සුමන සමන් දෙවියෝ Saman deviyo



සමන් දෙවිඳුන්ගේ ඉතිහාසය බුදුරදුන්ගේ ලංකාගමනය දක්වා වර්ෂ දෙදහස් පන්සියයකට වඩා ඈතට දිව යන්නකි. එදා බුදුරදුන් මහියංගනයට වැඩම කළේ යකුන් දමනය කිරීමටය. සුමන දෙවි ඒ අවස්ථාවේ එහි සිටියේ යක්ෂ ගෝත්‍රිකයකු වු නිසාද කියා ප්‍රශ්නයක් මතුවේ. එසේ වුවද සුමන දෙවි සෝවාන් මඟ ඵල පසක් කර ආර්ය ශ්‍රාවක භාවයට පත්වීමෙන් පසු යක්ෂ ගති අත්හල කරුණා, මෛත්‍රි ආදි බෞද්ධ සදහම් කරුණු වලින් යුත් අයකු වී සැමට සෙත ශාන්තිය සැලසීමට යොමු වූ වග පිළිගත යුත්තකි.
සමන් දෙවිඳුන් පිළිබඳව විචාරකයෝ විවිධ මත ඉදිරිපත් කරති. දේවවංශික නායකයා මළ පසු සමන්දෙවි වීම, සුමන දෙවි නාග ගෝත්‍රිකයෙකි යන්න යම භූමි සමන් දෙවි වීම, මහායාන සමන්ත භද්‍ර බෝසතුන් සමන් දෙවි වීම, ලක්ඛණ කුමරු දෙවි වීම ආදී මත විචාරක අදහස්ය.

ඉතිහාසයේ යුග පෙරළිය අනුව මුලින් පැවති අදහස් පසුව වෙනස් වේ. භාරත ඉතිහාසයේ ආදි වේද යුගයේ සිටි දෙවිවරුන් අඹන විට ඉඳුරා වෙනස් වී තිබේ. ආදි කාලයේ භාරතයේ සිටියේ ස්වභාවික වස්තු දෙවියන්ය. අද භාරතයේ ගරු බුහුමන් ලබන්නේ විෂ්ණු ශිව ආදි නූතන දෙවිවරුන්ය. කාලයට හා සමාජය අනුව, ජනතා අවශ්‍යතාව අනුව ඇදහිලි වෙනස් වී තිබේ.

ලක්දිව පණ්ඩුකාභය ඒ යුගයේ සිටි දෙවිවරුන්ගේ නම් පවා අද භාවිතයේ නැත. අද ශ්‍රී ලංකාවේ භාරතීය දෙවිවරුන්ට මෙන්ම ශ්‍රී ලාංකීය දෙවිවරුන්ද සම්භාවනාවට ලක්වී තිබේ. විෂ්ණු, ශිව, ගණදෙවි, කතරගම හා පත්තිනි ආදි දෙවිවරුන් භාරතයේද සම්මාන ලබාගත්හ. ඔවුන් ලංකාවේද දෙවිවරුන්ය. මේ අතර ශී‍්‍ර ලාංකීය දෙවිවරුන් වශයෙන් සමන්, අයියනායක, විභීෂණ දැඩි මුණ්ඩ, සීනිගම ආදි ප්‍රාදේශීය වශයෙනුත්, පොදුවේ මුළු රටේමත් සම්භාවනාවට පත්වූ දෙවිවරුන් රාශියක් ඇත. ඒ අතර සුමන සමන් දෙවියන්ට සපරගමුවේ විශේෂ වශයෙනුත් පොදුවේ රටේමත් මහත් ගෞරවයක් ඇත.

සමන් දෙවිඳුන්ගේ ඉතිහාසය බුදුරදුන්ගේ ලංකාගමනය දක්වා වර්ෂ දෙදහස් පන්සියයකට වඩා ඈතට දිව යන්නකි. එදා බුදුරදුන් මහියංගනයට වැඩම කළේ යකුන් දමනය කිරීමටය. සුමන දෙවි ඒ අවස්ථාවේ එහි සිටියේ යක්ෂ ගෝත්‍රිකයකු වු නිසාද කියා ප්‍රශ්නයක් මතුවේ. එසේ වුවද සුමන දෙවි සෝවාන් මඟ ඵල පසක් කර ආර්ය ශ්‍රාවක භාවයට පත්වීමෙන් පසු යක්ෂ ගති අත්හල කරුණා, මෛත්‍රි ආදි බෞද්ධ සදහම් කරුණු වලින් යුත් අයකු වී සැමට සෙත ශාන්තිය සැලසීමට යොමු වූ වග පිළිගත යුත්තකි.

සිදුහත් කුමරු පැවිදි වන දා කපා ඉවත දැමූ කෙස් වැටිය භාරගත් සක් දෙවිඳු එය තැන්පත් කර සිළුමිණි සෑය ඉදි කළේ සක්‍ර භවනේය. එහෙත් සමන් දෙවිඳු බුදු රදුන්ගෙන් ලබාගත් කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මහියංගණයේය. එයින් එකල සමන් දෙවිඳු මනුෂ්‍ය ආත්මයේ සිටියා දැයි සිතීමට හේතුවේ. මනුෂ්‍යාත්මයේ සිටියත් සෝවාන් මඟ ඵල ලැබූවකු නිසා මරණින් මතු දේවත්වයට පත්වීම අනිවාර්ය ය. ඒ නිසා දෙවියන් දීර්ඝායුෂ්ක නිසා අද දක්වාම සමන්දෙවිඳුන් ජීවමාන වීම පිළිගත යුතුවේ.අදත් බැතිමතුන්ට පිහිට වීම දක්නට ඇත.

පෙර සඳහන් කළ පරිදි ඉතිහාසයේ යුග පෙරළිය අනුව කෝට්ටේ රාජ කාලයෙන් පසු ශ්‍රී ලාංකික ආර්ය ශ්‍රාවක සමන් දෙවිඳුන්ට විෂ්ණු ආරූඪයක් කර ඇත. පොළොන්නරු යුගයෙන් පසු ලක්දිව දේව සංකල්පයට භාරතීය හින්දු බලපෑම තදින් සිදුවිය. ඒ අනුව ලක්දිව දේවාලයක් ඉදිකිරීම ශිඝ්‍ර ලෙස වර්ධනය වී ඇති අතර හින්දු දේවාලයන්හි පවත්වන අභිචාර විධි ද මෙරටට තදින් බලපා තිබේ. ඒ අතර මහනුවර රාජධානියට හින්දු භක්තික රජුන් ප්‍රවිෂ්ඨ වීම තුළින්ද හින්දු අභිචාර විධි වලට ප්‍රමුඛස්ථානය හිමිවී ඇත.
මේ තත්වයෙන් සපරගමු මහ සමන් දෙවොලද නොමිඳුනේය. විශේෂයෙන් බ්‍රාහ්මණ ගෝති‍්‍රක කපු පරම්පරාවක් සපරගමු මහා සමන් දෙවොලේ භාරකාරයන් වීම නිසා මෙම දෙවොලටද හින්දු අභිචාර විධි දැඩි ලෙස ප්‍රවිෂ්ඨ වී තිබේ. අදත් සමන් දෙවොලේ ස්තෝත්‍ර වලින් විෂ්ණු දෙවියන්ගේ ආනුභාව ප්‍රථමයෙන් ප්‍රකාශ වේ. එහි සමන් දේව ස්තෝත්‍රද ඇත. වර්ග දෙකම මිශ්‍රවී ඇත. එහි ඇති බොහෝ අභිචාර විධි හින්දු ආභාසය ලැබූ ඒවාය.

ආය¸ ශ්‍රාවක සමන් දෙවියන්ට දුනු ඊතල නැත. දුනු ඊතල සම්බන්ධ වී ඇත්තේ රාම රාවණ යුද්ධයකටය. රාම රාවණ යුද්ධය හින්දු ප්‍රබන්ධයකි. රාම රාවණ යුද්ධය කෙරී තිබුණත් එයට සමන් දෙවිගේ කිසිදු සම්බන්ධයක් නැත. රාම රාවණ කථාවත් දුනු ඊතල සම්බන්ධ දේවාභරණත් සමන් දෙවොලට පිවිසි ඇත්තේ හින්දු බලපෑම් නිසාය. ආර්ය ශ්‍රාවක සමන් දෙවිඳු අවි ආයුධවලින් සතුරන් මැඩ පැවැත්වීමක් කරන්නේ නැත. සුමන සමන් දෙවිඳුගේ පැවැත්ම කාරුණිකය.හේ උදව් පතන්නන්ටත් නොපතන්නන්ටත් සමසේ කරුණාව දක්වන්නෙකි. කරුණාවයිකරුණාවයිසුමන සමන්දෙවි කරුණාවයි. යන්න බැතිමතාගෙන් පුන පුනා කියවෙන්නේත් ආර්ය ශ්‍රාවක සමන් දෙවිඳුන්ගේ චරිතයට අනුරූපවය.

ලක්දිව බොහෝ දේවාලයන් ඇත. ඒ දේවාල වලට අරක් ගෙන ඇත්තේ ආය¸ ශ්‍රාවක දෙවිවරුන් නොවේ. ඉන් සමහර දෙවිවරුන් සතුරන්ගෙන් පලිගන්නේය. මිතුරන්ට සුබසෙත සලසන්නේය. සමන් දෙවිඳු සතුරු මිතුරු දෙපසට සම සිතය. සම මෙතය. සම කරුණාවය. අන් දෙවිවරුන් හා සැසඳීමේදී සමන් දෙවිඳුන්ගේ මෙම වෙනස ඇත. ඒ ආය¸ ශ්‍රාවක නිසාය. සෝවාන් මඟඵල පසක් කර ඇති නිසාය.
සපරගමු මහ සමන් දෙවොලේ හින්දු අභිචාර විධි ඇතත් එහි සංස්කෘතික අංග තුළ කැපී පෙනෙන බෞද්ධ ලක්ෂණ ඇත. ඉන් පළමු වැන්න බුදු මැදුරයි. බුදුමැදුරට පුද පූජා පවත්වා පින් රැස් කරගෙන එම පින් සමන් දෙවිඳුන්ට අනුමෝදන් කිරීම ප්‍රධාන කාර්යය දෙවියන්ට කරන පූජෝපහාරවලට පළමුව බුද්ධ පූජාව පැවැත්වීම තවත් බෞද්ධ කාර්යයකි.


සපරගමු මහා සමන් දෙවොලේ ඇසළ පෙරහරේ ප්‍රධාන කටයුතු බෞද්ධවතාවත්ය. එහි ප්‍රධානත්වය හිමිවන්නේද දළදා පෙරහරටය.පෙරහර ඇරඹීමට පෙරාතුව පන්සිල් සමාදන්වීම හා පිරිත් බලයේ පිරිත් දේශනාව ආදි බෞද්ධ මුහුණුවරට මුල් තැන පිරි නමන්නේත් සමන් දෙවිඳුන් ආර්ය ශ්‍රාවක නිසාය. මේ අතර චිරාගත හින්දු අභිචාර විධිද සිරිත් අතර ඇත. ඒ අනුව වර්තමාන සමන් දේවාලයත් සංස්කෘතික බෞද්ධ හින්දු දෙපසද සංකලනයක ප්‍රතිඵලයක් බව කිවයුතුව ඇත.


අමරපුර නිකායේ
ඉද්දමල්ගොඩ පාර්ශ්වයේ මහා නායක
කුරුවිට විද්‍යාවර්ධන පිරිවෙනේ
පිරිවෙනාධිපති
මඩලගම වජිරබුද්ධි මහා නා හිමි

Budu Wadan බුදු වදන්

ධර්ම දූත සේවය ඇරඹුණු වගයි (ඉල් පොහොය)




"අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව එළඹුණු මුල් වස් තුන් මාසය ගත වූ විට ලොව මුල්වරට මහ රහතන් වහන්සේලා සැට නමක් පහළ වූහ. ඒ අනුව එම මහරහතන් වහන්සේලා සැට නම ලොව මුල් වරට ධර්ම ප්‍රචාරක කටයුතුවලට පිටත්ව යාම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයින් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් වූ සාරි බැමිණිය සම්‍යග් දෘෂ්ටික වී මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම, සාරිපුත්ත මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ දී පිරිනිවන් පෑම, මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම වැනි වැදගත් ශාසනික සිදුවීම් රාශියක් ඉල් මස පුර පසළොස්වක පොහෝ දා සිදු වී ඇති අතර පසු වස් පවාරණය කළ යුතු දිනය මෙන් ම, කඨින චිවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය යෙදෙනුයේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දා ය."


බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේලා ද සමඟ පළමු වරට වස් සමාදන් වූ සේක. එම වස් කාලයේ දී ම උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍ර දේශනාව පවත්වා එම පස්වග මහණුන් වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා දුන් සේක. තව ද මෙම වස්කාලයේදීම උන්වහන්සේ යස කුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකුට රහත් මගපල ලැබීමට මග පෙන්වූ සේක. එම වස් කාලය අවසන් වූ පසු උන්වහන්සේලා ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ “මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දෙව් , මිනිසුන්ගේ යහපතත්, සැපයත් පිණිස චාරිකාවේ හැසිරෙන්න” යැයි වදාළ සේක. එසේ ම ‘එකම මග දෙදෙනෙකු නොවඩින්නැ’යි වදාළ උන්වහන්සේ ඉන් අනතුරු ව උදාවු ඉල් පුර පසළොස්වක පොහෝදා එම රහතන් වහන්සේලා පිරිස ධර්ම ප්‍රචාරය පිණිස පිටත්කර යවා තමන් වහන්සේ තනිව ම උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක.

එකල නේරඤ්ජනා ගංගාව අසල විසූ උරුවෙල් කාශ්‍යප තාපසයාට පන්සියයක් වූ අතවැසි පිරිසක් ද, නදී කාශ්‍යප තාපසයාට තුන් සියයක් වු අතවැසි පිරිසක් ද ගයා කාශ්‍යප තාපසයාට දෙසියයක්වු අතවැසි පිරිසක් ද වූහ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම කොට බලවත් වූ අනුකම්පාවෙන් උරුවෙල් කාශ්‍යප තවුසා ඇතුළු පන්සියයක් පිරිසට ප්‍රාතිහාර්යය දක්වා ඔවුන්ගේ මානය බිඳ පැවිදි කළ සේක. ඔවුන්ගේ තවුස් පිරිකර ගංගාවේ පා කර හැරි අතර ඒවා දුටු නදී කාශ්‍යප සිය වැඩිමහලු සහෝදර උරුවෙල් කාශ්‍යප තවුසාට කරදරයක් වී යැයි සිතා පැමිණි මොහොතේ බුදුරදුන් ඔවුන්ටද දහම් දෙසා පැවිදි කළහ. එම පිරිස ද තම තවුස් පිරිකර ගඟට දැමු අතර ඒවා දුටු ගයා කාශ්‍යප තාපසයා ද තම සහෝදරයන් දැකීමට පැමිණි අතර බුදුරජාණන් වහන්සේ ඒ පිරිසටද දහම් දෙසා අනතුරුව සැවොම පැවිදි කළ සේක. ඉන් අනතුරුව එදා ඉල් පොහෝ දා අරඹන ලද ධර්ම දූත මෙහෙය තවදුරටත් ගෙන යමින් බුදුරජාණන් වහන්සේ ගයා ශීර්ෂයේ දී ආදිත්ත පරියාය සූත්‍රය’ දේශනා කරමින් ඒ සැමදෙනා වහන්සේටම රහත්වීමට මග පෙන්වූ සේක.

පෙර සංසාරයේ කරන ලද මා පිය හිංසනයක විපාකයක් ලෙස මුගලන් මහ රහතන් වහන්සේ ‘කාලසිලා’ පර්වත විහාරයේ වැඩ වසන විට දුදනන් විසින් කරන ලද පහරදීමක් නිසා පිරිනිවන් පා වදාළේ ඉල් මස අව පසළොස්වක දා ය. සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේ හරියට ම ඊට සති දෙකකට පෙර එනම් ඉල් මස පුර පසලොස්වක පොහෝ දා ය. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් වූයේ සැරියුත් මහ තෙරුන් ය. දම් සෙනෙවි නම් තනතුරක් ද උන්වහන්සේට තිබුණ අතර උන්වහන්සේගේ සහෝදර සහෝදරියන් වූ චුන්ද ,උපසේන, රේවත, මාලා, උපචාලා හා සිසුපචාලා යන පිරිස ද සම්බුදු සසුනේ පැවිදි ව රහත් වූ මුත් උන්වහන්සේගේ මෑණියන් ඒ වන විටත් සිටියේ මිථ්‍යා දෘෂ්ටිකව ය. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ තම ආයු කාලය විමසා බැලූ සේක. තමන්ට තව ජීවත්වීමට ඇත්තේ සතියක කාලයක් පමණක් බව දුටු උන්වහන්සේ තම මව සම්‍යක් දෘෂ්ටික කර නිවසේ දී ම පිරිනිවන් පෑම සුදුසුයැයි සිතා ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කර , වැඳ අවසර ගෙන, විශාල භික්ෂු පිරිසක් සමඟ නාලක ගමට වැඩම කොට තම මෑණියන්ට ධර්මය දේශනා කොට ඇය සෝවාන් මාර්ගඵලයට පත්කර වු සේක. ඉන් අනතුරුව උන්වහන්සේ එම නිවසේ දී ම පිරිනිවන් පා වදාළ අතර එදින ඉල් මස පුරපසළොස්වක පොහෝදිනක් විය. චුන්ද තෙරුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ පාත්‍ර, සිවුරු හා ධාතූන් වහන්සේලා ද රැගෙන ජේතවනාරාමයට වැඩම කර සියල්ල බුදුරදුන්ට පිළිගැන්වූ සේක. බුදුරජාණන් වහන්සේ ද සැරියුත් තෙරුන්ගේ ගුණ වනා එම ධාතු තැන්පත්කර චෛත්‍යයක් ඉදිකරවා අනතුරුව රජගහනුවරට වැඩම කළ සේක.

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වප් පොහෝදා තව්තිසා දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩම කළේ වස් පවාරණය කිරීමෙන් අනතුරුව ය. උන්වහන්සේ එසේ වැඩම කළේ දඹදිව සංකස්ස පුර නම් නගරයට ය. සංකස්ස පුර සිරිවඩ්ඪ නම් වූ ධනවත් පුතෙකු ලෙස උපන් මෛත්‍රිබෝධි සත්වයෝ බුදුරජාණන් වහන්සේ වප් පොහෝ දින දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයට වැඩි මොහොතේ සැරියුත් තෙරණුවන් සමඟ කළ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කොට පැහැදී පැවිදි වූහ. අනතුරුව මෛත්‍රී බෝසත් භික්ෂුව තමන්ට ලැබුණු වටිනා වස්ත්‍ර යුගලක් බුදුරදුන්ගේ ගඳකිලියෙහි එල්ලා මහත් පිනක් සිදුකර ගත්හ. බුදුරජාණන් වහන්සේ ඒ උතුම් මෛත්‍රී බෝසත් භික්ෂුවගේ අභිප්‍රාය දැන භික්ෂූන් අතර වැඩ සිටි උන්වහන්සේ පෙන්වා,
“මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලකින් බුදුරදුන් පිදු මේ භික්ෂුව දෙස බලන්න. මේ භික්ෂුව මෙම මහා භද්‍ර කල්පයේ දී ම මෛත්‍රී නම් වූ සම්මා සම්බුදු රදහු වන්නාහ. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියේ සංඛ නම් සක්විති රජකනෙකු පහළ වන අතර එරජුගේ පුරෝහිත බමුණා වන සුබ්‍රහ්ම මොහුගේ පියා වන අතර බ්‍රහ්මවති මෑණියන් වන්නී ය. බෝරුක නා ගසකි. “ යනුවෙන් වදාළ සේක. මේ ආකාරයෙන් මෛත්‍රි බෝධිසත්වයාණන් වහන්සේ නියත විවරණ ලබා ගත්තේ ද ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනක ය. කඨින පින්කමක් පැවැත්විය හැකි අවසාන දිනය වන්නේ ද ඉල් මස පුරපසළොස්වක පොහෝදා ය. වප් පුර පසළොස්වක පොහෝ දවසින් ආරම්භ වන කඨින චීවර මාසය ඉල් මස පුරපසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වෙයි. කඨින චීවර පූජාවක් කළ හැකි මේ කාලය තුළ පමණි. තව ද ඇසළ පුන් පොහෝදා වස් සමාදන් වීමට නොහැකිවූ උපසපන් භික්ෂූන් වහන්සේලා නිකිණි පොහොයෙන් පසුව පසු වස් සමාදන් වූ විට වස් පවාරණය කරනු ලබන්නේ ද ඉල් මස පුරපසළොස්වක පොහෝදා ය.

අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් පාරමිතා පූර්ණය කොට සම්මා සම්බුද්ධත්වයට පත්ව අවබෝධ කරගත් ධර්මය ප්‍රචාරය කිරීමට මුල්ම පියවර ගනු ලැබුවේ ධර්ම දූතයාණන් වහන්සේලා ලොව පුරා පිටත්කොට හැරීමෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ උතුම් වූ නිකෙලෙස් සදහම් රසය ලොව පුරා පැතිරයාමට ප්‍රධානම හේතුව වූයේ එදා ඉල්මස පුර පසළොස්වක පොහෝදින මහරහත් වහන්සේ හැට එක් නමක් විසින් ආරම්භ කරන ලද ධර්ම ප්‍රචාරක සේවය බව ය.

 බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා විසින් ලෝකානුකම්පාවෙන් යුක්ත ව සිද්ධ කරන ලද ඒ මහා සේවාවෙහි ප්‍රතිඵලය වූයේ සම්බුදු සසුන දේශ දේශාන්තර වල පැතිරීමයි. සැරියුත්, මුගලන් ආදී මහරහතන් වහන්සේලාගේ පහළවීම හා මෛත්‍රී බෝසතුන් පැවිදි වීම ද සිදුවූයේ ඒ උතුම් ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

තව ද ලංකාවේ මුල්ම මහ රහතන් වහන්සේ වන අරිට්ඨ තෙරණුවන් ඇතුළු භික්ෂූන් වහන්සේලා මිහින්තලාවේ වස් වැස අනතුරුව වස් පවාරණය කිරීමෙන් පසු බුදුරදුන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර චෛත්‍යයක් තැනීමේ යෝජනාව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජතුමාට කරන ලද්දේද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනක දී ය. එම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස සුමන සාමණේරයාණන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩමවීම පිණිස දඹදිවට වැඩම කළ අතර බුදුරදුන්ගේ අකු ධාතුන් වහන්සේ ප්‍රමුඛ ධාතුන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් ලංකාද්වීපයට ලැබුණේ ද මිහිඳු මා හිමියන්ගේ එම යෝජනාව නිසා ය.

බුදු දහම ලොව පුරා ප්‍රචලිත වීම නිසා අප්‍රමාණ සත්වයන් නිවන අරමුණූ කොට කුසල් වඩා සසර දුකින් එතෙර වූයේ ඒ උතුම් බෞද්ධ ධර්ම දූත සේවාවේ ආරම්භය නිසා ය. බෞද්ධයෙකු ලෙස මේ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් ඒ උතුම් මග රහතන් වහන්සේලා ලොවට කියා දුන් ධර්මය තවදුරටත් විරාජමාන වන බව ඉතා පැහැදිලි ය. 

අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති,
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ
(චීන) මහාචාර්ය,
ආචාර්ය, රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

බුදුසණ පත්‍රයෙන් උපුටා ගැනීමකි.