කාළාම සූත්‍රය



කපිල වස්තු පුරයෙන් හමුවු සර්වඥ ධාතූන්වහන් සේලා

කපිල වස්තු පුරයෙන් හමුවු බුදුරපාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා
 දහනවවන සියවසේ මුල්භාගය වන විට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ භාරතයේ සියලු ස්ථාන සොයා ගැනුණු අතර කපිල වස්තු පුරය 1895 දී ආචාර්ය විලියම් පියුරර් විසින් සොයාගනු ලැබිණි. 1896 දී පිප්රුවා ස්ථූපය කැණීමේදී බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් ලේඛනයක් සහිත මැටි කරඬුවක් හමු විය. එහි 

“ඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානං
සුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”

ශාක්‍ය වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන්

සමඟ එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය යන්න සඳහන් විය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු තථාගතයන් වහන්සේගේ සිරුර ආදාහනය කිරීමෙන් අනතුරුව ඉතිරිවූ සර්වඥ ධාතු ද්‍රෝණ බමුණා කොටස් අටකට වෙන්කර සාධාරණ ලෙස බෙදා දුන් බව බෞද්ධ පොතපතෙහි සඳහන් වේ. ඒ අනුව මගධ අජාසත් රජු කපිලවස්තු - ශාක්‍ය, රාමගාම - කෝලිය
පාවානුවර – දබ්බ මල්ලව, වේශාලි - ලිච්ඡවි රජු
අල්ලකප්ප – බුලියො, මෙමදීප බ්‍රහ්මණයෝ
කුසිනාරා - මල්ලව සර්වඥධාතු බෙදා දෙනු ලැබීය.


කපිල වස්තු පුරයේ ඇති ඉතාමත්ම වැදගත් ගොඩනැගිල්ල වනුයේ ශාක්‍යවරුන් තැනූ මෙම ගොඩනැගිල්ලයි. 1971 වර්ෂයේ කරන ලද කැණීම් වලින් මෙම ස්ථූපය ක්‍රි.පූ. පස්වන සියවසේ ප්‍රථමයෙන් ගොඩනගන ලද බවත් පසු අවස්ථා දෙකකදී විශාලකර සාදා ඇති බවත් හෙලිවී ඇත. තථාගත පරිනිර්වාණයෙන් පසු ශාක්‍යයන්ට ලැබුණු ධාතුන් වහන්සේ මෙම චෛත්‍යයේ තැන්පත් කර තිබූ බවත් සඳහන්වේ.


ශාක්‍යයන්ට ලැබුණු සර්වඥ ධාතු නිදන් කොට තැනූ මෙම ස්ථූපය යටට කැණීමේදී එකිනෙකට සම්බන්ධ ගඩොලින් තැනූ කුටි දෙකක් විය. එහි උතුරු කුටියේ තිබී අලංකාර ලෙස ලියවා කරන ලද සෙන්ටිමීටර් දොළහක් උස කරඬුවක් හා තැටි දෙකක් හමු විය. දකුණු කුටියේ එවැනි ඊට වඩා විශාල සෙන්ටිමීටර් දහසයක් උස කරඬුවක් හා තැටි දෙකක් හමුවිය. 

කපිල වස්තු පුරයේ ධාතූන් වහන්සේලා තැන්පත් කරතිබූ කරඬු
මෙම කරඬු දෙක විවෘත කළ විට දෙකෙහිම අඩංගු වූයේ ගින්නෙන් දැවී අගුරු වූ මනුෂ්‍ය ඇටකටුය. දිනවකවානු පිහිටි ස්ථානය හා කරඬුවේ අඩංගු දේ තුළින් මේවා ශාක්‍ය වරුන්ට බාරදී ඇති දැවී අගුරු වූ බුදු රදුන්ගේ ශ්‍රී දේහයේ ඉතිරි වී ඇති ධාතුන් වහන්සේ බව ස්ථිර ලෙසින් තහවුරු කරගන්නා ලදී. මෙහිදී හමුවූ සර්වඥ ධාතූ®න් වහන්සේලා ගණන විසි දෙකකි. 1978 දී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු ශ්‍රී ලාංකික ජනතාවට වැඳ පුදා ගැනීමේ භාග්‍යය උදාවූ අතර 1990 දී පටන් එම පූජනීය ධාතූන් වහන්සේලා කරඬුවත් තැන්පත් කර විශේෂිත වීදුරු මංජුසාවක් තැන්පත් කර නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.


