බුදුරදුන්ගේ පළමු ලංකාගමන සිදුවූ දුරුතු පෝය



නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සුපින්වතුනි, අද දුරුතු පෝ දිනයයි. දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම
ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙත්.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට පත්ව මාස නවයක් ගිය තැන ලක්දිව මහියංගණ (බින්තැන්න) පිහිටි මහානාග වන උයනට වැඩම කළහ. එ දවස දුරුතු පොහෝ දිනයකි. ඒ අනුව බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන සිහි කැඳවන්නේ දුරුතු පෝය දිනයේ දී ය. එනම් ,
“බෝධිතෝ නවමේ මාසේ
ඵුස්ස පුණ්ණමියං ජිනෝ
ලංකාදීපං විසෝධෙතුං
ලංකාදීපං උපාගාමි”
ඉහත සඳහන් කළ අයුරු , බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළේ කුමන අරමුණක් පිණිස ද යන්න මහාවංසය, මහා වංස ටීකාව ඇතුළු මූලාශ්‍රයවලින් හෙළි වේ.
ඒ අනුව උන්වහන්සේ සිතන්නේ මෙබන්ඳකි.” ලංකාදීපයේ යක්ෂ ගණයා වාසය කරති. එසේ හෙයින් මේ දිවයින යක්ෂ නිවාසස්ථානයක් යැයි දැක, ඉක්බිති මවිසින් එහි ගොස් යකුන් නෙරපීම කළ කල්හි මතු කල මාගේ ශාසනය බැබළීමට යෝග්‍ය ස්ථානයක් වන්නේ ය.”
අනාගතයේ තමන් වහන්සේගේ ශාසනය බැබළෙන රට ලංකාදීපය යැයි බුදුහු දත් සේක. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම පිණිස හේතු, සිද්ධි, කාල, ප්‍රයෝජන දිවැසින් බැලූ සේක. එසේ බලන බුදුරජාණන් වහන්සේට යකුන්ගේ සමාගමය පෙනේ. එ දවස සිටි යකුන්ගේ සිරිතක් වූයේ සෑම පොහෝ දිනක ම රැස්වීමක් පැවැත්වීමයි. එම රැස්වීමට සෑම යක්ෂ ප්‍රධානියෙකු ම සහභාගි විය යුතු ය. මෙම රැස්වීම පවත්වන අවස්ථාවට වැඩම කොට, යකුන් දමනය කොට ලංකාව පවිත්‍ර කරන්නේ, යැයි සිතූ බුදුපියාණන් වහන්සේ එහි වැඩම කළහ.
“මම එහි ගොස් ඍද්ධි ප්‍රාතිහාර්යයන් මගින් යකුන් නෙරපීම කොට, අණ පවත්වා, රැස්වූ දේව, ගාන්ධර්ව ආදීන්හට දහම් දෙසා නිවන් අමා පැන් පොවා අදම එන්නෙමි.”
බුදුරජාණන් වහන්සේ මහවැලි ගංගා තීරය සමීපයේ පිහිටා ඇති යොදුන් තුනක් දිග යොදුනක් පළල ඇති මහානාග නම් වනෝද්‍යානයට වැඩම කොට යක්ෂ සමාගමය මැද වැඩහිඳ, විවිධ ප්‍රාතිහාර්යයන් දක්වා පළමුව යකුන් බිය වද්දා, පසුව සමනය කොට, දම් දෙසා, එම භූමිය පවිත්‍ර කළ සේක. පසුව ඔවුන්ගේ භීතිය පහකොට බුදුපහස ලබාදී යකුන්ට සුදුසු වාස භූමියක් වු ගිරි දිවයිනට යැවූ බව සඳහන් වේ. බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමන නිසා මේ දිවයින මනුෂ්‍යයන්ට සුදුසු වාස භූමියක් බවට පත්වූයේ එපරිද්දෙනි.
බුදුරජාණන් වහන්සේගේ ලංකාගමන සිහිවීම පිණිස මියුගුණ මහ සෑය ඉදිකර ඇත. යකුන්ට දෙසූ බණ අසා සුමනසමන් දෙවියන් සෝවාන් ඵලයට පත්ව සිටියේ ය. එම දෙවියන් විසින් බුදුරදුන් පිදීම පිණිස පූජාර්හ වස්තුවක් ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ බුදුරදුන් හිස පිරිමැද සර්වඥ කේශධාතු ලබා දුන්හ. සුමනසමන් දෙවියන් විසින් එම කේශ ධාතු නිධන් කොට සත් රියනක් උසැති සෑයක් ඉදිකළේ ය. ඉන් අනතුරුව ශාරිපුත්‍ර තෙරුන්ගේ ශිෂ්‍ය සරභු මහරහතන් වහන්සේගේ මැදිහත්වීම මත එහි බුදුරදුන්ගේ ගී‍්‍රවා ධාතුව නිධන් කොට දොළොස් රියන් සෑයක් බඳවන ලදී. පසුකාලීන ව දේවානම්පියතිස්ස රජුගේ සොයුරු උද්ධචූලාභය කුමරු නැවතත් රියන් තිහක් උසට මේ සෑය නිමවන ලදී. ඉන් අනතුරුව මහියංගණ සෑය විශාල කොට නිමවන ලද්දේ දුටුගැමුණු මහ රජු විසිනි. එවිට එය අසූ රියනකි. පසුව වෝහාරිකතිස්ස, ධාතුසේන, පළමුවන විමලධර්මසූරිය ආදී රජවරු අතින් මහියංගණ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව ඇත.
