Kandy Esala Perahara Special Cast 07.08.2017 | Final Randoli Perahara

අසිරිමත් සිරි දළදා පුරාණය






බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ විරාජමානව බුද්ධ රශ්මි කදම්බය විහිදුවමින් වැඩසිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පන්සාළිස් වසරක් ස්පර්ශය වූ ශාරීරික වාම ශ්‍රී දළදා වහන්සේ ය.

පිරිනිවන්පෑම

දඹදිව පහළ වූ ගෞතම ශ්‍රී තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බව දේශනා කරමින් මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී වෙසක් පොහෝ දින නිරෝධ සමාපත්තියට සම වැදී එයින් නැගිට පිරිනිවන් පෑ සේක. ඉක්බිතිව බුද්ධ ශ්‍රී දේහය කපු පුළුනින් ද, මට සිලිටු වස්ත්‍ර පන්සියයකින් ද ඔතා සුවඳ තෙල් පුරවන ලද රනින් කරන ලද ඔරුවක වඩා හිඳුවා සඳුන් දරින් කළ චිතකයේ ආදාහනය කළ විට අහසින් දිය දහරා වැටී චිතකය නිවා දැමූ බවත් දීඝ නිකායේ ‘මහාපරිනිබ්බාන සූත්‍රයෙහි’ සඳහන් ය. බුද්ධාධිෂ්ඨානයට අනුව නළල් ධාතුව (ලළාට ) අකු ධාතු දෙක හා සතර දළදා )වහන්සේලා යන ධාතුන් වහන්සේලා හත් නම හැර සෙසු ධාතුන් වහන්සේලා විසිරි පැවැතුණි. මගධ නැළියෙන් නැළි දහසක් පමණ ධාතුන් වහන්සේලා ශ්‍රී දේහයෙන් නික්මුණු බව දළදා සිරිතෙහි සඳහන් ය. තව ද දී. නි. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් පරිදි ධාතු බෙදීමේදී මල්ල රජදරුවන් අතර ගැටලුවක් ඇතිවිණි.

ධාතු බෙදාදීම

එය විසැදීම සඳහා ද්‍රෝණ බමුණා ඉදිරිපත් වී ධාතුන් වහන්සේලා අට නැළියකට බෙදා දුන්නේය. ඒ අනුව අජාසත්ත රජ, ලිච්ඡවි රජදරුවන්, ශාක්‍ය රජදරුවන්, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්, රඹගම් නුවර කෝලිය රජදරුවන්, වේධදීපක බමුණා ඇතුළු පිරිස, පාවා නුවර වැසි මල්ල රජදරුවන්, කුසිනාරා නුවර මල්ල රජ දරුවන් යන අට පිරිසට ලබා දෙන ලදී. ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේ බෙදූ නැළිය රැගෙන ස්තූපයක් කරවන ලදී. ධාතුන් වහන්සේ බෙදා අවසන්වූ පසු පැමිණි මෝරිය රජදරුවන් විසින් දර සෑයේ අඟුරු ගෙන ගොස් අංගාර ස්තූපයක් කරවන ලදී. අට නැළියකින් බෙදී ගිය ධාතුන් වහන්සේලාගෙන් රජ දරුවන් ස්තූප අටක් තනවන ලදී. ඒ අනුව ස්තූප දහයක් ද ඉදිකළ බව ඒ සූත්‍රයෙහි සඳහන් ය. එසේම ඒ සූත්‍රය අනුව සතර දළදා වහන්සේලා බෙදීගිය අයුරු ද මෙලෙස දක්වයි. එක් දළදාවක් දෙවියන් විසින් ද, එක් දළදාවක් ගන්ධාර පුරයෙහි ද, තව දළදාවක් කළිඟු රටෙහි ද, අනික් දළදාව නා ලොව නා රජු ද පුදන බව මෙයින් අදහස් කෙරේ. මේ අතර දකුණු දළදාව තව්තිසාවේ ශක්‍රයා විසින් රැගෙන ගිය අයුරු සුමංගල විලාසිනි ග්‍රන්ථයෙහි අපූරු අයුරින් දක්වයි. එනම් ධාතු බෙදූ ද්‍රෝණ බමුණා හොරෙන් දකුණු දළදා වහන්සේ චිතකයෙන් රැගෙන ජටාවෙහි රඳවා ගත්තේය. එය ශක්‍රයා දැක ඔහුගේ ජටාවෙන් හොරාගෙන තව්තිසාවට ගෙන ගොස් සිළුමිණිසෑය නම් චෛත්‍යයක තැන්පත් කොට වැඳුම් පිදුම් කරන බවයි.