එදා සිට අද දක්වා නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ විශේෂිත ආරක්ෂාව මධ්‍යයේ වෙඩි නොවදින වීදුරු කුටියක තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා කෞතුකාගාරය නැරඹීමට යන ඕනෑම අයකුට තම පියවි ඇසින් නැරඹිය හැකිය. රත්‍රං ග්‍රෑම් 109 ක් උපයෝගී කරගෙන වටිනා දියමන්ති උපයෝගී කරගෙන අලංකාර ලෙස නිර්මාණය කරන ලද විශේෂිත කුටියක තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූ®න් වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කර බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීමට දඹදිව වන්දනාවේ යෙදෙන බැතිමතුන්ටද අවකාශ උදා වී ඇත. තායිලන්ත රජයේ පූර්ණ දායකත්වය මත රනින් නිම කළ මෙම විශේෂිත කුටිය 1997 දී ඉන්දීය රජයට තායිලන්ත රජය විසින් පරිත්‍යාග කොට ඇත. ඔබත් දඹදිව වන්දනාවේ ගියවිට මෙම සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා මාන කර කුසල් රැස්කර ගන්නන.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා












ලංකාවේ අන් සියලු ජාතිකයෝ ස්වකිය ආගමට ප්‍රේමයෙන් කුල චාරිත්‍ර වලට අනුව ක්‍රියා කරති. මරක්කලයාගේ හොඳ ගති රාශියක් තිබේ. රික්ෂෝ රථය අදින දෙමලා පාන්දර නැගිට ඇඟපත සෝදාගෙන පිරිසිදු වස්ත්‍රයක් ඇඳ නළලේ අළු ටික ගාගෙන දෙවියන් සිහිකර වැඩ පටන්ගනී. ලංකාවේ අනිකුත් සියලු ජාති වලම මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ කුල ධර්ම වලට අනුව ක්‍රියා කරති. අහෝ! කාලකන්නි අඳබාල සිංහලයෝ පමණක් උන්මත්තකයින් මෙන් ඇට්හෝම් , හොනිමූන් පවත්වමින් , කේක් , ෂාම්පෙන් , ගවුම් , බොස්තොරොක්ක , බම්බුසාය , පිදුරු තොප්පි මෝනින් කෝට් , ටුවිඩ් කැප් ආදිය පාවිච්චියට ගනිමින් අත තිබෙන ධනය නැතිකරගෙන සුද්දාට දාසකම් කරමින් කල් යවති.

ලංකාවේ
හම්බ , මරක්කල , දෙමළ , බොම්බයි කාර , ලංසි පාර්සි සමුහයා දක්නා ලැබේ. ජාතික වස්ත්‍ර , ජාතික නාම , ජාතික චාරිත්‍ර උල්ලංඝනය නොකොට ඉහත කි ජාතීහු පවත්වත්. ආගමක් , ධර්මයක් අචාර්යවරයෙක් නැත්තේ කාලකන්නි සිංහලයන්ට පමණි. ධනය සැපයීමට සිංහලයාට මොලේ නැතැයි කොච්චි , දෙමළ , හම්බ්ක්කරයන්ට වැටහී තිබේ. රික්ෂෝ අදින දෙමළ කුලී කාරයාට තිබෙන ඤාණය සිංහල කලකන්නියාට නැත. කලිසම් , කෝට් , තොප්පි , ටයි , කොලර් , කමිස , මේස් , බනියන් , සපත්තු , බොත්තන් ආදියට සිංහල මෝඩයා කරන නිරර්ථක වියදම් අනෙක් ජාතීහු කරන්නේ නැත.

දෙමළ
, මරක්කල , ලංසි , හෙට්ටි , ඉන්දියන්වරු , හම්බයෝ හා යුරෝපියවරු පසුගිය කාලය තුල වෘධියට පැමිණුනහ. සිංහල මෝඩයා පමණක් ඉංග්‍රීසි චාරිත්‍ර ගනිමින් විනාශයට පැමිණුනහ.
(
අනගාරික ධර්මපාල , 1921 )

  අන්තර් ජාලය ඇසුරිනි.

