හැර දමා ගිය කල අප ගැන යමක් සිතුණේ නැද්ද?

එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා “මහණෙනි, තථාගතයන් වහන්සේට ඇවැත්නි කියාත් නම කියාත් ආමන්ත්‍රණය නො කළ යුතු ය. තථාගත තෙමේ සියලු කෙලෙස් නැසූයෙකි. මනා කොට සියලු ධර්මයන් තෙමේ ම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, අසවු, තථාගත වූ ම විසින් නිවන අවබෝධ කරන ලද්දේ ය . ඒ මම යුෂ්මතුනට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහි ගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කරන්න.”

පස්වග භික්ෂූන්ට සැකයක්

මෙය ඇසූ පස්වග භික්ෂූහු “ආයුෂ්මතුනි, එදවස එතරම් වීර්යය කොටත් එතරම් දුෂ්කර ක්‍රියා කොටත් ලෝකෝත්තර ගුණයක් නො ලැබුණේ, නම් ඔබට ලෝකෝත්තර ධර්ම පහළ වූයේ දුෂ්කර ක්‍රියා අත්තැර ආහාරපානාදී ප්‍රත්‍යයන් බහු කොට ගැනීමෙන් ශරීරයට සුව පහසුව සැලසීමෙන් දැ’යි, ඇසූහ.

එවිට බුදුරදුන් ‘මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බහුලකොට ගැනීමට යොමු වූ කෙනෙකුවත්, වීර්යය හැර දැමූ කෙනෙකු වත් නොවෙයි. තථාගත තෙම අරහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මා විසින් නිවන ලද්දේ ය.

මම යුෂ්මතුන්හට අනුශාසනා කරමි. දහම් දෙසමි. ගිහි ගෙය අත්හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන උතුම් නිවන මාගේ අනුශාසනා පරිදි පිළිගැනීමෙන් ලබාගෙන වාසය කළ හැකියැ” යි, වදාළ සේක. එසේ පැහැදිලි කළ විට ද පස්වග භික්ෂූහු පෙර සේ ම ප්‍රශ්න කළහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා

“මා එදා උරුවෙල් දනව්වේ යුෂ්මතුන් හා සමඟ වාසය කරමින් ප්‍රධන් වීර්යය කරන කාලයෙහි කිසිම දිනෙක ඔබ රවටා සනසනු සඳහා මට මෙසේ එළියක් පෙනේ යැයි කියා හෝ නො ලැබූ යමක් ලැබීමි යි කියා හෝ බොරුවක් කී බවක් මතක දැ’යි ඇසූහ.

එසේ වදාළ විට පස්වග භික්ෂූහු කාරණය තේරුම්ගෙන උන්වහන්සේ බුදු බව ලැබුණේ යැයි, කළ ප්‍රකාශය සත්‍ය යැයි පිළිගෙන “ස්වාමීනි, ඔබ වහන්සේ බොරුවෙන් අප කිසි කලෙකත් නො රැවටූ සේකැ”යි කීහ.

එවිට බුදුරජාණන් වහන්සේ පළමුව හා දෙවනුව වදාළ පරිදිම “මහණෙනි, තථාගත තෙමේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධ ය. යනාදී ලෙස පැහැදිලි කළ සේක. පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලත් බැවින් ම මෙසේ වදාරණ සේකැයි, පිළිගත්හ. ධර්ම ශ්‍රවණයට සැරසුණහ.

ඉසිපතනයෙහි අමුතු අසිරියක්

ඒ වන විට ඇසළ පොහෝ දා හිරු අවරට ගමන් ගන්නා වේලාව උදා වී තිබුණි. එහා මෙහා දිව පැන ඇවිදින මුවන්ගෙන් සහ පියාඹන විවිධ පක්ෂීන්ගෙන් ඉසිපතන භූමිය අමුතුම අසිරියක් විදහා පෑවේ ය. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේලා එළිමහන් පෙදෙසක රැස් වූහ. ඔවුනට මුහුණලා භාග්‍යවතුන් වහන්සේ අනූපමේය බුද්ධ ශ්‍රීයෙන් බබළමින් ආසනයක වැඩ සිටි සේක. එකෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ සියුම් වෙස්ගෙන එහි රැස් වූහ.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බ්‍රහ්ම ස්වරය විහිදුවා ප්‍රථම ධර්ම දේශනාව මෙසේ ආරම්භ කළ සේක.

මහණෙනි පැවිද්දකු විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි. එනම් ලාමක වූ, ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද අනාර්ය වූ අනර්ථයක් ම සිදු කරන්නා වූ

කාම සුඛල්ලිකානු යෝගය ද දුක් උපදවන අනාර්ය වූ අවැඩ ගෙනදෙන අත්තකිලමථානුයෝගය ද යන අන්ත දෙක ය.

මහණෙනි, මෙකී අන්ත දෙක හැර දමා නුවණැස පිරිසුදු කරන, ඤාණය පහළ කරන, කෙලෙස් දුරු කරනු පිණිස, සත්‍යය අවබෝධය පිණිස සම්බෝධිය පිණිස, නිවන් ප්‍රත්‍යක්ෂ කරනු පිණිස පවත්නා මධ්‍යම ප්‍රතිපදාව තථාගත වූ මා විසින් පසක් කෙරිණි.

සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව මෙහි ඇතුළත් බුදුදහමේ මූලික ඉගැන්වීම වූ චතුරාර්ය සත්‍යය තුළින් විග්‍රහ කොට ඇත. මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළින් පෙර නො ඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. ඒ අනුව ඇසළ පොහෝ දා වූ සදානුස්මරණීය සිදුවීම මෙම ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමයි.


ඌරුගමුවේ අස්සජී හිමි

Esala Poya ඇසළ පෝය

බුදු දහමේ නිර්මල පණිවිඩය ලද පොසොන් පෝදා

 



ශ්‍රී බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දුන්හ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේ සමඟ මෙහි සැපත් වූහ.

තෙවැනි ධර්ම සංගායනාව

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙහි ප්‍රධානත්වය දැරූ අතර මහරහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වූහ. ධර්මාශෝක අධිරාජයා ප්‍රධාන දායකත්වය දැරීය. මෙම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදුදහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ස්වකීය පුත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් ම මෙරටට පිටත්කොට හැරීමෙන් පැහැදිලි වනුයේ ධර්මාශෝක අධිරාජයා ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ බවයි.