වාම ශ්‍රී දළදා වහන්සේ

දළදා සිරිතට අනුව ඛේම නම් රහතන් වහන්සේ විසින් සඳුන් දරින් නිම වූ චිතකයේ මැවුණු සෞන්දර්ය ඇති වාම ශ්‍රී දළදා වහන්සේ සෘද්ධි බලයෙන් රැගෙන අවිද්‍යාව නම් වූ අඳුර සද්ධර්මය නම් වූ සූර්යයාගේ රශ්මියෙන් බිඳුවා තිසරණ ශීලයෙහි පිහිටුවා බුදුසසුනෙහි පහදවා වාම ශ්‍රී දළදා වහන්සේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජුට දුන් බව සඳහන් කරයි. ඉක්බිතිව බ්‍රහ්ම දත්ත රජතුමා විසින් මාලිගාවක් කොට වාම ශ්‍රී දළදා වහන්සේ එහි වඩා හිඳුවා නිතර වැදුම් පිදුම් කොට ලොවින් චුතව සුරපුරයට ගිය බව අපූරු ආකාරයට දළදා සිරිතෙහි වර්ණනා කරයි. අනතුරුව බ්‍රහ්ම දත්ත රජුගේ පුත් ‘කසී’ නම් රජ කුමරු ද වාම දළදා වහන්සේ උදෙසා අසීමිත ශ්‍රද්ධාවෙන් යුතුව පූජා විධි පවත්වා ශක්‍ර පුරයට පැමිණි බවත් එහි සඳහන් ය. කසී රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් ‘සුනන්ද’ රජ කුමරු දළදා හිමියන්ට පූජා පවත්වමින් ත්‍රිවිධරත්නය කෙරෙහි දානාදී ගරු බුහුමන් ආදිය කොට දිව්‍යලෝකයෙහි ගිය බව ද සිහිපත් කරයි. ඉක්බිතිව රජ වු ගුහසීව රජු මිථ්‍යා දෘෂ්ටික වූ නිඝණ්ඨයන්ගේ වහසි බස් අසා රජ කරන කල්හි බුද්ධිමත් සම්‍යක් දෘෂ්ටික ඇමැතියෙකුගෙන් ඒ බව අසා ආශ්චර්යවත් ආශිර්වාදයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේගේ ආශ්චර්යවත් බලයක් ඇති බව දැන මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී බුදුසසුන කෙරෙහි පැහැදී දළදා වහන්සේ උදෙසා පුද පූජා කරවමින් නිඝණ්ඨයන් කෙරෙහි රජු අපැහැදී තම රාජ්‍යයෙන් නෙරපා හැරියේ ය. මෙමඟින් කෝපයට පත් නිඝණ්ඨයන් අජාසත්ත රජුගේ ප්‍රධාන අමාත්‍ය වූ සුනීධ, වස්සකාර දෙදෙනා හමුවී පාටලීපුත්‍ර නගරයට ගොස් එහි වැසි මිථ්‍යා ලබ්ධික වූ පඩි රජු හමුවී ගුහසීව රජුට එරෙහිව මෙසේ කීහ. දේවයන් වහන්ස, ඔබතුමාගේ සාමන්ත පාලකයෙකු වූ ගුහසීව රජු බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර ආදි දෙවියන්ට නින්දා කොට මිනී ඇටයක් තබාගෙන පූජා සත්කාර කරන්නේය යනුවෙනි. මෙම කියමන අසා පඬි රජු කිපී චිත්‍රයාන නම් ප්‍රාදේශීය රජු දැක කාලිංග රටේ දන්ත පුරයට ගොස් ගුහසීව රජු හා ඔහු විසින් පුදන ලද මිනී ඇටය වහා රැගෙන එන ලෙස අණ කළේය. ඉක්බිතිව එම නියෝගයට අනුව චිත්‍රයාන රජතුමා චතුරංගනී සේනාව සමඟ දන්ත පුරයට පිටත් විය. එහි දී ඔවුන් එන බව දැන ගුහසීව රජු ඔවුන් ප්‍රීති ප්‍රමෝදයෙන් පිළිගත්තේ ය. ඒ අනුව ඔවුන් ආ විස්තරය කීහ. එහිදී චිත්‍රයාන රජුට ගුහසීව රජු විසින් බුදුගුණ වර්ණනාවක් කිරීමෙන් චිත්‍රයාන රජු බුදුසසුන කෙරෙහි පැහැදුණු බව ඔහු කීවේය. ගුහසීව රජු විසින් කරන ලද කරඬුව තුළ වඩා හිඳුවා ඇති වාම ශ්‍රී දළදා වහන්සේ පෙන්වා දළදා වහන්සේ ඉදිරියෙහි ගුහසීව රජු දෙදණ පිහිටුවා දොහොත් මුදුන් දී වැඳ බුදුගුණ කියා ප්‍රාතිහාර්යක් පාන ලෙස ආයාචනය කර සිටියේ ය. එවිට දළදා වහන්සේ අහසට පැන නැගී අසිරිමත් පෙළහරක් පෑහ.

