බක් පුරපසලොස්වක පොහොය


සම්බුද්ධත්වයෙන් පස්වන අවුරුද්දෙහි බක්මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකාගමනයයි. බුදුරදුන් නාගදීපයට වැඩම කළේ මිණිපළඟක් මුල්කරගෙන නාග ගෝත්‍රිකයන් අතර සිදුවන යුද්ධය වැළැක්වීමටයි.

මණිනාගදීපයේ මහෝදර නා රජුගේ දියණිය සරණ පාවා දුන්නේ ඔහුගේ නැගණියගේ පුත් වඩුන්නාගල සිටි චූලෝදර නා රජුට ය. ඔහුට දෑවැද්ද වශයෙන් ලැබුණේ වටිනා මිණිපළඟක් හෙවත් මැණික් පුටුවකි. නාග කුමරිය හදිසියේ මියගිය නිසා මහෝදර නා රජු සිය බෑණාගෙන් මිණිපළඟ ඉල්ලුවේ ය. එහෙත් චූලෝදර නා රජු එය ආපසු දෙන්නට අකැමැති විය. ඒ හේතුවෙන් යුද්ධයක් ඇතිවන තත්ත්වයට කරුණු යෙදුණි.

දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි සමිද්ධි සුමන දෙවියා පෙර භවයක ලක්දිව මණිනාගදීපයේ විසූ කෙනෙකි. ඔහු යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවුවොත්, ඔහුටත්, නාගයන්ටත් යහපතක් සිදුවන බව බුදුරදුන්ට පෙනුණි. ඒ නිසා මණිනාග දීපයට යාමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවාට දැනුම් දුන්හ. සටන් පැවැති පෙදෙසට වැඩම කළ උන්වහන්සේ අහසෙහි වැඩ හිඳ බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයෝ සමඟි වී ගැටුමට මුල්වුණ මිණිපළඟ බුදුරජුන්ට පිදූහ. උන්වහන්සේ වැඩසිටි නිසා පාරිභෝගික වස්තුවක් බවට පත්වුණ මිණිපළඟ තැන්පත් කොට ඔවුහු නාගදීප දාගැබ තැනූහ. එය ප්‍රසිද්ධියට පත්වුණේ රාජායතන චෛත්‍යය නමිනි. ඒ අසල රෝපණය කෙරුණ කිරිපලු රුක මහිද්ධි සුමන දෙවියාගේ වාසස්ථානය බවට පත්වුණි.

මණිනාගදීපයේ දී බුදුරදුන්ට පිදු මිණිපළඟ කැලණි දාගැබෙහි තැන්පත් කොට ඇතැයි ඇතැමුන් කියන්නේ කරුණු වරදවා තේරුම් ගැනීම හේතුවෙනි. මණිපල්ලංක (මිණිපළඟ) සහ මණිමණ්ඩප (මැණික් මණ්ඩපය) යන වචන දෙක පැහැදිලි කරගත් විට මෙම ගැටලුව නිරවුල් වෙයි. මණිපල්ලවම් නමැති දෙමළ පොතේ සඳහන් වන පරිදි මිණිපළඟ යනු මැණික් ඔබ්බවා තැනූ අඩි තුනහමාරක් උසැති, අඩි නවයක් දිගැති ආසනයකි.

බුදුරදුන් ලක්දිවට තෙවන වර වැඩම කළේ මණිඅක්ඛිත නාරජුගේ ඇරැයුම පරිදිය. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම සඳහා කැලණියේ පනවා තිබුණේ මැණික්වලින් සරසා සෙවිලි කළ මණ්ඩපයකි. එය බුදුරදුන්ට සහ පන්සියයක් මහරහතුන්ට වැඩ සිටින්නට හැකි තරමේ විශාල වේදිකාවකි. විස්තර කර ඇති අන්දමට එය අලංකාර පිරිත් මණ්ඩපයක් වැනිය. කැලණි දාගැබ ඉදිකළේ එම මණ්ඩපය තිබූ ස්ථානයේ ය. මේ අනුව නාගදීප දාගැබේ මිණිපළඟ තැන්පත් කෙරුණි. බුදුරදුන්ට වැඩසිටින්නට මණිමණ්ඩපය ඉදිකළ බිමේ කැලණි දාගැබ ඉදිකෙරුණි.

නාගදීප දාගැබ වඳින ගාථාවේ සඳහන් වන්නේ මාමා සහ බෑණා විසින් දෙන ලද මණිපල්ලංකයෙහි වැඩ හිඳ බුදුරදුන් දහම් දෙසූ බවයි.
භගිනි සුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ
මුනි ධම්ම මදේසයි මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං


දාගැබට වඳින ගාථාවේ සඳහන් වන අන්දමට මණිඅක්ඛිත නාරජු තැන වූ මිණිමඬුවේ බුදුරදුන් වැඩහුන් අතර, ඒ මත කැලණි දාගැබ ඉදිකොට ඇත.