දූත පිරිස සැපත් වීම

දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහිදී දේවානම්පියතිස්ස මහ රජු මුණ ගැසිණි. මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.

සමණාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.

බුද්ධි පරීක්ෂණයක්

දඹදිව සිට කෙසේ පැමිණියාහු දැයි, මහ රජු ඇසූ ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ “දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ” යන්නයි. එම පිළිතුර මහරජු තේරුම් ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ මහ රජුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ. ළඟම තිබූ අඹ ගසක් මහ රජුට පෙන් වූ මිහිඳු මා හිමි “මේ කිනම් ගසක් දැ” යි ඇසීය. එවිට මහ රජු මේ අඹ ගසකැයි පිළිතුරු දුන්නේ ය.

මිහිඳු මා හිමි-මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?

මහරජු - එසේය, බොහෝ ගඹ ගස් තිබේ.

මිහිඳු මාහිමි - මේ අඹ ගසත්, අනෙක් අඹ ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?

මහරජු - එසේය, තවත් බොහෝ ගස් තිබේ.

මිහිඳු මා හිමි - ඒ අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?

මහරජු - එසේය, ඒ මේ අඹ ගස ය.

බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කළ මෙම සාකච්ඡාවෙන් මහ රජුගේ තර්ක බුද්ධිය පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මාහිමි ඉක්බිතිව විමසූයේ මහරජු කේන්ද්‍රකරගත් ප්‍රශ්නයකි.

මිහිඳු මාහිමි - නුඹට නෑයෝ සිටිත්ද?

මහරජු - එසේය, බොහෝ නෑයෝ සිටිති,

මිහිඳු මාහිමි - නොනෑයෝත් සිටිත් ද?

මහරජු - නොනෑයෝ ද බොහෝ වෙති.

මිහිඳු මා හිමි - නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත් ද?

මහරජු - ස්වාමීනි, ඒ මම වෙමි.

බණ ඇසුමට දහස් ගණනින්

මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු මනා බුද්ධිමතකු බව මිහිඳු මාහිමියනට අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත මහරජුට තෙරුවන් පිළිබඳවත්, බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළහ. දේශනාවසානයෙහි මහරජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේ දී රජ මැදුරේ දී පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල්වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වූ හ. ඒ සියලු දෙනාට රජමැදුර ඉඩ මද වූයෙන් මහරජු මඟුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය.

ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත, බාල පණ්ඩිත, ආසීවිසෝපම, අනමතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵලාවබෝධයට පත් කරවූහ. ධර්ම දූතයන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා මහමෙවුනා උයන පූජා කළ මහ රජු මිහිඳු මාහිමි සමඟ එම උයන වටා ඇවිද සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස අතර වූ භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලක්දිව මුල් පැවිදි උපසම්පදාව ද ඇරඹිණි.

සංස්කෘතික නවෝදය

මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදුසමය මෙරටට හඳුන්වාදීමත් සමඟම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලි ය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් පිළිබඳ මනෝ විද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදුකළ අත්‍යුදාර වූ ධර්ම දූත සේවාව සෙසු අන් එක ද රටකටවත් සිදුකළ ධර්ම දූත සේවාවට නොදෙවෙනි විශිෂ්ටත්වයක් ප්‍රකට කළ බව ඉතා පැහැදිලි ය.

රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලී බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදුකළ යුත්තකි.

මෙහිදී මිහිඳු මාහිමි සිදු කළේ ප්‍රාග් බෙද්ධ යුගයේ ලංකාවේ පැවැති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහි දී සිදු නොවුණි.

මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ.

ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ. මළවුන් ඇදහූ අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම සිදු කළහ.

ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළ අය චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගන්න. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාර විධීන් හුරු පුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුළුල්වීමත් සමඟම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වූ බවයි.

දායාද රැසක්

අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමන ය යි. අප සිංහල අක්ෂර සම්ප්‍රදාය ද අද තත්ත්වයට හැඩගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ සිරිලකට වැඩමවීම නිසාද අපට උරුම වූ සංස්කෘතික දායාද රැසකි.

තවත් අතකින් බැලූ කල මහින්දාගමනයත් සමඟම අපට උරුම වූයේ එවකට ලෝකයේ පැවැති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වූ මෞර්ය කලාවයි. බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි.

සඳකඩපහණ, වාහල්කඩ වැනි කලා නිර්මාණ සේ ම මහා කළුගල්වලට පණ පෙවූ සමාධි පිළිමය අවුකන පිළිමය වැනි විශ්ව කලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලා කෘති නිමවූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

මහින්දාගමනයත් සමඟ වැවයි දාගැබයි, කෙතයි, යන සංස්කෘතික සබැඳියාවත්, ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකි ය.


ඌරුගමුවේ අස්සජී හිමි

තෙමඟුල සමරමින් බුදු පුදට එක් වන අසිරිමත් වෙසක් පෝදා

 


වෙසක් පුර පසළොස්වක පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය යි.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් පුරයට වැඩමවීම, තෙවැනි වරටත් බුදුරදුන් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසි වැනි වියේ දී පිරිනිවන් පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධ ව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය. මෙසේ බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

බෝසත් උපත



දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබූ තැන් පටන් අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ දස පාරමිතා පුරමින් වෙස්සන්තර ආත්ම භාවයේ දී දෙව්ලොව උපන්හ. එයින් පසු තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව උපන්හ. එහි සිටි සියලු දිව්‍ය බ්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් මෙසේ ආරාධනා කළහ.

කාලො යං තෙ මහාවීර
උප්පජ්ජ මාතු කුච්ඡියං
සදෙවකං තාරයන්තො
බුජ්ඣස්සු අමතං පදං

මහා වීරයන් වහන්ස, මිනිස් ලොව මව්කුස ඉපිද මිනිසුන් හා දෙවියන් සසර දුකින් එතෙර කරනු සඳහා නිවන අවබෝධ කර ගැනීමට මේ සුදුසුම කාලයයි.