ප්‍රාතිහාර්ය


මෙහිදී චිත්‍රයාන රජු සේනාව සමඟ මිථ්‍යාදෘෂ්ටිය හැර බෞද්ධයකු බවට පත් වී ගුහසීව රජු සමඟ අනර්ඝ වූ දළදා වහන්සේ සිංහාසනෙයහි හිඳුවා අලංකාර පෙරහරක් මැද පාටලිපුත්‍ර නගරයෙහි සිටි පඬි රජු හමුවූහ. ගුහසීව රජු දැක කුපිත වූ පඬි රජු මොහු විසින් පුදල ලද මේ මිනී ඇටය අඟුරු වළක දමා විනාශ කරන ලෙස නිඝණ්ඨයන්ට නියෝග කළ විට ඔවුන් සතුටට පත්ව රජ මිදුලේ වළක් හාරා ගිනි අඟුරුවලින් පුරවා වාම ශ්‍රී දළදා වහන්සේ අඟුරු වළට දමන අවස්ථාවේ දළදා වහන්සේගේ මහත් වූ ආනුභාවයෙන් අඟුරු වළෙන් ඉහළට පැන නැගී දළදා වහන්සේ එහි පැන නැගුණු පියුම් කෙමිය මත පිහිටා බුදුරැස් විහිදුවමින් සිය නානාවිධ ප්‍රාතිහාර්ය පෑ සේක. නමුත්පඬි රජු පෙර මතයෙහිම එල්බ ගෙන ධාතුන් වහන්සේ එතැනින් ගෙන කිණිහිරක් මත්තේ තබා කුළු ගෙඩියකින් පහර දීමට නියම කළේය. දළදා වහන්සේ ඒ මොහොතේම කිණිහිරේ අඩක් ඇතුළට කිඳා බැස්සහ. මෙලෙස කිණිහිර තුළ හිරු මෙන් රශ්මියෙන් හාත්පසින් පතුරුවමින් දසදිසාවන් බබුළුවමින් ප්‍රාතිහාර්ය පාන දළදා වහන්සේ පිටතට ගැනීම සඳහා ඊර්ෂ්‍යාවෙන් වැඩුණු එක් නිඝණ්ඨයෙකු ඉදිරිපත් වී මෙය විෂ්ණුගේ අවතාරයක් යැයි කියා විෂ්ණු දෙවියන්ගේ ගුණ කියා දළදා වහන්සේ කිණිහිරෙන් පිටතට ගැනීමට උත්සාහ දැරුවත් එම ස්ථානයේම වැඩසිට කෙස් ගසක අගක් පමණවත් සොලවන්නට නොහැකි විය. ඉක්බිතිව පඬි රජු අණබෙර ගස්වා කිණිහිරෙන් පිටතට දළදා වහන්සේ ගත් කෙනෙකුට ධනය ද, සම්පත් ද දෙන බව කියු විට ඒ ඇසු අනේපිඬු සිටු තුමාගේ පරපුරෙන් පැවැත එන සුභද්‍ර නම් සිටුපුත්‍රයෙක් ඉදිරිපත් වී තමාගේ අබියස සිටියේය. එවිට කිණිහිරේ හිරවී තිබුණු වාම ශ්‍රී දළඳා වහන්සේ අහසට පැන නැගී ආකාශ ගර්භය බබළවමින් පෙළහර පා එතැනින් බැස ඒ සිටු පුත්‍රයාගේ හිස මත්තෙහි වැඩිසේක. මෙය දුටු නිඝණ්ඨයින් පිරිසක් බුදුසසුන කෙරෙහි පැහැදුණු අතර තවත් නිඝණ්ඨයින් පිරිසක් පඩි රජු අමතා මෙය සුභද්‍රගේ මන්ත්‍ර බලයක් යැයි කියා රජු රවටා නැවතත් දළදාව විනාශ කිරීමට මෙහෙය විය. නගරයේ වීදිය මැද මහ ගැඹුරු වළක් හාරා දළදා වහන්සේ වළට දමා පස් දමා ඇතුන් ලවා පෑගවූහ. බුද්ධ මහිමය මොනවට විදහා පාමින් රෝදයක් පමණ වූ ඝණ වූ රන්පෙති සමූහයක් ඇති සුවඳ මල් පැණි ඇති නෙළුම් මලක් පොළොව පලාගෙන පැන නැගී එහි කර්ණිකාව මත්තෙහි වැඩ සිටිමින් පෙළහර පෑහ. සතරවන වතාවට ද දළදා වහන්සේ විනාශ කිරීමට ද දුගඳ හමන අසුරු දිය අඟලකට දැමුවද විනාශ නොවී ආශ්චර්යවත් ප්‍රාතිහාර්ය පාමින් සිටින අතර එය දුටු පඬි රජු ඇමැතියන්ගේ ද උපදෙස් ඇතිව බුදුගුණ කෙරෙහි පැහැදී පා ගමනින්ම දිය අගල සමීපයට ගොස් දළදාව පුද පෙරහරෙන් ඇතුළු නුවරට වැඩම කොට දළදා මැදුරක් කොට නානා විධ පුද පූජා පැවැත්වූහ. මෙලෙස කරවන පඩි රජු කෙරෙහි කිපුණු ඛීරධාර රජු යුද්ධයට පැමිණ මරු මුවට පත් විය. ඉක්බිතිව නැවත දළදා වහන්සේ ගුහසීව රජුට පඩි රජු විසින් භාර දෙන ලදී. ගුහසීව රජු කලිඟු රටට දළදා වහන්සේ වැඩමවාගෙන අවුත් දළදා මැදුරෙහි වඩා හිඳුවා පුද සත්කාර පැවැත්වීය. මේ අතර කොසඹෑ නුවර උදේනී රජුගේ පුත්‍ර වූ දන්ත කුමරුන් ශ්‍රද්ධාවෙන් යුතුව දළදාව පිදීම සඳහා දන්ත පුරයට පැමිණියේ ය. සියලු ගුණයන්ගෙන් යුක්ත වූ දන්ත කුමරු ගුහසීව රජු පහදවාගෙන දිනපතා දළදා පූජා පවත්වමින් එම පුරයෙහි ම වාසය කළේය.

