ලොවට සැනසීමේ මඟ කියාදුන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ
බුදු වීමට පෙර බුදුන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නම් වූහ. පුරාකෘත කුශල ශක්තිය නිසා ඍද්ධිබල සම්පන්න පෞරුෂේය චරිතයක් එම කුමරාට හිමිවිය. තරුණ වියේ දී ධන ධාන්‍යයෙන් ආඪ්‍ය පවුලක සෞන්දර්යාත්මක ජීවිතයක් ගෙවූ අතර ත්‍රිවේදය, ගණිතය, මිනින්දෝරු ශාස්ත්‍රය, තර්කය, න්‍යාය, ලලිත කලා, ජ්‍යොතිෂ, වෛද්‍ය විද්‍යාව ආදී විවිධ ශබ්ද ශාස්ත්‍රයන් පිළිබඳ පරතෙරට පත් විය. ජව සම්පන්න තරුණයෙකු වශයෙන් ද තම මිත්‍රයන් සමඟ සමස්ත ඉන්දියාවේ සොළොස් මහ ජනපදයන්හි හැසිර ලබාගත් ඥාන සම්භාරයක් සහ ජීවිත පරිඥානයක් සතුව සිටි කෙනෙකි.
එසේම යශෝධරා නම් සුරූපී කුමරිය සමඟ විවාහ ජීවිතයක් ගෙවමින් රාහුල නම් පුත් කුමරෙකු ද ලොවට සුජාත කළ පියෙකි. මෙබඳු පසුබිමක සිට සිද්ධාර්ථ කුමරුන් ගිහි ජීවිතය අතහැර යාම විශේෂ සිද්ධියකි. එය රාජකීය කුමරෙකු රජ පෙළපතෙන් සමුගැනීමක් විය. දිව්‍යාංගනාවක බඳු බිරිඳක හා පුත් කුමරෙකු අතහැර යාමේ ශෝකජනක සිදුවීමක් විය. සැප අතහැර දුක පිළිගැනීමේ තීරණාත්මක හා විප්ලවීය ක්‍රියාදාමයක් විය. මේ නිසා සිද්ධාර්ථ කුමරුන්ගේ අබිනික්මන යනු ලාමක ක්‍රියාවක් නොව අලාමක පුරුෂ ශ්‍රේෂ්ඨයෙකුගේ විශිෂ්ට කැප කිරීමකි. බුද්ධත්වය යනු සාමාන්‍ය ගිහි ජීවිතයට වඩා අසාමාන්‍ය ලෙස චරිත ලක්ෂණ හා ප්‍රඥාව විකසිත කිරීමෙන් ලද උත්තරීතර තත්වයකි. වරක් බුදුන් වහන්සේ තමන් කිසිඳු දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ නොවන බවත් මනුෂ්‍යයෙකු වන බවත් පැවසූහ. මේ නිසා තථාගතයන් වහන්සේ අප විසින් හඳුනාගත යුත්තේ මුනුෂ්‍යයෙකු හැටියටය. එහෙත් උත්තරීතර හා අසාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසය. කිසිඳු දේව බ්‍රහ්ම මාර යක්ෂ යනාදී කිසිවෙකුට අභියෝග කළ නොහැකි තරමේ හැකියාවන් සහිත වූ කෙනෙකි. බුද්ධ යන පාලි පදය සෑදී ඇත්තේ බුධ යන ධාතුවෙනි. එහි එක් තේරුමක් වන්නේ පිබිදීම යන්නයි. සැබැවින්ම නිදා සිටි භාරතීය ජනතාව අවදි කළ තැනැත්තා නම් බුදුරජාණන් වහන්සේය.
