Unduvap Poya උඳුවප් පෝය

උඳුවප් පෝ දා වැඩම කළ අසිරිමත් බෝ සමිඳු

 



උඳුවප් සීතල සිරිමා බෝ ඉතිහාසය සිහිගන්වයි . ලිඛිත ඉතිහාසයක් සහිතව ලොව ඇති පැරණිම වෘක්ෂය අනුරාධපුර මහ‍මෙවුනා උයනේ පිහිටි අප ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ය.

බුද්ධ වර්ෂ 236 දී මෙරටට වැඩමකර වූ උන්වහන්සේ මෙරට පූජනීයත්වයේ මුදුන් මල්කඩ සේ ම ආගමික,ජාතික,සාමාජීය , දේශපාලන හා සංස්කෘතික ආදී සෑම අංශයකින් ම අති උතුම් පූජනීය වස්තුව වේ.

එසේම අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින ලෝක ධාතුවෙහි ඇති ආශ්චර්යමත් ජීවමාන වස්තුවකි.

දේවානම් පියතිස්ස රජ දවසේ සිට අද දක්වා ඒ අනුහස සිරිලක් ධරණීතලය පුරා බලපවත්නේ ය. සිදුහත් මහ බෝසතාණන් වහන්සේට සියලු කෙලෙසුන් පරදා ලොව්තුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීමට සෙවණ ලබාදෙමින් මහෝපකාරී වූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව නේරංජන ගඟ අසබඩ බුද්ධගයා භූමියේ පිහිටියේ ය. මුල දී අස්වත්ථ හෙවත් ඇසතු වූ මෙම වෘක්ෂය බෝසතාණන් වහන්සේ සම්‍යක් සම්බෝධියට පත්වීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් හැඳීන්විය.

ජය ශී‍්‍ර‍ මහා බෝධීන් වහන්සේ සතුව ඇත්තේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් ඤාණය තුළින් පිළිබිඹු කළ අනන්ත බුදුගුණ මහිමයේ ශක්තියයි. සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාරී වූ බෝධීන් වහන්සේ උදෙසා දක්වන පූජෝපහාරයක් (අනිමිසලෝචන පූජාව)ලෙස සත් සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ ඇසිපිය නොහෙළා දින හතක් බලා හිදීමෙන් බුදුන් සතු මහා ශක්තිය උන්වහන්සේගේ නේත්‍රාවන්ගෙන් රන්වන් බෝ කඳට අන්තර් ග්‍රහණය කළ බව අප තේරුම් ගත යුතු සත්‍යයි.

මේ නිසා මුළුමහත් බොදු ජනතාව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා පූජෝපහාර දක්වයි. ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා රෝපණ මංගල්ලය සිදුකළේ බුද්ධ වර්ෂ 236 වැන්නෙහි දෙවන පෑතිස් මහ රජුගේ මූලිකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. මේ වන විට උන්වහන්සේගේ සම්පූර්ණ ආයුෂ අවුරුදු 2530 කි. මහ මෙවුනාවේ රෝපණයකර දැනට වසර 2450කි. එදා මෙදාතුර නොයෙකුත් අව්, වැසි, කුණාටු දුර්භික්ෂ යුද ගැටුම් කලකෝලාහල මැද මහ විහාරීය භික්ෂූන් වහන්සේ සමඟින් රාජ රාජ මහාමාත්‍යාදීන් ද, බොදු ජනතාව ද බෝ සමිඳු නිරුපද්‍රිත ව ආරක්ෂා කරගැනීම කෘතඥතාපූර්වක ව ස්මරණය කළයුතු ය.

බෝධීන් වහන්සේගේ අංකුරයක් වෙන්කර ගැනීම, එය රෝපණය, අෂ්ඨපල බෝධීන් හට ගැනීම හා දෙතිස් ඵළ බෝධීන් හටගැනීම,වැඩම කිරීම ආදි සියලු සිද්ධීන් ඉතා ආශ්චර්යමත්, ඇදහිය නොහැකි තරම් මහා ආනුභාව සම්පන්න සිද්ධීන් ය. ධර්මාශෝක රජු මහ බෝ වෙනුවෙන් පූජා නොකළ දෙයක් නොමැත.සොළොස් මහා ජනපද රාජ්‍යන් සහිත දඹදිව ම එතුමා මහ බෝ සමිඳුන්ට පූජා කළේ ය. අවසානයේ තමා වෙනුවෙන් ඉතිරි ව සිටි දියණිය වන සංඝමිත්තා මෙහෙණිය ද බෝධිය වෙනුවෙන් පුදා, සිරිලකට පිටත් කර හැරියේ ය.බෝධිය ද රජු වෙනුවෙන් අනුහස් පෑවේය.

‘‘ඉක්බිති මහ බෝධි තොමෝ සූර්ය අස්තංගත වන කල්හි රෙහෙන නැකතින් පෘථිවියෙහි පිහිටියා ය. පොළොව ද කම්පිත විය. මුල් කටාරම් මුව විටෙන් නැඟී ඒ රන් බඳුන වෙළාගනිමින් පොළෝ තලයට බැස්සාහ. රැස්ව සිටි සියලු ජනයෝ පිහිටියා වූ මහ බෝධිය හාත්පසින් සුවඳ මල් ආදී වූ පූජා වස්තූන්ගෙන් පිදූහ. මහා මේඝය තෙමේ වැස්සේ ය. හාත්පසින් ම ගැප් හා සිහිල් වළාවෝ මහා ‍බෝධිය වැසූහ.මහ බෝ තොමෝ සත් දිනක් දැකුම් රහිත වුවා ජනයා කෙරෙහි ප්‍රසාද උපදවන්නේ එම හිම ගැබෙහි වැඩ සිටියහ. සත් දවස ඇවෑමෙහි ඒ සියලු මේඝයෝ පහව ගියහ. සවනක් රැස් හා මහ බෝ තොමෝ ද පෙනිණි.(විජේසේකර:සංස්.2015-83) ‘‘ මහා වංසය බෝධි රෝපණ රාජකීය මහා මංගල්ලය දක්වන අවස්ථාවේ උන්වහන්සේගේ අනුහස පෙන්වන්නේ එසේ ය.

විවධ රාජ යුගවල දී විවිධ සංවර්ධනයනට බෝ මලුව ලක්විය.බෝධියේ ශක්තිය තුළින් ධාර්මික ව රට පාලනය කිරීමට අධිෂ්ඨාන කරගත් සියලු රජවරු, ඔවුනට ආ සියලු බලවේග පරාජය කරමින් ජාතිය නඟා සිටු වූහ. ජනී ජනයා ද සිය දුක් ගැහට හා ප්‍රාර්ථනාවන් බෝ සමිඳුන්ට පවසා පිහිට ලැබූහ.

ඊටත් වඩා බෝධීන් වහන්සේ සමඟ ගොඩ නැඟුණු සංස්කෘතිය ජාතියේ පැවැත්ම සහතික කරන බව අප වටහා ගත යුතු වේ. බෝධීන් වහන්සේ වෙනුවෙන් ඉටුකරන දැවැන්ත චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් පවතී.දෛනික චාරිත්‍ර සහ වාර්ෂික මංගල්ලයන් ආදී රාශියක් ඒ අතර වේ. මහ සඟරුවන ඉතිහාසයේ පටන් අදත් එම කාර්යයන් නොපිරිහෙලා ඉටුකරති.

එමෙන්ම බෝධින් වහන්සේගේ නාමයෙන් ගොඩනැඟුණු සමාජ, ආර්ථික, දේශපාලන උරුමයක් ද අපට පවතී. වර්තමාන ලෝකය එම බෝධි සංස්කෘතියෙන් කියාදෙන සොබා දහමෙන් ඈත් වී සිටී.ඒ ආදීනවය මත මුළු ලොව මූණ දෙන ව්‍යසනය තේරුම් ගැනීමට මේ උඳුවප් පුන් පොහෝ දිනය හොඳම අවස්ථාවකි.

වසර දෙදහස් පන්සීයක් ඉක්මවා මේ දේශය සුරැකි මහබෝ රජුන් තවත් වසර දහස් ගණනක් වැජඹේවායි යන්න අපගේ ඒකායන පැතුමයි . ඔබට ඒ උතුම් වූ ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන්ගේ පිහිට ලැබේවා.


අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ ධම්මජෝති නා හිමි

Il Poya ඉල් පෝය

ප්‍රථම ධර්ම දූත සේවාව ඇරැඹි ඉල් පොහොය

 

"ගඟෙහි පාවී ආ තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදු වී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවර ද කැටිව පැමිණිය හ."

වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම මෙම දිනය මූලික කරගෙන සිදු වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත සේවාව ඇරඹීම, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන සිදුවීම් වඩාත් වැදගත් තැනක් ගනියි.

සම්බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබා ගත් යස කුල පුත්‍රයා ප්‍රමුඛ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ.

මහණෙනි, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස, දියුණුව පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. දෙදෙනකු එක මඟ නො යන්න.

මෙම දහම මුල, මැද, අග යහපත් වූවකි. අර්ථ සහිත වූ, හාත්පසින් සම්පූර්ණ වූ, පිරිසුදු වූ, සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.

මෙසේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවෙහි පිටත් කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.

එකල උරුවෙල් දනව්වෙහි ජටිල සොහොයුරෝ තිදෙනෙක් විසූහ. මේ අතුරෙන් උරුවේල කාශ්‍යපට පන්සියයක් පිරිවර ද, නදී කාශ්‍යපට තුන් සියයක් පිරිවර ද ගයා කාශ්‍යපට දෙසීයක පිරිවර ද සිටියහ. උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ අසපු ඉදිකරවා ගෙන විසූ ඔවුහු මානයෙන් උදම් ව සිටියහ.

බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යප ගේ අසපුවට වැඩම කොට එහි රැය පහන් කිරීමට නවාතැනක් ඉල්ලා සිටියහ. එහෙත් එහි නවාතැන්දීමට අකැමැති බව උරුවේල කාශ්‍යප බුදුරදුන්ට ප්‍රකාශ කළේ ඊට හේතු ද දක්වමිනි. එනම් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල් ගෙය පමණක් වීමත් එහි දරුණු නාගයකු වාසය කිරීමත් ය.

නාගයකු සිටීම තමන් වහන්සේට ගැටලුවක් නොවන බව බුදුරදුන් සඳහන් කළ විට එසේ නම් නවාතැන් ගැනීම කෙරෙහි තමාගේ බාධාවක් නොමැති බව උරුවේල කාශ්‍යප ප්‍රකාශ කළේ ය.

ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩමකොට එහි තණ ඇතිරියක හුන් සේක. නාග රාජයා බුදුරදුන් දැක කිපී විෂ දුම් පිට කළේ ය. බුදුරජාණන් වහන්සේ සෘද්ධි බලයෙන් පෙරළා දුම් විහිද වූහ. නාග රාජයා ක්‍රෝධ ගින්නෙන් වෙළී දිලිසුණු අතර බුදුරදුන් සෘද්ධිමය ගින්නෙන් බැබළුණි. මුළු ගිනිහල් ගෙයම ගින්නෙන් වැසී ගත්තාක් මෙන් දිස් වුණි. ජටිල පිරිස එය දැක මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා බෙහෙවින් පීඩා පමුණුවා ඇතැයි, සිතූහ. රැය පහන් වූ පසු බුදුරජාණන් වහන්සේ ඔද සිඳී ගිය නාගයා ස්වකීය පාත්‍රයෙහි දමා උරුවේල කාශ්‍යප වෙත පෙන්වූහ. හෙතෙම එය දැක ප්‍රකාශ කළේ “මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් ද මනයෙහි දක්ෂ ය. එහෙත් මා සේ රහත් බවට පත්ව නැතැ’යි, යනුවෙනි.

මෙකී තුන් බෑ ජටිල පිරිසම තමන් රහත් ය, යන මානයෙන් මුළා වී සිටි අතර එම වැරැදි මානය දුරුකොට නිවන් මඟට ඔවුන් යොමු කරවීම බුදුරදුන් ගේ එකම අපේක්ෂාව විය. එබැවින් බුදුරදුන් ඔවුන්ගේ මානය දුරු කිරීමට විවිධාකාර වූ ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන් ය. ඒ දැක උරුවේල කාශ්‍යප බුදුරදුන් කෙරෙහි බෙහෙවින් ප්‍රසාදයට පත් ව පන්සියයක් වූ ස්වකීය අතවැසි පිරිස ද සමඟ පැවිදි වූහ. පසුව ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජනා නදියෙහි පා කර යැවූ හ.

ගඟෙහි පාවී ආ තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදු වී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවර ද කැටිව පැමිණිය හ.

එහි දී ඔවුන් පැවිදි වී සිටිනු දැක තමා ද කරුණු විමසා ස්වකීය පිරිවර සමඟ බුදුරදුන් වෙතින් ධර්මය අසා පැහැදී පැවිදි වූහ. ගඟෙහි පා වී යන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිස ද නදී කාශ්‍යප සේ ම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහාගෙන බණ අසා පැවිදි වූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේලා ද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළ හ. එහි දී බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝම රහත් භාවයට පත් වූහ.

වප් පොහොය දිනෙක මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පිරිවර සමඟ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. ඔවුන් එසේ පැමිණියේ දේවාරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි.

වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණු අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටියහ. ඒ ඉල් පොහොය දිනෙක ය.

එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳ කිලියෙහි වියනක් කොට පිදූ අතර, අනෙක තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූහ. පසුව බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැ”යි, නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහි දී ලබා ගන්නා ස්ථිර ප්‍රකාශය යි.

අගසව් සැරියුත් මහරහතන් වහන්සේ ස්වකීය උපන් ගම වූ නාලක ගමේ දී පිරිනිවන් පෑමත්, මව වූ රූපාසාරි බැමිණිය මාර්ගඵල ලැබීමත් සිදු වූයේ ද ඉල් පොහොය දිනෙක ය. සැරියුත් මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ වූ ආදාහන කටයුතු නිමවා චුන්ද මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අතට පත් කරන ලදී.

මෙහිදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් ඉදිරියෙහි සැරියුත් මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සමුදාය සිහිපත් කළ සේක.

ඉල් පොහෝදා පසුවස් පවාරණය ද සිදු කෙරේ. පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් පවාරණය කොටස් දෙකකි. ඇසළ පොහෝ දා පොහෝය විනය කර්මය කොට අවපෑළවිය ද, පෙරවස් සමාදන් වී වස් ආරක්ෂා කර වප් පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණය යි.

නිකිණි පොහෝ දා පොහෝය විනය කර්මය කොට අවපෑළවිය ද, පසුවස් සමාදන් වී ඉල් පොහෝ දා, වස් පවාරණය කිරීම පසුවස් පවාරණය යි. කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයන් සියල්ල ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙන් පසු නිමාවට පත් කෙරෙයි.


ඌරුගමුවේ අස්සජි හිමි

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය

 



"මෙරට ජන හදවත් ආගමික ප්‍රබෝධයෙන් පුබුදුවාලු, සිංහල සභ්‍යත්වයෙහි හා සදාචාරයෙහි නියමුවා වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම පාලකයා පමණක් නොව රටවැසියා ද ධර්ම සංවේගයෙහි හෙළන්නට විය. එනිසා උන්වහන්සේගේ පරිනිර්වාණය කන වැකුණු නන්දෙසින් පැමිණි මහාජනකාය මහත් පූජා කරමින් රටෙහි හා ජාතියෙහි ගෞරවය පුද කළහ. මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ජනහදවත්වල අනුබුදු නාමයෙන් බැසගෙන තිබුණු සිතිවිලිවල ප්‍රබලත්වය නිසා උන්වහන්සේ ජනයාගේ නිසි බුහුමනට පාත්‍ර වූ හ."


මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිංහල සංස්කෘතියෙහි හා ශාසනයෙහි ආරම්භය සනිටුහන් කරන්නකි. උන්වහන්සේ භාරතයෙහි ව්‍යාප්තව පවැති, සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ බුදු දහමත්, සම්බුද්ධ ශාසනයත්, බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයත් මෙරටට රැගෙන වැඩිය හ.


එය අරමුණක් නැතිව ජීවත් වූ ලාංකේය වැසියන්ට මහත් අස්වැසිල්ලක් විය. සභ්‍යත්වයක් නොමැති ජනයාට ඉමහත් කායික මානසික සතුටක් ගෙන දුන්නේ ය. මේනිසා දහස් ගණන් මෙරට ජනයා පළමු දින කිහිපයතුළ දී ම සම්බුද්ධ ශාසනය වටා ඒකරාශී විය. මිහිඳු මාහිමියන් වහන්සේ එදා රාජකීය පවුලෙන් ආරම්භ කළ සදාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය බුදු දහම හා බද්ධ වී, පෝෂණය වී සිංහල ජනයාගේ ජීවිතයට ඒකාබද්ධ විය. එදා සිට සිංහලයා සමස්ත මානව වර්ගයා හමුවේ කැපී පෙනෙන ලෙස සාඩම්බර ව, අභිමානයෙන් යුක්තව පෙනී සිටියේත්, ගරු සම්මාන ලැබූවේත් බුදු දහමෙන් පෝෂිත වූ සිංහල සංස්කෘතිය නිසා ය. බුදු දහම හා සිංහල සංස්කෘතිය ගසට පොත්ත මෙන් අන්‍යොන්‍යව බද්ධ වී අද දක්වා ක්‍රියාත්මක ව පවතින අතර, එය යම් දවසක සිංහලයාගෙන් වෙන්වේ ද, එදාට ප්‍රාග් මහින්ද යුගයේ පැවැති ගෝත්‍රික ලක්‍ෂණ සිංහලයාගෙන් පෙන්නුම් කරයි.


මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වඩින විට තිස් දෙවෙනි වියෙහි පසු වූ තරුණ තෙරුන් වහන්සේ නමකි. දේවානම් පියතිස්ස රජුගෙන් පසුව රජ පැමිණි උත්තිය රජුගේ අටවැන්නේ දී වප්මස පුරපක්‍ෂය අටවැනි දිනයෙහි දී ලංකාද්වීපය බැබළවූ මෙරට ශස්තෘ ශාසනයෙහි දියුණුවට පමුණුවා ලංකාවට කීර්තිය ගෙන දුන්නා වූ, ලංකාද්වීපවාසීන්ට යහපත පිණිස කටයුතු සිදු කළ මිහිඳු මහ රහතන් වහන්සේ සැටවන වයසේ දී (සට්ඨිවස්සෝ) එනම් අවුරුදු අසූවක් ආයු වළඳා වස් වැස සිටියදී පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ දිනය අටවක් දා යැයි එදින සිට සම්මත විය. මහාවංසයෙහි විසිවෙනි පරිච්ඡේදයෙහි තිස්දෙවන ගාථාවෙහි සිට දැක්වෙන තොරතුරුවලට අනුව උන්වහන්සේගේ පිරිනිවන් පෑම අසා රජු ශෝකය නමැති උලෙන් පරහරණ ලද්දේ (වේදනාවෙන් පෙළුණේ) ශ්‍රී දේහය සමීපයට ගොස් වැන්ඳේය. එහි දී රජු නොයෙක් අයුරින් බොහෝ සෙයින් වැළපුණේය. ඉන්පසු රජු උන්වහන්සේගේ ආදාහනය උපරිම ගෞරවයෙන් සිදු කිරීමට කටයුතු කළේ ය. තෙරුන් වහන්සේගේ දේහය බොහෝ සුවඳ තෙල් පුරවන ලද රන් දෙනක මනාව තැන්පත් කරවී ය. අනතුරුව මනාව වසන ලද එම දේහය අලංකාර වූ රන්කුළුගෙයක තබවන ලදී. පසුව එම කුළුගෙය රැගෙන යහපත් රංගනයන් දක්වමින් උන්වහන්සේගේ දේහයට ගෞරවය දක්වන ලදී. එසේම ඒ ඒ දිශාවෙන් පැමිණි මහත් වූ ජන ගංගාවකින් ද, මහත් වූ බට සමූහයකින් ද, නොයෙක් විධියේ පූජා විධීන් ද සිදු කරන්නට විය. එසේ සරහන ලද රන්කුළුගෙය නගරයට ගෙනවිත් රාජකීය වීදිවල හසුරුවා මහා විහාරයට රැගෙන එන ලදී. අනතුරුව එහි තබවා සත්දිනක් උත්තිය රජු තොරන්, කොඩි, මල් හා සුවඳ පිරුණු කළවලින් විහාරයන් අවට තුන් යොදුනක් රජුගේ අණින් සරසන ලදී. එසේම මුළු ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරසන ලද්දේ ද විය. රජු දින සතක් නොයෙක් ආකාරයෙන් පූජා පවත්වා තෙරුන්ගේ දේහය බඩමාළක නම් ස්ථානයෙහි සුවඳ දර සෑයක් කරවා මහාසෑය ප්‍රදක්‍ෂිනා කරමින් මනරම් කුළුගෙය එහි පමුණුවා, දර සෑයෙහි තබවා අවසන් ගෞරව සමාචාර සිදු කළේ ය. අනතුරුව උන්වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන්වා ගෙන අනුරාධපුරයෙහි සෑයක් ඉදි කළේ ය. තව ද ධාතූන් කොටසක් ගෙන්වා ගෙන සෑගිරි වෙහෙරෙහි ද, සෙසු විහාරයන් හි ද සෑයන් බැන්ඳවී ය.


මහාමහින්ද මහ රහතන් වහන්සේගේ ශ්‍රීමත් දේහය පිළිබඳ වු ආදාහන පූජෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි සිදු වූ පළමු රාජකීය බෞද්ධාගමික ආදාහනය යි. මෙම ආදාහනය ඓතිහාසික කරුණු කිහිපයක් ඉතිහාසයට එකතු කර ඇත. උත්තිය රජු එකී රාජකීය ආගමික උත්සවයක් සිදු කළ පාලකයා වශයෙන් ද ඉතිහාසගත වී ඇත.


මෙරට ජන හදවත් ආගමික ප්‍රබෝධයෙන් පුබුදුවාලු, සිංහල සභ්‍යත්වයෙහි හා සදාචාරයෙහි නියමුවා වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම පාලකයා පමණක් නොව රටවැසියා ද ධර්ම සංවේගයෙහි හෙළන්නට විය. එනිසා උන්වහන්සේගේ පරිනිර්වාණය කන වැකුණු නන්දෙසින් පැමිණි මහාජනකාය මහත් පූජා කරමින් රටෙහි හා ජාතියෙහි ගෞරවය පුද කළහ. මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ජනහදවත්වල අනුබුදු නාමයෙන් බැසගෙන තිබුණු සිතිවිලිවල ප්‍රබලත්වය නිසා උන්වහන්සේ ජනයාගේ නිසි බුහුමනට පාත්‍ර වූ හ. ශ්‍රී ලංකේය ජනයා සිය ගෞරවය හෙළ සිරිත් විරිත් අනුව සිදු කළ බවට ද තහවුරු වේ. සුවඳ සුණු, සුවඳ ආලේප, සුවඳ දිය භාවිත කිරීමත්, එසේම සුවඳ දර යොදා ගැනීමත් නිසා උන්වහන්සේ කෙරෙහි වූ බොදු ජනයාගේ භක්තිය මනාව ප්‍රකට කරයි.


මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසුව සිංහල දේශය ගොඩනැගීමට විවිධ මෙහෙයක් සිදු කළහ. ධර්ම දේශනාවකට පමණක් සීමා නොවූ උන්වහන්සේගේ දිනචර්යාව විවිධ අංශයන් වෙත පැතුරුණු සේවයක් විය. සිංහල ලේඛනයේ ආරම්භය සිදු වූයේ උන්වහන්සේගේ ආගමනයෙන් අනතුරුව ය. ලේඛන සඳහා අවශ්‍ය බ්‍රාහ්මී අක්‍ෂර මාලාව මෙරටට ලැබුණේ ය. ඉන්දු ආර්ය භාෂා රීතියට අනුකූලව ලියැවුණු පැරැණි සිංහල ලේඛන මහින්දාගමනයෙන් පසුව හමුවේ. මහින්දාගමනයත් සමග ත්‍රිපිටක ධර්මය තුළ අන්තර්ගත පාලි භාෂාව භික්‍ෂූන්ගේ භාෂා මාධ්‍ය බවට පත්විය. එය පසුකාලයේ අන්තර්ජාතික භාෂාවක් බවට පත් විය. පාලි භාෂාවේ ආභාෂය ලබා සිංහල භාෂාව පෝෂණය විය. එසේම කලා ශිල්පයෙහි උන්නතිය හා කලා ප්‍රබෝධය ඇති වූයේත් මහින්දාගමනය නිසා ය. ගෘහනිර්මාණ, චිත්‍ර, මූර්ති, කැටයම් ශිල්ප යන කලා මාධ්‍යය බිහි වූයේ උන්වහන්සේගේ ආගමනය නිසා ය. මෙරට ආගමික හා අධ්‍යාත්මික සමෘද්ධිය වෙත පියමං කරමින් ආර්ථික දියුණුව උදාවූයේ වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි යන උදාර සංකල්පය නිසා ය. මෙරට ජනයාගේ සිත්වල කලා රසකාමීත්වය ජනනය කරමින් පෙරහර ක්‍රමය බිහි විය. ශ්‍රී මහා බෝධියේ ආගමනයේ දී පැවැත් වූ එම ඓතිහාසික පෙරහර ජනයාගේ ශ්‍රද්ධාව, උද්දාමය හා අභිමානය ගොඩ නැංවීමට සමත් විය. අනතුරුව විවිධ සංස්කෘතිකාංගවලින් යුත් පෙරහර ක්‍රම මෙරට තුළ ව්‍යාප්ත විය. මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුපමේය සේවය මාතලේ අළුවිහාරයෙහි ලේඛණගත කර ඇති ත්‍රිපිටක ධර්මයත්, රජරට ප්‍රදේශවල පැතිර ඇති නිල්වන් කෙත්යායවලින් ද, විශාල වැව් අමුණු සහිත වාරි තාක්‍ෂණයෙන් ද, අහස උසට පැතිරුණු සුවිසල් දාගැබ් හා ගොඩනැගිලි නෂ්ඨාවශේෂවලින් ද, මහාවිහාරය, අභයගිරි, ජේතවන යන භික්‍ෂු අධ්‍යාපන මධ්‍යස්ථානවලින් ද මනාව කියාපායි.


සාමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික වශයෙන් අනුපමේය සේවයක් සිදු කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දුන් මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිහිපත් කරන අද දිනයේ අපගේ වැදගත්ම කාර්යභාරය වන්නේ උන්වහන්සේගේ මඟපෙන්වීම තව තවත් පාලක පක්‍ෂයේ සිට රටවාසි සියලු දෙනාගේ ජීවිතවලට සමීප කර ගැනීමයි. අපගෙන් ගිලිහීගිය සදාචාරය නැවැත ඇති කර ගැනීමයි. සිංහලයා ඉහළට ඔසවා තැබූ අපගේ සංස්කෘතිය, සදාචාරය, ආගන්තුක සත්කාරය, පරහිතකාමීත්වය, සමගිය, සමාදානය, කරුණාව මෛත්‍රිය වැනි උදාර ගුණ ධර්මවලින් තව තවත් පෝෂණය වීමයි. අපගේ ඉදිරි පරම්පරාවට එකී ගුණධර්ම හඳූන්වා දෙමින් ඔවුන්ගේ ජීවිත ද ශ්‍රේෂ්ඨ සිංහල සංස්කෘතියෙන් ඔපවත් කිරීමයි.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය

එච්. එම්. මහින්ද හේරත්

Mihindu Pura Atawaka Pohoya ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝය

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පුන් පොහෝ දා

 

බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට හේතුව යි. බිනර පොහෝ දා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.

එ සමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහි දී මහා ප්‍රජාපතීගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක් ම ආයාචනා කළා ය. චුල්ල වග්ග පාලියෙහි භික්ඛුනීක්ඛන්ධකයෙහි දැක්වෙන පරිදි එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.

"අලං ගොතමී මා තෙරුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති"

ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා යන්න මෙහි අර්ථයයි.

පැවිදිවීම පිළිබඳ කළ ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදි වන කාන්තාවෝ නොදකිති. දුක සේ අපහසුවෙන් එය ලබාගත් කළ ශාසනික බ්‍රහ්මචරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති.

බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහිදී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය, කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙම කාන්තා පිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාරශාලා විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත් ව දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාර ගෙය තුළට ඇතුලුවීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටු අබියස ශෝකී බර ව සිටියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස් ගෙන මනා සංවිධානයක් ද ගොඩනගාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන්ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලි ය.

ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේ ගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමි බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැළ කළහ. එහිදී ද බුදු රදුන් එම ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළේ ‘ආනන්දයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදිවීම නුඹට රිසි නොවේවා’යි, වදාරමිනි. එවිට ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළහ. ‘භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද අනුමත නොකරන සේක. වෙනත් මගකිනුත් කාන්තා පැවිද්ද අයැද සිටී නම් මැනවි.’ එසේ සිතා බුදුරදුන් හමුවේ මෙසේ සැල කළහ.

ආනන්ද හිමි - භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදි ව සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා අරහත් පල පසක් කරගන්නට හැකි ද?

බුදුරදුන් - අනඳයෙනි, කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදිව සෝවාන්, සකෘදගාමී, අනාගාමී හා අරහත් පල පසක් කරගන්නට හැකි ය.

ආනන්ද හිමි - භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට, සෝවාන්, සකෘදගාමි, අනාගාමී හා අරහත් ඵල පසක් කර ගන්නට හැකි නම්, භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට කළ බොහෝ උපකාර ඇත්තී ය. සුළු මෑණියෝ ය. වැඩූ පෝෂණය කළ තැනැත්තී ය. කිරි දුන් තැනැත්තී ය. මව කලුරිය කළ කල්හි සිය තනයෙන් කිරි පෙවුවා ය. භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද ලබන්නී නම් යෙහෙකි ය.

බුදුරදුන් - අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමීය, ගරු දහම් අටක් පිළිගන්නී නම්, එය ම ඇය ගේ උපසම්පත්තිය වේවා.

මෙහිදී බුදුරදුන් වදාළ අෂ්ට ගරු ධර්ම මෙසේ ය.

* උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසම්පදා වූ භික්ෂුවට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, දොහොත් මුදුන් තබා නැමදීම ආදී ගරු බුහුමන් දිවි හිමියෙන් කළ යුතු ය.

* භික්ෂුණිය භික්ෂූන් නොමැති ගමක වූ ආවාසයෙක වස් නොවිසිය යුතු ය.

* අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂූන් වහන්සේගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

* වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන දෙසඟ පිරිස්හි ම දුටු දෙයින්, ඇසූ දෙයින් සැක කළ දෙයින් යන තුන් දෙයින් (දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා) පවාරණය කළ යුතු ය.

* බර ඇවතකට පත් භික්ෂුණිය භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා ඉදිරියෙහි මානත් පිරිය යුතු ය.

* දෙ අවුරුද්දක් ම උභතො සංඝයා වෙත හික්මෙන්නියකව සිට උපසම්පදාව අපේක්ෂා කළ යුතු ය.

* භික්ෂුණිය විසින් කවර කරුණක් නිසා හෝ භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතු ය.

* භික්ෂුණිය විසින් භික්ෂුවකට ‘ මෙසේ සිටින්න, මේ දේය කරන්න’ ආදී ලෙස අණ දෙන ආකාරයෙන් කතා බහ නො කළ යුතු අතර, භික්ෂූන්ගේ අවවාද පිළිගත යුතු ය.

මෙසේ මෙම ගරු ධර්ම අට ආනන්ද හිමියන්ට විස්තර කරදුන් බුදුරජාණන් වහන්සේ අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමී මේ ගරු දහම් අට පිළිගනී නම්, එයම ඇයගේ උපසම්පදාව වන්නේ යැයි වදාළහ. ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත පැමිණ මෙය විස්තර කර දුන්හ. එවිට එතුමිය ප්‍රකාශ කළේ ‘කය සරසන සුලු තරුණ යොවුන් වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිස සෝදා නා උපුල් මල්දමක් හෝ සමන් මල් දමක් හෝ යොහොඹු මල් දමක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුම් හිසෙහි පිහිටුවන්නේ ද එසේම මම මෙම ගරු දහම් අට දිවිහිමියෙන් සුරකිමි. පිළිගනිමි” යනුවෙනි. ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත එළඹ ‘භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතීගෝතමිය විසින් ගරු දහම් අට පිළිගැනිණ. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් දෑ උපසපුව ලැබූහ’යි කීහ.

පසුව බුදුරදුන් වදාළේ ‘අනඳයෙනි කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද නොලද නම් මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පිහිටියේ ය. යම් හෙයකින් කාන්තාවෝ ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූවහු ද එබැවින් දැන් මේ සසුන චිරස්ථිතික නොවන්නේ ය. දැන් මෙතැන් සිට පන්දහස් වසරක් ශාසන සද්ධර්මය පිහිටියේ ය යන්නයි.

අෂ්ට ගරු ධර්ම පැනවීම පිළිබඳ බුදුරදුන්ගේ උපමාව වූයේ මහ වැවක ජලය එයින් නික්ම පිටත ගැලීම වළක්වනු පිණිස කල්තබා ම නියරක් බඳනේ ද එසේම මා විසින් දිවි හිමියෙන් කඩ නොකළ යුතු ගරු ධර්ම අටක් කල්තබා ම භික්ෂුණීන්ට පනවන ලද බවයි.

භික්ෂුණී සමාජය ආරම්භ කරමින් බිනර පුර පසළොස්වක පොහොය දිනෙක මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි උපසම්පදාව ලැබුවේ මේ ආකාරයෙනි. පසුව අනෙක් කාන්තා පිරිසද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ.


ඌරුගමුවේ
අස්සජී හිමි

සිරි දළදා හිමි පුජෝපහාර



සිරිලකට දළදා වහන්සේ වැඩමවීම ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමකි. දළදා වහන්සේ වැඩම වූ තැන් පටන් මෙරට රාජරාජ මහාමාත්‍යාදීන් ගේ පටන් සාමාන්‍ය මහ ජනතාව ද එම උතුම් පූජනීය වස්තුව කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් දැක් වූ හ. ඒ සියල්ල ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගරු සැලකිලි හා සම විය.
කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවත්තන සල් උයනෙහි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ චිතකයෙහි ධාතූන් වහන්සේලා සත්නමක් සිඳී බිඳී විසිරී නොගොස් ශේෂව පැවතිණ. ලලාට ධාතුව, දෙ අකු ධාතු සහ සතර දළදාව එම ධාතූන් වහන්සේලා සත් නමයි. මෙම සතර දළදා වහන්සේ ගෙන් එක් නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි ද එක් නමක් නාග ලෝකයෙහි ද තවත් එක් නමක් ගන්ධාර දේශයෙහි ද අනෙක් දළදා වහන්සේ කාලිංග දේශයෙහි ද තැන්පත් කෙරිණි.
දළදා වහන්සේ පිළිබඳ ලියැවුණු පැරණිම ග්‍රන්ථය වන පාලි දාඨාවංසයෙහි සඳහන් වන පරිදි ඛේම නම් රහතන් වහන්සේ බුදුරදුන් ගේ වම් දළදාව ආදාහන මළුවෙන් ගෙන කාලිංග දේශයෙහි දන්ත පුරයෙහි බ්‍රහ්මදත්ත රජු වෙත භාර කළ හ. රජු එම දළදා වහන්සේ ඉතා අනර්ඝ මන්දිරයක තැන්පත් කළේ ය. නොකඩවා ම පුද පූජාවන් ද පැවැත් වීය. එම රජු ගේ ඇවෑමෙන් ඔහු පුත් කාසි රජු ද එයින් පසු සුනන්ද රජු ද, එලෙසින් ම දළදා පූජාව පැවැත් වූ හ. කාලයා ගේ ඇවෑමෙන් දළදා වහන්සේ පිළිබඳ වගකීම පැවරුණේ ගුහසීව රජුට ය. එතුමා ස්වකීය රාජ පරම්පරාව අනුව යමින් දළදා වහන්සේ අසීමිත ගෞරවයකින් රැක ගත්තේ ය. ගුහසීව රජ දවස ලාභ සත්කාරයෙන් පිරිහුණු මිථ්‍යා දෘෂ්ටිකයෝ පාටලී පුත්‍රයෙහි රජ කළ පණ්ඩු නම් රජුට කේලාම් කියා ගුහසීව රජු කෙරෙහි වෛරයක් ඇති කළේ ය. එබැවින් ගුහසීව රජු දළදා වහන්සේත් සමග පාටලී පුත්‍රයට අල්වාගෙන එන ලෙස පණ්ඩු රජු නියම කළේ ය.
පසුව තොරතුරු විමසූ හෙතෙම දළදා වහන්සේ කෙරෙහි පැහැදී පුද සත්කාර පවත්වා නැවත ගුහසීව රජු දළදා වහන්සේ සමග කාලිංග දේශයට පිටත්කොට එවීය. එහි දී ඛීරධාර නම් රජු ගේ බෑණනු කෙනෙක් දළදා වහන්සේ තමා සන්තක කරගැනීම සඳහා ගුහසීව රජු සමග යුද්ධයකට පැමිණියේ ය. ගුහසීව රජු එම යුද්ධයෙන් ජයගැනීම පිළිබඳ ඇති වූ සැකය නිසා දළදා වහන්සේ ස්වකීය දියණිය වූ හේමමාලා කුමරිය ගේ ස්වාමි පුරුෂයා වූ දන්ත කුමරුට පවරා දුන්නේ ය. තමා යුද්ධයෙන් පැරදුණහොත් දළදා වහන්සේ රැගෙන ස්වකීය මිත්‍ර වූ ලංකාධිපති මහාසේන රජු වෙත යන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කිත්සිරිමෙවන් රජුගේ නව වන රාජ්‍ය වර්ෂයෙහි දී ලක්දිවට වැඩමවන ලද්දේ මෙම දළදා වහන්සේ ය. මෙය බුදුරජාණන් වහන්සේ ගේ යටි හණුවෙහි වම් දළදා වහන්සේ බව පාලි ලලාට ධාතුවංසයෙහි සඳහන් වේ. රාජධානි වෙනස්වීමේ දී හා සතුරු උපද්‍රව නිසා පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, බෙලිගල, දෙල්ගමුව, කෝට්ටේ ආදී ස්ථානවල වැඩසිට අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ මෙකී දළදා වහන්සේ ය. දළදා වහන්සේ දුරාතීතයේ පටන් රටේ රාජ්‍ය උරුමයක් වූ අතර එම උරුමය සුරැකීම රටේ රාජ්‍ය නායකත්වයට සුදුසුකමක් සේ සලකනු ලැබිණි. බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු පවා එම උරුමයට නිසි ගෞරවය දැක් වූ හ.

දළදා සාහිත්‍යය

දළදා වහන්සේ සිරිලකට වැඩමවීම පිළිබඳ සම්පූර්ණ ඉතිහාස පුරාවෘත්තය ලියැවී තිබෙන පැරැණිම ග්‍රන්ථය ධර්මකීර්ති නමැති හිමිනමක් විසින් රචනා කරන ලද “පාලි දාඨාවංසය” යි. “දළදා සිරිත” නමැති ග්‍රන්ථයක් ද හයවන පරාක්‍රමබාහු රජු ගේ ආරාධනය අනුව රචනා කොට ඇත. එකී හතරවන පරාක්‍රමබාහු රජ දවස දක්වා දළදා වහන්සේට පුද පූජා පැවැත් වූ රජවරුන් ගේ තොරතුරු ඇතුළත් කොට කුරුණෑගල යුගයේ දී හෝ ඊට ආසන්න කාලයක ලියැවුණු තවත් ග්‍රන්ථයක් තිබේ.
එනම් “දළදා පූජාවලිය” යි. හතරවන විමලධර්මසූරිය රජු දක්වා රජවරුන් දළදා වන්දනාව සිදු කළ පුවත් විස්තර කරමින් “දළදා වරුණ” නමින් ලියැවුණු කුඩා ග්‍රන්ථයක් ද වෙයි. මේ හැර දළදා වහන්සේ ගේ ඉතිහාසය, පුද පූජාවන්, දළදා වර්ණනාවන් යනාදිය මුල් කරගෙන සිංහල හා පාලි යන භාෂාවන් ගෙන් ලියැවුණු තවත් ග්‍රන්ථ සමූහයක් ද තිබේ.

දළදා තේවාව

දළදා වහන්සේ පිළිබඳ පවත්නා පුද සිරිත් රාශියක් ම මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍රකර ගනිමින් එදාමෙදාතුර ක්‍රියාත්මක ව පවතියි. එහි දී ජීවමාන බුදුරජාණන් වහන්සේ විෂයයෙහි සිදුකරන ආකාරයට දළදා වහන්සේ උදෙසා සියලු ම පුද පූජා හා වත්පිළිවෙත් ඉටු කිරීම විශේෂත්වයකි. දළදා මැදුර තුළ බුදුරදුන් ජීවමාන ව වැඩ වෙසෙතැ යි, බෞද්ධ ජනයා තුළ ඇති සැදැහැබර හැඟීම එහි දී මූලික වෙයි.
බුදුරදුන් ජීවමාන සමයේ ආනන්ද හිමි උන්වහන්සේ වෙනුවෙන් කළ උපස්ථානය බුද්ධ චරිතයෙහි විස්තර වෙයි. දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරනුයේ ද එවැනි ම උපස්ථානයකි. ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරෙන සියලුම පුද පූජා හා සිරිත් විරිත් එම පිළිගැනීමට යෝග්‍ය වන අන්දමින් සංවිධානය වී පවතියි. සියලුම දළදා පුද පූජා, ඒවා පැවැත්වෙන කාලය අනුව ප්‍රධාන කොටස් තුනකට වර්ග කළ හැකි ය.දෛනික පුද පූජා හෙවත් දිනපතා පවත්වන පුද පූජා ,සප්තාහික පූජා හෙවත් සතියකට වරක් සිදු කෙරෙන පුද පූජා, වාර්ෂික පුද පූජා වශයෙනි

දෛනික පුද පූජා

දළදා වහන්සේ උදෙසා දිනකට තුන් වරක් පුද පූජා පැවැත්වේ.
අලුයම පූජාව, නව පෑ පූජාව, හැන්දෑ පූජාව, අලුයම පූජාව වශයෙනි.
අලුයම 5.15 ට පමණ හේවිසි වාදනය කෙරෙයි. එය අලුයම් දූරය ලෙස හැඳීන්වේ. පෙ.ව. 5.30 ට අලුයම තේවාව ආරම්භ වෙයි. එයට තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ හා දෙවැනි ස්වාමීන් වහන්සේ ද වැඩම කරති. දළදා තේවාවට උපකාරී වන තේවාකාර ධුර කිහිපයකි.
වට්ටෝරුරාල, ගෙපරාල, කත්තියනරාල, හක්ගෙඩිරාල, පල්ලේමාලේරාල හා දොරකඩ ආරච්චි ආදී ලෙසිනි.
දළදා වහන්සේ වැඩසිටින මාලිගාවේ දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල දළදා තේවාවන් රැසක් සිදු කෙරෙයි. අවසානයේ දී එහි ප්‍රධාන කාර්යයක් ලෙස බුදුරදුන් ගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි සිදු කළ උපස්ථානය ම සිහිපත් කරගෙන තේවාවෙහි නියුතු ස්වාමීන් වහන්සේලා දෙනම ගෙන් එක් නමක් බුද්ධ උපස්ථානය සිදු කරයි. එහි දී ඇල් පැන්, උණු පැන්, දැහැටි දඬු, අට පිරිකර, අවාන, විජිනිපත යනාදී උපකරණ පිළිවෙලින් පූජා කෙරෙයි. තේවාව අවසන්වීමෙන් පසු මහ ජනතාවට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලැබෙයි. අනතුරුව අලුයම 6.00 ට ආහාර බුද්ධ පූජාව පැවැත්වෙයි. මෙම පූජාවට හාල් සේරු 32 ක බත් දානය ද, ව්‍යංජන 32 ක් ද, අවුල්පත් ද සූදානම් කෙරේ. එය මුළුතැන් පූජාව ලෙස නූතනයේ හැඳීන්වෙයි.

නව පෑ පූජාව

නව පෑ පූජාව සඳහා මාලිගාවේ දොරවල් විවෘත කරන්නේ පෙ.ව. 9.30 ට ය. නව පෑ පූජාව ඇරඹෙන්නේ පෙ.ව. 10.00 ට ය. මෙම පූජාව සඳහා ද හාල් සේරු 32 ක බත් දානය ද, ව්‍යඤ්ජන 32 ක් ද, අවුල්පත් ද සූදානම් කෙරේ. පෙ.ව. 11.00 ට පමණ නැවත දොරවල් වසනු ලැබේ.

හැන්දෑ පූජාව

හැන්දෑ පූජාව ආරම්භ වන්නේ ප.ව. 6.15 ට පමණ මාලිගාවේ හේවිසිකරුවන් විසින් හැන්දෑ දූරය වාදනය කරනු ලැබීමෙන් පසුව ය. මෙම තේවාවෙන් පසු ප.ව. 7.00 ට පළමු ගිලන්පස පූජාවත්, තවත් විනාඩි 30 කට පසු දෙවන ගිලන්පස පූජාවත් පැවැත්වෙයි. පසුව වන්දනාකරුවන්ට දළදා වහන්සේ වඳීන්නට ඉඩ දී මාලිගාවේ දොරවල් වැසීම චාරිත්‍රය යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතින් සිදු වූ අතපසුවීමක් මෙලෙස ගිලන්පස පූජා දෙකක් පැවැත්වීමට මුල් වී ඇත. නිතිපතා පූජාවට සහභාගි වන රජතුමා දිනක් හැන්දෑ පූජාවට පැමිණෙන විට ගිලන්පස පූජාව අවසන් වී තිබී ඇත. වරක් දොර වැසූ පසු යළි රජුටවත් ඇතුළු මාලිගය විවර නොකරන බැවින් යළි ගිලන්පස පූජාවක් පැවැත්වීමට අවසර දෙන ලෙස රජු නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. උන් වහන්සේගෙන් එයට අවසරය ලැබුණු අතර දෙවැනි ගිලන්පස පූජාවක් පැවැත්වීමේ චාරිත්‍රය එදා සිට අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලැබේ.

සප්තාහික පූජාව

සප්තාහික පූජාව යනු සතියකට වරක් සිදු කෙරෙන පූජාව යි. සෑම බදාදා දිනක ම මෙම සප්තාහික පූජාව සිදු කෙරෙයි. නානුමුරයට සූදානම් කළ සුවඳ පැන් ද , බොල පැන් ද (උණු පැන්) උඩු මාලයටත්, පල්ලේ මාලයටත් වියන් යටින් වැඩමවාගෙන යති. නියමිත වේලාවට නානුමුරය ඇරඹෙන බව හක්ගෙඩිය පිඹීමෙන් පිටත සිටින්නන්ට දන්වනු ලැබේ. දළදා කුටියේ සිදුකෙරෙන නානුමුරයට සහභාගි වනුයේ තේවා කාරක හිමිවරුන් දෙනම හා තේවාවට උපකාර කරන වට්ටෝරුරාල පමණකි. එදිනට ආලත්ති අම්මලා සහ කවිකාර මඩුව සහභාගි වීම ද විශේෂත්වයකි. නානුමුර කිරීමෙන් අදහස් වන්නේ දළදා වහන්සේ ස්නානය කරවීමයි.

වාර්ෂික පුද පූජා

දළදා වහන්සේ මුල් කරගෙන සතර මහා මංගල්‍යය නමින් හැඳීන්වෙන ප්‍රධාන පූජාවක් වාර්ෂික ව සිදු කෙරේ. ඒවා නම්,
අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු උත්සවය, ඇසළ මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යි. අලුත් සහල් මංගල්‍යය සෑම වසරක ම දුරුතු පොහෝ දින සිදු කෙරේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට කෙරෙන චාරිත්‍ර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කිරීම අලුත් අවුරුදු මංගල්‍යය යි. සෑම වසරක ම ඉල් පොහොය දා කාර්තික මංගල්‍යය සිදු කෙරේ. ඉල් පොහෝදා රාත්‍රියේ පහන් පූජා කරන ප්‍රදීපෝත්සවය කාර්තික මංගල්‍යය යි.
මෙම සතර මහා මංගල්‍යයෙහි වඩාත් උත්කර්ෂවත් ම අවස්ථාව ඇසළ මංගල්‍යය යි. ඇසළ මංගල්‍යය තුළින් සිදු කෙරෙනුයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වා දළදා වහන්සේට ආවේණික සාම්ප්‍රදායික උත්සව හා පුද පිළිවෙත් අඛණ්ඩ ව පවත්වාගෙන යාම යි. අද පැවැත්වෙන ආකාරයේ ඇසළ මහා පෙරහර ආරම්භ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී ය.
කප් සිටුවීමෙන් පසුව දින පහක් පෙරහර පැවැත්වෙන්නේ දේවාල භූමියේ ය. සය වැනි දින කුඹල් පෙරහර ආරම්භ වන අතර සතර දේවාලයේ පෙරහර සුභ නැකතින් පිටත් වී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ මාලිගාවේ පෙරහර හා ඒකාබද්ධව ගමන් කරයි.
කප් සිටුවීමෙන් එකොළොස්වන දිනයෙහි රන්දෝලි පෙරහර ආරම්භ වේ. දින පහක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහරේ උත්කර්ෂවත් අවස්ථාව එළඹෙන්නේ එහි අවසන් රාත්‍රියේ ය. මෙම ඇසළ මහා පෙරහර ගමන් කරන පිළිවෙල අනුව එය ප්‍රධාන කොටස් පහකින් සමන්විත ය.
දළදා මාලිගාවේ පෙරහර, නාථ දේවාලයේ පෙරහර, විෂ්ණු දේවාලයේ පෙරහර, කතරගම දේවාලයේ පෙරහර හා පත්තිනි දේවාලයේ පෙරහර යනුවෙනි.
අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු සතර දේවාලයේ පෙරහර දිය කැපීම සඳහා ඓතිහාසික ගැටඹේ තොටට යයි. දළදා පෙරහර සධාතුක කරඬුවත් සමග අස්ගිරි මහා විහාරයීය ගෙඩිගේ රාජමහා විහාරය වෙත ප්‍රවේශ වෙයි. මෙම විහාරය “ගමන් මාලිගය” ලෙස ද හැඳීන්වෙයි. මෙහි දී අස්ගිරි මහානායක මාහිමි විසින් සධාතුක කරඬුව භාරගෙන පසුදා දහවල් පෙරහරෙන් දළදා මාලිගාවට වැඩම කරවනතුරු දළදා මාලිගාවේ දී සිදු කරන ආකාරයට ම සියලු පුද පූජාවන් පවත්වනු ලබයි. පසුදින දළදා කරඬුව මාලිගාවේ තැන්පත් කිරීමෙන් පසුව දියවඩන නිලමේතුමා ප්‍රමුඛ සතර දේවාලවල බස්නායක නිලමේවරුන් රජු බැහැදැකීම සඳහා යාම අනිවාර්ය ය. පුරාතන සිරිතට අනුව යමින් දැනට එම නිලධාරීහු මහනුවර රජ ගෙදර දී ජනාධිපතිතුමන් හමු වී මෙවර පෙරහර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ බවත් ලබන වසරේ ද එලෙසින් ම පෙරහර පවත්වන බවත් ප්‍රකාශ කරති.
මෙසේ දළදා වහන්සේ හා සබැඳී ඓතිහාසික කතා පුවතක් ද පුද සිරිත් රැසක් ද පවත්නා බව මෙහි දී සාකච්ඡා කෙරිණි. තව ද මෙම දළදා වහන්සේ ගේ භාරකාරත්වය දරනුයේ මහනුවර මල්වතු-අස්ගිරි මහා විහාරයන් හි ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම විසිනි. එම උභය විහාරවල තේවාභාර ස්වාමීන් වහන්සේලා වසරින් වසර මාරුවෙන් මාරුවට පුරාණ චාරිත්‍ර විධි එලෙසින් ම පවත්වා ගනිමින් අද දක්වා ම එම කටයුතු ඉටු කරති. උභය විහාරවල භික්‍ෂූන් වහන්සේලා මාරුවීම සිදුවන්නේ වස්සාන සමයේ ආරම්භයත් සමග යි. එසේම දියවඩන නිලමේතුමා විසින් දළදා මාලිගාවේ ගිහි භාරකාරත්වය උසුලනු ලැබෙයි. වසර පහකට වරක් නව නිලමේවරයෙකු පත් කිරීම සිදු කෙරෙයි.

ඌරුගමුවේ අස්සජි හිමි

ඇසළ පොහොය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව


ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනී කො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තේ අනුපගම්ම මජ්මා පටිපදා තථාගතෙන අභි සම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ති. 

අදට වසර 2649 ට පෙර ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක් වෙසක් පුන් පෝ දිනකය. උන්වහන්සේ තමන් දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්ට හමුවූ බුද්ධිමතුන් අතුරින් අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටිනු දැක තමන් වහන්සේ අවබෝධ කරගත් අතිශය ගැඹුරු දහම හෙවත් ධම්ම චක්ක දේශනාව පවත්වන්නට උරුවෙල් දනවුවේ සිට බරණැසට පා ගමනින් වැඩම කළහ. බුදුහු ඉසිපතනයට ළඟාවත්ම පස්වග තවුසන් කතා කරගත්තේ ගෞතම තාපසයෝ අත්තකිලමථානු යෝගය බැහැර කොට සුවපහසු දිවියක් ගෙවමින් යළිත් අපෙන් උපස්ථාන ලබා ගැනීමට අප කරා එනවය. ඔහු උසස් කුලිකයෙකු බැවින් පිළිගනිමු. එහෙත් අපි වැඳුම් පිදුම් ආදී ආචාර සමාචාර නො පවත්වමු කියල. එහෙත් උන්වහන්සේ අසපුවට ළඟාවත් ම සිය කතිකාවත්හි නොසිටිය හැකි වූ තවුසෝ පා දෝවනයට දියබඳුන තබා අසුනක් පනවා සාදරයෙන් පිළිගත්හ. 

බුදුන් වහන්සේ හා තවුසන් අතර සතුටු සාමිචි කතාවේ දී තමන් වහන්සේට සම අය අමතන ආවුසො වාදයෙන් තවුසන් අමතන විට උන්වහන්සේ වදාළ තවුසෙනි, බුද්ධත්වයට පත් තථාගතවරයෙකුට ‘ආවුසො’ යයි ඇමතීම නො හොබනේය කියා. එසේ කියාත්, නොපිළිගත් තවුසන්ගෙන් ප්‍රශ්න කළ මා මෙයට පෙර කිසිවිටක ඔබලාට මා බුදුවෙලයි කියල කීවද? නැත. එසේ නම් මේ අවස්ථාවේ මා බුදුවෙලයි කියල කියන්නේ බුදුවූ නිසාම යයි වදාළහ. තවුසෝ ඒ අසා උන්වහන්සේ බුදු වී ඇති බව පිළිගත්හ. ඉක්බිති එසේනම් මහණෙනි, මාගේ පළමුවන දම්සක් පැවැතුම් (සමස්ත ලෝකයම ආවරණය වන ධර්මය නමැති චක්‍රය) දේශනාව අහන්න මහණෙනි, ලොව තිබෙන අන්ත යක් නැති (අනන්ත) අන්තදෙක වූ (සත්වයන් සදා සසර බැඳ තබා දුක් දෙන (ඔවුන් විසින් සත්ත්වයාගේ කෙළවරයි කියා වැරදි සේ පිළිගත්) කාමසුඛයෙහි ඇලි ගැලී සිටින උච්ඡේද දෘෂ්ටිය (උපන් භවය පමණකි, අනතුරු භවයක් නැතැයි සිතා ලැබූ ජීවිතයට හැකිතාක් හොඳින් හෝ නරකින් හෝ සැප දියයුතුයි. උපන් මේවායෙන් තම දිවි නිරුද්ධ වේයයි සිතා හැකිතාක් ඉඳුරන් පිනවන්න. මහණෙනි, එය පහත් අයගේ ක්‍රියාවකි. උතුමන්ගේ ක්‍රියාවක් නොවේ. අශිෂ්ට (ග්‍රාම්‍ය) ක්‍රියාවකි. පුහුදුන්ගේ ( කෙලෙස් බර අයගේ) ක්‍රියාවකි. ආර්යයන්ගේ ( නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන්නන්ගේ) නොව අනාර්යයන්ගේ ක්‍රියාවකි. එය අර්ථකර (උසස් ප්‍රතිඵල සහිත) ක්‍රියාවන් නොව අනර්ථකර (සසර දුක් දිගුකරන) ක්‍රියාවකි. 

එමෙන්ම අනෙක හෙවත් අත්තකිලමථානුයෝගය නම් මේ ශරීරකූඩුව තුළ සදා නොනැසෙන ආත්මයක් හෙවත් ජීවශක්තියක් තිබේ. එය කෙලෙස් මළින් පිරිසුදු කිරීමේ උපක්‍රමයක් යයි සිතන වැරදි ශීල වැරදි ව්‍රත අනුගමනය කිරීම නමැති සිය ආත්මය තැවීමේ පිළිවෙතයි. එය උපාදානස්කන්ධයට ඉමහත් දුකයි. එය දුක්ඛ සහගතයි. එසේම එය ආර්ය ප්‍රතිපදාවක් නම් නොවේ. එයිනුත් වන්නේ අනර්ථයක් (සසර දිග්වීමක් ) මිස අර්ථයක් (සසර කෙටිවීමක්) නම් නොවේ. එහෙයින් මහණෙනි, තථාගතයෝ එම අන්ත (කෙළවරවල්) දෙකම (අත්හදා බලා ඒවා මිථ්‍යා ප්‍රතිපදා මිස සම්‍යක් ප්‍රතිපදා නොවන බව පසක්කොට අන්තයක් නොවන මේ දෙකින් බැහැර වූ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අනුගමනය කළහ. මැදුම් පිළිවෙත සේ සැලකිය හැකි එම ප්‍රතිපදාව තථාගතයන් විසින් විශිෂ්ටඥානයෙන් අවබෝධ කරගන්නා ලදී. ඒ මඟ දෘෂ්ටියක් මාගේ මැදුම් පිළිවෙත ලෝකෝත්තර ප්‍රඥාව ඇති කරන්නකි. නුවණ ඇතිකරන්නකි. චතුරාර්ය සත්‍යය වටහා දෙන්නකි. නිවන් පිණිස හේතුවන්නකි. යනුවෙන් වදාළහ. මේ සූත්‍රයෙහි පළමු කොටසෙහි අර්ථයයි.

 මෙයයි මැදුම් පිළිවෙත .එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කවරේද? සම්මා දිට්ඨි (නිවන් සඳහා බවුන් වඩන යෝගියාගේ අවිද්‍යාව නසන විද්‍යා නම් ප්‍රඥා ඇස සම්මාදිට්ඨි (නිවැරදි දැකීම) යයි. සම්මා සංකප්ප (ගිහිබවින් නික්මීම හිංසාවෙන් හා ව්‍යාපාදයෙන් තොරවීම යන යහපත් සංකල්පනා තුළින් නිර්වාණාවබෝධය සඳහා යෝගියා මෙහෙයවන නිවැරදි සංකල්පනාවයි. සම්වාවාච (සම්මාදිට්ඨි සම්මාසංකල්පයන්ගෙන් යෝගියාගේ මිථ්‍යාවාචාදී සිව්වැදෑරුම් වාචසික සිත්වලින් වැළකී වාග් පාරිසුද්ධියය.) සම්මා කම්මන්ත(මිථ්‍යා වචනයෙන් වෙන් වූ යෝගියාගේ හා බැඳුනු ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායික දුසිරිත්වලින් වැළකීමයි. සම්මා ආජීව (යෝගියා කුහකකම්, චාටු කතා නිමිතිකතා දියෙන් ආහාර පානාදිය වැරදි සේ ලබා ගැනීමට දරන මිථ්‍යා ජීවිකාවෙන් වෙන්වීමයි. සම්මාවායාම (සම්මාවාචා, කම්මන්ත, ආජීව යන්ගෙන් යුක්ත) සිල්වත් වූ යෝගියාගේ සියලු අකුසල් නසන කුසීත බව දුරුකරන වීර්යය යි. එනම් නූපන් අකුසල් නූපදවීම උපන් අකුසල දුරු කිරීම නූපන් කුසල් උපදවීම, උපන් කුසල් රැකගැනීම යන සම්‍යක්ප්‍රධානයයි. සම්මා සති (යෝගියා කායාදී අසුභ දෑ සුබයයි වැරදි සේ දැකීමාදිය දුරුකරන අරමුණේ යථාස්වභාවය වටහා දෙන සිතේ මුළා බව නසන නිවැරදි සිහියයි. සම්මා සමාධි (යෝගියාගේ ස්මෘතිය හා බැඳුනු මිථ්‍යා සමාධිය නසනා නිවැරදි සිතේ එකඟතාවයි. මහණෙනි, මේ ප්‍රඥාව ඇති කරන නුවණ ඇතිකරන මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලදී. එය විශේෂඥානය පිණිස චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස පවතින්නකි. 

අනතුරුව චතුරාර්ය සත්‍යය හෙළිකරමින් බුදුන් වහන්සේ පළමුව දුක්ඛ සත්‍ය මෙසේ හඳුන්වා දුන් සේක. ‘ජාතිපි දුක්ඛා’ යනුවෙන් බුදුන්වහන්සේ සත්වයාගේ උපත, ජරාව හෙවත් දිරීම ‘ව්‍යාධිය (රෝගීවීම මරණය පි‍්‍රයයන්ගෙන් වෙන්වීම අපි‍්‍රයයන් හා එක්වීම, කැමතිදෑ, නොලැබීම, දුක් බව වදාරා ‘සංඛිත්තෙන පඤ්චු පාදානක්ඛන්ධා දුක්ඛා’ යනුවෙන් රූපාදී උපදානස්කන්ධ පහම (ඒකීය වශයෙන් ගෙන) දුක්ඛස්කන්ධයැයි වදාළහ. අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍යය විස්තර කරමින් සත්වයන්ගේ පුනර්භවය ඇතිකරවන සසර බැඳ තබන උපනූපන් භවය පි‍්‍රයකරවන කාම තෘෂ්ණාව, භවයෙහි ඉපදීමට ඇති ආශාව භව තෘෂ්ණාව පුනර්භවයක් නැත යන විශ්වාසයෙන් උපන් භවයෙහි හැකිතාක් සතුටින් විසීමට සිතන විභව තෘෂ්ණාව යන ත්‍රිවිධ තෘෂ්ණාවයි. දුක්ඛ සමුදයාර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ඉහත කී ජාත්‍යාදී දුක් නිරුද්ධ කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුන සිතේ තත්ත්වය හෙවත් නිවණ විරාගී බව, තෘෂ්ණාවගේ හැරදැමීම තෘෂ්ණාවෙන් මිදීම සසර නොඇල්ම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි වදාළහ. අවසානයෙහි දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍යය විස්තර කරමින් ඉහත සඳහන් කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ. 

මහණෙනි, මම පෙර නොදැනසිටි දුක්ඛාර්ය සත්‍ය මේ යයි දැන ගනිමි. නුවණැස පහළවිනි. ප්‍රඥාව උපන්, දෙවනුව එය පිරිසිඳ දතයුතු යයි නුවණ පහළවිය. ඥානය පහළවිය. අවිඥා අඳුර පහ විය. ආලෝකය උපනි. තෙවනුව එම සත්‍යය පිරිසිඳ දැනගතිමියි අවබෝධ කළෙමි. මෙසේම දුක්ඛ සමුදය සත්‍යය (තෘෂ්ණාව) එය ප්‍රහාණ කළයුතු යයි ද එය ප්‍රහාණ කළෙමියි ද නුවණ පහළ විය. තෙවනුව දුක්ඛ නිරෝධ සත්‍යය (නිවණ) මෙ බඳු යයි පෙර නොවුවිරූ නුවණ පහළ විය. 

එය ප්‍රත්‍යක්ෂ කළයුතු යයි පෙර නොවූ විරූ නුවණ පහළ විය. අනතුරුව එය (නිරෝධ සත්‍යය) අවබෝධ කෙළෙමියි පෙර නොවූ විරූ නුවණ පහළ විය. ඉක්බිති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යය කවරේදැයි ප්‍රත්‍යක්ෂ කොට දැනගනිමි. එම ප්‍රතිපදාව වැඩිය යුතුයයි නුවණ පහළවිය. අනතුරුව එම මධ්‍යම ප්‍රතිපදාව වූ අරිඅටඟි මඟ වැඩුවෙමියි පෙර නො ඇසූ විරූ ධර්මයන්හි පැණැස පහළ විය. ප්‍රඥාව පහළ විය. මහණෙනි, මෙකී පරිවෘත්ත (පෙරළෙන චක්‍ර) තුනකින් යුත් දොළොස් ආකාර වූ යථාභූතඥානදර්ශනය (චතුරාර්ය සත්‍යාවබෝධය යම්තාක් කල් සුපිරිසුදු නොවී ද ඒතාක් කල් දෙවියන් සහිත මරුන් බඹුන් හා මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන්ට මම ශ්‍රේෂ්ඨ සමාන සම්බෝධිය අවබෝධ කෙළෙමියි පිළිණ නොකෙළෙමි.යම් අවස්ථාවක තත්ත්වාකාර සම්මාබෝධි ඥාන දර්ශනය සුපිරිසුදු වීද ඉක්බිති මම අනුත්තර සම්මා සම්බෝධිය වෙසෙසින් අවබෝධ කළෙමි යි ප්‍රතිඥා කෙළෙමි. දැන් ඤාණදර්ශනය පහළ විය. සිත කෙලෙසුන්ගෙන් මිදිනි. 

අර්හත් ඵල සමාධිය තහවුරු විය. මේ මාගේ අවසන් උපතයි. පුනර්භවයන් නැතැයි අවසාන වශයෙන් වදාළසේක. යමක් ඇතිවේ නම් ඒ සියල්ල නැසෙනසුළුය යන නුවණින් පස්වග මහණහු සතුටු සිතින් දේශනාව පිළිගත්හ. මේ ධර්මය ඇසූ බූමාටු දෙවියන් ප්‍රමුඛ අකනිට්ඨාවාසී බ්‍රහ්මයන් තෙක් සියලු දෙවි බඹහු මෙවැනි දහමක් ලොව ශ්‍රමණ බ්‍රාහ්මණ මාර බ්‍රහ්මාදී කිසිවකුට නො පැවැත්විය හැකියයි කියා පැවැත් වූ සාධුනාදය ඇසුන ඇසූ පරිදි සාධු කියා සතුට පළ කළහ. ලෝක ධාතුව කම්පාවිය. වෙව්ලීය. දේව තේජානුභාවය ඉක්මවා ඉමහත් ආලෝකයක් ලොව පැතිරිණි. ඉක්බිති බුදුන් වහන්සේ මෙම උදානය (පී‍්‍රතිවාක්‍යය) පළ කළහ. 

‘අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤ’ ඔබට මෙය වැටහුණේ ද ඔබට මෙය වැටහුනේ ද? මෙතැන් පටන් කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” යන නම ව්‍යවහාර විය. සෝතාපත්තිඵලයට පත් වූ උන්වහන්සේ බුදුන්ගෙන් පැවිද්ද හා උපසම්පදාව අයැදූහ. ‘එව මහණ’ යයි බුදුහු ඒහි භික්ෂු උපසම්පදාව දුන්හ. මේ ධර්මය ස්වාක්ඛාත යි. මනාව දුක් කෙළවර කිරීම සඳහා බඹසර වසන්න යි වදාළහ. එයම සෝතාපත්ති ඵලයට පත් වූ ප්‍රථම භික්ෂුව වන අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ගේ උපසම්පදාව විය

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
අග්ගමහා පණ්ඩිත

පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි

අනුබුදු මිහිඳු මා හිමි සත් දිනක් තුළ දෙසූ දම් අමා ගඟ



සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම එවකට භාරතයේ වැඩ සිටි ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා සහ ධර්මාශෝක නරපතියන් විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවක ප්‍රතිඵලයකි. එසේම ශ්‍රී ලාංකිකයන් විසින් රාජ්‍ය ගෞරව සහිත ව උන්වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගැනීම ද ඓතිහාසික හා දූරදර්ශී තීරණයකි.
මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ එතෙක් පැවති සංස්කෘතියට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වන අප විසින් අදටත් සමරනු ලබන්නේ ඉමහත් බැතියෙන් බව අපි දනිමු.
එවකට තරුණ ජවයෙන් හා සුවිශද බුද්ධියකින් හෙබි දූරදර්ශී හා තේජෝබල සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ අටුවා සහිත ත්‍රිපිටකය ද මෙරටට රැගෙන වැඩි බව ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. එහි අරමුණ වන්නේ සැබෑ නිර්මල බුදු දහම මෙහි ස්ථාපනය කිරීම බව ඉතා පැහැදිලි ය.
ඓතිහාසික ලේඛනවලට අනුව උන්වහන්සේ මෙරටට පැමිණි දිනයේ සිට සිදුවී ඇති චින්තන විප්ලවය හා සංස්කෘතික පුනරුදය විදේශිකයන්ගේ පවා විමර්ශනවලට භාජනය වන අතර ඔවුන්ගේ නිගමන අනුව මිහිදු මාහිමියන්ගේ ලංකා ගමනය ඉතා සැලසුම් සහගත වූවකි.
උන්වහන්සේ පූර්ව සැලසුම් සහිතව මෙරටට වැඩම කළ අතර, එය වටහා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ උන්වහන්සේ විසින් කරන ලද දේශනාවන් විමසීම ය. එම දේශනාවන් අසා දින කිහිපයක් ඇතුළත මෙරට ජනයා හැට දහසක් පමණ බුදුදහම වැළඳගත් බව කියැවේ. එබැවින් මෙම ලිපියෙන් සලකා බැලෙනුයේ උන්වහන්සේ විසින් මුල් දින කිහිපය ඇතුළත කරන ලද සූත්‍ර දේශනාවන් පිළිබඳව ය.
මිහිඳු මාහිමියන් මෙරටට පැමිණි විගස දේවානම්පියතිස්ස රජතුමා සමඟ දාර්ශනික සංවාදයක යෙදුණු බව අපි දනිමු. රජතුමාගේ බුද්ධි මහිමය තේරුම් ගත් පසු උන්වහන්සේ විසින් රජුට දෙසිය යුතු පළමු දේශනය සඳහා තථාගත දේශනා අතර මජ්ක්‍ධිම නිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. මිහිඳු මාහිමියන්ගේ අභිප්‍රාය වූයේ කිසියම් ජන කොටසක් ආගමට හරවා ගැනීම නොව තථාගත ධර්මයේ ආස්වාදය පතුරුවා හැරීමයි. ඒ සඳහා රජතුමාට මෙන්ම රජ පෙළපත හා බැඳුණු සෙසු ජනයාට බුද්ධ දේශනාව සම්බන්ධයෙන් බුද්ධිමය අවදියක් තිබිය යුතු බව උන්වහන්සේ මැනවින් දැන සිටියහ. ඓතිහාසික වාර්තා අනුව චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව ඇසීමෙන් පසු දේවානම් පියතිස්ස රජ ඇතුලු රජ පවුලේ සියලු දෙන තෙරුවන් සරණ ගිය බවත්, ඇතැම් අය සෝවාන් ඵලයට පවා පත් වූ බවත් සඳහන් වේ.


චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව

චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තරමක් කුඩා සූත්‍රයකි. හත්ථි - පද - උපම යන පද තුන එකතු වී එම පාලි වචනය සෑදී ඇත. ඇතෙකුගේ පා පියවර උපමා කොට මෙම සූත්‍රය දෙසා ඇත. එහි පිලෝතික හා ජාණුස්සොණි යන බෞද්ධ නොවන බ්‍රාහ්මණ තරුණයන් දෙදෙනෙකු අතර සිදුවන සාකච්ඡාවක් වේ.
පිලෝතික බුදු දහම වළඳගත් පුද්ගලයෙකු නොවුණ ද බෞද්ධ දර්ශනයේ වටිනාකම හා එහි අනුගාමිකයන් ගැන දැඩි ප්‍රසාදයකින් සිටි කෙනෙකි. ඔහු දිනක් ඒ බව ජාණුස්සෝණි නම් තම මිතුරාට ප්‍රකාශ කළේ ය. එය අසා සිටි ජාණුස්සෝණි බුදුරදුන්ගේ ප්‍රඥාව හා වියත්බව වැඩි උනන්දුවකින් විමසී ය.
බුදුරදුන්ගේ ප්‍රඥාව හා වියත් බවට සමකළ හැකි තත්වයක සිටින කිසිවෙක් දෙවියන් සහිත ලෝකයේ නොමැති බවත්, එම ප්‍රඥාව පැසසීමට තමාට වචන නැති බවත් එහිදී පිලෝතික පවසයි. ඔබ එතරම් පැහැදුණේ කොහොම ද? ජාණුස්සෝණි ප්‍රශ්න කරයි. එවිට පිලෝතික මෙසේ පිළිතුරු දෙයි.
යම් සේ ඇතුන් වසන වනයක සිටින පුරුෂයෙක් දිගින් පළලින් මහතින් යුතු ඇත් පා සලකුණක් දැක, මේ විශාල හස්තියෙකැයි නිගමනය කරන්නාක් මෙන් මම ද බුදුරදුන්ගේ ඤාණපද හතරක් දැක උන්වහන්සේ සම්‍යක් සම්බුද්ධ බව, උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත බව, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා නියම මාර්ගයට නිසි පරිදි පිළිපන් පිරිසක් බව දැනගතිමි යැයි කී ය.
සියුම් බුද්ධි ඇති තාර්කික ඇතැම් ක්ෂත්‍රියයෝ උන්වහන්සේ සමඟ තර්ක කිරීමට ප්‍රශ්න සකසාගෙන පැමිණ උන්වහන්සේගෙන් ධර්මය අසා පැහැදී ප්‍රශ්න නො විමසාම ශ්‍රාවකයන් බවට පැමිණීම ඉන් පළමු වැන්නයි.
දෙවැන්න එබඳුම මහත් බුද්ධි ඇති බමුණු පඩිවරු වාද කිරීමට පැමිණ ප්‍රශ්න නො අසා නිහඬව ම උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වීමයි. ඇතැම් ගෘහපති පඬිවරු ද එසේම ශ්‍රාවකයන් බවට පත්වීම තෙවැන්න වන අතර සිවුවැන්න වන්නේ ඇතැම් ශ්‍රමණ පඬිවරු ද මෙසේම බුදුරදුන්ගේ දේශනාවෙන් ඉමහත් උත්තේජනයට පත්ව ශ්‍රාවක භාවය ලැබීමයි. මෙම පියවර හතර දැක මම මෙසේ බුදුරදුන්ගේ ප්‍රඥාව ගැන පැහැදුනෙමියි පිලෝතික කී ය.
මෙයින් අතිශය ප්‍රසාදයට පත් ඔවුහු බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමන් දෙදෙනා අතර සිදු වූ සංවාදය හෙළි කළහ. මෙ පමණකින් ඇත් පද උපමාව සම්පූර්ණ නොවේ යැයි වදාළ බුදුන් වහන්සේ සීල සමාධි ප්‍රඥාවන් අනුක්‍රමයෙන් පිරිසිදු කොට, ආධ්‍යාත්මික ජීවිතයක් ලබා ගන්නා අයුරුත්, චතුරාර්ය සත්‍ය පසක් කර ගන්නා ආකාරයත් ඔවුනට පැහැදිලි කොට, එසේ කිරීමෙන් හත්ථි පද උපමාව සම්පූර්ණ වන බව වදාරති. අවසානයේ ඔවුහු දිවි ඇති තෙක් බුදුන් සරණ යන බව සතුටින් ප්‍රකාශ කරති.
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු දිනයෙහි ම කළ මෙම දේශනාව අසා හතළිස් දහසක් දෙනා සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වේ. මෙසේ ශ්‍රී ලංකාවේ ශාසන ප්‍රතිෂ්ඨාව සිදු වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් සහිත ශ්‍රී ලාංකික ජනයාගේ දායකත්වයක් සහිතව ය. මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේ නෙත් විවර වීමක් ද මෙදින සිදුවිය. ඒ එදින පැවිදි කරන ලද භණ්ඩුක සාමණේරයන් වහන්සේ අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගිට මුළු දිවයිනටම ඇසෙන සේ ධර්ම ශ්‍රවණය සඳහා දේවාරාධනයක් කළ බැවිනි. මිහ¼ිදු මහරහතන් වහන්සේ එදින පැමිණි දෙවියන්ට සමචිත්තපරියාය නම් සූත්‍ර දේශනාව කළහ.

සමචිත්තපරියාය සූත්‍ර දේශනාව

මෙම සූත්‍රය පුද්ගල අධ්‍යාත්මයේ පවතින සංයෝජන හා බාහිර සංයෝජන අරබයා බුදුරදුන් විසින් සැරියුත් හිමියන්ටත්, සැරියුත් තෙරුන් විසින් භික්ෂූන්ටත් දේශිත සූත්‍රයකි.
සැරියුත් තෙරුන් පිරිනිවන් පෑමට ආසන්න ව දෙසූ මෙම සූත්‍ර දේශනාව ඇසීමට දෙවි දේවතාවන් ගිණිය නොහැකි තරම් විශාල සංඛ්‍යාවක් පැමිණි බව සඳහන් වේ. මිහිදු මාහිමියන් මෙම සූත්‍රය දෙවියන්ට දෙසීමේ පසුබිම බුද්ධිය පමණක් නොව ශ්‍රද්ධාව හා භක්තිය ද සහිත ව බුදුදහම දෙස බලන පුද්ගලයෙකුට තේරුම් ගැනීම අපහසු නැත. සමචිත්තපරියාය සූත්‍ර දේශනාව ධ්‍යාන, විදර්ශනා, මාර්ග ඵල හා නිර්වාණය ලබා ගන්නා ආකාරය විස්තර කෙරෙන ගැඹුරු ධර්ම පර්යායකි. සය ආකාරයකින් විදර්ශනා භාවනාව වඩන ආකාරය මෙහි විස්තර වේ.
ප්‍රධාන වශයෙන් මෙහි සාකච්ඡා වන කරුණු අතර, ආධ්‍යාත්මික සංයෝජන යන්නෙන් අදහස් වන්නේ කාම භවයෙහි බැඳීමයි. බාහිර සංයෝජන යනු රූප අරූප භවයන්හි බැඳීමයි. සත්ත්වයා කාම භවයෙහි මෙන්ම, රූපාරූප භවයන්හි ගෙවන ආත්මවල ස්වභාවය පිළිබඳ ගැඹුරු දේශනාවක් මෙහි අන්තර්ගත වේ.
මෙම සූත්‍ර දේශනාවසානයෙහි ධර්මාභිසමය ලද දෙවියන්ගේ සංඛ්‍යාව නියමයක් නැති අතර අසංඛ්‍ය වූ නාග සුපර්ණයෝ සරණ ශීලයෙහි පිහිටියහ. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිට වූ දිනයේ සිට දෙවියන්ගේ ආරක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට මෙය ඓතිහාසික වූත්, ප්‍රමාණවත් වූත් කරුණකි.