හේමමාලා දන්ත කුමරු


රජතුමා දන්ත කුමරු කෙරෙහි පැහැදී දළදා වහන්සේ ආරක්ෂා කිරීමෙහි තැබීය. එපමණක් ද නොව පංචකල්‍යාණයෙන් පරිපූර්ණ වූ විශේෂයෙන් දික්වූ නිල් පැහැති අක් බඹරු කෙස් කළඹක් ඇති ගුහසීව රජුගේ එකම දියණිය වූ රන්මලි හෙවත් හේමමාලා දියණිය ශ්‍රද්ධාවන්ත දන්ත කුමරුට විවාහ කර දුන්නේය. ගුහසීව රජු කලිඟු රට පාලනය කරන සමයෙහි ලක්දිව රාජ්‍ය පාලකයා වූයේ මහසෙන් රජුය. එබැවින් ගුහසීව රජු මහසෙන් රජු සමඟ දැඩි මිත්‍රත්වයක් පැවැතිණි. මේ අතර දළදා වහන්සේ පැහැර ගැනීම සඳහා ඛීරධාර රජතුමාගේ බෑණනු කෙනෙකු ගුහසීව රජු සමඟ සටන් වැදීමට දන්ත පුරයට ගියේය. එහි නුවර සමීපයට ගොස් යුද කඳවුරක් බැඳ බුදුරදුන්ගේ දළදාව මට දෙවයැ’යි නැතහොත් යුද්ධ කරමි’ යි යනුවෙන් හසුනක් යැවීය.