උන්වහන්සේ ලොව පහළ වන විට සිය මිනිසුන් ද ඇතුළුව දහස් ගණන් සතුන් මරමින් යාග පවත්වා දියුණුවට මඟ පෙන්වූ ආගමික කොටස්වලින් ද එයම අනුගමනය කරමින් ක්‍රියා කළ ජනයාගෙන් ද සමස්ත භාරතය යුක්ත විය. දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් ජන සමාජය මෙහෙයවනු ලැබිණ. වීමංසන බුද්ධියට සමු දී නිද්‍රාවට වැටී සිට එම ජනයාගේ දෑසේ අවිද්‍යා අන්ධකාරය නමැති කඩතුරාව ඉවත ලූයේ බුදුරජාණන් වහන්සේ විසිනි. අජාසත් වැනි දේශපාලනඥයන්, පොට්ඨපාද වැනි ආගමික නායකයන්, උපාලි ගෘහපති වැනි ආගමික අනුගාමිකයන්, අනාථපිණ්ඩික වැනි ව්‍යාපාරිකයන්, තාලපුට වැනි කලාකරුවන්, අංගුලිමාල වැනි දාමරිකයන්, සච්චක වැනි පණ්ඩිතමානී දේශකයන් පමණක් නොව දුසිරිතෙන් දිවි ගෙවමින් ඊට සුසිරිතෙහි අරුත ආරෝපණය කරමින් සිටි අපමණ ජන කොටස් බුදුරදුන්ගේ මඟ පෙන්වීම නිසා යහ මඟට පිවිසියහ. මේ නිසා ජනයා අවදි කළ උතුමන් වහන්සේ යන අරුතින් ද බුද්ධ යන්න බුදුරජාණන් වහන්සේට අන්වර්ථ නාමයක් වේ. මෙය බෞද්ධ ඇසකින් බලා පැමිණෙන නිගමනයක් නොවේ. ජාති, ආගම්, කුල, ග්‍රෝත්‍රාදී භේද රහිතව එවකට සමස්ත ඉන්දියානු ජනයා විසින් අවිවාදයෙන් පිළිගන්නා ලද්දකි. ඇතැම් අන්‍යාගමිකයන් බුදුන් වහන්සේට ගරු කළේ කවර හේතු නිසා දැයි දීඝනිකායේ සෝණදණ්ඩ සූත්‍රයෙන් මැනවින් දැකගත හැකිය. වරක් සෝණදණ්ඩ නම් ප්‍රකට අන්‍යාගමික ශාස්තෘවරයා මහපාර දිගේ විශාල පිරිස් ගමන් කරනු දුටුවේය. ඊට කරුණු විමසා බලද්දී ඔහු දුටුවේ බුදුන් වහන්සේ පැමිණ ඇති හෙයින් මෙසේ පිරිස් ඇදී යන බවයි.
බුදුරදුන් හමුවීම සඳහා යාමට ඔහුට සිතුණි. ඒ බැව් දැනගත් සෝණදණ්ඩ බමුණාගේ ශ්‍රාවකයෝ කරුණු දක්වමින් කියා සිටියේ සෝණදණ්ඩ බමුණා බුදුරදුන් බැහැ දැකීමට නොයා යුතු බවයි. එහෙත් එය නො පිළිගත් සෝණදණ්ඩ බුමුණා තමා බුදුරදුන් බැහැ දැකීමට යා යුත්තේ මේ මේ කරුණු නිසා යැයි අවධාරණය කළේය. ඔහු බුදුරදුන් සතු විශේෂ කරුණු කිහිපයක් දුටුයේය. ඉන් පළමුවැන්න බුදුන් වහන්සේ මව්පිය දෙපසින්ම සුජාත කෙනෙකු බවය. දෙවැන්න සත් මුතු පරපුර දක්වා පිරිසුදු කළළ ඇත්තෙකි. තෙවැන්න ජාති කුල ගෝත්‍ර සම්බන්ධයෙන් අපවාද නො ලද්දෙකි. සිවුවැන්න විශාල ඥාති පිරිසක් ඇත්තෙකි. පස්වැන්න ධන ධාන්‍ය සම්පත්තියෙන් ආඪ්‍ය කෙනෙකි. සයවැන්න භද්‍ර යෞවන අවදියෙහි සිටින කෙනෙකි. සත්වැන්න අනුව උන්වහන්සේ දැකීමට කිසිදු දෝෂයක් නැති තරම් රූප සෞන්දර්යයෙන් සමන්විත කෙනෙකි.