ඉක්බිති බෝසතාණන් වහන්සේ ඉපදීමට සුදුසු දීපය වූ දඹදිව ද, දේශය වූ මධ්‍ය දේශය ද, කාලය වූ දීර්ඝ ආයුෂත් නො වන අල්ප ආයුෂත් නොවන මධ්‍යම ආයු කාලය ද, කුලය වූ ක්ෂත්‍රිය කුලය ද, මවගේ ආයුෂ කාලය ද යන පස්මහ බැලුම් බැලූහ. පසුව කපිලවස්තු ශාක්‍ය පරම්පරාවෙහි සුද්දෝධන මහරජු ගේ හා දෙව්දහ නුවර ශාක්‍ය පරම්පරාවෙහි මහාමායා දේවිය ගේ පුත්ව ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී උපන්හ.

සතර පෙර නිමිති



කෙමෙන් ළදරුවිය ඉක්මවා සොළොස් වැනි වියට පත් සිද්ධාර්ථ කුමරු යශෝධරා දේවිය සරණ පාවාගෙන තුන් සෘතුවට යෝග්‍ය වූ රම්‍ය, සුරම්‍ය, සුභ නමැති මාලිගා තුනෙක වාසය කළේ ය. සියලු පස්කම් සුව එහි පැවතිය ද කල්යත්ම සිදුහත් කුමරුට සසර දුක වැටහෙන්නට විය. විසි නව වැනි වියේ දී පස්කම්සුව කෙරෙහි කළකිරීමට ඉවහල් වූ සතර පෙර නිමිති නෙත ගැටුණි. වයසට යාම, ලෙඩ රෝග ඇතිවීම හා මරණය සියල්ලන්ට ම සාධාරණ බව ගැඹුරින් මෙනෙහි කරමින් සිටි සිදුහත් කුමරු මුල්වරට එහි සත්‍යතාව සියැසින් දැකීම ගිහි සැපතින් ඉවත්වීම කෙරෙහි තදින්ම බලපෑවේ ය. ඉක්බිතිව

මහාභිනිෂ්ක්‍රමණය කොට පළමුව ආචාර්යවරුන් සොයා ගොස් ඉන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැන්මට නොහැකි වූ තැන දුෂ්කර ක්‍රියා සිදු කළේ ය. එයිනුදු ප්‍රතිඵලයක් නොලදින් මැදුම් පිළිවෙතට බැස දිගින් දිගටම භාවනාවෙහි යෙදුණේ ය.

සිහින පහක්




එම වසරෙහි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ළඟා විය. බෝසතාණන් වහන්සේ වෙසක් මස පුර තුදුස්වක දා රෑ නින්දෙහි සිටිය දී මෙම සිහින පහ දුටුවහ.

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරුව සැතපෙත බෝසතාණන් වහන්සේගේ දකුණත අවර සයුරෙහි ද වමත පෙර සයුරෙහි ද පා දකුණු සයුරෙහිද සිටියහ. මෙම සිහිනය උන්වහන්සේ බුදුවන බවට පෙර නිමිත්තකි.

බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතණ ගසක් හටගෙන එය ඉතා උසට නැඟී අහස තෙක් පැතිර ගියේ ය. ආර්ය

අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට එය ලෝකයාට දේශනා කරන බව මෙම සිහිනයෙහි පෙර නිමිත්තයි.

කළු පැහැති හිස් ඇති සුදු පැහැති පණුවෝ පා මුලින් නැගී දණ හිස දක්වා වසා ගත්හ. මෙය බොහෝ අනුගාමිකයන් බිහිවන බවට වූ පෙර නිමිත්තයි.

නා නා වර්ණයෙන් යුතු ලිහිණියෝ සතර දෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් පා මුල වැටී වහා සුදු පැහැ වූහ. මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදිව පිරිසුදුව නිවන කරා පැමිණෙන බවට වූ පෙර නිමිත්තයි.

මහත් අශූචි පර්වතයක් මත්තෙහි අශූචියෙහි නො ගෑවී සක්මන් කෙරිණි. මෙය සිව්පසය බොහෝ සේ ලැබුණ ද එහි නො ඇලෙන බවට වූ පෙර නිමිත්තයි.

බෝසතාණන් වහන්සේ මෙම ස්වප්න පිළිබඳ විමසා බලා “බුදුවන බව නිසැකයැ”යි වටහාගෙන පසුදා එනම් වෙසක් පොහෝ දා උදෑසන අජපාල නුග රුක මුල වැඩ සිටියහ.

කිරිපිඬු පූජාව



සේනානි නියම් ගම් වැසි සුජාතා සිටු දේවිය සිරිත් වශයෙන් නුග රුකට අධි ගෘහිත දෙවියන්ට පුදන දිය නුමුසු කිරිබත රැගෙන අජපල් නුග රුක වෙතට පැමිණියා ය. බෝසතාණන් වහන්සේ දැක රුක් දෙවියන් අද බිමට බැස ඇතැයි, බලවත් සොම්නසට පත්ව කිරිබත පිළිගැන්වූවා ය. බෝසතාණන් වහන්සේ නේරංජනා ගංතෙරට වැඩමවා පිඬු හතළිස් නවයක් කොට කිරිපිඬු අහර වැළඳූහ. ඉක්බිතිව අද මා බුදුවන්නෙම් නම් මේ රන්තලිය උඩුගං බලා යේවා”යි, අදිටන් කොට රන් පාත්‍රය දියට දැමූහ. එය දිය පිට උඩු ගං බලා ගොස් දිය සුළියකට හසුව දියේ ගිලිණ. ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදුවනු ඒකාන්ත බව සිතූහ.

බුද්ධත්වය



එදින දහවල් කාලයේ සමාපත්ති උපදවමින් කල් යැවූ බෝසතාණන් වහන්සේ සවස් භාගයෙහි බෝමැඩ කරා ගමන් ගත්හ. අතරමඟ දී සොත්ථිය නම් බමුණා දුන් කුස තණ අට මිට රැගෙන ඇසතු බෝ ගස මුල එය අතුරා අසුනක් පණවා වැඩ සිටියහ. එහි දී “මේ මාගේ ශරීරයේ ඇට සම් නහර ගැලවී විසිර ගියත්, මස් ලේ වියළී ගියත්, සම්‍යක් සම්බෝධියට නොපැමිණ මේ ආසනයෙන් නැගී නොසිටිමි.” යි, අධිෂ්ඨාන කරගෙන බෝධියට පිට දී පෙරදිග බලා වැඩ හුන්හ. එහි පැමිණි පිරිවර සහිත මාරයා පරාජය කොට කෙලෙස් මරුන් ද පරදවා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වය ලැබූ සේක. ඉන් ලැබුණු සොම්නස බුදුරජාණන් වහන්සේ මෙම පී‍්‍රතිය වාක්‍යයෙන් ප්‍රකාශ කළ සේක.

අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි - පුන ගෙහං න කාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා

නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් ආත්ම භාව නමැති ගෙය සාදන තෘෂ්ණා නමැති වඩුවා සොය සොයා මෙතෙක් කල් සසර සැරි සැරූයෙමි. තණ්හා නමැති වඩුව, ම විසින් තා දක්නා ලද්දෙහි ය. නැවත තා මට ආත්මභාවය නමැති ගෙය නොසාදන්නෙහි ය. කෙලෙස් නමැති පරාල බිඳ දැමූවෙමි. අවිද්‍යා නමැති කැණිමඩල සිඳ බිඳ දැමුවෙමි. මාගේ සිත නිවනට පැමිණියේ ය. තණ්හාව නැති වී ගියේ ය.

පරිනිර්වාණය



බුද්ධත්වයේ පටන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්ත්වයින් සසර දුකින් මිදවීම සඳහා වූ සම්බුදු කිස නිම වූ බුදුරජාණන් වහන්සේ වෙසක් පුර

පසළොස්වක පොහෝ දා රාත්‍රීයේ අලුයම උදාවීමට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය ස්වකීය ජීවිතයෙන් ම ලොවට පසක් කරමින් නිරූපධිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ වන විට උන්වහන්සේ උපතින් අසූවිය සපුරා සිටියහ.

පරිනිර්වාණයට පෙර අවසාන වශයෙන් භික්ෂූන් වහන්සේලා අමතා “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් මහණෙනි, කරුණාවෙන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය. එබැවින් නොපමාව සසුන්කිස සම්පූර්ණ කරත්වා.” යි අන්තිම අවවාදය දී වදාළහ.

පිරිනිවි ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි සක්විති රජු ගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු බව පෙර වදාරා තිබිණ.

ආදාහන පූජාව



මහා පරිනිබ්බාන සූත්‍රයෙහි විස්තර වන පරිදි සක්විති රජු ගේ සිරුර පළමුව අලුත් වස්ත්‍රයෙන් වසයි. පසුව කපු පුලුන්වලින් වසා යළිත් අලුත් වස්ත්‍රයෙන් වසයි. මේ ආකාරයට යුගල පන්සියයකින් සක්විති රජුගේ සිරුර වසා රන්මුවා තෙල් දෙණෙක බහා වෙනත් රන්මුවා දෙණකින් වසා සෑම වර්ගයකට ම අයත් සුවඳ දරින් දර සෑයක් තනා සක්විති රජුගේ සිරුර ආදාහනය කරයි.

මෙම ක්‍රමය අනුව ම පිරිනිවී ශ්‍රී සම්බුද්ධ ශරීරය මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ සුවඳ දර පිර වූ සෑයක තැන්පත් කොට ආදාහන පූජාව සිදු කෙරිණි.

ඌරුගමුවේ
අස්සජී හිමි

2565 Vesak Poya සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!

Bak Poya බක් පෝය

සාමයේ පණිවිඩය ලත් බක් පොහෝදා

 


සෞභාග්‍යයෙන් හා සශී‍්‍රකත්වයෙන් යුත් මෙම බක් මහ බෙහෙවින් ම භාග්‍යවන්ත මාසයකි.තුරු ලතා මල්ඵලවලින් බරව, විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් මෙම බක් මහ උදාවත් සමඟම ඇරඹිණි. මෙවර බක් මහේ අවසන් භාගයේ බක් පුර පසළොස්වක පොහොය දිනය ද උදා වුණි.

බුදු රදුන්ගේ දෙවැනි ලංකා ගමනය

චූලෝදර - මහෝදර නා රජුන් අතර මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක ය. එය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. එහි ප්‍රතිඵලය වූයේ පූර්වෝක්ත සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි.

අනුස්මරණීය දිනයක්

තව ද බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් මහලු රුවක් දැක, ඇත්තේ ද බක් පොහොය දිනෙක ය.

එය දැක ගැඹුරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහෝදා මළ සිරුරකුත්, ඇසළ පොහෝදා පැවිදි රුවකුත් දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්‍රකට ය. එසේ ම සුද්ධෝදන මහ රජු ගේ ආරාධනය පරිදි බුදු රජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. මේ අනුව ලංකා ඉතිහාසය මෙන් ම ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ද බක් පොහොය සදා අනුස්මරණීය දිනයක් වන බව පැහැදිලි ය.

මහාවංස තොරතුරු

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වූ මහාවංස විස්තරයෙන් සුළු කොටසක් මෙසේ ය.

මහා කාරුණිකො සත්ථා
සබ්බලොකහිතෙ ගතො
බොධිතො පංචමෙ වස්සෙ
වසං ජේතවනා ජිනො

මහා කාරුණික වූ, සියලු ලෝ වැසියන්ගේ වැඩෙහි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වසරෙහි ජේතවන විහාරයෙහි වඩවසන සේක.

මහොදරස්ස නාගස්ස
තථා චූලෝදරස්ස ච
මාතුල භාගින්‍යොනං
මණී පල්ලංක හේතුතං

චූලෝදර - මහෝදර යන පිරිස් සහිත වූ නාගයන් ගේ මිණිපළඟ හේතුකොටගෙන

දිස්වා සපරිසජ්ජානං
සංගාමයං පච්චු පට්ඨිතං
සම්බුද්ධො චිත්ත මාසස්ස
කාලපක්ඛෙ උපොසථෙ
පාතො යෙව සමාදාය
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං
නාගදීප මුපාගමි

එළඹ සිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

සංග්‍රාමයට හේතුව

චූලෝදර - මහෝදර යන නාග ගෝති‍්‍රක රාජ්‍ය පාලකයන් දෙදෙනා ලංකාවේ නාගදීපය ප්‍රදේශයෙහි ආධිපත්‍යය දරමින් උසස් ආර්ථික තත්ත්වයක් ඇතිව ජීවත් වූහ.