මෙම හසුන බලා ගුහසීව රජු විසින් දන්ත කුමරුට රහසිගතව කියන්නේ, “මාගේ දිවි තිබෙන තුරු දළදා වහන්සේ අනිකෙකුට නොදෙමි යි එබැවින් මා යුද්ධයේදී පැරදුනහොත් වාම ශ්‍රී දළදා වහන්සේ රැගෙන රහසිගතව බමුණු වෙස් ගෙන ලක්දිවට රැගෙන යන ලෙසයි. “ යුද්ධයට ගිය ගුහසීව රජු මරණයට පත්විය. ගුහසීව රජු කියූ ආකාරයට දළදා වහන්සේ ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකාවට පලා යාමට දන්ත කුමරු සූදානම් විය. පළමුව දන්ත කුමරු විසින් නගරයෙන් දකුණු දෙසට ගමන් කොට විශාල ගංඟාවක් තරණය කොට ඟං ඉවුරෙහි වැලි ගොඩක් දාගැබක් කොට ඒ මැදින් දළදා වහන්සේ සඟවා තැබීය. නැවත ඔහු දන්ත පුරයට ගොස් භාර්යාව වන හේමමාලා කුමරිය සමඟ බමුණු - බැමිණි වෙස් ගෙන නැවැත එහි ගොස් වැලි දාගැබ් මැද සඟවා ඇති දළදා වහන්සේ පුදමින් එහි සමීප වන ලැහැබක සැඟවි සිටියහ. මේ අතර අහසින් වඩින්නාවූ තෙරුන් වහන්සේ නමක් දළදා වහන්සේගේ රශ්මි කදම්බය දැක වන්දනා කළහ.

එවිට දන්ත කුමරු හා හේමමාලා යන අඹුසැමි යුවළ තෙරුන් වහන්සේ දැක සතුටට පත්ව කියා සිටියේ, දළදා වහන්සේ රැක ගැනීම පිණිස ලක්දිවට වැඩම කරන බව ය. එවිට තෙරුන් වහන්සේ මෙසේ කීහ. ලක්දිවට දළදා වහන්සේ වැඩම කරන විට හිරිහැරයක් වූ විට මා සිහිකරන්න යැ’ යි පවසා අහසින්ම වැඩම කළහ. ඉක්බිතිව ගංඟාවෙහි නාග විමානයෙහි වැසි පණ්ඩභාර නම් නා රජුු වැලි ගොඩෙහි සඟවා ඇති දළදා වහන්සේගේ බුද්ධ රශ්මිය දැක එහි පැමිණ දළදා කරඬුව ගිල මහමේරු පර්වතය ( මහ මේරු පර්වතයෙහි උස එක්ලක්ෂ හැට දහසකි ) වෙලා හොත්තේය. අඹුසැමි යුවළ මුහුදු තීරයට යෑම සඳහා වැලි ගොඩෙහි තැබු දළදා කරඬුව නොදැක හඬමින් තෙරුන් වහන්සේ සිහිකරන ලදී. එය තෙරුන් වහන්සේ දැක එතනට වැඩම කළහ. කරඬුව ගිල මහමෙරෙහි සයනය කරන්නාවූ නා රජු දැක ඒ වේලෙහිම විශාල පියාපතින් අහස වසාලන ගුරුළු වේශයක් මැවීය. මීට හේතුව ගුරුළන් විසින් නාගයෝ ආහාරයට ගන්නා නිසා නාගයෝ ගුරුල්ලන්ට බිය වූහ. තෙරුන් වහන්සේ ගුරුළු වේශයක් ගත්තේ නාගයා දමනය කිරීම පිණිස ය. අනතුරුව මුහුද දෙබෑ කරගෙන පවනේ වේගයෙන් මහාමෙරෙහි පර්වත පා මුල සිටින නා රජු වෙත පැමිණියේ ය. එවිට නාග රජු නාග වේශය අතහැර පෙණය හකුළුවා බියට පත් සිතැතිව තෙරුන් වහන්සේගේ දෙපා වැඳ මෙසේ කියන්නේ, ධාතු පුජාව ජනයාගේ හිතසුව පිණිස වේ. එබැවින් ඒ උතුම් සර්වඥ දළදාව පුදා පින් රැස්කර ගැනීම සඳහා මෙය ගිල දැමූ බවයි. එවිට තෙරුන් වහන්සේ පවසන්නේ සත්‍යාවබෝධය පිණිස මිනිසුන්ගේ වාසභූමිය වූ සිංහල දේශයට දළදා වහන්සේ වැඩම කර වනු බවයි. එබැවින් දළදා වහන්සේ ලබා දෙන්න යැයි ඉල්ලීමක් කළහ. අනතුරුව නා රජු දළදා කරඬුව දුන්නේය. එම දළදාව අඹුසැමි යුවළට නැවත තෙරුන් වහන්සේ විසින් ගෙනැවිත් දුන්හ. දළදා වහන්සේ හේමමාලා කුමරියගේ කේෂ කලාපයෙහි තබා වන මාර්ගයන්හි ගමන් කරන්නේ දේවතාවෝ විසින් ද පිදුම් කළහ. මෙලෙස ලංකාවට පැමිණීම සඳහා ඔව්හු තාම්‍රලිප්ති පටුනට පැමිණියහ. එහිදි ලක්දිවට යන වෙළෙද නැවක් දැක ඔවුන් එම නැවට නැග දළදා වහන්සේ රැගෙන ලක්දිවට පැමිණෙමින් සිටියහ. නැව ක්‍රමයෙන් මුහුදු මැදට පැමිණි විට නාගයෝ හේමමාලා කුමරියගේ කේෂ කලාපයෙහි සඟවා සිටින දළදා වහන්සේ දැක නානාවිධ පතල පෙණ මාලාවෙන්, කඩුපුල් මල්වලින්, මිහිරි ගීවලින් යනාදියෙන් දළදා වහන්සේ පුදති. මේ අතර දළදා වහන්සේ හේමමාලා කුමරියගේ කෙස් කළඹින් අහසට පැන නැගී චන්ද්‍ර රේඛාවක් මෙන් සුදුබුදු රැස් විහිදුවා පෙළහරක් පෑහ. මෙය ද නාගයන් විසින් දැක ප්‍රීතියෙන් සාධු නදින් පුදන ලදී. නාගයන් මුහුද මැද දිවා රාත්‍රි දින හතක් එකතැන නැව නතර කොට වැඳුම්පිදුම් කරන විට දම්පති යුවළ භීතියට පත් වී තෙරුන් වහන්සේ සිහි කළවිට තෙරුන් වහන්සේ ඒ දැක ගුරුළු වේශයක් මවා නාගයන් බිය ගන්වා පළවා හැරීය. ඉක්බිතිව ඔව්හු නිරුපද්‍රිතව දළදා වහන්සේ වැඩමවා ගෙන ලක්දිව ලංකා පට්ටන නම් ස්ථානයට ගොඩ බැස්සහ.