අටවැන්න ආචාරශීලී කෙනෙකි නවවැන්න අනුව උගතෙකි. දසවැනි කරුණ අනුව බුදුරජාණන් වහන්සේ යම් දෙසක වෙසෙත් නම් එහි වෙසෙන අමනුෂ්‍යයන් මිනිසුන්ට හිංසා නො කිරීමට තරම් උන්වහන්සේ බලගතු කෙනෙකු වන බවයි. ඉහත සඳහන් කරුණු අනුව බුදුරදුන් තුළ පැවතියේ අපූර්ව කායික හා මානසික පෞරුෂයක් බව පැහැදිලිය. අනෙක් අතින් විද්‍යාව අතින් ලෝකය දියුණුවත්ම බුදු වදන අඳුරු කඩතුරාවන්ගෙන් නිරාවරණය වී බැබළීම වැළැක්විය නො හැකිය. බුදුදහම යනු විශ්ව සත්‍යය පිළිබඳ අනාවරණයක් වීම ඊට හේතුවයි. බුද්ධ ධර්මය පුද්ගල කේන්ද්‍රීය වූවක් නොවේ. බුදුන් වහන්සේ ධර්මයේ නායකත්වය ධර්මයටම පැවරූ උතුමෙකි.
එය කිසියම් රටක පාලකයෙකු අනුව නොව ව්‍යවස්ථාව අනුව රට පාලනය කිරීමක් බඳුය. බුදුන් වහන්සේගේ දූරදර්ශීභාවය තේරුම් ගැනීමට එය පමණක් වුවද ප්‍රමාණවත්ය. වර්තමානය වන විට විශේෂයෙන් යුරෝපා රටවල බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේත් ලෝක නායකයින් බුද්ධිමතුන් හා නිදහස් මතධාරීන් බුදුදහම වැළඳ ගන්නේත් බුදුන් වහන්සේ නමැති ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරයාගේ ප්‍රතිපත්තිය හා ඉගැන්වීම දිනෙන් දින සනාථ වන බැවිනි. තවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යනු ලෝකයේ පවතින මහා කරුණාවේ සහ මහා ප්‍රඥාවේ අග්‍රගණ්‍ය ප්‍රතිමූර්තිය වේ. උන්වහන්සේ සතුව පැවති මහා ප්‍රඥාව ඉතා ප්‍රකටය. තථාගත දේශනාවෙහි ඇති එක අක්ෂරයක පවා ගැඹුරු දාර්ශනික අර්ථයක් ඇත. ඊට සමාන දේශනාවක් ලෝකයේ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් සිදු කොට නැත. තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේ එකී මහා ප්‍රඥාව මහා කරුණාවත් සමඟ බැඳී තිබීමයි. ලෝකයේ මහා කරුණාවක් සහිත පුද්ගලයෙකුට මහා ප්‍රඥාවක් හිමි වේ නම් එය ලෝකයාගේ කෙතරම් භාග්‍යයක් දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත.