චූලෝදර - මහෝදර ප්‍රමුඛ නාග ගෝති‍්‍රක මෙම දෙපිරිස අතර සිදුවන්නට ගිය සංග්‍රාමයට හේතුව වූයේ දායා ද වශයෙන් පිරිනැමූ මැණික් එබ්බ වූ පුටුවක් සම්බන්ධයෙන් ඇතිකරගත් කලහය දුරදිග යාම යි.

මහාවංසය සඳහන් කරන පරිදි මහෝදර නා රජු ගේ සොහොයුරිය වූයේ තිරච්ඡිකා ය. ඇය සරණ පාවා කොට දුන්නේ කණ්වඩමන් පර්වතයේ විසූ නා රජුට ය. එම දෙපළගේ පුත්‍රයා වූයේ චූලෝදර ය. ඒ අනුව චූලෝදර ඤාතිත්වය අනුව මහෝදර ගේ බෑණා විය. මහෝදරගේ පියා මියයාමට ප්‍රථම ඔහු සතුව තිබූ මැණික් පුටුව මහෝදරට නොදී ස්වකීය දියණියට දායාද වශයෙන් පවරා දුන්නේ ය.

ඇතැම් විට එම මැණික් පුටුව මෙකී රාජධානියෙහි සිංහාසනය විය හැකි ය. ඉක්බිතිව මෙම මැණික් පුටුවෙහි හිමිකරු වූයේ චූලෝදර ය. එහෙත් ස්වකීය පියාට අයත් ව තිබූ මෙම අගනා මැණික් පුටුව සිය බෑණනුවන්ට උරුමවීම මහෝදර ගේ දැඩි කෝපයට හේතු විය. වරින් වර මේ කෙරෙහි තම අයිතිය පවසා බෑණනුවන් ගෙන් එය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ ද ඒ සියල්ල ව්‍යර්ථ විය. එම නිසා දෙදෙනා අතර වෛරය අනුක්‍රමයෙන් වර්ධනය විය. අවසානයේ දී සේනා සංවිධානය කරගත් දෙදෙනා මිණිපළඟ නිසා මහත් සංග්‍රා‍මයකට මුල පිරූ හ.

සමථයට පත්වීම

මෙම සංග්‍රාමය ආරම්භ වුවහොත් සිදුවන විශාල මිනිස් සංහාරයත් දේපළ විනාශයත් වටහාගත් බුදුරදුන් එහි වැඩම කරවා යුද්ධය සමථයකට පත්කොට දහම් දෙසා ඔවුන් සමඟි කර වූ බව මහාවංසය විස්තර කරයි. මෙහි දී යුද්ධයේ නිසරුකම ද, සාමයේ වටිනාකම ද පෙන්වා දුන් බුදුරදුන් ඊට උදාහරණ ලෙස කාකෝලුක, වට්ටක,ඵන්දන, ලටුකික ආදී ජාතක ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන් ගෙන් ප්‍රකාශ කොට තිබේ.

පාරිභෝගික වස්තුවක්

මෙම දහම් දෙසුමට සවන් දුන් දෙපිරිස ම සමගි වී බුදුන් සරණ ගියහ. එමතු නොව අරගලය සඳහා මුල් වූ මැණික් පුටුව ද බුදුරදුන්ට ම පිදූහ. එහි සුළු වේලාවක් වැඩසිටි උන්වහන්සේ මිණිපළඟ ද පාරිභෝගික වස්තුවක් බවට පත්කොට නැවතත් එය ඔවුන්ට ම පවරා දුන්හ.

එහ ිදී මණිඅක්ඛිත නාග රාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කළ බව මහාවංසයේ සඳහන් වේ. එම ඇරයුම පිළිගත් බුදුරදුන් තෙවැනි ලංකා ගමනයේ දී සුමන සමන් දිව්‍ය රාජයා ගේ ඉල්ලීම පරිදි සමනොළ කන්දෙහි සිරිපා සටහන තැබූ බව ද මහාවංසය විස්තර කරයි. ඒ අනුව පැහැදිලි වනුයේ බුදුරදුන් ගේ දෙවැනි ලංකා ගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ ලක්දිවට වැඩමකරවා ගැනීමට අවස්ථාව උදා වූ බව යි.


ඌරුගමුවේ
අස්සජී හිමි

බුදුරදුන් උපන් බිමට වැඩම වූ මැදින් පෝදා

 

සිංහල මාස ක්‍රමයට අනුව නව වසරක් ආරම්භ වනුයේ බක් මහෙනි. මැදින් මහෙන් වසරක් අවසන් වෙයි. නව වසරක් ආරම්භ වන බක් මහටත්, වසර අවසන්වීමට පෙර එළඹෙන නවම් මහටත් අතර මැදිව මැදින් මහ උදාවෙයි. තව ද හේමන්ත ඍතුවේ අවසාන කාලයත්, ගිම්හාන ඍතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් ය. ඒ අනුව මධ්‍යය, මැද, අතර යන අරුතෙන් මැදින් මහ යන්න භාවිතයට එක්වී ඇති බව පැහැදිලි ය.

අනුස්මරණීය සිදුවීම් රැසක්

මෙම මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන් ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැගෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය උපන්බිම වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කිරීමයි. වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වීමේ අරමුණින් මැදින් පෝදා ආරම්භ කළ මෙම ගමන නිසා සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම තිබේ. ඒ අතර ඤාතීන්ගේ මානය බිඳ හෙලීම, යමා මහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම යනාදිය ප්‍රමුඛත්වය ගනියි.


දූත පිරිස් නවයක්

පෙර ඇසළ පොහෝ දිනෙක රාත්‍රී කාලයේ සිදුහත් කුමරු කිඹුල්වත්පුර නුවරින් නික්මුණු තැන් පටන් මහත් සේ කම්පාවට පත් සුද්ධෝදන මහ රජු තම පුතු දැක බලා ගැනීමේ බලවත් ආශාවෙන් පසු විය. බිම්බිසාර රජු පාලනය කළ මගධ රාජ්‍යයේ වේළුවනාරාමය නම් වූ සුන්දර ආරාමයෙහි බුදුරදුන් වැඩවෙසෙන බව පියරජු දැන ගත්තේ ය. බුදුරදුන්ට කිඹුල්වත් පුරයට වැඩම වන ලෙස ආරාධනා කරන මෙන් දන්වා ඇමතියකු ප්‍රමුඛ දූත කණ්ඩායමක් රජගහනුවර වේළුවනාරාමයට යැවී ය. එම පිරිස එහි ගොස් බුදුරදුන් වෙතින් බණ අසා පැහැදී පැවිදි වූ අතර රජුගේ ඉල්ලීම ඉටු නොකළහ. මෙසේ ඇමතිවරු නව දෙනෙක් සහිතව නව වාරයක්ම දූත පිරිස් පිටත්කොට යැවූ නමුත් ඉන් එක ද පුද්ගලයෙක් හෝ නැවත නොපැමිණිය හ. පෙර සේ ම සිදුවූ යේ ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වීම යි.