ශාස්ත්‍රපති, පණ්ඩිත
කෝන්වැවේ සුනන්ද හිමි

දළඳා වන්දනා ගාථා Dalada Wandana gatha


ගිහි පැවිදි සබඳතාවය තහවුරු කරන නිකිණි පෝය



උප වසථ උපෝසථ යනුවෙන් වස ධාතුවට උප යන උපසර්ගය එක්වීමෙන් උපෝසථ යන වචනය සෑදී ඇත. එහි තේරුම ළඟ වාසය කිරීම යන්න යි. එයින් කියැවෙන්නේ දෙවියන් ළඟ වාසය කිරීම යනුයි. වෛදික යුගයේදී බ්‍රාහ්මණයෝ පවා උපෝසථ දිනවලදී දෙවියන් මිනිසුන් ළඟට පැමිණෙන බව විශ්වාස කළහ. එනිසා බමුණෝ උපෝසථ දිනයන්හි ශුද්ධ ස්ථානයන්හි ගත කළහ. ත්‍රිපිටක ධර්මයෙහි ද පොහෝ දිනයන්හි සතර වරන් දෙවිවරු පින් කරණ මනුෂ්‍යයන් සොයා බැලීම පිණිස පැමිණෙන බව සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තයේ දක්වා ඇත.

නිකිණි පෝය ශාසනික වශයෙන් වැදගත් කරුණු දෙකක් සිදුවී ඇති බැවින් විශේෂිත පොහෝ දිනයක් ලෙස සලකනු ලැබේ. බුදුරදුන් පිරිනිවන් පෑමෙන් තෙමසක් ගතවීමෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට ආරම්භ කොට ඇත්තේ නිකිණි පොහෝ දිනයේ දී ය. එම සංගායනාව ධර්මය සුරක්‍ෂිත වීමට මහෝපකාරී විය. බුදුරදුන් පිරිනිවීමෙන් අඬන, වැළපෙන භික්‍ෂූන් දුටු බුඩ්ඪ පබ්බජිත සුභද්‍ර භික්ෂුව කී : “අලං ආවුසෝ මා සෝචිත්ථ, මා පරිදේවිත්ථ, සුමුත්තා මයං තෙන මහාසමණේන.” ඇවැත්නි සෝක නො කරන්න. නො වැලපෙන්න අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු “ යන්න ඇසූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුන් පිරිනිවීමෙන් තෙමසකට පසු ධර්ම සංගායනාවක් පැවැත්වීමට කල්පනා කළහ.