දළදා පෙරහැර



මහනුවර දළදා පෙරහැර ආගමත් කලාවත් දේශපාලන බලයත් මනා ව සංයෝග කරන මහෝත්සවයකි. පළමුව, එය ශ්‍රී ලාංකික බෞද්ධයන් බුදුන් වහන්සේටත්, දළදා වහන්සේටත්, දෙවි දේවතාවන්ටත් දක්වන අප්‍රමාණ ගෞරවයත් ශ්‍රද්ධාවත් භක්තියත් හෙළි කරයි.

දෙවනුව, එය පාරම්පරික කලාකරුවන්ගේ කලා කුසලතා උත්කර්ෂවත් ආකාරයෙන් පෙන්නුම් කරයි. කාලාන්තරයක් තිස්සේ උඩරට පෙදෙසේ ගුරුකුල වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආ නැටුම් ගැයුම්, වැයුම් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. රජ දවස කලාකරුවන්ට මේ සඳහා කුලී නොගෙවිණ, ඉඩකඩම් ලැබිණි.

තෙවනුව, එය රජතුමා සතු දේශපාලන බල මහිමය ජනතාව හමුවේ පෙන්නුම් කරයි. රජතුමාගේ රාජධානියට අයත් විවිධ කොට්ඨාස පාලනය කරන දිසාවේවරු හා නිලමේවරු මෙදාට මහනුවරට ඇවිත් පෙරහැරේ ගමන් කරමින් සිය රාජ පාක්‍ෂිකභාවය දක්වති. ඒ ඒ පළාත්වල කොඩි මෙහි දී ප්‍රදර්ශනය කෙරේ.

සිව්වනුව, එය වැස්ස අනුකරණය කරයි. වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කළ යුතු යැයි පැරැන්නෝ සිතූහ. වැස්ස වහින්නට කලින් එන අකුණු ගැසීම්, විදුලිය කෙටීම්, වැහි වළාකුළු ආදිය මේ පෙරහැරේ දක්නට ලැබේ. මේ පෙරහැර අවසන් වන්නේ වැසි පොද වැටෙන පරිදි දිය කැපීමේ මංගල්‍යයකිනි.



දළදා පෙරහැර දවස් දහයක් තුළ පැවැත්වේ. මුල් දවස් පහේ පවත්වන පෙරහැර කුඹල් පෙරහැර නම් වේ. මීට කුඹල් පෙරහැර යැයි කියන්නේ ඇයි? මේ පෙරහැර යන්නේ දේවාල වටා පමණක් බැවින් එය කුඹලා නමැති සතා සිය හුඹස වටා යන ගමනට සමාන යැයි සිතා ඒ නම යෙදුණා විය හැකි ය.
ඉන් පසුව එන්නේ රන්දෝළි පෙරහැරයි. රන්දෝළි යනු දේවාලවලට අයත් දෝළා යි. ඒ ඒ දේවාලවලට අයත් රන් කෙණ්ඩිත් රන් කඩුත් මේවායෙහි ගෙන යනු ලැබේ. රන් දෝළිය යන්නෙන් රජුගේ අග බිසොවත් හැඟවුණු නිසා එදා මේ දෝළා සමඟ රජ කුමරියන් ද වෙනත් ආර්යාවන් ද ගිය බවක් ද කියවේ.

පෙරහැර වර්ෂාව අනුකරණය කරන නිසා එහි මුලින් ම එන්නේ හෙණ හඬ සංකේතවත් කරන කසකාරයා යි.අනතුරුව එන පන්දම්කාරයන්ගේ කොප්පරා පන්දම් වලින් නිකුත් වන්නේ වරින් වර අඩු වැඩි වෙමින් විහිදෙන විදුලියට සමාන එළියකි. අඳුරු පැහැයෙන් යුක්ත අලි ඇත්තු වැසි වළාකුළු වැන්න.
වැසි වළාකුළු වැනි ඇත්තු
අකුණු හඬටත් විදුලිය කෙටීමටත් පසුව එන්නේ වැසි වළාකුළු යි. අඳුරු පැහැති වළාකුළු හෙමින් සීරුවේ අහස පුරා පැතිර යයි. පෙරහැරේ හෙමින් සීරුවේ ගමන් කරන ඇත්තු ද වැසි වළාකුළු වැන්න. වැසි වලාවන් වැඩි වන තරමට වැස්ස සරු ය. අලි ඇතුන් වැඩි වන තරමට පෙරහැරේ අසිරියත් වැඩි වේ.