කාළුදායි ඇමතිගේ වරය

දස වැනි වාරයේදී සිදුහත් කුමරු උපන් දිනයේ ම උපත ලැබූ කාළුදායි ඇමතිවරයා දහසක දූත කණ්ඩායමක් ද සහිතව පිටත්කර හැරීය . කාළුදායි ඇමතිවරයා රජුගේ ඉල්ලීම භාරගත්තේ එක් කොන්දේසියකට යටත්ව ය. එනම් බුදුරදුන් ගෙන් ධර්මය අසා පැවැදිවීම සඳහා ද රජුගෙන් අවසර ගැනීම ය. වේළුවනාරාමයේදි බුදුරදුන් හමුවු කාළුදායි ඇමතිවරයා බණ අසා පැවිදිව රහත්ඵලය ද ලබා ගත්තේ ය.

මඟ වැණුමක්

කාළුදායි තෙරුන් වහන්සේගේ පැවිද්දෙන් දින හත අටක් ගත විය. ඒ සමඟ ම කාලගුණය ද බෙහෙවින්ම යහපත් වූ වසන්ත සමය උදා විය. සිය උපන් බිමට වැඩම කරවීම සඳහා බුදුරදුන් වෙත ඇරයුම් කිරීමට මේ සුදුසුම කාලය බව කාළුදායි තෙරණුවෝ වටහා ගත්හ. ඉක්බිතිව බුදුරදුන් වෙත එළඹ සිත් ඇදගන්නා පරිසර වර්ණනාවකින් යුක්තව රජගහනුවර සිට කිඹුල්වතට යන සැට යොදුන් ගමන් මග මෙසේ වර්ණනා කළහ.

අංගාරිනොදානි දුමා භදන්තෙ
එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තො’ච පභාසයන්ති
සමයො මහාවීර භගීරථානං

භාග්‍යවතුන් වහන්ස, සියලු ගස් වැල් පරණ පත් සලා ගිනි අඟුරු මෙන් රතු පැහැති නව මල් දලුවලින් පිරී ඇත. මලින් සැරසී ගිය වෘක්ෂයෝ දැන් ඵල දැරීමට සූදානම් ව සිටිති. වෘක්ෂයෝ පහන් සිළු මෙන් බබළති. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරාගත ශාක්‍යයන්ට අනුග්‍රහ පිණිස එහි වැඩමවීමට මේ සුදුසු කාලය යි.

දුමානි ඵුල්ලානි මනොරමානී
සමන්තතො සබ්බදිසා පවන්තී
පත්තං පහාය ඵලමාසසානං
කාලො ඉතො පක්කමනාය වීර

පිපුණු මල් ඇති වෘක්ෂයෝ සියලු දිශාවනට සුවඳ විහිදුවති. පැරැණි කොළ වැටීමෙන් පසු ඵල අපේක්ෂාවෙන් සිටිති. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත්වීමට සුදුසු කාලයයි.

නෙවාති සීතං න පනාති උණ්හං
සුඛා උතූ අද්ධනියා භදන්තෙ
පස්සන්තු තං සාකියා කොලියා ච
පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං

තද සීතල හෝ තද උණුසුම හෝ නැත . භාග්‍යවතුන් වහන්ස, ඍතුව ශරීරයට සුව පහසුව ගෙන දේ. ගමනට සුදුසු ය. රෝහිණී ගඟින් එතෙර වී වඩින ඔබ වහන්සේ දැකීමට ශාක්‍ය කෝලීය රජවරු ආශාවෙන් බලා සිටිති.

මෙසේ ආරම්භ වන මෙම මඟ වැණුම බුද්ධකාලීන මඟ වැණුම් අතර ඉතා උසස් නිර්මාණයක් සේ සැලකිය හැකි ය. මෙම මඟ වණුමෙන් යුත් ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පිරිවරා රජගහ නුවර සිට කිඹුල්වත්පුර නුවර බලා ගමන ආරම්භ කළහ.


ශාක්‍යයන්ගේ මානය දුරලීම

දෙමසක් පා ගමනින් වැඩම කළ බුදුරදුන් ප්‍රමුඛ සඟගණ වෙසක් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම කළහ. බුදුරදුන්ට වැඩසිටීම සඳහා නිග්‍රෝධ උයන පිළියෙළ කළ ශාක්‍යයෝ ඉමහත් හරසරින් උන්වහන්සේ පිළිගත්හ. සුවඳ මල් ආදිය රැගෙන පෙරමුණට ගිය ශාක්‍යයෝ පළමුව ළදරු ළදැරියන් ඉදිරියට යැවූහ. දෙවනුව රජ කුමර කුමරියෝ ඉදිරියට ගියහ. සුද්ධෝදන මහ රජු ඇතුළු ශාක්‍යයෝ පසුපසින් ම ගමන් කළහ. ඉක්බිතිව ඔවුහු බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා නිග්‍රෝධාරාමයට වැඩම කරවාගෙන ගියහ. එහිදී බුදුරදුන්ට නමස්කාර කළේ ශාක්‍ය ළදරු ළදැරියෝත් රජකුමර කුමරියෝත් පමණෙකි. අධිමාන්නයෙන් යුක්ත වූ වෘද්ධ ශාක්‍යයෝ බුදුරදුන් තමනට වඩා වයසින් බාල වන බැවින් නොවැඳ ම පිරිස කෙළවරට වී සිටියහ.

ශාක්‍යයන්ගේ මානය පිළිබඳ කරුණු වටහාගත් බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පවත්වා ස්වකීය බුද්ධානුභාවය පෙන්වූහ. ජලය හා ගින්න ආධාර කොට පැවැත්වූ මෙම ප්‍රාතිහාර්යයෙන් පසු ශාක්‍යයන්ගේ මානය දුරු විය. ඉදිරියට පැමිණි සුද්ධෝදන මහ රජු “පුතණුවනි, මේ මාගේ තුන්වන වැඳීම”යි කියා බුදුරදුන්ට නමස්කාර කළේ ය. එහි සිටි සියලු ශාක්‍යයෝ ද බුදුරදුන්ට වැඳ නමස්කාර කළහ.


මේ අපගේ බුද්ධ වංසය යි

පසු දින දන් පිණිස විශේෂ ආරාධනයක් නොලද හෙයින් බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා ගෙපිළිවෙලින් කිඹුල්වත පිඬු සිඟා වැඩියහ. මෙය යශෝධරා දේවිය මගින් සුද්ධෝදන මහරජුට සැලවීමත් සමඟ ම වහා සළුපිළි හැඳ බුදුරදුන් ඉදිරියට දිව ගිය රජු “අප රාජ වංසයට මෙසේ නින්දා කරන්නේ ඇයි දැ”යි, ඍජුව ම ප්‍රශ්න කළේ ය. එයට බුදුරදුන් දුන් පිළිතුර වූයේ “මහ රජ, ඒ ඔබේ වංස ය යි. එහෙත් මේ අප ගේ බුද්ධ වංසයයි. බුද්ධ වංසයට අයත් සියලු බුදුවරයින් වහන්සේලා පිඬු සිඟා යැපුණා හ. මම ද එම චාරිත්‍රය අනුගමනය කරමි” මෙම පිළිතුරෙන් විශ්මයට පත් රජු බුද්ධ ප්‍රමුඛ රහතන් වහන්සේලා රජ මාලිගාවට වැඩමවා ගෙන ගොස් දන් පිළිගැන්වී ය.


යශෝධරාවගේ වැළපීම

අනතුරුව පිය මහරජු හා අගසව් මහරහතන් වහන්සේලා දෙනම ද සමඟ යශෝධරා දේවිය ගේ සිරියහන් ගබඩාවට වැඩම කළ බුදුරදුන් දුටු යසෝධරා දේවිය හඬමින් වැඳ වැටුණා ය. ඇයට රිසි සේ හැඬීමට උන්වහන්සේ ඉඩ සලසා දුන්හ.


මෙහි දී සුද්ධෝදන මහ රජු යසෝධරාවගේ උදාර ගුණ වර්ණනා කරන්නට විය. බුදුරජාණන් වහන්සේ එය මුල්කොට “චන්දකින්නර ජාතකය” වදාළහ. බුදුරදුන්ගේ කිඹුල්වත් පුර ගමනේ දී සිදුවු තවත් විශේෂ සිදුවීම් නම් රාහුල කුමරු හා නන්ද කුමරුගේ පැවිද්දයි. එසේම මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ පැවිදිවීමට අවසර ඉල්ලීම ද තවත් ඓතිහාසික සිදුවීමකි.

ඌරුගමුවේ අස්සජී හිමි

නිවැරදි සල් ගස හඳුනා ගනිමු

'ඉන්දියන් සල්' සහ 'කාලතුවක්කු උණ්ඩ ගසේ' මල්

 කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි"

ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඇතැම් ශාක වන්දනාමානයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වන්නේ ඉතිහාස පත පොතේ සඳහන්, ආගමික සංසිද්ධි ආශ්‍රයෙන් කියවෙන මෙන්ම ජනප්‍රවාදයේ එන ඇතැම් සුවිශේෂී සිදුවීම් හා බැඳී පැවැත්වීම හේතුවෙනි.

ගෞතම බුදු රදුන්ගේ තෙමඟුල හා සම්බන්ධ රුක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

සිදුහත් උපත මෙන්ම බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේ සෙවන දුන් බව පැවසෙන සල් ගස ඊට එක් උදාහරණයකි.

"අමර නයනා සල් ගස යට බලන්න, අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද?" යනුවෙන් කලක් පළමු ශ්‍රේණිය සිංහල පෙළ පොතට ඇතුළත්වූ ගද්‍ය කොටස ද සල් ගස හා බැඳුනු අතීත මතක අවදි කරයි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිබහුතරය සල් ගස ලෙස හඳුන්වනු ලබන්නේ සිංහල පෙළ පොතේ චිත්‍රයට නගා තිබෙන ආකාරයේ කඳේ මල් සහ වටකුරු ගෙඩි හටගන්නා ශාක විශේෂයකටය. එහි උද්භිද විද්‍යාත්මක නාමය Couroupita guianensis වේ.



එනමුත්, Couroupita guianensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'කාලතුවක්කු උණ්ඩ ගස' නමැති ශාක විශේෂය, සල් ගස ලෙස ශ්‍රී ලාංකිකයන් විසින් වරදවා වටහාගනු ලැබ ඇති බව උද්භිද විද්‍යාඥයෝ පවසති.

"සල් ගහ කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඉන්දියානු උපමහාද්වීපය කිට්ටුවකවත් නැති දකුණු ඇමරිකාව නිජබිම කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන් ශාකයක්,"

"ඒ ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ කැනන් බෝල් ට්‍රී, මොකද එහි ගෙඩිය නැතිනම් ඵලය හරියට කාලතුවක්කු උණ්ඩයක් වගෙයි," යනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම උද්භිද විද්‍යාඥයකු සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

'කාලතුවක්කු උණ්ඩ ගස' බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1881 වසරේදී බව මහාචාර්යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

1893-1900 කාලය තුළ සම්පාදනය කෙරුණු 'Flora of British Ceylon' නමැති ග්‍රන්ථාවලියට පෙර ලියවුනු 'Flora of British India' නමැති අත්පොතේ හඳුන්වා දීමේ ශාකයක් වශයෙන් හෝ 'කාලතුවක්කු උණ්ඩ ගස' පිළිබඳ සඳහනක් නොමැති බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

'කාලතුවක්කු උණ්ඩ ගස', සල් ගස ලෙස වරදවා වටහා ගැනීම ශ්‍රී ලංකාව මෙන්ම තායිලන්තය තුළත් දැකිය හැකි බව කී මහාචාර්යවරයා," මට හිතෙන විදිහට තායිලන්තයටත් මේ වැරැද්ද හඳුන්වා දෙන්න ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්න ඇති. නමුත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ අඩුම තරමේ ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් විසිතුරු ශාකයක්,"
හය වෙනි ජෝර්ජ් රජු ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය.

1901 වසරේ අප්‍රේල් 14 වෙනි දින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට පැමිණි එවක බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වූ හය වෙනි ජෝර්ජ් රජු විසින් එහි 'කාලතුවක්කු උණ්ඩ ගසක්' රෝපණය කරනු ලැබීය.

එවක 'කාලතුවක්කු උණ්ඩ ගස' සඳහා 'සල්' නමැති නාමය භාවිත නොකෙරුණු බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.


"ඒ ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය. කුරෝපිටා කියලා නම් කරන්න ඇත්තේ ඒ කාලේ මේකට සිංහල නමක් තිබුනේ නැති නිසා වෙන්න පුළුවන්,"

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සල් ගස කුමක්ද?






සල් ගස සංස්කෘත භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ 'ශාල' යනුවෙනි. එය පාලි බසින් 'සාල' ලෙස හැඳින්වේ.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ලැබෙන Shorea robusta නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'ඉන්දියන් සල්' ශාකය සිදුහත් උපත හා සම්බන්ධ යයි සිතිය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
"නේපාලයේ අදටත් සල් වනාන්තර තිබෙනවා.ඒ ශාකය අපේ රටේ තිබෙන හොර, හල් වගේ ශාක කුලයට අයත් ශාකයක්. එය ආසියානු කලාපයේ තිබෙන හොඳම දැව ශාක තුනෙන් එකක්.නේපාලයේ මෙය දකින්න පුළුවන් නිසා සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මේ කියන සල් ගහක් යට කියන එක විශාල පිරිසක් පිළිගන්නවා ,"

කෙසේ නමුත් සිද්ධාර්ථ කුමරු උපත ලද්දේ 'අසෝක' ගසක් යට බවට නේපාලයේ ඇතැම් ඉතිහාසඥයන් අතර මතයක් පවතින බව ද මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් රෝපණය කරන ලද 'ඉන්දියන් සල්' ගස
නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් රෝපණය කරන ලද 'ඉන්දියන් සල්' ගස

නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ රෝපණය කරන ලද 'Shorea Robusta' ශාකය සිංහල භාෂාවෙන් නම් කර ඇත්තේ 'ඉන්දියන් සල්' ලෙසය.

1980 වසරේ පෙබරවාරි 25 වෙනි දින නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේවි රජු විසින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ රෝපණය කරන ලද 'Shorea Robusta' ශාකය සිංහල භාෂාවෙන් නම් කර ඇත්තේ 'ඉන්දියන් සල්' ලෙසය.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ඇති 'ඉන්දියන් සල්' ගසේ (Shorea robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita guianensis) දක්නට ඇති ව්‍යුහාත්මක සහ බාහිර වෙනස්කම් මොනවාද?

'ඉන්දියන් සල්' ගස (Shorea Robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita Guianensis) බාහිර ස්වරූපය.

මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසන පරිදි ඉන්දියන් සල් ගසේ:








තෙක්ක ගසට සමාන අතු නොබෙදෙන කඳක් දැකිය හැක.
පත්‍ර, 'කාලතුවක්කු උණ්ඩ ගසේ' පත්‍ර තරම් දිගටි නොවන අතර තරමක් ලා පැහැයක් ගනී
මල් තරමක් සුදු පැහැයෙන් යුක්ත වන අතර මලේ පත්‍ර ඇතුළට නැමී පවතී. අතු අග මල් හට ගනී.
කඳ මත ගෙඩි හට නොගන්නා අතර කඩල ඇටයකට සමාන ප්‍රමාණයකින් යුත් එහි ගෙඩි පියාපත් සහිතය (හොර ගෙඩිවලට සමාන ආකාරයකට)පරෝහණ කාලය ඉතා කෙටිය (දින හතක් ඇතුළත රෝපණය කළ යුතුය)මල් හට ගන්නේ අප්‍රේල් මාසයේය. මීට වසර අටකට පමණ ඉහතදී නිසි පාරිසරික ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට රැගෙන ආ 'ඉන්දියන් සල්' බීජ පේරාදෙණිය රාජකීය උද්‍යානය තුළ රෝපණය කර බෞද්ධ විහාරස්ථාන අතර බෙදා දුන් බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර සිහිපත් කළේය.

කෙසේ නමුත් සිදුහත් උපත හා බැඳුනු ශාක සම්බන්ධයෙන් නේපාලය තුළත් විවිධ මත පවතින බව කී මහාචාර්යවරයා, "ඇතැම් කරුණු තිබෙනවා මතභේදත්මකයි. ඒ ගැන කතා කරන්න ගියොත් අපි විෂය පථයෙන් එළියට යනවා. උද්භිද විද්‍යාඥයන් වශයෙන් අපට කියන්න පුළුවන් වෙන්නේ ශාකයක ජීව විද්‍යාත්මක සහ ජීව භූගෝල විද්‍යාත්මක තොරතුරු පමණයි,"

ශ්‍රී ලංකාවට 'කාලතුවක්කු උණ්ඩ ගස' හඳුන්වා දුන් වසර 1881 ට ඉහතදී රචනා කරන ලද සංදේශ කාව්‍ය තුළ 'සල් මල්' නමින් හැඳින්වෙන්නේ 'කටු ඉඹුල්' මල් විය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ මතය වී තිබේ.

සිංහරාජය වෙනුවෙන් කැපවුණු අනූ වියැති 'මාටින් මාමා'
"කටු ඉඹුල්වලට ඉන්දියාවේ කියන්නේ සල් මල් කියලා. ඒකට 'සල් මලියා මලබරිකා' කියන උද්භිද විද්‍යාත්මක නම දුන්නෙත් ඒ ස්වදේශික නම භාවිත කරලා. ඒකෙ මල් බිම වැටුනම පලසක් වගේ. ඒක කවි ලියන්න වටින ලස්සන ගහක්,"

එසේම 'සල්' නමින් ආරම්භවන ප්‍රදේශ 'හල්' යන වචනයෙන් බිඳී පැමිණ ඇතැයි සිතිය හැකි බවත් මහාචාර්යවරයාගේ අදහස වී තිබේ.


සුනෙත් පෙරේරා
BBC සිංහල - කොළඹ සිට
31 ජූලි 2018

උපුටා ගැනීමකි.