සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වයට පත්ව වසරක් ගතවීමට පෙර ලංකාවට වැඩම වීමත්, මේ උතුම් දිනයේ ම ශාරීරික වූ කේශ ධාතු ලැබීමත්, එදිනම දහම් අසා දෙවියෙකු සෝවාන් වීමත්, දෙවියන් විසින් ලංකාවේ පළමුවන සෑය ඉදිකිරීමත්, අපරට තුළ ජීවත් වූවන් අතර තිබූ දරදඬුකම් පහකොට සාමකාමී සදාචාරසම්පන්න ධාර්මික පැවැත්මක් ඇති කිරීමත් යන සියල්ල සලකන විට වර්ෂයේ ආරම්භක පුර පසළොස්වක පොහොය අපට ඉතා වැදගත් වෙයි.
බුදුරදුන් තෙවරක් ලංකාවට වැඩම වූ බව ඓතිහාසික ග්‍රන්ථයන්ගෙන් පැහැදිලි වෙයි. එයින් ප්‍රථම ගමන මහියංගනයට සිදු වූයේ දුරුතු පුන් පොහොය දිනයක වීම නිසා බෞද්ධ ජනතාව එම පොහොය අතිශයින්ම වැදගත්කොට සලකති. බරණැස ඉසිපතනයේ දී ප්‍රථම වස් කාලය ගත කොට අවසානයේ බුදුහු තම ශ්‍රාවකයන් ධර්ම ප්‍රචාරක සේවය සඳහා පිටත් කොට යවා රජගහ නුවර බලා වැඩම වූහ.
අතරමග දී පිරිස සහිත තුන් බෑ ජටිලයන්ට දහම් අවබෝධ කොට දීමෙන් අනතුරුව ලංකාවේ මහවැලි නදිය අසබඩ පිහිටි මිණිපේ දනව්වෙහි යක්ෂ සමාගමක් පවතිද්දී ඔවුනට පෙනෙන ලෙස සෘද්ධි බලයෙන් වැඩමවා අහසෙහි වැඩ සිටියහ. අනතුරුව වර්තමාන මහියංගන දාගැබ පිහිටි ස්ථානයට වැඩම කළ උන්වහන්සේ ඒ මහා යක්ෂ සමාගමට ධර්මය දේශනා කොට දුර්දාන්ත වූ සැම මනා සේ දමනය කොට සාමකාමී පිරිසක් බවට පත්කරන ලද්දේ දුරුතු පුර පසළොස්වක පොහොය දිනක දී ය.
මෙදින ධර්ම ශ්‍රවණය කළ පිරිස අතර සිටි සමන්තකූටයට අධිපති සුමන දෙවියන් දේශනාව අවසන් වීමත් සමඟ සෝවාන් භාවයට පත්වීම මෙදින සිදු වූ තවත් වැදගත් කාර්යයකි. ප්‍රසාදයට පත් සුමන දෙවියන් වැඳුම් පිදුම් කිරීම සඳහා යමක් දෙන මෙන් ආයාචනා කළෙන් බුදුහු තම සිරිස පිරිමැද ලබාදුන් කේශ ධාතු රන් කරඬුවකින් පිළිගත් සුමන දෙවියෝ බුදුරදුන් වැඩසිටි ස්ථානයෙහි එය තැන්පත් කොට නිල්වන් ගලින් සත් රියන් උසැති දාගැබක් මහත් බැතියෙන් කරවූහ. දුරුතු පොහෝදා වෙනත් කිසිදු ජාතියකට හෝ රටකට නො ලැබුණ බුදුරදුන්ගේ ශාරීරික ධාතු ලාංකිකයා අතට පත්වීම අගය කළ යුතු අන්දමේ ශ්‍රේෂ්ඨ සිදුවීමකි.
බුදුරදුන් ලංකාවට වැඩමවන විට මහියංගණ ප්‍රදේශයෙහි විසූ පිරිස ‘යක්ෂ’ නාමයෙන් හඳුන්වන අමනුෂ්‍ය කොටසක් ලෙස දැක්වීමටත්, බුදුරදුන් ප්‍රාතිහාර්ය බලයෙන් ඔවුන් බියගන්වා පසුව ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව ඒ අය අප රටෙන් බැහැර මුහුදෙහි පිහිටි ‘ගිරි’ නම් දිවයිනට පලවා හැරීමට බුදුරදුන් ක්‍රියාකළ බවත් ප්‍රාතිහාර්ය ලෙස දැක්වීමට වංශකතා කරුවන් අනවශ්‍ය උත්සාහයක යෙදී ඇති බවක් පෙනේ. බුදුරදුන් වැනි මහා කාරුණික උතුමෙකු ප්‍රථම ලංකා ගමනේ දී ඒ අන්දමට ක්‍රියාකරන ලදැයි සිතීම උගහටය. ප්‍රාග් බෞද්ධ යුගයෙහි විවිධ ගෝත්‍රවලට අයත් අය මෙරට විසූ බව සත්‍යයකි. ලංකාවේ වයඹ දිග කොටසෙහි සහ මධ්‍යම කඳුකරය ආශි‍්‍රත ප්‍රදේශවල විසූ අය යක්ෂයන් පිළිබඳ විශ්වාස කරමින් ඔවුන් අදහමින් ක්‍රියා කළ නිසා යක්ෂ ගෝත්‍රිකයෝ බවට පත්වූහ. ජල මාර්ග ආශි‍්‍රතව වෙළෙඳාම් කටයුතුවල නිරත වූ අය කැලණිය හා උතුරේ නාගදීපය ආශි‍්‍රතව වාසය කළ අතර ඔවුන් නාග ගෝත්‍රිකයන් වශයෙන් බොහෝ අය හැඳින්වූහ.