මේ අලි ඇතුන් අතුරින් මහේශාක්‍ය හස්තියා සේ සැලකෙන්නේ දළදා කරඬුව හෙවත් රන් හිලිගේ ගෙන යන ඇතායි. තිරිසන් සතෙකු වූවත් තමා කෙරෙහි පැවරී ඇති වගකීම තේරුම් ගත්තාක් සේ මාලිගාවේ ඇතා ද මහත් අභිමානයෙන් සුදු පාවාඩ මතින් උඩු වියන් යටින් ගමන් කරයි.

මාලිගාවේ ඇතාට අමතර ව තවත් ඇත්තු සතර දෙනෙක් දේවාභරණ සහිත කරඬු වඩම්වා ගෙන පෙරහැරේ යති. ඒ සතර දේවාලවලට අයත් ඇත්තු ය. කරඬුවක් ගෙන යන ඇතෙකු දෙපසින් තවත් ඇත්තු දෙදෙනෙක් ගමන් කරති. ඒ ඇතුන් පිට සිටින්නෝ කරඬුවට පවන් සලමින් යති.

තවත් සමහර ඇතුන් පිට යන්නේ පෙරහැර හා සම්බන්ධ විශේෂ වැඩ කටයුතු භාර නිලමෙලා ය. පෙරහැරේ මුලින් ම යන්නේ පෙරමුණේ රාලයි ඔහුගේ දෑතේ පුස් කොළ පොතකි. එය ලේකම් මිටිය නමින් හැඳින්වේ. දළදා මාලිගාවේ රාජකාරි ගැන විස්තරත් පෙරහැර කළ යුතු ආකාරය ගැන විස්තරත් එහි ලියා තිබේ.

දෙවනුව යන්නේ ගජ නායක නිලමේ රැගත් ඇතා යි. ගජ යනු ඇතාට කියන තවත් නමකි. රජ වාසල ඇතුන් භාර ව සිටින මේ නිලධාරියා පෙරහැරේ යන්නේ දෑතින් ගත් අංකුසයක් හෙවත් හෙණ්ඩුවක් ඇතිවය. අලි ඇතුන් හසුරුවන්නේ හෙණ්ඩුවේ ආධාරයෙනි.

ඇත්තු ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසවනු ලැබෙති. හීලෑ කරන ලද අලි ඇතුන් හැඳින්වීමට නම් ද ඇත. සෑහෙන කාලයක් තිස්සේ දළදා කරඬුව ගෙන ගිය රාජා නමැති ඇතාගේ මළ සිරුර දැන් මහජන ප්‍රදර්ශනය සඳහා මාලිගාවට යාබද වෙන ම කුටියක තබා ඇත.
පෙරහැර සමය
ඇසළ මහේ දී පෙරහැර සමය ආරම්භ වන්නේ සුබ නැකත් බලා ය. ඒ ඒ දවස් වලට පෙරහැර ආරම්භ වන්නේ ද සුබ මොහොතකිනි. මේ සුබ නැකත් වේලාවන් දළදා මාලිගාවට දන්වා සිටින්නේ නැකත් මොහොට්ටාලා නම් නිලධාරියෙකු විසිනි. මොහු රජතුමා විසින් ම පත් කරනු ලැබූවෙකි.

පෙරහැර සමය ආරම්භ වන්නේ කප් හිටවීම නම් චාම් උත්සවයකිනි. කප් යනු සියලු සම්පත් ලබා දෙන දිව්‍ය වෘක්‍ෂයක් වන කල්ප වෘක්‍ෂය හෙවත් කප් රුක සංකේතවත් කරන්නකි. පෙරහැර හොඳින් පවත්වා ගන්නට දෙවි දේවතාවන්ගේ පිහිට ලබා ගැනීමට භාරහාර වීම කප් හිටවීමේ අරමුණයි.