පරසතුරු උවදුරු හමුවේ කාලාන්තරයක් තිස්සේ වල් බිහිව තිබූ මෙම ඓතිහාසික පුදබිම නැවැතත් ක්‍රි.ව. 1951 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් සොයාගෙන කැණීම් කටයුතු සිදුකර ප්‍රතිසංස්කරණය කරන ලදී. මහියංගණ සෑයේ ධාතු ගර්භයේ සිත්තම් ඇඳ තිබූ බව ද එතුමා විසින් සොයාගෙන තිබේ.
ක්‍රි.ව. 1948 න් පසුව එවකට මහියංගණ චෛත්‍යය සංවර්ධන සමිතියක් අරඹා ඇත. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා එහි පුරෝගාමී වූයේ ය. බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාග ලබා ගනිමින් යථෝක්ත සමිතිය මගින් එහි කටයුතු ඉදිරියට කරගෙන යන ලදී. පසුව ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ මැදිහත්වීම මත එහි සංවර්ධන කටයුතු ගෙන යන ලදී. මහියංගණ චෙත්‍යය අද පවතින තත්ත්වයට ගෙන එන ලද්දේ එහිදී ය. වර්තමානය වන විට ඉතාමත් සංවර්ධනය වූ පූජනීය භූමියක් බවට මෙම ස්ථානය පත්ව ඇත.
එබැවින් සැදැහැති බෞද්ධයෝ බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමන සිහිකරමින් මහියංගණ සෑය මෙසේ නමදිති.
“ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානේ තහිං නිහිතකුන්තල ගී‍්‍රව ධාතුං
වන්දාමි සාදු මහියංගණ ථූප රාජං”
“බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා කරනු සඳහා පළමු කොට ලක්දිව යම්තැනක වැඩ හිඳ යක්ෂයන් දමනය කළ සේක් ද, එම ස්ථානයෙහි කේශධාතු හා ගී‍්‍රවා ධාතු නිධන් කොට පිහිටුවන ලද මහියංගණ චෛත්‍යරාජයා වඳිමි.
ඒ අනුව ඓතිහාසික මහියංගණ පුදබිම බුදුරදුන්ගේ පා පහස ලත් පුණ්‍යභූමියක් ලෙස අද දෙස් විදෙස් රටවල ප්‍රකට ව පවතී.

බදුල්ල, බණ්ඩාරවෙල පාර
ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දිරයේ
දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි.

යුගයේ මහා ත්‍රිපිටක පූජාව


සම්බුදු සසුනේ චිරස්ථිතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයෙහි සහභාගිත්වයෙන් ඉකුත්දා (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහි සමාප්ති අවස්ථාව (04) වනදා පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
විභජ්ජවාද වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ත්‍රිපිටක ධර්මය විකෘති වන්නට නොදී ආරක්ෂා කොට මතු පරපුරටත් උරුම කිරීම වේ. විශේෂයෙන් මෙකල ක්‍රියාත්මක වන ත්‍රිපිටක ධර්මය සහ බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් පවතින වැඩපිළිවෙළ ගැන ස්වාමීන් වහන්සේ මෙන්ම බෞද්ධයන් දැනුම්වත් කර, බුද්ධ ශාසනය සහ බෞද්ධයන් ආරක්ෂා කර ගැනීම යි.
මෙම පින්කම බුද්ධ ශාසනය ඉතිහාසගත වන ඉතාම වැදගත් සංධිස්ථානයක් වන්නේ, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණ මාතලේ අළුලෙන් විහාරයේ දී ග්‍රන්ථාරූඪ කළා. එය ලංකාවේ සිදුවුණු සුවිශේෂී සන්ධිස්ථානයක්. එනම්, භාණක පරම්පරාව විසින් රැකගෙන පැමිණි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීම යි. ඉන්පසුව මෙහි තුන්වන පියවර වන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීම යි. එනම්, භාණක පරම්පරා මඟින් ග්‍රන්ථාරූඪ කිරීම හෙවත් මුද්‍රිත මාධ්‍ය ද ඉන්පසුව සුවිශේෂීතම තෙවන පියවර වශයෙන් විද්‍යුත් මාධ්‍යයෙන් ත්‍රිපිටකය පළ කිරීම යි.