ශාස්තෘවරුන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රගණ්‍ය වන ලක්ෂණ රාශියක් දක්නට ලැබේ. එයිනුදු විශේෂ කරුණක් වන්නේ යමෙක් තමන්ට අපහාස කළ ද එහි දී උරණ නොවන ලෙසත් ඊට හේතු විමසා බැලීමට නින්දා අපහාස කරන්නන්ට අවස්ථාව සලසා දෙන ලෙසටත් තම ශ්‍රාවකයන් දැනුවත් කොට තිබීම නිසාය. මෙම උත්තුංගගුණය වඩාත් අර්ථවත් ලෙස වටහා ගත හැකි වන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් වෙනත් ආගම් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය විමසා බැලීමෙනි. බුද්ධ ධර්මය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ පිළිගැනීම වූයේ එය විවෘත වන තරමට බබළන බවය. මේ නිසා පිරිසුදු බුද්ධ ධර්මයත්, සංඝය රත්නයත් ලෝකයේ පවතින තුරු එහි පැවැත්ම හෝ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසි තැනක හෝ කිසි කලෙක ඊට අභියෝගයක් නොමැත. එබැවින් බුදුදහම ආරක්ෂා කිරීම විෂයෙහි අප විසින් විශේෂයෙන් යමක් කළ යුතු නැත. කළයුතු එකම දෙය වන්නේ තථාගතයන් වහන්සේගේ අනුශාසනය අනුව පිළිවෙත් රැකීම පමණකි. සියලු ආකාරයේ පව් නො කිරීමත්, කුසල් කිරීමත් තම සිත පිරිසුදු කර ගැනීමත් සමස්ත බුද්ධානුශාසනය හෙවත් බුදුදහම බව බුදුන් වහන්සේ විසින්ම දේශනා කොට ඇත. එබැවින් ගෞතම තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ යනු ප්‍රඥා සාගරයකි. කරුණා නිධානයකි.
සංසාරයේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිත පාරමිතා ශක්තීන්ගෙන් පහළ වූ පුරුෂෝත්තමයෙකි. බුදුරදුන් සැබෑ ලෙස දැකිය හැකි වන්නේ උන්වහන්සේ විසින් දේශිත ධර්මයෙන්මය. යො ධම්මං පස්සති සො මං පස්සති යනුවෙන් වදාළේ එහෙයිනි. විද්‍යාවෙන් දියුණුව කරා පිය මනින ලෝකය රාග ද්වේෂ මෝහයන්ගෙන් දැවෙන අයුරු බලන්න. බුදුන් වහන්සේ එකී ලෝකය තුළ නො දැවී සිටිමේ මාවත හෙළි පෙහෙළි කර දුන් සේක. එබැවින් එකී බුදුරදුන් පිළිබඳ ඔබ තුළ ඇතිවන භක්තිය ඔබ ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් පිරිපුන් පුරුෂයෙකු බවට පත් කරවනු ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය,
වෑඋඩ, බුජස්ලෙන රාජමහා විහාරවාසී,
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටා ගැනීමකි
අදින් වසර 2325 කට පෙර වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ
සිරිලක දහම් එළියෙන් එකලු කළ මිහිඳු මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස් හයකට පමණ පසු වැඩම කළ සේක. ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ මැද භාගයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දින එම අසිරිමත් සිදුවීම සිදුවිය. එකල අප රට පාලනය කළේ දේවානම්පියතිස්ස රජතුමාය. මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට බුදුදහම හඳුන්වා දී මේවන විට වසර දෙදහස් තුන්සීය විසිහතරකි. (2325)
පාලි භාෂාවෙන් ‘මහින්ද ථෙරො’ යනුවෙන්ද සංස්කෘත භාෂාවෙන් “මහීන්ද්‍ර ස්ථවිර” යනුවෙන්ද මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වති.
මිහිඳු මහරහතන් වහන්සේගේ පියතුමා භාරත දේශය එක්සේසත් කළ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් සැලකෙන ධර්මාශෝක රජතුමා බව සුප්‍රකටයි. එහෙත් මව්තුමිය පිළිබඳ එතරම් ප්‍රකට නොවේ. දීපවංශය, මහාවංසය සමන්තපාසාදිකාව නම් විනය අටුවාව අදී පාලි මූලාශ්‍රය /ග්‍රන්ථයන්හි උන්වහන්සේගේ මව්තුමිය “වේදිස දේවිය” යනුවෙන් හැඳින්වේ. එය “වේටිස” දේවිය යනුවෙන්ද ඇතැමෙක් වහරති. පාඨක අවධානය පිණිස ලංකා ඉතිහාස ග්‍රන්ථයේ 1 කාණ්ඩයේ ඡේදයක් උපුටා දක්වනු ලැබේ.