මෙය කරන්නේ ඇසළ මස අමාවක පෝය දා එළඹෙන සුබ නැකතකට ය. එදාට සතර දේවාලයේ කපු මහත්වරු කිරි ගසක් වන කොස් ගසක් වෙතට ගොස් ඒ වටා පහන් දල්වා සුවඳ දුම් අල්ලා එහි අත්තක් කපන්නට සූදානම් වෙති. ඒ අත්ත කැපීමේ වගකීම පැවරෙන්නේ විෂ්ණු දේවාලයේ කපු මහතාට යි. මේ කපු මහතා ඉස් සෝදා නහා සුදු වතින් සැරසී හොඳට මේරූ කොස් අත්තක් සතරට කපා දේවාල සතරට භාර දෙයි. කපු මහත්වරු ඒ කොටස් තම තමන්ගේ දේවාලවලට හේවිසි හඬ මැද්දේ ගෙන ගොස් සිටුවති. කප් රුක සියලු සිතුම් පැතුම් ලබා දේ. මේ සිටු වන කපෙන් ද සියල්ල ඉටු වනු ඇත.

පෙරහැර සමය අවසාන වන්නේත් එක්තරා සාම්ප්‍රදායික මංගල්ලයකිනි. එය හැඳින්වෙන්නේ වලි යක් මංගල්ලෙ හෝ වලි යක් නැටුම යන නමිනි. මෙය පැවැත්වෙන්නේ විෂ්ණු දේවාල භූමියෙහි ය. එය සතියක් මුළුල්ලේ පැවැත්වේ. පෙරහැරේ ගිය නිලමෙලා ඇතුළු හැම දෙන ම මීට සහභාගි වෙති.

පෙරහැර පැවැත්වීමේ දී යම් කිසි අත්වැරැද්දක් නිසා දෙව් දේවතාවන්ගේ සිත් රිදුණේ නම් ඊට සමාව ගැනීම ද ඇස්වහ කටවහ ආදී වස් දොස් ආදිය ඇතිවිණි නම් ඒවා දුරු කර ගැනීම ද මේ මංගල්ලේ අරමුණයි. වලි යක් මංගල්ලෙ අවසන් වනවාත් සමඟම ඇසළ මහේ පෙරහැර සමය ද නිමාවට පත් වේ.
දිය කැපීමේ මංගල්ලය
රන්දෝළි පෙරහැර දවස් පහක් පැවැත්වේ. මහ පෙරහැර පැවැත්වෙන අවසාන රාත්‍රිය මහනුවර ඇසළ පෙරහැරේ අලංකාරවත් ම රාත්‍රියයි. දළදා කරඬුව පසු දා පහන් වන තෙක් අස්ගිරි විහාරබද ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කෙරේ. පසු දා උදේ තුනට පමණ සතර දේවාලවල කපු මහත්වරු පේරාදෙණිය අසල ගැටඹේ තොට බලා පෙරහැරින් පිටත් වෙති. අරුණලු නැඟෙද්දී ගැටඹේ තොටට එන ඔවුහු කලින් අවුරුද්දේ මෙහි දී පුරවා ගත් දිය සහිත රන් කෙණ්ඩි හා රන් කඩු ගෙන සුදු කඩතුරාවකින් වැසූ පාරුවකින් ගඟ මැදට යති.

ඔවුහු කඩතුරාවට මුවා වී කෙණ්ඩිවල දිය හිස් කරන අතරතුර ම ඒවා නැවත පුරවා ගනිති. එසේ පුරවා ගන්නා විට ඒ දිය රන් කඩුවකින් කැපීම සිරිතකි. එබැවින් මේ සිරිත දිය කපනවා යනුවෙන් හැඳීන්වේ. දිය පුරවා ගැනීමට දිය කපනවා යැයි කියන්නේ ඇයි? කපන්නේ ඝන ද්‍රව්‍යයක් මිස දියරක් නොවේ. වැස්ස නොවසින්නේ අහසේ එක් රැස් වී ඇති ජලය එක ම දිය කඳක් සේ ඝන ව ඇති හෙයිනැයි පැරැන්නෝ සිතූහ. එසේ නම් වැසි පොද වැටෙන්නට සලස්වා ගත හැක්කේ මේ දිය කඳ කැපීමෙනි. එහෙත් මේ දිය කඳ කැපීමට අහසට යෑමට කිසිවෙකුට නුපුළුවන.