ලෝකයේ මේ වන තුරා ත්‍රිපිටකය සම්බන්ධ විවිධ මෘදුකාංග නිර්මාණය කර තිබුණත්, විද්‍යුත් ත්‍රිපිටකයක් මේ වන තුරා සකස් කර නොතිබුණි. ඒ නිසා ලොව ප්‍රථම වතාවට ථෙරවාද ත්‍රිපිටක ධර්මය විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ ඉදිරි සියවසට මුහුණ දෙන්නට නම්, ඉදිරි සියවස අප ජයග්‍රහණය කරන්නට නම්, ඒ සියවසට අනුකූල ව සමාජයට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබිය යුතු යි. විශේෂයෙන් ම ඉදිරියට එන්නේ තාක්ෂණය සම්බන්ධ ඉතාම දියුණු සමාජයක්. එලෙස තාක්ෂණයෙන් දියුණු යුගය තුළ ධර්ම, විනය අඛණ්ඩව පවත්වා ගෙන යන්නට නම්, සමාජයට ගැළපෙන සේ අප ධර්මය ලබා දිය යුතු වෙනවා. ඒ නිසා ඉදිරි සමාජයටත් ගැළපෙන සේ විශේෂයෙන් අප මෙය සලකන්නේ, 21වන ශතවර්ෂය ජයග්‍රහණය සඳහා නව දොරගුළු හැරීමක් ලෙස යි. ඒ නිසාම යි විද්‍යුත් මාධ්‍යයෙන් ත්‍රිපිටකය පළ වීම සිද්ධ කරන්නේ.
විශේෂයෙන් ම සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් ඉදිරි කාලයේ කුමක්ද ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙළ එනම්, විභජ්ජවාද දස අවුරුදු සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම සිදු වුණා. භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය , අධ්‍යාත්මික දියුණුව සහ සමාජයට කෙසේද මේ දහම ලබා දෙන්නේ යන අරමුණ පෙරදැරිකරගෙන යි. තවත් මෙහි වැදගත්ම කාරණයක් වන්නේ ලෝකය පුරාම තිබෙන ථෙරවාදී ත්‍රිපිටක පුස්කොළ පොත්වල ඡායාපිටපත්, එනම් ‘මයික්‍රෝෆිල්ම්’ කර සමස්ත ජනතාවටම විවෘත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. එනම් ‘පරමත්ථ වෙබි අඩවියේ’ මෙය පළ කරන්නේ. සියලු පුස්කොළ පොත්වල මයික්‍රොෆිල්ම් වෙයි. මේ ලෝකයේ කිසිම කෙනෙකුට පරණ පුස්කොළ පොත්වල මොනවාද තිබුණේ යනුවෙන් සැක සංකා නැතිව සෑම දෙයක්ම අධ්‍යයනට සහ විශේෂ යොමු කිරීමේ වැඩ පිළිවෙළ මෙතුළින් ආරම්භ කළා. ‘පරමත්ථ වෙබ් අඩවිය’ ආරම්භ කළේ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් ය. අනුරාධපුර ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය මාන්කඩවල සුදස්සන හිමි සහ සේනාසනාධිපති ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප හිමියන් ද එහි දී සහභාගි වූ අතර අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නා හිමියන් තෛ‍්‍රනිකායික මහා නාහිමිවරුන් ප්‍රධාන අනු නාහිමිවරුන් ඇතුළු විශ්ව විද්‍යාල මහාචාර්ය හාමුදුරුවන් වහන්සේ , විශ්ව විද්‍යාලවල ආචාර්ය, කථිකාචාර්ය හාමුදුරුවරු, පිරිවෙන් අංශ සම්බන්ධයෙන් ප්‍රධානත්වය දරන ස්වාමීන් වහන්සේ සහ සමස්ත බහුතරයක් අවුරුදු දහ අටට වැඩි ස්වාමීන් වහන්සේලා සහභාගි වූහ.
ගිහි සාමාජිකත්වය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරු ජයසූරිය මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ, විපක්ෂ ජනනායකයන්ගේ සහභාගිත්වයෙන් තවත් ආරාධිත සම්භාවනීය පිරිසගේත් සහභාගිත්වයෙන් එම පින්බර කර්තව්‍ය සිද්ධ වූ බව අනුරාධපුර ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක මාන්කඩවල නන්දරතන හිමියෝ පැවසූහ.