“මිහිඳු මාහිමියන්ගේ පෙළපත ගැන අනික් රටවල බෞද්ධයන්ට වඩා ලංකාවේ බෞද්ධයන් සැලකිලිමත් වන්නට ඇති හෙයින් ඒ තොරතුරු ලංකාවේ බෞද්ධයන් විසින් වඩාත් හොඳින් මතක තබා ගන්නට ඇත. ලංකාවේ පාරම්පරික කථාවට අනුව, මිහිඳු මාහිමියෝ අශෝක රජුට දාව (මෙකල හිල්සා නමැති) විදිසාවේ සිටු දේවියකු ගේ දුවක කුසින් උපන්නෙකි. අශෝක රජු කුමාර කාලයේ උජ්ජයිනියේ රාජ්‍යභාර ගැණීමට යන අතරමගදී ඇය කෙරෙහි පෙම්බැඳගත්තේය. වේදිස දේවි නම් වු ඕ තොමේ අශෝක නිසා මහින්ද නමින් පුත්‍රයෙක් සහ සංඝමිත්තා නම් දුවක්ද ලැබුවාය”.
මේ අනුව මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ මාපියන් වන්නේ අශෝක රජතුමා සහ වේදිස දේවියයි.
කාලිංග යුද්ධයෙන් පසු බෞද්ධ උපාසකයෙකු වු රජතුමා විසින් බුදුදහම ව්‍යාප්ත කිරීමෙහිලා අද්විතීය මෙහෙවරක් සිදු කරන ලදී. පාලි සාහිත්‍යයේ සඳහන් වන්නේ අසූ හාරදහසක් වෙහෙර විහාර කරන ලද බවයි. වරක් ධර්මාශෝක රජ “ස්වාමීනි අපගේ දශබලධාරී ලෝකස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි කවරෙක් නම් මහා පරිත්‍යාගයක් කළේද? කවරෙකුගේ නම් පරිත්‍යාගයක් විශාල වෙයි දැයි මහා සංඝරත්නයෙන් විමසයි.” එහිදී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහරජ දශබලධාරි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඔබ හා සමාන වූ අන් කිසිඳු ප්‍රත්‍ය දායකයෙක් තථාගතයන් වහන්සේ ධරමාන කාලයෙහිද (වැඩ සිටි කාලයේ) නොවුයේය. ඔබගේම පරිත්‍යාගය මහත්යි කීය. රජතුමා තෙරුන්ගේ මේ වචන අසා උදාර වූ පී‍්‍රති ප්‍රමෝද්‍යයෙන් නිරතුරුව පහස්නා ලද සිරුර ඇත්තේ “මා හා සමාන ප්‍රත්‍යය දායකයෙක් නැත්තේය. මාගේ ම පරිත්‍යාගය මහත්ය. මම දියයුතු දැයින් සසුනට සංග්‍රහය කරමි. කුමක්ද? මම මෙසේ ඇතිකල්හි සසුනෙහි නෑයෙක් වෙම්ද නොවෙම්දැයි සිතීය. එසේ සිතා මහා සංඝරත්නයෙන් විමසුවේය. එවිට මොග්ගලීපුත්ත තිස්ස මාහිමියෝ මහින්ද කුමරුන්ගේ හේතු සම්පත්තිය දැක මේ කුමරු පැවිදි වන්නේ නම් එය සසුනෙහි මහත් දියුණුවකැයි සිතා මෙසේ වදාළ සේක.
මහරජ, මෙපමණකින් සසුනෙහි නෑයෙක් හෝ නොවේමය, එහෙත් ප්‍රත්‍ය දායකැයි හෝ උපස්ථායකැයි හෝ සැලකීමට යන්නේය. මහරජ යමෙක් පොළොව පටන් බඹලොව පමණ තෙක් පත්‍යය රාශියක් දෙන්නේ නමුත් ඔහුද සසුනෙහි නෑයෙකැයි සැලකීමට නොයන්නේය. මහරජ පොහොසත් වු හෝ දිළිඳු වූ හෝ යම් කිසිවෙක් තමන්ගේම පුතෙකු සසුනෙහි පැවිදි කරනවාද? මහරජ ඔහුම සසුනෙහි නෑයෙක් වේයයි වදාළ සේක.