සුභද්‍ර වැනි බුඩ්ඪ පබ්බජිතයකුගේ වචනයට ධර්ම සංගායනාවක් බඳු බැරෑරුම් කටයුත්තක් කරන ලද්දේ ඔහුට පිටුපස විරුද්ධ බලවේගයක් පැවති නිසා යයි සිතිය හැකිය. බුදු දහමින් ප්‍රධාන වශයෙන් පහර වැදුණේ බ්‍රාහ්මණ ධර්මයන්ට ය. එහෙත් බුදුරදුන්ගේ අසාමාන්‍ය පෞරුෂත්වය මැඩ පැවැත්වීමට බමුණන්ට නො හැකි විය. බුදු රදුන් පිරිනිවීමත් සමගම බමුණු බලය හිස එසවූ බව සුභද්‍රගේ කථාවෙන් පැහැදිලි වෙයි.

බුදුරදුන් පිරිනිවීමට ප්‍රථම නිගණ්ඨනාථ පුත්‍රගේ අභාවය සිදුවිය. එතුමන්ගේ පිරිනිවීමත් සමගම නිගණ්ඨ ශාසනය සී සී කඩ විසිර ගියේය. එයත් ආදර්ශයට ගත් ශාසන භාර ධාරී මහතෙරවරු ධර්ම සංගායනාවක් කිරීමට සූදානම් වූහ. එම පළමුවැනි ධර්ම සංගායනාව නිකිණි පුර පසළොස්වක් පොහෝ දින සප්තපර්ණි ගුහාවෙහි ආරම්භ කොට තෙමසකින් නිමාවට පත් කළහ.

නිකිණි පුර පසළොස්වක දී පොහෝ විනය කර්ම කොට නිකිණි අව පෑලවිය දා පසුවස් එළඹිය යුතුය. වස්සාන සෘතුවෙහි භික්‍ෂූන් වහන්සේලා පෙරවස් හෝ පසුවස් එළඹිය යුතු ය. එසේ වස් නො එළඹුනහොත් උපසපන් භික්‍ෂුවකට දුකුළා ඇවැත් වන බව මහාවග්ගපාළියෙහි වස්සුපනායිකක්ඛන්ධයෙහි දක්වා ඇත. භික්ෂූන් වහන්සේලා පෙර වස් සමාදන් විය යුතුය. පෙර වස් වසන දිනයේ දී යම්කිසි කරදරයකට පත්ව වස් එළඹීමට නො හැකි වූ භික්ෂූන්ට පසුවස් විසීමට අනුදැන ඇත. පසුවස් සමාදන් වූ භික්‍ෂූන්ට කඨින චීවරයක් ලබා ගැනීමට අවස්ථාවක් නැත. හේතුව චීවර මාසය ඉක්මගොස් ඇති බැවිනි.
පෙරවස් විසීමට හෝ පසුවස් විසීමට හෝ වහලක් හා දොරක් ඇති ගෙයක් ම සොයාගත යුතුය. ගස්යට, එළිමහනෙ, කුඩ යට, ගස් දෙබලවල, ගස් බෙනවල, සොහොන් ගෙවල, ගාල, කරත්තවල වස් නො එළඹිය යුතු ය.

බුදුසසුන ආරම්භ වූ මුල් කාලයෙහි භික්‍ෂූන් ගත කළේ සංචාරී ජීවිතයකි. එදා දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවත එන සිරිතකි, වැසි කාලය එක තැනක සිටීම. එහෙත් මුල් බෞද්ධ භික්‍ෂූහු මේ ප්‍රතිපදාවට ගරු නො කර වැසි කාලයෙහිත් සංචාරය කළහ. ඒ දුටු පොදුජනයා දොස් නැගූහ. කුරුල්ලන් පවා වැසි කාලයෙහි එක් තැනෙක සිටින අතර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ නිල් තණ පාගමින් සංචාරය කරති යි චෝදනා නැගූහ. මෙසේ මහජන උද්ඝෝෂණයට සවන් දුන් බුදුපියාණන් වහන්සේ “ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි වස් කාලයෙහි වස් විසීමට අනුදනිමි” යි වස්සාන ශික්‍ෂා පදය පැනවූහ. සමහර භික්‍ෂූන්ට කරදර ඇතිවීම නිසා වස්සානයෙහි වස් එළඹීමට නො හැකි වුහ. එබඳු භික්‍ෂූන්ට පසුවස් විසීමට අනුදැන වදාළ සේක.