ආයාචනාය මණි අක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තස්සෝපතිට්ඨිත මුපට්ඨිත වීතරාගං
කළ්‍යාණි චේතියමහං සිරසා නමාමි

මණි අක් නයිඳු කළ - මිණිමඬුව තුළ වැඩ හිඳ
මුනිඳා දිව බොජුන් වැළඳූ සැනෙහි නඳ
මුනිදා පිහිටුවා කළ දාගැබට වැඳ ( හංස සංදේශය)

මණිනාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳීමට වැඩමකළ භික්‍ෂූන් සැටනමකට නාගා නමැති දාසියක් වෙහෙස මහන්සි වී උපයා ගත් ධනයෙන් දානය දුන්නා ය. ඇයගේ ශ්‍රද්ධාව ගැන සැලකූ එම භික්‍ෂූන් වීර්යයෙන් යුතුව රහත් බව ලැබ එම දානය වැළඳූහ. ඒ පුවත අසා පැහැදුන රජතුමා නාගා දාස බවින් මුදා මණිනාග දිවයින ඇයට තෑගි කළ බව සද්ධර්මාලංකාරයේ නාගා වස්තුවෙහි සඳහන් වෙයි. මණිනාගදීපයට නාගදීපය යන නම ලැබුණේ ඉන්පසුවය. සැමගේ සිත් දිනාගෙන ඔවුන්ට උදව් කරමින් ජීවත්වූ නාගා මැරුණ පසු දේවත්වයට පත්වූවා ය. හින්දු බැතිමතුන් නාගම්මා හෙවත් නාග පූෂානි අම්මන් කෝවිල නමින් හඳුන්වන්නේ ඇය වෙනුවෙන් තැනුන දෙවොල යි. එය පිහිටා තිබෙන්නේ වර්තමාන නාගදීප විහාරය ආසන්නයේ ය.
නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපය ම ඇතුළත් විශාල ප්‍රදේශයකි. වෙළෙඳ භාණ්ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක් එහි තිබුණි. ප්‍රසිද්ධ වරායක් වූ ඌරාතොට දැන් කයිට්ස් දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. 1936 දී විෂ්ණු දේවාලය අසලින් ලැබුණ වල්ලිපුරම් රන් සන්නසින් පැහැදිලි වන්නේ රාජ්‍ය වර්ෂ 126 – 127 වසභ රජ සමයේ දී ඉසිගිරි නම් ඇමැතිවරයකු නාගදීපය පාලනය කළ බවයි.

බුදුරදුන් වැඩම කළ ස්ථානය ලෙස සැලකෙන වර්තමාන නාගදීපය පිහිටි දූපතෙහි පුත්තර් කෝවිල්, බුද්ධ වලව්, පුත්තර් පල්ලම්, පුත්තර් තීඩල් යනාදී නම්වලින් හැඳින්වෙන්නේ බුදුරදුන්ට සම්බන්ධ ස්ථානයන් ය. පුත්තර් තෝට්ටම් (බුදුන්ගේ වත්ත) නමින් හැඳින්වෙන ඉඩම මෑතක් වනතුරු අයිති කරගෙන සිටියේ දෙමළ කරණවෑමියෙකි. බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියන් එම භූමිය මිලදී ගෙන විහාරයක් ඉදිකරද්දී පොළොවෙන් නටබුන් රැසක් මතු වී ඇත. 1985 දී ත්‍රස්තවාදීහු එම විහාරය පුපුරුවා හැරියහ. හානි වුණ සෙල් බුදුපිළිමයක් එහි තිබේ. දැනට දක්නට තිබෙන නාගදීප දාගැබ සහ පන්සල 1939 වසරේ දී රන්දොඹේ සෝමසිරි නා හිමියන් විසින් ඉදිකරවන ලද්දකි. නාගදීපයේ ජීවත්වන දෙමළ හින්දු බැතිමත්හුද විහාරස්ථානයට පැමිණ වන්දනා මාන කරති.

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට නාගදීප රාජායතන චෛත්‍යය යනු ශාසන ඉතිහාසයේ අවසානය දක්වා ම පවතින ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. සම්බුද්ධ ශාසනය අතුරුදන් වන විට විවිධ වෙහෙර විහාරවල තිබෙන සර්වඥ ධාතු නාගදීප චෛත්‍ය ස්ථානයට එක්රැස් වෙයි. එතැනින් දඹදිව සිරිමහ බෝමැඩට වැඩම කිරීමෙන් පසු අතුරුදහන් වෙයි. එය මිලින්ද ප්‍රශ්නයෙහි දැක්වෙන්නේ මෙසේ ය.

“එකල සත්ත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේ බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල්යෑමෙන් හැමතැනම පූජා සත්කාර නොලැබෙයි. එකල බුදුරදුන් ධර්මාන කාලයෙහි ලෝවැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කර වදාළ හැම ධාතුන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ලක්දිව රුවන්වැලි මහ සෑයට වඩිති. එතැනින් නාග දිවයින රාජායතනය නම් චෛත්‍යයට රැස්වෙති. එයින් මහබෝමැඩ කරා වඩිති.” (ශාසනායුෂ ප්‍රශ්නය) සාහිත්‍ය ග්‍රන්ථ කීපයකම මේ පුවත දැක්වේ.

මහනුවර අස්ගිරි මහා විහාරීය
කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.