ප්‍රේත වස්තු හා විමාන වස්තු දේශනා

මිහිදු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් දෙවන දිනයෙහි දෙවනපෑතිස් නරනිදුන් විසින් පිරිනැමූ දානයෙන් පසු පේතවත්ථු විමානවත්ථු හා සච්චසංයුක්ත දේශනා කළහ. ප්‍රේතවස්තු යනු මිනිස් ලොව සිටිය දී අකුසල කර්ම කළ ස්ත්‍රී පුරුෂයන් ප්‍රේතයන් හා ප්‍රේතියන් වී දුක් විඳීන අයුරු පෙන්වා දෙන දේශනාවන් ය.
මුගලන් මහරහතන් වහන්සේ එම ලෝකවලට ඍද්ධියෙන් වැඩම කොට ඔවුන් සමඟ කතා බස් කොට යළි මිනිස් ලොවට වැඩම කොට ඒවා මිනිසුන්ට වදාරණ ලද්දේ මිනිසුන් අකුසලයෙන් වැළැක්වීම පිණිස ය. මෙම කථා වස්තු ඇතුළත් ග්‍රන්ථය ප්‍රේත වස්තුව නමින් ත්‍රිපිටකයෙහි දක්නට ලැබේ. එසේම උන්වහන්සේ දිව්‍ය විමානවලට ගොස් දෙවියන් හා දෙවඟනන් එම සම්පත් අනුභව කරන්නේ කුමන පින්කමකින් දැයි ඔවුන්ගෙන් අසා දැනගෙන මිනිස් ලොවට දේශනා කරන ලද්දේ එකී මිනිසුන් කුසලයෙහි පිහිටුවීම සඳහා ය. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේ මෙම දේශනාවන් මෙහි දී දේශනා කරන ලද්දේ මෙරට වැසියා අයහපත් ක්‍රියාවලින් වළකා ගැනීමටත්, ඔවුනට යහපත් ආචාර ධර්ම පුරුදු පුහුණු කිරීමටත් බව ඉතා පැහැදිලි ය. අකුසලයෙන් ඈත්විය යුත්තේ කවර හේතුවක් නිසා ද? කුසල් කිරීමෙන් සාංසාරික ව ලැබිය හැකි සැප විපාක මොනවාද, සතුටින් සොම්නසින් මෙලොව මෙන් ම, පරලොව ගත කළ හැකි උපාය මාර්ගය කුමක් ද යන්න මෙම දේශනාව මගින් උන්වහන්සේ සිංහල ජනයාට පහදා දුන්හ. මෙම දේශනාව අවසානයෙහි විශේෂයෙන් කාන්තාවෝ පන්සීයක් සෝවාන් ඵලයෙහි පිහිටි බව මහාවංසය හා සමන්තාපාසාදිකා වනි ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වේ.

සච්චසංයුත්ත සූත්‍ර දේශනාව

මිහිදු මාහිමියන් දෙවන දිනයෙහි දෙසූ සච්චසංයුත්ත දේශනාව කුඩා සූත්‍ර රාශියක එකතුවකි. සංයුත්ත නිකාය නම් ග්‍රන්ථයේ එම සූත්‍ර දක්නා ලැබේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත විවිධ වූ හා, ගැඹුරු වූ දහම් කරුණු රැසක් මෙහි දක්නට ලැබුණ ද එහි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ආර්ය සත්‍යය නොයෙක් ආකාරයෙන් ධර්මානුකූල ව විස්තර කිරීමකි.
සංසාරය අතිශය බිහිසුණු බවත්, එහෙයින් ම සත්ත්වයා අසීමිත දුක්ඛ වේදනාවන්ට පාත්‍ර වන බවත් පෙන්වා දෙන මෙම සූත්‍ර අවධාරණය කරනුයේ සාංසාරික අත්දැකීම් සියල්ල දුක් බව හා ඒවා දුක් වශයෙන් තේරුම් ගෙන එය අභ්‍යාසයක් වශයෙන් නිතර නිතර භාවනාවක් වශයෙන් වැඩිය යුතු බවයි.
මිහිඳු මහ රහතන් වහන්සේ මෙම දේශනාව පහදා දීමෙන් අපේක්ෂා කරන්නට ඇත්තේ මෙම දිවයිනෙහි වැසියන්ට හරවත් ජීවන රටාවක් හඳුන්වා දීම විය යුතු ය. සැප ලැබිය හැක්කේ දුකෙහි දුක්වීමෙන් නොව, දුක දුකක් වශයෙන් තේරුම් ගෙන අකම්ප්‍යව කටයුතු කිරීමෙනි.

දේවදූත සූත්‍ර දේශනාව

මිස්සක පර්වතයට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ ඇසින් දුටු ජනයා තැන් තැන්වල උන්වහන්සේගේ ගුණ කී ය. එබැව් අසා මහත් ජන ගංගාවක් රජ මිදුලට රැස්විය. එයින් ඇති වූ කලබැගෑණියත්, සියලු දෙනාට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමත් නිසා දෙවනපෑතිස් රජතුමා ඇත්හල පිළිසකර කොට සරසවා එහි මඟුලැතු සිටින ස්ථානයෙහි තෙරුන්ට අසුනක් පැනවී ය.
මිහිඳු මහරහතන් වහන්සේ එහි රැස්ව සිටි පිරිසට පව් කළවුන්ට මරණයෙන් පසු හිමිවන දරුණු දුක් වේදනාවන් ගැන කියැවෙන දේවදූත සූත්‍ර දේශනාව කළහ. කයින්, වචනයෙන්, මනසින් දුසිරිත් කොට මිසදිටු ව ආර්යයන්ට උපවාද කළාහු මරණින් මතු නිරයේ උපදිති. එහිදී යමපල්ලෝ ඔවුන් යමරජු වෙත ගෙන දක්වති. යමරජු ළදරු ව මළ මූත්‍ර ගොඩෙහි උඩුකුරුව සිටීම, ලෙඩවීම, ඉඳුරන් දිරා යාමෙන් මහලුවීම, මරණයට පත්වීම යනාදී වශයෙන් තොප වෙත පැමිණි දේවදූතයන් නො දැක්කෙහු දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරති. නො දුටුවෙමි ස්වාමීනී'යි පැවසූ කල්හී ඉපදීම, ලෙඩවීම, ජරාව හා මරණය ස්වභාව කොට සිටියදී ප්‍රමාදය හේතුවෙන් ඒවා තේරුම් නොගෙන දුසිරිත්කම් කිරීම තොපගේ මව්පිය ඥාති ආදි අන් කිසිවෙකු විසින් කරන ලද ඒවා නොවන බවත්, තොප විසින්ම කළ ඒවා බවත් පවසා එහි විපාක විඳීව් යැයි ඔවුන්ට සිතීමට පවා නොහැකි තරමේ දරුණු වධ හිංසා පමුණුවති.
එයින් ඔවුහු මහත් දුක් විඳීති. මෙය මිනිසුන් වන අපට සාංසාරික ව මුහුණ පෑමට සිදුවන තත්වයක් බව සූත්‍රයේ දක්වයි. මෙම සූත්‍රය ප්‍රබන්ධ කථාවක ලක්ෂණ පෙන්නුව ද ගැඹරු දර්ශනයක් හා ආචාර විද්‍යාත්මක වැදගත්කමක් සහිත සූත්‍රයකි.
මිහිඳු මහරහතන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කිරීමෙන් සිංහල ජනයාට අපූරු ජීවිත ගැඹුරක් ප්‍රකට විය. එයින් හටගත් සමුත්තේජනය හේතුවෙන් බණ ඇසීමට පැමිණි පිරිස ශීඝ්‍රයෙන් වැඩිවිය. එනිසාම ඇත් හළෙහි අවකාශ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අසල පිහිටි නන්දන උයනෙහි තෙරුන්ට අසුන් පැනවීමට රජතුමාට සිදුවිය. තෙරණුවෝ එහිදී ආසිවිසෝපම සූත්‍ර දේශනාව පැවැත්වූහ.

ආසිවිසෝපම සූත්‍ර දේශනාව

අප පරිහරණය කරන ශරීරයේ සංයුතියක් වන සතර මහාභූත දරුණු විස ඇති නාගයන් සිවු දෙනෙකුටත්, පඤ්චස්කන්ධය දරුණු වධකයන් පස් දෙනෙකුටත්, අපගේ තෘෂ්ණෘව ඇතුළත සැරිසරන වධකයෙකුටත් ආදී වශයෙන් සම කොට මෙහි ආලය දුරුකොට කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝයන් තරණය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්නා ආකාරය මෙම සූත්‍රයේ පෙන්වා දෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ මෙම සූත්‍රය අසා දහසක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. උන්වහන්සේ දිවයිනට පැමිණි මෙම දෙවන දිනය සවස් භාගය වන විට දෙදහස් පන්සියයක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. කෙසේ වෙතත් දවස ගෙවී යනු කිසිවෙකුට නො දැනුණි. තෙරුන් වහන්සේ දැන් සවස් වී ඇතැයි මිස්සක පර්වතයට වඩිනු පිණිස සූදානම් විය. රජතුමා බුහුමන් සහිත ව ඒ අසල තිබූ මහමෙවුනා උයන ආවාසයක් වේවායි සඟුනට පූජා කළේ ය. එහි එදින වැඩ විසූ තෙරුන් වහන්සේ පසුදින රජ මැඳුරෙහි දානය වළඳා, නන්දන වනයෙහි දී අනමතග්ගිය සූත්‍ර දේශනා කළහ.

අනමතග්ගිය සූත්‍ර දේශනා

සංයුක්ත නිකාය නම් ත්‍රිපිටක ග්‍රන්ථයෙහි අනමතග්ගිය සංයුක්තය නමින් වෙනම කොටසක් ඇත. එහි සූත්‍ර රාශියක් වේ. එම සූත්‍ර සියල්ලෙහි ම පැවසෙන්නේ අක් මුල් නැති සංසාරය පිළිබඳව ය. මහණෙනි, මේ සංසාරය අනවරාග්‍රය. මුලක් අගක් නො දත හැක්කේ ය. යැයි තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ කරුණ මෙහි නොයෙක් ආකාරයෙන් විස්තර වේ. සංසාරය කෙතරම් දීර්ඝ කාලයක් ද යන්න පැහැදිලි කිරීමට මෙහි සූත්‍ර රාශියක උපමා දක්වා ඇත. සංසාරයෙහි සැරිසරන කල්හි කෙනෙකු පානය කරන මව් කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව එක් සූත්‍රයක් දක්වා තිබීම ඉන් එක් නිදසුනකි. මෙතරම් දිගු සංසාරයෙහි අපට අත් විඳීමට සිදුවන දුක් කන්දරාව කොපමණ දැයි මෙම සූත්‍රවලින් සිතා ගත හැකි ය. සැබැවින්ම සංසාරයෙහි සැරිසැරීම දුකක් මිස සැපක් නොවේ. එහි ලැබිය හැකි ආස්වාදය අල්ප ය. දුක් වේදනා අනල්ප ය.

අග්ගික්ඛන්ධොපම සූත්‍ර දේශනාව

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ පළමු සතියෙහි සයවන දිනයෙහි දේශනා කරන ලද්දේ අග්ගික්ඛන්ධොපම සූත්‍රයයි. මෙම සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ මහත් ගිනි කඳක් පෙන්වා දුසිරිත් කරමින්, දුසිල් ව, පාපී ලෙස හා මිච්ඡා ආජීවයෙන් යුතුව ලෞකික කාම සම්පත් පරිභෝජනය කරමින් ජීවත් වීමට වඩා එම ගිනි කඳ වැළඳගෙන මියයාම උතුම් බව වදාරති. මිහිදු මහරහතන් වහන්සේ රට පාලනය කරන්නන්ටත්, රට වැසියාටත් මෙම සූත්‍රය දේශනා කිරීමේ අරමුණ වන්නට ඇත්තේ හොරකම, වංචාව, අල්ලස වැනි පාප ධර්ම කෙරෙන් තොර හා අව්‍යාජ මානව දයාවෙන් යුතු සංස්කෘතියක් සැකසීමට විය යුතු ය. අනෙක් අතින් ආත්මීය පිරිසිදු බව තුළින් ඇතිවන සතුට මිනිස් ප්‍රජාව වෙත ළඟා කරවීම සඳහා විය යුතු ය. මෙම සූත්‍ර දේශනාවත් සමඟ සෝවාන් ඵලයට පත් උතුමන්ගේ සංඛ්‍යාව අට දහස් පන්සීයයක් විය.

අප්පමාද සූත්‍ර දේශනාව

සත්වන දිනයෙහි රජුගේ අන්තඞපුර බිසොවුන්ට අප්‍රමාද සූත්‍ර දේශනාව අවවාද කළහ. අප්‍රමාදය යනු පමා වීම නොවේ. සතියෙන් හෙවත් සිහියෙන් කටයුතු කිරීමයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව සමස්ත බුදු දහම ම මෙම පදයට ඇතුළත් වේ. එතරම් වැදගත්කමක් එහි පවතී. අප්‍රමාදී ව සිහි නුවණින් යුතුව කටයුතු කිරීම සෑම පුද්ගලයෙකුගේ ලෞකික හා ලෝකෝත්තර ජයග්‍රහණයේ සැබෑ රහසයි. මෙම සූත්‍රයෙන් ඔවුනට අවවාද කළ මිහිදු මහරහතන් වහන්සේ සෑගිරියට වැඩම කළහ.
මෙම සූත්‍ර කිහිපයේ අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඉතා විධිමත් සැලසුමකින් යුතුව මෙරට ජනයාගේ සංස්කෘතිය, ජීවිතාවබෝධය හා සංස්කෘතික හැසිරීම සමස්ත ලෝකයටම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් දමා ඇති බවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

Poson Poya පොසොන් පොහෝය

අසිරිමත් වෙසක් පොහොය


ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. එයට එක් හේතුවක් වූයේ බුද්ධත්වයට පත් වූ උතුමාණන් වෙසක් පුන් පොහෝ දිනක උපත ලැබීම යි. කිඹුල්වත් නුවර එවකට පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ දේවිය වූ මහාමායා අගබිසවගේ කුසෙහි බෝසතුන් පිරිසිඳ ගැනීමෙන් දස මසක් සම්පූර්ණ වීමත් සමග එතුමියට තම මවුපියන් විසූ දෙව්දහ නුවරට යාමට සිත් විය. ඒ අනුව සැරසූ මගින් අමාත්‍යවරුන් ප්‍රධාන සපිරිවරින් ගමන ඇරඹුනි. මල් බරින් සපිරුණු ලුම්බිණි නම් සාල වනෝද්‍යානය හමු වූයෙන් එහි සල් අත්තක් අල්ලාගෙන සිටිය දී මහාමායා දේවියගේ කුසින් ධර්මාසනයකින් බස්නා මහා ධර්ම කථිකයාණන් කෙනෙකු මෙන් බෝසතාණෝ බිහි වූහ.

මහත් වූ ආශ්චර්යය ජනක සිදුවීම් මුළු ලොවෙහිම සිදු වෙත් දී බිමට පා තැබූ බෝසතාණෝ පොළොවෙන් පැන නැගුණ පියුම් හතක් මත සත් පියවරක් ගමන් කරමින් “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීම යි. නැවත ඉපදීමක් නැත” යනුවෙන් සිංහ නාද කළහ.

අප මහබෝසතාණෝ උපතත් සමග කතා කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මහෞෂධ අත්බැව් හි දී සක් දෙවිඳුන් විසින් දුන් සඳුන් ගැටය අත තබාගෙන බිහි විය. සුමනා නම් මව “දරුව අතේ කුමක් ගෙන ආයේ ද?” යි ඇසූ කල්හි “බෙහෙතක් ගෙන ආයෙමි” යි දුන් පිළිතුර උපතත් සමග බෝසතුන් කළ පළමු ප්‍රකාශය යි. වෙස්සන්තර ආත්ම භාවයේ දී මවුකුසින් බිහිවෙමින් දකුණත දිගු කොට “මෑණියනි, දන් දීමට ගෙයි කිසිවක් ඇත්දැයි” කළ විමසීම දෙවන අවස්ථාව යි. බුදුවන ආත්මයේ දී ඉහත කී අන්දමට “අග්ගො හමස්මි....” ආදී වශයෙන් කළ ප්‍රකාශය තුන්වන අවස්ථාව යි.

අනාගතයේ බුද්ධත්වයට පත්ව මුළු ලොවටම අර්ථ සිද්ධිය සලසන බව උගත් බමුණන්ගෙන් දැනගත් සුද්ධෝදන රජතුමා බෝසත් පුතණුවන්ට ‘සිද්ධාර්ථ’ යනුවෙන් නම් තැබීය. මැනවින් හැදුනු වැඩුනු සිද්ධාර්ථ බෝසතුන් ශිල්ප ශාස්ත්‍ර උසස් සේ හදාරා සොළොස්වන වියේ දී යසෝධරා නම් රජ කුමරිය සරණපාවා ගත්තේය. විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක රාහුල නම් පුතණුවන් උපන් ඇසළ පෝදා මධ්‍යම රාත්‍රියේ දී නිවන් අවබෝධ කර ගැනීමේ අදිටනින් මහභිනික්මණෙහි යෙදුනි. සය අවුරුද්දක් මුලුල්ලෙහි යෙදුනු දැඩි දුෂ්කර ක්‍රියා මෙගහි නිෂ්ප්‍රයෝජනත්වය වටහා ගත් සිද්ධාර්ථ තවුසාණන් ඒ මග අත්හැර මධ්‍යම ප්‍රතිපදාව තුළින් තම අරමුණ සාර්ථක කර ගත යුතු යැ යි තීරණයට එළඹුණි.

වෙසක් පුන් පෝදාක අලුයම අජපල් නම් නුගරුක මුල දී සුජාතා සිටුදුව පිළිගැන්වූ කිරිපිඬු වළඳා සවස් භාගයෙහි සොත්ථිය බමුණා විසින් දෙන ලද කුස තණ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පාමුල අතුරා නැ‍ෙගනහිරට වැඩ සිට බුදුබව ලැබීමේ ප්‍රතිපදාවට සිත් යොමු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුහත් බෝසතාණෝ වෙසක් පුන් පෝදා රාත්‍රි පශ්චිම යාමයෙහි දී සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූහ.

බුද්ධත්වයට පත්වීම හදිසියේ වූ සාමාන්‍ය සිදුවීමක් නොවේ. ඒ සඳහා උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පිරූහ. සුමේධ තාපසව උපන් අවධියේ දී අපරිමිත රහතුන් පිරිවරාගෙන වැඩම වූ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයෙහි මහ මඩෙහි ඒදණ්ඩක් මෙන් වැතිර සිටි අවස්ථාවෙහි අනාගතයෙහි ‘ගෞතම’ නමින් බුදු වන බවට නියත විවරණ ලැබීමත් සමග බෝසතාණන්ගේ කරුණා හා ප්‍රඥා ගුණය වඩාත් වර්ධනය වන්නට විය. බුද්ධ කාරක ධර්මයන් වූ දස පාරමී ධර්මයන් නොඅඩුව සම්පූර්ණ කිරීමට උපන් සෑම ආත්මයක් පාසාම ආශ්චර්යය ලෙස ක්‍රියාත්මක විය. මහ සයුරේ ජලයට වඩා අනුන්ගේ යහපත සඳහා ලේ දන් දෙමින් ද, මහ පොළොවේ පස්වලට වඩා අනුන්ගේ යහපත සඳහා ශරීර මාංස පරිත්‍යාග කරමින් ද, අහසේ තාරකාවන්ට වඩා තම ඇස් පරිත්‍යාග කරමින් ද ප්‍රකට කළ අසම වූ ගුණයන් නිසා උතුම් වූ සම්බුද්ධත්වය ලබා ගැනීමට හැකිවිය.

එදා වෙසක් පුන් පෝදා බුද්ධත්වයට පත්වීමත් සමග තම සිත්හි පහළ වූ අසීමිත පී‍්‍රතිය ප්‍රකට කෙරෙමින් “අනෙක ජාති සංසාරං...” යන උදාන ගාථාව ප්‍රකාශ කළ බව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. සම්බුදු රදුන්ගේ මුවින් නිකුත් වූ ඒ ප්‍රථම බුද්ධ වචනය යි ධම්මපද අටුවාව ඇතුළු ස්ථාන කිහිපයක සඳහන් වේ. එහෙත් අභිධර්ම අටුවාව සහ තවත් ස්ථාන කිහිපයකම ප්‍රථම බුද්ධ වචනය වශයෙන් පළමුවන සතිය ගතකරද්දී දේශිත “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදි ගාථාව සඳහන් වෙයි. මෙය එකිනෙකට විරුද්ධ මත දෙකක් වශයෙන් පෙනුනත් එසේ නොවේ. “අනෙක ජාති සංසාරං...” යන ගාථාව බුද්ධත්වයට පත්වීමත් සමග මුලින්ම උන්වහන්සේගේ සිතේ පහළ වූ අදහසකි’ “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදී ගාථාව වාග් භේදයෙන් කළ ප්‍රථම දේශනාව වශයෙන් ගත්විට කිසිදු ගැටලුවක් නොවේ.

ලෝ සතුන් වෙත අපරිමිත කරුණාවකින් යුතුව දවසේ දෙපැයක් පමණ හැර මුළු කාලයම කැප කරමින් සම්බුදු රදුන් සිදුකළ මහඟු සේවය මෙපමණ යැයි දැක්වීම අපහසු ය. කෝටි සංඛ්‍යාත සත්ත්වයන් සසර සයුරෙන් එතෙර කිරීමටත්, උසස් ගුණ දහමින් සම්පූර්ණව අගනා ජීවිත ගත කිරීමට මග සැලසීම උදෙසා උන්වහන්සේගේ තම කාලය කැප කළහ. සම්බුදු රදුන් බුද්ධත්වයෙන් පන්සාළිස්වස බේලුව ගමෙහි ගතකොට අනතුරුව චාපාල චේතියස්ථානය වෙත සංඝරත්නයත් සමග වැඩම කළහ. එහිදී අනඳ තෙරුන් ඇමතු බුදුහු සතර ඍද්ධිපාද ධර්මයන් යහපත් කොට වඩවන්නහුට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ සිටිය හැකිය යි වදාළහ. මාරයා විසින් සිත සසල කිරීම නිසා කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ආරාධනා කිරීමට උන්වහන්සේට නොහැකි විය. අනඳ හිමියන් මද වේලාවකින් බුදුරදුන්ගෙන් අවසර ගෙන ඉවත්ව යාමත් සමඟ එහි පැමිණි මාරයා දැන් සියලු බුද්ධ කෘත්‍යයන් නිමකොට ඇති හෙයින් පිරිනිවන්පාන්න යි අයැද සිටියේ ය. එම ආරාධනය පිළිගත් බුදුහු මෙයින් තෙමසක් ඇවෑමෙන් පිරිනිවන්පාන බවට ප්‍රතිඥා දුන්හ. මෙසේ ආයුසංස්කාරය කිරීමත් සමග මුළු ලෝක ධාතුවම මහත් සේ සැලෙන්නට වූ බව ධර්ම ග්‍රන්ථ පෙන්වා දෙයි.

අසූ වසරක් වැඩ සිටිමින් දුකට පත් සත්ත්වයන් සුවපත් කරමින් ද අමාමහ නිවන් සුවය ලබා දෙමින් ද කටයුතු කළ සම්බුදු පියාණෝ ගම් නියම්ගම් පසු කරමින් කුසිනාරා නුවරට වැඩමවා මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ උයනෙහි සාල වෘක්ෂයන් අතරෙහි උතුරට හිස දා අනඳ හිමියන් පැන වූ අස්නෙහි වැඩ සිටියහ. අවසානයෙහි භික්ෂූන් අමතා “අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් අන්තිම බුදු වදනින් අවවාද දී අපමණ දෙවි – බඹුන්ගේ වන්දන මානයට ලක්ව මෙයට පෙර දෙදහස් පන්සිය පනස් අටවැන්නේ වෙසක් පුන් පෝදා පිරිනිවන් පා වදාළහ. ‘බුදු තෙමගුල’ යනුවෙන් අප නිතර ව්‍යවහාර කරන අදහසට අනුව සම්බුදු රදුන්ගේ පිරිනිවන්පෑම මංගල්‍යයක්සේ සුබ වශයෙන් ගැනීම සුදුසු දැයි සමහරු විමසති. එය උතුම් මංගල්‍යයක් වන්නේ අනාදිමත් කාලයක සිට ඉපදීමත් සමගම ජරා - ව්‍යාධි ආදී අපමණ දුක්වලින් පෙළීම සම්පූර්ණයෙන් නැති කොට සදාකාලික සැපත වූ නිවන්සුව සලසා ගත් හෙයිනි.

සම්බුදු රදුන් පිරිනිවන් පෑමට මද වේලාවකට පෙර වැදගත් සිදුවීමක් විය. එනම් වංශ කතා සාහිත්‍යය සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකා රාජාවලියෙහි ආරම්භක පාලකයා වූ විජය කුමාරයා සත් සියයක් පිරිස සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ තම්මැන්නාව ප්‍රදේශයට ගොඩබැසීමයි. අවසාන වරට දිවැස් යොමා ලොව බැලූ බුදුහු පැමිණි ඒ පිරිස දැක ඔවුනට ආරක්ෂාව සලසන මෙන් සක් දෙවිඳුන්ට නියම කළහ. ඒ අනුව තවුස් වෙසින් පැමිණි උපුල්වන් දෙවියන් මෙරට ජීවත් වූ තරමක් දරුණු වූ, යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් විය හැකි විපත් වළකාලීම පිණිස විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැට ගසා ආරක්ෂාව ලබාදෙන ලද්දේ සක් දෙවිඳුන්ගේ නියමය පරිදි බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.
සිරිලක රාජ නාමාවලියෙහි ආර්ය වංශික ප්‍රථම පාලකයා වශයෙන් දැක්වෙන්නේ මේ විජය රාජ කුමාරයා ය. මේ සමගම ඇති වැදගත් සිදුවීම අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. එනම් අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. ආර්ය වංශික විජය රජතුමාගේ සම්ප්‍රාප්තියත් එදිනම සිදු වූ හෙයින් වර්ෂය ද ඒ සමග ඇරඹෙයි. එසේ නම් මුළු ලෝකයේ කිසිදු ජාතියකට නැති අන්දමට ශ්‍රී ලාංකිකයාට ආගමික වර්ෂයත්, ජාතික වර්ෂයත් එක් දිනයක යෙදීම මහත් වාසනාවකි.

සුද්ධෝදන පිය රජතුමාගේ ආරාධනයෙන් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන සම්බුදු රදුන් රජගහ නුවර සිට කිඹුල්වත් පුරයට වැඩම වූයේ වෙසක් පොහොය දිනක ය. එසේම බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව හතළිස් වසරක් වැඩසිටි ආනන්ද මහ රහතන් වහන්සේ එකසිය විසිවන වියේ දී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පොහෝ දිනක ය. ලංකා ඉතිහාසය පිළිබඳ විමසන විට අශෝක රජතුමාගේ ඉල්ලීම පරිදි සිරිලක පාලනය කළ දෙවන පෑතිස් රජතුමා දෙවන වරට ආර්ය අභිෂේකය පැවැත්වීම, දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම, අභාවයට පත් වූ ලාංකික උපසම්පදාව නැවත වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ මූලිකත්වයෙන් ‘ස්‍යාම වංශික උපසම්පදාව’ නමින් ආරම්භ කිරීම වැනි සුවිශේෂි සිදුවීම් රාශියක් ම වෙසක් පුන් පෝ දිනයක සිදුවීම ඓතිහාසික අතින් වැදගත් වෙයි.

ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනාධිපති
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.