අපට කළ හැක්කේ අපට යා හැකි තැනක දී දිය කැපීම අනුකරණය කිරීම යි. මහවැලි ගඟට බැස රන් කඩුවෙන් දිය කැපීමෙන් අනුකරණය කෙරෙන්නේ වැසි පොද ලබා ගැනීමට දිය කඳක් කැපීමයි. දිය කපන මොහොතේ දී නිසැක ව ම වැසි පොද වැටෙන බව බෞද්ධයෝ තරයේ විශ්වාස කරති.

මල් වැසි මෙන් වැටෙන මේ වැසි පොද මහා ධාරානිපාත වර්ෂාවක පෙර නිමිත්තක් පමණකි. 1826 දී ඉංගී‍්‍රසි ආණ්ඩුව දළදා පෙරහැර නැවැත්වූයෙන් තුන් අවුරුද්දක් ම වැසි නොවැටිණ. කෙත් වතු පාළු විණ. වැස්ස නැත්තේ පෙරහැර නැති නිසා යැයි උඩරැටියෝ එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරයාට පැමිණිලි කළහ.ආණ්ඩුකාරයා අකමැත්තෙන් වුවත් පෙරහර පැවැත්වීමට ඉඩ දුන්නේ ය. එවර දිය කපන දා වැටුණු වැස්ස කෙළවර වූයේ මහා ගංවතුරකිනි. එය දළදා වතුර යන නමින් බෞද්ධයෝ හැඳින්වූහ. එවක ලියවුණු දළදා වතුර නම් ජන කාව්‍යයක් රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඇත. පැන් පුරවා ගත් රන් කෙණ්ඩි රැගත් දේවාල පෙරහරට දළදා පෙරහැර ද එක් වීමෙන් පසුව දවල් පෙරහැරක් සැදේ. ඒ ඒ පෙරහැරවල් මාලිගාවටත් දේවාලවලටත් ගෙවදිත්ම මහනුවර පැවැත්වෙන ඇසළ පෙරහැර නිමාවට පත් වේ. පෙරහැර නිමා වෙත්ම වැසි කාලය ආරම්භ වේ.

දිය කපන දා වැටෙන වැස්සත් සමඟ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ වස්සාන කාලය ද ඇරඹෙයි. උන්වහන්සේලා තුන් මසක් ම පන්සල් වල රැඳෙමින් වස් වසති.අයං වස්සාන කාලෝ (මේ වැසි කාලයයි) යැයි කියමින් වැසි කල් උදා වුණු බව කියන්නට බෞද්ධයන්ට පුළුවන් වන්නේ ඇසළ පෝයට පෙරහැර පවත්වා වැස්ස වස්සා ගන්නට පුළුවන් වන නිසා ය.
පෙරහැර නිමා වූ වගයි
දවල් පෙරහැර නිමා වූ වහා ම ඒ බව රජතුමාට වාර්තා කිරීම පැරණි සිරිත විය. එහෙත් අද රජෙකු නැති බැවින් ඒ බව දැන් වාර්තා කරනු ලබන්නේ රටේ දේශපාලන නායකයා වන ජනාධිපතිතුමාට ය. මේ සඳහා ජනාධිපතිතුමා නොවරදවා ම මහනුවර පිහිටි රජ ගෙදරට පැමිණෙයි. එතැනට එන දියවඩන නිලමේතුමාත් දේවාලවල බස්නායකවරුත් පෙරහැර හොඳින් පැවැත් වූ බව ජනාධිපතිතුමාට දන්වා සිටිති.
සියලු බෞද්ධයන්ගේ ප්‍රාර්ථනය මෙසේ ය.

දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ

කලට වැසී වසී වා
කෙත් වතු සාර වේ වා
ලොව සතුටු වේ වා
නිරිඳු සැම කල් දැහැමි වේ වා

දේවෝ වස්සතු කාලේන යන පැතුමෙහි එන දේවෝ යන පාලි පදයෙහි අර්ථ දෙකකි. එකක් දෙවියන් යන්නයි.

දෙවියනි, කලට වැසි වස්සන්න
දෙවෙනි තේරුම
වැසි වලාව යන්නයි.
වැසි වලාවනි, කලට වැසි වස්සන්න
ගොවිතැනින් ජීවත් වන ජනතාවකට වැසි වලාවට වැඩි දෙවියෙක් කොයින්ද?

(දළදා පෙරහර කෘතියෙනි.)

අන්තර් ජාලය ඇසුරිනි


මහාචාර්ය 

ජේ.බී.දිසානායක