මේ අනුව ඒ වන විට යුවරජකමට පත් කර සිටි මිහිඳු කුමාරයා පැවිදිවීමට කැමැත්ත පළ කළ හෙයින් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වශයෙන්ද, මහාදේව මහරහතන් වහන්සේ ආචාර්යන් වහන්සේ වශයෙන්ද ඒ කුමරු පැවිදි කළ සේක. මේ වන විට මහින්ද කුමාරයා විසි (20) වයස් සම්පූර්ණවී තිබුණි. මේ පිළිබඳ සමන්තපාසාදිකාවේ තවදුරටත් සඳහන් වන්නේ මෙසේය.
“මොග්ගලීපුත්තතිස්ස මාහිමි උපාධ්‍යාය කොට මහාදේව මාහිමි ආචාර්ය කොට මිහිඳු කුමරු පැවිදි කරවූයේය. මජ්ඣත්තික මාහිමි අචාර්ය කොට උපසම්පදා වූයේය. මහින්ද භික්ෂුව උපසම්පදා කරන විටදීම සිව්පිළිසිඹියාවන් සමඟ රහත් බවට පැමිණියේය.
මිහිදු මාහිමියන්ගේ නැගෙණිය වු සංඝමිත්තා කුමරිය තම ස්වාමිපුත්‍රයා වූ අග්ගිබ්‍රහ්ම කුමාරයාගේ අවසරය ඇතිව පැවිදි බිමට පත් වූ බව මෙහිදී සඳහන් කළ යුතු තව විශේෂ කරුණකි. (වයස) දහ අට වියේ පසු වූ ඇය පැවිදි කරන ලද්දේ ආයුපාල නම් මෙහෙණින් වහන්සේ විසිනි. උපාධ්‍යාය වූවා ධම්මපාලී මෙහෙණින් වහන්සේය.
මිහිඳු මාහිමියෝ ලංකාවේ ධර්මදූත මෙහෙවරට සහභාගි වීමට පෙර පුරා වසර තුනක් ත්‍රිපිටකයත්, අටුවා ග්‍රන්ථත් පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාගත් බව ඉපැරණි පාලි මූලාශ්‍රය ග්‍රන්ථයන්ගෙන් මනාව ප්‍රකට වන කරුණකි. සමන්තපාසාදිකාව අන්තර්ගතව පහත සඳහන් උපුටා ගැනීමෙන් ඒ බව ඔබට වැටහේ.
එනම් “මිහිඳු මාහිමියෝ උපසපන් වූ කාලයේ පටන් තමන්ගේ උපාධ්‍යායන් වහන්සේ (මොග්ගලීපුත්තතිස්ස මාහිමි) වෙතම ධර්මය ද විනයද පුහුණුූ කරන්නාහු ප්‍රථම, ද්විතීය සංගායනාවන්ට නැගූ අට්ඨකථා සහිතව සංගායනා කරන ලද සියලු ථේරවාදි ත්‍රිපිටක ධර්මය වසර තුනක් ඇතුළත දී ඉගෙන තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ අතවැසි දහසක් පමණ භික්ෂූන් අතුරෙහි ප්‍රමුඛ වූහ.”
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර විශේෂයෙන් ම ථේරවාද සම්බුද්ධ සම්ප්‍රදාය පිළිබඳ මනා අවබෝධයකින් ලබාගත් බව මින් පැහැදිලි වේ. මේ පිළිබඳ මහාචාර්ය යටදොළවත්තේ ධම්මවිසුද්ධි හිමියන් විසින් අපේ සංස්කෘතික උරුමයේ ස්වකීය ලිපියේ මෙසේ සඳහන් කරනු ලැබේ.
එනම් “ලංකා ගමනට පෙර ඤාතීන් බැහැදැකීම කළ යුතු වූවකි. ධර්මදූත කණ්ඩායමේ නායක මහින්ද තෙරුන්ගේ මව වු වේදිස (වෙටිස) දේවිය වාසය කළේ නැගෙනහිර මාල්වා රටේ වේදිසගිරියේය. සුමන සාමණේරයන් මහින්ද තෙරුන්ගේ සොහොයුරිය වු සංඝමිත්තා ගේ පුත්‍රයා වු හෙයින් උන්වහන්සේටද ඒ ගමනින් තම මිත්තණිය ඇතුළු ඥාතීන් සමූහය දැක ගැනීමේ අවස්ථාව උදාවේ. ඒ අනුව ඥාතීන් බැහැ දැකීමට දක්ඛිණගිරියට ගිය ගමනේ වැදගත් හේතුව විය. දීපවංශය කියන හැටියට දක්ඛිණාගිරියට හා වේදසගිරියට ගියේ ඥාතින් බැහැ දැකීමටය. මේ ගමනින් ඇතම් විට තවත් ප්‍රයෝජනයක් ගන්නට ඇත. වේදසගිරිය අවන්තිරටට අයත් ප්‍රදේශයකි. බුද්ධ කාලයේ සිට අවන්තිය ප්‍රතිපත්ති ගරුක භික්ෂුන් විසු රටකි. කච්චායන ව්‍යාකරණය නමින් හැඳින්වෙන ව්‍යාකරණ සම්ප්‍රදාය අවන්තියේ විසු මහාකච්ඡායන හිමියන්ගේ මූලිකත්වයෙන් සම්භව වූවකි. ධර්මයේ සංක්ෂිප්ත තැන් විස්තර කර දැක්වීම සම්බන්ධයෙන්ද මහාකච්චායන හිමියෝ ගෞරවයට පාත්‍ර වූහ. අවන්ති රට ථේරවාද බෞද්ධ සම්ප්‍රදායේ ආරක්ෂා ස්ථානයක් වශයෙන්ද කීර්තියක් ඉසිලීය. දක්ඛිණාගිරියට වැඩම කළ ගමන කුමන හේතුන් උඩ කළත් එහි රැකෙමින් තිබුණූ බෞද්ධ සම්ප්‍රදායන්ගෙන් ප්‍රයෝජන ගැනීමේ අවස්ථාවක් එමගින් ලැබෙන්නට ඇත.”
මෙසේ මිහිදු මාහිමියෝ ස්වකීය අචාර්යයන් වහන්සේගේ ආශ්‍රයෙන් විශේෂ වශයෙන් ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය පිළිබද මනා පරිචයක් ලබා ලක්බිමට වැඩම කරන්නේද දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි”.
“විශේෂයෙන්ම මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ අනුශාසනා පරිදි අශෝක රජතුමා බුදුදහම වහ වහා දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් ව්‍යාප්ත කිරීමට යුහුසුළු විය. ධර්මාශෝක රජුන් ශ්‍රී ලංකික රජුන් අතර සම්බන්ධතාවක් තිබුණි. එකල ලක්දිව රජ වූයේ මුටසීව රජුය. මුටසීව රජු කල තිබුණූ සම්බන්ධ ගැන පාලි පොතපතෙන්ද සාධක කිහිපයක් ඇත. තෙවැනි සංගායනාව අවසන් වූ වහාම ස්ථිරසාර පදනමක පිහිටුවීමේ අපේක්ෂාවෙන් මොග්ගලීපුත්තතිස්ස මහතෙරණුවෝ භික්ෂූ පස්නම බැගින් සමන්විත ධර්මදූත පිරිස් නවයක් දඹදිව මෙන්ම ඒ අවට රටවලට යැවීමට කටයුතු කළහ. ඉන් ශ්‍රී ලංකාවට එවන්නට තීරණය කැරුණේ මිහිඳු මහ තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් වූ පිරිස්ය. එහෙත් ඒ හිමියෝ ඒ ගමන මාස කිහිපයකින් ප්‍රමාද කළහ. ඊට හේතුව ලෙස කියැවෙන්නේ මහලු මුටසීව රජුකල එනු වෙනුවට ඔහුගේ අභාවයෙන් දෙවනපෑතිස් රජවූ කල්හි ඊට වඩා ප්‍රයෝජනවත් ලෙස සැලකීමය. එබඳු තීරණයකට එළඹිය හැකි වූයේ දෙරට අතර මනා සම්බන්ධතාවක් තුබුණූ බැවිනි. යනුවෙන් ආචාර්ය ආනන්ද පී ගුරුගේ මහතා පෙන්වා දෙයි.
එදා පොසොන් පුන් පෝදා පෙරවරු කාලයේ මිස්සක පබ්බතයට වැඩි (මිහින්තලාවට) මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස, හතළිස් දහසක් පමණ පරිවාර පිරිස සමඟ දේවානම්පියතිස්ස රජු පිළිගනී. රජතුමාගේ බුද්ධි පරික්ෂණයෙන් පසු මිහිඳු මහරහතන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මදේශනා කළ සේක. එතැන් පටන් උන්වහන්සේ පුරා වසර 48 ක් ලක්දිව වැඩ වෙසෙමින් බුදුදහම ප්‍රතිෂ්ඨාපනයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළ සේක.
වල්පොල රාහුල හිමියන් ස්වකීය ලක්දිව බුදුසමයේ ඉතිහාස /ග්‍රන්ථයේ මේ පිළිබඳ කරනු ලබන විවරණය කෙරෙහි පාඨක අවධානය යොමු විය යුතුයි. එනම්,
“උන්වහන්සේ ලංකාවට අලුත් ආගමක් පමණක් නොව එවකට කීර්තියෙන් අගතැන් පත් මුළු සභ්‍යත්වයක්ම මෙරටට ගෙනා සේක. සංඝාරාමයන් හා චෛත්‍යයන් කරවීමත් එක්කම උන්වහන්සේ මෙරටට කලාව හා ගෘහනිර්මාණ ශිල්පය ද ඇබ්බැහි කළාහුය. මිහිඳු මාහිමියන් සිංහල සාහිත්‍යයෙහි ආදිකර්තෘත් හැටියට ගිණිය හැකිය. මහින්ද ස්ථවිරයන් සිංහලද්වීපයට ත්‍රිපිටක අර්ථකථා ගෙනවුත් දීපවාසීන්ගේ යහපත සඳහා හෙළ බසට පෙරළු බව බුද්ධඝෝෂාචාර්යයෝ කියති. උන්වහන්සේ මෙසේ සිංහල භාෂාව සාහිත්‍යයික භාෂාවක් කොට එහි සාහිත්‍යයද ආරම්භ” කළාහුය. උන්වහන්සේ අසෝක හෝඩියද මෙරටට ඇබ්බැහි කරන්නට ඇතැයි සිතිය හැකිය.”
එහෙත් මිහිදු මහරහතන් වහන්සේට සහ සඟමිත් තෙරණින්ටත් වර්තමාන කාලයේ අතිශය බුද්ධිහීන, ශාස්ත්‍රීය පදනමකින් තොර හුදු හිතළු ගොතමින් ඇතැමෙක් නින්දා අපහාස කරති. ඒ අතර සිහිබුද්ධියක් ඇති ශිෂ්ට සම්පන්න මිනිසෙකුට කිසිසේත් කළ නොහැකි අතිශය අසභ්‍ය ඇතුළත් ලිපිලේඛන පොත පතද දක්නට ලැබේ.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
අධ්‍යක්ෂ
හෑගොඩ විපස්සි හිමි
අධ්‍යක්ෂ
හෑගොඩ විපස්සි හිමි
බුදුසරණ පත්‍රයෙන් උපුටාගැනීමකි
Subscribe to:
Posts (Atom)