වස් කාලය වස් සමාදන් වන භික්‍ෂූන් වහන්සේලාටත් වස් වසවා ගන්නා දායක දායිකාවන්ටත් ඉතා වැඩදායක කාල පරිච්ඡේදයකි. සිව්පස පහසුව ලබන භික්‍ෂූහු තම ශ්‍රමණ ප්‍රතිපදාවන් මස්තක ප්‍රාප්ත කරගනිති. එසේම සුපේශල ශික්‍ෂාකාමී එම භික්‍ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමෙන් දෙලොව යහපත පිණිස පවත්නා අනන්ත පින් රැස්කර ගනිති. එදා භික්‍ෂූහු බුදුරදුන්ගෙන් කමටහන් රැගෙන මහණදම් සපුරා ගැනීම සඳහා වස් වසන තැන් සොයා ගියහ. උන්වහන්සේලා දකින උපාසක උපාසිකාවෝ ඒ භික්‍ෂූන් සමග කතාබස් කොට තොරතුරු විචාරා වස් විසීමට සුදුසු ආරාම පිළියෙල කර දෙති. සිව්පස පහසුකම් ලබන භික්‍ෂූහු උගත් කමටහන් වඩා මගඵල ලබා ගනිති. දායක දායිකාවෝ ද භික්‍ෂූන්ට සංග්‍රහ කොට පින් රැස්කරගන්නා අතර බණ දහම් අසා ධර්මානුකූලව ජීවිතය සකසා ගනිති. බුද්ධ කාලයෙහි බෙහෙවින් මගඵල ලබාගෙන ඇත්තේ වස්සාන කාලයන්හිදී ය.

වස් කාලයන්හි දී ගිහි පැවිදි සම්බන්ධතාවය වඩාත් තහවුරු විය. මේ නිසා ශාසනය සුරක්‍ෂිත විය. එසේම නිතර ගිහි යන්ගේ ඇල්ම බැල්ම ලැබීම නිසා, ශික්‍ෂාකාමිත්වය දියුණු තියුණු විය. සිව් පසයෙන් සංග්‍රහ කරන දායක පක්‍ෂයට ප්‍රත්‍යුපකාර කිරීම් වශයෙන් ගිහියන්ගේ දෙලොව යහපත සැලසීම පිණිස පාපයෙන් වළක්වාලීම, කල්‍යාණ මිත්‍රයන් ඇසුරට පත් කිරීම, ගිහියන් කෙරෙහි කරුණා මෛත්‍රිය උපදවා ගැනීම, නො ඇසූ දේ ඇස්සවීමට සැලැස්වීම, ඇසූ දේ පිරිසුදු භාවයට පත් කිරීම, ස්වර්ග මාර්ගය කියා දීම ආදී ශ්‍රමණ යුතුකම් ඉටු කරති.

එසේ යුතුකම් ඉටුකරන ගිහියෝ ද භික්‍ෂූන් වහන්සේලාට ගෞරව දැක්විය යුතු ය. ගෞරව සම්ප්‍රයුක්තව කතා බස් කළයුතුය. උන්වහන්සේලාගේ හිත සුව පැතිය යුතුය. ඇති දේ නො සඟවා දිය යුතු ය. දාන මානාදියෙන් සංග්‍රහ කළ යුතුය. මෙසේ ඔවුනොවුන්ගේ යුතුකම් ඉටුවන විට ශාසනයත් චිරස්ථායි වනු නො අනුමානය.


නිකිණි පොහොයෙන් ආරම්භ වූ ප්‍රථම ධර්ම සංගායනාව නිසා ත්‍රිපිටක ධර්මය නිසි ලෙස ආරක්‍ෂා වු අතර ශාසනය චිරස්ථායි විය. පසුවස් සමාදානයේ ආරම්භය නිකිණි පොහොය වීම නිසා ඉහත සඳහන් ගිහි පැවිදි සම්බන්ධතාවය දියුණු වීම නිසා ශාසනයේ පැවැත්මට මහත් රුකුලක් විය. මෙම වැදගත් කරුණු දෙකම සිදුවූයේ නිකිණි පුර පසළොස්වක් පොහෝ දිනෙක නිසා නිකිණි පොහෝ දිනය ද අතිශය වැදගත් පොහෝ දිනයක් බවට පත්වී ඇත.

රත්මලානේ ශ්‍රී රත්නාරාමාධිපති 
සද්ධර්ම කීර්ති ශ්‍රී‍්‍ර ධම්ම සිද්ධි බස්නාහිර පළාත සහිත 
කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක 
අධ්‍යාපනපති, ශාස්ත්‍රපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි

බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි