සදහම් අමා ගඟ ගලාගිය ඇසළ පුන් පොහොය


අසිරිමත් බුදු සිරිතේ සහ ශාසනික ඉතිහාසයේ සිද්ධීන් රැසක් දැක්වෙන දිනයකි ඇසළ පොහොය.

අප මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත ව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු මෙලොවට බිහිවීම, බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැක ගිහිගෙය ගැන කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම බුදුරජාණන් වහන්සේ මුල්වරට වස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කිරීම, උපසම්පදා භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වීම, බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක මුල යමක මහා ප්‍රාතිහාර්යය දැක්වීම, මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්ම දේශනාව පැවැත්වීම ඇරැඹීම, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම පිණිස වස් සමාදන් වීම සහ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට වැදගත් වන්නා වූ සිදුවීම් රැසක්ද ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. ඒ අතර මහා විහාර සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමා සම්මතය, අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදිව උපසම්පදා ලැබීම , මහරහතන් වහන්සේලා හැට දෙනමක් මුල්වරට ලංකාවේ වස් වැසීම, දුටුගැමුණු මහරජ රුවන්වැලි සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම, එම සෑයෙහි ධාතු නිධානය කිරීම, දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරනු ලබන ඇසළ පෙරහර පැවැත්වීම වැනි සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සමඟ බැඳී ඇති ආකාරය සඳහන් කළ හැකිය.

බුද්ධ චරිතයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝදා සිදුවී තිබේ. බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ තුසිත ලොව සන්තුසිත නම් දිව්‍ය රාජ්‍යයෙහි උපන් කල්හි විවිධ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ ආරාධිත පිළිගෙන මිනිස් ලොව ඉපදීමට පස්මහ බැලුම් බලා අවසානයේ දී සුද්ධෝදන මහ රජුගේ අගමෙහෙසිය වූ මහමායා දේවිය කුස පිළිසිඳ ගත් සේක. ඒ උතුම් ඇසළ පුන් පොහෝ දිනක ය. ඉන් අනතුරුව සිප් සතර හදාරා නිසි කලට විවාහ ප්‍රාප්තව යශෝධරාව නිසා උපන් රාහුල කුමරු තම පැවිද්දට බාධාවක් යැයි සිතා සතර පෙර නිමිති දැක ගිහිගේ පිළිබඳ කළකිරී මහා අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක ය. එදින උන්වහන්සේ තවුස් පිරිකර හැඳ පොරවා පෙර බුදුවරුන් සිහිකොට ආජීව අෂ්ටමක ශීලය සමාදන් වී තවුස් පැවිද්දෙන් පැවිදි බවට පත්වූ සේක.

මෙසේ තාපස වේශයෙන් උපතත් මරණයත් දුරු කරන මාර්ගය සොයා යමින් උන්වහන්සේ අවසානයේ දී බුද්ධගයාවේ දී සම්මා සම්බුද්ධත්වයට පත් ව මුල් දම් දෙසුම පැවැත්විය යුත්තේ කාටදැයි කල්පනා කරන සේක. පස්වග තවුසන්ගේ හේතු සම්පත්තිය දැක බුද්ධත්වයෙන් පසු එළඹි ඇසළ මස පුන් පොහෝ දින සවස ඉසිපතනයට වැඩම කළ සේක. තමන් සත්‍යය අවබෝධ කළ බව කීප විටක්ම පැවසුවත් බුදුරදුන් විශ්වාස කිරීමට තරම් පස්වග මහණුන් බුද්ධිමත් නොවූ හෙයින් උන්වහන්සේ අවසානයේ දී මෙසේ වදාළ සේක.

“මා උරුවෙල් දනව්වේ දුෂ්කරක්‍රියා කරන කාලයේ නුඹලා රැවටීම පිණිස මට මෙසේ එළියක් පෙනේ. මෙබඳු අරමුණ ඇතිවිය’ යනුවෙන් ප්‍රකාශ කළා ද?”
නැත, ස්වාමීනි,

“මා දැන් බුද්ධත්වයට පත් වූයේ යැයි ප්‍රකාශ කරන්නේ ඒ සත්‍යය අවබෝධ කළ නිසාමයි”
ඉන් අනතුරුව පස්වග මහණුන් වහන්සේලා බුදුරදුන්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වූහ. ඔවුහු ඉතා ගෞරවයෙන් යුතුව බුදුරදුන්ගේ මංගල ධර්මදේශනාව ශ්‍රවණය කළහ. එදින ඒ ධර්ම දේශනාව අවසන් වනවාත් සමඟම කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට දහම් ඇස පහළ විය. උන්වහන්සේ උතුම් වූ සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළ සේක. ඒ ඇසළ පුන් පොහෝදින බුදුබණ අසා ලොව මුල්ම සෝවාන් මගඵලලාභී උතුමාණෝ පහළ වූහ. බුදුරජාණන් වහන්සේ,

“අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ
අඤඤසි වත භෝ කොණ්ඩඤ්ඤෝ ! 
යනුවෙන්
පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළ සේක. එදිනම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සය නමක් ලොව මුල්වරට වස් සමාදන් වූහ.

පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩම කොට ප්‍රාතිහාර්ය පෑ හෙයින් එලෙස රහත් ගුණ ප්‍රකට කිරීම නුසුදුසු යැයි වදාළ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන් වහන්සේලාට අකැපයැයි වදාරා තහනම් කළ සේක. ඒ ගැන බිම්බිසාර රජු බුදුරදුන්ගෙන් විමසූ විට එතැන් පටන් සාර මසකින් එළඹෙන ඇසළ පුන් පොහෝදින ගණ්ඩම්බ නම් අඹ ගසක් මුල උන්වහන්සේ මහා ප්‍රාතිහාර්යයක් පාන බව දෙසූ සේක. ඉන් අනතුරුව එළඹි ඇසළ පුන් පොහෝදින උන්වහන්සේ සැවැත්නුවර රාජ්‍ය කළ උයන්පල්ලා දුන් අඹ ගෙඩියක් වළඳා එම ඇටයට පැන් වත්කොට අත සෝදා එකෙනෙහිම හට ගත් අඹ ගස යට යමක මහා ප්‍රාතිහාර්යය ඇතුළු මහා ප්‍රාතිහාර්යයක් ප්‍රදර්ශනය කළ සේක. එලෙස ප්‍රාතිහාර්යය පාමින් ධර්මදේශනා කළ බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේදීම අහසට පැන නැඟී දහස් ගණන් සෙනග බලා සිටියදීම තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ සේක. ඒ උන්වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට අභිධර්ම දේශනාව කිරීම පිණිස ය.

තවද ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 දී අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරුන් පැවිදි කරවා මහමෙව්නා උයනේදී උපසම්පදාකොට මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට නුදුරින් පිහිටුවන ලද අටසැට ලෙන්වල වස්වසන්නට යෙදුණේද ඇසළ පුන් පොහෝ දිනක ය. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට කටයුතු යොදා ඒ පිළිබඳ මංගල ශිලාස්තම්භය පිහිටවූයේ ද ඇසළ පුන් පොහෝ දිනක ය. රුවන්වැලි මහා සෑය ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බවට පත් වූයේ ඒ තුළ අතිවිශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩසිටින බැවිනි. එහි ද්‍රෝණයක් පමණ වූ ධාතූන් වහන්සේලා නිදන් කිරීමේ මහා ධාතු නිදානෝත්සවය පැවැත්වුණේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ. ලක් සසුන පිරිහීමෙන් පසු ලංකාවේ සාමණේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කොට අදාළ ශාසනික වත් පිළිවෙත් උගන්වා වදාළ සියම් රටේ උපාලි මහතෙරුන් වහන්සේ විසින් අසරණ සරණ සරණංකර සඟරජමාහිමියන් ඇතුළු මල්වතු අස්ගිරි මහා සඟරුවන උපසම්පදා කරන ලද්දේ ද උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනක බව සඳහන් වේ.

මේ උතුම් ඇසළ පොහෝදා බුදු ගුණ සිහිකොට උතුම් වූ නිවන් මග පසක් කර ගැනීමට අපි අදිටන් කර ගනිමු.

කැලණිය විශ්වවිද්‍යාලයේ , 
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති, 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.