බුදුරදුන් ලංකාවට වැඩම වූ අවධියේ, විජය කුමාරයා ඇතුළු ආර්ය පිරිස පැමිණි කාලයේ දීත් මෙරට විසූ යක්ෂ හා නාග ආදී ගෝත්‍රිකයන් නො දියුණු මිලේච්ඡ අය ලෙස සැලකීම සුදුසු නොවේ. මහාවංසයම සඳහන් කරන අන්දමට ඒ අය රෙදි විවීම හා කපු වස්ත්‍ර භාවිත කළහ. විවාහ මංගල උත්සව පැවැත්වූහ. තූර්ය වාදනයෙහි දක්ෂයෝ වූහ. ධාන්‍ය වර්ග ආහාර සේ භාවිත කළහ. ප්‍රාකාර ආදියෙන් යුත් නගර ගොඩ නගාගෙන රජවරුන් පත්කොටගෙන විසූහ. ජීවනෝපාය වශයෙන් ගොවිතැන මෙන් ම වෙළෙඳාමෙහි ද යෙදුනහ. වංශකතාව සඳහන් කරන මෙවැනි කරුණුවලින් ආර්ය වර්ගයා තරමට නො වුනත් සෑහෙන දියුණුවකින් යුක්ත ව අතීත ලාංකිකයන් ජීවත් වූ බව පැහැදිලි වෙයි.
කඳුකරයේ විසූ යක්ෂ ගෝත්‍රිකයන්ට ධර්ම දේශනා කොට ශාන්ත, දාන්ත අය බවට පත්කොට ඔවුන් ජීවත් වූ කඳුකර ප්‍රදේශයටම පිටත්කොට යවන්නට ඇතැයි සමහර ඉතිහාසඥයෝ සඳහන් කරති. මහාවංශයේ දැක්වෙන එම ප්‍රදේශ දුටුගැමුණු කුමාරයාගේ කාලයෙහි ගිරි රාජ්‍යය නමින් සඳහන් වේ. කොත්මලය, ගල්වල්රට යනුවෙන් ද විවිධ ග්‍රන්ථයන්හි දැක්වෙන්නේ ඉහත කී ප්‍රදේශ බව සමහරුන්ගේ පිළිගැනීම යි. කෙසේ වුවත් දෙවන පෑතිස් යුගයේ මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිසට ලංකාවට සැපත්ව ඉතා පහසුවෙන් බුදුදහම ව්‍යාප්ත කිරීමට බුදුරදුන් ලංකාවට ප්‍රථම වරට වැඩමවා සාමකාමී සදාචාර සම්පන්න ජනතාවක් ඇති කිරීම මහත් සේ උපකාර වූවාට සැක නැත.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව ඉතිරි වූ ධාතුන් අතරින් ගි‍්‍රවා ධාතුව රැගෙන ආ සැරියුත් මාහිමියන්ගේ ශිෂ්‍ය සරභූ රහත් තෙරණුවෝ එය මහියංගන දාගැබෙහි තැන්පත් කොට දොළොස් රියන් උසට බැඳවූහ. පසුකාලයේ දී දෙවන පෑතිස් රජතුමාගේ සොහොයුරු උද්ධ චූළාභය රජතුමා එම සෑය තිස් රියන් උසට බැන්ද වූ බවත්, දුටුගැමුණු රජතුමා විසින් පසුව එය අසූ රියන් කොට බන්දවා මහත් පුද පූජා සිදුකළ බවත් සඳහන් වෙයි.
සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වයට පත්ව වසරක් ගතවීමට පෙර ලංකාවට වැඩම වීමත්, මේ උතුම් දිනයේ ම ශාරීරික වූ කේශ ධාතු ලැබීමත්, එදිනම දහම් අසා දෙවියෙකු සෝවාන් වීමත්, දෙවියන් විසින් ලංකාවේ පළමුවන සෑය ඉදිකිරීමත්, අපරට තුළ ජීවත් වූවන් අතර තිබූ දරදඬුකම් පහකොට සාමකාමී සදාචාරසම්පන්න ධාර්මික පැවැත්මක් ඇති කිරීමත් යන සියල්ල සලකන විට වර්ෂයේ ආරම්භක පුර පසළොස්වක පොහොය අපට ඉතා වැදගත් වෙයි.
ගල්කිස්ස බෞද්ධායතනාධිපති,
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර විදුහල්පති,
කොළඹ නව කෝරළයේ
ප්‍රධාන සංඝ නායක ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි